Monday, March 20, 2017

සුරලොව ඔරලෝසුව


දෙවුලොව කාලය ගැනත්, දෙවියන්ගේ ආයුෂ ගැනත් ප්‍රවාද අපට බොහෝ තැන් වලින් අසන්නට ලැබී තිබේ. මේ බොහෝ ප්‍රවාද අනුව, දෙවුලොව කාලය ගෙවෙන්නේ මිනිස් ලොවට වඩා බොහෝ සෙමිනි.

අනෙක් තැන් වල කෙසේ වෙතත්, සූර්ය සිද්ධාන්තයේනම් සුරයන්ගේ හා අසුරයන්ගේ කාලය ගැන පැහැදිලි, පිළිගත හැකි ප්‍රවාදයක් ඉදිරිපත් කර තිබේ. මේ ප්‍රවාදය අනුව, සුරයන්ගේ හා අසුරයන්ගේ දවසක් මිනිසුන්ගේ වසරකි. ඔවුන්ගේ රැයක් හෝ දවාලක් ගෙවෙන විට මිනිස් ලොව මාස හයක් ගෙවී අවසන්ය.

එසේනම්, සුරයන්ගේ හා අසුරයන්ගේ ඔරලෝසු කැරකෙන්නේ මිනිසුන්ගේ ඔරලෝසු වලට වඩා 365 ගුණයක් හෙමින්ද?

සුරයන්ගේ හා අසුරයන්ගේ දවසක දිග සමාන වුවත් ඔවුන් දෙපිරිසට කාලය ගෙවෙන්නේ එකම අයුරින් නොවේ. සුරයන්ට ඉර උදාවන විට අසුරයන්ට ඉර බසී. අසුරයන්ට ඉර උදාවන විට සුරයන්ට ඉර බසී. සුරයන්ගේ දවාල අසුරයන්ගේ රැයයි. අසුරයන්ගේ දවාල සුරයන්ගේ රැයයි. සුරයන්ගේ මධ්‍යහ්නය අසුරයන්ගේ මැදියම් රැයයි. අසුරයන්ගේ මධ්‍යහ්නය සුරයන්ගේ මැදියම් රැයයි.

කාලය පිළිබඳ සූර්ය සිද්ධාන්ත ප්‍රවාදය තේරුම් ගන්නටනම් සූර්ය සිද්ධාන්ත කතුවරයා දැන සිටි ලෝකය ගැන මුලින්ම තේරුම් ගත යුතුය.

සූර්ය සිද්ධාන්ත ලෝකයේ මධ්‍යය ලෙස සැලකුණේ ලංකාවයි. සමකය මත පිහිටි ලංකාව සූර්ය සිද්ධාන්ත කතුවරයාට හොඳින් හුරුපුරුදු උදේනි, රෝහිතක හා කුරුක්ෂේත්‍ර යන නගරවලට හරි කෙළින් දකුණේ පිහිටියේය. ලංකාවේ සිට ඉහත නගර හරහා අඳින සෘජු රේඛාවක් දිගේ උතුරට යන විට මහාමේරුව (උත්තර ධ්‍රැවය) පිහිටියේය. පොළොවේ මහාමේරුවට ප්‍රතිවිරුද්ධ පැත්තේ වඩවානාලය (දක්ෂිණ ධ්‍රැවය) පිහිටියේය.

සමකය මත ලංකාවට ප්‍රතිවිරුද්ධ පැත්තේ වූයේ සිද්ධපුරයයි. ලංකාවට බටහිරින්, සමකය මත, ලංකාවට හා සිද්ධපුරයට සමදුරින් රෝමකපට්ටනයද, රෝමකපට්ටනයට ප්‍රතිවිරුද්ධ පැත්තේ යමකෝටියද පිහිටියේය. මහාමේරුව සුරයන්ගේ වාසභවන වූ අතර, වඩවානාලය දෛත්‍ය නම් වූ අසුරයන්ගේ වාසභවනය විය.

ලංකාවට ඉර පායන විට, යමකෝටියට ඉර මුදුන් වූ අතර සිද්ධපුරයේ ඉර බසින වෙලාවද, රෝමකපට්ටනයේ මැදියම් රැයද විය.

ප්‍රවාහනය ඉතා නොදියුණු මට්ටමක තිබුණු, සූර්ය සිද්ධාන්තය ලියැවුණු යුගයේදී කිසියම් රටක ජීවත්වූ විද්‍යාර්ථිකුට භූගෝල විද්‍යා දැනුම ලබා ගත හැකිවූයේ දේශ සංචාරයේ යෙදුණු නාවිකයින් ලබා ගන්නා හෝ නාවිකයින්ගෙන් තොරතුරු ලබාගත් වෙනත් අයගෙන් ලබා ගන්නා තොරතුරු මත පදනම්වය. උදේනි නුවර ආසන්නයේ ජීවත් වූ විද්‍යාර්ථිකුට හිමාල කඳු පන්තියට දකුණින් හා ලංකාවට උතුරින් වත්මන් ඉන්දියානු උපමහාද්වීපයට අයත් බිම් පෙදෙස් වල පිහිටීම ගැන සාපේක්ෂව තරමක් නිවැරදි තොරතුරු ලැබෙන්නට ඇති අතර, බටහිරින් පිහිටි රෝමකපට්ටනය වැනි ඈතින් පිහිටි නගර ගැනද යම් දැනුමක් ලබා ගන්නට හැකිවන්නට ඇත.

එහෙත්, පොළොවේ උතුරු හා දකුණු ධ්‍රැව වල හෝ ප්‍රතිවිරුද්ධ පැත්තේ (වත්මන් ඇමරිකානු මහාද්වීපයේ) පිහිටි පෙදෙස් ගැන එවැනි දැනුමක් ලබා ගැනීමට හැකියාවක් තිබෙන්නට ඉඩක් නැත. මේ පෙදෙස් ගැන සූර්ය සිද්ධාන්තයේ සඳහන් භූගෝලීය තොරතුරු නිවැරදි නොවන්නේ එබැවිනි.

කෙසේ වුවත්, අහසේ ලෝකය නිරීක්ෂණය කිරීමට අවශ්‍ය වන්නේ ඉවසීම හා තියුණු ඇසක් පමණි. ඒ සඳහා දේශාටනයේ යෙදෙන්නට අවශ්‍ය නොවේ. මේ නිරීක්ෂණ හා ගණිත දැනුම භාවිතා කරමින් පොළොවේ උතුරු හා දකුණු ධ්‍රැව ආසන්නයේ දිවා රෑ මාරු වන්නේ සමකයේ දින වලින් සමසකට වරක් බව අවබෝධ කරගන්නට සූර්ය සිද්ධාන්ත කතුවරයාට හැකි වී තිබේ. සුරයන්ගේ හා අසුරයන්ගේ දිවා කාලයක් හා රාත්‍රී කාලයක් ගෙවෙන්නට මිනිස් වසරක් ගෙවෙන බව ඔහු කියන්නේ එබැවිනි.

8 comments:

  1. එතකොට යක්කු ඒ තරම් කළු එයාල දක්ෂිනාර්ධ ගොලයේ අය නිසයි නේද?

    ReplyDelete
    Replies
    1. පෘථිවියේ ගොඩබිම් වැඩිපුර තියෙන්නේ උතුරු අර්ධ ගෝලයේ නිසා දකුණටම වෙන්න ජීවත් වුණු බොහෝ ජන කණ්ඩායම් හිටියේ සමකයට වඩා ආසන්නව. ඒ නිසා සමේ පැහැය බොහෝ විට දකුණේ සිට උතුරට යද්දී අඳුරු පැහැයේ සිට වඩා සුදු පැහැයට හැරෙනවා. සුරයන්ගේ හා අසුරයන්ගේ හමේ පැහැය තීරණය වෙන්නෙත් මේ නිරීක්ෂණයේ දිගුවක් ලෙසයි.

      Delete
  2. සුර/ අසුර = Gods (Olympian)/ Titans සංසන්දනය කියවල තියනවද?

    හින්දු සහ ග්‍රීක pantheon වල සමානතාවයන් හා සමාන්තරතාවයන් fascinating !

    ReplyDelete
    Replies
    1. හෙලනික් ශිෂ්ඨාචාරයේ හොඳම කාලයේදී ඉන්දියාව හා ග්‍රීසිය අතර ඉතා හොඳ මට්ටමේ දැනුම් හුවමාරුවක් සිදු වී තිබෙනවා. අසුරයින් හා Titansලා බොහෝ සමානයි. ඒ වගේම මේ දෙවර්ගයම බලපරාක්‍රමයෙන් හෝ වෙනත් කුසලතාවන්ගෙන් සුරයන්ට/ Godsලාට දෙවැනි වී නැහැ.

      Delete
  3. සූර්ය සිද්ධාන්ත ලේඛනයක් නියවන්න හොයා ගන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. මෙහි ඉංග්‍රීසි පරිවර්තන කිහිපයක් තියෙනවා. ඇතැම් ඒවා ඇමසන් එකෙන් මිලදී ගත හැකියි. පහත ලින්ක් එකේ එක් පරිවර්තනයක් තියෙනවා. ගූගල් පොත් දිගටම තියන්නේ නැති නිසා මෙය නැති විය හැකියි.

      https://books.google.com/books?id=jpE7AAAAcAAJ&printsec=frontcover#v=onepage&q&f=false

      Delete
  4. මේක ලස්සන කථාන්දරයක්.
    මේ කථාවෙන් ඔබ සුර අසුර ලොව ගැන මතු කරන
    සංකල්පය හරිම තාර්කිකයි.
    කලින් නොදැන සිටි නොසිතූ පැත්තක්.

    ReplyDelete
    Replies
    1. සමහර කතන්දර හරියට තේරුම් ගන්න ඒ කතන්දර කිවූ අය සිටි යුගයට/ සන්දර්භයට යන්න වෙනවා. බැලූ බැල්මට විකාර මෙන් පෙනෙන ඇතැම් දේවල් වල තේරුම් පැහැදිලි වන්නේ එවිටයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget