Friday, March 31, 2017

තිලීපන්ගේ මාරාන්තික උපවාසය

ලංකා ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයක් ලෙස සැලකිය හැකි 1987-89 කාලය පසුකර පැමිණ, අද දක්වා ජීවත් වීමට වාසනාව ලබා ඇති අපේ පරම්පරාවේ අයට ඒ කාලය ජීවිතයේ අමතක කළ නොහැකි කාලපරිච්ඡේදයක් වුවත්, ඒ කාලයෙන් පසුව ඉපැදුණු හා ඒ කාලයේ කුඩා දරුවන්ව සිටි අද සිංහල බ්ලොග් කියවන බොහෝ දෙනෙකුට ඒ කාලයේ ලංකාවේ පැවති තත්ත්වය ගැන නිසි අවබෝධයක් නැති වීම තේරුම් ගැනීමට අපහසු කරුණක් නොවේ. ජනතා විමුක්ති පෙරමුණ මුල්ව බිහි කළ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ භීෂණය හා එයට එරෙහිව ක්‍රියාත්මක වූ රජයේ නිල ආරක්ෂක අංශ වල හා ප්‍රා, කහ බළල්ලු වැනි නිල නොවන මිනීමරු කල්ලි වල ප්‍රති භීෂණය හමුවේ වරක් හෝ මරණ භය නොදැනුණු අයෙක් ඒ කාලයේ දකුණේ සිටියාදැයි සැක සහිතය.

දකුණේ තත්ත්වය මෙසේ වෙද්දී, මේ කාලයේ උතුරේ ජනතාව ජීවත් වුනේ එල්ටීටීඊ සංවිධානය ඇතුළු වෙනම රාජ්‍යයක් ලබා ගැනීම සඳහා සටන් කළ දෙමළ සංවිධාන රාශියක, ඉන්දීය සාමසාධක හමුදාවේ හා ලංකාවේ ආරක්ෂක අංශ වල භීෂණයට මුහුණ දෙමිනි. දැන් සිංහල බ්ලොග් කියවන බොහෝ දෙනෙකුට ප්‍රභාකරන්ගේ මරණයෙන් අවසන් වුනු ඊළාම් අරගලයේ පසුකාලීන අදියර ගැන අමුතුවෙන් විස්තර කරන්නට අවශ්‍ය නැතත් එහි මුල් යුගය ගැන හරි හැටි නොදන්නා අය ඕනෑ තරම් සිටින්නට පුළුවන.

ලංකාවේ ඊළාම් අරගලයේ ඓතිහාසික විකාශනය ගැන සාකච්ඡා කිරීම පැත්තකින් තැබුවොත්, ඊළාම් යුද්ධයේ ආරම්භය 1983 බව පුළුල් ලෙස පිළිගැනෙන කරුණකි. එම වසරේදී, උතුරේදී හමුදා සාමාජිකයින් 13 දෙනෙකු මරා දමනු ලැබීමත්, එයින් පසුව දකුණේ ඇති වූ ජාතිවාදී කෝලාහල ගැනත් ඕනෑ තරම් කතා කෙරී තිබේ. මේ සිද්ධියෙන් පසුව, උතුරේ සන්නද්ධ සංවිධාන වලට අළුත් සාමාජිකයින් ආකර්ශනය කර ගැනීම වඩා පහසු වූ අතර එය එම සංවිධාන වල සීඝ්‍ර වර්ධනයට හේතුවිය.

මෙහිදී, එල්ටීටීඊ සංවිධානය නොකියා උතුරේ සන්නද්ධ සංවිධාන ලෙස සඳහන් කළේ ඒ කාලයේ එවැනි සංවිධාන ගණනාවක් තිබුණු බැවිනි. මෙම සංවිධාන අතර උමා මහේෂ්වරන්ගේ ප්ලොට් සංවිධානය, වී බාලකුමාර්ගේ ඊරෝස් සංවිධානය, ශ්‍රී සභාරත්නම්ගේ ටෙලෝ සංවිධානය හා කේ පත්මනාභගේ ඊපීආර්එල්එෆ් සංවිධානය ඊළාම් යුද්ධයේ මුල් අදියරේදී එල්ටීටීඊ සංවිධානය සමඟ යම් තරමකින් කරට කර සිටි සංවිධානයි. 1987-89 කාලය එල්ටීටීඊ සංවිධානය විසින් අනෙකුත් දෙමළ සන්නද්ධ කණ්ඩායම් සමූලඝාතනය කිරීමෙන් හෝ තම සංවිධානය තුළට අවශෝෂණය කර ගැනීම හරහා දියකර හරිමින් උතුරේ ප්‍රධාන සන්නද්ධ කණ්ඩායම ලෙස ඒකාධිකාරයක් අත්කරගත් යුගයයි.

අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් යටපත් කිරීමෙන් පසුව එල්ටීටීඊ සංවිධානය උතුරේ ශ්‍රී ලංකා රජයට එරෙහි ප්‍රබල බලවේගයක් ලෙස ඉස්මතු විය. එවක ජනාධිපති වූ ජේ ආර් ජයවර්ධනගේ රජයේ ජාතික ආරක්ෂක ඇමති ධුරය ලලිත් ඇතුලත්මුදලි විසින් දැරූ 1987 මැද භාගයේදී, බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව හා කර්නල් විජය විමලරත්න වැනි හමුදා නායකයන්ගේ මෙහෙයුමෙන් සිදු කෙරුණු වඩමාරච්චි මෙහෙයුම ඒ වන විට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් විසින් සිදු කර තිබුණු සාර්ථකම මෙහෙයුමක් වූ අතර ජූනි මාසයේ මුල වන විට එල්ටීටීඊ සංවිධානය සෑහෙන දුරකට පසුබැස සිටියේය.

යුද මෙහෙයුම නවතා එල්ටීටීඊ සංවිධානය සමඟ දේශපාලන සාකච්ඡා පවත්වන මෙන් ඉන්දියාව ජයවර්ධන රජයෙන් ඉල්ලා සිටියද ජයවර්ධන රජය ඒ ඉල්ලීම ගණනකට ගත්තේ නැත. මෙය ඉන්දියාවේ සතුටට හේතු නොවූ අතර, එම නොසතුට පෙන්වමින් ඉන්දියාව විසින් 1987 ජූනි 2 වන දින මානුෂික ආධාර රැගත් නිරායුධ බෝට්ටු යාපනයට එවුවද, ලංකාවේ නාවුක හමුදාව මුල්වී එම බෝට්ටු ආපසු හරවා යැවිණි.

ඉන්දියාවේ බෝට්ටු සාර්ථක ලෙස ආපසු හරවා යැවුනද ලංකාවට ඒ ගැන සතුටු වන්නට ලැබුණේ දින දෙකක කාලයක් පමණි. ප්‍රහාරක ගුවන් යානාද සමඟ ලංකාවේ ගුවන් සීමාව උල්ලංඝනය කළ ඉන්දියාව මුහුදෙන් එවන්නට බැරි වූ ආහාර හා ඖෂධ උතුරට ගුවනින් හෙළුවේය. ඉන්දියාවේ මේ බලහත්කාරය හමුවේ ජයවර්ධන රජයට ඉන්දියාව හමුවේ හිස නමා සිය යුද මෙහෙයුම් නතර කරන්නට සිදුවිය.

ඉන්දියාව විසින් ගුවනින් "පරිප්පු හෙළීමෙන්" පසු ඉතා කෙටි කාලයක් තුළ 1987 ජූලි 29 දින ජේ ආර් ජයවර්ධන හා රජීව් ගාන්ධි විසින් ඉන්දු-ශ්‍රී ලංකා  ගිවිසුම අත්සන් කළ අතර, ලංකාවට පළාත් සභා හඳුන්වා දුන් දහතුන්වන ආණ්ඩුක්‍රම සංශෝධනය මෙන්ම ලංකාවට ඉන්දීය සාමසාධක හමුදාව පැමිණීම මේ ගිවිසුමේ ප්‍රතිඵලය. ගිවිසුම අත්සන් කිරීමට පැමිණි රජීව් ගාන්ධිට නාවික සෙබල විජිත් විජයමුණිගේ රයිපල් පහර කන්නට සිදුවූ අතර පසුව එල්ටීටීඊ මරාගෙන මැරෙන ප්‍රහාරයකට ගොදුරුව ජීවිතය නිමා කරන්නට විය. ජනතා විමුක්ති පෙරමුණ විසින් දකුණේ ඉන්දීය විරෝධය රාජ්‍ය විරෝධය සමඟ සාර්ථක ලෙස බද්ධ කරමින් ඇරැඹු සන්නද්ධ අරගලය එම පක්ෂයේ නායකත්වය මුළුමනින්ම විනාශ වීමෙන් අවසන් විය.

ඉන්දීය සාමසාධක හමුදාව ලංකාවට පැමිණියේ දිග්ගැසුණු යුද්ධයක යෙදීමට නොවේ. ඉන්දු-ලංකා ගිවිසුම ප්‍රකාරව ලංකාවේ පළාත් සභා ක්‍රියාත්මක කරන අතර උතුරේ සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරීම ඉන්දියාවේ ආරම්භක අභිප්‍රාය විය. කෙසේවුවද, මෙය අවසන් වූයේ එල්ටීටීඊ සංවිධානය විසින් ඉන්දීය සාමසාධක හමුදාවට එරෙහිවද යුද්ධ ප්‍රකාශ කිරීමෙනි.

එවකට විසිතුන් හැවිරිදි සරසවි සිසුවකු වූ රාසයියා පාර්තිපන් හෙවත් තිලීපන්ගේ මාරාන්තික උපවාසය ඇරඹුණේ ලංකාවේ දෙමළ ප්‍රශ්නය විසඳීම ඉන්දියාව විසින් භාර ගැනීමෙන් පසුව, එල්ටීටීඊ සංවිධානය හා ඉන්දීය සාමසාධක හමුදාව අතර අර්බුද පැන නඟිමින් පැවති වාතාවරණයකය. මේ වන විට තිලීපන් එල්ටීටීඊ සංවිධානයේ යාපනය දේශපාලන නායකයාව සිටියේය.

උතුරේ සන්නද්ධ කණ්ඩායම් විසින් ඔවුන් සතුව තිබුණු ආයුධ ඉන්දීය සාමසාධක හමුදාව වෙත භාරදෙනු ලැබ ඔවුන් විසින් උතුරේ සිය බලය තහවුරු කර ගනිමින් සිටිද්දී සිය අපේක්ෂාවන් ඉටුවන බවක් පෙනෙන්නට නොතිබීමෙන් කණස්සල්ලට පත් එල්ටීටීඊ සංවිධානය විසින් 1987 සැප්තැම්බර් 15 දින කොළඹ ඉන්දීය මහ කොමසාරිස් වෙත ඉල්ලීම් පහක් ඉදිරිපත් කරමින් පැය 24ක් ඇතුළත පිළිතුරක් ඉල්ලා සිටියේය. මේ ඉල්ලීම් පහත ඒවාය.

1. හදිසි නීතිය යටතේ හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ රඳවාගෙන සිටි දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම
2. පුනරුත්ථාපනය යන ලේබලය යටතේ ශ්‍රී ලංකා රජය විසින් කරන සිංහල ජනපදකරණය නැවැත්වීම
3. අන්තර්වාර පරිපාලන ඒකකයක් ඇති කරන තුරු සියළු පුනරුත්ථාපන කටයුතු අත්හිටවීම
4. උතුරු නැගෙනහිර පළාත් වල අළුතින් පොලිස් ස්ථාන ඇති කිරීම අත්හිටවීම
5. ග්‍රාමාරක්ෂක භටයින් නිරායුධ කිරීම හා හමුදා/ පොලිස් භාරයේ ඇති පාසැල් ගොඩනැඟිලි මුදාහැරීම.

මේ ඉල්ලීම් වලින් පෙනෙන්නේ ඉන්දීය සාමසාධක හමුදාව විසින් උතුරේ සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කරමින් සිටියදී ශ්‍රී ලංකා රජය විසින්ද උතුරේ සිය බලය තහවුරු කර ගනිමින් සිට ඇති ඇති බවයි.

එවක ඉන්දීය මහ කොමසාරිස් වූ ජේ එන් ඩික්සිත් විසින් ලිපියට ප්‍රතිචාර ලබාදෙනු තබා අඩුවශයෙන් ලිපිය ලැබුණු බව හෝ දැනුම් නොදුන්නේය. දින දෙකකට පසු 1987 සැප්තැම්බර් 15 දින නල්ලූර්හි කන්දසාමි කෝවිලේදී තිලීපන් විසින් මාරාන්තික උපවාසයක් අරඹන්නේ ශ්‍රී ලංකා රජය ලවා ඉහත ඉල්ලීම් ඉටුකරගැනීම පිණිස ඉන්දියාව පෙළඹවීමේ අවිහිංසාවාදී ක්‍රියාමාර්ගයක් වශයෙනි.

මාරාන්තික යන වචනයේ තේරුම මරණයෙන් අවසන් වන යන්නයි. එහෙත්, මාරාන්තික උපවාස ලෙස ප්‍රචාරණය කරමින් ආරම්භ කරන බොහෝ උපවාස එලෙස මරණයෙන් අවසන් නොවේ.

තිලීපන්ගේ උපවාසය දින දොළහක කාලයක් පැවති අතර මේ කාලය තුළ ඔහුගේ ප්‍රකාශ ඇතුළු සිදුවීම් එල්ටීටීඊ සංවිධානයේ නිදර්ශනම් රූපවාහිණී නාලිකාව මඟින් යාපනය අර්ධද්වීපය තුළ ප්‍රචාරය කෙරුණේය. ආහාර හෝ ජලය ලබා නොගනිමින් දින දොළහක කාලයක් පුරා තිලීපන් විසින් කළ මේ මාරාන්තික උපවාසය දෙමළ ජන විඥානයේ නොමැකෙන සලකුණක් ඇති කළත්, උපවාසය නිසා එයට පාදක වූ ඉල්ලීම් කිසිවක් ඉටු නොවුණේය.

තිලීපන්ගේ මාරාන්තික උපවාසය 1987 සැප්තැම්බර් 26 දින අවසන් විය. ඒ, එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් දෙළුම් යුෂ පෙවීමෙන් පසුව හෝ නල්ලූර් කෝවිලේ ප්‍රධාන පූජකයා විසින් ඔහුගේ නළලේ තිරුනීරු ගෑමෙන් පසුව නොවේ. ක්‍රමයෙන් අවයව දුර්වල වී කෝමා තත්ත්වයකට පත්ව සිටි තිලීපන් අවසානයේ සිය තරුණ ජීවිතය තමන් විශ්වාස කළ අරමුණු වෙනුවෙන් කැප කළ බැවිනි.

නිරපේක්ෂ වීරයින් මෙන්ම ද්‍රෝහීන්ද නැත. 1987-89 කාලයේ විවිධ දේශපාලන බලවේග සමඟ සිටි ලලිත් ඇතුලත්මුදලි, රාජිත සේනාරත්න, රෝහණ විජේවීර, වේලුපිල්ලේ ප්‍රභාකරන් වැනි පුද්ගලයින් ඇතැම් පුද්ගලයින්ගේ වීරයින් හෝ විමුක්තිදායකයින් වෙද්දී තවත් අයට අනුව කෲර මිනීමරුවන් වන්නේ එබැවිනි.

තිලීපන්ගේ කැපකිරීම නිසා ඔහුගේ උපවාසයට මුල්වූ කරුණු ඉටු නොවුණත්, දෙමළ ජනතාවගේ වීරයෙකු වන්නට ඔහුට හැකි විය. එල්ටීටීඒ සංවිධානයට තවත් වසර විසිදෙකක් පුරා සාමාජිකයින් බඳවාගැනීමට තිලීපන්ගේ කැපකිරීම ඉමහත් පිටිවහලක් විය. මහවිරුවෙකු ලෙස සැමරුණු තිලීපන්ගේ සිරුර යාපනය වෛද්‍ය විද්‍යාලයට ලබාදෙනු ලැබූ අතර, ඔහු වෙනුවෙන් දශක ගණනක් පුරා විරු ගී ලියැවිණි.

දෙමළ ඊළාම් අරගලය යුදමය ලෙස පරාජය කෙරුණේය. එහෙත්, ඒ හේතුවෙන් දෙමළ ඊළාම් මතවාදය පරාජය කෙරුණේ නැත. සීමා මායිම් නැති බ්ලොග් අවකාශය නිසා  ඊළාම් අරගලයෙන් ආශක්තව සිටින්නන්ටද සිය අදහස් නිදහසේ පළ කිරීමට ඉඩ සැලසී තිබේ. තිලීපන්ගේ අවසන් දින දොළහ ගැන සටහන් බ්ලොග් අඩවි වල ලියැවෙන්නේ එබැවිනි.


(Image: Wikipedia)

44 comments:

  1. තිලීපන් පිළිකා තත්වයකින් පෙලුනේය. ඔහු මිය යාමට සිටි අතර උපාවාසයේදී ප්‍රභාකරන් එය නවතා ඔහු බේරා ගනු ඇතැයි බලාපොරොත්තු විය​. උපාවාසයේ අවසන් දින කීපයේදී ඔහු ජලය ඉල්ලා ආයාචනා කලද විමුක්ති ගී වාදනය කොට තිලීපන් ගේ දුබල හඞ යටපත් කරන ලදි

    ReplyDelete
    Replies
    1. ප්‍රභාකරන් කොච්චර දූරද්ර්ශීද කියලා හිතෙන්නේ මේවයෙන් තමා.. ජීවත්ව සිටින තිලීපන්ට වඩා මිය යන තිලීපන් තමන්ට වැඩදායි බව ප්‍රභාකරන් කල් තියාම තීරණය කරළා තියෙන්න ඇති.

      හැම කතාවකම පෙන්නන පැත්ත සහ සඟවන පැත්තක් තියනවා කියලා හිතුනා මේ කමෙන්ට් එකෙන්..

      Delete
    2. මේ කතාව තිලීපන් මියගිය දිනවලම අසන්නට ලැබුණු ප්‍රසිද්ධ කතාවකි. ඒ හැර ඒ ගැන වැඩි යමක් දන්නේ නැත.

      Delete
  2. අර නම් ලයිස්තුවට රාජිත සේනාරත්නගේ නම ඇතුලු වුනේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. නෙලුම්යායෙන් පස්සේ රාජිත ගැන ලියවී තිබුණු දේවල් කියෙවුවේ නැද්ද?

      Delete
    2. නෑනේ...එහෙම විශේෂයෙන් රාජිත ගැන ලියවුනු ලිපියක් මගේ ඇස ගැ‍ටුනේ නෑ..

      Delete
    3. විශේෂයෙන් කෙසේ වුවත් සෘජුව හෝ ව්‍යංගව කතා කෙරුණු තැන් කිහිපයක් (1987-88 යුගය සංවේදී ලෙස පසුකළ කෙනෙක්ටනම් මේවා ව්‍යංගම නෙමෙයි)
      ඉයන්: http://lankanian.blogspot.com/2017/03/blog-post_30.html
      උඩුවා: http://uduwaage.blogspot.com/2017/03/blog-post.html
      පැරා: http://www.w3lanka.com/2017/03/blog-post_76.html
      සාරස: http://mallepol.blogspot.com/2017/03/blog-post_56.html
      නොකී කතා: http://nokieekatha.blogspot.com/2017/03/3.html

      Delete
  3. ඊළාම් කියන වචනයට දෙමළ ජාතිවාදීන් දීල තියෙන අර්ථ දැක්වීම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. සුපිරි ව්‍යුහය නොහොත් කන්‍යා පටලය

      Delete
    2. දිලීපට තිබුනේ කොමියුනිස්‍ට් හැදියාව.

      Delete
    3. "දෙමළ ජාතිවාදීන්" කියන එකට වගේම "ඊළාම්" කියන එකටත් අර්ථකතන එකකට වඩා තියෙනවා.

      Delete
  4. තිලීපන් මිය ගියාට පසු වීරයෙක් කිරීමේ හා ඒ මත තම අරමුණු ඉටුකරගැනීමේ අවශ්‍යතාවය ප්‍රභාකරන්ට තිබුනේ. මේ ගැන හොද විස්තරයක්.. ඒ කියන්නේ ඒ අසල ගැවසුන කෙනෙක් විදියට නිරෝමිද සොයිසා තමන්ගේ පොතේ සඳහන් කරල තිබුනා. කොහොම උනත් නිරපේක්ෂ වීරයන් නැති බව මාත් තවමත් විශ්වාස කරන දෙයක්. ඒක නිසා වීරයන් සාපේක්ෂයි. ඒ සාපේක්ෂව තිලීපන් වීරයෙක්.. හොද විස්තරයක්.. ඉකෝ. ඔබගේ සංයමයෙන් යුතු පෙල ගැස්ම ඇත්තටම පැහැදිලි රටාවක්.. ජය

    ReplyDelete
    Replies
    1. //ඒ කියන්නේ ඒ අසල ගැවසුන කෙනෙක් විදියට නිරෝමිද සොයිසා තමන්ගේ පොතේ සඳහන් කරල තිබුනා.//
      මේ පොත ඉතා ඉක්මණින්ම කියවිය යුතුයි. ඊළාම් අරගලය ගැන හා ආශ්‍රිත කරුණු ගැන මුල් කාලයේ ලියැවුණු පොත් බොහොමයක් කියවා ඇතත් යුද්ධය අවසන් වූ පසුව ලියැවුණු ඒවා කියවලාම නැති තරම්.

      Delete
    2. මේ පොත යුද්ධය අවසානය ගැන කියුවක් නොවේ.. සංවිධානයේ මුල් අවස්ථාවේ සිටි ප්‍රභල සාමාජිකාවකගේ කතාවක්.. තමිලිනි ලා හා සමව සිටි කෙනෙක්. පසුව ප්‍රතිපත්තිමය කරුණු මත ඉවත් වී තිබෙන්නේ.. ඒක ලස්සන පොතක්

      Delete
  5. ව්මල්ට වඩා නම් තිලිපන් විරයෙක්.

    ReplyDelete
    Replies
    1. http://jathikachinthanaya.blogspot.com/2017/03/blog-post_31.html

      Delete
    2. //විමල් උනත් ඔහුගේ ඒකීය රාජ්‍යය සහ ජාතික ආර්ථිකය පිළිගන්න ප්‍රතිපත්තිවලින් බැහැර උනොත් හෝ ඔහුගෙ පුද්ගලික අරමුණු පොදු අරමුණුවලට වඩා ඉස්සරහට ගත්තොත් ඔහුවත් ප්‍රතික්ෂේප කරන්ඩ අපි මොහොතකටවත් පසුබට විය යුතු නෑ. හැමවිටම වැදගත් වන්නෙ පුද්ගල චරිත නොව මතවාදයයි.//
      වීරයෙක්‌ ද්‍රෝහියෙක් වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක්. මතවාද වෙනුවෙන් පෙනී සිටින අය තමන් කැමති මතවාදය දරන අයගේ හැම වැරදි ක්‍රියාවක් වෙනුවෙන්මත් පෙනී සිටීමයි ප්‍රශ්නය. මතවාදය වෙනුවෙන් පමණක් පෙනී සිටිනවානම් වීරයින් හා ද්‍රෝහීන් බිහිවෙන්න තියෙන ඉඩකඩ අඩුයි.

      Delete
  6. දඹර අමිල හෝ බෙංගමුවේ නාලක හෝ වැනි පැවිදි අයෙකුත් පී-ටොම්ට විරුද්ධ මාරාන්තික උපවාසයක් කළා නේද?

    ReplyDelete
    Replies
    1. "මීට පෙර නොයෙක්‌ කරුණු වලට එරෙහිව මාරාන්තික උපවාස පැවැත්විණි. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දෙදහ වසරේ ගෙන එන ලද "පැකේජය" නොහොත් බලය බෙදීමේ යෝජනාවලියට එරෙහිව හැඬිගල්ලේ විමලසාර හිමියෝ කොළඹදී මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කළහ. එමෙන්ම කුමාරතුංග මහත්මිය විසින් ගෙන එන ලද සුනාමි සහන මණ්‌ඩලයට එරෙහිව 2005 දී පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මහනුවර දළදා මැදුර ඉදිරිපිටදී මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කළහ. මෙම සුනාමි සහන මණ්‌ඩලයට එරෙහිව පූජ්‍ය දඹර අමිල හිමියෝද කොළඹදී උපවාසයක්‌ සිදු කළහ."

      http://www.divaina.com/2010/07/11/politics01.html

      කලෙක වීරයෝ තවත් කලෙක ද්‍රෝහීහු වෙති.

      "ශ්‍රී ලංකාවේ වත්මන් රජය විසින් රණවිරුවන් දඩයම් කරමින් සිටින බවට චෝදනා කරමින්, ඊට එරෙහි වූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් පසුගිය [2016 නොවැම්බර්] 23 වැනි දින පැරීසියේ දී විරෝධතාවක් පවත්වනු ලැබිණ.

      ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය ඉදිරිපිට පවත්වනු ලැබූ මෙම විරෝධතාවයට සහභාගී වූ විරෝධතාකරුවන් ” දඹර අමිල හිමි අපවත්වේවා ! ” යන ප්‍රාර්ථනාව සහිත පාඨ කියමින් සිය සතුට පළ කළහ."

      Delete
  7. යම් පුද්ගලයෙක් වීරයෙක් හෝ දුෂ්ටයෙක් වීමට ඔහු නියෝජනය කරන චින්තනයත් බලපානවා.
    බටහිරයන්ගේ නිර්ධය විවේචනවලට ලක්වන ප්‍රධාන බටහිර චරිත තුනක් වන්නේ
    පාප් වහන්සේ, හිට්ලර්, සහ ස්ටාලින්
    මේ ලැයිස්තුවට අනාගතයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ද එකතුවිය හැකියි
    මන්ද ඔවුන් විවිධ ආකාර වලින් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට එරෙහි වූ අය.
    ස්ටාලින්ට තියෙන විවේචන ට්‍රොස්කිට ලැබෙන්නේ නෑ.
    හිට්ලර්ට ලැබෙන විවේචන නැපෝලියන්ට නෑ.

    ReplyDelete
    Replies
    1. //යම් පුද්ගලයෙක් වීරයෙක් හෝ දුෂ්ටයෙක් වීමට ඔහු නියෝජනය කරන චින්තනයත් බලපානවා.//
      එකඟයි. වීරයින් නඩත්තු කිරීම වියදම් අධික වැඩක්. වීරයෙකු ලෙස තමන්වම නඩත්තු කර ගැනීම ආදායම් හා වියදම් දෙකම තිබෙන ව්‍යාපාරික කටයුත්තක්.

      http://economatta.blogspot.com/2015/09/blog-post_24.html

      Delete
  8. හැම සිදුවිමක් පසු පසම පුද්ගලානුබද්ධ සංසිද්ධීන් දෙවිදියකට දකින්න හැකි වග ලිපියෙන් හා කමෙන්ට්වලින් මනාව තහවුරුවේ.

    ReplyDelete
  9. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  10. //උතුරේදී හමුදා සාමාජිකයින් 13 දෙනෙකු මරා දමනු ලැබීමත්, එයින් පසුව දකුණේ ඇති වූ ජාතිවාදී කෝලාහල//

    ReplyDelete
    Replies
    1. වැට ගැහීමේ අරමුණනම් එතරම් පැහැදිලි නැහැ.

      Delete
  11. විමල් - මහින්ද තිලීපන් ගැන දන්නෑද??

    ප්‍රභා තිලීපන්ව භාවිතා කළ ආකරයට, මහින්ද විමල්ව භාවිතා කළා නම් කොච්චර සෝයි ද??

    ReplyDelete
    Replies
    1. විමල්ගේ උපවාසයේ හා තිලීපන්ගේ උපවාසයේ ඔබ දකින ආකාරයේ සමානකමක් තිබුණා විය හැකි බව සම්පූර්ණයෙන් බැහැර කරන්න බැහැ. නමුත්, අවස්ථාවන්ගේ හා සම්බන්ධ වුණු බලවේග වල වෙනස්කම් ඊට වඩා වැඩියි.

      තිලීපන්ගේ උපවාසයට උතුරේ විශාල සහයෝගයක් ලැබුණා. නමුත්, විමල්ගේ උපවාසය බොහෝ දුරට හුදකලා සටනක්. උපවාසයකට ලැබෙන විශාල ජනතා සහයෝගයේ දෙපැත්තක් තියෙනවා. එවැනි විශාල සහයෝගයක් එක්ක උපවාසය කරන්නාගේ අභිමතය මේ සහයෝගය දක්වන්නන්ගේ මතයට යට වෙනවා. එවිට, උපවාසකරුට තමන් මුලින් පැවසූ ලෙස ක්‍රියා නොකර ඉන්න බැරිවෙනවා.

      මහින්ද හා විමල් සැලකුවොත් උපවාස කර මියයන විමල් කෙනෙකුගේ වාණිජ වටිනාකම කොයි තරම් වැඩි වුණත්, මහින්දට ජීවත් වන විමල් කෙනෙකුගේ වටිනාකම ඊට වැඩියි. ප්‍රභාකරන්ට තිලීපන්ගේ මට්ටමේ පුද්ගලයින් ගණනාවක් හිටියා. ඒ වගේම, උතුරේ ජනතාව තිලීපන්ගේ උපවාසයට සංවේදී වීම දකුණේ ජනතාවට හෝ රජයට දැනුණු දෙයක් නොවෙයි. ඒ දවස් වල දකුණේ පැතිරුණු හෝ පතුරනු ලැබූ කතාව වුණේ, උඩ රුවන් විසින් ලියා තියෙන ආකාරයේ පිළිකාවක් වැනි රෝගයක් නිසා කොහොමටත් මැරෙන්න ඉන්න කෙනෙක් උපවාසයට දමා ඇති බවයි. විමල්ගේ උපවාසයට ජනතා සහයෝගයක් ලැබුණානම් මේ වෙලාවේ ආණ්ඩුව නැමෙන්න සැලකිය යුතු ඉඩක් තිබුණා.

      විමල් කියන්නේ ඉතා දක්ෂ අවදානම් කළමණාකරුවෙක්. සාර්ථක ව්‍යවසායකයෙකුගේ මූලික ලක්ෂණයක් වන මධ්‍යස්ථ අවදානමක් ගැනීමේ දක්ෂතාවය (modest risk-taking) ඔහුට තිබෙනවා. විමල් ඇමරිකාවේ ඉපදුණානම් ඇතැම් විට ඔහු විශාල ධනවතෙකු (නිසි ලෙස මුදල් උපයා) විය හැකිව තිබුණා. විශාල අවදානම් ගැනීමට වගේම නිසි අවස්ථාවේදී උපාය මාර්ගික ලෙස අවදානමෙන් ඉවත් වීමටත් (tactical withdrawal) ඔහුට සහජ දක්ෂතාවයක් තියෙනවා. ඒ නිසා, ලංකාවේ දේශපාලනයේ ඉදිරියටත් විමල්ට භූමිකාවක් තියෙයි.

      Delete
  12. තීලීපන් මියයාමත් සමගම කොටි සංවිධානය භාරයේ සිටි හමුදා සෙබළුන් මරා යාපනයේ ප්‍දර්ශනය කරා නේද?

    ReplyDelete
    Replies
    1. කොටි සංවිධානය අවස්ථා බොහෝ ගණනකදී මේ අයුරින් ක්‍රියාකර තිබෙනවා. තිලීපන්ගේ උපවාසයට මාස ගණනකට පෙරත්, ඔවුන් ඇටවූ බිම් බෝම්බයකට අසු වූ හමුදා සෙබලෙකුගේ බූට් එක සහිත කකුල ප්‍රදර්ශනය කිරීම, හමුදා සෙබළුන්ගේ මළ සිරුරු ප්‍රදර්ශනය කිරීම ආදිය කළා. වෙනත් අවස්ථා කිහිපයකම ඔවුන්ගේ අත් අඩංගුවේ සිටි හමුදා සෙබළුන් එකට එක කිරීමක් ලෙස ඝාතනය කළා. එහෙත්, මේ අවස්ථාවේදී අත් අඩංගුවේ සිටි හමුදා සෙබළුන් ඝාතනය කළ බවක් මට මතක නැහැ.

      Delete
  13. දේශපාලනය විසින් මිනිස්සු බිල්ලට ගන්නෝ නෙව.. එදා යාපනේ තිබුනෙ එල් ටී ටී පාලනේද? ප්‍රභාකරන් විසින් බලෙන්ම තිලීපන් තියාන හිටියනම් දකුනේ අයට ඒකට මැදිහත් වෙන්න බැරි උනාද? ඇත්තටම මං ඒ ගැන ලොකු මෙව්වා එකක් නෑ.. පස්සෙ කාලෙක පොත්වල ටක්කෙටම ලියන්න පුලුවනි නම් ඇයි තිලීපන් මැරෙනකල් එයාලට ඒක ලෝකෙට කියන්න බැරි උනේ..

    ReplyDelete
    Replies
    1. //එදා යාපනේ තිබුනෙ එල් ටී ටී පාලනේද?//
      මේ කාලයේ යාපනයේ මතුපිට (හමුදා) පාලනය තිබුණේ ඉන්දියාව අතේ. ලංකාවේ හමුදා පැත්තකට වී සිටියත් ලංකාවේ පොලීසි ක්‍රියාකාරීව සිටියා. නමුත්, ප්‍රායෝගිකව සන්නද්ධ කණ්ඩායම් වලට විශාල බලයක් තිබුණා. එල්ටීටීඊ සංවිධානය මේ කාලයේ දෙමළ සන්නද්ධ සංවිධාන අතර ඉදිරියෙන් හිටියත් අනෙක් සංවිධානත් (අඩු වශයෙන් හතරක්) කරට කර වගේ හිටියා. මේ කාලයේ බොහෝ විට එල්ටීටීඊ සංවිධානය හමුදා මෙහෙයුම් වලට මුහුණ දුන්නේ අනෙක් දෙමළ සන්නද්ධ සංවිධාන වලත් උදවු ඇතුවයි. සංවිධාන පහක් තිබුණු නිසා සාමාජිකයින් බඳවා ගැනීමට තරඟයක් තිබුණා. තිලීපන්ගේ උපවාසයේ එක් ප්‍රධාන ප්‍රතිඵලයක් වුණේ එල්ටීටීඊ සංවිධානයට වැඩිපුර සාමාජිකයින් බඳවාගෙන, අනෙක් සංවිධාන යටපත් කර ඒකාධිකාරයක් ඇති කර ගැනීමට හැකිවීමයි.

      //ප්‍රභාකරන් විසින් බලෙන්ම තිලීපන් තියාන හිටියනම්//
      ප්‍රභාකරන් බලෙන් තිලීපන්ව තියාගෙන හිටියේ නැහැ. ඒත්, උපවාසය මරණයෙන් කෙළවර වෙයි කියා ඔහු නොසිතුවා වෙන්න පුළුවන්. උතුරේ නෙමෙයි දකුණේ වුවත් උපවාසයකට විශාල ජනතා සහයෝගයක් ලැබුණු විටක, තමන්ගේ කැමැත්තෙන් උපවාසය නැවැත්වීම අමාරු වැඩක්.

      //දකුනේ අයට ඒකට මැදිහත් වෙන්න බැරි උනාද?//
      දකුණේ අයට මෙයට මැදිහත් වෙන්න කිසිම උවමනාවක් නොතිබුණු බව කිව හැකියි. එක පැත්තකින් සිංහල බහුතරයට හෝ රජයට එකඟ නොහැකි ඉල්ලීම් ඔවුන් ඉදිරිපත් කළේ. අනෙක් අතින්, දෙමළෙක් මැරෙන එක ඒ දවස්වල දකුණට ප්‍රශ්නයක් වුණේ නැහැ. (2008 දී පමණ උතුරේ මෙවැනි උපවාසයක් සිදුවුණානම් එයට දකුණේ ප්‍රතිචාරය ගැන හිතන්න). තෙවනුව, ඒ දවස්වල දකුණේ අයට වෙනම ප්‍රශ්න තිබුණා. (රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නිසා නිදහස් අධ්‍යාපනය විනාශ වීම හා පසුව ඉන්දීය හමුදා පැමිණීම මුල්කරගත් විරෝධතා වැනි)

      //පස්සෙ කාලෙක පොත්වල ටක්කෙටම ලියන්න පුලුවනි නම් ඇයි තිලීපන් මැරෙනකල් එයාලට ඒක ලෝකෙට කියන්න බැරි උනේ..//
      මේ සිද්ධියට විශාල ප්‍රසිද්ධියක් ලැබුණා. 1987 කාලයේත් දකුණේ මාධ්‍ය බොහෝ දුරට රාජ්‍ය ඒකාධිකාරයක්. ඒ කාලයේ පෞද්ගලික ගුවන් විදුලි හෝ රූපවාහිණී නාලිකා තිබුණේ නැහැ. රජයේ නොවන ජාතික පුවත්පත් කිහිපයක් තිබුණත් ඒවායේ තනිකරම තිබුණේ ඒකපාර්ශ්වික මතවාදයක්. ඇත්ත වැනි බොහෝ පුවත්පත් වල "බලධාරියා විසින් කපා හරින ලදී" සහිත හිස් පිටු හා තීරු (බල්ලො කාපු) ඒ කාලයේ සාමාන්‍ය දෙයක්. මෙය රාජපක්ෂ යුගයේ ස්වයං වාරණය වැන්නක් නොවෙයි සෘජු වාරණයක්. මේ තත්ත්වය වෙනස් කිරීමට මුල් වුණේ මාසික සඟරාවක් ලෙස පටන්ගත් රාවයයි. මේ සිද්ධියේදී මාසික සඟරාවක ප්‍රවෘත්තිමය වටිනාකමක් තිබුණේ නැහැ. අප (මම) විකල්ප පුවත් දැනගත් ප්‍රධාන මාධ්‍යයන් වුණේ බීබීසී ගුවන් විදුලියේ සංදේශය සිංහල විකාශය හා ප්ලොට් සංවිධානයේ සිංහල කෙටි තරංග විකාශයයි. බීබීසී ප්‍රවෘත්ති ගියේ රෑ නවයයි විසිපහට වගෙයි මතක. ප්ලොට් එකේ සිංහල අඩපැය හවස හතරහමාරේ සිට පමණ විකාශනය කෙරුණා. මේ ගුවන් විදුලි තරංග වලට රජය විසින් බාධා කළ නිසා තරංගය මාරු කරමිනුයි බොහෝ විට අහන්න වුණේ. මෙවැනි කුමන බාධා කිරීම් තිබුණත් තිලීපන්ගේ උපවාසය ගැන තොරතුරු අප දැන සිටියා.

      Delete
  14. අහස බලා ගිනි අව් කූටකේ දරාපන්
    පොළොව පලා වැගිරූ ලේ සයුර බලාපන්
    ජීවිතයෙන් වන්දි ගෙවූ සොයුර තිලීපන්
    උඹයි මමයි එක අම්මගෙ දරුවො තිලීපන්..

    අපි සිහලය අපි දෙමළය අපේ මෝඩකම් නොතකන
    මතු පරපුර රට එක් කර මිනිස්කමට ප්‍රේම කරන
    මොහොතක උඹ ගුණ සිහිකර ඒ කෝවිල ළඟ ඉඳගෙන
    මම ඇවිදින් දණ නමනව උඹගේඋ පිළිරුව ඉඹගෙන …

    ගායනය - ජයතිලක බණ්ඩාර
    පද - ආනන්ද හිමි
    තනුව - ප්‍රේම් රංජිත් විජයවික්‍රම

    ReplyDelete
    Replies
    1. මේ සින්දුව දැනගෙන හිටියේ නැහැ. ස්තුතියි!

      Delete
    2. හලෝ පත්‍ර බ්‍රදර්.. ආයි ඇවිල්ලා.. වෙල්කම් බැක්

      Delete
    3. ජය වේවා .. එකෙන්ම :D

      Delete
  15. මාරාන්තික උපවාසයක් කියන්නේත් තර්ජනයක් නේ ද? හැබැයි තර්ජනය තිබෙන්නේ උපවාසය කරන පුද්ගලයාගේ ජීවිතය නැතිවීම තුල නොවෙයි. එහෙම වුනොත් ඒ නිසා ඇතිවන කලබලකාරී නැගී සිටීම තුලයි.මේ ක්‍රමය ඉතාම සාර්ථකව අනුගමනය කලේ මං කියවා ඇති තරමින් මහත්මා ගාන්ධි.
    තිලීපන්ගේ උපවාසය, ඉන්දීය රජයවත්, ලංකා රජයවත් ඒ හැටි ගණන් නොගත්තේ, මේ දෙපැත්තම ඒක දකින්නේ, එල්.ටී.ටී.ය අවිහිංසාව දක්වා පසුබැසීමක් ලෙස නිසා වන්නට පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මහත්මා ගාන්ධි ගැන ඕෂෝ විසින් කියා ඇති දේවල් ඔබ කියවා ඇතැයි සිතනවා.
      http://www.osho.com/iosho/library/read-book/online-library-mahatma-gandhi-ambedkar-nonviolence-a4f67106-b6c?p=f2a44f2bbbd34c7565f84dd9c73fd75b

      Delete
    2. සබැඳිය දුන්නාට තුති. මේ සටහනේ සමහර අදහස් මීට කලින් වෙනත් තැන්වලත් කියවා තිබෙනවා.

      Delete
    3. සටහන කිව්වේ ඔෂෝගේ පොතේ සටහනටයි.

      Delete
  16. //ලංකාවේ ඊළාම් අරගලයේ ඓතිහාසික විකාශනය ගැන සාකච්ඡා කිරීම පැත්තකින් තැබුවොත්, ඊළාම් යුද්ධයේ ආරම්භය 1983 බව පුළුල් ලෙස පිළිගැනෙන කරුණකි.//

    බෙදුම්වාදී යුද්ධය බොහෝ කලක් යනතුරු ගරිල්ලා සටනක්. ඒ අනුව පළමු බිල්ල යාපනය නගරාධිපති දොරේඅප්පා 1975 දී ප්‍රභාකරන් අතින් ඝාතනය වීම. 1983 සිද්ධිය වන විට එම ගරිල්ලා ව්‍යාපරය බොහෝ දියුණුවී තිබුණා. විශේශයෙන්ම 1978 පමණ සිට රෝ ඔත්තු සේවය EPRLF, EROS, LTTE, TELO, PLOTE වැනි සංවිධාන සාමාජිකයන් තමිල්නාඩු පුහුණු කඳවුරු වල පුහුණු කල කාලයේ පටන් එම 'යුද්ධය' පැවතුනා.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඇත්ත. මෙය බොහෝ කාලයක සිට ක්‍රමිකව සිදු වූ ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. 1983 මෙය ගරිල්ලා තත්ත්වයෙන් එළියට පැමිණීමේ මූලික අවස්ථාව කියන්න පුළුවන්.

      Delete
  17. වීරයෝ සහ දුෂ්ටයෝ තීරණය වෙන්නෙ ඓතිහාසික තත්ත්වයන් හා එකිනෙක මතවාද අනුව නේද? විටෙක ද්‍රෝහීන් ලෙස නම් ලැබූවන් පස්ව වීරයින් වෙනු අප අත්විඳ තියෙනවා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget