වෙබ් ලිපිනය:

Sunday, May 31, 2015

අපි ණය ගන්නේ ගිණි පොලියටද?


නෙළුම්යායේ නැවත පළකෙරුණු "යහපාලන නය ගැනීම වනාහී වැඩි පොලියට ය"යන සරස ලියූ සටහන දැක යම් පැහැදිලි කිරීමක් කිරීමට සිත් විය. සටහනේ ඇති කරුණු නිවැරදි හා පැහැදිලි වුවත් එහි අවසාන විග්‍රහය සමඟ ඉකොනොමට්ටාට මුළුමනින්ම එකඟ විය නොහැක. මගේ අරමුණ වෙනත් අවසන් විග්‍රහයක් ඉදිරිපත් කිරීම නොවේ. අවශ්‍ය කෙනෙකුට අවශ්‍ය පරිදි විග්‍රහ කර ගැනීමට හැකි වන පරිදි තාක්ෂණික කරුණු කිහිපයක් එක් කිරීමයි.


මෙහි සඳහන් කර ඇති බැඳුම්කර එකතුව පිලිබඳ වැඩි විස්තර (සංයුතිය) මහ බැංකු වෙබ් අඩවියෙන් බලා ගත හැකිය.


http://www.cbsl.gov.lk/pics_n_docs/latest_news/press_20150529e.pdf


මේ අනුව 5.26% ක පොලියකට ඩොලර් මිලියන 988ක ණය ගෙන ඇති බව සැබෑවකි.


සරස සඳහන් කර ඇති පරිදිම "ලන්ඩොන් එකේ මූල්ය වෙලඳපොලේ අන්තර් බැන්කු ඉල්ලාගනීම් අනුපාතය හෙවත් LIBOR එක US $ borrowings සඳහා වසරකට අනුපාතය වන්නේ 0.75295% පමනක් ය." මූලාශ්‍රයක් අවශ්‍යනම් මෙහි තිබේ.


http://online.wsj.com/mdc/public/page/2_3020-libor.html


ගිණි පොලියට ණය ගෙන ඇති බව බැලූ බැල්මට යමෙකුට ඇති වන අදහසයි.


කෙසේ වුවද මහා බැංකු මාධ්‍ය නිවේදනයේ තවත් තොරතුරු තිබේ. මේ අනුව ඩොලර් මිලියන 988ක් ලබා ගෙන ඇත්තේ පහත සඳහන් පරිදිය.

- ඩොලර් මිලියන 650ක වටිනාකමකින් යුත් ස්වෛරිත්ව බැඳුම්කර වසර 10ක කාලයකින් ආපසු ගෙවීමට 6.125% ක වෙනස් නොවන පොලියකට
- ඩොලර් මිලියන 329ක සංවර්ධන බැඳුම්කර මාස 13ක කාලයකට සයමස්  LIBOR අනුපාතයට වඩා 3.1669% ක් වැඩි LIBOR අනුපාතය අනුව වෙනස් වන පොලියකට. (දැනට සමස් LIBOR අනුපාතය 0.42315% කි.)
-ඩොලර් මිලියන 9ක සංවර්ධන බැඳුම්කර මාස 35ක කාලයකට සයමස්  LIBOR අනුපාතයට වඩා 3.5389% ක් වැඩි LIBOR අනුපාතය අනුව වෙනස් වන පොලියකට.


ණය පොලී අනුපාතික වෙළඳපලේ ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වන අතර ඉල්ලුම හා සැපයුම බොහෝ බාහිර කරුණු මත විචලනය වේ. (සටහන ඕනෑවට වඩා දිගු වන නිසා මෙහි සාකච්ඡා නොකරමි.) කෙසේ වුවද ණය ආපසු ගෙවන කාලය අනුව පොලී අනුපාතිකය ඉහළ යාම බොහෝදෙනෙකු දන්නා සරල කරුණකි. සතියක කාලයක් සඳහා LIBOR අනුපාතිකය 0.12300% වන විට වසරක කාලයක් සඳහා එයම 0.75295% වන්නේ ඒ නිසාය.


මේ අනුව අප වසරක  LIBOR අනුපාතිකය වන 0.75295% සැසඳිය යුත්තේ වසරක කාලයකට ලබා ගන්නා ණයක් සඳහා ගෙවන පොලියකටය.


ශ්‍රී ලංකා රජය විසින් මාස 13ක කාලයකට නිකුත් කර  ඇති සංවර්ධන බැඳුම්කර සඳහා ගෙවන්නේ සයමස්  LIBOR අනුපාතයට වඩා 3.1669% ක් වැඩි පොලියකි. දැනට සමස් LIBOR අනුපාතය 0.42315% ක් හා වසරක් සඳහා LIBOR අනුපාතය 0.75295% වන නිසා දළ වශයෙන් අපි වසරක කාලයකදී  LIBOR අනුපාතයට වඩා 2.83% ක පමණ පොලියක් ගෙවමු. එනම් 3.59% පමණ වූ පොලියකි.


දැන් අපේ ප්‍රශ්නය තරමක් සරලය. 2.83% ක අධිභාරයක් ගෙවීමෙහි අවුලක් තිබේද? 


LIBOR අනුපාතය යනු ප්‍රමුඛ බැංකු ඔවුනොවුන් අතර මුදල් ගණුදෙනු කරන අනුපාතයයි. බාහිර ණය ලබා දෙන්නේ ඒ මත අවදානම අනුව අධි භාරයක් එකතු කිරීමෙන් පසුවය. ප්‍රමුඛ ණය දීමේ අනුපාතය යනු විශාලම බැංකු ඔවුන්ගේ අවදානම අඩුම හොඳම පාරිභෝගිකයන්ට ණය දෙන අනුපාතයයි. ඇමරිකන් ඩොලර් සඳහා මේ අනුපාතය දැනට 3.25% පමණ වේ. මූලාශ්‍රය පහත ඇත.


http://www.wsj.com/mdc/public/page/2_3020-moneyrate.html

මේ අනුව අපි ප්‍රමුඛ බැංකු ඔවුන්ගේ හොඳම පාරිභෝගිකයන්ට (විශාල සමාගම් වලට) ණය දෙන අනුපාතයට වඩා ආසන්න වශයෙන් 0.34% කින් වැඩි පොලියක් ගෙවමු.


මේ අවදානම් අධිභාරය අඩුද වැඩිද යන්න මට තීරණය කළ නොහැක. එය ඔබේ තීරණයකි. මගේ පෞද්ගලික අදහසනම් මෙහි අසාමාන්‍යතාවක් නොමැති බවයි. එමෙන්ම මෙවැනි ණය නිකුතුවකදී කිසිවකු කොමිස් මුදලක් ලබා ගන්නා බව හෝ එසේ ලබා නොගන්නා බව මේ කරුණු වලින් තහවුරු නොවේ.


අනෙක් සියලුම සාධක නොවෙනස්ව ඇති තත්ත්වයක් තුලදී වුවත් යම් ණයක් ලබාගැනීමේදී ශ්‍රී ලාංකිකයෙකු ගෙවිය යුතු අධිභාරය ඇමරිකානුවෙකු ගෙවිය යුතු අධි භාරයට වඩා ඉතා විශාලය. ඒ ලංකාව (ආණ්ඩු මාරු කවරක් සිදු වුවත්) වැඩි අවදානමක් සහිත රටක් ලෙස හඳුනා ගැනෙන බැවිනි.


වසරක ස්ථිර තැන්පතුවක් සඳහා ඇමරිකාවේදී ලැබෙන පොලිය 0.05% තරමේ සුළු එකකි.


https://www.bankofamerica.com/deposits/bank-account-interest-rates.go


එහෙත් ලංකාවේදී ඇමරිකන් ඩොලර් ස්ථිර තැන්පතුවක් සඳහා 3.5% ක පමණ පොලියක් ලැබේ.


http://www.combank.net/newweb/rates-tariffs/fc-accounts


මේ අනුව ආයෝජකයෙකුට සිය අරමුදල් ලංකාවට ගෙන ඒමෙන් (අනෙත් සියලුම අවදානම් සමාන වන තත්ත්වයකදී) 70 ගුණයකින් වැඩි ආදායමක් ලැබිය හැකිය. එහෙත් එවැන්නක් සිදු නොවේ. ඒ මේ අවදානම් අධිභාරය නිසාය. එය කිසිවකු විසින් තීරණය කරණ දෙයක් නොවේ. අසන දකින දේ අනුව ආයෝජකයෙකුට නිසගයෙන් දැනෙන දෙයකි.


මේ අධිභාරය අඩු හෝ වැඩි කිරීමට ආණ්ඩු කරවන ඇත්තන්ට අමතරව ඔබේත් මගේත් දායකත්වයක් තිබේ.


ණය සඳහා ගෙවන පොලී අනුපාතික වත්මන් හා පසුගිය රජයන්හි කටයුතු සැසඳීමට යොදා ගැනීමද හිතන තරම්ම පහසු නැත. සරස සඳහන් කරන පසුගිය රජය ලබා ගත් ණය මුදලෙහි සංයුතිය නොදන්නා බැවින් ඉකොනොමැට්ටාට සැසඳීමක් කිරීමේ හැකියාවක් නැත. ඒ සඳහා අදාල කාලයේ අනෙකුත් දත්තද අවශ්‍යය. එසේ කිරීමෙන් පසු අවදානම් අධිභාරය ඉහළ ගොස් ඇති බව පෙනේනම් එයින් පෙනීයන්නේ නව රජය ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට අසමත්ව ඇති බව, ණය ගැනීම් ඉහළ දමා ඇති බව හෝ මේ දෙකේ එකතුවකි. කොමිස් සම්බන්ධයක්ද තිබිය හැකිය. එහෙත් එය තහවුරු කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ප්‍රමාණවත් සාධක මෙහි නැත.

2 comments:

  1. මේ ලිපියට වැඩි අවදානමක් නොලැබී ඇති නිසා සරසාගේ ලිපිය සමගම ලංකානිව්ස්වෙබ් නෙලුම් යායේ පල කෙරෙවෙමු.
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/17241-2015-06-06-16-59-09

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: