වෙබ් ලිපිනය:

Sunday, August 16, 2015

පියවරු, පුත්තු සහ බූරුවෝ


එකෝමත් එක රටක පියෙක් සහ පුතෙක් තමන් දෙදෙනාගේ ශ්‍රමය මාස ගණනාවක් මුළුල්ලේ වැයකොට ලබාගත් අස්වැන්න මුදල් කර ගැනීමට සිදාදියට පැමිණියහ. බලාපොරොත්තු වූ තරම් නොවූවත් සැලකිය යුතු මුදලක් ලබා ගැනීමට ඔවුහු සමත් වූහ.

"අපි මේ මුදල් බුද්ධිමත් විධියට ආයෝජනය කරන්ඩ ඕනෑ" පුතා කිවු වචන තාත්තාට නොතේරුණත් එහි අරුත ඔහුට වැටහිණි.

"අපි ෆිනෑන්ස් කරල ප්‍රයිවෙට් බස් එකක් ගම්මු".

"හරියන්නෙ නෑ. එක ප්‍රයිවෙට් බස් එකක් අරගෙන ලාබ ලබන්න අමාරුයි. අපි කොහොමද බස් පණහක් සීයක් එක පාර ගන්නේ".

"එහෙමනම් අපි ඉඩම් අක්කර හත අටක් අරගෙන..."

"කෙරෙන්නෙ නෑ. මේ තරම් සුළු මුදලකට ඉඩම් අක්කර හත අටක් ගන්ඩ හැමෝටම හැමදාම ලැබෙන්නේ නෑ".

තමන් සතු මුදලින් කළ හැක්කේ ඉතා සුළු දෙයක් පමණක් බව තාත්තාත් පුතාත් තේරුම් ගත්හ. එබැවින් එම මුදලින් බූරුවකු මිලදී ගැනීමට දෙදෙනාම එකඟ වූහ.

තාත්තාත්, පුතාත් බූරුවා දක්කාගෙන ටික දුරක් පැමිණියහ. මුලදී,දෙදෙනා තුළම වූයේ මේ තමන්ගේ මාස ගණනක ශ්‍රමයෙහි ඵලයය යන සිතුවිල්ල පමණි. එහෙත් මඳ දුරක් යද්දී මේ බූරුවෙක්ය යන්න තාත්තාට මතක් විය. බූරුවා මිලදී ගත්තේ පිට උඩ යාමට මිස දක්කාගෙන යාමට නොවේ.

"පුතා, නගින්ඩ බූරුවගෙ පිටේ".

"නෑ තාත්තම නගින්ඩ. මම තව ටිකක් දුර පයින් එන්නම්".

ඒ අනුව, තාත්තා බූරුවාගේ පිට නැග්ගේය. එහෙත්, එක් අතකින් තාත්තාට බූරුවන් පිට යාමෙහි වැඩි පළපුරුද්දක් නොවීය. අනෙක් අතට ඌ මහා 'එපා කරපු' හිතුවක්කාර බූරුවෙකු විය. කිසිවෙකු තමාගේ පිට උඩ යාම ඌට රිසි නොවීය.

බූරුවාගේ දැඟලිල්ල තාත්තාට මහත් වදයක් විය. දෙතුන් වරක් නොවැටී හිටියත් අන්තිමේදී බූරුවා තාත්තාව බිම දැම්මේය.

"මූනම් මහා එපාම කරපු බූරුවෙක්. තව පොඩ්ඩෙන් මගෙ කොන්දත් කඩනවා".

"තාත්තා ඉන්ඩ. මම ඌව මෙල්ල කරන්නම්".

පුතා බූරුවා පිට නැග්ගේ ඌ මොන විදියේ බූරුවෙක්දැයි නොදැන නොවේ.

නොසෑහෙන්නට වද දී තාත්තාව බිම දමාගත් බූරුවා පුතාවද බිම දැමීම සඳහා උගේ සුපුරුදු උපාය මාර්ග ක්‍රියාත්මක කළේය. ඒ කෙසේ වුවද කිහිප වරක්ම වැටෙන්නට ගියත්, වැටුනේ පුතා නොවේ. පුතාව බිම දැමීම ලෙහෙසි නොවන බව තේරුම් ගත් බූරුවා දැඟලිල්ල නවතා දැමීය. ඒත් නිතරම ඌ සිටියේ පුතාව බිම දැමීමට සුදුසු අවස්ථාවක් සොයමිනි.

"දැන් ඉතින් මූ තවත් දඟලන එකක් නෑ තාත්තේ.තාත්තත් බය නැතුව පිටිපස්සෙන් නගින්ඩ"

පුතා කෙසේ කීවත් බූරුවාගේ තරම තාත්තා දනී. උගේ පිටට නැගීමට තාත්තා අදිමදි කළේ ඒ නිසාය. එහෙත් අන්තිමේදී තාත්තා පුතා සමඟ එකඟ විය.

බූරුවාට තරු පෙනුනේය. තාත්තාත්, පුතාත් දෙදෙනාම පිට උඩ තබාගෙන යාම ලෙහෙසි නැත. එහෙත් බූරුවා කලබල නොවීය. ඉවසීය.

සිදාදිය පසුවිය. දැන් ඔවුන් ඉදිරියේ ඇත්තේ කැලෑබද පාරකි. බූරුවා වෙහෙස බවක් අඟවා තප්පුලන්නට පටන් ගත්තේය. කැලෑවේදී වැඩි සද්ද-බද්ද හොඳ නැත. මේ බව දත් තාත්තාත් පුතාත් බූරුවා පිටින් බටහ. බූරුවා සැණෙකින් පිම්මක් පැන්නේය. ඌ ලෑස්ති වූයේ ලද අවසරයෙන් ප්‍රයෝජන ගෙන කැලෑ වැදීමටය. එහෙත්, පුතා ඉක්මන් විය. බූරුවාගේ කකුල් බැඳ දමනු ලැබුවේය.

"ඔය කිට්ටුවදි මූ දඟලන්ඩ බැරි නෑ. ඒ නිසා අපි දැනට මූව කුදලාගෙන යමු. ඔය පහු වුනාම ආයෙමත් අපිට මුගේ පිටේ නැගලා නැගලා ගියෑකි"

බූරුවා දැන් තාත්තාගේත් පුතාගේත් කර උඩින් යයි. දාඩිය හලමින්, හති දමමින් බූරුවා කුදලාගෙන යන අතරත් ඔව්හු කල්පනා කළෝ අනාගතයේදී බූරුවාගෙන් ලබා ගන්නා ප්‍රයෝජන ගැනය.

ඔව්හු ඔය අසබඩට පැමිණුනහ. ඔය දෙපස කැලෑවේද බූරුවෝ සිටිති. ඔය මැද පිහිටි දූපත බූරුවන්ගේ රජදහනකි. හදිසියේම ඒ දෙසින් බූරු රංචුවකගේ තප්පුලෑම ඇසිණි.

බූරුවා කලබල විය. ඌට අමුතුම ශක්තියක් ලැබී තිබුණි. බැමි ලෙහෙන තුරුම දඟලා කැලෑවට පැනගත් උගේ වලිගයවත් අල්ලා ගැනීමට එවරනම් තාත්තාටවත් පුතාටවත් නොහැකි විය.

රංචුවට එකතු වුනු බූරුවාගේ ජයග්‍රාහී තප්පුලෑම ඔය මැද පිහිටි දූපත දෙසින් තාත්තාටත්, පුතාටත් පැහැදිලිවම ඇසුණේය.

"අපරාදේ! අපේ මාස ගානක මහන්සිය වතුරේ" තාත්තා දුක් විය.

"මටනම් දුක ඒක හින්දම නෙවෙයි. බූරුවා මේ තරම් දුරක් අපේ කරපිටින් ආපු එක ගැනයි"

කෙසේ හෝ අවසානයේදී, තාත්තලාගේත් පුතාලාගේත් කරපිටින් බූරුවා ඌට අවශ්‍ය තැනට පැමිණුනේය.

***
උඩින් ඇති මැටිකතාව සියවස් කාලකට පමණ පෙර දිවයින ඉරිදා සංග්‍රහයේ පළවූවකි. ඒ කාලයේ තාත්තලා සමඟ බූරුවන් කරේ තබාගෙන ගිය පුතාලා දැන්  තාත්තලා වන අතර ඔවුන්ගේ පුතාලාත් දැන් බූරුවෙකුට කර ගැහීමට තරම්ලොකු මහත් වී ඇත. ඒ ඇරුණු විට කතාවේ අනෙක් කොටස් වෙනස් වී ඇත්තේ කෙසේදැයි තවමත් පැහැදිලි නැත.
 
(සිතුවම් අන්තර්ජාලයෙනි.)

8 comments:

  1. කරමතින් එන බූරුවා කොකා පෙන්නා දුවන දවස අද මරු ඉකොනමැට්ටෝ. දවසට ඔබිනම කතාව.

    ReplyDelete
    Replies
    1. හෙට සිට නව රෙජීමය යටතේ මාත් නලීන් වගේ උදේ පාන්දර ම අවදි වෙන්නයි සැලසුම!

      Delete
  2. ඒ බූරුවා අපි වික්කා...!!!

    (Please Google that)

    ReplyDelete
  3. හැම එක්කෙනාම කියනව ඒ බූරුව වික්කය ඒ ගොනා වික්කය අරකය මේකය කියල ඒත් දැනුවත්ව හෝ නොදැනුවත්වම පෙන්නන්නෙ තමන් තුල තාම ඒ ගති තියනවයි කියනෙක තමා
    ලොල්

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද? බූරුවා වික්කට පස්සේ ඇඟට හරිම අමාරුයි. ඉතිං වෙන එකෙක්ව ගන්නවා.

      Delete
  4. මචං ඔ්කා පුත්තලම් බූරුවෙක්ද??????

    ReplyDelete
    Replies
    1. පුත්තලමට අල්ලපු දිස්තිරික්කේ..

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: