වෙබ් ලිපිනය:

Sunday, August 20, 2017

අද ලෝක මදුරු දිනයයි!


අද (අගෝස්තු 20) ලෝක මදුරු දිනයයි. බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙකු වූ ශ්‍රීමත් රොනල්ඩ් රොස් විසින් 1897 අගෝස්තු 20 දින ගැහැණු ඇනෝපිලස් මදුරුවන්ගේ සිරුරු තුළ මැලේරියා පරපෝෂිතයින් සිටින බව තහවුරු කර ගත්තේය. පසු දින, මේ පරපෝෂිතයින් ඇනෝපිලස් මදුරුවාගේ සිරුර තුළ වර්ධනය වන බව සොයාගත් රොස් එදින හවස පහත කවිය පබැඳුවේය.

"This day relenting God
Hath placed within my hand
A wondrous thing; and God
Be praised. At His command,
Seeking His secret deeds
With tears and toiling breath,
I find thy cunning seeds,
O million-murdering Death.
I know this little thing
A myriad men will save.
O Death, where is thy sting?
Thy victory, O Grave?"

දෙවි අනුහසින් අද 
දිලේ මා අත්ලෙහි 
මහඟු දෙය ඒ මා සෙවු 
සමිඳුනි ඔබට වේ තුති!

ඔබ අණ අනුයමින් 
ඔබේ මැවුමේ රහස් සොයමින් 
දහදිය කඳුළු හෙළමින් 
සොයාගත්තෙමි අදිසි බිජුවට 
සුවහසක් දන මරුට බිලි දෙන  

මන්තරය දනිමි දැන් 
කප්පරක් දිවි ගලවන
රුදුරු මාරය ජයම සොයනා 
කුමට දැන් තොප විෂ දළ?



පසුගිය සියවසේ මුල් අර්ධය තුළ මැලේරියාව ලංකාවට විශාල තර්ජනයක්ව පැවති වසංගත රෝගයකි. මේ සියවසේ ආරම්භය වන තුරුද ලංකාව මැලේරියාවෙන් තොර රටක් නොවීය. කෙසේ වුවද, රට ඇතුළෙන් අවසන් මැලේරියා රෝගියා වාර්තා වී ඇත්තේ 2012 ඔක්තෝබරයේදී වන අතර අවසන් මැලේරියා මරණය වාර්තා වී ඇත්තේ 2008 වසරේදීය. මේ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගිය වසර අවසානයේදී ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස නම් කළේය. ලංකාව මේ තත්ත්වයට ළඟා වූ දෙවන අග්නිදිග ආසියාතික රටයි.

කෙසේවුවද, මැලේරියාව තවමත් ලෝක සෞඛ්‍යයට තර්ජනයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛණ අනුව 2015 වසරේදී ලෝකය පුරා මැලේරියා රෝගීන් මිලියන 212ක්ද, මැලේරියා මරණ 429,000ක් ද වාර්තා වී තිබේ. ලංකාව මේ වන විටත් මැලේරියාවෙන් තොර රටක් වුවත් වෙනත් රටවල සංචාරය කිරීමේදී මැලේරියාව හදාගෙන නැවත රටට එන අය තවමත් වාර්තා වේ. 2015 වසරේදී මෙවැනි මැලේරියා ආසාදිතයින් 36 දෙනෙකු වාර්තා වී තිබුණු අතර එයින් වැඩි දෙනෙකු ආසාදනය වී තිබුණේ ඉන්දියාවේදීය.

මැලේරියාව හා අදාළව ලංකාව දැන් සිටින්නේ එය නැවත හිස ඔසොවන්නට ඉඩ නොදී වලක්වාගැනීමේ අදියරේය. ඒ අතර, මදුරුවන්ගෙන් බෝවන තවත් රෝගයක් වන ඩෙංගු රෝගය මේ වන විට ලංකාවට විශාල සෞඛ්‍ය තර්ජනයක්ව පවතී.

පෙර ලිපියේ සඳහන් කළ "Fight Against Dengue (ඩෙංගු පරදවමු)" වත්පොත් පිටුවෙන් ගත් ඉහත චිත්‍රය එහි සඳහන් පරිදි අට හැවිරිදි සනුලි එදිරිසිංහ දියණියගේය. ඩෙංගු වැළැක්වීම සඳහා කුඩා දැරියක වන සනුලිගේ දායකත්වය අගය කළ යුතුය. කෙසේවුවද, ඒ අතරම මතක් කළ යුතු තවත් දෙයක් තිබේ. ඒ, පෙනහළු ආශ්‍රිත ආබාධ නිසා සිදුවන මරණ ඩෙංගු වලටත් වඩා විශාල ප්‍රශ්නයක් බවයි. ඒ නිසා, අප විසින් සම්ප්‍රදායිකව කළ කුණු පිළිස්සීමද එතරම් හොඳ දෙයක් නොවේ. විශේෂයෙන්ම කාබනික කසල සමඟ අකාබනික කසලද පිළිස්සීම ඉතාම අහිතකරය.

9 comments:

  1. බරවා ගැනත් මේ ළඟදී කියෙව්වා!

    ReplyDelete
    Replies
    1. ආණ්ඩු වලට බරවා හැදීමත් භයානක හා බෝවන රෝගයක්! මහත් වූ ශරීරාංග නැවත යථා තත්ත්වයට පත් කර ගැනීම පහසු නැහැ.

      Delete
  2. මදුරුවා! කාලීන මාතෘකාවක්...ලෝකයේ වැඩිම මිනිස් මරණ වලට වගකිවයුතු සතා මදුරුවා නේද? ඩෙංගු ගැන නම් කතා කරලා වැඩක් නැහැ. තවමත් අපේ බහුතරයකට ඩෙංගු වල භයානකකම වැටහෙන්නේ තමන්ගේ කෙනෙක්ට උණ හැදුනොත් විතරයි.

    ලංකාවේනම් දැනට වැඩිම මරණ සිදුවෙන්නේ බෝ නොවන රෝග වලින් බවත් එය ප්‍රතිශතයක් ලෙස 65% පමණ වන බවත් අද උදේ දැනගන්න ලැබුණා.

    එක නෙමේ ලොක්කා අද eclipse එක බලනවයි?

    ReplyDelete
    Replies
    1. eclipse එක බැලුවා. හැබැයි හිතපු තරම් දෙයක් වුණේ නැහැ. පහළට යන්න තිබුණනම් හොඳයි. ඒත් එයට කිසිම ඉඩක් තිබුණේ නැහැ.

      Delete
  3. Replies
    1. තමන්ටම කියල දිනයක් ලැබෙනවනම් මදුරුවෙක් වෙන එක වුනත් නරක නැහැ!

      Delete
  4. මට මැලේරියාව දෙපාරක් හැදිලා තියනවා අනූ ගණන් වල...

    ReplyDelete
    Replies
    1. මැලේරියා මෙන්ම ඩෙංගු රෝගයත් වරක් හැදුණු අයෙකුට නැවත හැදෙන්න පුළුවන්.

      Delete
  5. How can I verify whether the mosquito buzzing near my nose is infected or not? Do I have to follow "Actori Incumbit Onus Probandi" before "Actio Damni Infecti"?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: