Tuesday, March 8, 2016

ශාරුක්ගේ ඇමරිකා සංචාර


2012 අප්‍රේල් 12 දින ඇමරිකාවේ යේල් විශ්ව විද්‍යාලයේ වාර්ෂිකව පැවැත්වෙන සුවිශේෂී දේශනයකට සවන් දීමට එක් දහස් හත්සියයක පමණ පිරිසක් පැමිණ සිටියහ. දේශකයාට යේල් සරසවිය මඟින් වටිනා සම්මානයකින් පිදීමද මේ දේශනයට සමාන්තරව සිදුවිය. නිවේදිකාවගේ හඳුන්වාදීමෙන් පසු දේශනය ඇරඹිණි. අත්පොලසන් හඬ සිසාරා පැතිරේ.

"ස්තුතියි! ස්තුතියි!! අවසානයේදී කෙසේ හෝ මා පැමිණියා. දීර්ඝ ගුවන් ගමනක්...ගුවන් තොටුපලේ මාව රඳවා ගත්තේ පැය එකහමාරක් පමණයි."

තමන් පැය කිහිපයකට පෙර මුහුණදුන් අපහසුතාවය විහිළුවකට ගනිමින් මෙසේ දේශනය අරඹන්නේ සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ය.

"සමහර වෙලාවට මම ටිකක් අහංකාර වැඩියි වගේ මට හිතුනහම මම කරන්නේ ඇමරිකාවට එන එක. ඇමරිකාවට ගොඩ බැහැපු ගමන් ආගමන විගමන නිලධාරීන් මගෙ රැස් බස්සවල මම තරුවක් නෙමෙයි සාමාන්‍ය මිනිහෙක් කියන එක මට මතක් කරල දෙනව."

ඔහු මේ කියන්නේ නිවු යෝර්ක්හි වෙස්ට්චෙස්ටර් ගුවන් තොටුපලට පෞද්ගලික ගුවන් යානයකින් ඉන්දියාවේ සිට පැමිණ ගොඩ බෑ පසු සිදුවූ අකරතැබ්බය ගැනය. අම්බානි පවුලට අයත් මේ පෞද්ගලික ගුවන් යානයේ පැමිණි මුකේෂ් අම්බානිගේ බිරිඳ නීතා අම්බානි ඇතුළු අනෙක් මගීන්ට පහසුවෙන් ගුවන් තොටුපළෙන් පිටවීමට ලැබුණත් ශාරුක් ඛාන්ට ඒ අවසරය ලැබුණේ නැත. ගුවන් තොටුපොළ බලධාරීන් විසින් රඳවා ගැනුණු ඔහුට රටට ඇතුළු වීමට ලැබුණේ විනාඩි 75ක ප්‍රශ්න කිරීම් වලට මුහුණ දීමෙන් අනතුරුවය. මේ හේතුවෙන් කලින් වේලා නියම කර තිබුණු පුවත්පත් සාකච්ඡාවකට මෙන්ම ඉහත දේශනයටද නියමිත වේලාවට සහභාගී වීමට ශාරුක්ට නොහැකි විය. මේ ශාරුක් මෙවැනි අකරතැබ්බයකට මුහුණ දුන් මුල් අවස්ථාව නොවේ. 2009 අගෝස්තු 14 දින නෙවාර්ක්හි ලිබර්ටි ජාත්‍යන්තර ගුවන් තොටුපලේදීද ඔහුව මේ අයුරින්ම රඳවාගෙන විනාඩි 66ක් තිස්සේ ප්‍රශ්න කරනු ලැබ තිබුණේය.

ඉන්දියාවට ශාරුක් ඛාන් කියන්නේ තවත් සාමාන්‍ය පුද්ගලයෙකු නොවේ. ටජ්මහල වැනි ඉන්දියානු සංකේතයකි. ශාරුක් ඛාන්ව ඇමරිකාවේදී මෙසේ පාච්චල් වීම ඉන්දියානුවන්ගේ බොක්කටම වදින කේස් එකක් බව කියන්නත් දෙයක් නැත. ඔවුන් සිතා ඉන්නේ ශාරුක් ඛාන්ව නොහඳුනන අය ලෝකයේ කොහේවත් සිටිය නොහැකි බවයි. හරිනම් මේ ආගමන විගමන නිලධාරීන් කළ යුත්තේ තමන්ගේ ලේන්සු වලින් ශාරුක් ඛාන්ගේ දාඩිය පිසදමා ඒවා සිහිවටන ලෙස තබා ගැනීමය. එහෙත්, සිදු වුණේ වෙන දෙයකි. ඒ අනුව, ඇමරිකාවට එරෙහි ඉන්දියානු විරෝධතා මතු වීමට ගතවුණේ පැය ගණනකි. අන්තිමේදී, මෙය ඉන්දියාව සහ ඇමරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් බවට පත් වී ඇමරිකාවට ඉන්දියාවෙන් සමාව ගැනීමට සිදුවිය.


කෙසේවුවද, මේ සිද්ධියෙන් අනතුරුව එයට සම්බන්ධ වූ ආගමන විගමන නිලධාරීන්ට රුපවාහිනී නාලිකා පිරිවරා පැමිණි මහජන නියෝජිතයින්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට, රැකියා අහිමි කර ගැනීමට හෝ අඩු වශයෙන් විනය පරීක්ෂණ වලට මුහුණ දීමට සිදුවූයේ නැත. ඒ, ඔවුන් කළේ ඔවුන් විසින් පිළිපැදිය යුතු සාමාන්‍ය ක්‍රියාදාමයේ කොටසක් වූ බැවිනි.

*** 

බොහෝ දෙනෙක් බොහෝ තැන් වල කතා කර ඇති දේවල් ගැන නැවත නැවත තව දුරටත් කතා කිරීම එතරම් ප්‍රියජනක හෝ ඵලදායී කටයුත්තක් නොවූවත් ඒ බොහෝ දෙනෙකුට නොපෙනුණු පැති ඇත්නම් එවැනි පැති වෙතද අවධානය යොමු කිරීමේ වැදගත්කමක් තිබේ.

දරුවෙකුට පාසැලක් ලබා දීමේ කටයුත්තට අවසානයේදී රටේ
ජනාධිපතිවරයාටද මැදිහත් වීමට සිදුවිය. මීටත් වඩා සුළු ප්‍රශ්න ලොකු ප්‍රශ්න බවට පත් කර අවසානයේ රටේ ජනාධිපතිවරයා විසින් විසඳූ ඉතිහාසය අවසන් වී වැඩි කලක් නැති නිසා මෙහි අමුත්තක් එක් වර නොපෙනේ. එහෙත්, වැදගත් කරුණ වන්නේ එවැනි දේ තවමත් සිදුවීමයි.

රාජාණ්ඩුවක බලයේ ප්‍රභවය රටේ රජුය. රටේ මහජනතාව කළ යුත්තේ හැකිතාක් හොඳින් රජුගේ කැමැත්ත ඉටු කිරීමයි. එවැනි ක්‍රමයක් පවතින විට යම්කිසි ප්‍රශ්නයක් මතුවූ විට අවසන් තීරණය රජු විසින්ම ගත යුතු වීම තේරුම් ගත හැකිය.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක රටේ බලයේ ප්‍රභවය ජනතාවයි. එවැනි ක්‍රමයක් සාර්ථකව ක්‍රියාත්මක වන්නේ සියළු දෙනාටම පිළිගත හැකි රාමුවක් යටතේ සෑම පුද්ගලයෙක් විසින්ම තම තමන්ට අයත් කාර්යය නිසි සේ කිරීම මතය. ඒ නිදහස රැකියාවක් කරන සෑම පුද්ගලයෙකුටම තිබේනම් සහ එය අනිසි ලෙස නොයෙදවේනම්, අවශ්‍ය තීරණ අවශ්‍ය මට්ටමේදී ගන්නවා මිස ඉහළ මට්ටමකට යොමු කිරීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ කලාතුරකිනි. මෙහිදී, කිසියම් රැකියාවක් කරන අයෙකු තමා සතු යම් බලයක් අනිසි ලෙස යොදවනවාද යන්න තීරණය කළ හැක්කේ එවැන්නෙකුගේ කාර්යභාරය විධිමත් ලෙස අර්ථ දක්වා ඇත්නම් පමණි.

ඇතැම් විට, ප්‍රායෝගික තත්ත්වයන් මත මෙසේ නිශ්චිත ලෙස අර්ථ දැක්වීමක් කිරීම අපහසු විය හැකිය. එවිට, අදාළ පුද්ගලයාට අවස්ථාවෝචිතව තීරණයක් ගැනීමට නිදහසක් ලැබේ. උදාහරණයක් ලෙස ගුවන් තොටුපොළක සේවය කරන ආගමන විගමන නිලධාරියෙකු 'සැක සහිත' පුද්ගලයෙකු රඳවාගෙන ප්‍රශ්න කළ යුතුනම්, මෙවැනි 'සැක සහිත' පුද්ගලයෙකු අර්ථ දක්වා ගැනීම ඔහුගේ හෝ ඇයගේ රැකියාවේ කොටසකි. ඒ අයිතිය ඔහුට හෝ ඇයට ලබා දිය නොහැකිනම් කළ යුත්තේ 'සැක සහිත' පුද්ගලයෙකු යනු කවරෙක්දැයි නිශ්චිත උපදෙස් මාලාවක් එවැන්නෙකුට ලබාදීමයි.

සංවර්ධිත රටක සහ දියුණු වෙමින් පවතින රටවල් අතර මා දකින එක් පැහැදිලි වෙනසක්නම් සංවර්ධිත රටවල කවර මට්ටමේ හෝ රැකියාවක් කරන අයෙකුට තමාගේ විෂය රාමුවට අයත් කටයුත්තක් ගැන නිදහසේ තීරණ ගැනීමේ හැකියාවක් තිබීමයි. දියුණු වෙමින් පවතින රටවල බොහෝ විට තීරණ ගැනීමට කල් පසුවීම, ධුරාවලියේ ඉහළ තැනකින් අනුමැතිය පැතීම වැනි දේ සිදුවේ. මෙය සමාජයේ පහළ ස්ථර වල සිටින අයගේ අධ්‍යාපනයේ හෝ ලබා ඇති පුහුණුවේ අඩුවක්යයි මා සිතා සිටියත් එය එසේම නොවන බව පෙනෙන්නේ රාජ්‍ය පාලනයේ ඉහළ ස්ථර වල සිටින අය පහළ රැකියා කරන්නන් ගැන සිතන අයුරු දැනගත හැකි, පසුගිය දිනවල සිදුවූ සිදුවීම් දෙක තුනක් නිරීක්ෂණය කරන විටය.

තමන්ට නීත්‍යානුකූලව කිරීමට බලය ඇති දේ ගැන අයෙක් කටමැත දොඩවයි. එහෙත්, ඒ බලය තමන්ට ලැබුනේ කෙසේද. කුමක් සඳහාද   යන කරු
ණු අමතක කරයි. තවත් අයෙක් සිතන්නේ නීති හැදීමේ බලය ඇත්තේ තමන්ට බවත්, රටේ මහජනතාව කළ යුත්තේ ඒවා තමන් අර්ථ දක්වන ආකාරයට පිළිපැදීම පමණක් බවත්ය. ඒ පදනම මත, ඔහු විසින් ධුරාවලියේ පහළ රැකියාවක් කරන අයෙකු තමන්ගේ වපසරිය තුළ ඔහුගේ අභිමතය ක්‍රියාත්මක කිරීම ප්‍රශ්න කරයි. තමන් විසින් මහජනතාවට ලබා දුන් නිදහසක් ගැන කතා කරන ඔහු ඇත්තටම ඒ නිදහස තමන් විසින් ප්‍රශ්න කෙරෙන ආරක්ෂක නිලධාරියා, ඔහුව ප්‍රශ්න කළ කාන්තාව ඇතුළු පිරිස් විසින් නියෝජනය කරන ජනතාව විසින් ලබාගත් නිදහසක් බවත්, තමන්ගේ තාවකාලික තනතුර එහි අතුරු ඵලයක් බවත් අමතක කරයි.

එක් අතකින් බොහෝ දෙනෙකු
තමන්ගේ අයිතීන් පිළිබඳව හඬ නැගීමට හැකිවීම විශාල ප්‍රගතියකි. පැරාගේ වචන වලින් කියනවානම් 'හුජ්ජ කොල්ලන්ටත් දැන් බය නැතිව ඇමතිවරුන්ගෙන් ගේම ඉල්ලන්නට පුළුවන්කම තිබේ'. මෙය අමතක කළ යුතු නැතත්, එය රටක තිබිය යුතු තත්ත්වයක් මිස විශේෂ තත්ත්වයක් හෝ පාරිතෝෂිකයක් නොවේ.

රජු දැහැමි, නිදහස් මතධාරී හෝ ඉදිරිගාමී වූ පමණින් රාජාණ්ඩුවක් ජනරජයක් වන්නේ නැත. දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් කියන්නේ එක් එක් පුද්ගලයාට තමාගේ වපසරියට යටත් කටයුතු පිලිබඳ නිවැරදි තීරණ නිදහසේ ගතහැකි, ඒ වපසරිය නිශ්චිතව අර්ථ දක්වා ඇති සමාජයක් මිස සෑම කුඩා තීරණයක්ම ඉහළ සිට පහළට සම්ප්‍රේෂණය වන සමාජයක් නොවේ. එමෙන්ම, වෙනත් අය ලොකු වැරදි කර තිබීම හේතුවෙන් පොඩි වැරදි සාධාරණීකරනය වන්නේද නැත.  


සරසවියක අංශ ප්‍රධානීන්ගේ සිට පෞද්ගලික සමාගමක ආරක්ෂක නිලධාරියෙකු දක්වා කවර හෝ රැකියාවක යෙදෙන පුද්ගලයෙකුට තමන්ගේ රැකියාවට අදාළ සීමාවන් තුළ අභිමතය ක්‍රියාත්මක කිරීමට රටේ දේශපාලන අධිකාරියෙන් ඇති බලපෑම් විසින් සාමාන්‍ය පුද්ගලයින් අවශ්‍ය තැන්වලදී අවශ්‍ය තීරණ ගැනීම අධෛර්යය කරනු ලැබීමත්, රටේ සාමාන්‍ය පුද්ගලයින් අවශ්‍ය තැන්වලදී අවශ්‍ය තීරණ නොගැනීම හේතුවෙන් කොහේ හෝ සිදුවන සිල්ලර සිදුවීමකට අදාළ තීරණයක් ගැනීමට විධායකයේ ප්‍රධානියාට මැදිහත්වීමට සිදුවීමත් එකිනෙකින් වියුක්ත සිදුවීම් නොවේ.

(Images: sonsofmalcolm.blogspot.com, rkhyd.wordpress.com, www.lokvani.com)

19 comments:

  1. ඔය මිනිහට තියන ආදරේ නිසාම අපි, මිනිහා මෙහෙ ඇවිත් හියපු ප්‍රසංගෙදී, රතිඤ්ඤා සද්ද මදි නිසා, අත්බෝම්බ දෙකතුනක් ගැහුවා. වඩා හොඳින් සලකන්න. කොහෙද, මේකා,

    බයවෙලා පැනලා දිව්වනේ

    ReplyDelete
    Replies
    1. බෝම්බ සහ රෝස දෙකම දෙන්න බලාගෙන අය ලංකාවේ ඉන්නවනේ.

      Delete
  2. බලා හිඳිමි...
    ජයවේවා..!!

    ReplyDelete
  3. මංජුල වෙඩිවර්ධන ලඟදි ලියලා තිබ්බ ලිපියකත් තිබ්බා දැන් රටේ ප්‍රශ්න ගැන තියෙන්නේ එළඹුම් දෙකයි කියලා... මහින්දවාදී සහ රනිල්වාදී කියලා... මේක බොහෝ දුරට ඇත්ත... මට තියන කණගාටුව අපි ප්‍රගතිශීලී කියල හිතන් සිටි බොහෝ අයත් නොදැනුවත්වම හෝ මේ අන්තයකට කොටු වී ඇති බව දකින්නට ලැබීමයි. එක් අන්තවාදයක් විසින් තවත් අන්තවාදයක් පෝෂණය කරයි කියන එකට හොඳ උදාහරණ...

    රටේ සියළුම ප්‍රශ්න මාධ්‍ය සංදර්ශන වෙලා... යමක් ගැන කතිකාවක් ඇති වීම සුබදායක වුණත්, ඒ කතිකාව ඇතිවෙන ස්වරූපයත් වැදගත්... ඇමතිවරයා නිදහස් චතුරශ්‍රයට ගොස් ආරක්ෂක නිළධාරියාට චක්‍රලේඛ පැහැදිලි කරන්න යාම නම් විහිලුවක්... ඒත් තමන් ඉල්ලන දේ කොයි විදිහෙන් හෝ ලැබෙනවා නම් කමක් නෑ කියල සිතා සිටින පිරිස වැඩියි... ඒ නිසා තමන්ට ඒක ලැබුණු විදිහේ ඇති උත්ප්‍රාසය ඔවුන්ට පෙනෙන්නේ නෑ.. නැත්නම් නොපෙනෙන විදිහට ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. //එක් අන්තවාදයක් විසින් තවත් අන්තවාදයක් පෝෂණය කරයි// ඒක තමයි චක්‍රීයව වෙන්නේ.

      Delete
  4. //"'හුජ්ජ කොල්ලන්ටත් දැන් බය නැතිව ඇමතිවරුන්ගෙන් ගේම ඉල්ලන්නට පුළුවන්කම තිබේ'. මෙය අමතක කළ යුතු නැතත්, එය රටක තිබිය යුතු තත්ත්වයක් මිස විශේෂ තත්ත්වයක් හෝ පාරිතෝෂිකයක් නොවේ."//

    අතිශය සාමාන්‍ය තත්වයකි , ඇමති කෙනෙක් තබා ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකු හෝ බස් රියේ යාම ප්‍රවෘත්තියක් වන්නේ තවමත් රාජාණ්ඩු සංකල්පයෙන් අපේ මනස මිදී නැති නිසාය

    ReplyDelete
    Replies
    1. "රජ මැදුරක ඉපදී හිටියානම් නුඹත් රජෙකි පුතුනේ" ලංකාවේ ගොඩක් අයගේ කේන්දර වල රාජ යෝග තියෙනවනේ. රජ මැදුරු තමයි අඩු. මැදුර හම්බ වුන ගමන් පොර රජා.

      Delete
  5. ඉතාම සිල්ලර සිද්ධි උනත් මේ සිද්ධි ඔස්සේ සමාජය කියවන්න පුලුවන්
    රටකට ලැබෙන්නේ උන්ට ගැලපෙනම නායකයෝද මන්දා

    ReplyDelete
    Replies
    1. පැත්තකට වී මේවා දෙස බලා සිටීම හරිම විනෝදජනකයි (ඒ වගේම කණගාටුයි).

      Delete
  6. ඇත්තෙන්ම හර්ෂ තමන්ට අදාළ නොවන වැඩකට මැදිහත් වෙමින් අර ආරක්ෂකයින්ගේ රාජකාරි නිදහසට බාධා කෙරුවා.ඒ වගේම නිල ඇඳුම් ඇඳ ගත්තු අය තමන් තුල තිබෙන සුළු හෝ අධිකාරී බලය ඇතැම් විට භාවිතා කරන්නේද තවත් අය පිඩාවට පත් කරවන්න වීමත් නිරීක්ෂණය කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. හරියට හරි, මනෝජ්. ආරක්ෂක නිලධාරියෙක් වුනත් හදන්නේ තමන්ගේ සීමිත වපසරිය ඇතුලේ පූර්ණ විධායක බලතල සහිත රජෙක් වෙන්න. වෙනස තියෙන්නේ ඔහුට අයිති සීමාවේ විතරයි. (හැමෝම එහෙම කියන එක නෙමෙයි)

      Delete
  7. පාරෙ යන කොට තමන් පදිකයෙක් වග, කඩේකට ගියාම පාරිබෝගිකයෙක් වග වැනි පුංචි කාරණාවත් මතක තියා ගන්න බැරි පබ්ලික් ෆිගර්ස්...

    ReplyDelete
    Replies
    1. දැන් ටික ටික තත්ත්වය හොඳ වෙනවා. එක හේතුවක් සමාජ ජාල. යූටියුබ් වීඩියෝවක් හදලා දාල දැන් කෙනෙකුට එක රැයින් ලොව පුරාම වුනත් ජනප්‍රිය වෙන්න පුළුවන් නිසා ඉස්සර වගේ රූප පෙට්ටි මැජික් නෙමෙයි.

      Delete
  8. //රජු දැහැමි, නිදහස් මතධාරී හෝ ඉදිරිගාමී වූ පමණින් රාජාණ්ඩුවක් ජනරජයක් වන්නේ නැත.//

    ඔන්න ඕන අපේ ජහමනයට වැටහෙන්නේම නෑනේ.

    ReplyDelete
    Replies
    1. පුරුදු වී ඇති දෙයින් මිදෙන්න කලක් යනව, මනෝ.

      Delete
  9. දැන් ලංකාවේ උනත් ෆිල්ම් ස්ටර්ලව ගණන් ගන්නේ නෑ. ඉන්දියාවේ ඉන්නේ මෝඩ හරක්.

    ReplyDelete
    Replies
    1. ලංකාව ඉන්දියාවට වඩා පොඩ්ඩක් ඉස්සරහින් ඉන්නවා. (හැබැයි අපිත් මතක ඇතුව මනාපයක් දෙනවා)

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget