Friday, August 14, 2015

ඊළාම් ඡන්ද කොයිබටද?


පසුගිය ජනාධිපතිවරණ පරාජයෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ ඊළාම් ඡන්ද සිය පරාජයට හේතු වූ බවයි. මේ ඊළාම් ඡන්ද මොනවාද? එවැනි ඊළාම් ඡන්ද තිබේනම් ජාතික මැතිවරණයකදී එවැනි ඊළාම් ඡන්ද වල ඇති බලපෑම කුමක්ද?

මහින්ද රාජපක්ෂ විසින් ඊළාම් ඡන්ද ලෙස ඔහු අදහස් කරන්නේ මොනවාදැයි විස්තර කළේ නැත. ඊළාම් යන වචනයේ නිරුක්ති සෙවීම පසෙක තබා ප්‍රායෝගිකව සිතුවොත් ඊළාම් යනුවෙන් අදහස් වන්නේ වත්මන් ශ්‍රී ලංකාවේ කොටසක පිහිටුවීමට අපේක්ෂා කළ ස්වාධීන රාජ්‍යයකි. ඒ සඳහා වූ සන්නද්ධ අරගලය 2009දී පරාජය කෙරිණි. මෙසේ පරාජය කෙරුණු ඊළාම් අපේක්ෂාවන් වෙනුවෙන් තවදුරටත් වෙහෙසෙන කොටස් ඊළාම්වාදීන් ලෙස සරලව හැඳින්විය හැකිය.

ස්වාධීන ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් වූ සන්නද්ධ අරගලය යුදමය ලෙස පරාජය කරනු ලැබුවත් ඒ සඳහා මුල් වූ සාධක තවමත් පවතීය යන්න පුළුල් එකඟතාවක් ඇති කරුණකි. එකඟතාවක් නැත්තේ මේ සාධක කවරේද සහ ප්‍රශ්නයට විසඳුම කුමක්ද යන තැන්හිදීය.

ඇතැම් ශ්‍රී ලාංකිකයින්ට අනුව ප්‍රශ්නය වනුයේ වත්මන් ශ්‍රී ලංකාවේ කොටසක පැවති දෙමළ නිජබිම එහිම අනෙත් කොටසේ පැවති සිංහල රාජ්‍යය විසින් බලහත්කාරයෙන් යටත් කරගෙන සිටීමයි. තවත් ශ්‍රී ලාංකිකයින්ට අනුව අනුව මෙහි ඇති සැබෑ ප්‍රශ්නය දෙමළ දේශපාලනඥයින් විසින් සැබෑවක් නොවන ඉහත නිජබිම් සංකල්පය සාමාන්‍ය දෙමළ ජන විඥානය තුළ බලෙන් පැලපදියම් කරනු ලැබ තිබීමය. තවත් අයට අනුව, සිංහලය රාජ්‍ය භාෂාව කිරීම, අධ්‍යාපන ප්‍රමිතිකරණය, ආර්ථික ප්‍රශ්න ආදී විවිධ හේතු තිබේ.

උතුරේ ප්‍රශ්නය විවිධ පුද්ගලයින් විසින් හඳුනා ගන්නා ආකාරය අනුව විසඳුම් ලෙස විවිධ යෝජනා ඉදිරිපත් කෙරී ඇති අතර මේ විසඳුම් කාණ්ඩ හතරක් යටතේ වර්ග කළ හැකිය.
1. රටේ ශිෂ්ඨාචාරය ගොඩ නැංවූ සිංහල බෞද්ධයන්ගේ අනන්‍යතාව (මහා සංස්කෘතිය) තුළට සියළු සුළුතර කොටස් අවශෝෂණය කරගැනීම.
2. අළුත් ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් (ජාතියක්) ගොඩ නංවා සිංහල, දෙමළ ප්‍රධාන සියළු කොටස් මේ අනන්‍යතාවය යටතේ එකතු කිරීම.
3. සිංහල හා දෙමළ ලෙස වෙනස් අනන්‍යතාවන් දෙකක් රටේ දෙකොටසක පැවතීම පිළිගනිමින් මේ වෙනස් කොටස් දෙකේ එකතුවක් ලෙස ඉදිරියට යාම.
4. සිංහල හා දෙමළ ලෙස වෙනස් අනන්‍යතාවන් දෙකක් රටේ දෙකොටසක පැවතීම පිළිගනිමින් මේ වෙනස් කොටස් දෙක වෙන්වෙන්ව ඉදිරියට යාම.

මා සිතන පරිදි සිංහලයින් අතර වැඩිම පිරිසක් මේවනවිට සිටින්නේ දෙවන කණ්ඩායමේය. පළමු කණ්ඩායමේ සැලකිය යුතු පිරිසක්ද, තෙවන කණ්ඩායමේ සුළු පිරිසක්ද සිටින අතර සිවුවන කණ්ඩායම තුළ සිංහලයින් නැති තරම්ය. අනෙක් අතට ශ්‍රී ලාංකික දෙමළුන් අතරින් වැඩිම පිරිසක් මේ වනවිට  සිටින්නේ තෙවන කණ්ඩායමේ වියහැකි බව මගේ අදහසයි. දෙවන හා සිවුවන කණ්ඩායම් වලද සැලකිය යුතු ශ්‍රී ලාංකික දෙමළුන් පිරිසක් සිටින අතර පළමු කාණ්ඩය තුළනම් නැත්තේම නැති තරම්ය. සීඝ්‍රයෙන් නොවූවත් සිවුවන කණ්ඩායමේ ශ්‍රී ලාංකික දෙමළුන් තෙවන කණ්ඩායම දෙසටත්, තෙවන කණඩායමේ සිටින්නන් දෙවන කණ්ඩායම වෙතටත් මේවන විට අපගමනය වෙමින් සිටින්නේය යන්න මගේ අදහසයි. මේ තත්ත්වය දිගටම මේ අයුරින් තිබේදැයි මා දන්නේ නැත.

මා ඊළාම්වාදීන් ලෙස හඳුනාගන්නේ ඉහත සිවුවන කාණ්ඩයයි. තෙවන කාණ්ඩය ෆෙඩරල්වාදීන්ය.

වෙනම රාජ්‍යයක් විසඳුම ලෙස යමෙකුට පෙනී යන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයේ සමාජ-දේශපාලනික රාමුව තුළ තමන්ගේ සැබෑ හෝ සිතින් මවාගත් ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීමේ කිසිදු ඉඩකඩක් නොමැති බව පැහැදිලි වූ විටය. එවැන්නෙකු හඳුනාගත හැකි එක් ක්‍රමයක් වන්නේ යමෙකු පවතින දේශපාලන රාමුවට කෙතරම් පිටස්තරයෙක් වන්නේද යන්නයි. මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කිරීමට එරෙහිව බලහත්කාරය නොයෙදෙන අවස්ථාවකදීත් ඒ සඳහා උනන්දුවක් නොදක්වන පිරිස් අතර, පවතින සමස්ත දේශපාලන ක්‍රමය ගැන කළකිරුනු, මෙවැනි පිටස්තරයින් සිටීමේ වැඩි ඉඩකඩක් පවතී.

1978දී ජේ ආර් ජයවර්ධන ජනාධිපති වූයේ ව්‍යවස්ථා වෙනසකිනි. ලංකාවේ පළමු ජනාධිපතිවරණය පැවැත්වුණේ 1982දීය. මේ ජනාධිපතිවරණය කෙසේවත් සර්ව සාධාරණ මැතිවරණයක් වූයේ නැත. මේ මැතිවරණයේ ලසසප අපේක්ෂකයා වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ඡන්ද පොළට පැමිණෙන විට ඔහුගේ ඡන්දයත් හොරට දමා තිබුණු අතර ඔහුට ලැබුණේ ද්විත්ව (නිල්) ඡන්ද පත්‍රිකාවකි. මේ අනුව, බොහෝ විට මේ ජනාධිපතිවරණයේදී කොල්වින්ගේ ඡන්දයත් වැටෙන්නට ඇත්තේ ජේආර්ටමය. එමෙන්ම, පුද්ගලික මාධ්‍ය නොතිබුණු මේ කාලයේ සියළුම රුපවාහිනී හා ගුවන් විදුලි නාලිකා වල මෙන්ම පුවත්පත් වලත් පෙනුනේ එජාප ඒකාධිකාරියකි.

කෙසේ වුවද, පසුගිය ජනාධිපතිවරණය දක්වාම පසුව පැවති සියළුම ජාතික මැතිවරණ වලට සාපේක්ෂව 1982 ජනාධිපතිවරණයේදී ජනමතය හොඳින් පිළිබිඹු වූයේයැයි මම සිතමි. ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රීලනිපය දෙකඩ වී භේද භින්නව සිටීමත්, සමඟි පෙරමුණු යුගය ජනතාවට මේ වන විටත් අමතක නොවී තිබීමත් නිසා මැතිවරණය සර්ව සාධාරණව පැවැත්වුණේ වුවද ජේආර් ජයග්‍රහණය කරනු ඇති අතර 50% සීමාවටද අනිවාර්යයෙන්ම ලඟා වනු ඇත.

පළමු ජනාධිපතිවරණය පැවති 1982 වන විට එල්ටීටීඊ සංවිධානය හෝ උතුරේ වෙනත් සන්නද්ධ කණ්ඩායම් පිළිබඳව රටේ බොහෝ දෙනෙක් අසා නොතිබුණේය. එමෙන්ම ඡන්දය දැමීමට රටේ කිසිදු ප්‍රදේශයක විශේෂ බාධාවක් වූයේද නැත. මේ නිසා මේ මැතිවරණයේදී භාවිතා වූ ඡන්ද ප්‍රතිශතය 81.06% තරම් ඉහළ මට්ටමක පැවතුණේය. කෙසේ වුවද, මේ මැතිවරණයේදී පවා උතුරේ ඡන්ද වැටුණේ අනෙක් ප්‍රදේශ වලට වඩා අඩුවෙනි. භාවිතා වූ ඡන්ද ප්‍රතිශතය යාපනයේදී 46.31%ක් සහ වන්නියේදී 61.45%ක් ලෙස සාපේක්ෂව අඩු මට්ටමක පැවතුණේය. මෙයින් පෙනෙන්නේ 1983 කළු ජූලියටත් මාස නවයකටත් පෙර පළමු ජනාධිපතිවරණය පැවැත්වෙන කාලයේදීත් ශ්‍රී ලංකාවේ සමාජ-දේශපාලන ව්‍යුහය තුළින් පිළිතුරු සපයාගැනීමට නොහැකියැයි පෙනුණු ප්‍රශ්න උතුරේ සැලකිය යුතු දෙමළ පිරිසකට තිබුණු බවයි.

1982න් පසු උතුරේ යුද්ධය නිමා වනතුරු කාලය තුල දිවයින පුරා ඡන්දදායකයින්ට නිදහසේ ඡන්දය දිය හැකි ජාතික මැතිවරණයක් පැවැත්වුණේ නැත. ජවිපෙ තර්ජන මැද ඉතා අමාරුවෙන් ඇදගත් 1988 ජනාධිපතිවරණය නිදහසින් පසු පැවැති අඩුම සහභාගිත්වයක් පැවති ජාතික මැතිවරණයයි. මෙහිදී ප්‍රකාශ වූයේ මුළු ඡන්ද ප්‍රමාණයෙන් 55.32%ක් පමණක් වූ අතර, ජවිපෙ අපේක්ෂා කළ පරිදිම, නිදහස් ඡන්දයකදී අපේක්ෂා කළ හැකිව තිබුණු මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය වෙනස් කර ගැනීමට ඔවුන්ට හැකි විය. එයින් අනතුරුව පැවති 1989 මැතිවරණයේදී මේ තත්ත්වය සුළු වශයෙන් හොඳ අතට හැරුණත් භාවිතා වූ ඡන්ද ප්‍රතිශතය 63.60%කට සීමා විය.

බලහත්කාරයෙන් ඡන්ද වැළැක්වීම මඟින් ජාතික මැතිවරණයක සමස්ථ ප්‍රතිඵලය වෙනස් කළ හැකිය යන ජවිපෙ ඉගැන්වූ පාඩම එල්ටීටීඊ සංවිධානය විසින් හොඳින් ඉගෙන ගත්තේය. ඉන් අනතුරුව එල්ටීටීඊ සංවිධානය පරාජය කෙරෙන තුරු පැවති කිසිදු මැතිවරණයකදී උතුරේ ජනමතය නිසියාකාරව පිළිබිඹු වූයේ නැත.

එජාපයේ දාහත් වසරක පාලනය අවසන් කළ 1994 මහා මැතිවරණයේදී යාපනය මැතිවරණ දිස්ත්‍රික්කය තුළ භාවිතා වූ ඡන්ද ප්‍රතිශතය 2.32%ක් පමණක් වූ අතර යාපනයෙන් මන්ත්‍රී ධුරයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය වූයේ ඡන්ද 1,500ක් පමණි. ඉන් අනතුරුව පැවති, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග විශාල ජනමතයක් ලබා ගත්, 1994 ජනාධිපතිවරණයේදීද භාවිතා වූයේ යාපනයේ ඡන්ද වලින් 2.97%ක් පමණි. මේ ඡන්ද ප්‍රකාශ වූවද ඇය ලබා ගත් ජනවරම ආපසු නොහැරවෙන බව වෙනම කරුණකි.

මගේ මතකය නිවැරදිනම් 1994දී උතුරේ ඡන්ද භාවිතය මේ තරමටම අඩුවුණේ ඡන්ද වර්ජනයක් සිදුවීම නිසා නොවේ. මේවන විට උතුරේ විශාල භුමි ප්‍රදේශයක් ශ්‍රී ලංකා රජයේ සෘජු පාලනයෙන් ගිලිහී පැවතීම නිසාය. සාමය වෙනුවෙන් ජනවරමක් පැතූ චන්ද්‍රිකාටද වැඩිකල් නොයා යුද්ධය තෝරා ගැනීමට සිදුවූ අතර රිවිරැස මෙහෙයුම මඟින් උතුරේ විශාල ප්‍රදේශයක් මුදාගනු ලැබිණි. මේ අනුව 2000, 2001 හා 2004 මහ මැතිවරණ වලදී උතුරේ ඡන්ද භාවිතය ක්‍රමයෙන් ඉහළ ගියේය. කෙසේ වුවද, මේ ඡන්ද ප්‍රතිශත තවදුරටත් පැවතුණේ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලට වඩා සැලකිය යුතු ලෙස අඩුවෙනි.

මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස පත් වූ 2005 ජනාධිපතිවරණයේදී යාපනයේ ඡන්ද ප්‍රතිශතය නැවතත් 1.21% දක්වා පහත වැටුණේය. මේ වන විට යාපනයේ විශාල භුමි ප්‍රදේශයක් ශ්‍රී ලංකා රජයේ පාලනයට නතුව තිබුණත් ඡන්ද භාවිතය මෙතරම් පහල වැටුනේ මේ ජනාධිපතිවරණය වර්ජනය කිරීමට එල්ටීටීඊ සංවිධානය ගත් උපක්‍රමික තීරණය නිසාය. මේ තීරණය මඟින් සමස්ථ ප්‍රතිඵලය වෙනස් කෙරුණු බව බොහෝ දුරට පිළිගත හැකි මතයකි. මෙසේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය කෘතිමව වෙනස් කිරීම මඟින් වේළුපිල්ලේ ප්‍රභාකරන් උපයාගත්තේ 1988 ජනාධිපතිවරණ ප්‍රතිඵලය කෘතිමව වෙනස් කිරීම මඟින් පටබැඳිගේ නන්දසිරි විජේවීර උපයාගත් දෙයමය.

2010 ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පැවැත්වෙන විට මුළු දිවයිනම ශ්‍රී ලංකා රජයේ ආධිපත්‍යයට නතුව පැවතියත් උතුරේ අවතැන්වූ අය නැවත පදිංචි කිරීම අවසන්ව නොතිබීම වැනි කරුණු නිසා මේ මැතිවරණ වලදීද ශ්‍රී ලාංකික දෙමළ ජනමතය නිසි ලෙස පිළිබිඹු වූයේ නැත. එහෙත්, අවසන් ප්‍රතිඵලයට එයින් විශාල බලපෑමක් නොවීය.

ද්‍රවිඩ ජාතික සංධානයට තීරණාත්මක ජයග්‍රහණයක් හිමිකර දුන් 2013 උතුරු පළාත් සභා ඡන්දයේදී ඡන්ද භාවිතය සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර සාමාන්‍යයෙන් පළාත් සභා ඡන්දයකදී දකුණේදී දැකගත හැකි මට්ටමට ආසන්න විය. ජනවාරියේදී පැවති ජනාධිපතිවරණයේදී යාපනය සහ වන්නි දිස්ත්‍රික්ක දෙකේම ඡන්ද භාවිතය සුළු වශයෙන් වුවත් තව දුරටත් ඉහළ ගියේය.

පහත පළමු වගුවෙන් පෙන්වා ඇත්තේ 1982 ජනාධිපතිවරණයේ සිට 2015 ජනාධිපතිවරණය දක්වා පැවති ජාතික මැතිවරණ වලදීත්, අවසාන පළාත් සභා මැතිවරණ වටයේදීත් සමස්ථ දිවයිනේ සහ තෝරාගත් දිස්ත්‍රික් පහක ඡන්ද භාවිතය වෙනස් වූ ආකාරයයි. වගුවේ ඇති දිස්ත්‍රික්ක අතර දකුණේ සිංහල ප්‍රතිශතය වැඩිම දිස්ත්‍රික්ක දෙකකුත්, උතුරේ ශ්‍රී ලාංකික දෙමළ ප්‍රතිශතය වැඩිම දිස්ත්‍රික්ක දෙකකුත්, ජවිපෙ හෝ එල්ටීටීඊ සංවිධානය සමඟ සැලකිය යුතු සම්බන්ධතාවක් නොතිබුණු ඉන්දියානු දෙමළ ප්‍රතිශතය වැඩිම දිස්ත්‍රික්කයකුත් තිබේ.


දෙවන වගුවේ පෙන්වා දී ඇත්තේ සාපේක්ෂව නිදහස් ඡන්ද භාවිතයක් සිදුවූ ලෙස සැලකිය හැකි 1982 සහ 2015 ජනාධිපතිවරණ වලදී දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික්ක විසිදෙක තුළ ඡන්ද භාවිතය වෙනස් වූ ආකාරයයි.


පුද්ගලයෙකු මැතිවරණයකදී ඡන්දය භාවිතා නොකිරීමට බලපාන විවිධ සංකීර්ණ සාධක තිබේ. ඡන්දය භාවිතා නොකිරීම මඟින් හැම විටම පවතින සමාජ-දේශපාලන ක්‍රමය කෙරෙහි ඇති කළකිරීම පිළිබිඹු නොවේ. උදාහරණයක් ලෙස මහින්ද රාජපක්ෂගේ දෙවන ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව පැවති, 2010 මහ මැතිවරණයේදී දිවයින පුරාම ඡන්ද භාවිතය අඩු වූයේ ඒ ඡන්දයේදී ඡන්දායකයකුගේ ආන්තික බලය ඉතා සුළු වූ බව පැහැදිලිව තිබුණු නිසාය. එහෙත්, රටේ ප්‍රදේශ අතර මේ ප්‍රතිශතයේ ඇති වෙනස්කම් මඟින් යම් දුරකට එවැන්නක් පිළිබිඹු විය හැකිය.

පහත ඇති ප්‍රස්ථාර වලින් පෙන්වා දී ඇති පරිදි සහ සංඛ්‍යානමය විශ්ලේෂණයකින් තහවුරු වන පරිදි 1982 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාව මැතිවරණයෙන් බැහැරව සිටීමේ ඉඩකඩ ශ්‍රී ලාංකික දෙමළ නොවන කොටස් වලට වඩා 32.4%ක් වැඩි විය. 2015 වන විට මේ පරතරය 16.13% දක්වා අඩු වී තිබේ. මෙය සිදුවූයේ ශ්‍රී ලාංකික දෙමල නොවන අනෙකුත් ප්‍රජාවන්ගේ ඡන්දය දීමේ ප්‍රතිශතය 1982දී 85.68% සිට 2015දී 83.09% දක්වා අඩුවන පසුබිමකය. මෙයින් පෙනෙන්නේ ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාව සන්නද්ධ අරගලයක් සඳහා යොමු වීමට ආසන්නව පැවති තත්ත්වයට සාපේක්ෂව මේ වන විට ඔවුන් ශ්‍රී ලාංකිකයින් ලෙස ඉදිරි ගමනක් යාමට සැලකිය යුතු තරමේ වැඩි සූදානමක් ඇති බවයි.



ඡන්ද භාවිතය 1982 සිට පැවති ජාතික මැතිවරණ සියල්ලටම වඩා වැඩියෙන් පැවති පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට යාපනයෙන් 21.85%ක් සහ වන්නි දිස්ත්‍රික්කයෙන් 19.07%ක් ලෙස සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබා ගත හැකි විය. දකුණේදී මහින්ද රාජපක්ෂට ලැබෙන ඡන්ද කෙසේ වුවත් මෙසේ උතුරේදී ඔහුට ලැබෙන ඡන්ද බොහෝ දුරට ශ්‍රී ලාංකික අනන්‍යතාව පිළිබිඹු කරන, ජාතිවාදයට එරෙහි ඡන්දයි.

මෙවර මහ මැතිවරණයේදී ජාතික පක්ෂ වන එජනිසට හෝ එජාපෙට (හෝ ජවිපෙට) ශ්‍රී ලාංකික දෙමළුන්ගේ ඡන්ද වැඩි කරගත හැකිනම්, අවසන් ප්‍රතිඵලයට එයින් වන බලපෑම කුමක් වුවත් එය හොඳ ප්‍රවණතාවයකි. එමෙන්ම, පෙර භාවිතා නොවූ ශ්‍රී ලාංකික සමාජ-දේශපාලන ව්‍යුහයෙන් තවමත් පිටස්තරව සිටින කොටස් වල ඡන්ද ද්‍රවිඩ සංධානය වෙත ආකර්ෂණය වේනම් එයද හොඳ ප්‍රවණතාවයකි.


7 comments:

  1. 1988 දී වගේම 2005 දිත් මැතිවරණ ප්‍රතිපල වෙනස් කිරීම ඛේදවාචකයක්.මම එහෙම කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදියෙක් විදියට. එහෙම නොවුනනම් ලංකා ඉතිහාසය කෙසේ වෙනස් වෙන්න තිබුනාද කියල හිතන එක වැදගත්.
    දෙමළ ඡන්ද දෙමළ සංධානයට විශාල වශයෙනුත් සුළු ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයටත් ලැබෙයි.

    ReplyDelete
    Replies
    1. ඒකගයි ම.ම....... ලක්ෂ ගානක් ඡන්ද උතුරේ තියෙද්දි රනිල් ලක්ෂ ඒක හමාරකින් පැරදුනේ......

      Delete
  2. කුණු වුණු එක පැත්තක් බදන් මඩ වපුරන ඒ මඩ හා ඒකපාක්ෂක භාවය නිසාම ඔද්දල් වුණු සයිබරය තුළ මේ මැතිවරණය වෙනුවෙන් ලියැවුණු අගනා අපක්ෂපාත ලියැවිල්ලක් ඉකොනමැට්ටා. ස්තුතියි.

    ReplyDelete
  3. //පුද්ගලයෙකු මැතිවරණයකදී ඡන්දය භාවිතා නොකිරීමට බලපාන විවිධ සංකීර්ණ සාධක තිබේ. /// මේ ගැනත් නිවිසැනසිල්ලේ පොඩි විස්තර කිරිමක් කරනවානම් අනාගතයේදී මේ ක්‍රමය වෙනස් කරන්න හදන කෙනෙකුට උනත් ප්‍රයෝජනවත් වේවි.

    ReplyDelete
    Replies
    1. ඉතාම සරලව කිවහොත් (a - b)p <=> C1 - C0 ? ලෙස දැක්විය හැකිය. (ඉකොනොමැට්ටා ඉදිරිපත් කරන දෙයක් මිස සම්මත තියරියක් නොවේ.)

      a - මා ඡන්දය භාවිතා කිරීමෙන් අපේක්ෂා කරන ප්‍රතිඵලය ලැබුණොත් මට ඇති ප්‍රතිලාභය
      b - විකල්ප ප්‍රතිඵලය ලැබුණොත් මට ඇති ප්‍රතිලාභය
      p - මා ඡන්දය භාවිතා කිරීම නිසා ප්‍රතිඵලය වෙනස් වීමට ඇති සම්භාවිතාව
      C1 - ඡන්දය දැමීමේ ආවස්ථික පිරිවැය
      C0 - ඡන්දය නොදැමීමේ ආවස්ථික පිරිවැය

      ලංකාවේ මැතිවරණ වලදී සාමාන්‍යයෙන් C0=0 ලෙස සැලකිය හැකිය. ඡන්දය දැමීම අනිවාර්ය කර නොදමන අයට දඩයක් පැනවූ විට C1 - C0<0 වීම නිසා සියළු දෙනාම පාහේ ඡන්දය දමති. ජවිපෙ ඡන්දය වර්ජනය කරන ලෙස ඉල්ලා සිටි කාලයේ ඇතැම් අය ඡන්දය කටුගා දැම්මේ මේ කාලයේදී ජවිපෙ ලෙස ලේබල් වීමේ ආවස්ථික පිරිවැය ඉතා අධික වූ නිසාය. p වැඩිවන විට ඡන්ද දැමීම ඉහළ යයි. a සහ b අතර ලොකු වෙනසක් නැති විට ඡන්ද දැමීම අඩුවේ.

      තෝරාගැනීම් කිහිපයක් ඇතිවිට සැසඳිය යුත්තේ වම් අත පැත්තේ තිබිය හැකි විශාලම අගය සමඟය.

      Delete
    2. හා හා බොහොම අගෙයි.. C1 බොහොම වැඩි වූ නිසා මමත් මේ පාර චන්දෙ දැම්මේ නෑ..

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget