වෙබ් ලිපිනය:

Saturday, August 8, 2015

2050දී අපිත් පොරවල්ය




තව වසර තිස්පහකින් ලෝකයේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය අනුව ශ්‍රී ලංකාව පස්වෙනි තැනට පත් වනු ඇත. මේ අනුව, 2050දී අපේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 65,910ක් වනු අතර අපට ඉදිරියෙන් සිටින රටවල් හතර වනුයේ, පිළිවෙලින්, ස්වීඩනය, ජර්මනිය, ඉතාලිය හා ජර්මනියයි. ඇමරිකාව, එක්සත් රාජධානිය, ජපානය වැනි දැනට උඩින් සිටින රටවල් මෙන්ම ඉන්දියාව, චීනය හා රුසියාව වැනි නැගී එන රටවල්ද මේ අනුව අපට වඩා දුප්පත් රටවල් බවට පත් වීමට නියමිතය.

 
මේ ප්‍රවෘත්තිය මෙවැනි කතා මේ දවස් වල හෝල්සේල් ඇසෙන මැතිවරණ වේදිකාවකින් අහුලාගත් එකක් නොවේ. විස්තර ඇත්තේ 'දී ඉකොනොමිස්ට්' සඟරාවට අනුබද්ධ 'ආර්ථික බුද්ධි අංශය' විසින් එළිදක්වා ඇති 'දිගුකාලීන සාර්ව-ආර්ථික පුරෝකථන' නම් වූ විශේෂ වාර්තාවකය. සැම සතියකම පාඨකයින් මිලියන 5.3ක් විසින් කියවන 'දී ඉකොනොමිස්ට්' සඟරාව ආර්ථික විද්‍යා විෂයයයෙහි පළවන ජනප්‍රියම සඟරාවයි. එහි ආර්ථික බුද්ධි අංශයට මෙවැනි පුරෝකථන පිලිබඳ මනා විශේෂඥතාවක්, දිගු පළපුරුද්දක් මෙන්ම ලොකු කීර්තිනාමයක්ද ඇති අතර ඇතැම් ආර්ථික විද්‍යා සංකල්ප මුල්වරට ඉදිරිපත් කිරීම පිලිබඳ ගෞරවයද හිමිවේ. (කෙසේ වුවද මෙය විමර්ශිත ජර්නලයක් නොවන අතර ඔවුන්ගේ විශ්ලේෂණයන් සාපේක්ෂව සරලය.)

ඉකොනොමැට්ටා කලබල වුණාට බලාගෙන ගියාම ණය ගැනීමේ ප්‍රශ්නයක් නැත. ඒක පුද්ගල අදායම ඩොලර් 65,910ක් වුණොත් ඩොලර් හත්අට දාහක පරණ ණය ලෝස් නැතිව ගෙවා දැමීම කජ්ජකි. දැන් අපිට තියෙන්නේ 2050දී අපේ රටට බෝට්ටු වලින් හොරෙන් පනින්නට එන ඇමරිකන් කාරයින්, ඉංග්‍රීසීන්, ඕස්ට්‍රේලියානුවන් වැනි දුප්පත් පොරවල් නැවැත්වීමට රටවටේ වැටක් ගහන එක ගැන හිතන්නටය.


මේ වාර්තාවේ තවත් බොහෝ දේ ඇති අතර එයින් ප්‍රධානම කරුණක් වන්නේ 2050 වන විට ලෝක ආර්ථිකය තුළ ආසියාවේ පංගුව 53% දක්වා ඉහළ යන බවයි. එමෙන්ම, 2026දී ඇමරිකාව අභිබවන චීනය 2050දීත් ලෝක ආර්ථික බලවතා වනු ඇති අතර ඇමරිකාවට වඩා 50%කින් විශාල ආර්ථිකයකට හිමිකම් කියනු ඇත. ඇමරිකාව දෙවන ස්ථානය රැකගනිද්දී තෙවන තැනට පත්වන ඉන්දියානු ආර්ථිකය ඇමරිකානු ආර්ථිකයෙන් 90%ක් පමණ විශාල වනු ඇත. මේ රටවල් තුන හැරුණු විට 2050දී විශාලම ආර්ථිකයන් හය වන (පිළිවෙලින්) ඉන්දුනීසියාව, ජර්මනිය, ජපානය, බ්‍රසීලය, එක්සත් රාජධානිය, සහ ප්‍රංශය යන රටවල් සියල්ලම එකතු කළද ඉන්දියාවේ ආර්ථිකයට වඩා කුඩා වනු ඇත. මේ අනුව, චීනය, ඇමරිකාව සහ ඉන්දියාව 2050දී අනෙක් සියළු රටවල් වලට ඉහළින් යෝධයින් ලෙස නැගී සිටින ලෝක ආර්ථික බලවතුන් තිදෙනෙකු වනු ඇත.

ආර්ථික බුද්ධි අංශ විශ්ලේෂණය අනුව ලංකාවට ඒක පුද්ගල ආදායම අතින් ඉහළට පැමිණීමට හැකිවන්නේ ඉන්දියාව, චීනය හා ඉන්දුනීසියාව වැනි කලාපීය ආර්ථික බලවතුන් සමඟ එක පිම්මේ වර්ධනය වන අතරම ජනගහන වර්ධනය ඒ රටවලට වඩා අඩුවෙන් පවත්වාගැනීම නිසා විය යුතුය.
අදාළ වාර්තාව මෙහි ඇත.

(මීළඟ සටහන "අගෝස්තු 17 මොකක් වෙයිද?")

8 comments:

  1. අගෝස්තු 17 වෙනිදාට ඔය හීනෙට කෙලවෙලාම යයි

    ReplyDelete
    Replies
    1. ඔය හීනය ඇතුළු තව හීන කීයකට කෙලවෙයිද දන්නෙ නෑ.

      Delete
  2. බලමු බලමු..................

    ReplyDelete
  3. /* තව වසර තිස්පහකින් ලෝකයේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය අනුව ශ්‍රී ලංකාව පස්වෙනි තැනට පත් වනු ඇත. */

    රටේ ජනගහනය එච්චරම අඩුවෙන්නේ කොහොමද?

    ස්වාභාවික විපත්, යුද්ධ නිසා වෙන්න බෑ.

    එහෙනම්, රටේ ජනගහනයෙන් 50% විතර සංක්‍රමණය කරලා ඒ රටවල ඉඳන් ලංකාවේ ආර්ථිකයට අති විශාල සම්මාදමක් දෙනවා විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. මෙහිදී මා සිදුකර ඇත්තේ වාර්තාකරණයක් පමණි. EIU විශ්ලේෂණය සිදු කළ ආකාරය වාර්තාවේ ඇතත් පැහැදිලි අඩු නිසා හරියටම නිශ්චිත නැත. මේ සංඛ්‍යා වල බැලූ බැල්මටම යම් යම් අවුල් පෙනුණත් මෙය කෙසේවත් සිදුවිය නොහැකි දෙයක් නොවේ. එහෙත් මා සිතන පරිදි මෙය තරමක් වැඩි ඇස්තමේන්තුවකි. 2014දී ලංකාවේ ඒක පුද්ගල ආදායම වූ ඇමරිකානු ඩොලර් 3625 (උද්ධමනය නිසා මුදල් වල අගයේ සිදුවන වෙනස්වීම් ඉවත්කර) වසර 36කින් ඩොලර් 65,910 දක්වා වැඩිවීමටනම් වසරකට 8.4% ලෙස වැඩි විය යුතුය. ජනගහණ වර්ධනය 0.6% ලෙස සැලකුවහොත් මේ සඳහා 9%ක ආර්ථික වර්ධනයක් පවත්වාගත යුතුය. මෙය පහසු ඉලක්කයක් නොවේ. එහෙත් මතක හැටියට 1960-1996 අතර දකුණු කොරියාව වැනි ඇතැම් තැන්වල දශක තුන හතරක් මෙවැනි ඉහල ආර්ථික වර්ධනයන් පවත්වා ගත් අවස්ථා තිබේ.

      ලංකාවේ ජනගහණ වර්ධන වේගය අනෙකුත් දකුණු ආසියාතික රටවලට වඩා බොහෝ අඩු අතර දැනටත් ඇත්තේ දියුණු රටවල මට්ටමේය. 1970-1990 කාලයේ ලංකාවේ පවුල් ආකෘතියේ විශාල වෙනසක් සිදුවිය. මේ කාලය තුළ පවුලක දරුවන් ගණන 5-6 මට්ටමේ සිට 1-2 මට්ටමට වැටුණේය. මේ වෙනසට පෙර ඉපදුනු ලොකු පවුල් වල බොහෝ දෙනෙක් තවමත් ජීවත් වන නමුත් දැන් 60 ඉක්මවා ඇත. ඔවුන් ඉදිරි වසර 36 තුළ මියයනු ඇත. මේ අඩුව පිරවීමට පවුලක අලුතින් ඉපදෙන්නේ දරුවන් 1-2 පමණි. මේ නිසා දැනටත් 0.8% පමණ වන ජනගහණ වර්ධන වේගය තවදුරටත් අඩුවනු ඇති අතර සෘණ අගයක් ගැනීම කෙසේ වුවත් ශුන්‍ය මට්ටමට ලඟා විය හැකිය. එනම් ජනගහනය නිශ්චිතව පැවතෙන තත්ත්වයකි. සංක්‍රමණය වීම්ද සැලකූ විට ඇතැම් විට සුළු වශයෙන් අඩුවීමට වුවද බැරිකමක් නැත. එසේ වුවහොත් අවශ්‍ය වන ආර්ථික වර්ධන ඉලක්කය අඩුවේ.

      පසුගිය වසර පහ තුල (2010-2014) අපේ මූර්ත දළ ජාතික නිෂ්පාදිතය 43.0%කින් වැඩිවී ඇති අතර (දත්ත මහ බැංකු වාර්තාවෙනි.) ජනගහණය වැඩිවී ඇත්තේ 4.68%කින් පමණි. මේ අනුව, අපේ ඒක පුද්ගල මූර්ත දළ ජාතික නිෂ්පාදිතය 36.6%කින් වැඩිවී තිබේ. මේ තත්ත්වය මේ අයුරින්ම තවත් වසර 36ක් පැවතුණහොත් 2050දී අපේ ඒක පුද්ගල මූර්ත දළ ජාතික නිෂ්පාදිතය (උද්ධමනය නිසා මුදල් වල අගයේ සිදුවන වෙනස්වීම් ඉවත්කර) ඩොලර් 34,268ක් වේ. මෙය EIU ඇස්තමේන්තු කර ඇති ඩොලර් 65,910ට වඩා අඩුය. මේ නිසා ඔවුන් දැනට පවතිනවාට වඩා වැඩි ආර්ථික වර්ධනයක් හෝ ජනගහණ වර්ධනයේ සැලකිය යුතු අඩුවීමක් අපේක්ෂා කරනවා විය හැකිය. එහෙත්, වාර්තාව කියවූ විට ආර්ථික වර්ධනයේ යම් පසුබෑමක් ඔවුන් බලාපොරොත්තු වන බව පෙනේ. ජනගහණ වර්ධනය අඩු වන බව සැලකුවත් එය සෘණ අගයක් ගනු ඇතැයි ඔවුන් උපකල්පනය කර ඇති බව මා සිතන්නේ නැත. එසේනම් මේ වෙනසට හේතුව කුමක්ද?

      පසුගිය වසර පහ තුල අපේ මිල මට්ටම (උද්ධමනය යනු මිල මට්ටමේ වෙනස්වීමයි) ද.ජා.නි. අවධමනකය අනුව 40.3%කින් වැඩි වී ඇති අතර ඇමරිකාවේ මිල මට්ටම වැඩි වී ඇත්තේ 10.3%කින් පමණි. මේ අනුව, රුපියල 28.2කින් පිරිහිය යුතු වුවත් ඇත්තටම පිරිහී ඇත්තේ 14.6%කින් පමණි. මේ අනුව, ඇමරිකානු ඩොලර් වරට පරිවර්තනය කර ගණනය කළ විට 36.6%කින් වැඩිවී ඇති අපේ ඒක පුද්ගල මූර්ත දළ ජාතික නිෂ්පාදිතය තවත් 14.6%ක් වැඩියෙන් එනම් 55.9%ක් ලෙස පෙනේ. රුපියල කෙසේ හෝ (කෘතිමව?) ඉහලින් තබාගත් විට මෙවැන්නක් සිදුවේ. EIU මෙය නිවැරදිව අවබෝධ කරගෙන නොමැති බව මගේ අදහසයි. මේ රේට්ටුව යටතේ 2050දී අපේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් 88,831ක් වන අතර ආර්ථික වර්ධනය තරමක් අඩුවුවද ඩොලර් 65,910 මට්ටමට ලඟා විය හැකි බවක් පෙනී යයි.

      උද්ධමන වෙනසට අනුපාතිකව විණිමය අනුපාතිකය වෙනස් නොවීමටනම් ප්‍රාග්ධනය දිගින් දිගටම එක් දිශාවකට ගලා ආ යුතුය. ඉහල ආර්ථික වර්ධනයක් පවත්වාගන්නා ලංකාව වැනි රටකට ඇමරිකානු ප්‍රාග්ධනය ගලා ඒම (තරමක් දුරට) සිදුවිය හැක්කකි. එමෙන්ම අපට (විශේෂයෙන්ම මැදපෙරදිගින්) ලැබෙන ඩොලර් සම්ප්‍රේෂණ වලින්ද දැනට මේ සඳහා උදවුවක් ලැබේ. එහෙත්, පසුගිය වසර තුල ලංකාවට ලැබුණු ප්‍රාග්ධන සම්ප්‍රේෂණ විශාල ප්‍රමාණයක් අප විසින් ලබා ගත් ණයයි. වසර 36ක කාලයක් තවදුරටත් වැඩි වැඩියෙන් ණය ලබාගැනීම ප්‍රයෝගික නොවන අතර වෙනත් ප්‍රශ්න ඇති කළ හැකිය. ලංකාවේ ඒක පුද්ගල ආදායම ක්‍රමක්‍රමයෙන් වැඩිවනවිට මැදපෙරදිග රැකියා තවදුරටත් ආකර්ශනීය නොවීමෙන් මේ මුදල් ප්‍රවාහයන්ද ටිකින් ටික අඩුවනු ඇත. ප්‍රාග්ධන ආයෝජනනම් යම් තරමකට වැඩිවිය හැකිය. ඒ නිසා විණිමය අනුපාතිකය නිසා ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතයට ඩොලර් වලින් ගණනය කළ විට ලැබෙන තල්ලුව දිගටම ලැබෙන එකක් නොවේ.

      මේ අනුව, EIU ඇස්තමේන්තුව ප්‍රායෝගික නොවන බව මගේ අදහසයි. එහෙත්, ඉදිරි දශක දෙක තුල චීනය, ඉන්දියාව ඇතුළු ආසියාවේ ඉදිරි පිම්මත්, ඒ සමඟ ලංකාවටත් ලැබෙන තල්ලුවත් බොහෝ දුරට අවිවාදිත කරුණුය. කෙසේ වුවද, මේ සියල්ලක්ම සඳහා දේශපාලන ස්ථාවර භාවය අවශ්‍ය වේ.

      Delete
  4. em, පුල් සුවර් නං කියහං මචෝ,
    තව අවුරුදු 10-15 කින් මැරිලා, තවත් අවුරුදු 10-15 ක් ගන්ධබ්බ ටුවර් එකක් ගහලා, මේ ශ්‍රි ලංකාව කියන පුන්‍යභූමියේ පස්මහ බැලුම් නොබලාම ඉපදිලා, හවුස් කීපින් වලට රුසියානු කාන්තාවකුයි බේබි සිටර් කෙනෙක් විදිහට අමෙරිකානු කාන්තාවකු තියාගෙන ලමා කාලය ප්‍රිතියෙන් ගත කර, කෙලවර අමා මහ නිර්වාණය සාක්ෂාත්කර ගත හැකියී .
    ..පුල් සුවර් ඕං......මැට්ටනී!

    ReplyDelete
    Replies
    1. ෆුල් ෂුවර්නම් මමත් කරන්ඩ ඉන්නේ ඕකම තමයි, මචෝ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: