Friday, May 22, 2015

දීපශිකාගේ බාබර් සාප්පුව



දීපශිකා ජීවත් වූයේ සුන්දර ගමකය. සුන්දර කෑල්ල ඇඩ් කළේ නිකම්ම 'ගමකය' කී විට කිසි ගතියක් නැති නිසා මිස සූරියප්පෙරුම අන්කල්ට (ඉකොනොමැට්ටාගේ අන්කල් කෙනෙකි.) පෙනෙන තරම් සුන්දරත්වයක් මේ ගමේ තිබුණු නිසාම නොවේ. එවැනි විශේෂ සුන්දරත්වයක් නොතිබුනාට මේ කියන ගම නූතන පශ්චාත්කාමීන්ට පේන විදියේ අසුන්දර තැනක්ද නොවීය (ඉකොනොමැට්ටාට පශ්චාත්කාමීන් ගැන තරහක් නැත.) මේ ගම ලංකාවේ බොහෝ පැතිවල තිබෙන ආකාරයේ සාමාන් ගමක් නිසා ඒක තිබුණු පළාත වැදගත් නැත.
මේ ගමේ සිටි අහිංසක මෙන්ම තරම්ම අහිංසක නැති ගැමියන් බොහෝ දෙනෙකු ගමේ සුවිශේෂී පුද්ගලයන් කිහිප දෙනෙකු ඉදිරියේ හිස පහත් කළෝය. මේ සුවිශේෂී පුද්ගලයන් අතර පළමුවැන්නා ගමේ පන්සලේ පඤ්ඤාසාරහාමුදුරුවෝය. හිස පහත් කළේ හාමුදුරුවන්ට ඇති ගවුරවේටය. දෙවැන්නා ජයසේකර මැම්බර් මහත්තයාය. පළාතේ මන්ත්රීතුමා වගේම ආණ්ඩුවේ නිලධාරී මහත්තුරුන්වත් පොලීසියේ ලොකු මහත්තයාවත් ආස්සරේ කළ මැම්බර් මහත්තයාට කවුරුත් වාගේ හිස පහත් කළේ සිංහල ගැමියාගේ ඇති ආචාරශීලී කමටද එසේත් නැත්නම් නිවට කමටද කියන එක සූරියප්පෙරුම අන්කල් නූතන පශ්චාත්කාමීයෙකු සමඟ විවාද කර බේරාගත යුතු කරුණකි. ඉකොනොමැට්ටා හරියටම දන්නේ නැත. තුන්වැන්නා රත්නසේකරය. රත්නසේකරට මැම්බර් මහත්තයා හැර අනිත් කොයි කවුරුත් හිස පාත් කළේ  ගවුරවයකටවත් බයකටවත් නොවේ. රත්නසේකර ගමේ බාබර් නිසාය. (මැම්බර් මහත්තයා හිස පහත් නොකළේ ඔහුගේ තට්ට හිසේ තිබුණු කෙස් ගස් හතර පහ කොට කරන්නට රත්නසේකරව අවශ් නොවූ නිසාය.)


රත්නසේකරගේ බාබර් සාප්පුව අපුරු තැනකි. කොණ්ඩා-රැවුල් කපා ගැනීමට අමතරව පත්තරයක් බැලීමට එන අයගෙන්ද මේ බාබර් සාප්පුවට අඩුවක් නැත. එහෙමයි කියා රත්නසේකර කවදාවත් බාබර් සාප්පුවේ 'කස්ටමර්ස් ඔන්ලි' බෝඩ් ගැසුවේ නැත. (කස්ටමර්  යන වචනය වගේම පාරිභෝගිකයා කියන වචනයත් රත්නසේකරට එක වගේම ග්‍රීක්ය.) වැඩිදෙනෙක් ආවේ සිත්තර පත්තරේ බැලීමටය. මේ දවස් වනවිට දේදුණු-කැලුම් වගේම යුනිකෝගේත් ඉරණම රඳා පැවතුනේ ඔවුන්ගේ ඔරිජිනල් හිමිකරු වූ (නීතිමය තත්ත්වය කෙසේ වුවත්) එවකට බලන්ගොඩ පැත්තේ පාසැලක ගුරුවරයෙකු වූ සරත්මධු අතේය. ගුණපාල ජයලත් මැද්දට පැන්නේ පස්සේය. රත්නසේකර සරත්මධුගේ ලොකු රසිකයෙකි. බාබර් සාප්පුවේ ඉස්සරහ වීදුරුවේ ලොකු දේදුණු-කැලුම් චිත්‍තරයක් පින්තාරු කර තිබුණේ ඒ නිසාය.



දේදුණු වගේම කැලුම් තරුණයාත් හරි හැඩය. දෙන්නාටම තිබුණේ රවුම් මුහුණු සහ රැළි ගැසුණු හිසකෙස්ය. දෙන්නාට දෙන්නා හොඳින් මැච් වේ. සැබෑ චරිත නොවූවත් දේදුණුට වගේම කැලුම්ටත් හිතෙන් ලව් කළ ගොඩක් අය ඒ කාලයේ ඉන්නට ඇත. දේදුණු-කැලුම් දෙන්නා පමණක් නොව සරත්මධුගේ තෙලිතුඩින් ඉපදෙන කොයි කවුරුත් හරි ලස්සනය. කඩවසම්ය. දුටු පමණින්ම තාත්තා සරත්මධු බව අඳුනාගන්නට බැරි නැත. සරත්මධුට අමතරව ජනක රත්නායක, බන්ධුල හරිශ්චන්ද්‍ර, ඇන්ටන් බී පෙරේරා වැනි තවත් බොහෝ ශිල්පීහු මේ කාලයේ චිත්‍රකතා පාඨකයන්ට වැඩ පෙන්වූහ. ඒ කාටත් තමන්ට ආවේනික ප්‍රොටෝටයිප් මුහුණු තිබුණේය. ගැහැණු, පිරිමි, තරුණ හෝ මහළු වුවත් මුහුණ දුටු විට ශිල්පියා හඳුනා ගැනීමට පුළුවන.
වෙසක් දවසට සිත්තර පත්තරය සමඟ වර්ණවත් බුද්ධ රූපයක් නොමිලේ ලැබේ. රූපය බුදුහිමියන්ගේ වුනත් දුටු පමණින්ම ශිල්පියා හඳුනා ගැනීම අසීරු නැත. ඇන්දේ සරත්මධුනම් බුදුහාමුදුරුවන්ගේ මූණත් කැලුම්ගේ මූණ කිට්ටුය. මේ නිරායාසයෙන්ම සිදුවන දෙයකි. ඕනෑම ශිල්පියෙකු අතින් ඇඳෙන්නේ හෝ ලියැවෙන්නේ තමා තුළ ඇති දෙයක් මිස එයින් බාහිර දෙයක් නොවේ. බොහෝ දෙනෙකුට වඩාත්ම ප්රියජනක තමාගේම මුහුණ නිසා මෙසේ ඇඳෙන්නේ එයට තරමක් කිට්ටු මුහුණකි. සැබෑ සරත්මධුත් කැලුම්ගේ මෙන්ම කැරලි ගැසුණු කොණ්ඩයක් සහ රවුම් ප්රසන්න මුහුණක් තිබුණු ඉතා කඩවසම් තරුණයෙක් විය. නමසිය හැත්තෑ ගණන් වලදීය. (මේ වන මැදිවිය ඉක්මවා සිටින​ ඔහුගේ වියපත් මුහුණ තුළින් වුවද ඉකොනොමැට්ටාට කැලුම්ව බාධාවක් නොමැතිව දැකිය හැකිය​.)


බෞද්ධයන් දැනට ජීවත් වන හෝ කලින් ජීවත් වූ බොහෝ රටවල බුදුපිළිම තිබේ. මේවායේ පොදු ලක්ෂණ ගණනාවක් ඇතත් වෙනස්කම්මද ඇත. ජපන් බුදුපිළිම වල ඇත්තේ ජපන් මූණකි. වියට්නාමයේදී මෙය වියට්නාම් මූණකි. ලංකාවේදීනම් ඊට වඩා ටිකක් හෝ අපේ මූණු වලට කිට්ටුය. මෙය යේසුස් වහන්සේගේ පිළිම වලටද සාධාරණය. බුදු හිමියන්ගේ හෝ ජේසු තුමන්ගේ සැබෑ රූපය මේ පිළිම තනන්නන් කිසිවෙකු දැක නැති නිසා ඔවුන්ගෙන් මෙයට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක.

ඉස්ලාම් ආගමිකයෝ ඔවුන් අදහන දෙවියන්ගේ පිළිම නොසාදති. රෝමානු කතෝලිකයින් පිළිම සෑදුවද වෙනත් බොහෝ ක්රිස්තියානි නිකායයන්හි මෙය සිදු නොවේ. එසේ නොකරන්නේ පිළිමයකින් නිරුපනය නොකළ හැකි දෙයක් එසේ නිරූපණය කිරීම සිය සාස්තෘවාරයට (හෝ දෙවියන්ට) කරන අගෞරවයක් ලෙස සලකාය. මෙයට සමාන අදහසක් දැරූ බෞද්ධයෝද සම්බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් පහක් පමණ යනතුරු බුදු පිළිම නොසෑදූහ. එය සැලකුනේ බුදු හිමියන්ට කරන අගෞරවයක් වශයෙනි. වස් වදින කටයුත්තක් ලෙසිනි. කෙසේ වුවද මේ කාලයේදී වන්දනාමාන කිරීම සඳහා ශ්රී පතුල් වැනි ආගමික සංකේත නිර්මාණය කෙරී තිබේ.
බුදුහිමියන් මිනිස් ස්වරූපයෙන් නිර්මාණය නොකිරීමේ සම්ප්රදාය වෙනස් වූයේ උතුරු ඉන්දියාව දක්වා රෝම අධිරාජ්යය ව්යාප්ත වීමත් සමඟය. පිළිම සෑදීම ජනප්රියව පැවති ග්රීක්-රෝම ආභාෂය ලබමින් සම්බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් පහකට පමණ පසු පළමු බුදු පිළිමය ගාන්ධාරයේදී නිමැවිණි. බුදු හිමියන් හෝ  බුදු හිමිගේ සිතුවමක් ඇසින් නොදුටු මේ පිළිමයෙහි නිමැවුම්කරු අතින් බිහි වූයේ ග්රීක් දෙවි කෙනෙකුගේ පිළිමයකට සමීප රුවකි. බුදු පිළිමයක් නිමවා ශිල්පියෙකු යහතින් සිටීමේ පුව පැතිරෙනු සමඟ මේ කලාව ආසියාව පුරා ව්යාප්ත විය. විවිධ රටවලදී වෙනස්කම් වලට බඳුන් වූවද අදටත් අප දකින බුදු පිළිමයන්හි ඇත්තේ උතුරු ඉන්දියානු සිරුරකට වඩා ග්රීක් සිරුරක හැඩයයි. සරත්මධුගේ තෙලිතුඩින් මේ බුදුරුව කැලුම්ගේ හැඩය ගනී.


බොහෝ විට ආර්ථික විද්යාඥයකු ගැටළුවක් විග්රහ කරන්නේ සරත්මධු බුදුරුවක් සිතුවම් කරන ආකාරයට නොවෙනස්වය. බුදුරුවක මූලික ලක්ෂණ හැකි පමණ හොඳින් සටහන් කළත් එතුළින් තම රුව පිළිබිඹු වීම වලකන්නට ඔහුට නොහැකිය.
කෙසේ වුවද, මේ කරුණ වෙනත් වෘත්තිකයන්ටද පොදුය. සැලසුම් ඉංජිනේරුවන් දෙදෙනෙකු පාලමක් සැලසුම් කරන්නේ එකම ආකාරයකට නොවේ. ශල් වෛද්යවරු දෙදෙනෙකු ශල් කර්මයක් කරන්නේද එක් අයුරකින්ම නොවේ. බොහෝ විට, පළමු අවස්ථාවේදී ගඟෙන් එගොඩ විය හැකිනම් සහ දෙවන අවස්ථාවේදී රෝගය සුවවේනම් වැඩේ කරන ආකාරය වැඩිදෙනෙකුට ප්රශ්නයක් නොවේ. එහෙත් ආර්ථිකය හා අදාළ කරුණු වලදී බොහෝ දෙනා මෙයට වඩා තරමක් සංවේදීය.


වැලිකඩ බන්ධනාගාරයේ තාප්පයට අනුව සිරකරුවන් මනුස්සයන් වන්නා සේම (මනුස්සයන්ට වඩා තරමක් ඉහළින් සිටින​ අමනුස්සයන්ව රඳවන්නට බන්ධනාගාර රෝහල කියා වෙනම තැනක් ඇති නිසා විය හැකිය.) ආර්ථික විද්යාඥයෝද මනුස්සයෝයෝය. ඔවුන්ට මිස්ටේක් වේ. ඇතැම් විට ඔවුන් ලෝකය දකින කණ්ණාඩි  තුළින් සම්පූර්ණ භූමි දර්ශනය නොපෙනේ. එවිට ඔවුන්ට පින්තාරු කිරීමට සිදුවන්නේ ඔවුන්ට පෙනෙන ලෝකයයි. නැතත් ඔවුන් පින්තාරු කරන සිතුවම් වල නිතැතින්ම ඔවුන්ගේ මුහුණු පිළිබිඹු වේ.
දීපශිකාට කුඩා කාලයේ සිටම ඉතා ලස්සනට චිත් අඳින්නට පුළුවන. චිත්රකතා පිස්සියක වූ දීපශිකාගේ පුංචි අම්මා කිවුවේ ලොකු වුණාම දීපශිකාත් සරත්මධු මෙන් ජනප්රිය චිත්රකතාකාරියක වනු ඇති බවයි.  දීපශිකා කුඩා කාලයේදී බොහෝ විට දීපශිකාව බලාගත්තේ එවකට ගැටවර වියේ සිටි මේ පුංචි අම්මාය. රැකියා විරහිතව නිවසේ කල් ගත කළ මේ තරුණිය දීපශිකාව බලාගැනීම වෙනුවෙන් වැයකළ යුතු ආවස්ථික පිරිවැය අවමයක් වූ නිසාය.


චිත් ශිල්පයට කොතරම් දස්කමක් දැක්වුවත් දීපශිකා ලොකු වී චිත්‍රශිල්පිනියක වූයේ නැත. එය ඇගේත් ඇගේ දෙමවුපියන්ගේත් ආර්ථික තීරණයන්හි ප්රතිඵලයකි. දෙමවුපියන්ට ඕනෑ කළේ ඇයව වෛද්යවරියක කිරීමටය. අනුව බයෝ කර ඉතා උසස් ලෙස​ ඇණගත් ඇය පසුව රූපලාවන්‍ය​ශිල්පිණියක වූවාය. දැන් බොහෝ දෙනා හමුවේ හිස නමති. දීපශිකා සේවය කරන රූපලාවන්‍යාගාරය අගනුවර සුපිරි වෙළඳ සංකීර්ණයක පිහිටි ප්රමුඛ තැනක් නිසා මේ සමහර අය කෙතරම් වැරදි කළත් වැලිකඩ බන්ධනාගාරයට කිසිදා නොවැටෙන, මනුස්සයන්ට වඩා ඉහලින් සිටින, අමනුස්සයෝය. සමහර නාකි ලොක්කෝ තවත් ලොකු තනතුරක් ලැබෙනවා කියන ආරංචියට කඩිමුඩියේ කොණ්ඩය ඩයි කරගැනීමට පැමිණ දීපශිකා හමුවේ කීකරු ලෙස හිස නමති. එවිට දීපශිකාට සිහිවන්නේ ඇය රත්නසේකර බාබර් හමුවේ පළමු වරට හිස නැමූ දිනයයි.
දීපශිකාගේ තාත්තා ඇයව පාගන බයිසිකලයේ පොල්ලේ හිඳුවාගෙන රත්නසේකරගේ බාබර් සාප්පුවට රැගෙන ගියේය. දීපශිකාට මතක හැටියට වන විට ඇගේ වයස අවුරුදු තුනක් තරම්ය. මේ ඇයට මතක හැටියට බාබර් සාප්පුවකින් මුලින්ම කොණ්ඩය කැපූ දිනයයි. ඊට පෙරත් එසේ කළා විය හැකිය. එහෙත් පිලිබඳ මතකයක් නැත.

බාබර් සාප්පුවේ සූ ගාලා දෙතුන්දෙනෙක් සෙනඟය​. එක්කෙනෙක් සිත්තර පත්තරේ බලයි. මුල පිටුවේ ටෝගාය. දීපශිකාගේ තාත්තානම් අතට ගත්තේ දවස පත්තරයයි. වටේටම කණ්ණාඩිය. දීපශිකාට තන්තෝසේ බැරිය. දීපශිකා විරිත්තයි. දීපශිකාගේ මූණම ඇති නෝටි කෙල්ලෝ හත්-අට දෙනෙක්ම දීපශිකාට විරිත්තති. දීපශිකා දිවදික්කරයි. නෝටි කෙල්ලෝද එසේම කරති.
රත්නසේකරගේ අවසන් පාරිභෝගිකයා පිටවූ සැණින් සැලූන් දොර ඉබේම වැසී ගියේය. දැන් දීපශිකාගේ වාරයයි. තාත්තා දීපශිකාව ඔසොවා උස් අසුනේ වාඩි කරවූයේය. දීපශිකාට කණ්ණාඩියෙන් රත්නසේකරගේ මුහුණ පෙනේ. ඔහු ඇඳ සිටින රතු ඉරි ඇති අත් කොට සුදු කමිසයද පෙනේ. දීපශිකා වාඩි වී සිටින අසුන උස් නිසා රත්නසේකර ඇඳ සිටින්නේ සරමක්ද කමිසයක්ද යන්න ඇයට නොපෙනේ. අඩු තරමින් රත්නසේකර කමිසය හැර වෙතත් ඇඳුමක් ඇඳ සිටීද යන්නවත් ඇයට නොපෙනේ.

තුවායක් රැගෙන රත්නසේකර දීපශිකාගේ ගෙල හොඳින් ආවරණය වන සේ එය උර වටා එතීය. ඉන් පසු ඔහු කළේ ප්ලාස්ටික් දිය බඳුනක දෑඟිලි ඔබමින් ඇගේ හිසට නිය අගින් දිය ඉසීමයි. දීපශිකාගේ රූපලාවන්යාගාරයේ මෙන් රත්නසේකරගේ බාබර් සාප්පුවේ ස්ප්‍රේයර්ස් නැත. වායු සමීකරණ හෝ විදුලි පංකා කිසිවක්ද​ නොමැති මේ බාබර් සාප්පුවේ උදේ සිට කොණ්ඩා-රැවුල් කපන රත්නසේකරට දාහය දැඩිව දැනේ. ඔහු නිය තුඩින් නළලේ දහඩිය පිට දමනු දීපශිකාට කැඩපතින් පෙනේ.
දීපශිකාගේ උර වටා එතුණු තුවායත්, කැඩපත් තුලින් පෙනෙන දීපශිකාට ගිණිය නොහැකි තරම් වූ පිළිබිඹුත් මිහිරි හැඟුමන් මවයි. ඇගේ කුතුහලය නිමක් නැත. රත්නසේකර බාබර් සාප්පුවේ ඇතුළු කාමරයකට රිංගනු දීපශිකාට පෙනේ. ඔහු පැමිණ ඉතිරි කොටස සම්පුර්ණ කරන තුරු දීපශිකා නොඉවසිලිමත්ව බලාසිටී. රත්නසේකර නැවත පැමිණියේය. කැඩපතෙන් පෙනෙන රත්නසේකරගේ පිළිබිඹුව තරමක් වෙනස්ය. අධික දාහය නිසා ඔහු කමිසය ගලවා ඇත. මුවේ දැල්වුණු සිගරට්ටුවෙකි.

රත්නසේකර දීපශිකාගේ කොණ්ඩය කපා අවසන් කළේය. ගෙල වටා පියරු මලෙකින් පියරු තැවරුණි. දැන් ආපසු ගෙදර යා හැක.

කොල්ලෙකුහේ මෙන් කොටට කපා ඇති දීපශිකාගේ කොණ්ඩයට පුංචි අම්මානම් මනාප වුනේ නැත. ඒත් දීපශිකාගේ අම්මානම් කිවුවේ හිසේ පිරී සිටී ලේඬීන් සුද්ද කිරීම දැන්නම් තරමක් ලේසි වනු ඇති බවයි. දීපශිකාටනම් කොහොමත් එකය.

පහු කාලයක සිය දහස් ගානකගේ හිස කෙස් සැකසු දීපශිකාට ඇගේ පළමු පරිභෝගිකාවිය හමු වූයේත් මේ අමතක නොවන දිනයේදීමය. ඇගේ පුංච් අම්මාය. දීපශිකාගේ සෙල්ලම් බාබර් සාප්පුවේ පළමු සහ එකම පරිභෝගිකාවිය වීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූවාය.

නිදන කාමරයේ කණ්ණාඩි අල්මාරිය ඉදිරිපිට අවශ් ආම්පන්න සියල්ල ලෑස්තිය. පුංචි අම්මාගේ ගෙල වටා තුවා කෙටියක් එතිණි. රතු මල් වැටුණු සුදු චීත්ත ගවුමකින් සැරසී සිටින දීපශිකා ප්ලාස්ටික් කෝප්පයට පොඩි ඇඟිලි තුඩු ඔබමින් පුරුදුකාරියක ලෙස පුංචි අම්මාගේ හිසට වතුර විදී. ඉන්පසු දීපශිකා සිය සිඟිති නිය තුඩින් නළල මඳක් සීරුවාය.


දැන් ඇත්තේ අවසාන අදියරයි. එයත් හරියටම කළ යුතුය. දීපශිකා මඳකට කාමරයෙන් පිටවිය. මඳ වේලාවකින් නැවතත් නිදන කාමරයේ දොර රෙද්ද මෑත් වෙනු දීපශිකාගේ පුංච් අම්මාට කැඩපතින් පෙනේ.

දීපශිකා නැවතත් කාමරයට ඇතුළු වේ. ඇගේ මුවේ හීනියට රෝල් කළ කඩදාසියකි. හැරුණු විට දීපශිකාගේ ඇඟේ නූල් පොටක්වත් නැත!

(චිත්‍රශිල්පියාගේ චිත්‍රය​ අද උදේ උණු උණුවේම ඉකොනොමැට්ටාගේ යාලුවෙක්ගෙන් ලැබුණු ඊ-මේල් එකකට ඇටෑච් කර තිබුණු එකකි. වියමනේ මුල් කොටසට එය ටිකක් විතර වස්තු බීජයක් විය. අනිත් දෙක අන්තර්ජාලයෙනි.)

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget