වෙබ් ලිපිනය:

Monday, August 17, 2015

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්!

ජනතා කැමැත්තෙන් අගමැති වී, ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා ලෙස ව්‍යවස්ථා වෙනසක් මඟින් තමන්වම පත් කරගත් ජේ ආර් ජයවර්ධන, 1982දී ජනතා කැමැත්තෙන් නැවතත් ජනාධිපති විය. කෙසේ වුවද, 1983දී මහ මැතිවරණයක් වෙනුවට ජේආර්ගෙන් ජනතාවට ලැබුණේ ජනමත විචාරණයකි. මේ නිසා කොහොමටත් ජයග්‍රහණය ලැබීමට නියමිතව තිබුණු නමුත් තිබුණු තුනෙන් දෙක රැක ගැනීමට හැකියාවක් නොතිබුණු ජේආර්ගේ ආණ්ඩුවට තවත් අවුරුදු හයකට තුනෙන් දෙක පරිස්සම් කරගැනීමට හැකිවිය.

ජේආර්ගේ කාලයේදී යූඇන්පිය පැරැද්දවීම හිතන්නටවත් අමාරු කාර්යයක් විය. ඒ දවස් වල කියැවුණු එක් කතාවක් වූයේ ප්‍රධාන වශයෙන්ම එජාප පාක්ෂිකයින් වූ ග්‍රාම සේවා නිලධාරීන් මඟින් මිය ගිය සහ රට හැර ගිය පුද්ගලයන්ගේ යම් නිශ්චිත නම් ප්‍රමාණයක් සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම අයත් වපසරිය තුළ ඡන්ද ලැයිස්තු වලින් ඉවත් නොකර පවත්වා ගැනීම සහ මේ නම් යටතේ වෙනත් අය සැලසුම්සහගතව ඡන්දය දැමීම මඟින් එජාපයට සෑම ඡන්ද පොලකින්ම තල්ලුවක් ලබා ගත් බවයි. ග්‍රාම සේවා නිලධාරීන් බොහෝ දෙනෙකු එජාප හිතවතුන් වුනේ ග්‍රාම සේවා කොට්ඨාශ කුඩා කරමින් 1977දී උදවු කළ පාක්ෂිකයින් වෙනුවෙන් මන්ත්‍රී චිට් මඟින් ලබා දුන් රැකියාවක් වූ විශේෂ සේවා නිලධාරීන් වැනි වෙනත් කොටස් ග්‍රාම සේවා නිලධාරීන් ලෙස අන්තර්ග්‍රහණය කරගැනීම නිසාය. පසු කාලයකදී පොදු පෙරමුණු පාක්ෂිකයින් එක් වී මෙවැනි ඡන්ද හඳුනාගෙන ඒවා හොරට දැමීම වැළැක්වීමටද සංවිධානාත්මකව කටයුතු කළේය.

මැතිවරණ සිතියම් අකුලා තබන කතා කියූ, රාජ්‍ය මාධ්‍ය මැතිවරණ ප්‍රචාරය වෙනුවෙන් ලැජ්ජා සහගත ලෙස යොදාගත් ජේආර්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඒ දවස් වල රසවත් කතා තිබුණේය. මේ කතා නැගලා ගිය එක් තැනක් වූයේ පෞද්ගලික උපකාරක පන්තිය. සමහර සිසුන් උපකාරක පන්ති තෝරා ගත්තේ දවසකට එක බැගින් අසන්නට ලැබෙන මෙවැනි කතා වලටත් බර තබමිනි. සමහර කතා දේශපාලන උපහාස වූ අතර අනෙක් වර්ගය වූයේ ඇම්ඩන් මාදිලියේ වැල කතාය.

පහත කතාව බොහෝ දෙනා අසා ඇතුවා නිසැකය.

ජේආර්, එවකට ඇමරිකාවේ, සෝවියට් දේශයේ සහ ඉන්දියාවේ රාජ්‍ය නායකයින් වූ රේගන්, ගොර්බචෝෆ් සහ රජීව් ගාන්ධි සමඟ හෙලිකොප්ටරයකින් ගමන් කරමින් සිටිද්දී හෙලිකොප්ටරයේ යාන්ත්‍රික දෝෂයක් ඇතිවිය. මේ ආකෘතියේ කතා හැම එකකම සිදුවන ආකාරයට හෙලිකොප්ටරයේ තිබුණේ එක පැරශූටයක් පමණි.

"මම හිතන්නේ මේ පැරශූටය හිමි විය යුත්තේ මටයි" රේගන් පවසයි. "ඇමරිකාව කියන්නේ ලෝකයේ විශාලම ආර්ථිකය. ඇමරිකාව වැටුණොත් ලෝකෙම විනාශයි. මම නැත්නම් කවුද ඇමරිකාව මෙහෙයවන්නේ?" රේගන් හෙලිකොප්ටරයේ නියමුවාගෙන් පැරශූටය ඉල්ලා සිටියේය.

රේගන් එහෙම කිවුවාට ඔහුට පැරශූටය එසේ නිකම්ම දීමට හෙලිකොප්ටරයේ නියමුවා පමණක් නොව අනිත් අයද එකවර කැමති වුණේ නැත.

"දැනට මිහිපිට තියෙන හොඳම පාලන ක්‍රමය තියෙන්නේ සෝවියට් දේශයේ. මම නැති වුනොත් සෝවියට් දේශයේ සමාජවාදයත් නැතිවෙලා යයි. ඒක නිසා ඕක මට දෙන්න." ගොර්බචෝෆ් පවසයි.

හෙලිකොප්ටරයේ නියමුවා සමාජවාදය නැත්නම් මරණය වර්ගයේ බුවෙකි. සෝවියට් දේශයේ සමාජවාදය වෙනුවෙන් ජීවිතය වුණත් කැප කිරීමට සූදානම් ඔහු ගොර්බචෝෆ්ට පැරශූටය දීමට ලෑස්ති වුණත් රජීව් ගාන්ධිගෙන් එයට ඉඩක් නොලැබුණේය.

"පොඩ්ඩක් මම කියන දෙයත් අහන්න. දැන් තමන්ගේ රටේ නායකයා නැති වුනාම වැඩිම දෙනෙක් කණගාටු වෙන්නේ මොන රටේද? ඇමරිකාවේ ඉන්නේ මිලියන් දෙසිය හතළිහයි. සෝවියට් දේශයේ ඉන්නේ මිලියන් දෙසිය හැටයි. ඉන්දියාවේ එහෙමද? මිලියන් අටසීයකටත් වැඩියි. අපි නායකයෝ විදිහට ගන්න ඕනෑ වැඩිම දෙනෙක් සතුටු වන තීරණයක්."

ජේආර්ට දැන් නෝ හෝප්ස් වාගේය. කොහොම වුණත් පොරත් ඇරියේ නැත.

"එහෙම නෙමෙයි. අපි කෙරෙන දෙයක් කතා කොරමු. ලෝකයේ හොඳම ප්‍රොජාතන්ත්‍රවාදය තියෙන රටේ ජනාධිපති හැටියට මම යෝජනා කොරනවා රහස් ඡන්දයකින් මේක තීරණය කොරමු කියලා."

කට්ටියම වාද කිරීම නවත්වා ජේආර්ගේ අදහසට එකඟ වූ අතර ඡන්ද විමසීම අවසන් වූ පසු ඡන්දය ගණන් කිරීම ඇරඹුණි. ප්‍රතිඵලය මෙසේය.

රේගන් - 1
රජීව් ගාන්ධි - 1
ගොර්බචෝෆ් - 2
ජේආර් - 53

ජේආර් ඡන්ද කළේ එහෙමය. කොහොම වුණත් ලංකාවේ ජේආර්ගේ කාලයෙන් පසුව පැවති බොහෝ ඡන්ද දෙස බැලූ විට ජේආර්ගේ ඡන්ද කෙරුවාව සාපේක්ෂව හොඳය. ඔය අතර සාපේක්ෂව සාධාරණව පැවති මැතිවරණත් අතරින් පතර තිබුණේය. ජනාධිපති විජේතුංගගේ කාලය උදාහරණයකි.

මෙවර පැවති මැතිවරණය සෑම අතින්ම සම්පූර්ණව කිසිදු අඩුපාඩුවක් නැතිව පැවැත්වුණු එකක් නොවේ. එහෙත්, පසුගිය දශක ගණනාවක් මුළුල්ලේ පැවති මැතිවරණ වලට සාපේක්ෂව මේ මැතිවරණය සාමකාමී ලෙස සහ අඩුවෙන් මැතිවරණ නීති කඩකෙරුණු මැතිවරණයක් ලෙස හැඳින්වීම නිවැරදි වියයුතුය. මෙය පොදුජනතාවගේ මහන්සියෙන් උපයාගත් ඉතා වැදගත් මැතිවරණ ප්‍රතිඵලයකි. ඡන්ද ප්‍රථිපල ප්‍රකාශයට පත් වීමෙන් අනතුරුවද මේ ප්‍රතිඵලය වෙනස් නොවනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

5 comments:

  1. හොර චන්ද දානවා කියනෙක ඒ කාලේ මහා ලොකු වීර කමක්..

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ දවස්වල 15-16 කාලේ හොරෙන් කුරුම්බා බානවා, රොකට් එකක් අදිනවා වගේ තමයි 18න් පස්සේ (සමහර වෙලාවට ඊටත් කලින්) හොර ඡන්දයක් දාන එක. ජේආර්ගේ හොර ඡන්ද වලට එරෙහිව (ඇත්තටම ගොඩක් තිබුණේ හොර ඡන්ද නෙමෙයි. ප්‍රසිද්ධියේ දාපු මැර ඡන්ද. සමහර මධ්‍යස්ථාන වල ඡන්ද ගණන ලියාපදිංච් ගාණටත් වැඩියි.) විපක්ෂයේ පක්ෂ වලට හොර ඡන්ද දාපු වීරයොත් ගොඩක් හිටියා.

      Delete
  2. ඡන්දය සාමකාමී උනා වගේම ප්‍රතිඵල අවසානයෙත් ඒ දේම පැවතුන එක ගැන සතුටුයි..

    ReplyDelete
  3. ඡන්දයට පෙර මෙන්ම පසුවද මේ පැත්ත ඡන්දයක් නොතිබුණා සේ සාමකාමීය.

    ReplyDelete
  4. තමන්ගේ වාසියට කටයුතු කරන කොහෙවත් ඉන්න අය නිසා අල්ලපු ගෙදර මනුස්සයා එක්ක පැටලෙන ප්‍රවණතාව අඩු වුන එක ලොකු දෙයක්.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: