Wednesday, June 10, 2015
කළු තක්කාලි සමඟ අඳුරේ දිලිසෙන සූකරයෙකුගේ මේද රහිත මස්
අපි දන්නා තක්කාලි අමුවෙන් කොළ පාටය. ඉදුණු විට රතු පාටය. පොල් සම්බෝලයකට එකතු කර අනාගත් විට උණු පාන් බාගයක් සමඟ ගිල දමන්නට මරුය. කරවල හොද්දකට එකතු කළ විටත් නියමය. හන්දියේ චීන අවන්හලෙන් ඇනවුම් කළ ඩෙවිල් කළ කුකුළු මස් දීසියේ කුකුළු මස් කෑලි සොයා ගත නොහැකි තරමට මාළු මිරිස් හා තක්කාලි පිරී ඇති විටනම් තක්කාලි එපා වේ.
පොල් සම්බෝල සමඟ ආවත්, ඩෙවිල් චිකන් සමඟ ආවත් තක්කාලි රතුය. ඒ ලංකාවේය. ලංකාවේ එහෙම වුනත් ඇමරිකාවේ එහෙම වෙන්නේ නැත. ඇමරිකාවේ සුපිරි වෙළඳසලකට ගොඩ වූ විට මේ රතු තක්කාලි වලට අමතරව කළු තක්කාලි, දුඹුරු තක්කාලි, කහ තක්කාලි සහ සුදු තක්කාලි ඇතුළු වයිවාරන්න තක්කාලි වර්ග හමුවේ. ඒ විතරක් නොවේ. දැන් ලංකාවේ දුලබ නැති සුදු මල් ගෝවා හෙවත් බ්‍රොකලි වලට අමතරව දම්, තැඹිලි හා කොළ පැහැති මල් ගෝවා වර්ග තිබේ. මේවා ජාන ඉංජිනේරු විද්‍යාවේ වැඩ කෑලිය. [කරුණාකර පසු සටහන බලන්න. ]
ජාන ඉංජිනේරු විද්‍යාව ලෙස හඳුන්වන්නේ ස්වභාවිකව සිදුවන පරිණාමීය ක්‍රියාදාමය සේපියන්සලා වන අපේ ඕනෑඑපාකම් අනුව වෙනස් කර ගැනීමයි. මේ වැඩේ අපි පටන් ගත්තේ අද ඊයේ නොවේ. අවුරුදු දහ-දොළොස් දාහකට කලින් කෘෂිකාර්මික විප්ලවය ඇරඹුණු අළුතමය. වැඩි අස්වැන්නක් ලබාදෙන බවබෝග වලට වැඩි සැලකිලි ලැබුණේය. කිකිළියන්ව පට්ටි ගැස්වීමට තෝරා ගත්තේ හොඳින් මස් ආරා ඇති මහතම කුකුළාය. මේ නිසා අළුත් පරම්පරාවල බවබෝග වැඩි අස්වැන්නක් ලබාදුන් අතර කුකුල්ලු වඩාත් තරබාරු වූහ. කෙසේ වුවද මේ දේවල් පහු වී හෝ ස්වභාවිකවමත් සිදුවිය හැකිව තිබුණි.
අඳුරේ කොළ පැහැයෙන් දිලිසෙන සුදෝ සුදු හා පැටියෙක් සුරතලෙකු ලෙස තබා ගන්නට ඔබ කැමතිද? අවුරුදු දහස් ගණනක් බලා සිටියත් මෙවැනි සතෙකු ජාන විකෘතියක් හා ස්වභාවික වරණය තුළින් බිහිවීමට ඇත්තේ ඉතා අඩු ඉඩකඩකි. ඒත් අප දැන් අඳුරේ දිලිසෙන හාවුන්, මීයන්, වඳුරන්, පූසන් මෙන්ම ඌරන්ද බිහි කරගෙන ඇත්තෙමු. ඒ මෙසේ දිලිසෙන ජෙලිෆිෂ් කෙනෙකුගේ ජානයක් කෘතිමව එකතු කිරීමෙනි. වෙනත් ශාකයක ජානයක් එකතු කර තක්කාලි ගෙඩියක පැහැය වෙනස් කර ගන්නා අයුරින්මය. මේ ආකාරයෙන්ම වැඩි කලක් ජීවත් විය හැකි, බුද්ධියෙන් දියුණු හා පූසන්ට බය නැති මීයන් ජාන තාක්ෂණය භාවිතයෙන් බිහි කරගැනීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ.
වැඩි කලක් ජීවත් විය හැකි මීයන් අපට අවශ්‍ය වන්නේ ඇයි? ඇත්තටම අපට මේ මීයන්ගෙන් වැඩක් නැත. එහෙත්, මේ පර්යේෂණ වල සාර්ථකත්වයෙන් පෙනෙන්නේ සේපියන්සලා වන අපටත් ජාන තාක්ෂනය මගින් ආයුෂ වැඩි කර ගැනීමේ හැකියාව ඇති බවයි. එය පමා වන්නේ මිනිසුන් සඳහා ජාන තාක්ෂණය යොදා ගැනීමට ඇති නීතිමය හා සදාචාරාත්මක තහංචි නිසා පමණි.
ජාන තාක්ෂණය මඟින් බිහිකළ පිරිමි මදුරුවෝ දැන් ලොව පුරා ගැහැණු ඩෙංගු මදුරුවන් (මැදිරියෝද? අනේ මන්දා) සමඟ එකතු වෙමින් ඩෙංගු බෝ නොකරන ජනිතයෝ බිහි කරති. කොලෙස්ටරෝල් ඇති අයට ඌරු මස් කෑමට ඇති බාධක මඟ හරිමින් අහිතකර සංතෘප්ත මේද වෙනුවට හිතකර අසංතෘප්ත මේද වලින් පිරුණු ඌරන්ද ජාන තාක්ෂණයෙන් බිහි වී තිබේ. අපේ සංකල්ප තුළ ජීවත්වන නරසිංහයෙකු, ගජසිංහයෙකු මෙන්ම අත්-දොළසක් හෝ හස්ති ශීර්ෂයක් ඇති දෙවියෙකු බිහි කර ගැනීමද තව දුරටත් හිතළුවක්ම නොවේ.
ජාන තාක්ෂණය මඟින් සිදු කළ හැක්කේ දැනට ජීවත්වන සතෙකුගේ හෝ ශාකයක ජානයක් වෙනත් සෛලයකට එකතු කිරීම පමණක් නොවේ. එමඟින් දැනට වඳ වී ඇති සතෙකු නැවත බිහි කර ගැනීමද කළ හැක්කක් වන අතර අපි එය දැනටමත් කරමින් සිටිමු. වසර හාරදහසකට පෙර මියගිය අයිස් ඒජ් චිත්‍රපටියේ මැනීගේත් එලීගේත් එකම දියණිය පීචස් ආසියානු ඇතින්නියකගේ කුසින් ඇමරිකාවේදී ඉදිරි වසර කිහිපය තුළ නැවත ඉපදීමට ඇත්තේ ලොකු ඉඩකි. හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් මේ වන විටත් අධික ශීතලට ඔරොත්තු දීමට අවශ්‍ය වන ඇඟ වසාගත් ලොම් හා අමතර මේද ස්ථර ආදිය මැමත්ලාට උරුම කරදුන් ජාන 14ක් සජීවී හස්ති සෛලයකට සාර්ථකව එකතු කර තිබේ.
නියන්ඩතාල් ජෙනෝමය මේ වන විට පරිගණකගත කර ඇති අතර එය සේපියන් ජෙනෝමයට 99%ක පමණ සමානත්වයක් දරයි. (චිම්පන්සි ජෙනෝමයද මේ තරමටම හෝ මීටත් වඩා සේපියන්ස් ජෙනෝමයට සමානය.) අපට අවශ්‍යනම් හස්ති කළලයක් වෙනස් කර මැමත් කෙනෙකු බිහිකර ගන්නා අයුරින්ම සේපියන් කළලයක් වෙනස් කර නියන්ඩතාල් දරුවෙකු බිහි කර ගැනීමටද බැරිකමක් නැත.
සේපියන්ස්ලා වන අපේ හැකියාවන් අසීමිත ලෙස පුළුල් වී තිබේ. අපි මේ හැකියාවන් නිදහසේ භාවිතා කරන්නෙමු. එහෙත් ඒ කුමක් සඳහාදැයි අපි නොදනිමු. අවබෝධයකින් තොරව තුවක්කුවක් අතින් ගත් තණ්හා රතී රඟාහි සිරිතුංගගේ දරුවාට වඩා අපි වෙනස් නොවෙමු. ඒත් අපේ අතේ ඇති අවිය ඊට වඩා සියදහස් වාරයක් ප්‍රබලය. බ්‍රහ්මයාගේ මැවීමේ බලයත් ඊශ්වරයාගේ විනාශ කිරීමේ බලයත් දෙකම එහි තිබේ.
(ඡායාරූප අන්තර්ජාලයෙනි. ඇතැම් කරුණු හා අදහස් සඳහා හරාරිගේ පොත පාදක වී තිබේ.)
පසු සටහන: කළු තක්කාලි ඇතුළු වෙනස් පැහැයෙන් යුතු එළවලු ජාන වෙනස් කළ ප්‍රභේදයන්ය යන්න නිවැරදි නොවිය හැකියැයි සිතමි. මේ වෙනස් පැහැයෙන් යුතු එළවලු ලෝකයේ ඇතැම් ප්‍රදේශ වල ස්වභාවිකව තිබී ඇති බව හා යම් රසායනයන් වැඩිපුර එක් කර ගැනීමෙන්ද බිහි කර ගත හැකි බව වැඩිදුර කරුණු සොයා බැලීමේදී දැනගත හැකි විය. කෙසේ වුවද, ඇමරිකන් වෙළඳපලේ පළතුරු වැනි නැවුම් ආහාරද ඇතුළුව ජාන වෙනස් කළ ආහාර ද්‍රව්‍ය රැසක් දැනටත් විකිණෙන බවද, තක්කාලි වර්ගද එසේ විකුණා ඇති බවද, ජාන තාක්ෂණයෙන් මෙවැනි වෙනස් ප්‍රභේද බිහිකර ගත හැකි බවද තහවුරු කළ හැකි කරුණුය. ඇමරිකන් වෙළඳපලේ ජාන තාක්ෂණයෙන් බිහි කළ ආහාර විකිණීමේදී ඒ බව සඳහන් කිරීම අනිවාර්යය නොවන නිසා ඒවා හරියටම අඳුනා ගැනීම අසීරුය.
Subscribe to:
Post Comments (Atom)
these frankenstein food can cause genetic mutation
ReplyDeleteඅඩේ ට්‍රැන්සි, ඔයැයිට පුලුහන්නෙ GM foods ගැනයි ඒවයෙ හිතකොර අහිතකොර බලපෑම් ගැනයි යමක් ලියන්ට හිටං......
Deleteජාන වෙනස් කරන ලද (GM) තක්කාලි කඩවල්වල ගන්න ඇති යැයි මං හිතන්නේ නෑ, ඇමරිකා එජ්සත් ජනපදයේ වුනත්. ඔස්ටේර්ලියාවේ නම් හදන්න අවසර ඇත්තේ GM කැනෝලා විතරයි මං දන්න තරමින්. Please verify.
ReplyDeleteවිවිධ වර්ණ තක්කාලි, බ්‍රොකොලී, ඇස්පරගස් ආදිය ඇමරිකාවේ ඇතැම් සුපිරි වෙළඳසල්වල (මෑතක සිට) වසර පුරාම විකිණේ. බැලූ බැල්මට වෙනසක් නොපෙනුණත් GM අර්තාපල්ද අඩු නැත. GM බව සඳහන් කිරීමද (ඉතා මෑතකදී වෙනසක් නොවීනම්) අනිවාර්යය නැත. මේවා විකිණීම සඳහා FDA අනුමැතිය අවශ්‍ය වුවත් ඇමරිකාවේදී මේ අනුමැතිය ලබාගැනීම විශේෂයෙන් අමාරු වැඩක් නොවේ. (සාමාන්‍ය ආහාර ද්‍රව්‍ය සඳහාද මේ අනුමැතියම අවශ්‍යය.) ඇමරිකාවේ නියාමනය සිදුවන ආකාරය පිළිබඳව දල අදහසක් අවශ්‍යනම් මෙහි විස්තර ඇත. http://www.fda.gov/downloads/food/populartopics/ucm385844.pdf. ඕස්ට්‍රේලියාව ගැන මට දැනුමක් නැත.
DeleteGM or Hybrid?
DeleteI noticed most of these colored varieties on shelves recently. It was my impression that they could be GM since a hybrid can't add a trait that has never been existed. For example, one of my friends was working on developing a red variety of apple (not outside, the inside) a few years ago. I could be wrong and this particular type of tomato could be a hybrid. However, GM tomatoes have been approved by FDA for consumption (They were red varieties) in the past and I know for sure that GM potatoes are on shelves for many years. When I read I realized that GM canola and cotton are the only crops allowed in Australia but Aus can import and sell other GM food.
Deleteඉකොනොමැට්ටාගෙ බ්ලොග් එක නං හරිම රසවත්.
ReplyDeleteවිද්‍යා ප්‍රබන්ධයක තිබුනා මිනිස්සුන්ගෙ දුර්ගුණ අයින් කරල 'හොඳ' මිනිහෙක් බිහිකිරීම ගැන. මට මතකයි ඒ වෙද්දි ක්‍රීඩා එහෙම ලෝකෙන් ඉවත් වෙලා කියල තිබුන. මොකද ජාන වෙනස් කරල මිනිස්සු හදන්න පුළුවන් එකේ තරග තැබීම නීරස වෙන්න පුළුවන් කියල.
ස්තුතියි, රාජ්! ඔය තරඟයේ අනාගතය ගැනත් මම පසුව කතා කරන්නම්.
Deleteසතෙක් නොමරා මස් වගා කිරීම කරන්න පුළුවන්ද? මේක කාලයක් තිස්සෙ මගේ ඔලුවෙ තියන ප්‍රශ්නයක්. එහෙම ක්‍රමයක් තවම හොයාගෙන නැතිද? උදාහරණයක් විදියට ඌරෙකුගෙ සෛල හරි මොනව හරි අරගෙන විද්‍යාගාරයේ කෘතීමව වර්ධනය වන ආකාරයේ සැකැස්මක්?
ReplyDeleteඔබ මට තවත් ලිපියකට අදහසක් ලබාදී තිබෙනවා.
Deleteපුළුවනි.. ඇමරිකාවේ මේ ගැන දැනටත් සාර්ථක පරීක්ෂණයන් අත්හදා බලා අවසන්ය කියලා මම වාර්ථාවක දැක්කා.. ඉකොනො, ඒ ගැන ලියන එකනම් සෑහෙන්න වටිනවා..
Delete//අවබෝධයකින් තොරව තුවක්කුවක් අතින් ගත් තණ්හා රතී රඟාහි සිරිතුංගගේ දරුවාට වඩා අපි වෙනස් නොවෙමු. // සහතිකම ඇත්ත. සේපියන්ස්ලා යනු අවබෝධයෙන් තොරව තුවක්කු අතට ගත් අය බව හැම නව සොයා ගැනීමකින්ම පසුව ඔප්පු කර ඇති පිරිසකි. රාජ් පවසන ක්‍රමය සොයාගත්තොත් සත්ව හිංසනය නතර කරගැනීමට ලොකු උදව්වක් වේවි
ReplyDeleteසාරිකා, රාජ්ගේ සිහිනය තාක්ෂණික වශයෙන්නම් දැනටම සැබෑ වී ඇති සිහිනයකි. එහෙත්, අවශ්‍ය ආර්ථික සාධක තවම සම්පූර්ණ වී නැත. ඒ සඳහා රාජ්ලා මහ ගොඩක් අවශ්‍යයය. ඉඩ ලැබෙන පරිදි මීළඟ සටහනකින් වැඩි විස්තර කතා කරමු.
Delete