Thursday, August 20, 2015

සුළඟට පසු..




ඉස්තෝප්පුවේ වූ හාන්සි පුටුවේ ඇල වී සිටි විමලරත්න ඉස්කෝලෙ මහත්තයා ඉදිරියට නැමී කනප්පුව මත වූ බුලත්අත අතට ගත්තේය. කොළයෙන් කොළය පිරික්සා හොඳින් මේරූ බුලත් කොළයක් තෝරාගත් ඔහු ඉතිරි බුලත් කොළ ටික කනප්පුව උඩටම අතහැරියේය. ඇඟිල්ලේ අගිස්සට ගත් හුණු ටික දෙකොණ කැඩූ බුලත් කොළයේ පිට පැත්තේ තැවරුණි. පැත්තක වූ හෙප්පුවෙන් ගත් පුවක් කෑලි දෙක තුන සීරුවෙන් බුලත් කොළයේ එතූ විමලරත්න ඉස්කෝලෙ මහත්තයා එය කටේ රුවා ගත්තේය.

විටට දුම්කොළ එකතු කිරීම ඔහු නැවැත්තුවේ දැන් අවුරුදු දහයකට පමණ කලිනි. දුම්කොළ පාවිච්චිය මුඛ පිළිකා වලට හේතුවන බව පහදා දී ඔහුව කෙසේ හෝ ඒ සඳහා පොළඹවා ගත්තේ දැන් කොළඹ කිට්ටුව ජීවත් වන දෙවෙනි පුතාය. වෛද්‍යවරයෙකු වන දෙවෙනි පුතාත්, ඉංජිනේරුවකු වන ඕස්ට්‍රේලියාවේ සිටින ලොකු පුතාත් දෙදෙනාම කොතරම් ඇවිටිලි කළත් විමලරත්න ඉස්කෝලෙ මහත්තයාටත්, ලීලාවතී ඉස්කෝලෙ හාමිනේටත් ඔවුන්ගේ මල්කඩුවාවේ නිවෙස හැර යාමට හිත් දෙන්නේම නැත.

විමලරත්න ඉස්කෝලෙ මහත්තයා අත දිගහැර කුඹුරු උදැල්ලට ධන රේඛා මැකී ඇති ඔහුගේ අල්ල වෙත බැල්මක් හෙළුවේය. ඇඟිල්ලේ තවත් හුණු ඉතිරි වී තිබේ. කනප්පුව උඩින් තවත් බුලත් කොළයක් ගත් ඔහු ඇඟිල්ලේ ඉතිරිව තිබූ හුණු ටික එහි අතුල්ලා බුලත් කොළය නැවත කනප්පුව උඩටම අත හැරියේය. හුණු පාරවල් ටික පෙනෙන්නේ හරියටම ඇස් දෙකක් සහ නහයක් වගේය.

විශ්‍රාම සුවය විඳින විමලරත්න ඉස්කෝලෙ මහත්තයාට බුලත් අතක් ලැබුනේ සෑහෙන කාලයකිනි. දරුවෙකුට අකුරු කියවා ගැනීමට පැමිණි අසල්වැසියෙක් බිස්කට් ටින් එකක් සමඟ බුලත් අතක්ද ගෙන ඒමට අමතක කළේ නැත. කුරුණෑගල රෝහලේ ඖෂධවේදියෙකු වන මේ අසල්වැසියා විමලරත්න ඉස්කෝලෙ මහත්තයාගේ පැරණි සිසුවෙක්ද වේ. ඔහුට අකුරු කියෙව්වේත් විමලරත්න ඉස්කෝලෙ මහත්තයාමය. ඒ මැතිණියගේ සමඟි පෙරමුණු ආණ්ඩු කාලයේය. ඒ දවස්වලනම් විමලරත්න ඉස්කෝලෙ මහත්තයාට සතියකට බුලත් අතක් වැරදුනේ නැත.

විමලරත්න ඉස්කෝලෙ මහත්තයා මුල සිටම සිරි ලංකා කාරයෙකි. සිංහල වෙද මහත්තයෙකු වූ විමලරත්නගේ අප්පච්චී පනස් හයේදී වෙලගෙදර උන්නැහේව පරද්දන්නට මොන්නේකුලමට බැහැලා වැඩ කරද්දී ගමේ ශ්‍රී ලංකා තරුණ සමිතියේ සභාපති වුණේ විමරලත්නයි. එදා මෙදා තුර කවදාවත් වෙන පාටියකට කතිරේ ගසා නැතත් පක්ෂයට දැන් විමලරත්නලාගෙන් වැඩක් නැත. අළුත් පරපුරට විමලරත්නලා චමින්දලාය. එහෙම තියෙද්දී කාලයකට පසු ළමයෙකුට අකුරු කියවා ගැනීමට අසල්වැසියෙකු පැමිණීම ඔහුට විශාල සතුටකි. මේ පැරණි සිරිත් දැන් එතරම් අගය කෙරෙන්නේ නැත.

කාලෙකින් එළියට ගත් ගණදෙවි රූපය කනප්පුව උඩින් අතට ගත් විමලරත්න ඒ දෙස මොහොතක් බලා සිට පැත්තක තිබුණු පුටුවක් උඩින් තිබ්බේය. අහස පැහැදිලිය. නිල් පාටින් බැබලේ.

බණ්ඩාරනායක උන්නැහේ හැදූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාටත් නිල්ය. ලකුණ අතයි. පහුකාලෙකදී උන්නැහේගේ දෝණියන්දෑ අත කඩා පුටුවක් හැදුවේය. දැන් පුටුවත් නැත. බණ්ඩාරනායකලාත් නැත. ඇත්තේ බුලත් කොළයකි.

බුලත් කොළයට කතිරය ඉල්ලා ආයෙමත් සටනකි. සිල් ගන්නට ගිය ලීලාවතී ඉස්කෝලෙ හාමිනේට කාගෙන්දෝ මනාප ලකුණු කළ සිල් රෙද්දක්ද ලැබී තිබේ. විමලරත්නටනම් පන්සල පැත්තේ යන්නට තරම්වත් උනන්දුවක් නැත. එහෙව් එකේ අලියාගෙන් ඉල්ලූ වෙලගෙදර උන්නැහේව පරද්දන්නට පනස් හයේදී තිබුණු ඇම්ම දැන් නැති එක අහන්නත් දෙයක් නොවේ.

දැන් නිල් පාටින් ඉල්ලන්නේ විමලරත්න මෙන් මුල සිටම සිරි ලංකා එකේ හිටි අය නොවේ. මේ අය හිතෙන හිතෙන හැටියට පක්ෂ මාරු කරති. ඡන්දය ඉල්ලන සමහර අයගේ කටයුතු ගැන අහන්නත් ඇත්තේ අප්පිරියාවකි. එහෙම කියා, ජීවිත කාලෙටම ඡන්දය නුදුන් පක්ෂයකට කතිරය ගහන්නත් නොහැකිය. මේ සැරේ ඡන්දය නොදා ගෙදරටම වී සිටින්නට විමලරත්න හිත හදා ගත්තේය.

හදිස්සියේම අහස අඳුරු විය. ලොකු හුළඟක් එන්නට වගේය.

ලීලාවතී ඉස්කෝලෙ හාමිනේ මොකක්දෝ වැඩකට විමලරත්නට කතා කරයි. විමලරත්න ඉස්තෝප්පුවෙන් කුස්සිය පැත්තට ඇවිදගෙන ගියේය.

හුළඟක් ටිකක් වෙලා හැමුවත් අහස අඳුරු කළ තරමට මහා ලොකු දෙයක් වුණේ නැත. විමලරත්න ඉස්කෝලෙ මහත්තයා නැවත ඉස්තෝප්පුවට එන විට වැස්සක් නැතුවම හුළඟ ඉවර වෙලාය. කනප්පුව උඩ තිබුණු බුලත්අත විසිරී කොළ හත අටක් බිම වැටී ඇත. රටාවක් මවමින් බිම වැටී ඇති බුලත් කොළ අතර උඩින්ම ඇති කොළයේ විමලරත්නගේ හුණු පාරවල් කිහිපය හොඳින් පෙනේ.

විමලරත්න හුළගට බිම නොවැටී පුටුව උඩම තිබුණු ගණදෙවි පින්තුරය දෙස බැලුවේය. බිම වැටී ඇති බුලත්කොළ වලින් මැවෙන රටාවේත්, ගණදෙවි රූපයේත් ඔහුට සමාන කමක් පෙනෙන්නේ ඇයිදැයි ඔහුටම නොතේරේ.

***
පසුගිය සටහනෙන් පෙන්වා දුන් පරිදි ජනවාරියේ මහින්ද ලබාගත් ඡන්ද වලින් 17%ක් පමණ මෙවර එජනිසය වෙතින් ගිලිහී ඇති නමුත් මෛත්‍රී ලබාගත් ඡන්ද ගොඩ තෙගොඩකට බෙදෙනු හැර සැලකිය යුතු වෙනසක් වී නැත. රටේ සමස්ථ ප්‍රතිඵලය ලෙස බැලූ විට පෙනෙන චිත්‍රය එසේ වුවත්, ඇතැම් දිස්ත්‍රික්ක වල එජනිස ඡන්ද එජාපෙ වෙත යම් තරමකට මාරු වී ඇති අතර, වෙනත් දිස්ත්‍රික්ක වල එජාපෙ ඡන්ද අඩුවීම නිසා මේ වෙනස නොපෙනී ගොස් තිබේ.

එජනිස ඡන්ද ජනවාරි පදනම ඉක්මවා සුළු වශයෙන් හෝ වැඩි වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේදී පමණි. දකුණේ නාගරික දිස්ත්‍රික්ක වලදී 14-17% පමණ ප්‍රමාණයක්ද, ග්‍රාමීය දිස්ත්‍රික්ක වලදී 19-24% දක්වාද, නැගෙනහිරදී 22-26% දක්වාද, උතුරේදී 30% ඉක්මවාද එජනිස ඡන්ද අඩුවී තිබේ. මෙහිදී ඊපීඩීපී සහ කම්කරු කොන්ග්‍රසයේ ඡන්දද මා එජනිස ලෙස සලකා තිබේ.

එජනිස ඡන්ද මෙසේ අඩුවෙද්දී, බොහෝ ප්‍රදේශ වල එජාපෙ ඡන්ද සුළු වශයෙන් වුවත් වැඩි වී ඇත. මෙහිදී ඇතැම් දිස්ත්‍රික්ක වලදී වෙනම තරඟ කළ මුස්ලිම් කොන්ග්‍රසයේ සහ රිෂාඩ් බදුර්දීන්ගේ සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ (அகில இலங்கை மக்கள் காங்கிரஸ்) ඡන්දද එජාපෙ ලෙස සලකා ඇති අතර මෛත්‍රීගේ ජනවාරි ඡන්ද වලින් ජවිපෙ, ටීඑන්ඒ සහ ප්‍රපෙ අගෝස්තුවේදී ගත් ඡන්ද අඩුකර ඉතිරිය එජාපෙ ජනවාරි ඡන්ද සේ සලකා තිබේ. කෙසේ වුවද, අම්පාර හැර උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක වලදීත්, නුවරඑළියේදීත්, පුත්තලමේදීත්, පොළොන්නරුවේදීත් එජාපෙ ඡන්ද අඩුවී තිබේ.

එජනිසයෙන් ගිලිහුණු ජනවාරි ඡන්ද බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනේදී එජාපෙ වෙත සම්ප්‍රේෂණය වී ඇත්තේ ඉතාමත්ම සුළුවෙනි. මහනුවර, මාතලේ, අම්පාර, කුරුණෑගල හා අනුරාධපුරදී 1-2% ප්‍රමාණයකුත්, ගාල්ල, මාතර හා රත්නපුරේදී 3-4% ප්‍රමාණයකුත්, කෑගල්ලේදී 5% පමණත් මෙසේ එජාපෙ වෙත සම්ප්‍රේෂණය වී ඇති අතර හම්බන්තොට, මොණරාගල හා බදුල්ල දිස්ත්‍රික්ක වලදී මේ ප්‍රතිශතය 11-12% තරම් ඉහළය. මේ වෙනස්කම් වලට ප්‍රාදේශීය සාධකද යම් තරමකට ඉවහල් වී තිබිය හැකිය. එහෙත්, බොහෝ දුරට මෙහිදී සිදු වී ඇතැයි මා සිතන්නේ ජනවාරි වන විට නාගරික ප්‍රදේශ වල සිදුවී තිබුණු පරිවර්තනය තරමක් පසු වී ග්‍රාමීය පෙදෙස් වලද සිදු වීමයි. මේ නිසා සජිත්ගේ සංවිධාන ශක්තිය හෝ මහින්ද හම්බන්තොටින් ඉවත්වීම වැනි සාධක වලට මා මේ ප්‍රවණතාව ලඝු කරන්නේ නැත.

නුවරඑළියේ වෙනසට හේතුව ලෙස මා දකින්නේ ජනාධිපතිවරණයේදී එතරම් වැදගත් නොවූ ප්‍රාදේශීය සහ ජනවාර්ගික සාධක ඉස්මතු වී ඇති බවයි. කම්කරු කොන්ග්‍රසයේ ඉල්ලීමට මහින්දට ඡන්දය දීමට කඳුකර දෙමළ ඡන්දදායකයින් සූදානම් නොවූවත් ඔවුන් ජනවාරියේදී පෙනුණු තරමටම කම්කරු කොන්ග්‍රසය හැරගොස් නැත. මෙය සාපේක්ෂව පසුගාමී මේ ජන කොටසේද සවිඥානක බව වර්ධනය වී ඇති බව පෙන්වයි. අනෙක් අතට, තමන්ගේ ඡන්ද පදනම ගිලිහෙනු දැක බියට පත් වූ ආරුමුගම් තොන්ඩමන්ගේ කණ්ඩායම මහ මැතිවරණයේදී වඩා ක්‍රියාශීලී වන්නට ඇත.


ඇතැම් දිස්ත්‍රික්ක වලදී එජනිස මෙන්ම එජාපෙ ඡන්දද අඩුවීම විමසිය යුත්තකි. මුලින්ම උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක ගතහොත්, දෙමළ ජාතික සන්ධානයේ ඡන්දද ඉවත් කර ඇති පසුබිමක එජාපෙ මෙන්ම එජනිස ඡන්දදද අඩුවේනම් ඒ සඳහා වෙනත් හේතු තිබිය යුතුය. මෙවැනි එක් සාධකයක් වන්නේ මන්ත්‍රීධුරයක් ලබා නොගත්තත් ඒ ආසන්නයටම ලං වූ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසය (அகில இலங்கைத் தமிழ்க் காங்கிரஸ்) විසින් ලබා ගත් ඡන්ද ප්‍රමාණයයි. අනෙක් කරුණ, ඉතා විශාල ප්‍රමාණයක් වන ප්‍රතික්ෂේපිත ඡන්දයි. දකුණේ ග්‍රාමීය දිස්ත්‍රික්ක වල පවා ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රතිශතය 2-3% මට්ටම නොඉක්මවද්දී යාපනයේ ඡන්ද වලින් 7.83%ක් සහ වන්නි ඡන්ද වලින් 9.43%ක් ප්‍රතික්ෂේප වී තිබේ. මේ ඡන්ද විරෝධාකල්ප ඡන්ද ලෙස සැලකීම අපහසු වන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රතිශතය වන්නියේදී 1.86% සහ යාපනයේදී 2.86% ලෙස අඩු මට්ටමක පැවති බැවිනි. මෙය මැතිවරණ පළපුරුද්ද පිලිබඳ ප්‍රශ්නයක් විය හැකිය.

මා වැඩි තොරතුරක් නොදනිතත්, පුත්තලමේ ස්වාධීන කණ්ඩායමක් විසින් ලබා ඇති ඡන්ද 9,547 ජනවාරියේදී මෛත්‍රී ලැබූ ඡන්ද ලෙස සැලකිය හැකිනම් පුත්තලම් දිස්ත්‍රික්කයේ එජාපෙ ඡන්ද අටදහස් ගණනක අඩුව පැහැදිලි කළ හැකිය.

මා විශේෂ අවධානයට යොමු කරන්නේ කුරුණෑගල සහ පොළොන්නරු දිස්ත්‍රික් ප්‍රතිඵලයි. කුරුණෑගලින් එජනිසය ජනවාරියේදී ලබාගත් ඡන්ද වලින් 14.86%ක් අඩු වී ඇති අතර මේ අඩුව දකුණේ වෙනත් දිස්ත්‍රික්ක තුළ එජනිස අඩුවට වඩා විශාල ලෙස වෙනස් නැත. උදාහරණයක් ලෙස කළුතරින් එජනිස ඡන්ද අඩුවී ඇත්තේ 14.42%කි. අනෙක් අතට, කුරුණෑගලදී එජනිස ඡන්ද එජාපෙ වෙත මාරුවීමද එවැනි අනෙකුත් දිස්ත්‍රික්ක වලට වඩා විශාල ලෙස වෙනස් නැත. මේ අනුව, ඉතා පැහැදිලිවම කුරුණෑගල මහින්ද රැල්ලක් තිබී නැත. උපරිම තක්සේරුවක් යටතේ වුවත් මහින්දගේ පැමිණීම නිසා එජනිස ඡන්ද වලින් වැඩිපුර රඳවාගෙන ඇත්තේ 2%ක පමණ ප්‍රමාණයකි.


කුරුණෑගලට සාපේක්ෂව, පොළොන්නරුවේදී මෛත්‍රී සාධකය කැපී පෙනේ. පොළොන්නරුවේ එජනිස ඡන්ද අඩුවී ඇත්තේ 2.34%ක් පමණක් වන අතර කම්කරු කොංග්‍රසයේ බලපෑම පෙන්වන නුවරඑළිය දිස්ත්‍රික්කය හැරුණු විට අනෙකුත් සෑම දිස්ත්‍රික්කයකම, මහින්ද තරඟ කළ කුරුණෑගල (14.86%) සහ ඔහුගේ ගම් ප්‍රදේශය වන හම්බන්තොටද (19.04%) ඇතුළුව, මේ ප්‍රතිශතය 14% ඉක්මවයි. එමෙන්ම, පොළොන්නරුවේදී එජාපෙ ඡන්ද වලින් 11.62%ක් ගිලිහී තිබේ.

රටේ අනෙකුත් ප්‍රදේශ වල පැවති ප්‍රවණතාව අනුව පොළොන්නරුවේදී එජනිස ඡන්ද 17%ක් පමණ අඩුවිය යුතු වුවත් එසේ වී නැත්තේ මෛත්‍රී සාධකය නිසාය. මේ අනුව අවශ්‍ය දිසාවට නොවූවත්, නුවරඑළිය හැර දිවයින පුරාම හමා ගොස් ඇති මහින්ද සුළඟ පොළොන්නරුවේදී මඳ පවනක් වී ඇත.

පොළොන්නරුවේ එජනිස ජනවාරි ඡන්ද වලින් 17% පමණ (බොහෝ විට භාවිතා නොවී) අඩුවෙද්දී මේ අඩුවෙන් සෑහෙන ප්‍රමාණයක් එජාපෙ වෙත ජනවාරියේදී මෛත්‍රී විසින් රැගෙන ගිය ඡන්ද වලින් පිරවී තිබේ. එහෙත්, එජාපෙන් අඩු වූ සියලුම ඡන්ද මෙසේ එජනිසයට ආපසු පැමිණ නැත. මා විසින් පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව කරන ලදුව ජූලි පළවැනිදා පලකළ විශ්ලේෂණය පරිදි, පොළොන්නරුවේ ප්‍රකාශිත ඡන්ද වලින් 12.6%ක් පමණ වූ, ප්‍රමාණාත්මකව තිස්දහසකට මඳක් වැඩි මේ ඡන්ද වලින් අඩක් පමණ එජනිසට මාරු වී ඇතත් ඉතිරි ඡන්ද ප්‍රමාණය මහ මැතිවරණයේදී භාවිතා වී නැත.

රටේ අනෙක් ප්‍රදේශවලදී මහින්දවාදී නොවූ ශ්‍රීලනිප ඡන්ද වලටත් සිදුවූවායැයි මා සිතන්නේ මේ සන්තෑසියමය. ඒ අනුව ජනවාරි එජනිස ඡන්ද වලින් තුනෙන් එකකට ආසන්න විය හැකි මහින්දවාදී නොවන ඡන්ද වලින් අඩක් පමණ පාවිච්චි නොවන්නට ඇත. මේ නිසා කොහොමටත් උඩට එන මහින්දවාදීන්ට මනාප තරඟයේදී තවදුරටත් වාසියක් වූ අතර මහින්දවාදී නොවන අපේක්ෂකයින් රැසකටම ඔවුන්ගේ සීමිත ඉඩ ප්‍රස්තාවන්ද අහිමි වී තිබේ.

8 comments:

  1. ලාංකිය දේශපාලනයේ ගමන් මග පෙන්නුම් කරන්නට ගෙතුණු අපුරු කෙටි කතාවකි සුළගට පසු. මෙදා බුලත් කොළයට වුණේ විමලරත්නලාට ඔච්චන් කීරිම තමයි. අපුරුම උපමා උපමේය රැගත් කාලින කෙටි කතාවකි. එයිටත් වඩා දෙවන කොටස මගින් කියලා ලාංකිය ඡන්දදායකයාගේ භූමිකාව පෙන්වන ලිපිය නිරවුල්ය. පැහැදිලිය. ඔබට තුති.

    ReplyDelete
  2. හිටපු එල්ඩ්‍ටීටීඊ සාමාජිකයන්ගේ පක්ෂයට චන්ද 15 000ක් ලැබුනා. එහෙනම් සිංහල ජනගහනය දෙමල ජනගහනය වගේ 5ගුණයක් ලෙස සැලකුවොත් එහෙනම් බොදුබල සේනාවේ පක්ෂයට චන්ද 75 000ක් ලැබිය යුතුයි. නමුත් ඔවුන්ට ලැබුනේ චන්ද 20 000යි ඒ අනුව දෙමලා සිංහලයාට වඩා 3.75 ගුණයක් වර්ගවාදීයි :)

    ReplyDelete
    Replies
    1. ජගත් මෙතන වැදගත් කරුණු දෙකක් තියෙනවා. දැනට මම ඔබේ සටහනේ විදිහටම හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ගේ පක්ෂය සහ බොදුබල සේනාවේ අය වර්ගවාදීයි අනිත් අය එහෙම නෑ කියලා ඉරක් ගහන්නම්. මේ ඉර වැරදියිද නැද්ද කියන එක කියන කරුණට අදාළ නැහැ. දැන් ඔබේ ගණනුත් එතකොට හරිනේ. මෙහෙම බැලුවත් වැදගත් කරුණ මේ අනුපාතයට වෙන්නේ මොකද කියන එකයි. පහුගිය කාලයේම ශ්‍රී ලාංකික දෙමළ කණ්ඩායමේ වර්ගවාදී කොටස මීට වඩා වැඩියි. එහෙම බැලුවාම මේ ගණන අඩුවෙලා. ප්‍රවණතාවත් අඩුවෙන පැත්තටයි. (හැබැයි දැනට. ඉදිරිය ගැන කියන්න බැහැ.) ඒත් බොදුබල සේනාවේ 20,000 ඉදිරියේදී විශාල ලෙස වර්ධනය විය හැකි ප්‍රවණතාවක්. මේක මම පැහැදිලිවම කියනවා. අනිත් එක බොදුබල සේනාවේ අය හෙළ උරුමය වටා ගොනු වුන අයට වඩා ගොඩක් වෙනස්. එක වගේ පේනවානම් ඒ මතුපිටින් විතරයි. මේ අයගේ පසුබිම එල්ටීටීඊ එකට එකතු වුන අයගේ පසුබිමට ගොඩක් සමානයි. (එහෙම බැළුවාම ඔබේ සැසඳීම නිවැරදියි)

      දෙවන කරුණ මෙතන උන් 3.75ක් වර්ගවාදීනම් අපි 1.00 වුණාම මොකද වගේ අදහසක් තියෙනවා. මේකත් අපි හිතන විදිය තමයි. මහා බැංකු අධිපති කෝටි අහවල් ගානක් ගැහුවනම් මම එලවන වාහනෙන් ඩීසල් ටිකක් ඇද්දම මොකද වෙන්නේ වගේ. මොකද අපි හැමෝම ඇතුලේ අමාරුවෙන් යටපත් කරගෙන ඉන්න හොරෙක්, වර්ගවාදියෙක් (තව ගොඩක් අය) ඉන්නවා. මහ බැංකු අධිපතිගේ හොරකම ලොකු වෙන තරමට මගේ පොඩි හොරකම සාධාරණීකරනය කරගන්න මට ලේසියි. දෙමළු වැඩියෙන් වර්ගවාදී වෙන කොට මටත් ටිකක් වර්ගවාදී වෙන්න ලේසියි. එතකොට මගේ යටි හිතේ තියෙන දේ ඉටුවෙනවා.

      (මම මේ ලියන්නේ ඔබව පෞද්ගලිකව අරමුණු කරගෙන නෙමෙයි. ඔබේ :) මම දැක්කා)

      Delete
  3. කතාව සහ පැහැදිලි කිරීම අපූරුයි. අපි අවධානය යොමු නොකරන පැති ඔබ පෙන්වනව

    ReplyDelete
  4. අගෙයි.... මචං අදනම් නියම දර්ශනයක් දැක්කා.... මහින්ද අාවා රනිල් දිවුරුම් දෙන ඒකට.... රනිල් මුලින් ම අතට අත දුන්නේ මහින්දට... මෙෙත්‍රී බැහැලා අැවිත් අතට අත දුන්නෙත් මහින්දට.... මහින්දත් මහත්තයෙක් වගේ හැසිරුණා..... ඡන්දෙ ඉල්ලලා අැණ ගත්තේ නැත්තං රටේ කොහොම තැනක් තිබුණ මිනිහෙක්ද????

    ReplyDelete
    Replies
    1. දැන් ඡන්දෙත් ඉවර නිසා මට දෙන්න තියෙන සරලම පිළිතුර ඔය එක්කෙනෙක්වත් වීරයෝවත්, ද්‍රෝහියෝවත් නෙමෙයි. අපි වගේම සාමාන්‍ය මිනිස්සු විතරයි. වීරයෝයි ද්‍රෝහියෝයි දෙගොල්ලොම ඉන්නේ අපි ඇතුලේ සහ මාධ්‍ය වල. හැම දෙනෙක්ම හැම වෙලාවෙම කටයුතු කරලා තියෙන්නේ ස්ව-අභිමතාර්ථ වෙනුවෙන්. සමහර වෙලාවට මෙයින් එක්කෙනෙක්ගේ පුද්ගල අභිලාශ අපේ පුද්ගල අභිලාශ එක්ක සම්පාත වෙනවා. එතකොට අපි වීරයෙක්ව මවා ගන්නවා. තව සමහර වෙලාවට ගැටෙනවා.

      පහුගිය මාස අට ශ්‍රී ලංකා දේශපාලනයේ ක්‍රමෝපායික ක්‍රීඩා (strategic games) විශාල ගණනක් ක්‍රීඩා කරපු කාලයක්. මමනම් මේවා හොඳට රස වින්දා. වෙලාවක් ලැබුණොත් මට පැහැදිලි කළ හැකියි එක් එක් අවස්ථාවල මේ හැම දෙනෙක්ම 'අපි වෙනුවෙන් අපි' ක්‍රීඩා කරපු හැටි. දැන් වෙන්නෙත් ඒකම තමයි. ඒ අයගේ පුද්ගල අභිලාශ සම්පාත වෙනකොට ඒ ගොල්ලෝ එක ටීම් එකක්. (මම කියන්නේ උනුත් එකයි මුනුත් එකයි වගේ දෙයක් නෙමෙයි. එවුනුත් එච්චරයි.)

      Delete
    2. //ඔය එක්කෙනෙක්වත් වීරයෝවත්, ද්‍රෝහියෝවත් නෙමෙයි. අපි වගේම සාමාන්‍ය මිනිස්සු විතරයි. වීරයෝයි ද්‍රෝහියෝයි දෙගොල්ලොම ඉන්නේ අපි ඇතුලේ සහ මාධ්‍ය වල. හැම දෙනෙක්ම හැම වෙලාවෙම කටයුතු කරලා තියෙන්නේ ස්ව-අභිමතාර්ථ වෙනුවෙන්. සමහර වෙලාවට මෙයින් එක්කෙනෙක්ගේ පුද්ගල අභිලාශ අපේ පුද්ගල අභිලාශ එක්ක සම්පාත වෙනවා. එතකොට අපි වීරයෙක්ව මවා ගන්නවා. තව සමහර වෙලාවට ගැටෙනවා//

      +++++++++++++++++++
      (මට හිතෙන දේට ඉතා ආසන්න දෙයක් මට කියන්න පුලුවන් තරමට වඩා ඉතා උසස් ලෙස ඔබ කියා ඇති නිසා අගය කරනවා පමණයි)

      Delete
  5. ඉතාම නිරවුල් සහ පැහැදිලි විශ්ලේෂණයක්. කෙටිකතාවකින් ලබාදුන්න ප්‍රවේශය අගෙයි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget