Tuesday, August 18, 2015

අපි නොදන්න චෙස්!

මහ මැතිවරණයේ ප්‍රතිඵල දැන් නිකුත් වී තිබේ. තර්කානුකුලව සිදුවිය යුතු පරිදි, කිසිදු පක්ෂයක් බහුතරය ලබාගෙන නොමැති නමුත් මන්ත්‍රී ධුර 107ක් ලබා ඇති (මුස්ලිම් කොන්ග්‍රසය තනිව තරඟ කර ලබාගත් මන්ත්‍රී ධුරයද සමඟ) එජාපෙට එජනිසයේ මන්ත්‍රීවරුන් කොටසකගේ සහාය ලබා පහසුවෙන් ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව තිබේ. ඊපීඩීපීයෙන් තරඟ කළ ඩග්ලස් දේවානන්දගේ මන්ත්‍රී ධුරයද ඇතුළුව එජනිසය මන්ත්‍රී ධුර 96කට සීමාවී ඇති අතර ජවිපෙය මන්ත්‍රී ධුර 6කට සීමා වී ඇත. ඉතිරි මන්ත්‍රීධුර 16 ද්‍රවිඩ සන්ධානයට හිමි වී තිබේ.

පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵලය මත පදනම්ව ඉකොනොමැට්ටාගේ විශ්ලේෂණයන් ප්‍රධාන වශයෙන් පසුගිය ලිපි දෙකක පළ විය. මැතිවරණයට සති පහකට පෙර ජූලි 11 දින පළ කළ, එයින් පළමු ලිපියෙන් මා පෙන්වා දුන්නේ ජනාධිපතිවරණයේදී මෛත්‍රී ලැබූ ඡන්ද ලක්ෂ හැටදෙක මෙන්ම මහින්ද ලැබූ ඡන්ද ලක්ෂ පනස් අටද සෙරමික් මිස ඇලුමිනියම් නොවන බවයි.

ජනාධිපතිවරණයේදී මෛත්‍රී ලැබූ ඡන්ද ගණන 6,217,162කි. මහ මැතිවරණ ප්‍රතිඵල අනුව එජාපෙ, ජවිපෙ, ටීඑන්ඒ, ප්‍රපෙ ලබාගත් ඡන්ද වලට මුස්ලිම් කොන්ග්‍රසය තනිව තරඟ කළ දිස්ත්‍රික් දෙකේ ඡන්දද එකතු කළ විට 6,231,603ක් වන අතර මේ අනුව ජනවාරියේ මෛත්‍රී ලබා ගත් ඡන්ද මල්ල වැඩිවී ඇත්තේ යාන්තම් ඡන්ද 14,441කින් පමණි. මේ අනුව සිදුවී ඇත්තේ තර්කානුකූලව සිදුවිය යුතු පරිදිම මේ සෙරමික් හැටදෙක කෑලි වලට කැඩීයාමයි.

ජනාධිපතිවරණයේදී මහින්ද ලැබූ ඡන්ද ගණන 5,768,090කි. මහ මැතිවරණ ප්‍රතිඵල අනුව එජනිස සහ ඊපීඩීපී ලබාගත් ඡන්ද වලට කම්කරු කොන්ග්‍රසය තනිව තරඟ කළ දිස්ත්‍රික් තුනේ ඡන්දද එකතු කළ විට 4,783,252ක් වන අතර මේ අනුව ජනවාරියේ මහින්ද ලබා ගත් ඡන්ද මල්ලෙන් 17%ක් පමණ ගිලිහී තිබේ. එහෙත්, මේ ඡන්ද එජාපෙට, ජවිපෙට හෝ වෙනත් පක්ෂයකට ලැබුණු බවක් සංඛ්‍යාලේඛණ අනුව නොපෙනේ. සිදුවී ඇත්තේ මේ ඡන්ද භාවිතා නොවීමයි.

මුළු ඡන්ද ප්‍රමාණයෙන් 4.87%ක් ලබමින් ජවිපෙ තෙවන තැනට පැමිණි අතර මෙය ඔවුන් තනිව තරඟකර ලබා ගත් හොඳම ඡන්ද ප්‍රතිශතය වන, 2001 මැතිවරණයේදී ලබාගත් 9.10% ප්‍රතිශතයෙන් 53.5%කි.

මා ජූලි 11 ලිපියෙන් පෙන්වා දුන් පරිදි ජනවාරියේ මහින්ද ලබාගත් පනස් අටේ ගොඩේ කොටස් තුනක් සිටියේය.
-මහින්ද මහින්ද වීම නිසා මහින්දට කැමති වූ අය.
-මහින්ද (ඇතුළු පිරිස) ශ්‍රීලනිපය වන නිසා මහින්දට ඡන්දය දුන් අය.
-මහින්ද රටේ ජනාධිපති වූ නිසාත්, මහින්ද වටා දේශපාලන බලය තිබුණු නිසාත්, මහින්ද පැරදවීම සිතීමටවත් නොහැකි නිසාත් මහින්දට ඡන්දය දුන් අය.

මෙයින් පළමු ගොඩ ස්ථිර ඡන්ද වූ අතර මහින්ද ඇතුළු කණ්ඩායම එජනිසයේ බලය අල්ලා ගැනීම මඟින් තහවුරු කර ගත්තේ දෙවන ගොඩයි. තෙවන ගොඩ ගිලිහීයාම වලක්වා ගැනීමටනම් මෛත්‍රීගේ තනි අයිතිය ලබා ගැනීම එජනිසයට අත්‍යාවශ්‍ය සාධකයක් විය. මේ සඳහා මහින්ද පිල විශාල පරිශ්‍රමයක් දැරූ නමුත් දෙවන වටයේදී උපක්‍රමික ලෙස පසු බෑ මෛත්‍රී කල් යල් බලා එල්ල කළ ප්‍රහාර වලින් මහින්දගේ පනස් අටෙන් දහයක්ම ගිලිහී තිබේ.

පාර්ලිමේන්තුව විසිරුවන අවස්ථාව වන විට තිබුණේ එජාපෙ සහ එජනිස අතර එක්තරා ආකාරයක බල තුලනයකි. මෛත්‍රීගේ හැටදෙකෙන් ටීඑන්ඒ සහ ජවිපෙ ඉවත් වීමට නියමිතව පැවති අතර මහින්දගේ පනස් අටේ තෙවන ගොඩින්ද කොටසක් ඉවත් වන බව තත්ත්වය තුල තියුණු තරඟයක් පෙනෙන්නට තිබුණේය. මෙවැනි තියුණු තරඟයක් ඇති විට තෙවන පාර්ශ්ව වලට සාමාන්‍යයෙන් හිමි වන්නේ ඔවුන්ගේ අවමයයි. කෙසේ වුවද මැතිවරණ දිනය ආසන්න වෙද්දී ජවිපෙ වෙතට රැල්ලක් පෙනෙන්නට පටන් ගත්තේය. ඉකොනොමැට්ටාගේ දෙවන විශ්ලේෂණය පළ කෙරුණු අගෝස්තු 10 දින වන විට පැවති තත්ත්වය මෙයයි.

ඉකොනොමැට්ටාගේ දෙවන විශ්ලේෂණය සංවේදීතා අධ්‍යයනයක් (sensitivity analysis) විය. එය පැරණි මැතිවරණ ප්‍රතිඵල හැර වෙනත් සමීක්ෂන දත්ත මත පදනම් වූවක් නොවීය. මෙහිදී අවධානය යොමුකෙරුණු ප්‍රධාන කරුණ වූයේ පැරණි රෙජීමය නැවත පැමිණීමට ඇති ඉඩකඩ කවරේද යන්නයි. මේ අනුව, එම ලිපිය සමඟ ඉදිරිපත් කළ පළමු වගුව පිළියෙළ කෙරුණේ එජනිසය ජනවාරි ඡන්ද පදනම මුළුමනින්ම රඳවාගෙන මෛත්‍රීගේ ඡන්ද උපරිම ප්‍රමාණයක් ජවිපෙ සහ ටීඑන්ඒ වෙත කැඩී යන තත්ත්වයක් තුළ වුවද එජනිසයට බහුතරයක් ලබා ගත නොහැකි වන බව පෙන්වීමටය.

පළමු වගුවෙන් පෙන්වූ ප්‍රතිඵලය ලිපියේ උඩින් විස්තර කර තිබුණු පරිදි එම අවස්ථාව වන විටද සිදු වීමට ඉඩකඩක් නොතිබුණු තත්ත්වයකි. ඒ, ඒ වන විටත් එජනිසය භේද භින්නව සිටි නිසාය. කෙසේ වුවද මා දැනටත් සිතන පරිදි පළමු වගුවේ ඇති ප්‍රතිඵලය මහින්ද අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් නොවී මෛත්‍රී විසින් එජනිසය මෙහෙයවූවානම් ලබා ගත හැකිව තිබුණු තත්ත්වයකි. මෙවැනි තත්ත්වයක් පැවතියේනම් එජාපය ජාතික රජයකට යාම ඡන්දදායකයින්ට පැහැදිලි නිසා විපක්ෂය ශක්තිමත් කිරීම වෙනුවෙන් ජවිපෙ වෙත උපරිම බලය යෙදෙනු හැකිව තිබුණි. කෙසේ වුවද මේ උපරිම බලය වුවද 2001 ජවිපෙ ශක්තිය ඉක්මවීමේ ඉඩකඩක් නොපැවතුනි. එමෙන්ම සරත් ෆොන්සේකාගේ පක්ෂයටද කිසියම් ඡන්ද ප්‍රමාණයක් ලැබිය හැකිව තිබුණි.

මහින්ද විසින් නාමයෝජනා ලබා ගැනීමෙන් අනතුරුව වුවද මෛත්‍රී එජනිසය වෙනුවෙන් එකහිතින් ක්‍රියාකාරී ලෙස පෙනී සිටියේනම් සහ මහින්ද-මෛත්‍රී කණ්ඩායම් අතර ප්‍රතිවිරෝධතා මතු නොවීනම් එජනිස සහ ජවිපෙ දෙපසින්ම එජාපෙට ප්‍රහාර එල්ල වී මේ ප්‍රතිඵලය ලැබිය හැකිව තිබුණි. එහෙත්, එවැන්නක් සිදු වීමේ ඉඩකඩක් පෙනෙන මානයකවත් නොවීය.

දෙවන වගුව පිළියෙළ කෙරුණේ මහින්දගේ ජනවාරි ඡන්ද වලින් 15%ක් ඉවත් කර එයින් තුනෙන් එකක් (5%ක්) එජාපෙ ගොඩට එකතු කරමිනි. මෙහිදී ජවිපෙ ඡන්ද ප්‍රතිශත 2001 උපරිමයෙන් 50%කට සීමා කෙරිණි. එජාපයට සහ ශ්‍රීලනිපයට මෙන්ම ජවිපෙටද දශක දෙක තුනක සිට ගොඩනගාගත් ඡන්ද පදනමක් ඇති නිසා මා සිතන පරිදි මේ ජවිපෙට වැටිය හැකි පහළම මට්ටමයි. මේ තත්ත්වය එජාපෙට ලඟා විය හැකිව තිබුණු උපරිමයක් වූ අතර ඒ සඳහා වුවද මෛත්‍රීව නියෝජනය වන්නේ එජාපෙ මඟින් පමණක්ය යන්න ඡන්දදායකයා වෙත ඒත්තු ගැන්විය යුතුව තිබුණි. මැතිවරණයට සතියකට පෙරත් මෙවැනි සංඥාවක් මෛත්‍රී වෙතින් නිකුත්ව නොපැවති අතර ඔහු ස්වාධීන පුද්ගලයෙකු ලෙස පෙනී සිටින බවක් පෙනෙන්නට තිබුණි. අනෙක් අතට එවැනි සංඥාවක් සෘජුව නිකුත් කරමින් එජනිස ඡන්ද ජයග්‍රහණය තමන්ගේ අපේක්ෂාව නොවන බව පෙන්වා දීම එජනිස 'අප්පච්චි මළෝ' කණ්ඩායම අනතුරේ හෙලීමක් විය.

එජනිස බහුතරය ලබා නොගත්තත් එජාපෙට වඩා එක් මන්ත්‍රී ධුරයක් හෝ ලබා ගත්තේනම් මහින්දව අගමැති කරන ලෙස ඉල්ලමින් හඬක් නැඟෙනු ලැබීම නොවැලැක්විය හැක්කකි. මතුපිටින් පෙනෙන්නට තිබුණු ජවිපෙ රැල්ල මඟින් තල්ලු කෙරුණේ එවැනි ප්‍රතිඵලයක් කරාය. මගේ ලිපිය හා ඉදිරිපත් කළ තෙවන වගුවෙන් හඳුනා ගැනීමට උත්සාහ කළේ පරණ රෙජීමය නැවත පැමිණීමේ අවදානමට මුහුණ නොදී ජවිපෙ ඡන්ද පදනම ඉහළ දැමිය හැකි සුරක්ෂිතතා සීමාවයි. මේ අනුව 2001 මට්ටමෙන් 75%ක් දක්වා ජවිපෙ ඡන්ද පදනම ඉහළ ගියේ වුවද රනිල්ගේ අගමැති සිහිනය බොඳ නොවිය හැකිව තිබුණි. මැතිවරණයට සතියකට පෙරද තෙවන වගුවේ ප්‍රතිඵලය ලැබීමේ සම්භාවිතාවක් වූ බව මගේ අදහසයි.

ජවිපෙ අවසානයේදී ලඟා වූ සීමාව ඉතා අකාර්යක්ෂම සීමාවකි. සමානුපාතික ක්‍රමය අනුව මේ මට්ටමේදී ඡන්ද වැඩිම ප්‍රමාණයක් නාස්ති වේ. මන්ත්‍රීධුර 16ක් හිමි කරගත් ද්‍රවිඩ සන්ධානයට වඩා ඡන්ද ලබාගත් ජවිපෙට මන්ත්‍රී ධුර 6ක් පමණක් හිමිවෙන්නේ මේ නිසාය. ඡන්ද ප්‍රතිශතය 2001 මට්ටමෙන් 75%ක් දක්වා වැඩි වූවානම් මේ මන්ත්‍රී ධුර ගණන ඡන්ද වැඩි වූ අනුපාතිකය ඉක්මවා 14ක් පමණ දක්වා වැඩි විය හැකිව තිබුණි. මෙය එසේ වීනම් මේ මන්ත්‍රීධුර ගණන අඩුවෙන්නේ එජාපෙ ගොඩෙනි. ජවිපෙ ඡන්ද ඔවුන්ගේ අවමයට සීමාකර එජාපෙ ගොඩ ඔවුන්ගේ උපරිමය දක්වා තල්ලු කිරීමෙන් පරණ රෙජීමය නැවත පැමිණීමේ අවදානම අඩුකිරීම මඟින් මා තේරුම් ගන්නේ ශ්‍රී ලංකික ඡන්දදායකයා ලොකු විශ්ලේෂණ නොකළත් සවිඥානකව නිසි තීරණය ගෙන ඇති බවයි. තමන්ගේම ඡන්ද පදනමක් නැති ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ බිංදුවටම වැටීමෙන්ද පෙනෙන්නේ මෙයයි.

අවසාන සතියේ සැලසුම්සහගතව එල්ල කළ ප්‍රහාරයකින් මෛත්‍රී විසින් එජාපෙ ඔවුන්ට ලබා ගත හැකි හොඳම ප්‍රතිඵලය වෙත තල්ලු කරනු ලැබීය. මහින්ද වෙත යැවුණු විවෘත 'පෙම් හසුනේ' කියන්නට ඇති සියල්ල කෙලින්ම තිබුණේය. රාජ්‍ය බලය ඇත්තේ එජාපෙ සමඟ බව ඡන්දදායකයන්ට තහවුරු කෙරිණි.

මගේ දෙවන වගුවේ ඇති ප්‍රතිපලය සැබෑ ප්‍රතිඵලයෙන් වෙනස් වන්නේ ඉතා සුළු වශයෙනි. බස්නාහිර, දකුණු, සබරගමු, ඌව, වයඹ පළාත් වල සියලුම දිස්ත්‍රික්ක වල ප්‍රතිඵල වගුවේ පරිදිමය. මා සිතන පරිදි ප්‍රාදේශීය සාධක මත, මධ්‍යම පළාතේ මාතලේදී එජනිසයෙන් එකක් අඩුවීත් නුවරඑළියෙන් එකක් වැඩිවීත් ඇතත් පළාතේ සමස්ත ප්‍රතිඵලය නොවෙනස්ව ඇත. මා අංක අට යටතේ සඳහන් කළ පොළොන්නරුවේ මෛත්‍රී සාධකය සහ වන්නියේ බදුර්දීන් සාධක වල බලපෑමක් සිදුවී නොමැත. යාපනයේදී එජනිස ලෙස මා වගුවේ සටහන් කළේ ඊපීඩීපියේ ඩග්ලස් දේවානන්දයි. එමෙන්ම, මඩකලපුවේදී එජාපෙ ලෙස මා සඳහන් කළේ එහිදී තනිව තරඟ වැදුණු මුස්ලිම් කොන්ග්‍රසයයි. මඩකලපුවෙන් එජනිසයට මන්ත්‍රීධුරයක් ලැබේයැයි මා ගණනය කළත් එජාපෙ එජනිසට වඩා ඡන්ද 127ක් වැඩියෙන් ලබමින් යන්තමින් තවත් මන්ත්‍රීධුරයක් ලබාගෙන තිබේ. අනුරාධපුර, ත්‍රිකුණාමලය සහ අම්පාර ප්‍රතිඵලද වගුවේ පරිදිමය. මේ අනුව දිස්ත්‍රික් මන්ත්‍රී ධුර එකතුව වගුවේ පරිදිමය. ජාතික ලැයිස්තුවේ කොටය එජනිසයට ලැබේයැයි මා සිතුවත් එය යාන්තමින් දෙමළ සන්ධානය විසින් හිමි කරගෙන ඇති නිසා දෙමළ සන්ධානයේ මන්ත්‍රී ධුර ගණන 16ක් දක්වා එකකින් වැඩිවී එජනිස ගණන 96 දක්වා අඩුවී තිබේ.

මා මේ විස්තර ලිවුවේ මා හොඳ අනාවැකිකරුවෙකු බව කියන්නට නොවේ. මා එවැන්නක් කළේ නැත. මගේ වගු තුනෙහි විශාල පරාසය තුළ ලොකු ඉඩක් පැවති අතර වෙනත් බොහෝ දෙනාද බලාපොරොත්තු වූයේ මේ පරාසය තුල ප්‍රතිඵලයකි. ලැබී ඇත්තේ ලැබිය හැකිව තිබුණු ප්‍රතිඵල කිහිපයකින් එකකි. එම ප්‍රතිඵලය අහම්බයක්ද නොවේ. බොහෝ දුරට, අනපේක්ෂිත ලෙස අන්තිම ඕවරයේදී මෛත්‍රී එල්ල කළ දැවැන්ත හයේ පහරේ ප්‍රතිඵලයකි. මේ හයේ පහරින් මහින්දගේ පනස් අටෙන් ලොකු කෑල්ලක් ගැලවී ගියේය. ලකුණු සටහන් වූයේ රනිල්ගේ පුවරුවේය.

එක් තැනෙක ලියවී තිබුණු අයුරින් මහින්ද දාන් අදිද්දී මෛත්‍රී චෙස් ක්‍රීඩා කර රජා බ්ලාස් කර ඇත.

කෙසේ වුවද මෛත්‍රීගේ හයේ පහරේ අතුරු ප්‍රතිඵලද තිබේ. එජනිස ගොඩෙන් 17%ක් හැලී මහින්ද පාක්ෂිකයින් ඉතිරි වෙද්දී උඩට මතුවෙන්නේ විවිධ චෝදනා වලට ලක් වූවන්ය. මේ අනුව (තවමත් මනාප ප්‍රතිඵල සියල්ල නොදන්නා නමුත්) මුතුහෙට්ටිගම, රත්තරං, චොකා මල්ලි ආදීන්ද, විමල් වීරවංශගේ කණ්ඩායමේ අයද උඩට මතුවී 'අප්පච්චි මළෝ' සාමාජිකයින් හැලී යාම සිදුවනු ඇත. මේ අතර, සිංහල බ්ලොග් රචකයෙකු වන සතර දිගන්තයේ කරුණාරත්න පරණවිතානත් මීළඟ පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටී. ඔහුට සුබ පැතුම්!

18 comments:

  1. සංධාන ඡන්දදායකයන්ගෙන් යම් ප්‍රමාණයක් ඡන්දපොළට ගොස් නැත.එයට අවසාන සතියේ සිදුවීම් බලපාන්නට ඇත.

    අවසාන සතියේ සැලසුම්සහගතව එල්ල කළ ප්‍රහාරයකින් මෛත්‍රී විසින් එජාපෙ ඔවුන්ට ලබා ගත හැකි හොඳම ප්‍රතිඵලය වෙත තල්ලු කරනු ලැබීය.//

    ඒක තමයි වුනේ. ජනවාරි 8 තුවාල සුව වෙලත් නැතිව පක්ෂයත් භේදවෙලා හරිහමන් නායකත්වයකුත් නැතිව තියෙද්දි සංධානය ලබාගත් මේ ප්‍රතිඵලය ඉහටත් උඩින්.

    ReplyDelete
  2. ඔබගේ චන්ද සමීක්ෂණය ගැන මම වැරදියි කිව්වත් මේ ලිපියනම් ඉතාම හොඳයි. මයිත්‍රී කලේ ජනතාවට නැවත වතාවක් මතක් කල දීම පමණයි. මම හිතන්නේ එය නැතිව උනත් සන්ධානෙට යුඑන්පි එක අභිබවා යාමේ හැකියාවක් තිබුනේ නැහැ.

    ReplyDelete
  3. ඉහත කොමෙන්ටුවට එක් කිරීමක්.
    //ජවිපෙ අවසානයේදී ලඟා වූ සීමාව ඉතා අකාර්යක්ෂම සීමාවකි. සමානුපාතික ක්‍රමය අනුව මේ මට්ටමේදී ඡන්ද වැඩිම ප්‍රමාණයක් නාස්ති වේ. මන්ත්‍රීධුර 16ක් හිමි කරගත් ද්‍රවිඩ සන්ධානයට වඩා ඡන්ද ලබාගත් ජවිපෙට මන්ත්‍රී ධුර 6ක් පමණක් හිමිවෙන්නේ මේ නිසාය. ඡන්ද ප්‍රතිශතය 2001 මට්ටමෙන් 75%ක් දක්වා වැඩි වූවානම් මේ මන්ත්‍රී ධුර ගණන ඡන්ද වැඩි වූ අනුපාතිකය ඉක්මවා 14ක් පමණ දක්වා වැඩි විය හැකිව තිබුණි. මෙය එසේ වීනම් මේ මන්ත්‍රීධුර ගණන අඩුවෙන්නේ එජාපෙ ගොඩෙනි. ජවිපෙ ඡන්ද ඔවුන්ගේ අවමයට සීමාකර එජාපෙ ගොඩ ඔවුන්ගේ උපරිමය දක්වා තල්ලු කිරීමෙන් පරණ රෙජීමය නැවත පැමිණීමේ අවදානම අඩුකිරීම මඟින් මා තේරුම් ගන්නේ ශ්‍රී ලංකික ඡන්දදායකයා ලොකු විශ්ලේෂණ නොකළත් සවිඥානකව නිසි තීරණය ගෙන ඇති බවයි. තමන්ගේම ඡන්ද පදනමක් නැති ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ බිංදුවටම වැටීමෙන්ද පෙනෙන්නේ මෙයයි.//
    ජවිපෙ වැඩි උනානම් දෙපැත්තෙන්ම ටික ටික අඩු වෙනවා. උදා ලෙස කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික්ක 2 ජවිපෙට තව ආවනම් එන්නේ සන්ධානේ එකක් අඩු වීමෙන්. බදුල්ල සහ මහනුවරත් එහෙමයි.
    රත්නපුර සහ කුරුණෑගල යුඑන්පි එකෙන් අඩු වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔබ එකතු කර ඇති දෙයට පදනමක් තිබේ. සමානුපාතික ගණිතය අනුව මන්ත්‍රී ධුර සංයුතිය හැමවිටම වෙනස් වෙන්නේ ඡන්ද වෙනස් වන ආකාරයටම නොවේ. තරමක් අණ්ඩර දෙමළ සේ පෙනුණත්, ගාල්ලේදී එජනිස ඡන්ද ප්‍රමාණය නොවෙනස්ව තිබියදී එජාපෙ ඡන්ද 1,196ක් අඩු වී ඒ ඡන්ද ජවිපෙට ලැබුනේනම් (හෝ ප්‍රකාශ නොකළ ඡන්ද 1,196ක් ජවිපෙට ලැබුනේනම්) ගාල්ලෙන් ජවිපෙට මන්ත්‍රී ධුරයක් ලැබෙන අතර එය අඩුවන්නේ එජාපෙන් නොව එජනිසයෙනි. මේ අනුව, ගාල්ලේදී පෙරටුගාමී පක්ෂය විසින් කඩාගෙන 'නාස්ති කළ' ඡන්ද 1,287 නොකැඩී තිබුණේනම් එජනිස සහ එජාපෙ ඡන්ද එලෙසම තිබුණද මොහාන් ද සිල්වා වෙනුවට පාර්ලිමේන්තු යන්නේ ජවිපෙ මන්ත්‍රී වරයෙකි. මහනුවරදීද ඔබ කියන දෙය සිදුවිය හැකිව තිබුණත් ඒ සඳහා අවශ්‍ය ඡන්ද ප්‍රමාණය වැඩිය. එහෙත්, කොළඹදී සහ බදුල්ලේදී 'කොටය' හිමි වුනේ එජාපෙට නිසා අඩුවන්නේ එජාපෙ මන්ත්‍රී ධුරයකි.

      Delete
  4. මේ ගැන කතා කරන විට මටනම් කියන්නට ඇත්තේ මෙපමනකි. මෛත්‍රී සන්දානයේ සබහපති කම අරගෙන පක්ශය ද කා අවසන් කිරීමට සූදානම් වන බවයි. ඔහු ජනපති වූයේ ගෙඹි ප්‍රතිපත්තියේ පිහිටා නිසා එය ඔහුගේ දැන් ක්‍රියාකලාපය බව කිව හැකි වුවත් මෙලෙස පැමින යලි තමන් වසර 40 පමන සිටි පක්ශය නොකා එජාපයේ ම සිටියානම් හොඳ යැයි මට සිතේ. මා මහින්ද වාදියෙකු නොවන නිසා මේ තීරන ගැන මගේ ඇඟ කසන්නේ නැති වුවත් මෙවන් අසමජජාති වැඩ නොරුස්සන බව කිව යුතු ය.

    ReplyDelete
    Replies
    1. Ethakota MR kanakota uba kichi kawagaththada machan? Ane palayan ban yanna bothal asse kuppi gahanne nethiwa.

      Delete
  5. දේශපාලන මඩ ගොහොරුවේ අපහාස මඩ වැනි දෙයින් හෙම්බත් බ්ලොග් පාඨකයන්ට අගනා විශ්ලේෂනාත්මක ලිපියක් ඉකොනමැට්ටා. අනිත් බොහෝ දේශපාලන ලිපි පිිරි ඉතිරි ගොස් තිබුණේ අන්ත මඩ ප්‍රහාරයන්ගෙන් මිස හරවත් මතවාදයන්ගෙන් නොවේ.
    බ්ලොග් රචක කරූ පරණිවිතානට මගේද සුබ පැතුම්.

    ReplyDelete
  6. මම මැතිවරණය ගැන දැකපු හොඳම විග්‍රහය.උදාහරණයක් විදියට මහින්ද කියන සාධකය නොවෙන්න, මෙවර පළමු වතාවට අලියා ට වැටුන මගේ ඡන්දය වැටෙන්නෙ ජවිපෙට. ඔන්න මහින්ද කරපු දේ (මං මේ කල්පනා කලේ 2001,2002 කාලෙදි වි.වි. ශිශ්‍යාවක් වෙලා හිටපු මගේ අතීතය අද හදිසියෙ මාව මුණ ගැහිල මං අලියට ඡන්දෙ දුන්න කියල දැන ගත්තොත් මොනවා නොකියයිද කියලා)

    ReplyDelete
    Replies
    1. ඔබ කිවු කරුණු ඒ විදිහටම මට අදාළයි.

      Delete
  7. /* ජනාධිපතිවරණයේදී මහින්ද ලැබූ ඡන්ද ගණන 5,768,090කි. මහ මැතිවරණ ප්‍රතිඵල අනුව එජනිස සහ ඊපීඩීපී ලබාගත් ඡන්ද වලට කම්කරු කොන්ග්‍රසය තනිව තරඟ කළ දිස්ත්‍රික් තුනේ ඡන්දද එකතු කළ විට 4,783,252ක් වන අතර මේ අනුව ජනවාරියේ මහින්ද ලබා ගත් ඡන්ද මල්ලෙන් 17%ක් පමණ ගිලිහී තිබේ. එහෙත්, මේ ඡන්ද එජාපෙට, ජවිපෙට හෝ වෙනත් පක්ෂයකට ලැබුණු බවක් සංඛ්‍යාලේඛණ අනුව නොපෙනේ. සිදුවී ඇත්තේ මේ ඡන්ද භාවිතා නොවීමයි. */

    ඔබේ කලින් ලිපියේ තිබුණු මේ ඡන්ද ප්‍රතිඵලය මතකයි නේ?
    රේගන් - 1
    රජීව් ගාන්ධි - 1
    ගොර්බචෝෆ් - 2
    ජේආර් - 53

    ඔන්න ඒ false alarm එකෙන් පස්සේ, කට්ටිය දිගටම ගමන ගියා, ආපහු කලින් වගේ තත්වයක් ඇවිත් ඡන්දයක් තිබුණා. අනිත් අය එකතු වෙලා ජේආර් මොකද කරන්නේ කියලා හැම විනාඩියේම හොඳට මෙනිටර් කළා. මෙන්න ඒ ඡන්දේ ප්‍රතිඵලය.

    රේගන් - 2
    රජීව් ගාන්ධි - 2
    ගොර්බචෝෆ් - 1
    ජේආර් - 1

    දැන් ජේආර් ගේ ඡන්ද 52 ක් අඩුවෙලා, ගොර්්බචෝෆ් ගේ එකක් අඩුවෙලා, රේගන්ටයි, ගාන්ධිටයි වැඩි වෙලා තියෙන්නේ ඡන්ද එක ගානේ?

    ඉතුරු ඡන්ද 51 ට මොකද වුනේ?

    ReplyDelete
    Replies
    1. වෙනත් විදිහකට (1+1+2+53 -5) - (2+2+1+1-5) = යහපාලනය. ඒත් තවමත් (2+2+1+1-5)>0.

      Delete
    2. උත්තරය - ඒ කුමක් වූයේදැයි සොයා ගත නොහැකි ඡන්ද 51 හොර ඡන්දවේ.

      Delete
  8. ඔබ කිවු අනාවැකිය අනුව බලන විට ලංකවේ නක්ෂස්ත්‍ර කරුවන් යැයි කියාගන්න මෝඩයන් කියන්නේ මොනවාද? ඔබගේ විශ්ලේෂණය ඉතා අනර්ඝයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගයාන් මට පෙන්නන්න අවශ්‍ය වුණේ ඕකම තමයි. මෙතන කිසිම මැජික් එකක් නැහැ. සමානුපතික ක්‍රමයේ ගණිතය තේරුම් අරගෙන, පාට කණ්ණාඩි ගලවලා බැලුවොත් ඕනෑ කෙනෙක්ට පේන්න ඕනෑ දෙයක්. කොහොම වුණත්, ඡන්ද ප්‍රතිඵල බැලුවම පෙන්නේ ගොඩක් අය සැබෑ තත්ත්වය තේරුම් අරගෙන තියෙන බවයි. ඒක සතුටට කරුණක්.

      Delete
  9. Dekka hondama post eka machan. Jaya wewa..!!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget