Saturday, March 19, 2016

කවදාක කොහොම කොයි ලෙසකද මා බිහි වූයේ?



මේ ලිපිය කලින් "මරණය දුකක් වන්නේ කාටද?" මාතෘකාව යටතේ පළකළ ලිපියට සම්බන්ධය. එමෙන්ම, ඒ ලිපියේ මුලින් ඇති වියාචනය මේ ලිපියටද අදාළය. පෙර ලිපියෙන් මා කතා කළේ මරණය දුකක්ය යන කරුණ විශ්වාසය හෝ තර්කනය මත මිස ප්‍රත්‍යක්ෂයෙන් තහවුරු කරගත නොහැකි බවයි. ඒ, අප කවුරුත් තවම මියගොස් නැති බැවිනි.

අප කිසිවෙකු තවම මියගොස් නැත්තේ වුවද ඉපදී සිටින්නෙමු. එසේනම්, අපට ඉපදීම දුකක්ය යන්න විශ්වාසය හෝ තර්කනය මත පිළි නොගෙන ප්‍රත්‍යක්ෂයෙන් තහවුරු කරගැනීමේ හැකියාවක් තිබේද?

බුද්ධ දේශනා අනුව, ඉපදීමේ දුක ලෙස දක්වා ඇති කරුණු බොහොමයක් ඇත්තටම ඉපදීමෙන් පසුව ජීවත්වීමේදී ඇතිවන දුක්ය. මේ අර්ථයෙන්, ඉපදීම දුකක් වන්නේ ඉපදීම නිසා වෙනත් දුක් ඇතිවන බැවිනි. ඒ හැරුණු විට, ඉපදීම හා කෙළින්ම අදාළ වන කරුණු කිහිපයක්ද විස්තර වේ.

ගර්භා වක්‍රාන්ති මූලික දුක්ඛ- මව් කුස තුළ අත් පා හකුළුවා ගෙන ගත කිරීමට සිදු වීම.
ගර්භ පරිහරණ මූලික දුක්ඛ - මවගේ කෑම බීම ගමන් බිමන් ආදී සෑම අවස්ථාවකදීම කුස තුළ සිටියදී පීඩා විඳීමට සිදු වීම.
ගර්භ විපත්ති මූලික දුක්ඛ- ඇතැම් විට බිහිවන අවස්ථාවේදී වෙදුන් විසින් සැත්කම් ආදිය කිරීම නිසා ඇති වන දුක
විජායන මූලික දුක්ඛ- පර්‍වතයකින් හෙළනු ලැබූවකු මෙන් හිස යටිකුරුව බිහිවන විට ඇති වන දුක.
වහීර් නිෂ්ක්‍රමණ මූලික දුක්ඛ- අළුත් තුවාලයකට ලුනු දමා කොස්සකින් උලන විට ඇති වන දුකට නොදෙවෙනි දුකක් උපත ලද මොහොතේ නාවා පිරිසිදු කරන විට ඇති වීම.


ඉපදීම හා සෘජුවම අදාළ වන මේ දෑ දුක්යැයි අපට ප්‍රත්‍යක්ෂ කළ හැකිද? අළුත් තුවාලයකට ලුනු දමා කොස්සකින් උලන විට ඇති වන දුක අපට ප්‍රත්‍යක්ෂයෙන් දැනගත හැකි එකකි. එහෙත්, ඒ දුක උපත ලද මොහොතේ නාවා පිරිසිදු කරන විට ඇති වන දුකට සමාන කරන්නට වන්නේ තර්කනයෙන් හෝ විශ්වාසයෙනි. අප කවරෙකුට හෝ මාස නවයක් නොව දවසක් වුවද අතපය හකුළුවා කුඩා අවකාශයක සිර වී සිටින්නට සිදුවුවහොත් විඳින්නට වන දුක අපට ප්‍රත්‍යක්ෂයෙන් දැනගත හැකි එකකි. එහෙත්, අපට එය දුකක් වන්නේ අතපය දිගහැර ගෙවන නිදහස් ජීවිතයකට අප පුරුදු වී සිටින නිසාය. එවැනි අවකාශයක සිටීමට හුරු වී සිටින කෙනෙකු ඒ ගැන ඒ අයුරින්ම සිතනු ඇත්ද? ගර්භාෂයෙන් එළියට පැමිණ නිදහසේ වසර ගණනක් දිවි ගෙවා ඇති වැඩිහිටියෝද බොහෝ විට තමන් වටකර අදෘශ්‍යමාන කාල්පනික ගර්භාෂ බිත්තියක් මවාගෙන ඒ තුළ සිරවී සිටීමට කැමැත්තක් දක්වනු අපට බොහෝවිට නිරීක්ෂණය කළ හැකි දෙයකි.

අවාසනාවකට මේ අවස්ථා කිසිවක් අපට මතක නැත. ගර්භ කාලය හෝ ඉපදෙන අවස්ථාව තබා තමන්ගේ ජීවිතයේ මුල් වසර දෙක තුළ සිදුවූ සිදුවීමක්වත් හරිහැටි මතක ඇති කිසිවෙකු මේ ලිපිය කියවන්නන් අතර ඇතැයි මම නොසිතමි. පර්යේෂණ අනුව පෙනී යන්නේ වැඩිහිටියෙකුට විස්තරාත්මකව මතක ඇති මුල්ම සිද්ධිය වයස 2-4 අතර කාලයේදී සිදුවූවක් බවයි. මගේ වයස වසර 2 1/2 දී පමණ අපේ පවුලට අළුතින් සාමාජිකයෙකු එක්වීම මට කිසිසේත්ම මතක නැතත් වයස වසර 3 1/2 දී අළුත් සාමාජිකයෙකු එකතු වනු මට හොඳින් මතක තිබේ. එමෙන්ම, මේ සිදුවීම් දෙක අතර කිසියම් අවස්ථාවක සිදුවූ ගෙවල් මාරු කිරීමක්ද මට මතක තිබේ. මට දැනට මතක ඇති පැරණිම සිදුවීම මේ ගෙවල් මාරුවයි.


එසේනම් ඊට පෙර සිටියේ මා නොවේද?

මා නමැති පුද්ගලයා මා විසින් අර්ථ දක්වා ගන්නේ මගේ වර්තමාන මතකයට සාපේක්ෂවය. මෙය කාටත් පොදුය. මේ මොහොතේ ඔබ ඉකොනොමැට්ටාගේ බ්ලොගය කියවයි. ඊයේ හෝ පෙර දිනකද ඔබ එය කියවූ බව ඔබට මතක තිබේ. ඒ අනුව, අද ජීවත්වන්නේ ඊයේ හෝ එදා ඉකොනොමැට්ටාගේ බ්ලොගය කියවූ ඔබමයැයි ඔබට සිතේ.

දශක හතරකට පමණ පෙර තුන්වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පරකන්දෙණිය ගමේ කොල්ලෙක් බිම වැටී තිබූ රුපියල් දෙකේ කොළයක් දැක හිමිහිට සාක්කුවට දමාගනී. පසුව එම මුදල ඔහුගේ බැංකු ගිණුමේ තැන්පත් කරයි. තවත් දවසක් හෝ කිහිපයක් සිය නැන්දා විසින් දෙන කෑම කන්නට එන බල්ලන්ට ගල් වලින් ගසා උන් වේදනාවෙන් කෑගසමින් දුවනු දැක සතුටුවේ. මේ සිදුවීම් මතකයේ ඇති ඕස්ට්‍රේලියාවේ ජීවත් වන මැදිවිය ඉක්මවූ වැඩිහිටි පුද්ගලයෙකු දශක හතරකට පෙර මේ දේවල් කළ කොල්ලා තමායැයි සිතා අනුන්ගේ මුදලක් වැරදි ලෙස ගැනීම ගැනත්, අසරණ සතෙකුට හිරිහැර කිරීම ගැනත් වරදකාරී හැඟීමක් ඇති කරගනිමින් පසු තැවේ. මේ දෙදෙනා එක් අයෙකු වන්නේ වැඩිහිටියාගේ අඛණ්ඩ මතකය තුළය. එසේනම්, මම මා වන්නේ මගේ මතකය තුළද? මා විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය යනු දුටු බව බොහෝ දෙනෙකුට මතක ඇතත් මට ඒ බව අමතකනම් ඇත්තටම මා එවැන්නක් කළෙම්ද? 


බොහෝ වැඩිහිටියන්ට තමාගේ වයස 2-4 පමණ කාලයට පෙර සිදුවීම් මතක නැතත් එය එසේ වන්නේ වයස 4-5දී හෝ ආසන්න කාලයකදී කුඩා කාලයේ මතක ක්ෂය වී යන බැවිනි (Childhood amnesia). කුඩා දරුවෙකුට වයස අවුරුදු 1-2 අතර කාලය පිලිබඳ යම් මතකයක් තිබේ. එහෙත්, ඊට පෙර කාලය පිලිබඳ එවැනි පැහැදිලි මතකයක් ඇති බවක් තහවුරු වී නැත. එසේනම් ඊට පෙර සිටියේ මමමද?

මමයැයි මා සිතන ජීවත්වන, මියයාමට නියමිත පුද්ගලයෙකු සිටීනම් ඔහු (හෝ ඇය) ඉපදුනු අවස්ථාවක්ද තිබිය යුතුය. මගේ මතකයේ ඇති මුල්ම සිදුවීම සිදුවන විට මම ඉපදී සිටියෙමි. එමෙන්ම, මගේ පියාගේ ශුක්‍රාණුවක් හා මවගේ ඩිම්බයක් එකට එකතුව යුක්තානුවක් ඇති වන තුරු මා ඉපදී සිටීමේ ඉඩකඩක් නැත. මා යනු මගේ සිරුර නොවුවද මගේ සිරුර නැත්නම් මා යනුවෙන් පුද්ගලයෙකු සිටීමේ ඉඩක් නැත. එසේනම්, පිළිසිඳගැනීම සිදුවූ තැන් සිට මගේ මතකයේ ඇති මුල්ම සිදුවීම සිදුවන අවස්ථාව අතරතුර යම් මොහොතක මගේ උපත සිදුව තිබිය යුතුය.

මේ මොහොත මා මවුකුසින් එළියට පැමිණි මොහොතද?

ඇත්තටම ඒ අවස්ථාවේ වෙන්නේ ජීව විද්‍යාත්මක වෙනස්කම් කිහිපයක් පමණි. මගේ මව හා පැවති ජීව විද්‍යාත්මක සම්බන්ධතාවය බිඳ දමා ඇතැම් ජීව විද්‍යාත්මක කරුණු අතින් ස්වාධීන සිරුරකට හිමිකම් කීමට හැකිවීම මගේ උපතනම්, ඉපදීම යනු ජීව විද්‍යාත්මක හා භෞතික කරුණක් පමණි. එසේනම්, මා යනු මගේ සිරුර විය යුතුය. එය එසේ විය නොහැකි බව පෙර ලිපියක අපි කතා කළෙමු.

උපන් අළුත කුඩා දරුවෝ මෙන්ම ගර්භාෂයේ සිටින දරුවෝද බාහිර සංවේදනාවන්ට ප්‍රතිචාර දක්වති. ඒ නිසා, මතකයේ ආරම්භක සීමාවට පෙර මා නම් වූ පුද්ගලයෙකු නොපැවති බව කිවනොහැක. එමෙන්ම මොළයක් හා/හෝ ස්නායු පද්ධතියක් වර්ධනය වන තුරු මම නම් වූ පුද්ගලයෙකු සිටිය නොහැකිය. බාහිර සංවේදනාවන්ට ප්‍රතිචාර දැක්වීමට මොළය පුහුණු වෙද්දී යම් කිසි අවස්ථාවක මමනම් වූ මැරෙන තුරු ජීවත්වන පුද්ගලයා උපදී.

එය සිදුවන නිශ්චිත මොහොතක් තිබේද?


(Image: www.themotherish.com)

18 comments:

  1. ඉකොනොමැට්ටාට ස්තූතියි අලුත් අලුත් මාන ඔස්සේ හිතන්න පොළඹවනවට....

    මම = මතකය කියලානම් පිළිගන්න අමාරුයි... මොකද අපිට මතක තිබුනත් නැතත් අපි කළ දේවල් වල ප්‍රතිපල අපේ පස්සේම හඹා එන නිසා මම යනු ඊට එහා ගිය සංකල්පයක් වෙන්න ඕනා කියලා හිතෙනවා...මට හිතෙන්නේ ඒක ඉකොනොමැට්ටාගේ ඉකොන් වලටත් අහු වෙන්නැති අකවුන්ට් එකක් වගේ එකක් කියලා..බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මමත්වය නැති කරලා අකවුන්ට් එක වහලා දාන පිළිවෙල නේද ?

    ReplyDelete
    Replies
    1. මෙන්න මේකට තමයි ආත්මවාදය කියන්නේ.....මෑරුනයින් පස්සෙත් මොකක් හරි දෙයක් වෙනවයි කියලා හිතන් එකට

      Delete
    2. මමත්වය නැති කරන්න කලින් මමත්වය කියන්නේ මොකක්ද කියන එක දැනගන්න ඕනෑ නේද?

      Delete
    3. දැනට මගේ දැණුමෙන් උත්තර දෙන්න අමාරු ප්‍රශ්ණයක් ඉකොන්.

      Delete
  2. මේ ප්‍රශ්නෙ කෙලින්ම අදාලයිද නම් දන්නෙ නෑ.. ඒත් අහන්නම්..
    ඇතැම් රටවල් බිලිඳෙකු උපන් අවස්ථාවේදී වයස 0 ලෙස සලකා වයස ගණනය කරන අතර ඇතැම් රටවල් ගර්භනී කාලයද වයසට එක් කරන බවක් අසා තිබේ.. එනම් 'පුද්ගලයා' අර්ථදැක්වීමේදී කලලයද පුද්ගලයා ම වේ ද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මම අහලා තියන විධිහට බෞද්ධ ස්වාමීන්වහන්සේලගේ වයස ගනින්නේ මාස නවයක් එකතු කරලා. වැඩි විස්තර දන්න කෙනෙක් එකතු කරොත් හොඳයි...

      Delete
    2. "දෙවි සමිඳාණන් වහන්සේ පොළොවේ දුවිල්ලෙන් මනුෂ්‍යයා මවා ඔහුගේ නාස් පුඩු තුළට ජීවන හුස්ම හෙළූ සේක. මෙසේ මනුෂ්‍යයා ජීවමාන කෙනෙක් විය." උත්පත්ති 2(7)

      පැරණි ගිවිසුම අනුව පළමු මිනිසා මිනිසෙකු බවට පත්වන්නේ හුස්ම ගැනීම ඇරඹුණු විටය. පැරණි ගිවිසුමේ ඇති මේ අදහස මිනිස් ජීවිතයක ඇරඹුම ගැන බොහෝ දෙනෙකු හිතන ආකාරයට පාදක වී තිබේ. ඒ අනුව, මිනිසෙකු මිනිසෙකු වන්නේ මවු කුසෙන් උපත ලබා පළමුව හුස්ම ගන්නා මොහොතේය. හුස්ම ගැනීම නැවතීම යනු මරණයයි. වෛද්‍ය විද්‍යාවේ අර්ථ දැක්වීම්ද මෙයට සමාන වූ කාලයක් තිබුණේය. කෙසේවුවද, පැරණි ගිවිසුමට පෙරද බොහෝ සංස්කෘතීන් වල උපත හා මරණය හුස්ම ගැනීම හා සම්බන්ධ කරමින් සිතන්නට ඇති බව විශ්වාස කළ හැකිය. "මගෙ හුස්ම ඩිංග වැටෙනකං" "මාගේ හුස්ම ටික යනකං" වැනි දේ සිංහල ගැමියන් කියන්නේ පැරණි ගිවිසුමේ බලපෑම නිසා නොවේ. ඉන්දියානු උප මහාද්වීපයේ පැවති ප්‍රමුඛ මතයද මීට වඩා බොහෝ වෙනස් නොවීය. සාමාන්‍යයෙන් කේන්ද්‍ර සෑදීමේදී ගණන් ගත්තේ මේ පළමුව හුස්ම වැටුණු වෙලාවයි. එහෙත්, ළදරු මරණ අනුපාතය ඉතා විශාල අගයක් ගෙන තිබුණු තත්ත්වයක් තුළ බොහෝ විට මුලින්ම හැදුවේ තාවකාලික "වේලාපත්කඩයකි". (මේ වේලාපත්කඩය මඟින් කළේ උප්පැන්න සහතිකයක කාර්ය භාරයයි.) ඇතැම් විට සම්පූර්ණ ජීවියෙකු ලෙස ගණන් ගත්තේ මාස කිහිපයකට පසු ස්ථිර හඳහනක් හදන අවස්ථාවේ විය හැකිය. දැනටත් ළදරු මරණ අනුපාතිකය ඉතා වැඩි ඇතැම් අප්‍රිකානු සමාජ වල පළමු අවුරුද්ද ගණන් ගන්නේ නැත. ඒ අවුරුද්ද සලකන්නේ දෙවුලොවින් පැමිණි තාවකාලික අමුත්තෙකු ලෙසිනි. මෙලොව ගැන සතුටු නැත්නම් ආපසු යනු ඇත. මෙයින් වෙනස්ව බොහෝ අග්නිදිග ආසියාතික රටවල උපතට පෙර කාලයද ගණන් ගෙන ඇත. බෞද්ධ භික්ෂූන් සම්බන්ධව හෝ වෙනත් සමාජ වල ඔබ කියන ආකාරයේ භාවිතාවන් ගැන මම වැඩි දෙයක් නොදනිමි. එවැනි භාවිතාවක් ඇත්නම් ඒ ගැන වැඩි විස්තර දැන ගැනීමට කැමැත්තෙමි.

      Delete
  3. අයියෝ මෙන්න මේ කතාව අහලා නැද්ද?

    Life begins at fifty!

    ReplyDelete
    Replies
    1. විශ්ව විද්‍යාලට ගිය අළුත වයස කීයද කියා ඇසුවාම කිව යුත්තේ ගර්භාෂයේ සිටි කාලයත් සමගයි. හැබැයි ඒ අගය සංඛීර්ණ සංඛ්‍යාවක් (a+bi) ලෙසයි කිව යුතු වුනේ. එහි i කොටස තමයි ගර්භාෂයේ ගත කළ කාලය.

      නමුත් 19 + 9i කීවොත් වැරදියි, නිවැරදිව කිව යුත්තේ 19 + 0.75i කියායි!

      Delete
    2. ඔය 19 + 0.75i ෆෝර්මැටය අපේ කාලයේද භාවිතා කළෙමු. පොඩි වෙනසකට තිබුණේ අප ඔය දෙයම කරන විට අඩුම වශයෙන් 21 + 0.75i වී තිබීමයි.

      Delete
  4. මගේ දැනට ඇති පැරණිම මතකය වයස අවුරුදු තුනේ දී පමණ තාත්තා ගනං කරන්නට ඉගැන්වූ ආකාරයයි. එහිදී සිනි බෝල මෙන්ම ගුටි කෑමටද සිදුවිය.

    ReplyDelete
    Replies
    1. මෙය සාමාන්‍ය කාලයයි. කෙනෙකුට මෙයට වඩා බොහෝ අඩු වයසක සිදුවීම් මතක ඇත්නම් ඒ පුද්ගලයා අසාමාන්ය පුද්ගලයෙකු හෝ මහා බොරු කාරයෙකි.

      Delete
  5. කිසිදු මතකයක් නොමැති වුවත්, පසුගිය භව වල කර්ම විපාකයන් අප හඹා එන්නේ, ඒ භව වල සිටියේත් අපම නිසා විය යුතු නේද? නැතහොත්, ඒ අන් කිසිවෙක් නම්, අනිකුත් පුද්ගලයෙකුගේ කර්ම විපාකයන් අප විඳිය යුත්තේ මන්ද?

    ReplyDelete
    Replies
    1. මම දැනට ආගම් ගැන ගොඩක් දුරට යන්න බලාපොරොත්තුවක් නැහැ, ඇනෝ. ඒත්, බුද්ධ ධර්මය අනුව ඇති අදහසනම් උපතට පෙර සිටි පුද්ගලයා මමද නොවේ වෙනත් අයෙකුද නොවේ යන අදහස නේද? ඔබ ලියා ඇති ආකාරයට මතුවන අදහස වඩා කිට්ටු වන්නේ සිද්ධාර්ථ ගෞතමයන් විසින් ප්‍රතික්ෂේප කළ ආත්මවාදයටයි. කෙසේවුවද, අදටත් ලෝකයේ සිටින ද්‍රව්‍යවාදීන් නොවන බොහෝ දෙනෙක් ආත්මවාදීන් තමයි. ප්‍රායෝගිකව බෞද්ධයින්ද වැඩි පිරිසක් ආත්මවාදීන්.

      Delete
  6. ටිකක් බර වැඩි ආයමත් පාරක් කියවලා එන්නම්

    ReplyDelete
  7. බුදුහාමුදුරුවෝ ඉපදීම දුකක් කියලා තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ජාතිපි දුක්ඛා කියල සෘජුවම සච්ච විභංගයේ තියෙනව නේද?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget