Saturday, March 4, 2017

අපේ අසල්වාසීන්ගේ ස්වයං නිර්ණ අයිතිය


ඊයේ අපේ අසල්වාසී නිවාස හිමියන්ගේ සංගමයේ රැස්වීම පැවැත්වුනේය. මේ සංගමය නිවාස ඒකක 82ක් අයත්වන අසල්වාසී සාමූහික (neighborhood) දෙකක එකතුවකි. සාමූහික දෙක වෙන් කරන පාරෙන් උතුරු පැත්තේ ගෙවල් එක් අසල්වාසී සාමූහිකයකි. එහි නිවාස ඒකක 56කි. පාරෙන් දකුණු පැත්තේ ගෙවල් තවත් අසල්වාසී සාමූහිකයකි. එහි නිවාස ඒකක 26කි. 

වෙනවෙනම සංගම් දෙකක් නඩත්තු කිරීමට තරම් ප්‍රමාණවත් නිවාස ගණනක් එක පැත්තකවත් (විශේෂයෙන්ම පාරේ දකුණු පැත්තේ) නොමැති නිසා කොටස් දෙකටම ඇත්තේ එක් නිවාස හිමියන්ගේ සංගමයකි. එහි නිලධාරී මණ්ඩලයටද එක් එක්  කොටසේ අවම නියෝජනයන් අවශ්‍යය. ඒ නිසා, තීරණ ගැනීමේදී වැඩි නිවාස ඒකක ගණනක් ඇති උතුරු පැත්තේ අයට සිය 'බහුතර මතය' දකුණු පැත්තේ අය මත පැටවිය නොහැකිය.

ඇමරිකාවේ නිවාස හිමියන්ගේ සංගමයක් සරල සුබසාධක සංගමයක් පමණක් නොවන අතර නීතිමය බලයක් ඇති ආයතනයකි. සංගමයේ නීති පිළිපැදීමට සියළුම නිවාස හිමියෝ බැඳී සිටිති. 


නිවාස හිමියන්ගේ සංගමයේ නිලධාරීන් විසින් ස්වේච්ඡාවෙන් කළ යුතු නිශ්චිත වැඩ කොටසක් තිබේ. මේ අතර, අසල්වාසී සාමූහිකයේ පොදු දේපල (අලංකාරය සඳහා සාදා ඇති කෘතීම පොකුණු දෙක, පාරෙන් ඇතුළුවන තැන් වල ඇති නාමපුවරු ආදිය) නඩත්තු කර අලංකාරව තබාගැනීම, නිවාස හිමියන් සාමූහිකයේ නීති පිළිපදින බවට වගබලාගැනීම හා ඇතැම් දේවල් පරීක්ෂා කර අනුමත කිරීම, පොදු කොටස් වල තණකොළ කැපීම හා හිම ඉවත් කිරීම ආදිය මෙන්ම වසරකට වරක් හෝ කිහිප වරක් නිවාස හිමියන්ගේ අනවශ්‍ය දේවල් අළෙවි කරන ප්‍රජා අලෙවි දින (කමියුනිටි යාඩ් සේල්) හා 'බ්ලොක් පාටි' ආදිය සංවිධානය කිරීම ඇතුළත්ය.

අපේ සංගමයට අයත් වන අසල්වාසී සාමූහික දෙකේ නිවාස හිමියන් විසින් පිළිපැදිය යුතු නීති මාලාවන් දෙක හරියටම සමාන නොවීම නිසා බොහෝ විට සංගමයේ කටයුතු අනවශ්‍ය පරිදි සංකීර්ණ වීම පසුගිය කාලයේ සාකච්ඡා කෙරෙමින් පැවතුණු දෙයකි. මේ නීති මාලාවන්හි නිවාස හිමියන් විසින් කළ යුතු දේ, කළ හැකි දේ, හා නොකළ යුතු දේ වෙනවෙනම  පැහැදිලිව දක්වා තිබේ. එමෙන්ම, සංගමය විසින් කරන කටයුතු හා පරිපාලන වියදම් වෙනුවෙන් සියළු නිවාස හිමියන් විසින් වාර්ෂික සාමාජික ගාස්තුවක් අනිවාර්යයෙන්ම සංගමයට ගෙවිය යුතුය.

නිවසේ ඉදිරිපස කොටසේ තණකොළ කපා නඩත්තු කිරීම, හිම ඉවත් කිරීම, මැරුණු ගස් ඇත්නම් කපා ඉවත් කිරීම, රාත්‍රියට විදුලි පහන් දැල්වෙන බවට වග බලා ගැනීම ආදිය අප සිටින දකුණු පැත්තේ නිවාස හිමියන් විසින් කළ යුතු දේවල්ය. කුණු එකතු කරන දින වල හැර වෙනත් දින වල කුණු බක්කි (ට්‍රෑෂ් කෑන්) පෙනෙන්නට තැබීම, රෙදි වැල් ඇදීම, නිවස විකුණන විටක හැර නිවස ඉදිරිපස දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම, අසල්වාසීන්ට බාධා වන පරිදි ශබ්ද කිරීම ආදිය දකුණු පැත්තේ අය නොකළ යුතු දේවල් වලට අයත්ය. එමෙන්ම, බල්ලන් පූසන් වැනි සුරතල් සතුන් හැර, ඌරන් කුකුළන් වැනි ගොවිපොළ සතුන් මේ ගෙවල් වල හැදීමද කළ නොහැකි දෙයකි.  නිවස කුලියට දීම හා අමතර බඩු තබා ගැනීම සඳහා නිවස පිටුපස ගබඩා ගෙයක් හදා ගැනීම දකුණු පැත්තේ නිවාස හිමියන්ට කළ හැකි දේවල් සඳහා උදාහරණයි.

ගබඩා ගෙයක් හදා ගැනීම කියා කිවුවත් තමන්ට කැමති ආකාරයකට එය කරන්නට නුපුළුවන. එසේ හදාගත හැක්කේ අසල්වාසී සාමූහිකයේ අලංකාරය නැති නොවන පරිදි සංගමය විසින් අනුමත කරන මාදිලියක එකකි. සංගමය වෙත අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන් පසුව සවි කිරීමට ඉල්ලා සිටින ගබඩා ගෙයි ප්‍රමාණය, සදා ඇති ද්‍රව්‍ය, පාට ආදිය සංගමය විසින් පරීක්ෂා කර අනුමත කළ යුතුය. ඒ වගේම, හදා ගන්නවා කියා කිවුවත් ඇත්තටම කරන්නේ කඩෙන් මිලදී ගෙන සවිකිරීමයි. විවිධ මාදිලි වල ලොකු කුඩා ගබඩා ගෙවල් වර්ග ගණනාවක් කඩවල විකුණන්නට ඇති අතර ඉහළ රූපයේ ඇත්තේ එතරම් ලොකු නැති එවැනි ගබඩා ගෙයකි.

මේ විස්තර කියවන විට ඇතැම් අයට හිතෙනු ඇත්තේ පුද්ගල නිදහස ගැන මහ ලොකුවට කතා කරන ඇමරිකාවේ නිවාස හිමියෙකුට තමන්ගේ ගෙදර වත්තේ හතර මායිම ඇතුළේවත් කැමති දෙයක් කරගන්නට නිදහසක් නැති බවයි. වත්තේ ඉදිරිපස සහ පිටුපස සිටවිය යුතු හා සිටවිය හැකි එක් එක් වර්ග වල (සදාහරිත, සෙවණ දෙන හා පඳුරු) ශාඛ ගණන් පවා සංගමයේ රෙගුලාසි වලින් නියාමනය වී තිබේ. කිසියම් අසල්වාසී සාමූහිකයකට අළුතින් පැමිණෙන අයෙකු එසේ පැමිණීමෙන් මේ රෙගුලාසි වලට ස්වයංක්‍රීයව යටත් වේ.

මේ විස්තර ලියන්නේ, ඇමරිකාව මාරයි කියන්නටවත්, ලංකාවේ ඉන්න ගොබ්බයින්ට ඕවා තේරෙන්නේ නැතැයි කියන්නටවත්, ඇමරිකාවේ විදිහට අනිත් අයත් කටයුතු කළ යුතුයැයි කියන්නටවත් නොවේ. පුද්ගල නිදහස අගයන සමාජයක පුද්ගල නිදහසට ප්‍රමුඛත්වය දෙමින් සාමූහිකව සිදුවිය යුතු කටයුතු සාමූහිකව කරගන්නා ආකාරය විස්තර කරන්නටත්, ඇමරිකාවේ බලය විමධ්‍යගත වී ඇති ආකාරය පැහැදිලි කරන්නටත්, හා බිම් මට්ටමේදී ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ආකාරය ගැන අදහසක් ලබා දීමත් සඳහාය.

පළමුව කියන්නට තියෙන්නේ උඩින් විස්තර කළ රෙගුලාසි එකක්වත් ආණ්ඩුව විසින් හෝ වෙනත් බලාධිකාරියක් විසින් බලහත්කාරයෙන් පනවා ඇති රෙගුලාසි නොවන බවයි. එක් එක් අසල්වාසී සාමූහිකය තුළ මේ රෙගුලාසි පනවාගෙන ඇත්තේ අපි අපිමය. ඒ, බහුතර කැමැත්ත අනුව යමිනි. කෙසේ වුවද, එසේ රෙගුලාසි පනවා ගෙන නීතිඥයෙකු හරහා ප්‍රාදේශීය පරිපාලනය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මේ රෙගුලාසි පිළිපදින්නට සියල්ලෝම බැඳී සිටිති. මෙසේ සාමූහික තීරණ ගැනීමට සිදුවී තිබෙන්නේ මගේ වත්තේ හතර මායිම ඇතුළේ මා කරන ඇතැම් දේවල් වලින් මගේ අසල්වැසියන්ටද බලපෑමක් වන බැවිනි. ඒ නිසා මගේ පුද්ගල නිදහස අත්විඳීමේදී මා විසින් මගේ අසල්වැසියාගේ නහයේ සීමාව නොඉක්මවන්නට වගබලාගත යුතුය.

අපේ සංගමයට අයත් උතුරු පැත්තේ අසල්වැසි සාමූහිකයේ රෙගුලාසිද බොහෝ දුරට දකුණු පැත්තේ ඒවාට සමාන වුවත් හරියටම සමාන නැත. මා පෙර කී පරිදි, මේ දවස්වල සංගමය උත්සාහ ගන්නේ මේ දෙක එකක් කිරීමටය. එහෙත්, ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් එක් කළ තරම් පහසුවෙන් එය කරන්නට පුළුවන් කමක් නොපෙනේ. ඒ, මෙසේ කිරීම සඳහා එක පැත්තක අය අනෙත් පැත්තේ රෙගුලාසි පිළිගැනීම හෝ දෙපැත්තේම අය විසින් අළුතින් හදන අතරමැදි රෙගුලාසි මාලාවක් පිළිගැනීම කළ යුතු බැවිනි.

සංගමයේ රැස්වීම් වලට සාමාන්‍යයෙන් සහභාගී වන නිවාස ඒකක තිහක පමණ සාමාජිකයින් විසින් මෙවැනි මූලික එකඟතාවයකට පැමිණියද, එය සම්මත කර ගැනීම සඳහා එක් එක් පැත්තේ නිවාස හිමියන්ගේ සමස්ත ඡන්ද වලින් (භාවිතා කරන ඡන්ද වලින් නොවේ) 75% බැගින් අවශ්‍ය වේ. මේ නිසා, නැවතත්, දකුණේ අය උතුරේ බහුතර මතයට යටවීම වැලකී තිබේ.

දැන් මේ කටයුත්ත මෙසේ කරගැනීම සඳහා ඇති ප්‍රධානම බාධාව දකුණු පැත්තේ අයට ඇති ගබඩා ගෙයක් හදා ගැනීමේ අයිතිය උතුරු පැත්තේ අයට නැති වීමයි. එසේනම්, එම අයිතිය ලබා ගැනීමට ඔවුන් කැමති වනු ඇතැයි ඔබ සිතන්නට පුළුවන. එහෙත්, තත්ත්වය පෙනෙනවාට වඩා සංකීර්ණය.

දකුණු පැත්තේ ඇති ගෙවල් වලට සාපේක්ෂව උතුරු පැත්තේ ගෙවල් තරමක් විශාලය. ඒ නිසා, ඒ පැත්තේ වැඩි දෙනෙකුට ගබඩා ගෙවල් අවශ්‍ය නැත. ඒ නිසා, උතුරු පැත්තේ අයට මෙවැනි ඉඩක් ලබා දුන්නත් එය ප්‍රයෝජනයට ගනු ඇත්තේ සුළු පිරිසකි. එවිට, තරහට පොල් හිටෙව්වාක් මෙන් අතරින් පතර තැනක පමණක් පෙනෙන්නට ලැබෙන ගබඩා ගෙවල් නිසා ඒ පැත්තේ අලංකාරය අඩුවීමෙන් ගෙවල් සියල්ලේම වෙළඳපොළ වටිනාකම අඩුවනු ඇතැයි ඔවුහු සිතති. ඒ නිසා, උතුරු පැත්තේ අය ගබඩා ගෙවල් වලට ඉඩදෙන්නට කැමති නැත. ඔවුන් උත්සාහ කරන්නේ දකුණු පැත්තේ රෙගුලාසි වලටද ඒ තහනම ඇතුළත් කිරීමටය.

එහෙත්, දකුණු පැත්තේ තත්ත්වය වෙනස්ය. සාපේක්ෂව කුඩා ගෙවල් ඇති දකුණු පැත්තේ බොහෝ දෙනෙකු ගබඩා ගෙයක් සවි කර ගැනීමට කැමතිය. මේ ගෙවල් කුඩා නිසා ගබඩා ගෙයක් තිබීමෙන්
වෙළඳපොළ වටිනාකම අඩුවනු නොව වැඩි වනු ඇති බව ඔවුන්ගේ අදහසයි.

මේ තත්ත්වය යටතේ එක් එක් පැත්තේ නිවාස ඒකක වලින් 75%ක ඡන්ද ලබා රෙගුලාසි වෙනස් කිරීමට හැකිවේද යන්න සැක සහිතය.

ප්‍රතිශක්තිකරණය මෙන්ම අධ්‍යාපනයද, ගිණි අවි පරිහරණයද පුද්ගල නිදහසට මුල් තැන ලැබෙන සාමූහික තීරණ විය යුත්තේ මේවායේ පුද්ගල උපයෝගීතාවයන්ට වඩා දෙයක් ඇති බැවිනි. වෙනත් අයෙකුගේ නොදැනුවත්කම වෙනුවෙන් මා මිලක් ගෙවිය යුතු නැත.

24 comments:

  1. ඕවා මෙහෙත් කරන්න ඕන දේවල්..මෙහෙ තියෙන එකේ කරන්නේ පිරිමි අය මාසෙකට සැරයක් සෙට් වෙලා බොන එකයි ගෑනු අය ඕපාදුප කතාවයි විතරයි

    ReplyDelete
    Replies
    1. අඩු වශයෙන් එකතුවීමට හෝ උනන්දුවක් තියෙනවනම් ගොඩක් පොදු ප්‍රශ්න අහල පහළ ගෙවල් වල අයට එකතු වී කතාබහ කරගෙන විසඳා ගත හැකියි. හැමවිටම ආණ්ඩුව හෝ වෙනත් බාහිර මැදිහත්වීම් අවශ්‍යවෙන්නේ නැහැ.

      Delete
  2. "ප්‍රතිශක්තිකරණය මෙන්ම අධ්‍යාපනයද, ගිණි අවි පරිහරණයද පුද්ගල නිදහසට මුල් තැන ලැබෙන සාමූහික තීරණ විය යුත්තේ මේවායේ පුද්ගල උපයෝගීතාවයන්ට වඩා දෙයක් ඇති බැවිනි. වෙනත් අයෙකුගේ නොදැනුවත්කම වෙනුවෙන් මා මිලක් ගෙවිය යුතු නැත."

    සෞඛ්‍යත් දාන්නකෝ මේ ලිස්ට් එකට?

    ReplyDelete
    Replies
    1. සෞඛ්‍යයත් අයිතියි තමා ඇනෝ! ප්‍රතිශක්තිකරණය එහි එක් කොටසක්. ස්වභාවික සම්පත් වගේ තවත් මෙවැනි බොහෝ දේවල් තියෙනවා. මේ කිසිවකදී පුද්ගල නිදහසට බාධා පමුණුවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ගේ ක්‍රියාවන් නිසා අනිත් අයට සිදුවන බලපෑමත් අනිත් අයගේ ක්‍රියාවන් නිසා තමන්ට සිදුවන බලපෑමත් ගැන දැනුවත්ව තමන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීම පමණයි අවශ්‍ය වෙන්නේ. එවිට තමන්ට සිදුවන යහපත වෙනත් අයෙකුට සිදුවන අයහපතක් වෙන්නේ නැහැ.

      Delete
  3. ඉකොනො, ඔයා ගිහිල්ලා ඒ ගොල්ලන්ට කියලා දෙන්නකෝ නීති, පොරොන්දු සහ සිල් තියෙන්නේ කඩන්න මිසක් රකින්න නෙමේ කියලා...හෙහ් හෙහ්.. එතකොට ඔය ප්‍රශ්ණ ඔක්කොම අහවරයි.. පොතක් පිරෙන්න නීති සංග්‍රහයක් හදලා, නිති පතා ඒවා කඩලා, වාර්ෂික හමුවීමක් තියලා ප්‍රගති සමාලෝචනේකුත් කරන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. පුද්ගල නිදහසට මුල් තැන දෙන සමාජයක නීති කියා කියන්නේ කිසියම් පිරිසක් විසින් තමන්ගේ පොදු යහපත තකා ස්වේච්ඡාවෙන් එකඟ වී ඇති කරුණු සමූහයක් නිසා, නීති කැඩීමෙන් බොහෝ දෙනෙකුට වෙන්නේ අවාසියකි. ඒ නිසා, බොහෝ දෙනෙකු විසින් නීති පිළිපදින අතර බලෙන් නීති ක්‍රියාත්මක කරන්නට වෙන්නේ කලාතුරකිනි. එසේ නොවී, සමාජයේ වැඩි පිරිසක් නීති කඩනවානම් එයින් පෙනෙන්නේ නීතියේ කිසියම් වැරැද්දක් ඇති බවයි. වැඩි දෙනෙකුට යහපතක් නොසලසන, වැඩි දෙනෙකු ස්වේච්ඡාවෙන් පිළිපැදීමට අකැමැති නීති ක්‍රියාත්මක කළ හැක්කේ දිගින් දිගටම බලය යෙදවීමෙන් පමණි. එය දිගුකාලීනව සාර්ථක නැත.

      Delete
    2. පුංචි විහිළුවක් කළේ... බොහෝ විට ලංකාවෙ වෙන්නෙ ඕකනෙ...

      දකුණු පැත්තේ ගෙවල් සාපේකෂව පොඩිනම් ඒ පැත්තේ හැමෝටම ගබඩා ගෙයක් තියා ගන්න දුන්නොත් අවුල මොකක්ද? එතකොට අලංකාරයට බාධාවක් වෙයි කියලා මට පේන්නේ නෑ.

      Delete
    3. විහිළුවක් බව තේරුණා, සෙන්නා.

      //දකුණු පැත්තේ ගෙවල් සාපේකෂව පොඩිනම් ඒ පැත්තේ හැමෝටම ගබඩා ගෙයක් තියා ගන්න දුන්නොත් අවුල මොකක්ද?//
      දැනට තියෙන්නේ එහෙම තමයි. දෙපැත්තේ නීති මාලා දෙක එකතු කර එකක් හැදීමට යාමේදී තමයි මෙය ප්‍රශ්නයක් වෙන්නේ.

      Delete
  4. මාරයි.

    සාමාජිකයන්ගේ මළ ගෙවල් වලට සහභාගී නොවුනොත් දඩ ගහන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. වයස්ගත පුද්ගලයින් දරුවන් සමඟ ජීවත් නොවන නිසාත්, එවැනි අය බොහෝ විට සිටින්නේ එවැනි විශ්‍රාමිකයින් පමණක් ජීවත් වන අසල්වැසි සාමූහික වල නිසාත්, ගෙවල් වල මිනී තැබීමක් නොකෙරෙන නිසාත් මළ "ගෙවල්" ලංකාවේ තරම් සුලභව දකින්නට නැත. මළ ගෙවල් වෙනුවෙන් බොහෝ විට කරන්නේ කාඩ් පතක් අත්සන් කිරීම හා මල් යැවීමයි. මා හිතන පරිදි පෞද්ගලිකව සහභාගී වීම බොහෝවිට කරන්නේ නිවැසියන්ට අදාළ පල්ලියට යන අයයි. මේ ගැන මට එතරම් පෞද්ගලික අත්දැකීම් නැත. බොහෝ වයස්ගත පුද්ගලයින් මරණයේ වියදම් දරුවන්ට පටවන්නට අකැමැති නිසා ඒ වියදම් වෙනුවෙන් ගන්නා රක්ෂණ ආවරණ වලින් ලංකාවේ මරණාධාර සමිති වලින් කෙරෙන කාර්යය සිදුවේ. ඇත්තටම ලංකාවේ මරණාධාර සමිති ක්‍රමය අසල්වැසියන් එක්ව පිහිටුවා ගන්නා ඉතා හොඳ රක්ෂණ ක්‍රමයකි. මිනිසුන්ට නිදහසේ කටයුතු කරන්නට ඉඩ ලැබෙන විට මිනිස්සු තමන්ගේ ප්‍රශ්න වලට මෙවැනි විසඳුම් සොයා ගනිති.

      Delete
    2. මරණාධාර සමිති තමා ලංකාවේ ගම්වල ආණ්ඩු, ගමක මිනිසුන්ට රජයේ නිළධාරීන්ගේ බලපෑමෙන් නිදහස්ව තීරණ ගතහැකි එකම සංවිධානය, ඒ අයගේ සාමූහික චින්තන රටාවේ පිළිඹිඹුවක් තමයි ගමේ මරණාධාර සමිතියේ නීති රීති, ඇතුල්වීමේ ගාස්තුව 50,000 තරම් වන ඒවා වගේම මරණාර සමිතියට නැත්නම් හාමුදුරුවන්ට පාංශුකූලයට යෑම තහනම්කරන සමිතිත් තියනවා.

      Delete
    3. මෙහෙත් එහෙම තමයි, හරියට වත්තේ තණකොළ නඩත්තු කලේ නැත්නම් හිරේ යන්නේ වෙනවා. 70-year-old woman arrested for not mowing lawn

      Delete
    4. ඇනෝ විසින් ලියා ඇති පරිදිම ඇමරිකාවේ නිවාස හිමියන්ගේ සංගම් වලට නීතිමය බලයක් තියෙනවා. ඒ නිසා, යමෙකුට මේ දේවල් නොකර සිටීමේ හැකියාවක් නැහැ. ලංකාවේ මරණාධාර සමිති වලට එවැනි නීතිමය බලයක් නැති නිසා පාංශුකූලය තහනම් කිරීම වැනි උපක්‍රම භාවිතා කරන්නට සිදුවී ඇති බව සිතිය හැකියි.

      Delete
  5. "වෙනත් අයෙකුගේ නොදැනුවත්කම වෙනුවෙන් මා මිලක් ගෙවිය යුතු නැත."

    හරිම වටින කියමනක්

    ReplyDelete
  6. මාමා ඔය රටේ ඇවිදින වැට මායිම් එහෙම නැතෙයි..?
    නෙබර්හුඩ් එකේ සෙට් එකක් තරහ වෙලා නීති කැඩුවොත් මොකද වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. එහෙ, අනුන්ගේ සීනි කිරන්න යන්නේ නැති නිසා තරහා වෙන්නැතිව ඇති...

      Delete
    2. මම ජීවත්ව සිට ඇති ගෙවල් වල යාබද නිවෙස් වලට අයත් සීමාවන් වෙන් කරන වැට මායිම් නොතිබුණු තරම්. බොහෝ විට නිවෙස ඉදිරිපස කොටසේ එවැනි වැට මායිම් නැහැ. මෙය තරමක ප්‍රශ්නයක් වෙන්නේ තණකොළ කපන විට සහ හිම ඉවත් කරන විටයි. බොහෝ විට මම වගේම මගේ අසල්වැසියන්ද කරන්නේ මුලින් කරන කෙනා අනිත් පැත්තත් ටිකක් වැඩිපුර කිරීමයි.

      නීති කැඩුවොත් වෙන දේ තමයි උඩ ඇනෝ කෙනෙක් දමල තියෙන්නේ.

      Delete
  7. අපේ තියෙන්නේ නේබර්හුඩ් වොච් එකක් විතරයි. රෑට පොඩ්ඩක විදින්න යනවා අමුතු අන්දමේ මිනිස්සු එනවද කියල. එච්චරයි. ඔය ක්‍රමයට ගෙයක් එහෙම ගන්නත් අමාරු ඇතිනේ ඒ පැත්තක. මොකද සංගමය වලියක් දාන්න ඉඩ තිබෙනවා නේද? එතකොට එකොනොමැට්ට ඔය සමහර වෙලාවට හුඟක් කියන වෙළඳ පොළ ක්‍රමයේ නිදහසට බාධාවක් නෙමෙයිද ඒක? ඔය තියන් සිස්ටම් එක වැරැද්දක් කියනවා නෙමේ. මට හිතනවා ඔය ක්‍රමය නිසා කළු ජාතිකයන්ගේ ගෙටෝ වුනත් හැදුනේ ඒ නිසාය කියල. ඔබ ඉන්න තැන මික්ස් එකක් නම් එහෙම ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. නේබර්හුඩ් වොච් වෙනම තියෙනවා. අපි සිටින හරියේ මෙය දැනට වෙන්නේ නැහැ. ආරක්ෂාව පිළිබඳ කිසියම් හෝ ප්‍රශ්නයක් වූ විට (සොරකමක් වැනි) ටික කාලයක් මෙය වෙනවා. සිදුවන ආකාරය අජිත් ලියා ඇති ආකාරයට සමානයි.

      //ඔය ක්‍රමයට ගෙයක් එහෙම ගන්නත් අමාරු ඇතිනේ ඒ පැත්තක. මොකද සංගමය වලියක් දාන්න ඉඩ තිබෙනවා නේද?// එවැන්නක් කොහෙත්ම වෙන්නේ නැහැ. අළුතින් ගෙයක් ගන්න කෙනෙක් සංගමයේ නීති පිළිපැදීමට බැඳී සිටින නිසා සංගමයට එසේ කිරීමට අවශ්‍යතාවයක් නැහැ. ගෙයක් මිලදී ගැනීමේ ක්‍රියාවලියට සංගමය සම්බන්ධ වෙන්නේ නැහැ.

      //එතකොට එකොනොමැට්ට ඔය සමහර වෙලාවට හුඟක් කියන වෙළඳ පොළ ක්‍රමයේ නිදහසට බාධාවක් නෙමෙයිද ඒක?//
      පැහැදිලිවම නැහැ. මම මෙය ලිවුවේම නිදහස් වෙළඳපොළ කියන්නේ තම තමන්ගේ ලාභ වෙනුවෙන් මිනිසුන් මරා ගන්නා ක්‍රමයක් කියා ඇතැම් අය හිතන නිසා (අජිත් ගැන නෙමෙයි කියන්නේ) එය එසේ නොවන බව පෙන්වන්නයි. නිදහස් වෙළඳපොළකදී වෙන්නේ මිනිසුන් අනෙකාගේ ලාභ ලැබීමේ නිදහසට ගරු කරමින් තමන්ගේ ලාභ ලැබීමේ නිදහස වෙනුවෙන් ක්‍රියාත්මක වීම තුළ අන්‍යෝන්‍ය යහපත සැලසෙන ක්‍රමයක්. මෙහිදීත් සියල්ලන්ටම සැලසෙන්නේ යහපතක්. නිදහස් මිනිසුන්ට තමන්ගේ පොදු හා පෞද්ගලික ප්‍රශ්න වලට විසඳුම් සොයාගත හැකියි. කවුරුත් බලෙන් විසඳුම් ලබා දිය යුතු නැහැ.

      //ඔය ක්‍රමය නිසා කළු ජාතිකයන්ගේ ගෙටෝ වුනත් හැදුනේ ඒ නිසාය කියල. ඔබ ඉන්න තැන මික්ස් එකක් නම් එහෙම ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්.//
      මෙය ටිකක් දුරට ඇත්තක්. ගෙයක් මිලදී ගන්නා විට පුද්ගලයෙකුගේ හමේ වර්ණය වැනි සාධක මත වෙනස්කම් කළ නොහැකියි. කළු අයෙක් වැඩි මිලක් ගෙවනවනම් සුදු කෙනෙකුට අඩුවෙන් ගෙයක් විකිණීමට කිසිවෙකු පෙළඹෙන්නේ නැහැ. නමුත් මෙය වෙනත් හේතුවක් නිසා එසේ සිදුවෙනවා. අසල්වැසියන් පිළිවෙලකට ඉන්න තැනක මම පදිංචියට යනවනම් මටත් එසේ ඉන්න වෙනවා. එසේ නැත්නම් එවැනි අවශ්‍යතාවයක් නැති තැනක් මට තෝරාගන්න පුළුවන්. හැබැයි එවිට මට ලැබෙන අසල්වැසියනුත් මම වගේම පිළිවෙලක් නැති අය. මම හිතනවානම් මට ගේ ඉදිරිපිට රෙදි වැලක් ඇදගන්නට නිදහස තිබිය යුතුයි කියා මම තෝරාගන්නේ ඒ සඳහා ඉඩ ලැබෙන තැනක්. එවිට මට හමුවන්නේ තවත් රෙදිවැල් අදින අසල්වැසියන් පිරිසක්. ඔවුන් වැඩි දෙනක් කිසියම් සුළුතර ජනවර්ගයකට අයත් වෙන්න පුළුවන්.

      Delete
    2. දැන් මට කොමියුනිස්ට් ගඳයෙක් කියල චෝදනාවක් එන්නත් පුළුවන් මේක කියල. හැබැයි මේ ක්‍රමය ටිකක් සමාන වෙන්නේ අර මාක්ස් කිව්වා ධනවාදයේ උච්චත්වයෙන් පසු එන කොමියුනිස්ට් සමාජයට නේද? රජයේ සම්බන්ධයක් නැතුව මිනිසුන් තමන්ම ඒරියා එකක් පොඩි පාලනයක් අරගෙන තමන්ගේ පොඩි නීති පද්ධතියක් දාගන්න එක. අපේ පැත්තේ ගෙවල් ළඟ ප්‍රශ්න කියන්න කවුන්සිල් එකේ නියෝජිතයෝ ගාවට යන්න ඕනේ. ඇති වැඩකුත් නැහැ එන පක්ෂ දේශපාලනයට සම්බන්ධ අය නිසා. මමත් අපේ ගෙවල් පැත්තේ ඔහොම් එකක් හදන්න ඕනේ බලන්න. අපි ඉන්න නිවෙස් සමුහය මැද තියෙන්නේ තණ පිට්ටනියක් වටේම ගෙවල් 22 පමණ තිබෙනවා. කරන්න බැරි කමක් නැහැ.

      Delete
    3. වැඩි දේවල් දැනට ලියන්නේ නැහැ. හිතන්න පොළඹවන්න තමයි මෙය ලිවුවේ.

      Delete
  8. අතේ තියෙන හැරමිටිය වනන්න පුළුවන් සිමාව තමනුත් නියෝජනය කරන සාමුහිකයකින් තීරණය කර නිත්‍යානුකුල කර තිබෙන හැඩයි.
    මේ "නිවැසි සංගම්වල"බලතල නිසා පළත් පාලන ආයතන කටයුතුවලට බලපෑමක් නැතිද ?මේ "නිවැසි සංගම්" නිර්දේශපාලනික එව්වාද ?

    ReplyDelete
    Replies
    1. මේවායින් මෙහි විස්තර කර ඇති ආකාරයේ අදාළ කටයුතු මිස වැඩි දේවල් කෙරෙන්නේ නැහැ. සංගම් සම්පූර්ණයෙන්ම නිර්පාක්ෂිකයි. (මම හිතන්නේ ඔබ අදහස් කරන්න ඇත්තේ නිර්පාක්ෂිකද කියන එක විය යුතුයි කියා. පුළුල් අර්ථයෙන් දේශපාලනය හැම දෙයකටම සම්බන්ධයි.) ප්‍රාදේශීය දේශපාලනයේ මීට වඩා ඉහළින් ඇති පාසැල් පරිපාලන මණ්ඩල වැනි ඒවාත් පක්ෂ දේශපාලනය සමඟ පැටලී නැහැ. ඇතැම් ප්‍රාන්ත වල පළාත් පාලන ආයතන වල තනතුරු පවා පක්ෂ දේශපාලනයට සම්බන්ධ නැහැ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget