Thursday, August 27, 2015

පොතක වටිනාකම මැනිය හැකිද?


කැම්පස් එකේ නවක වද කාලය අපට සංස්කෘත වැනි වෙනත් භාෂාත්, සිංහලයේ බොහෝ පාරිභාෂික වචනත් ඉගෙන ගැනීමට ලැබෙන වැදගත් කාලයකි. ඒ අතර ලෝකයෙන් දැනුමද ඇති පදම් ලැබේ. ජ්‍යෙෂ්ඨ උත්තමයින්ගේ එකම අච්චුවේ ප්‍රශ්න වලට උත්තර දෙමින් ආසාවෙන් කන රැග් එක එපා වෙන වෙලාවට පොඩ්ඩක් වෙනස් ප්‍රශ්නයක් ඇසීමේ හැකියාවක් ඇති උත්තමයෙක් හමු වූ විට පොඩි ආතල් එකක් තිබේ.


"තොට කවි ලියන්න පුළුවන් නේද?" කියා රසිකගෙන් ඇසූ හෙන්රි මෙන් සාමාන්‍ය අච්චුවෙන් ටිකක් වෙනස් "සිරා" ලේබලයේ ප්‍රශ්න අසන ජ්‍යෙෂ්ඨ උත්තමයින්ද ඉඳ හිට නැතුවා නොවේ. උසස් පෙළ ගණිත අංශයෙන් දිවයිනේ ඉහළම කිහිප දෙනා අතර සිටි මගේ බැචෙකුට දැන් මෙවැනි ඉඳහිට හමුවන මාදිලියේ උත්තමයෙක් හමු වේ.

"තෝ පොත් කියවනවද"

ජ්‍යෙෂ්ඨ උත්තමයා අසයි.

"ඔව්, ජ්‍යෙෂ්ඨ උත්තමයා"

"එහෙනං කියහං බලන්න කියවල තියෙන පොත් දහයක් ඒවයේ කතෘලත් එක්ක"

මගේ බැචාට මේකේ ගේමක් නැත.

"ත්‍රිකෝණමිතිය එස්සෙල්ලෝනි, ව්‍යවහාරික ගණිතය ගතිවිද්‍යාව ඩබ්ලියුකේ හේවගේ, ව්‍යවහාරික ගණිතය ඉස්ථිති විද්‍යාව ඩබ්ලියුකේ හේවගේ, භවුතික රසායනය ජේකේපී ආරියරත්න, කාබනික රසායනය..."

"නවත්තපං නවත්තපං. උඹ නවකතා කියෝලා නැද්ද?"

"කියවල තියෙනවා, ජ්‍යෙෂ්ඨ උත්තමයා"

"මොනවද?"

ජ්‍යෙෂ්ඨ උත්තමයා අමාරුවෙන් සැර මූණක් පෙන්වන්නට හැදුවත් පේන්නේ අහිංසක මූණකි.

"මනුතාපය"

(මනුතාපය අපේ කාලයේදී සාමාන්‍යපෙළ සිංහල විෂයට තිබුණු නිර්දිෂ්ඨ ග්‍රන්ථයකි.)

"වෙන මොනාද?"

"වෙනනං මතක නෑ, ජ්‍යෙෂ්ඨ උත්තමයා"

"යකෝ අඩුගානෙ අම්මවත් කියෝල නැද්ද?"

"අම්මනං නවකතා කියෝනව ජ්‍යෙෂ්ඨ උත්තමයා. මට තමයි ඉතිං වෙලාව අඩු."

ජ්‍යෙෂ්ඨ උත්තමයාට එවෙලේ  මතක් වුන අම්මානම් ගෝර්කිගේ අම්මා නොවන බව නොකිවමනාය.

මේ ජ්‍යෙෂ්ඨ උත්තමයා ඇසුවේ වෙන ඕනෑම ජ්‍යෙෂ්ඨ උත්තමකුට වුවද ඇසිය හැකිව තිබුණු සරල ප්‍රශ්නයකි. බොහෝ ෆ්‍රෙෂාලාගෙන් ලැබෙන උත්තරය මගේ මුලින් කී බැචාගේ උත්තරයට වඩා ලොකුවට වෙනස් නොවිය හැකි නිසා මෙහි ලොකු අවදානමක් නැතත්, අතරින් පතර රසිකගේ වර්ගයේ ෆ්‍රෙෂාලාත් සිටින නිසා දඩයක්කරුවා ගොදුර බවට පත් වීමේ අවදානම ගන්නට ගොඩක් ජ්‍යෙෂ්ඨ උත්තමයින් පෙළඹෙන්නේ නැත. ලිංගික අධ්‍යාපනය වැනි ජ්‍යෙෂ්ඨ උත්තමයින් බොහෝ දෙනෙකුට විශේෂඥතාවක් ඇති මාතෘකාවක් කථා කිරීම වඩා සුරක්ෂිතය.

කෙසේ වුවද, ෆ්‍රෙෂා කියවා ඇති පොත් ගැන ඇසීමට ධෛර්යයක් තිබුණු ජ්‍යෙෂ්ඨ උත්තමයාට සහයට ඩැනීලා ගොඩක් සිටි බැවින් මේ කථාව ටිකක් ජනප්‍රිය විය. එහෙත්, ජ්‍යෙෂ්ඨ උත්තමයා මේ ප්‍රශ්නය ඇසුවා කියා හෝ කතාව ප්‍රසිද්ධ වුනා කියා මගේ බැචා නවකතා කියවන්නට පටන් ගත්තේ නැත. එහෙත්, ඔහු පීඨ පුස්තකාලයෙන් වසර පුරාම ප්‍රයෝජන ගත්තේය. අපි වැනි, පිටකවරයේ පාට ඩෙනිමට මැච් කරමින් පීඨ පුස්තකාලයෙන් පොත් ගත්, ඉඳහිට ගඟෙන් එගොඩ පුස්තකාලයෙන් රැගෙන ආ නවකතාවක් හෝ වෙනත් විෂය බාහිර පොතක්ද කියවූ බැචාලාව ගොඩ දමන්නට වසර අවසානයේ කුප්පි දමන්නට මගේ පෙර කී බැචාට හැකි වුනේ ඔහු ඔහුගේ කාලය නවකතා කියවීමට නොයොදවා විෂය කරුණු හැදෑරීමට යෙදවූ නිසාය.

කෙසේ වුවද, අවසාන වසරේදී ඔහුගේ වත්මන් අඹු සිඟිත්ත දැන අඳුනා ගැනීමෙන් පසුවනම් නේවාසිකාගාරයේ වැලමුල්ලේ වූ ඔහුගේ ඇඳ මතට කුමාර කරුණාරත්න මාදිලියේ ප්‍රබුද්ධ නවකතා මෙන්ම සන්නස්ගලලාගේ සීනි බෝල වචන වලින් හැඩ ගැන්වුණු මල් පත්තරද පැමිණුනේය.

***
මගේ ජ්‍යෙෂ්ඨ උත්තමයෙකු සහ බොහෝ දෙනා හඳුනන බ්ලොග්කරුවෙකු මෙන්ම අටවිසි මහල් ඇති තට්ටු ගොඩනැඟිලි හැදුවත් මහ පොළොවේ ජීවත්වන නිරහංකාර මිනිසකු වන තිලකසිරි ඒකනායක ලියූ තිලකසිත බොහෝ දෙනා කතාකර ඇති, බොහෝ දෙනා අගය කර ඇති පොතකි. ඉදිරියේදී පළවීමට නියමිත ඔහුගේ පළමු නවකතාව සහ දෙවන පොතද වන අටවිසි මහලද එවැනිම එකක් වනු ඇති බව කියන්නට පොත ලියා අවසන් වන තුරු වුවද සිටින්නට අවශ්‍ය නැත.

අලෙවිය සඳහා තිලකසිත මිල කර තිබුණේ රුපියල් හාරසීයක මුදලකටය. රුපියල් හාරසීයක් යනු තිලකසිතේ සැබෑ වටිනාකමද?

පොතක වටිනාකම මිල කළ නොහැකි බව කෙනෙකුට කිව හැකිය. ඇත්තටම පොතක වටිනාකම මුදලට සාපේක්ෂව ඇගයීම අසීරු දෙයකි. එහෙත්, එය බැරි දෙයක් නොවේ. වෙනත්, භාණ්ඩ හා සේවාවන් බොහොමයකට මෙන්ම පොතකටද නිශ්චිත වටිනාකමක් තිබේ.

පොතක වටිනාකම එහි මුද්‍රණ වියදම නොවේ. තිලකේ වෙනුවට ඔය ප්‍රමාණයේම ඔය පිටු ගණනම ඇති පොතක් ලියා මුද්‍රණය කරවන්නට ඉකොනොමැට්ටාට වුවත් බැරි නැත. අවශ්‍යනම් දැදිගම වී රුද්‍රිගුගේ අම්මා පරිවර්තනය ප්‍රමාණයේම පොතක් එළියට දැමිය හැකිය. මුද්‍රණ වියදම සමාන වුණත් ඉකොනොමැට්ටාට ඇලෙක්සේයි මක්සිමෝවිච් පෙෂ්කොව් වෙන්නට හෝ තිලකසිරි ඒකනායක වෙන්නට බැරි නිසා අර කලින් කී පොත් වල ඇති වටිනාකම දෙන්නට ඉකොනොමැට්ටාට නුපුළුවන.

පොතක වටිනාකමේ ප්‍රභවය ලේඛකයාය. එහෙත් ලේඛකයාගෙන් ජීවය ලබන පොතේ සම්පූර්ණ වටිනාකම ඵලදායී යථාර්තයක් වී බාහිර ලෝකයට පෙනෙන්නේ කියවන පාඨකයින් නිසාය. පොත මිලදීගන්නා පාරිභෝගිකයින් නිසාය. තිලකේ පොත ලියා අත්පිටපත ගෙදර තියා ගත්තානම් ඒත් තිලකසිත තිලකසිතමය. එහි වටිනාකමක් තිබේ. එහෙත් මේ වටිනාකම අසම්පූර්ණ වටිනාකමකි.

සිංහරාජය මැද තිබූ දැවැන්ත ගසක් කඩා වැටුණේය. හැතැම්ම දහපහළොවක දුරක මනුස්ස පරාණයක් හිටියේ නැත. ගස කඩා වැටෙන විට සද්දයක් ඇහුණාද?

තිලකේ දැන් පොත රුපියල් හාරසීයකට මිල නියම කරයි. පොත විකිණේ. රුපියල් හාරසීය පොතේ නියම වටිනාකමද?

පැහැදිලිවම උත්තරය "නැත". පොතේ වටිනාකම එක් එක් පුද්ගලයාට සාපේක්ෂය. පොත මිලදී ගන්නා පුද්ගලයෙකුට පොතේ වටිනාකම අඩුම වශයෙන් රුපියල් හාරසීයකි. එය රුපියල් 400ක්, 401ක්, 500ක්, 1000ක්, 5000ක්, හෝ 10,000ක් විය හැකිය. එහෙත්, එහි වටිනාකම "අසීමිත" නැත.

පොතේ මුද්‍රණය කළ පිටපත් 25,000කින් විකිණුනේ පිටපත් 24,000ක් පමණක්නම් එයින් අදහස් වන්නේ පොතේ වටිනාකම අඩුම වශයෙන් රුපියල් 400ක් යැයි සිතන අය අඩුම වශයෙන් 24,000ක් සිටින බවයි. පිටපත් සියල්ල විකිණුනේනම් එවැනි අය 25,000ක් හෝ වැඩි ප්‍රමානයක් සිටින බව පැහැදිලිය.

පොත මිලදී ගත් හැමකෙනෙක්ම එසේ කිරීමෙන් වාසියක් ලබා තිබේ.

"තිලක සිත ජීවිත කතා ගැන ලියවුණු පොත් අතරින්, මම කියවපු  ලස්සනම, රස ම පොතක්... බිම තියන්න නොහිතෙන තරම් කැමැත්තකින්, මුලු පොතේම තියෙන කතන්දර ටික එක හුස්මට කියවගෙන යන්න පුලුවන්..!"

සෞම්‍ය සඳරුවන් ලියනගේ තිලකේට සුබපැතුමක් එවීමට කාලය යෙදවීමෙන් ආවස්ථික පිරිවැයක් දරයි. දැන් පොත වෙනුවෙන් ඔහුගේ වියදම රුපියල් 400 ඉක්මවයි. ඔහු එසේ කරන්නේ ඔහුට පොතේ වටිනාකම රුපියල් 400ට සහ මේ අමතර "වියදමට" වඩා වැඩි නිසාය. මේ වැඩිමනත් වියදමෙන් අනතුරුවද ඔහුට වාසියක් ඇත.

මේ අතර පොත මිලදී ගන්නා නමුත් එය නොකියවන අයද සිටිති. මේ අය එසේ කරන්නේ පොත ගෙදර ප්‍රදර්ශනයට තැබීමෙන් ලබන සතුට රුපියල් 400ට වැඩි නිසාය. එය අදාල පුද්ගලයාගේ කැමැත්තයි. එවැනි පුද්ගලයින්ට බලෙන් පොත් කියවීමට උනන්දු කරවීම අනවශ්‍ය දෙයකි.

මේ අතරම "හැත්තෑව දශකයේත් ලාම්පු පත්තු කළ නිවසක විසු පිටිසර ගුරු පවුලක් වටා ලියැවුනු මේ කතාවල" වටිනාකමක් නැතැයි සිතන අයත් සිටිති. එහිත් ඇති වැරැද්දක් නැත. එවැන්නෙකුට පොතේ වටිනාකම එහි මිල වන රුපියල් 400ට වඩා අඩු නිසා පාඩුවක් විඳිමින් පොත මිලදී නොගෙන ඒ මුදලින් වෙනත් දෙයක් මිලදී ගනු ඇත. ඔහුට හෝ ඇයට පැත්තකට විසිකරන්නට පොතේ පිටපතක් අඩුමිලකට හෝ නිකම් දීමද අවශ්‍ය නැති දෙයකි.

පොතක මිල ගෙවා එය ලබා ගන්නේ එයට වැඩිම වටිනාකමක් දීමේ හැකියාව ඇති, එයින් වැඩිම ප්‍රයෝජනයක් හෝ සතුටක් ලබන පාඨකයින්ය.

(මේ මාතෘකාවට අදාළ මෙහි කථා කර නැති වෙනත් පැතිද තිබේ. ඒ ගැන පසුව කථා කරමු. පොතේ රූපය අවසර නැතුව හොරෙන් ගත්තාට තිලකේ නඩුමඟට නොයනු ඇතැයි සිතමි. උඩින් ඇති කතාව ඇත්තම නොවේ.)

17 comments:

  1. හැම තැනකම ආර්ථික විජ්ජාව .

    සැරයක් පොත් සාපුවකට ගිය පොත් කියවන්නෙක් පොත් ආසාවෙන් තෝරාගෙන පොතේ පිට කවරේ පිටිපස්ස හරවල බැලුවම ගැන දැකලා ගන්නේ නැතුව ඉන්නවා, මෙහෙම දවස් කීපයක් කලාම සාප්පුවේ ඉන්න කොලු ගැටයා ඇහුවලු , පොතේ පිටකවරේ පිටිපස්ස පිටුව නැත්තම් සර්ට පොත් ගන්න තිබ්බ නේද කියලා

    ReplyDelete
  2. හිතවතුන් ට පොත් තෑගි දීම නම් අපරාදයක්. මගේ රුපියක් දෙසීයේ පොතට අදාලවයි මා ඒ බව සොයා ගත්තේ. මෙය තිලකසිරිත් අත්දැක තිබෙන බව දුටුවා.

    ඒ වෙනුවට කළ යුත්තේ පොත් කියවන අය පමණක් සොයා පොත් තෑගි කිරීමයි.

    පොත් නොකියවන එකා නිකං තියා සල්ලි එක්ක දුන්නත් කියවන්නේ නම් නෑ!

    ReplyDelete
    Replies
    1. මා නම් ඉතා ආසාවෙන් ඔබේ පොත කියවූ වග සටහන් කරන්න කැමතියි.

      Delete
  3. පොතක් ලිවීම කියන්නේ මහා කාර්යක්... ඒක ප්‍රින්ට් ඒකෙන් ඒළියට දානවා කියන්නේ වෙනමම කතාවක්.... ඒක මහා වෙහෙසක්... දැනුම හෝ අත්දැකීම් සමාජගත කිරීමෙන් ලැබෙන්නේ මුල්‍යමය සතුටක් නෙමෙයි... පොතේ ගාන හෝ ඒහි විකිනෙන අාකාරය නෙමෙයි වැදගත්.... ඒක ගන්න මිනිහෙක් තම අදහස් කතා කරලා කියන ඒකයි... ඒක ඔබ කියනවා වගේ රුපියල් 400ට ඒහා ගිය දෙයක්..... මොනවා වුණත් පොතක් ප්‍රින්ට් වුණාට පස්සේ දැනෙන සතුට මාර දෙයක්.... ඒක ගත්ත කෙනෙක් කතා කරලා දෙයක් අහපු හෝ හොද කියපු දවසට දැනෙන සතුට තවත් දෙයක්..... තමන්ගේ පොතක් කොහේ හරි රාක්කයක තියෙනවා දැක්කා ම දැනෙන සතුට තවත් දෙයක්... ඒ මත තව පොත් සීයක් වුණත් ලියන්න හිතෙනවා...... (පොඩි අත්දැකීමක් තියෙන නිසා කිව්වේ..... පොර ටෝක් ඒකක් කියා නොසිතන්න)))

    ReplyDelete
  4. ඉකොනොමැට්ටා ඉතාම අරුත්බර ආර්ථික විද්‍යා විග්‍රහයක් කරන අතරේ මේ පොතටත් මටත් ඉහළම රෙකමදාරුවක් දුන්නාට බෙහෙවින් තුති. අපරාදේ දැන්නම් හිතෙනවා පොතේ ගාන ටිකක් වැඩි කරන්න තිබ්බේ කියල D . ඇත්තෙන්ම පොතේ අලෙවිකරු විසින් ටාගට් මාකට් එක වන පොත් කියවන්නන් වෙත හරියට ලඟා වෙනවානම් සාමාන්‍ය මට්ටමේ පොතක් වුනත් අපේ රටේදීත් පහසුවෙන් අලෙවි කර ගන්න පුළුවන් කියලයි මට තේරුනේ. පොත් ලියන්නාත් අලෙවිකරුත් දෙන්නම එක්කෙනෙක් වුනාම මේ වැඩේ ටිකක් අවුල් වෙනවා . ඔවුන් හිතනවා හිනාවෙලා කතා කරන හැමෝම අර ටාගට් මාකට් එකේ කොටසක් කියලා .

    ReplyDelete
  5. පොතකට මිල නියම කරපුවාම එහි වටින කමින් සියයට දහයයි කර්තෘට හිමි වන්නේ තවත් සියයට හතළියක් අතරමැදි වෙළෙන්දාට හිමිවෙනවා. ඇතැම් පොත් සාප්පු හිමියන් අපට සියේට තිහක වට්ටමක් දෙන්නේ මේ තමන්ගේ කොටසින්. කොහොම නමුත් පොතක වැඩිම ලාභය ගන්නේ මේ අතරමැදි පොත් අලවි කරන්නායි. ප්‍රකාශකයාට ලැබෙන්නේ සියයට 50යි ඉන් මුද්‍රණ වියදම සඳහා සියයට 40 ඉක්මවූ වැයක් ඔහු දරනවා. එනිසා ඔහුගේ ලාභයත් කර්තෘගේ ලාභයත් සමානයි.

    ReplyDelete
    Replies
    1. මට මෙයට අදාළ අනෙත් කරුණු කථා කිරීමට අවශ්‍ය තොරතුරු බොහොමයක්ම ඔබ ඉදිරිපත් කර තිබෙනවා. මේ ගණන් හිලවු ඇත්තටම මට දැනගන්න ඕනෑ වෙලයි තිබුණේ. (පොතක් ගහන්න හරි, පොත් බිස්නස් එකට බහින්න හරිනම් නෙමෙයි!) මට දැන ගන්න අවශ්‍ය තව දෙයක් තියෙනවා. දැන් මෙතනදී (පොතේ කතෘ සහ ප්‍රකාශකයා දෙදෙනෙක් ලෙස සලකා) පොත නොවිකුණුනොත් අවදානම කාටද? ලාභය අඩුවීම නෙමෙයි, පාඩුවක් වීමේ හැකියාව. මගේ දළ අදහසනම් රුපියල් 400කට පොත විකිණීමේ අවදානම ගනිමින් මේ අතරමැදි පොත් අලවි කරන්නා ප්‍රකාශකයාට රුපියල් 240ක අත්පිට මුදලක් ගෙවනවාය යන්නයි.

      Delete
  6. තිලක සිතත් ආර්ථික විජ්ජාවක් නෙව.. හැක්.. මරු විග්‍රයහක් බං. හැබැයි නලියා කිව් දේත් ඔලුවට යනන් ඕන..

    මම කියවන්නෑ කියල හිතාගෙන ඉන්න පොතක් ඒක.. හැක්..

    ReplyDelete
  7. රුපියල් හාරසීයක් වැඩි නැද්ද? ගොල්ලීප් 13ක් බිව්වත් තවත් රුපියල් දහයක් ඉතුරු වෙනවා..

    ReplyDelete
    Replies
    1. ගෝල්ලීප් 13ක් තිලකසිතට වඩා වටිනවා කියා සිතන අය අනිවාර්යයෙන්ම වැඩි ඇති. තිලකසිතට අදාළ දේම ගෝල්ලීප් වලටත් අදාලයි. ගොල්ලීප් බොන හැම කෙනෙක්ටම ගෝල්ලීප් එකකින් ලැබෙන සතුටේ වටිනාකම අඩුම වශයෙන් රුපියල් තිහක්. බොහෝ දෙනෙක්ට ඊට වඩා වැඩියි. ගෝල්ලීප් එකේ තියෙන සෞඛ්‍යමය අවදානම හොඳින් දැනගෙන ඕක බොන අයට තියෙන වටිනාකම තවත් වැඩියි. ඒ අය රුපියල් තිහට අමතරව තමන්ගේ අපේක්ෂිත ආයු කාලයේ වටිනාකමිනුත් ටිකක් දැන දැනම ගෙවන්නේ ලැබෙන සතුට ඔය දෙකේම එකතුවට වඩා වැඩි නිසයි. ඉතිං අපි මොකටද ඔය අස්සේ තිලකසිතක් පෙන්නලා ආතල් එක කඩන්නේ?

      Delete
  8. තිලකගේ පොත කියෙව්වේ නැති උනාට බ්ලොග් එක නොවරදවා කියවන එකෙක් මම...

    පොතක් ගහන්න මගෙත් දොලදුකක් තිබුනා.. ඒත් ගෙවීම් ගැන අහුවාම, ඒ අදහස අත ඇරලා දැම්මා...

    ReplyDelete
  9. ඉවාන්, රසික, කුරුටු, මාතා, දේශ් ඇතුළු හැම දෙනෙක්ම එකතු කරලා තියෙන දේවල් මේ මාතෘකාවට අදාළ, ඉකොනොමික්ස් ඇහැට පේන්න තියෙන තැන්. කොහොමටත් කතාකරන්න හිතපු දේවල් වලට අදාළ ප්‍රායෝගික උදාහරණම ගොඩක් තියෙනවා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget