Wednesday, March 2, 2016

මරණය දුකකි!


පසුගිය දෙසතිය තුළ ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ මරණ ගැන අසන්නට ලැබුණේය. ජනප්‍රිය ගායකයෙකු වූ ඇන්ටන් ජෝන්ස් වසර 79ක් ආයු වළඳා පසුගිය පෙබරවාරි මස 21 වන දින මිය ගියේය. දියවැඩියාව ආශ්‍රිත රෝග තත්ත්වයකින් පීඩා විඳිමින් සිට මිය ගිය ඔහු ගැන සඳුන් සෙවණේ චන්දන හා මාතලන් විසින් සටහන් තබා තිබුණේය. ලංකාවේ සිදුවන මරණ වලින් 8%කට පමණ හේතු වන්නේ දියවැඩියාවයි.

පෙබරවාරි 27 වන දින තවත් මරණ දෙකක් ගැන අසන්නට ලැබුණේය.  පේරාදෙණිය සරසවියේ දේශපාලන විද්‍යා අංශාධිපති සහ මහාචාර්යවරයෙකු ලෙසද, කැබිනට් ඇමතිවරයෙකු ලෙසද කලක් සේවය කළ ආචාර්ය විශ්වා වර්ණපාලගේ මරණය එයින් පළමුවැන්නයි. ඔහුද වසර 79ක් ආයු වළඳා මිය ගොස් තිබේ. මරණයට හේතුව මා දන්නේ නැත. එංගලන්තයේ ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිධාරියෙක් වන විශ්වා වර්ණපාල ගැන රසික විසින් සටහනක් තබා තිබුණේය. [නොදන්නා කෙනෙක් ඉන්නවානම් මහාචාර්ය (Professor) යනු තනතුරු නාමයකි. ආචාර්ය (Doctor) යනු අධ්‍යාපන සුදුසුකමකි. සරසවියක සේවය කරන ආචාර්ය උපාධිධාරියෙකු හෝ ඇතැම් විට ඊට වඩා අඩු අධ්‍යාපන සුදුසුකමක් ඇත්තෙකු මහාචාර්යවරයෙකු විය හැකිය.]

පෙබරවාරි 27 වන දිනම සිදුවූ අනෙක් මරණය ආචාර්ය අජන්තා රණසිංහගේ මරණයයි. වසර 76ක් ආයු වළඳා ඔහු මියයන්නේ නිවසේ සිදුවූ වැටීමක් හේතුවෙනි. මෙවැනි වැටීම් නිසාද ලංකාවේ සිදුවන මරණ වලින් 1.5%ක් පමණ සිදුවේ. බොහෝ කලාකරුවන් මියයාමට පෙර ජීවත්ව සිටියදී ඔවුන් ගැන කතාකරන චන්දන විසින් අජන්තා රණසිංහ ගැන මරණයට පෙර හා පසු සටහන් දෙකක්ම තබා තිබුණේය. රවී විසින් ඔහුගේ නිදහස් සිතිවිලි වියුණුවේ තවත් සටහනක් තබා තිබුණේය. කලාකරුවෙකු ලෙස අජන්තා රණසිංහගේ ප්‍රතිභාව ගැන මා හොඳින් දන්නා නමුත් ඔහුගේ ආචාර්ය උපාධිය ගැනනම් වැඩි විස්තරයක් දන්නේ නැත.

මොවුන් තිදෙනාම ඉපදුනු 1930 දශකයේදී ලංකාවේ පිරිමියෙකුගේ අපේක්ෂිත ආයුකාලය පිලිබඳ නිවැරදි සංඛ්‍යාලේඛණ නැතත් පසුකාලීන ප්‍රවණතා අනුව එය පනස් ගණනකට නොවැඩි විය යුතු බව ඇස්තමේන්තු කිරීමට පුළුවන. දැනටද එය වසර 71.6කි. මේ පදනම මත, මේ තිදෙනාම ඔවුන්ගේ වයස් කාණ්ඩයේ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩි කලක් ජීවත් වී තිබේ.

ඊයේ මට තවත් දුක්බර පුවතක් අසන්නට ලැබුණේය. ඒ, ඉහත පුද්ගලයින් මෙන් ජනප්‍රිය චරිතයක් නොවූවත්, සරසවියේ මට වඩා ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ සිටි මිතුරෙකුගේ අකල් මරණයයි. මා මෙය අකල් මරණයක්යැයි කියන්නේ හැටේ දශකයේ උපන් ලාංකිකයෙකු මේ වන විට තමන් උපදින විට තිබූ අපේක්ෂිත ආයුකාලය කරා ලඟා වී නොමැති බැවිනි. ඔහු මියගොස් ඇත්තේ පිළිකාවකිනි. ලංකාවේ සිදුවන මරණ වලින් 10.65%ක් පමණ ප්‍රමාණයකට හේතු වන්නේ පිළිකාවකි. මෙය දෙවැනි වන්නේ හෘදයාබාධ නිසා ඇතිවන මරණ (25.74%) වලට පමණි. මෙයට මුඛ පිළිකා (1.51%), පෙනහළු පිළිකා (1.11%), පියයුරු පිළිකා (1.07%), ගලනාල පිළිකා (1.03%), ආමාශ පිළිකා (1.0%), අක්මා පිළිකා (0.61%), ගැබ්ගෙල පිළිකා (0.55%), ගුද මාර්ගයේ පිළිකා (0.45%), ගර්භාෂ පිළිකා (0.38%), මුත්රාශ පිළිකා (0.17%) ආදී ශරීරයේ විවිධ ස්ථාන වල ඇතිවන පිළිකා ඇතුළත්ය.

තමන් දැන සිටින කෙනෙකු මියගිය විට අපට යම් කම්පනයක් ඇතිවේ. මරණය අකල් මරණයක් වූ විට මෙන්ම තමන්ට පාලනය කළ නොහැකි හේතුවකින් සිදුවූවක් වූ විට මේ කම්පනය වඩා වැඩිය. එසේ මරණයට පත්වූ පුද්ගලයා තමන්ගේ වයස් කාණ්ඩයට සමීප පුද්ගලයෙකු වූ විට, ඇතැම් විට 'අත්තානං උපමං කත්වා' පදනමින්, මේ කම්පනය වඩාත් වැඩියෙන් දැනේ. මෙයට හේතුව අපට ජීවත් වීමට ඇති ආශාව විය යුතුය.


මරණය දුකකි. එහෙත්, මරණය දුකක් වන්නේ කාටද?

(Image: www.pinterest.com)

30 comments:

  1. මරණයේ දුක ජීවත් වන්නාට කියල බැනර් ගහනව නේද? ඉකොන් ඉපදිල තියෙන්නෙත් මම ඉපදිච්ච දශකයෙ වගේ.

    ReplyDelete
    Replies
    1. එහෙමනම් අපි දෙන්නටම තවම ඉන්නේ 50% චාන්ස් එකකට අඩු තැනක.

      Delete
  2. ඒ දුක නැති කර ගන්න උත්සාහ කරන්න.. එතකොට ජීවීතය පට්ට සැහැල්ලුයි....

    සමහර වෙලාවට මගේ යාළුවන්ගේ දෝෂදර්ශනයට ලක් උනත් ජීවිතය කියන්නේ ඒකයි...

    ReplyDelete
    Replies
    1. ඒක හරි තමා ඕනවට වඩා ඇගට නොගන්නවානං ජීවිතේ එච්චර දුකක් නැ

      Delete
    2. /* ඒ දුක නැති කර ගන්න උත්සාහ කරන්න*/

      දුක
      දුක ඇති වීමට හේතුව
      දුක නැති කිරීම
      දුක නැති කිරීමේ මාර්ගය

      Delete
    3. චියර්ස් ! සැලූටේ ! etc.

      Delete
  3. “ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණංපි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්චං න ලහති තම්පිදුක්ඛං සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.”

    ධම්මපදය

    “ඉපදීම දුක ය, ජරාව දුක ය, ව්‍යාධිය ද දුක ය, මරණය ද දුකය, අප්‍රියයන් හා එක් වීම ද දුක ය, පි‍්‍රයයන්ගෙන් වෙන් වීම ද දුක ය, කැමැති දේ නොලැබීම ද දුක ය. කෙටියෙන් ප්‍රකාශ කරතොත් පඤ්ච උපාදානස්කන්ධය ම දුක ය.”

    ReplyDelete
  4. මරණය දුකක් වෙන්නේ නෑ, ශාල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්ට හෙට මලත් කමක් නෑ කියල අවන්කවම කියන්න පුළුවන්. මරණය දුකක් වෙන්නේ එයාගේ වටේ ඉන්න අයට . සමහර යට සතුටු වෙන්නත් පුලවන් .

    දැන් ජනවාරි 8 වෙනිදා හිටපු අප්පච්චි මැරුණම කට්ටියක් සතුටු වුනා , තව කට්ටියක් දුක් වුනා , ඒ අප්පච්චි නිසා හොඳට කාපු බීපු අය දුක් වුනා , ඒ අප්පච්චි වැඩිය ගණන් ගත්තේ නැති , වැටෙන දෙයක් කාලා හිටපු අය සතුටු වුනා .

    ReplyDelete
  5. /* මහාචාර්ය (Professor) යනු තනතුරු නාමයකි. ආචාර්ය (Doctor) යනු අධ්‍යාපන සුදුසුකමකි. සරසවියක සේවය කරන ආචාර්ය උපාධිධාරියෙකු හෝ ඇතැම් විට ඊට වඩා අඩු අධ්‍යාපන සුදුසුකමක් ඇත්තෙකු මහාචාර්යවරයෙකු විය හැකිය. */

    විශ්ව විද්‍යාලවල ඇතැම් මහාචාර්යවරුන්ට විශ්‍රාම යාමත් සමගම ගෞරව මහාචාර්යකම්, "professor emeritus" (male) or "professor emerita" (female), ප්‍රදානය කෙරේ. මෙය නලීන් ද සිල්වාට නොලැබුණි. එනිසා ඔහු දැන් ආචාර්ය නලීන් ද සිල්වා වේ. නමුත් වර්ණපාලට එය ලැබෙන්නට ඇත.

    ඉංගිලිසි emeritus යන්න සමහරු සේවාර්ජිත (සම්මානිත) ලෙස ද ලියතියි සිතමි.

    ReplyDelete
    Replies
    1. මේ යෙදුමේ භාවිතය රටින් රටට සරසවියෙන් සරසවියට වෙනස් වන දෙයකි. ඇමරිකානු සරසවි වල බොහෝ විට මෙයින් අදහස් වන්නේ වැටුප් නොගෙන පර්යේෂණ වලට සහ ඇතැම් විට ඉගැන්වීමට හවුල් වීමට හැකි බවයි. ඒ සඳහා අවශ්‍ය වන පුස්තකාල/ විද්‍යාගාර පරිහරණය කිරීම වැනි පහසුකම්ද, ඇතැම් විට වෙනත් භෞතික පහසුකම්ද (මේසයක් පුටුවක් හෝ ප්‍රමාණවත් ඉඩකඩ ඇත්නම් කාමරයක්) ලැබේ. මෙහිදී මහාචාර්ය වන්නේ වැටුප් නොගත්තද ඒ තනතුරට අදාළ කාර්යය කරන නිසාය. පෙර කී ලෙසම මෙය හැම තැනකම මේ ලෙසම භාවිතා වන්නක් නොවේ. ලංකාවේදී මෙය සාමාන්‍යයෙන් සැලකෙන්නේ නම්බු නාමයක් ලෙසින් බව පෙනේ.

      Delete
    2. ආචාර්ය උපාධිය සම්පූර්ණ නොකර තනතුර නිසා මහාචාර්ය ලෙස හඳුන්වන්නන් කිහිපදෙනෙක්ම සිටී

      Delete
  6. /* මරණය දුකකි. එහෙත්, මරණය දුකක් වන්නේ කාටද? */

    මරණය ගැන මා ලියු එක් සටහනකින් කොටසක් උපුටා දක්වන්නම්-
    -------------------------------

    "තනිවයි උපන්නේ, තනිවයි මැරෙන්නේ"
    මොහිදීන් බෙග් එසේ ගැයුවේ ය.
    කුමක්ද මරණය?
    අස්ථිර සුසුමක් නැවත නොගන්නට සුළඟට දන් දීමයි
    නන්දා මාලනී ගැයුවේ එසේ ය.

    මරණය අනිවාර්ය දෙයකි. වයසට ගොස් සාමාන්‍යයෙන් ස්වභාවික මරණයකැයි හැඳින්වෙන ආකාරයට එය සිදුවුණහොත් කිසි අවුලක් නැත. අප දැක ඇති පරිදි වයසක අයගේ මළගම්වල අඬන අය වුවද ඉතා හිඟය.

    නමුත් අකල් මරණ එසේ නොවේ. ළබැඳියන්ට දුක වැඩිය. ජීවත්වෙන අයට පොදුවේ ගෙන දෙන්නේ අසහනයකි. මා දකින විදියට එයට හේතුව නම්, අපේ ජීවිත ද මෙලෙස අකාලයේ නැති වෙන්නට ඉඩ ඇති බව අපට ඉබේ ම මෙනෙහි වීම විය යුතුයි.

    තව එක් දිනක් ජීවත්වීමට අප ආයෝජනය කළ යුතු ශක්තියට වඩා, ඒ දින ගත කිරීමෙන් අපට ලැබෙන ප්‍රයෝජනයේ වටිනාකම අඩු වූ විට, ඒ ජීවත්වීමෙන් අපට පලක් නැති වේ.

    මෙය අප කා හටත් වටහා ගත හැකි සත්‍යයක් යැයි සිතමි.
    එදින අප යා යුතු ය.
    තනිවම යා යුතු ය.
    අස්ථිර සුසුමක් නැවත නොගන්නට සුළඟට දන් දිය යුතු ය.

    :-(


    ReplyDelete
    Replies
    1. ඕයි තමුසෙගෙ පම්පෝරි තමුසෙගෙ ගූ සයිට් එකේ දාගන්නවා. එතන තියන කක්කා පඩ චූ මෙහෙ ගෙනත් මේ සයිට්වලත් රෙන්න එපා.

      Delete
    2. //අප දැක ඇති පරිදි වයසක අයගේ මළගම්වල අඬන අය වුවද ඉතා හිඟය.// අප පරිණාමය වී ඇති ආකාරය අනුව වැඩි සම්භාවිතාවක් ඇති දේවල් අවබෝධ කර ගන්නා තරම් පහසුවෙන් අඩු සම්භාවිතාවක් ඇති දේවල් අපේ මොළයට තේරුම් ගත නොහැකිය.

      //තව එක් දිනක් ජීවත්වීමට අප ආයෝජනය කළ යුතු ශක්තියට වඩා, ඒ දින ගත කිරීමෙන් අපට ලැබෙන ප්‍රයෝජනයේ වටිනාකම අඩු වූ විට, ඒ ජීවත්වීමෙන් අපට පලක් නැති වේ.//
      ආන්තික උපයෝගීතාවය සහ ආන්තික පිරිවැය

      Delete
  7. ජීවත් වීම සහ මරණය ගැන පොඩි පහේ කවියක් ලියන්න හිතුවා විතරයි.... මේ සටහන තවත් උදව්වක් වේවි..... බලමු හෙට අනිද්දා පෝස්ට් කරලා දාන්නම්....

    ReplyDelete
    Replies
    1. කවිය දැම්මහම බලන්න එන්නම්!

      Delete
  8. මරණය එක්තරා සැනසීමක් මරණකරුට,ඔහු එයට සූදානම් නම්. හිතවතුන්ට නම් දුකට කාරණයක්.මේ දුක සතුටින් භාරගන්න දුර්ලභ අවස්ථාවක් 'ඉයුතුනේශියා' (සිංහලෙන් වචනෙ හරිද මන්දා.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල මරණය ගැන හිතන්න වදවෙන්න එපා!

      Delete
  9. වැදගත් ලිපියක්.

    ReplyDelete
    Replies
    1. මරණයට හා පිළිකා වලට අදාළ තව කරුණු ටිකක් ඉදිරියේ ලියන්න තියෙනවා.

      Delete
  10. මරණය දුකක් වන්නේ ජීවත්ව සිටිනවුන්ටයි

    ReplyDelete
  11. මරණය දුකක් වෙන්නේ ඉන්න අයට විතරක්ම නෙමේ. දාලා යන්ට බැරි දේවල් තියෙන කෙනෙකුටත් මරණය දුකක්.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි! මෙය තමයි මම ලියා අවසන් කර නැති ඉදිරි ලිපියකත් සඳහන් කර ඇති දෙය.

      Delete
  12. ගිය සතියේදී පිළිකා රෝගයෙන් මියගිය මගේ සුමිතුරු සමන් රංජිත් ගැනත් බ්ලොග් ලිපියක් ලියන්න පටන් ගත්තා . ඔහු ගැන බොහෝ මතකයන් ඇවිලී ලිවිල්ල පමා කරනවා . සරසවි කළා කටයුතුවලදී ඔහු පෙරමුණේ සිටියා. කසකස්ථානයෙදීත් , කටාර් වලදීත් මා සමග එකට රස්සාව කලා . ඔහු මට හමු වූ සොඳුරුතම මිනිසෙක්.

    ReplyDelete
  13. මරණය දුකකි. ඒ, මරණය එනතුරා ජීවත්වන අපටය.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget