Wednesday, March 15, 2017

ඇමරිකාවේ පොදු පාසැල්

ඇමරිකාවේ මූලික අධ්‍යාපනය ලැබිය යුතු වයසේ සිසුන්ගෙන් 3%කට නොඅඩු ප්‍රතිශතයක් ගෘහ පාසැල් අධ්‍යාපනය ලබන බවත්, තවත් 10%ක් පමණ පෞද්ගලික පාසැලක ඉගෙනුම ලබන බවත් දැන් ඔබ දනී. එසේ වුවද, මේ සිසුන්ගෙන් අතිමහත් බහුතරය, එනම් 87%කට ආසන්න පිරිසක් සිය මූලික අධ්‍යාපනය ලබන්නේ පොදු පාසැලකිනි.

මෙහිදී මම රජයේ පාසැල් යන වචනය හිතාමතාම නොයෙදුවේ මේ පාසැල් රජයේ නියාමනයට ලක්වුවත් ඒ ලංකාවට සාපේක්ෂව ඉතා අඩුවෙන් බැවිනි.

පොදු පාසැල් පද්ධතිය තුළද වරලත් පාසැල් හා මැග්නට් පාසැල් ආදී වඩා ස්වාධීන පාසැල් තිබුණත් වඩාම පොදු පාසැල් ආකෘතිය වන්නේ පාසැල් දිස්ත්‍රික්ක යටතේ පාසැල් සංවිධානය වීමයි. මේ පාසැල් දිස්ත්‍රික්කයක් යනු කුඩා ප්‍රදේශයක පිහිටි විවිධ වර්ග වල පාසැල් කිහිපයක එකතුවකි.

අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටි සිසුන් විසිදහසකට වැඩි පිරිසක් සිටින අපේ පාසැල් දිස්ත්‍රික්කය සාපේක්ෂව විශාල පාසැල් දිස්ත්‍රික්කයකි. එයට මූලික පාසැල් 12ක් (පෙරපාසැල් වසරේ සිට හතරවන ශ්‍රේණිය දක්වා), අතරමැදි පාසැල් හතරක් (5 හා 6 ශ්‍රේණි), කනිෂ්ඨ උසස් පාසැල් හතරක් (7 හා 8 ශ්‍රේණි) හා උසස් පාසැල් දෙකක් (9-12 ශ්‍රේණි) ලෙස පාසැල් 22ක් අයිතිය.

මේ ආකාරයෙන් වර්ග හතරකට පාසැල් බෙදීම ඇමරිකාවේ සුලභම ක්‍රමය නොවේ. අපේ නිවසට සැතපුම් දෙක තුනක් දකුණින් ඇති ප්‍රදේශ අයත් වන පාසැල් දිස්ත්‍රික්කයේ ඇත්තේ පාසැල් වර්ග තුනකි. ඒ මූලික පාසැල් (පෙරපාසැල් වසරේ සිට පස්වන ශ්‍රේණිය දක්වා), මැදි විදුහල් (6-8 ශ්‍රේණි) හා උසස් පාසැල් (9-12 ශ්‍රේණි) වශයෙනි. ඇමරිකාවේ බොහෝ පාසැල් දිස්ත්‍රික්ක වල ඇත්තේ මේ තෙවර්ගයේ පාසැල්ය.

ඇමරිකාවේ පාසැල් දිස්ත්‍රික්කයකට අයත් වන සාමාන්‍ය පාසැල් ගණන 6-7 පමණද, සාමාන්‍ය සිසුන් ගණන 4,000 පමණද වුවත්, මිලියනය ඉක්මවන සිසුන් ගණනක් හා පාසැල් 1,800ක් පමණ අයත් වන විශාල පාසැල් දිස්ත්‍රික්කද තිබේ.

අධ්‍යාපනය ඇමරිකාවේ ප්‍රාන්ත විෂයයක් බැවින් ඒ කෙරෙහි ෆෙඩරල් රජයේ බලපෑම ඉතාම සීමිතය. මේ හේතුව නිසා අධ්‍යාපන ප්‍රතිපත්ති මෙන්ම පොදු පාසැල් පරිපාලනය හා නියාමනය කෙරෙන ආකාරයද ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට විශාල ලෙස වෙනස් වේ.

පාසැල් පරිපාලනය මූලිකවම අදාළ පාසැල් දිස්ත්‍රික්කයේ පාසැල් මණ්ඩලයේ කටයුත්තකි. අපේ පාසැල් දිස්ත්‍රික්කයේ පාසැල් මණ්ඩලයට සාමාජිකයින් හත් දෙනෙකු අයත් වන අතර ඒ අය පාසැල් දිස්ත්‍රික්කයේ කලාප හතක් නියෝජනය කරයි. අප සිටින කලාපයේ නියෝජිතයා පත්වන්නේ අපේ ඡන්දයෙනි. අපේ පාසැල් දිස්ත්‍රික්කය තුළ, මේ කලාපයක් යනු ගෙවල් පන්දහසක් පමණ (සිසුන් තුන්දහසක් පමණ) අයත් වන වර්ග සැතපුම් දහතුනක පමණ ප්‍රදේශයකි.

නියෝජිතයෙකුගේ ධුර කාලය වසර හතරක් වන අතර අදාළ මැතිවරණ ඇමරිකාවේ මැතිවරණ දිනයේදී පැවැත්වේ. එහෙත් පාසැල් මණ්ඩලයේ සාමාජිකයින් සියළු දෙනාවම එකවර වෙනස් කෙරෙන්නේ නැත. අපේ පාසැල් දිස්ත්‍රික්කයේ නියෝජිතයින් සිවුදෙනෙකු වරකටත්, ඉතිරි තිදෙනා දෙවසරකට පසුවත් මෙසේ තෝරා ගැනේ. ඇමරිකාවේ පාසැල් මණ්ඩල සාමාජිකයින් බොහෝ දෙනෙකු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති, වැටුප් නොගෙන ස්වේච්ඡාවෙන් වැඩ කරන අයයි.  


ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන අධ්‍යාපන අධිකාරීවරයාද තෝරාගැනෙන්නේ මහජන ඡන්දයෙනි. ප්‍රාන්තයේ ප්‍රධාන තනතුරක් වන මේ තනතුරනම් සාමාන්‍යයෙන් නිර්පාක්ෂික තනතුරක් නොවන අතර, මෙවර තරඟකර ජයගත්තේ රිපබ්ලිකන් පාක්ෂිකයෙකි.

අපේ පාසැල් දිස්ත්‍රික්කයේ වියදම් වලින් වැඩිම කොටස ලබා ගන්නේ ප්‍රදේශයේ ජීවත්වන්නන් විසින් ගෙවන දේපල බදු වලිනි. මේ මුදලට ආසන්න ප්‍රමාණයක් ප්‍රාන්ත රජයෙන්ද ලැබේ. තවත් කොටසක් දෙමවුපියන්ගෙන් හා වෙනත් ආධාර ලෙස ලැබේ. ෆෙඩරල් රජයෙන් අපේ පාසැල් දිස්ත්‍රික්කයට සැලකිය යුතු මුදලක් නොලැබෙන බව මගේ අදහසයි.

ඇමරිකාවේ පොදු පාසැල් නඩත්තු කිරීම සඳහා බොහෝ විට යොදාගන්නේ අදාළ ප්‍රදේශයේ දේපළ වල වටිනාකමින් ප්‍රතිශතයක් ලෙස අය කරන දේපළ බදුය. මේ ක්‍රමය යටතේ දේපළ වටිනාකම අඩු පාසැල් දිස්ත්‍රික්ක වලට ප්‍රමාණවත් ප්‍රතිපාදන නොලැබෙන්නට ඉඩ ඇති බැවින් ප්‍රාන්ත රජය විසින් අරමුදල් වෙන් කිරීමේදී එවැනි දිස්ත්‍රික්ක වලට වැඩිපුර ප්‍රතිපාදන ලබාදෙයි. අපේ පාසැල් දිස්ත්‍රික්කයේ වාසය කරන්නන් සාපේක්ෂව ඉහළ ආදායම් ලබන්නන් නිසා අපට ප්‍රාන්ත ප්‍රතිපාදන ලැබෙන්නේ අඩුවෙනි. මේ අයුරින්ම, ෆෙඩරල් රජය විසින් රටේ කවර හෝ ප්‍රාන්තයක ඇති ප්‍රමාණවත් ආදායම් නොලබන පාසැල් දිස්ත්‍රික්ක වෙනුවෙන් හා විශේෂ අවශ්‍යතා ඇති සිසුන් වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කරයි.

පාසැල් මණ්ඩල සාමාජිකයින් විසින් අධ්‍යාපන අධිකාරීවරයෙකු බඳවාගන්නා අතර දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පරිපාලන කටයුතු මෙහෙයවන්නේ මේ අධිකාරීවරයාය. පාසැල් දිස්ත්‍රික්කය විසින් එක් එක් පාසැලේ ඇති විදුහල්පති හා ගුරු පුරප්පාඩු පුරවයි. මේ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් එක් පාසැලකින් අස්වී වැඩි වැටුප් ගෙවන වෙනත් පාසැලක සේවයට යාම දුලබ දෙයක් නොවේ.

අපේ ප්‍රාන්තයේ විවිධ පාසැල් දිස්ත්‍රික්ක වල ගුරු වැටුප් සැසඳූ විට පෙනී යන කරුණක් වන්නේ වඩා හොඳ පාසැල් දිස්ත්‍රික්ක වල සාමාන්‍ය ගුරුවැටුප් අඩු බවයි. එතරම් ජනප්‍රිය නැති පාසැල් වලට ගුරුවරුන් බඳවාගැනීම අසීරු නිසා ඔවුන්ට වැඩි වැටුප් ගෙවන්නට සිදුවීම මෙයට හේතු වනවා විය හැකිය.

අපේ පාසැල් දිස්ත්‍රික්කයේ තත්ත්වය නඟා සිටුවීම පිණිස දේපළ බදු ලෙස දේපොළ වටිනාකමින් 0.2%ක් අමතරව ලබාගැනීම සඳහා පසුගිය මැතිවරණ දිනයේදී ජනමතවිචාරණයක් පැවැත්වුනේය. මේ මුදල් අවශ්‍ය වන්නේ කවර වියදම් සඳහාද යන්න පාසැල් මණ්ඩලය විසින් පැහැදිලි ලෙස දැනුම් දුන්නේය. වැඩිපුර ගුරුවරුන් බඳවාගෙන සිසු-ගුරු අනුපාතය පහළ දැමීම, ජාත්‍යන්තර භාෂා ඉගැන්වීම පුළුල් කිරීම, වඩා හොඳ ගුරුවරුන් බඳවා ගැනීම හා රඳවා ගැනීම පිණිස ගුරු වැටුප් හා අනෙක් පහසුකම් තරමක් ඉහළ දැමීම, ගුරුවරුන්ට ලබා දෙන පුහුණු වැඩසටහන් පුළුල් කිරීම මෙන්ම දැනට දෙමවුපියන් විසින් දරන ඇතැම් වියදම් පාසැල විසින් දැරීම මේ යෝජනා අතර විය. 


මේ යෝජනාව 70% ඉක්මවූ ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළේය. ඒ අනුව, ඉදිරි වසර හතක කාලය තුළ අපට 0.2%ක අමතර දේපළ බද්දක් පාසැල් නඩත්තුව වෙනුවෙන් ගෙවන්නට සිදුවනු ඇත. 

සිය දරුවන්ට පෞද්ගලික පාසැල් අධ්‍යාපනයක් හෝ ගෘහ පාසැල් අධ්‍යාපනයක් ලබාදීම සියළු දෙමවුපියන්ට කළ නොහැක්කකි. ඒ අතරම, අපේ ප්‍රදේශයේ පාසැල් යායුතු වයසේ දරුවන් සියල්ලන්ටම නිසි මූලික අධ්‍යාපනයක් ලැබීම ප්‍රදේශයේ සියල්ලන්ටම සමාජ ප්‍රතිලාභ ගෙනදේ. අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන වියදම් සුබසාධනය වන පරිදි වැඩි බදු මුදලක් ගෙවීමට අපේ පාසැල් දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් කැමති වීමෙන් පෙනෙන්නේ මේ සමාජ ප්‍රතිලාභ පිළිබඳව ඔවුන්ට අවබෝධයක් ඇති බවයි.

(Image: http://www.educationnews.org/education-policy-and-politics/brookings-u-s-schools-move-up-in-international-rankings/)

14 comments:

  1. එතකොට ගෘහ අධ්‍යාපනය හෝ පෞද්ගලික අධ්‍යාපනය ලබන සිසුන්ගේ දෙමාපියන් ඔය බද්ද ගෙවන්න ඕනා නැද්ද ? එහෙම ගෙවන්න වෙනවනම් ඒක ඔවුන්ට වෙන අසාධාරණයක් නේද ?

    එතකොට හැම අවුරුද්දෙම රේස් එකක් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. දේපොළ බදු සියළු දෙනා විසින්ම ගෙවිය යුතුයි. අපේ ප්‍රාන්තයේ ගෘහ පාසැල් අධ්‍යාපනය හෝ පෞද්ගලික පාසැල් අධ්‍යාපනය ලබන දරුවන් සිටින දෙමවුපියන්ට ප්‍රාන්ත ආදායම් බදු ගෙවීමේදී බදු සහනයක් ලැබෙනවා. ඒ නිසා එය වෙනත් අයුරකින් (මුළුමනින්ම නොවූවත්) සමතුලිත වෙනවා.

      රේස් ප්‍රශ්නය පැහැදිලි මදි. විභාග තරඟයද නැත්නම් පාසැල් තරඟයද?

      Delete
    2. පාසැල් තරගය... මෙහෙ ඕක ලෝක යුද්ධයක් මට්ටමටම යනවනේ...

      Delete
    3. I think he means a raise in the taxes.

      Delete
    4. රටේ ඕනෑම නිවසකට අදාළව එක් එක් වර්ගයේ (මූලික, මැදි හා උසස් එසේ නැත්නම් අපේ පාසැල් දිස්ත්‍රික්කයේ මෙන් මූලික, අතරමැදි, කනිෂ්ඨ උසස් හා උසස්) නිශ්චිත පාසැලක් තිබෙන නිසා කිසිදු දරුවෙකු පොදු පාසැල් අධ්‍යාපනයෙන් බැහැර කෙරෙන්නේ නැහැ. ඒ වගේම හැමවිටම වාගේ (ඇතැම් සීමිත තැන් වල හැර) කිසිවකුට තමන් අයත් වන පොදු පාසැලට මිස වෙනත් පාසැලකට ඇතුළු වීමේ හැකියාවක් නැති නිසා ජනප්‍රිය පාසැල් ප්‍රශ්නයක් විශාල ලෙස නැහැ. තමන් කැමති පොදු පාසැලක් තෝරා ගැනීමට තිබෙන එකම ක්‍රමය පදිංචිය වෙනස් කිරීම පමණයි. එවිට ගෙවිය යුතු දේපළ බදු ප්‍රතිශතයත් වෙනස් විය හැකියි.

      අඩු වශයෙන් අපේ පාසැල් දිස්ත්‍රික්කයේ පොදු පාසැල් වියදම් වෙනුවෙන් වැය කෙරෙන දේපොළ බදු අනුපාතිකය සම්මත කර ගන්නේ වසර හතක කාලයක් සඳහා. හැම වසරකම එය වැඩි කරන්නේ නැහැ. පසුගිය වර මෙසේ සම්මත කරගෙන තිබුණු අනුපාතිකය අඩු එකක් වීම නිසා මෙවර ජනමත විචාරණයෙන් එය වැඩි කරගන්නා තුරු අපේ පාසැල් දිස්ත්‍රික්කයේ පාසැල් නඩත්තු කර තිබුණේ ඇතැම් වියදම් සීමා කරමින් තරමක් අසීරුවෙන්. මේ කාලය තුළ ගුරු වැටුප් ප්‍රමාණවත් තරමින් වැඩි නොවීම නිසා ඇතැම් ගුරුවරුන් යාබද පාසැල් දිස්ත්‍රික්ක වල පාසැල් වල පත්වීම් ලබා ඉවත්ව ගොස් තිබුණා.

      වැදගත් කරුණ වන්නේ තමන් ගෙවන බදු මුදලට ප්‍රමාණවත් සේවයක් සැලසෙන බව අඩු වශයෙන් අපේ ප්‍රදේශයේ 50%වත් නොසිතනවානම් මේ පොදු පාසැල් පද්ධතිය නඩත්තු කිරීම අසීරු වන බවයි. ඒ නිසා, ගුරුවරුන්, අධ්‍යාපන පරිපාලකයින් ඇතුළු අදාළ පාර්ශ්වයන්ට තමන් ලබන වැටුපට සරිලන සේවයක් ලබා දෙන්නට සහ ඒ බව පෙනෙන්නේට සැලැස්වීමට සිදුවෙනවා.

      Delete
  2. අර පින්තූරෙ පේන විධිහටනම් නිල ඇඳුමක් නෑ වගේ.. එහෙම ද ?

    ReplyDelete
    Replies
    1. පොදු පාසැල් වල සිසුසිසුවියන්ට සාමාන්‍යයෙන් නිල ඇඳුමක් නැහැ. Dress code එකක් පමණයි තියෙන්නේ. (පාසැල් බස් වලටනම් නිල ඇඳුමක් තියෙනවා.)

      Delete
    2. Here is the dress code from my son's middle school.

      "Welcome back from Spring Break! With spring comes warmer weather and we would like to take a moment to remind our parents and students of our dress code. Specific inappropriate clothing are slippers, pajama-like pants, swimwear, bandanas, hats, shirts that don’t come to the waist, men’s tank top undershirts, girls spaghetti-strap shirts, short shorts and skirts (all skirts and shorts must come to the bottom of the student’s middle finger at the side of the leg.) If attire does not meet these guidelines, students will be asked to change, or a parent or guardian will be contacted to bring a change of clothes."

      Delete
  3. ස්තූතියි ඉකෝන්...

    අමරිකාවෙ පාසල් පද්ධතිය ක්‍රියාත්මක වෙන ආකාරය ගැන බොහෝ දේවල් දැනගත්තා. මම මීට කලින් අමරිකාවෙ අධ්‍යාපනය ගැන දැනගෙන හිටියෙ අර කහ පාට මහ විසාල School Bus කියල බඳේ ලොකු අකුරින් ලියපු GMC බස් ගැන විතරයි. එව්වයෙ අළුත් වර්ෂන් එක තමයි මම හිතන්නෙ ඔය පින්තූරෙ තියෙන්නෙ.

    එව්ව ගැනත් දන්නෙ සේවයෙන් අයින් කරපු ඒ බස් බර ගාණක් මෙහෙ ගෙනල්ල වැඩබිම් වලට සේවකයො ප්‍රවාහනය කරන්ට යොදවල තියන හින්ද....:)

    ReplyDelete
    Replies
    1. මේ පාසැල් බස් විශාල සහනයක්. පාසැලක සිට නිවසකට (අසල්වාසී සාමූහිකයකට) නිශ්චිත පාසැල් බස් රථයක් තිබෙන නිසා දරුවන් පාසැලට යාම සහ ගෙදර ආපසු පැමිණීම ඉතාම සුරක්ෂිත ලෙස සිදුවෙනවා. සියල්ලන්ම යන්නේ නිවස අසල තිබෙන පාසැලට නිසා දුර එතරම් වැඩි නැතත් මෙයිනුත් දරුවන්ට සමාජ ආශ්‍රයට වැඩි ඉඩක් ලැබෙනවා.

      Delete
  4. ළමයින්ට වැරදි පැත්තෙන් බස් එකට නගින්න පුරුදු කරන එක නම් නරකයි.

    ;-)

    ReplyDelete
    Replies
    1. ඩ්‍රයිවර්ලා වැරදි පැත්තෙන් එළවනවා දකින කොට ළමයි වැරදි පැත්තෙන් නඟින්න පුරුදු වෙනවා. :)

      Delete
  5. ඉංග්‍රීසි නොවන බාශා වලින් උගන්වන පොදු පාසල් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. තිබෙනවා. එහෙත්, ඉතා සීමිතව. ඇමරිකාව හැදුණු මුල් කාලයේ විවිධ භාෂා වලින් ඉගැන්වීම සුලභ වුවත් ඒ හේතුවෙන් මුල් භාෂාව ඉංග්‍රීසි නොවූ යට ඉංග්‍රීසි ඉගෙනීමට ඇති ඉඩකඩ සීමා වන බවට ඇති වූ අදහස මත ඉංග්‍රීසි පමණක් පැත්තට රැල්ල හැමුවා. පසුව මෑතක සිට එය නැවතත් අනිත් පැත්තට වෙනස් වෙමින් පවතිනවා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget