Thursday, August 24, 2017

දවල් තාරකා, අමාවක සඳ සහ යතාර්ථය


සාමාන්‍යයෙන් දවල් තාරකා දැකිය නොහැකිය. අමාවක සඳද දැකිය නොහැකිය. දවල් අහසේ තාරකා නොපෙනුණත්, රෑ මෙන්ම දවාලේත් තාරකා අහසේ ඇති බවත්, ඒවා නොපෙනෙන්නේ ඉර එළියේ දීප්තිය නිසා බවත් අපි දනිමු. ඒ, ඒ බව අප ඉගෙනගෙන ඇති බැවිනි. එමෙන්ම, අමාවක දිනයේද අහසේ හඳ ඇති බවත්, එය අපට නොපෙනෙන්නේ එහි පිහිටීම අනුව හඳේ අපට පෙනෙන පැත්තට ඉර එළිය නොවැටෙන බැවින් බවත් අපි දනිමු. එයද අප දන්නේ ඒ බව අප විසින් ඉගෙනගෙන ඇති බැවිනි. දවල් තාරකා හා අමාවක සඳ අපට සාමාන්‍යයෙන් අපේ දෑසින් ප්‍රත්‍යක්ෂයෙන් දැකිය නොහැකිය. එසේ ප්‍රත්‍යක්ෂයෙන් දැකිය නොහැකි දවල් තාරකා හා අමාවක සඳ යථාර්තයක්යැයි අප සිතන්නේ එක්කෝ තර්ක ඥානයෙනි. එසේ නැත්නම් ඒවා පවතින්නේයැයි අපට කියන අයෙකු විශ්වාස කිරීම නිසාය.

දවල් අහසේ තාරකා ඇති බවත් අමාවක දින අහසේ හඳ ඇති බවත් මිනිස්සු වසර දහස් ගණනක සිට දැන සිටියහ. එපමණක් නොව කිසියම් නිශ්චිත මොහොතක මේ ආකාශ වස්තු අහසේ තිබෙන තැන හරියටම කියන්නටද ඔවුන්ට හැකි විය. ඔවුන්ට එසේ කියන්නට හැකි වුනේ රෑ දකින තරු වල පිහිටීම වෙනස්වන ආකාරයත්, හඳේ වක්‍රය දවසින් දවස වෙනස් වන ආකාරයත් නිරීක්ෂණය කර මේ ආකාශ වස්තූන්ගේ සාපේක්ෂ චලනයන් පිළිබඳව ප්‍රවාද ගොඩනඟාගන්නට ඔවුන් සමත් වූ බැවිනි.

මේ ප්‍රවාද "නිවැරදි බව තහවුරු කරගන්නට" ඔවුන්ට කලාතුරකින් අවස්ථාවක් ලැබුණේය. ඒ පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවන දවසකදීය. පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවන අවස්ථාවක දවල් තාරකා මෙන්ම අමාවක හඳද දෑසින් දැකිය හැකිය.

ප්‍රවාදයක් නිවැරදි බව තහවුරු කරගැනීමට ප්‍රවාදය හා ගැලපෙන ප්‍රත්‍යක්ෂ නිරීක්ෂයක් මෙන්ම ඒ ප්‍රත්‍යක්ෂ නිරීක්ෂණය නිසා ප්‍රවාදය තහවුරු වන බවට විශ්වාසයක්ද අවශ්‍ය වේ. පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවන විට තමන් දැන සිටින හා විශ්වාස කරන ප්‍රවාදය අනුව හඳ හා තාරකා තිබිය යුතු තැන්වල ඒවා තිබෙන බව නිරීක්ෂණය කළ හැකිය. ඒ නිරීක්ෂණය විසින්, පෙර කී ග්‍රහ වස්තූන් අදාළ තැන් වලට පැමිණියේ ප්‍රවාදයෙන් විස්තර කරන ආකාරයට බව තහවුරු නොකළත්, එසේ  විශ්වාස කිරීම වඩා පහසු කරයි.

මේ ලිපිය ලියන්නට පටන්ගත් පසුගිය සඳුදා (අගෝස්තු 21) ඇමරිකාවේ ගම් නගර ගණනාවකට කලකට පසු පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශනය විය. මහාද්වීපික ඇමරිකාවේ හැම තැනකටම වාගේ මෙය අඩු වශයෙන් අර්ධ සූර්යග්‍රහණයක් ලෙස දිස්විය.

වසර 1-2 කට වරක් ලෝකයේ කොතැනකට හෝ පූර්ණ සූර්යග්‍රහණයක් දිස්වන නමුත් පෘථිවිය මත කිසියම් නිශ්චිත ස්ථානකට පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශනය වන්නේ සාමාන්‍ය වශයෙන් වසර 375කට පමණ වරකි. ඒ නිසා, පූර්ණ සූර්යග්‍රහණයක් දකින්නට ලැබීම බොහෝ දෙනෙකුට ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන අවස්ථාවකි.

සඳුදා සිදුවූ සූර්යග්‍රහණයද මා ජීවත්වන නගරයට පූර්ණ සූර්යග්‍රහණයක් සේ දිස් නොවුණේය. එසේ දැක ගැනීමටනම් මා විසින් අඩු වශයෙන් සැතපුම් දෙසීයක්වත් දකුණට යා යුතු විය. එහෙත්, පසුගිය සඳුදා දිනය මගේ රැකියාව හා අදාළ සුවිශේෂී දිනයක් වූ නිසා සූර්යග්‍රහණය ගැන මාස ගණනකට පෙර දැන සිටියත් නිවාඩුවක් ගන්නට හැකියාවක් තිබුණේ නැත.

කෙසේ වුවද, මා ජීවත් වන නගරයේ සිට සූර්යයාගෙන් 92%ක්ම වැසෙනු පෙනෙන්නට නියමිතව තිබුණු නිසා පූර්ණ සූර්යග්‍රහණය දකින්නට නොලැබුණද විශාල පාඩුවක් නොවනු ඇති බව මගේ පූර්ව විශ්වාසය විය. මීට පෙර ඉරෙන් 8%ක් පමණක් නිරාවරණය වී තිබුණු අවස්ථාවක් දැක නොතිබුණු නිසා මගේ විශ්වාසය වූයේ ඉර එතරම් වැසුණු විට පොළොව සෑහෙන තරමට අඳුරු වනු ඇති බවයි. ඒ නිසා, ගෙදර සිටම සූර්යග්‍රහණය නැරඹීමට සැලසුම් කළෙමි.

එහෙත්, අවසානයේදී මගේ බලාපොරොත්තු ඒ අයුරින්මනම් ඉටු නොවුණේය. ඉරෙන් 92%ක් ආවරණය වුවද ඉතිරි 8% නිසා ලැබුණු ආලෝකය පමණක් වුවද සැලකිය යුතු මට්ටමක තිබුණු අතර ඉරෙන් 80%ක් පමණම ආවරණය වී තිබියදීත් පොළොවේ කිසිදු වෙනසක් නොපෙනුණේය. ඉරෙන් 85-90%ක් පමණ ආවරණය වෙද්දී, ඉර එළියේ දීප්තිය තරමක් අඩු වුවත් ඉර වලාකුළු වලින් වැසුණු අඳුරු දිනයක ඇතිවන අඳුරට වඩා මේ අඳුර දැඩි නොවුණේය.

සූර්යග්‍රහණ ගැන කෙතරම් කියවා, අසා තිබුණත් එය දෑසින් දකින විට ලැබෙන අත්දැකීමට ඒ කිසිවක් සමකළ නොහැකිය.

ලංකාවට අවසන් වරට පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශනය වී ඇත්තේ 1955 ජූනි 20 දිනය. ඒ වන විට මා ඉපදී නැත. මේ සූර්යග්‍රහණය පැවතෙද්දී ලංකාවේ බොහෝ දෙනෙකු විසින් ඡවි කල්‍යාණය වර්ධනය කර ගැනීමට වදකහ යුෂ බීමෙන් සිදු වී ඇති අකරතැබ්බය බොහෝ දෙනෙකු දනිති. මේ ගැන මම විස්තර කරනවාට වඩා සී ඩී ෆොන්සේකාගෙන්ම අහන එක හොඳය.



මේ සිද්ධිය බොහෝ දෙනෙක් විස්තර කරන්නේ හොර වෙදෙකුට මුළු රටම රැවටුණු සුවිශේෂී අවස්ථාවක් ලෙසිනි. අදාළ සිද්ධිය මතක තිබෙන වැඩිහිටියන් කියන ආකාරයට මේ වදකහ කතාව ප්‍රවර්ධනය කරන්නට ඒ දවස්වල බොහෝ දෙනෙකු ඉදිරිපත් වී ඇති අතර අන්තිමට වැඩේ වැරදුණු පසු පොලීසියට කුදලාගෙන ගොස් නඩු දමා තිබෙන්නේ එක් අයෙකුට පමණි. ඒ පුද්ගලයාද අන්තිමේදී නිදහස් වී තිබේ. ඒ ඔහු දැනුම් දී ඇත්තේ වදකහ යුෂ තේ හැන්දක් පානය කිරීමට පමණක් බැවින් හා එම මාත්‍රාව අහිතකර නොවන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා විසින් පෙන්වා දී ඇති බැවිනි.

කොහොමටත් ලංකාවේ බොහෝ දෙනෙක් එකතු වී කරන වැඩ වැරදුණු විට බොහෝ විට සිදුවන්නේ කට්ටියම එකතු වී එක් අයෙකු මත වරද පැටවීමයි. අන්තිමට ඔහුත් වරදින් නිදහස් වීමෙන් ප්‍රශ්නය කෙළවර වේ. 

ඉහත පුරුද්ද වගේම ක්ෂණික ප්‍රතිඵල ගන්නට ඖෂධ අධි මාත්‍රා ගැනීමේ පුරුද්දත් වසර හැටකට පසුවත් ලාංකිකයින් වෙතින් ගිලිහී ගොස් නැති තවත් පුරුද්දකි. ලංකාවේ නිපදවන ආහාර බොහොමයක අහිතකර රසායන තිබෙන්නේ ඒවා නිපදවන සමාගම් වල වැරැද්දෙන්ම නොව වඩා හොඳ ප්‍රතිඵල ගන්නට අනුමත ප්‍රමාණ ඉක්මවා ඒවා යෙදීම සාමාන්‍ය භාවිතාවක් වී ඇති බැවිනි.

සූර්යග්‍රහණය වෙලාවේ වදකහ යුෂ පානය කළ විට සම පැහැපත් වන බව ඒ කාලයේ ලාංකිකයින් රැසක් විශ්වාස කර ඇති බව පෙනේ. එමෙන්ම, හමෙන් හෝ සුද්දන් වෙන්නට ඒ දවස්වලත් විශාල උවමනාවක් තිබී ඇති බව පෙනේ. වදකහ නිසා ලස්සන වන බවට පැවතී ඇති විශ්වාසය පමණක් නොව ලස්සන කියන එකද අවසාන වශයෙන් විශ්වාසයකි.

මෙවර සූර්යග්‍රහණය සිදු වෙද්දී ඇමරිකාවේ වදකහ යුෂ හෝ සම පැහැපත් කරන ඖෂධ ප්‍රවර්ධනය කෙරුණේ නැතත් ඒ සිද්ධිය මුල් කර ගෙන ඇසේ පැළඳීමට ආරක්ෂක කණ්ණාඩි විශාල ලෙසත්, පොත්, තොරතුරු පත්‍රිකා, ටී ෂර්ට්, කෝප්ප ආදිය තරමක් දුරටත් අළෙවි කෙරුණේය.

නාසා ආයතනය විසින් අනුමත කළ කණ්නාඩියක් පළඳා මිස පියවි ඇසින් හෝ සාමාන්‍ය අවු කණ්ණාඩි පළඳා ඉර දෙස නොබැලිය යුතු බව විශේෂයෙන් අවධාරණය කෙරුණු අතර ඒ නිසා සූර්යග්‍රහණ දිනය ආසන්න වෙද්දී මේ ආරක්ෂක කණ්ණාඩි වල මිල කිහිප ගුණයකින් ඉහළ ගියේය. කෙසේ වුවද, බොහෝ තැන් වල මේ කණ්නාඩි නොමිලේ බෙදා හැරීමද සිදුවිය. "නොමිලේ" කිවුවත් ඇත්තටම වුණේ ලංකාවේ දන්සැල් වලදී මෙන් කිසිවෙකු විසින් වෙනත් අය වෙනුවෙන් වියදම දැරීමයි.

මාධ්‍ය මඟින් දැඩි ලෙස අවධාරණය කෙරුණු පරිදි, මෙවැනි ආරක්ෂක කණ්ණාඩි නැතිව ඉර දෙස බැලීමෙන් පෙනීම ස්ථිර ලෙසම නැති වී යාමේ අවදානමක් තිබුණේය.

සූර්යග්‍රහණයක් ඇති විටක හෝ නැති විටක ඉර දෙස කෙළින් බැලූ විට ඉරේ අධික දීප්තිය නිසා ඇසේ යෂ්ඨි සෛල ඒවායේ උපරිම මට්ටම දක්වා සංවේදී වෙයි. වැඩි වෙලාවක් මෙසේ බලා සිටි විට ඒවා එක් අන්තයක හිර (stuck) වන අතර නැවත සාමාන්‍ය තත්ත්වයට පැමිණීමට කිසියම් වෙලාවක් යයි. මේ කාලය අතර තුළ නැවත සාමාන්‍ය ආලෝකය දෙස බැලූ විට "ඇස් නිලංකාර වී" කිසිවක් නොපෙනේ. 

ස්ථිර අන්ධභාවය දක්වා දුරදිග යාමට ඉඩ ඇති මේ තාවකාලික අන්ධභාවයට හේතුව මොළය දෘෂ්ඨිය හා අදාළ සංඥා විශ්ලේෂණය කරන්නේ සාපේක්ෂ පදනමකින් වීමයි. දැඩි ආලෝකයකට ඇස් නිරාවරණය වූ විට ටික වෙලාවක් යනතුරු සාමාන්‍ය ආලෝකය පෙනෙන්නේ අඳුරක් දෙසිනි. පොළොව යට පිහිටි උමඟක් වැනි තැනක දැඩි අඳුරේ වැඩි වෙලාවක් සිටිය විට යෂ්ඨි සෛල අනෙක් අන්තයේ හිර වීම නිසාද මෙවැනිම දෙයක් සිදුවිය හැකිය.

රබර් පටියක් ඕනෑවට වඩා ආතතියකට ලක් කළ විට හෝ දුනු දඟරයක් (spring) ඕනෑවට වඩා පීඩනයකට ලක්කළ විට මෙන් දැඩි ආලෝකයකට හෝ දැඩි අඳුරකට විශාල වෙලාවක් නිරාවරණය වීමෙන් පසු ඇසේ යෂ්ඨි සෛල නැවත යථා තත්ත්වයට පත් නොවී එසේම තිබීමේ අවදානමක් තිබේ. 

සාමාන්‍යයෙන් සිරුරේ කිසියම් කොටසකට හානි පැමිණෙන්නට පෙර මොළය අපට අනතුරු ඇඟවීමක් කරයි. ඒ වේදනාවක් දැනෙන්නට සැලැස්වීම මඟිනි. එහෙත්, ඉහත අවස්ථා වලදී මොළය එසේ වේදනාවක් දැනෙන්නට සලස්වන්නේ නැති නිසා කිසියම් පුද්ගලයෙකු ස්ථිර අන්ධ භාවයට පත් වන තුරුම වුවත් ඉර දෙස බලා සිටින්නට ඉඩ තිබේ. සාමාන්‍ය අවස්ථාවක ඉර දෙස බලා සිටීම පීඩාකාරී වුවත් සූර්යග්‍රහණයක් සිදුවන විටක එය එසේ නොවන නිසා එවැනි අවස්ථාවක ස්ථිර ලෙස ඇස් අන්ධ වීමේ අවදානම වැඩිය.

ඇතැම් විට ඉතිහාසය පුරා වරින් වර සූර්යග්‍රහණ අවස්ථාවල ඉර දෙස බැලූ ඇතැම් අයගේ දෑස් ස්ථිර ලෙස අන්ධ වූවා විය හැකිය. සූර්යග්‍රහණ "අපල" ගෙන දෙන බවට වන මතයක් ඇති වන්නටද මෙය හේතුවක් වූවා විය හැකිය. කෙසේ වුවද මෑත වසර වලදී මෙවැනි සිද්ධි වාර්තා වී නැති තරම්ය. ඇතැම් කසිණ භාවනා වල ආරම්භක අදියරේදී කරන්නේද ඇසේ කිසියම් කේතු සෛල හෝ යෂ්ඨි සෛල ප්‍රභේදයක් එක් අන්තයක කෙළවර දක්වා උත්තේජනය කිරීම විය හැකිය.


අපේ පෙනීම සිදුවන යාන්ත්‍රනය ගැන මගේ පෙර ලිපි ගණනාවකම කතා කර තිබේ. අප විසින් "මම" ලෙස හඳුනාගන්නා පුද්ගලයාව සංස්කරණය කරගැනීමට දායක වන අපේ ඉන්ද්‍රියයන්ට ලැබෙන බාහිර සංඥා අපේ මොළය තුළ විශ්ලේෂණය කෙරෙන ක්‍රියාවලියේදී මොළයට වැඩිපුරම තොරතුරු ලබාදෙන ඉන්ද්‍රිය ඇසයි. ඒ නිසා අප දන්නා ලෝකය යනු බොහෝ දුරට අප දකින ලෝකයයි.

පසුගිය සතියේ පළ කළ ලිපියකට ප්‍රතිචාර දක්වමින් මධ්‍යස්ථ මතධාරියා විසින් ලියා තිබුණේ මිනිසෙකු යනු කාබනික යන්ත්‍රයක් බවයි. අපේ හැඟීම් දැනීම් මෙන්ම අප විසින් සංස්කරණය කර ගන්නා ලෝකය නිර්මාණය වන ආකාරය කෙරෙහි බලපාන රසායනික ක්‍රියාකාරකම් සැලකූ විට ඔහු යෝජනා කරන වචනය නරක එකක් නොවේ. මේ කාබනික යන්ත්‍රයටද වෙනත් ඕනෑම යන්ත්‍රයකට මෙන් එය නිර්මාණය වී ඇති සැලසුමේ සීමාවන් අතික්‍රමණය කිරීම ඉතා අපහසු කාර්යයකි.

අප 'දකින' යතාර්ථය යනු බොහෝ විට අපේ දෑස් අබියස ඇති බව අපේ මොළය අපට කියන දෙයයි. මේ යථාර්තය සංස්කරණය කිරීම සඳහා මොළය විසින් උපයෝගී කර ගන්නා දෘශ්‍ය සංඥා කේතනය කර විද්‍යුත් සංඥා බවට හරවා දෘෂ්ඨි විතානයේ සිට මොළයට සම්ප්‍රේෂණය කිරීමටත් මොළයේ මතක සෛල වල ඇති තොරතුරු සමඟ සසඳමින් ඒ විද්‍යුත් සංඥා විශ්ලේෂණය කර අප දකින ලෝකය නිර්මාණය කිරීමටත් අපේ ඇස හා මොළය සම්බන්ධ කාබනික උපාංගයට කිසියම් අවම කාලයක් ගතවේ. ඒ නිසා අප දකින ලෝකය හැම විටම වාගේ "අතීතය" වනවා පමණක් නොව මේ කුඩා කාලාන්තරය තුළ "බාහිර පරිසරයේ" සිදුවන වෙනස්කමකට මිනිස් යන්ත්‍රය සංවේදී නැත. මෙය තරමක් දුරට පරිගණකයක් විසින් කෙටි කාලාන්තර ඇතුළත, එකිනෙකට සුළු වශයෙන් වෙනස් දෘශ්‍ය රාමු ගණනාවක් වේගයෙන් මාරු කිරීම මඟින් චලනයක් සිදු වන බව අපට ඒත්තු ගැන්වීම වැනි දෙයකි.

ලෝකයේ පවතින හැම දෙයක්ම හැම මොහොතකම වෙනස් වෙමින් පවතීනම් උත්පාද හා භංග හැර ස්ථිතියක් පවතින්නේ කෙසේද යන්න ඇතැම් අයෙකුට මතු විය හැකි ප්‍රශ්නයකි. ඇතිවීමක් හා නැතිවීමක් ඇත්නම් ඒ දෙක අතර පැවැත්මක්ද තිබිය යුතුය. පැවැත්මක් නැත්නම් ඇතිවීමත් නැති වීමත් ලෙස දෙකක් තිබිය නොහැකිය. පැවැත්මක් ඇත්නම් පවතින්නෙක්ද සිටිය යුතුය. පවතින්නෙක් කිසිසේත්ම නැත්නම් එහි ඇත්තේ ශුන්‍යතාවයයි. (මේ වියුණුවේ පළ කරන ඇතැම් ලිපි වල ඇති ඇතැම් කරුණු ලියන්නේ අප මෙන්ම හැම දෙයම නොදන්නා හා එසේ නොදන්නා බව දන්නා ටික දෙනෙකු ඉලක්ක කරගෙන මිස හැකිතරම් වැඩි පිරිසකට ආමන්ත්‍රණය කිරීමේ අරමුණින් හෝ හැම දෙයම දන්නා අය වෙනුවෙන් නොවේ.)

මිනිස් යන්ත්‍රයේ ජීව විද්‍යාත්මක ක්‍රියාකාරිත්වය මේ ස්ථිති යන්න පැහැදිලි කරයි. වෙනස් නොවන දෙය තිබෙන්නේ බාහිර පරිසරයේ නොවේ. එය තිබෙන්නේ අපේ මනසේය. මේ "වෙනස් නොවීම" අපේ ජීව විද්‍යාත්මක සීමාවකි. යතාර්ථය නිර්මාණය කරගන්නේ මනස විසින් නිසා මේ වෙනස් නොවන, මනසට තවදුරටත් විභාජනය කළ නොහැකි කුඩාම දෘශ්‍ය රාමුව යතාර්ථයේම කොටසක්ද එහි මූලික තැනුම් ඒකකයක්ද වෙයි.

ඒ අනුව, වෙනස් නොවන පුද්ගලයෙකු සිටින ඉතා කුඩා මොහොතක් තිබේ. ඒ කුඩා කාලය තුළ වෙනස් නොවන පුද්ගලයෙකු සිටින්නේ එතරම් කුඩා කාලයක් තුළ සිදුවන වෙනස්වීමකට සංවේදී විය හැකි පරිදි අප ජීව විද්‍යාත්මකව පරිණාමය වී නැති බැවිනි. තමන් කවුද කියා සොයන අයෙකුට අවසාන වශයෙන් "තමන්" හමුවන තැන මෙන්ම මිනිසෙකුට තමන් ඇතුළු ලෝකය අවබෝධ කරගත හැකි සීමාවද මෙයයි. මේ කුඩා මොහොත තුළ "සිටින" මිනිසා ඊළඟ මොහොත තුළ වෙනස් මිනිසෙකු බවට පරිණාමය වෙයි. ඒ මිනිසා එකවර මේ මිනිසාද වෙනත් මිනිසෙකුද වෙයි. "පුද්ගලයෙකුට" "තමන්ව" හඳුනාගත හැකි මේ කුඩා මොහොත තුළ ජීවත්වීම තබා ඒ වෙත එබී බැලීම පවා අප බොහෝ දෙනෙකුට අසීරු කාර්යයකි.

ඇස ඇසුරෙන් මෙය පැහැදිලි කළද, වෙනත් ඉන්ද්‍රියයන් හා අදාළවද මෙවැනි සීමාවන් තිබේ. අප හැමවිටම දකින්නේ "අතීතය" කියා මා පෙර කීවත්, එය එසේ වන්නේ අපට පිටින් අපට වඩා ඉදිරියෙන් පවතීයැයි අප සිතන වෙනත් යතාර්ථයකට සාපේක්ෂවය. එවැනි වෙනත් යතාර්ථයක් අපට මනසින් මිස මසැසින් හෝ අනෙකුත් සිවු ඉන්ද්‍රියන්ගේ උදවුවෙන් කිසිදා දැකිය නොහැකිය. ඒ නිසා දෘශ්‍ය සංඥා විශ්ලේෂණය කරමින් අපේ මොළය විසින් සංස්කරණය කරන යතාර්ථය පුද්ගලයෙකුට සාපේක්ෂව ඔහුගේ හෝ ඇයගේ වර්තමානය මිස අතීතයක් නොවේ.

වර්තමානය යනු පුද්ගලයාගේ ජීව විද්‍යාත්මක ක්‍රියාකාරිත්වයට සම්බන්ධ දෙයක් නිසා කාලය යන සංකල්පයද එවැනිම සාපේක්ෂ දෙයකි. මේ කියන්නේ අයින්ස්ටයින්ගේ කාලය ගැන නොවේ. කාලය අර්ථ දැක්විය හැක්කේම යමක් වෙනස් වන වේගය ලෙසිනි. වෙනස් වීමක් තිබීමටනම් සංසන්දනයක් අවශ්‍ය වේ. කාල ඒකකයක් ලෙස අප අර්ථ දක්වන්නේ කිසියම් නිශ්චිත වෙනසක් සිදුවීමයි. කිසියම් වෙනසක් සිදුවන බව බොහෝ දෙනෙකුට එකවරම පෙනේනම් නිශ්චිත කාලයක් ගතවී ඇති බවට ඔවුන්ට එකඟ විය හැකිය. සෘතු විපර්යාස සමඟ බාහිර පරිසරයේ සිදුවන වෙනස්කම් වල සිට ඩිජිටල් ඔරලෝසුවක අවසාන ඉලක්කම වෙනස්වීම දක්වා විවිධ වෙනස්කම් සම්බන්ධව මිනිස්සුන්ට එකඟ විය හැකි නිසා කාලය සම්බන්ධවද මිනිසුන්ට එකඟත්වයන්ට පැමිණිය හැකිය.

කෙසේ වුවද, අප එකිනෙකා විසින් හඳුනාගන්නා යථාර්තයන් තුළ මෙවැනි වෙනස්කම් හැම විටම සමපාත නොවන්නට පුළුවන. හිසට පහරක් වැදුණු අයෙකු දින ගණනක් කෝමා තත්වයෙන් සිටි බවට වෙනත් අයට එකඟ විය හැකිය. එහෙත්, ඔහුට හෝ ඇයට කාලය ගලා යන්නේ එකම වේගයෙන්ද?

සූර්යග්‍රහණයක් යනු අපේ ඉන්ද්‍රියයන්ගේ සීමාවන් ගැනද හිතන්නට ඉඩ සලසන අවස්ථාවකි. නිතර අපේ ඇස ගැටෙන ආලෝක තීව්‍රතා පරාසයට වඩා සංවේදී වන පරිදි අපේ ජීව විද්‍යාත්මක උපාංගයන් පරිණාමය වී ඇති නිසා ඒ සීමාව තුළ අපට සුළු වෙනස්කමක් වුවත් පහසුවෙන් ග්‍රහණය කර ගත හැකිය. එහෙත්, මද්දහන් සූර්යයා වැනි දීප්තිමත් ආලෝක ප්‍රභවයක තීව්‍රතා පරාසයට අපේ ඇස් සංවේදී නැත. ඉර දෙස සෘජුව බලන විට ඇතිවන අසීරුතාව යනු ඒ බව අපට මතක් කර දීමකි. ඉර දෙස වැඩි වෙලාවක් එක එල්ලේ බලා සිටීමෙන් අපේ පෙනීම හා අදාළ කාබනික යන්ත්‍ර කොටස් විනාශ විය හැකි බව අපේ වසර දහස් ගණනක පරිණාමික මතකය අපට වහාම දැනුම් දෙන්නේ මේ අසීරුතාවය අපට දැනෙන්නට සලස්වමිනි.

එහෙත්, සූර්යග්‍රහණයක් යනු ඉතා කලාතුරකින් දැකිය හැකි දෙයකි. ඒ නිසා, එවැනි අවස්ථාවක ඇසට සිදුවිය හැකි හානිය වලක්වා ගන්නට අවවාද නිකුත් කිරීමට මේ කාබනික යන්ත්‍රය ස්වභාවික ලෙස පරිණාමය වී නැත. මේ දුර්වලතාවය නිසා, සූර්යග්‍රහණයක් සිදුවන විට ඉර දෙස පියවි ඇසින් බලා සිටීම හේතුවෙන් ඇති විය හැකි තාවකාලික අන්ධතාව ස්ථිර අන්ධතාවයක් විය හැකි සීමාවට අපේ සිරුර සංවේදී නැත. මෑත වසර වලදී සූර්යග්‍රහණ සෘජුව බැලීම නිසා කිසිවෙකු ස්ථිර අන්ධතාවයට පත් වී ඇති බව වාර්තා වී නැතත්, එක මොහොතකට හෝ ඉර දෙස සෘජුව නොබැලිය යුතු බවට අවවාද නිකුත් කිරීමේ පදනම එයයි.

මේ අවවාද කෙතරම් ප්‍රචාරණය කෙරුණත්, එහි පදනමද දැන සිටියත්, සූර්යග්‍රහණය පියවි ඇසින්ම නරඹන්නට මට තිබුණු "ඇම්ම" පාලනය කර ගැනීමට මට අවශ්‍ය නොවීය. එයට විශේෂ හේතුවක්ද තිබුණේය. වසර දහස් ගණනක් තිස්සේ අපේ මුතුන් මිත්තන්ට සූර්යග්‍රහණයක් "දැනුණු" ආකාරය මට හරියටම දැනගන්නට අවශ්‍ය විය. ආරක්ෂක කණ්ණාඩි තුළින් ඉර දෙස බලා ඒ අත්දැකීම ලැබිය නොහැකිය.

මෙවැනි තීරණයක් යනු තර්ක ඥානය  හා "දැනුම" අභිබවා හැඟීම් වලට ඉඩදීමකි. ඒ ආකාරයේ තීරණ ගන්නට සිතෙන විට "මගෙන්" බැහැරව බාහිර පුද්ගලයෙකු ලෙස "මා" දෙස බලා මෙවැනි මිනිස් චර්යාවන් විශ්ලේෂණය කිරීම මගේ විනෝදාංශයකි. වෙනත් මිනිසුන්ගේ චර්යාවන් අධ්‍යයනය කරමින් විශ්ලේෂණය කරනවාට වඩා මෙය ප්‍රයෝජනවත් කාර්යයක්ද වේ. ඇතැම් ඇනෝලාගේ ප්‍රතිචාර වල සටහන් කර ඇති පරිදි මේ ක්‍රියාව මා කර ඇති මෝඩ වැඩ රාශියක් අතරින් තවත් එක් අමු මෝඩ වැඩක්ද?

මා සිතන පරිදි මෙහිදී මා කර ඇත්තේ ගණනය කළ අවදානමක් ගැනීමයි. ඉර දෙස සෘජුව බැලීමෙන් දෑස් සදහටම අන්ධ වුවහොත් එහි සමස්ත හානිය ඉතා විශාල වුවත් කුඩා කාලයක් ඉර දෙස බලා සිටීම නිසා එසේ වීමට ඇති සම්භාවිතාව එතරම්ම විශාල නැත. මේ අපේක්ෂිත හානියට සාපේක්ෂව ඉර දෙස සෘජුව බැලීමෙන් ලැබෙන සතුටට මා වැඩිපුර බර තැබුවා විය යුතුය. දීර්ඝකාලීනව සෞඛ්‍ය වර්ධනයට හේතු නොවන ඇතැම් අවදානම් දේ ක්ෂණික සතුට සලකා කරන මිනිසුන් ඇතැම් විට කරන්නේද මෙවැන්නකි.

පසුදින දැන ගත් පරිදි මේ අවදානම ගත් වෙනත් මිනිසුන් අතර වත්මන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද වෙයි. මෙයින් පෙනෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් යනු තර්ක ඥානයට වඩා ප්‍රත්‍යක්ෂය කෙරෙහි විශ්වාසය තබන මිනිසෙකු බවයි. ඇතැම් විට ඔහුද මා මෙන්ම ගණනය කළ අවදානමක් ගත්තා විය හැකිය. 

(Image: http://www.businessinsider.com/trump-watching-solar-eclipse-20017-photos-2017-8)

13 comments:

  1. හපොයි, නිවාඩුවක් දාල කිමි 200 යන්නනෙ තිබුණෙ.
    මොකෝ ඊළඟ එක බලන්නයැ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ, මගේ රැකියාව අනුව සාමාන්‍යයෙන් වැඩකට නිවාඩු දමන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත්, මේ දිනය හරියටම මට අළුත් පාරිභෝගිකයින් පිරිසක් හමුවන්නට නියමිතව තිබුණු දවස. ඒ නිසා, ඒ හමුව මඟ හරින්න කිසිම විදිහක් තිබුණේ නැහැ. අවුරුද්දේ වෙනත් ඕනෑම දවසක් වුනානම් කලින් දැනුම් දී යන්න තිබුණා. නමුත් කිසිදා හමු නොවූ පිරිසක් නිසා එය කරන්න හැකියාවක් තිබුණේ නැහැ. මොනව කරන්නද?

      Delete
    2. මේ ලිපිය කියවා මටත් කමෙන්ට් කරන්න හිතුණේ ඔය කාරණය ගැනයි.
      මා විශ්වවිද්‍යාලවල සේවය කරන කාලයේ මටත් තේරුණේ ඊට කලින් කළ රැකියාවල සහ දැන් කරන රැකියාවේ මෙන් නිවාඩු දැමීම කළ නොයුතු දෙයක් බව. ඒ දේශණයක් අවලංගු කළහොත් විශාල පිරිසකට පාඩු වෙන නිසාත්, එසේ ම, ඕස්ටේ‍ර්ලියාවේ දී නම්, ඒ දේශනය නැවත කිරීමට වෙලාවක් දිනයක් නැත්තටම නැති නිසාත් යන කාරණය නිසායි.

      Delete
    3. මා විශ්වවිද්‍යාලවල සේවය කරන කාලයේ ඕස්ටේ‍ර්ලියාවේ දී නම්, ඒ දේශනය නැවත කිරීමට වෙලාවක් දිනය.....///////
      ඈ ඔයි තමුසේ ඔසිවල විශ්වවිද්‍යාලවල මොනවද උගන්වන්නේ! ඉගෙන ගන්න උන්ට මාර ලොල් ටෝක් දෙනවා ඇති කැලණියේ ඉන්නකොට දුන්නා වගේ උන්ගේත් කරුමේ

      Delete
    4. @ Anonymous August 25, 2017 at 4:44 AM

      ඔබේ අසනීප තත්වය තවමත් එසේ ම බව පෙනී කණාගාටුවක් ඇතිවුණා!

      Delete
  2. අපරාදේ client ලා සෙට් එකත් අල්ලගෙන eclipse එක බලලම එන්න තිබ්බේ. eclipse එකයි ඔය ට්‍රම්ප් ලොක්කගේ ෆොටෝ එකයි අල්ලලා හදපු නියම meme ටිකක් දැක්කා පහුගිය දවස් වල.

    ReplyDelete
    Replies
    1. මේ සඳහා පහළ ප්‍රාන්තයේත් කෙළවරටම යා යුතුව තිබුණා. පැය හතරක පමණ ගමනක්.

      Delete
  3. “The notion that writings created at a time when men huddled in superstitious terror from an eclipse can possibly be a credible representation of the Creator (whatever that word means to each person) is so absurd as to border on delusional.”
    ― Dave Champion

    ReplyDelete
  4. ඇතිවීමක් හා නැති වීමක් ඇතිනම් පැවැත්මක්ද තිබිය යුතුය...
    හොඳ තර්කයක්.
    එහෙත් මට හිතන කොට එහෙම හිතෙන්නේ නැහැ. මොකද ඇති වීමක් හා නැතිවීමක් අතර අන්තරයක් ඉතාම කුඩා වූ හෝ අන්තරයක් නැතිනම් කාලය ගෙවී යමක් වෙන්න බැහැ කියන එකයි අපිට හිතෙන්නේ.
    අන්න ඒ නිසා මම දහමේ කියැවෙන සංකල්ප අතුරින් කාලය කියන්නේ මොකක්ද හොයාන ගියා.
    මට තේරෙන විදියට කාලය හා භවය කියන සංකල්ප දෙක අතර හොඳ ගැලපීමක් තියෙනවා. එහෙම බැලුවිට භවය කියන්නේ තනිකරම සත්ත්වයා විසින් නිර්මාණය කර ගන්න සංකල්පයක්. එතකොට කාලය කියන්නේ යථාර්ථයක් නොවන ඇස්බැන්දුමක්.

    ReplyDelete
    Replies
    1. පොඩි කමෙන්ට් එකකින් ඔබ හිතා ඉන්න දේ හරියටම තේරුම් ගන්න අමාරුයි. ඔබ ලියා ඇති කොටසේනම් මට අවුලක් නැහැ.

      Delete
    2. සත්ත්වයා තුල මොහොතක් මොහොතක් පාසා සිදුවන අනවරත ක්‍රියා දාමයක් වන පටිච්ච සමුප්පාදයට අනුව, භවය යනු සත්ත්වයා විසින් හේතු භූතව ගොඩ නගා ගන්නා පැවැත්මයි. සත්ත්වයා පැවැත්ම ගොඩ නගමින් එහි පවතිමින් සිටිනවා.
      එනම් කාලය යන සංකල්පය ගොඩ නගමින් කාලය ගේවා දමමින් සිටිනවා.
      මේ මට වැටහෙන හැටියි. ඒක හරියටම වචනයෙන් පැහැදිලි කරන්නත් අමාරුයි.

      Delete
  5. ඔබ ලියන දිග ලිපි කොටස දෙකකට වගේ කඩා පල කලොත් හොඳ නැත්ද? පළමු කොටස සුර්යග්‍රහණය පැහැදිලි කිරීමටත් දෙවන කොටස ට්‍රම්ප් ගේ ක්‍රියාව ගැන. calculated risk එක ගැන.අදහසක් පමණයි. මම මෙහෙදී සුර්යග්‍රහණයක් බැලුව. ට්‍රම්ප්ප් ගැන නම් අර මගේ ලිපියක ලිව්වා වගේ ට්‍රම්ප්ව ඇමෙරිකන් නිලධාරීන් විසින් අමාරුවෙන් ආම්බන් කරගෙන යන බවක් තමයි පෙනෙන්නේ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget