Sunday, August 2, 2015

රන් ත්‍රිශූලයේ ගැට ගැසූ රිදී පඬුර

පසු ගිය පෙබරවාරි මාසයේදී "මහින්ද රාජපක්ෂ හිටපු ජනපති කතරගම මහා දේවාලයට රනින් නිම කළ අඟල් හයක් උසැති ත්‍රිශූලයක රිදී පඬුරක් ගැට ගසා භාරයක් ඔප්පු කළ" බව වාර්තා විය. අදාළ පුවත අනුව "දුටු ගැමුණු රජතුමා යුද බිමට යෑමට පෙර මෙවැනි භාරයක් ඔප්පු කළ බව ජනප්‍රවාදයේ සඳහන්ය."

මගේ අදහස මහින්දගේ භාරය ගැන කතා කිරීම නොවේ. දෙවියන්ට වුවත් තවමත් කඩදාසි මුදල් වලට වඩා විශ්වාස, භාරය ඔප්පු කිරීමට යොදාගත් රන් හා රිදී ගැන කතා කිරීමය.

පෙර ලිපියෙහි සඳහන් කළ පරිදි, භාණ්ඩ හුවමාරුවෙන් වෙළඳාම ඇරඹු හෝමෝ සේපියන්ස්ලා පසුව මුදල් භාවිතය ඇරඹුහ. මුදල් ලෙස මුලින්ම භාවිතයට ගැනුණේ ධාන්‍ය වර්ග, එළුවන්, ගවයින් වැනි දේය. මේ දේවල් වල මුදල් නොවන වටිනාකමක්ද සෑම දෙනෙකුටම වාගේ තිබුණේය. අඩුවශයෙන් සහශ්‍ර නවයකට පෙර මෙවැනි ද්‍රව්‍ය මුදල් ලෙස භාවිතා කෙරී ඇත.

මුදල් වශයෙන් ලෝහ භාවිතය ජනප්‍රිය වෙන්නේ සහශ්‍ර තුනකට පමණ පෙරය. රන්, රිදී වැනි ලෝහ වල මුදල් නොවන වටිනාකමක්ද ඇතත් එය සීමිත වටිනාකමකි. රන් හැන්දෙන් රිදී පිඟානක ආහාර ගැනීමේ අවස්ථාව හැමෝටම නොලැබේ. රන් ගෑරුප්පුවකින් ඇණ චොකලට් සෝස් තැවරූ තෝර මාළු පෙති කෑමටද හැමෝටම නොලැබේ. එහෙත්, එවැනි අය සීමිත පිරිසක් හෝ සිටින බව සියළු දෙනාම දන්නා නිසා තමාගේ ශ්‍රමය හා හුවමාරුවට රන් හෝ රිදී වැනි දෙයක් භාර ගැනීමට බොහෝ දෙනා සූදානම් වූහ.

හරියටම කියනවානම් බොහොමයක් සාමාන්‍ය ජනතාවට රන් කාසියක් අතගෑමේ අවස්ථාව ජීවිත කාලයටම නොලැබුණු අතර බොහෝ විට ඔවුන්ගේ වත්කම මැනුනේ රිදී කාසි වලිනි. 'රිදී තිහක්' කියා අවිච්චියා කෑගසන්නේ අවිච්චියන් වූ සාමාන්‍ය ජනතාවගේ මුදල් රිදී වූ නිසාය. පැරණි භාෂාවන් වන ලතින් භාෂාවේ 'ආජෙන්ටුම්' යන වචනයත්, 'කෙසේ' යන හීබෘ වචනයත් මුදල් මෙන්ම රිදී යන තේරුම් දෙකෙන්ම යෙදෙන්නේ මේ නිසාය. සෑම බලවත් රටකම ධනවතුන්ටනම් රිදී වලට අමතරව රත්තරනින් රන් මාල බැඳීමට හැකි විය.

ආසන්න වශයෙන් ක්‍රිස්තු පූර්ව 500 සිට ක්‍රිස්තු වර්ෂ 1500 දක්වා වූ සහශ්‍ර දෙක තුළ ප්‍රධාන වශයෙන් ලෝකයේ භාවිතා වුයේ මුදල් වර්ග දෙකකි. ඒ රන් සහ රිදීය. චීනයේදී, පර්සියාවේදී හෝ රෝමයේදී රන් සහ රිදී වෙනත් භාණ්ඩ වෙනුවෙන් හුවමාරු කිරීමෙහි කිසිදු අපහසුතාවක් නොවීය. මේ යුගයේදී රටවල් අතර වෙළඳ පරිමාව අඩු වුවත්, ලෝකයම එකම වෙළඳපොළක් වූ ලෙස සැලකීම නිවැරදිය.

මේ කාලයේදී රන් හෝ රිදී ආකාර සොයාගත් හෝ යුද්ධයෙන් අයිති කරගත් ජාතීන්ට අනෙක් ජාතීන් අභිබවා ඉදිරියට පැමිණීමට හැකි විය. ග්‍රීසියේ සෞභාග්‍යයේ ඇරඹුම එහි රිදී ආකාරයි. ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දෙනු ලැබ තිබුණු ග්‍රීසියේ රිදී ආකාර වල ආදායමද රජුට පමණක් අයිති නොවී සියලු දෙනාටම අයිති වූ නිසා රිදී කැනීමට ජනතාව පෙළ ගැසුණේ විශාල උනන්දුවකිනි.


මේ කාලයේ රටවල් සතුව ස්ථිර හමුදා නොපැවති අතර හමුදා වල සේවය කළෝ ගොවීහුමය. එනිසා හමුදා නඩත්තු කිරීම වියදම් අධික කාර්යයක් වූයේ නැත. ග්‍රීසියේදී මේ තත්ත්වය වෙනස් වූ අතර ස්ථිර නාවික හමුදාවක් සාදා නඩත්තු කිරීම වෙනුවෙන් තම රිදී ලාභාංශ යෙදවීමට ග්‍රීක වැසියන් කැමති වීම අවසන් වූයේ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ අධිරාජ්‍යය ඉන්දියාවේ මායිමටම ව්‍යාප්ත වීමෙනි.

මහා ඇලෙක්සැන්ඩර් රජු පර්සියාව යටත් කර අත්පත් කරගත් රත්රන් සංචිත නැවත ග්‍රීසියට ගෙන ආ විට එහි රන් මිල 50%කින් අඩු වූ බව පැවසේ. එල්ටීටීඊ රත්තරන් ඒ තරම් නොතිබුණු නිසා ලංකාවේනම් එසේ වූයේ නැත.

 'ස්කන්ධ' නමින් ඉන්දියාවේදී හැඳින්වෙන කතරගම දෙවියන් යනු මහා ඇලෙක්සැන්ඩර් රජු බව එක් මතයකි. මේ මතය අනුව රණ ශූර ඇලෙක්සැන්ඩර් 'ඇලෙස්කන්ඩ' වී පසුව  'ස්කන්ධ' බවට පත් වී තිබේ. ඒ දවස් වල ගෑරුප්පු පාවිච්චිය ඇරඹී නොතිබුණ නිසා රන් ගෑරුප්පු නොතිබුණත් ඇලෙක්සැන්ඩර් වයින් බිවුවේත්, කෑම කෑවෙත් රනින් වැඩ දැමූ රිදී බඳුන් වලය. (ඔව්, දැකල තියෙනවා.) එය එසේ වී නම් රන් හා රිදී වලට ඇති කතරගම දෙවියන්ගේ කැමැත්ත තේරුම් ගැනීමට අපහසු නැත.

විශාල වටිනාකමකින් යුතු ගනුදෙනු පියවීම සඳහා ලෝහ යොදා ගැනීම අපහසු වූ නිසා ලෝහ වල අයිතිය සඳහන් කල පොරොන්දු පත්‍රයක් ලබා දීම පසුව මුද්‍රිත මුදල් දක්වා විකාශනය විය. එහෙත් මේ මුල් කාලීන මුද්‍රිත මුදල් වලට රන් (හෝ රිදී) වලින් මැනිය හැකි නිශ්චිත වටිනාකමක් තිබුණේය. මේ නිශ්චිත වටිනාකම නිසා රටවල් අතර වෙළඳාම තවදුරටත් කාර්යක්ෂම ලෙස පවත්වා ගත හැකි විය.

කෙසේ වුවද මෙවැනි කඩදාසි මුදල් ව්‍යාප්තිය වැඩි වෙද්දී එක් එක් රට වෙන වෙනම මුදල් නෝට්ටු නිකුත් කිරීම නිසා ඒවායේ හුවමාරු වටිනාකම පිලිබඳ අවිනිශ්චිතතාවක් ඇති විය. රන් සම්මුතිය හෝමෝ සේපියන්ස්ලා මේ ප්‍රශ්නයට සොයාගත් විසඳුමයි. මේ සම්මුතිය අනුව එක් එක් මුදල් ඒකකයේ වටිනාකම රනින් මිල කෙරුණු අතර ඕනෑම රටකට මුදල් නිකුත් කළ හැකි වූයේ තමන් සතුව ඇති රන් සංචිත වල ප්‍රමාණයටය.

රන් සම්මුතිය යටතේ රටවල් අතර උද්ධමනයේ වෙනසක් තිබීමට ඉඩක් නැති අතර යම් භාණ්ඩයක මිල සෑම රටකම වැඩි හෝ අඩු වන්නේ සමාන ආකාරයකටය. උදාහරණයක් ලෙස එක් රටක තිරිඟු නිෂ්පාදනය හදිසියේම වැඩි වුවහොත් ඒ රටේ තිරිඟු මිල අඩු වෙයි. එවිට අනෙතුත් රටවලින් තිරිඟු මිල දී ගැනීම (ලාබෙට ඇති නිසා) නිසා ඒ රටට වැඩියෙන් රන් සංචිත එකතු වේ. රන් වැඩි වී, තිරිඟු අඩු වීම නිසා (කොටසක් අපනයනය කිරීමෙන්) තිරිඟු මිල නැවත වැඩි වේ. එහෙත් මුලින් පැවති මිලටම වැඩි නොවේ. අනෙකුත් රටවල රන් සංචිත අඩු වී තිරිඟු සංචිත වැඩි වන නිසා ඒ රටවල තිරිඟු මිලද මේ මට්ටමටම පැමිණේ.

එක් රටක අලුතින් රන් සංචිත හමුවූ විටද සිදු වූයේ මෙවැන්නකි. එවිට ඉල්ලුම වැඩිවී ඒ රටේ භාණ්ඩ හා සේවාවන්හි මිල වැඩි වේ. එවිට ඒ රට අනෙකුත් රටවලින් භාණ්ඩ හා සේවා ආනයනය කිරීම නිසා රන් සංචිත අනෙකුත් රටවලට බෙදී යයි.

මේ ක්‍රමය යටතේ එක් එක් රටවල වෙනස් මුදල් ඒකක තිබුණත් ඒවායේ වටිනාකම වෙනස් වූයේ ලෝකයේ කොහේ හෝ අලුතින් හමුවන රන් ප්‍රමාණය සහ ලෝකයේම සමස්ත නිෂ්පාදිතය අනුව එකම ආකාරයකටය. මේ ක්‍රමය බිඳ වැටී අද පවතින ක්‍රමය ඇති වූ ආකාරය පසුව සාකච්ඡා කරමු.

(පළමු හා තෙවන ඡායාරූප අන්තර්ජාලයෙනි. අනිත් දෙක ඉකොනොමැට්ටාගේය.)

9 comments:

  1. //"'ස්කන්ධ' නමින් ඉන්දියාවේදී හැඳින්වෙන කතරගම දෙවියන් යනු මහා ඇලෙක්සැන්ඩර් රජු බව එක් මතයකි"// අප්පේ , ලොක්කයි ලේමන්පෆ් වංශයි දෙන්නම , දන්නෙම නැතුව බටහිර කුමන්ත්රනයකර අහුවෙලා නේද ?

    "රන් වැඩි වී, තිරිඟු අඩු වීම නිසා (කොටසක් අපනයනය කිරීමෙන්) තිරිඟු මිල නැවත වැඩි වේ. එහෙත් මුලින් පැවති මිලටම "අඩු" නොවේ." මෙතැනදී නැවත පවතී මිලටම "වැඩි" නොවේ කියල නේද එන්න ඕන

    ReplyDelete
    Replies
    1. තැන්කියු, ඉවාන්! වැඩි තමයි. ඒක හැදුවා.

      Delete
  2. /* මහා ඇලෙක්සැන්ඩර් රජු පර්සියාව යටත් කර අත්පත් කරගත් රත්රන් සංචිත නැවත ග්‍රීසියට ගෙන ආ විට එහි රන් මිල 50%කින් අඩු වූ බව පැවසේ. එල්ටීටීඊ රත්තරන් ඒ තරම් නොතිබුණු නිසා ලංකාවේනම් එසේ වූයේ නැත..*/

    එල්ටීටී එක වෙනම රාජ්‍යයක් ගෙන ගියා ය කියන එක නේද ඔය කියන්නේ?

    එතකොට ඒ රත්තරං ජයවර්ධනපුර කෝට්ටේ රාජධානියේ නතර නොවී මාගම්පුර රාජධානියට ගෙන ගියා නම්?

    ReplyDelete
    Replies
    1. එහෙමනං ඉතිං මාගම්පුර කට්ටියගෙන් අපිට අහන්ඩ වෙන්නේ "ඇයි රත්තරං ඔච්චරටම බාල්දු වුණේ?" කියලා.

      Delete
  3. ටැංකිව් ඉකොනොමැට්ස්, සරළව ඉගෙනගත්තා.

    කියනවනෙ, සීගිර කාශ්‍යප තමයි, නිසග වටිනාකම සහිත රන් කාසියක් මුලින්ම නිකුත් කළේ කියලා...

    ReplyDelete
  4. ඉකොනොමැට්ටෝ, Years ago, I noticed one thing about economics, and that is that economists didn't get anything right. :P

    ReplyDelete
    Replies
    1. Economists try to explain social behaviors using individual preferences. When people dislike right things and prefer not to change the status quo, it is reflected in the actions of economists.

      Delete
  5. සමහර රටවල රන් සන්චිතේ මුදල් ඇමතිලාගෙන් , මහා බැංකුපතිලාගෙන් පරිස්සම් කරලා තියාගන්නේ කොහොමද කියලයි මං කල්පනා කොරේ. අපිටනම් ඒ ගැන ප්‍රශ්නයක් නෑනේ

    ReplyDelete
    Replies
    1. ලංකාවේ නං දේශපාලුවෙකුත් ඉන්නවා රත්තරං කියලා අන්වර්ථ නමක් තියෙන. රත්තරං හදවත් තියෙන නිසා නොවෙයි, ඌ රත්තරං මාල හොරකම් කළ එකෙක්!

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget