Wednesday, May 20, 2015

මුං මොක්කුද? කරන්නේ මොන මගුලක්ද?


ඉංජිනේරුවෝ පාලම් බෝක්කු හදති. පාරවලුත් හදති. සමහර වෙලාවට හැදූ පාරවල්ම නැවතත් හදති. කඩ කඩා නැවත නැවතත් හදති. කෝකියෝ චිකන් කරි හදති. ගෝදම්බ රොටීත් හදති. මේවා පරණ වන විට කොත්තුත් හදති. කරණවෑමියෝ කොණ්ඩා-රැවුල් කපති. සමහර වෙලාවට කණත් කපති. ගුරුවරු උගන්වති. හවසට සිල්ලර කඩත් කරති. දොස්තරලා ඊට වඩා ලොකු බිස්නස් කරති. සමහර වෙලාවට ලෙඩ්ඩු බලාත් බොහෝවිට නොබලාත් බෙහෙත් නියම කරති. දත් දොස්තරලා කටේත් මුදල් පසුම්බියේත් ඇති දත් ගලවති. සමහර දත් දොස්තරලා දේශපාලනයත් කරති. දේශපාලකයෝ බණ කියති. (හාමුදුරුවරු මේ බණ අසා පාඩුවේ සිටිති.) බයිලාත් කියති. (වඩා හොඳ විකල්පයක් නැති නිසා අපි මේ බයිලා අසා සිටිමු.) සමහර විට අපි වෙනුවෙන් අපිව ගස් බඳිති. (බොහෝ දේශපාලකයන් අපිව ගස් බඳින්නේ අදෘශ්‍යමාන කඹයකින් නිසා දෘශ්‍යමාන කඹයක් භාවිතා කර මේ ගස් බැඳීම සිදු කරන දේශපාලකයන්ට වැඩිපුර​ විවේචන එල්ල වේ. පවු නේද එයාලා?)

මේ බොහෝ වෘත්තිකයන්ගේ කාර්ය භාරය පිළිබඳව අපට සාමාන්‍ය​ අවබෝධයක් තිබේ. එහෙත් ආර්ථික විද්යාඥයන් (සිංහලෙන්නම් ඉකොනොමිස්ට්ලා) හැම තිස්සේම කරන කඩේ යාමට අමතරව කරන කාර්යභාරය පිළිබඳව වැඩි දෙනෙකුට අවබෝධයක් නැත. මේ නිසා, කඩේ යාමට නීතිඥයන්, කලා කරුවන්, මාධ්‍යවේදීන් වැනි වෙනත් පළපුරුදු වෘත්තිකයන් රැසක්ම සිටින රටකට ඔය වැඩේම කොරන්නට ඉකොනොමිස්ට්ලා කියා තවත් වර්ගයක් අවශ්‍ය​ වන්නේ මොන මගුලකටදැයි බොහෝ දෙනාට මතු වන පැනය ඉතා සාධාරණය.

උත්තරය ඇත්තේ මා කලින් සඳහන් කළ ආර්ථික විද්යාවේ පළමු නියමයේය. මනුස්සයාගේ ඕනෑ-එපාකම් වල කෙළවරක් නැත. බුදු කෙනෙක් පහළ වූ විටවත් රහත් වීමේ චාන්ස් එක හැමෝටම නොලැබෙන නිසා මේ මනුස්ස සොබාවය හැමදාමත් ඔහොම්මමය.

ඕනෑ-එපාකම් වල කෙළවරක් නැති වුනාට ඒ ඕනෑ-එපාකම් සපුරාගන්නට අවශ්‍ය කරන සම්පත් සීමිතය. ඒ නිසා කොච්චර හිතෙන් ලව් කළත් අපිට කරීනාව හෝ අමීර් ඛාන්ව සෙට් කර ගැනීමට නොලැබේ. හැමදාම හිල්ටන් එකෙන් කන්ඩ ලැබෙන්නේත් නැත. අඩුගානේ වීක් එන්ඩ් එකේ ට්‍රිප් එකට සෙට් වෙන්ඩවත් විදියක් නැත. ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දා බලා හිටියාට​ හිතූ තරම්ම ලයික් වැටෙන්නේද නැත.

අස්තිර වූ ඉස්ත්රී චිත්තයේ ඉස්තිර වූ ප්රේමයක් ඇතිවනතුරු බලා සිටීම අමාරු වුනත්, ඉකොනොමික්ස් ටිකක් දන්නවානම්, අතේ ඇති සීමිත සම්පත් ටික අපේ අසීමිත ආශාවන් සපුරා ගැනීම සඳහා යොදා ගත හැකි හොඳම පිළිවෙළ තෝරාබේරා ගැනීම පුත්තලමේ ගෝවා වවන තරම් අමාරු නැත. ඔය වැඩේ කරන්නට ඉකොනොමික්ස් ඉගෙන ගැනීම අත්යාවශ්යම දෙයක් නොවේ. අපි කාගේත් ඇඟේ ස්වාභාවිකවම පොඩ්ඩක් විතර ඉකොනොමික්ස් තිබෙන නිසාය. ඇඟේ  තිබෙන මේ ඉකොනොමික්ස් පොඩ්ඩ නිසා තීරණ ගැනීමේදී අපි හැම විටම අපට වැඩිම යහපතක් සැලෙසෙන තෝරාගැනීමක් කරන්නෙමු. ආර්ථික විද්යා භාෂාවෙන්නම් බොහෝ දෙනෙකු බොහෝවිට තාර්කික තීරණ ගනිති. මේ නිරීක්ෂණය පදනම් කරගෙන, සෑම දෙනෙකුම සෑම විටම තාර්කික තීරණ ගන්නේය යන උපකල්පනය මත මුලික ආර්ථික විද්යා න්යායයන් බිහි වී තිබේ.

සෑම දෙනෙකුම සෑම විටම තාර්කික තීරණ ගන්නේනම් ඉකොනොමිස්ට්ලා කියා වෙනම සත්ත්ව කොට්ටාසයක් ඕනෑ කරන්නේ නැත. ඔය කිවුවට තාර්කික තීරණයක් ගැනීම හැමවිටම කියන තරම්ම ලේසිපාසු නැත. ෂර්ට් එකේ ගැලවුණු බොත්තම ගෙදර එක්කෙනාට කියා අල්ලා ගත හැකි වුනත් අලුතින් ඇඳුමක් මහගන්නට අපිට සන්නාලියෙක් ඕනෑ කරයි. වගේම ගොටුකොළ ලියන කොට ඇඟිල්ල​ පොඩ්ඩක් කැපුනාම ගෙදරදීම ප්ලාස්ටරයක් දා ගත්තත් සිසේරියන් සර්ජරි එකක් කරන්නේ ගයිනකොලොජිස්ට් කෙනෙක් කන්සල්ට් කරලාය. ඔයාකාරයටම, අතේ මහගන්නට බැරි ලොකු ආර්ථික වියමනක් වියාගන්නට ඕනෑ වූ විට පිලිබඳ විශේෂිත අධ්යාපනයක් සහ පළපුරුද්දක් ඇති බුවෙක් සිටීනම් පට්ටය. ඉතිං ඉකොනොමිස්ට්ලා ඕනෑ වෙන්නේ ඔන්න ඔය කාරියටය. අතේ ඇති සීමිත සම්පත් ටික අපේ අසීමිත ආශාවන් සපුරා ගැනීම සඳහා යොදා ගත හැකි හොඳම පිළිවෙළ තෝරාබේරා ගැනීම සඳහා මේ අයගෙන් සපෝට් එකක් ගන්නට පුළුවන. ඒ ඉකොනොමිස්ට් කෙනෙකුගේ මූලික කාරියයි.

සිවිල්, මෙකනිකල්, ඉලෙක්ට්‍රිකල් ආදී වශයෙන් එක එක ජාතියේ ඉංජිනේරුවෝ සිටිති. ගයිනොකොලොජිස්ට්ලා, යුරෝලොජිස්ට්ලා හා කාඩියෝලොජිස්ට්ලා ආදී විවිධ වර්ගයේ දොස්තරලාද සිටිති. ඔයාකාරයටම, විවිධාකාරයේ ඉකොනොමිස්ට්ලාද සිටිති. ප්‍රධානම බෙදීම මයික්‍රෝ ඉකොනොමිස්ට්ලා සහ මැක්‍රෝ ඉකොනොමිස්ට්ලා වශයෙනි. මේ දෙගොල්ලන්ට ග්‍රීක් භාෂාවෙන් කියන්නේ (අනුපිළිවෙලින්) ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාඥයන් හා සාර්ව ආර්ථික විද්‍යාඥයන් කියාය. මයික්‍රෝ ඉකොනොමිස්ට්ලා පුද්ගල චර්යාවන්, සෞඛ්‍යය හෝ බලශක්තිය වැනි ආර්ථිකයේ විශේෂිත අංශයක් හෝ පෞද්ගලික සමාගම් වලට අදාළ කරුණු හදාරති. මැක්‍රෝ ඉකොනොමිස්ට්ලාගේ විෂය පථය රටේ සමස්ත ආර්ථිකයයි.

මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය වැනි තැන් වල වැඩිපුර සිටින්නේ මැක්‍රෝ ඉකොනොමිස්ට්ලාය. මයික්‍රෝ ඉකොනොමිස්ට්ලා බොහෝ විට වෙනත් බැංකු සහ පෞද්ගලික සමාගම් වල සේවය කරති. මේ දෙවර්ගයේම ආර්ථික විද්‍යාඥයන් අතර තියරි කාරයන් (ආර්ථික න්‍යයාචාර්යයන්) සිටින අතර ඔවුන් බොහෝ විට සිටින්නේ ප්‍රමුඛ විශ්ව විද්‍යාලයකට සම්බන්ධවය. ලංකාවේනම් මෙවැනි අය බොහෝ හිඟය. (ඉකොනොමැට්ටා එහෙම කවුරුවත් ලංකාවේ ඉන්නවාද කියා හරියටම දන්නේ නැත.) ලංකාවේ මෙන්ම වෙනත් රටවලත් සිටින ඉකොනොමිස්ට්ලා බොහොමයක් ව්‍යවහාරික ආර්ථික විද්‍යාඥයන් වන අතර තමන් තෝරාගත් ක්ෂේත්‍රයේ ප්‍රායෝගික ගැටළු වලට ආර්ථික විද්‍යා න්‍යායයන් භාවිතයෙන් විසඳුම් සොයති. මේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාඥයෝ (සිංහලෙන්නම් ඇප්ලයිඩ් ඉකොනොමිස්ට්ලා) ඔවුන්ගේ පර්යේෂණ සඳහා බොහෝ විට ආර්ථිකමිතික ක්‍රමවේදයන් (සිංහලෙන්නම් ඉකොනොමෙට්‍රික් ටෙක්නික්ස්) උපයෝගී කරගනිති. මේ හේතුව නිසා ඉකොනොමැට්ටාගේ විෂය ක්ෂේත්‍රය වන ආර්ථිකමිතිය ක්ෂුද්‍ර සහ සාර්ව අංශ දෙකෙහිම ව්‍යවහාරික ආර්ථික පර්යේෂකයෝ ඉතා වැදගත් ලෙස සලකති.

ඉකොනොමැට්ටා කෙසේ කීවත් සමහර වෙලාවට මේ ආර්ථික විද්යාඥයන්යයි කියා කියන අය කියන දේ තැම් විටෙක බයිලා ලෙසත්, බොහෝ විට​ වැල් බයිලා ලෙසත් හුදී ජනයාට ෆීල් වේ. එහෙම වෙන්නේ ඇයි කියා මීළඟ පෝස්ටුවකින් කතා කරමු.

(කාටූනය උපුටා ගත්තේ අන්තර්ජාලයෙනි.)

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget