Friday, July 1, 2016

අත්වැඩකරුවන් හිඟද?


ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය අත්වැඩකරුවන්ගේ හිඟය ගැන එම ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු මැසිවිලි නඟති. පෙදරේරුවන් වැනි පුහුණු ශ්‍රමිකයන් හා අදාළවද මෙවැනි කතා අසන්නට ලැබේ. බොහෝ පිරිස් ත්‍රිරෝද රථ සේවා සැපයීම කෙරෙහි යොමුවීම මෙයට හේතුවක් බව ඇතැම් අය සිතති.

කිසියම් වෙළඳපොළක ඉල්ලුම හා සැපයුම අතර අසමතුලිතතාවක් පවතීනම් එහි ස්වභාවික හෝ කෘතීම බාධාවක් තිබිය යුතු අතර එය හඳුනාගත හැකි විය යුතුය.

පළමුව, දිගුකාලීනව ඉදිකිරීම් සිදු නොවන තරමේ ශ්‍රමික හිඟයක් මම නොදකිමි. එවැනි තත්ත්වයක් පවතීනම්, ඉදිකිරීම් කර්මාන්තයෙහි නියැලෙන්නෙන් අතර ශ්‍රමිකයින් වෙනුවෙන් උග්‍ර තරඟයක් ඇති වී, මේ ශ්‍රමිකයින්ගේ ශ්‍රමය වෙනුවෙන් ඔවුන් ගෙවන මිල කෙටි කලක් තුළ විශාල ලෙස වැඩිවනු පෙනිය යුතුය. එහෙත්, එවැන්නක් නොපෙනේ.

මා හිතන පරිදි, ඇත්තටම පවතින ප්‍රශ්නය අවශ්‍ය වෙලාවට ප්‍රමාදයකින් තොරව අත්වැඩකරුවන් හා/හෝ පෙදරේරුවන් සොයාගැනීමයි. මෙයද සැලකිය යුතු ප්‍රශ්නයකි. මේ ප්‍රශ්නය පැහැදිලිව දෘශ්‍යමාන වන්නේ කලකට පෙර පැවති තත්ත්වය සමඟ සැසඳීමේදීය.

ඉදිකිරීම් කටයුතු වලදී අත්වැඩකරුවන්ගේ ශ්‍රමය සඳහා වන ඉල්ලුම බොහෝ විචල්‍ය ඉල්ලුමකි. කොන්ක්‍රීට් දැමීම වැනි අවස්ථාවක එකවර විශාල ශ්‍රමිකයින් පිරිසක් අවශ්‍ය වෙයි. විශේෂයන්ම නාගරික ප්‍රදේශ වලදී මේ ඉල්ලුම සැපිරුනේ නාගරික පැල්පත්වාසීන් වූ අඩු අධ්‍යාපනයක් ලබා ඇති, රැකියා විරහිත තරුණයින්ගෙනි. මේ අය අතර දිනපතා මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවූ, කරන්නට වෙනත් නිශ්චිත කාර්යයක් නොමැති පිරිස්
අඩු නොවීය. තැරැව්කරුවෙකු හරහා අවශ්‍ය අවස්ථාවක මෙවැනි කණ්ඩායමක් එකතු කර ගැනීම දශකයකට හෝ දෙකකට පෙර එතරම් අසීරු හෝ වියදම් අධික කටයුත්තක් නොවීය. පසුගිය දශක දෙක තුළ රැකියා නියුක්තියෙහි සිදුවූ විශාල වැඩිවීම හේතුවෙන් දැන් මෙවැනි පිරිස් අවශ්‍ය වෙලාවට එසේ එකතු කරගැනීම පහසු නොවන බව පෙනේ.

අත්වැඩකරුවන් සඳහා මෙන්ම පෙදරේරුවන් හා තීන්ත ආලේපකරුවන් වැනි පුහුණු ශ්‍රමිකයින් සඳහා වන ඉල්ලුමද වසර පුරා එක ලෙස නොපවතින විචල්‍ය ඉල්ලුමකි. සිය ශ්‍රමය සඳහා වන ඉල්ලුම නියත ඉල්ලුමක් නොවූ විට ශ්‍රමිකයෙකුට ඉල්ලුම් කළමනාකරණ ක්‍රමවේද ගැන සිතන්නට සිදුවේ.


ඇඟ මහන්සි වී කරන වැඩ වලට මිනිසුන්ගේ ස්වභාවික ප්‍රතිරෝධයක් තිබේ. අඩුවෙන් මහන්සි වී වැඩි ප්‍රතිලාභයක් ලබන්නට කවුරුත් වාගේ කැමතිය. තාක්ෂනය මඟින් එසේ අඩුවෙන් මහන්සි වී වැඩි ප්‍රතිලාභ ලබන්නට මිනිසුන්ට ඉඩ සලසයි. තාක්ෂණ දියුණුව සමඟ නුපුහුණු ශ්‍රමයට ඇති ඉල්ලුම අඩු වන නමුත්, පුහුණු ශ්‍රමයට ලැබෙන ප්‍රතිලාභ වඩා වේගයෙන් වැඩි වන නිසා නුපුහුණු ශ්‍රම සැපයුමද සමාන්තරව අඩු වේ. මේ නිසා රටක ආදායම් හා අධ්‍යාපන මට්ටම් ඉහළ යද්දී නුපුහුණු ශ්‍රමය සඳහා වන වෙළඳපොළේ ඇති ශ්‍රම අතිරික්තය ක්‍රමයෙන් ක්ෂය වී යයි.

නුපුහුණු ශ්‍රම වෙළඳපොළෙහි සිය ශ්‍රමය විකුණන අත්වැඩකරුවෙකු හෝ පුහුණු ශ්‍රමය විකුණන පෙදරේරුවෙකු කම්හලක හෝ රජයේ කාර්යාලයක සේවය කරන්නෙකු මෙන් සතියේ දින පහක් වැඩ කර දින දෙකක් විවේක ගන්නට කැමති වනු ඇත. එහෙත්, ඒ ආකාරයෙන් සිය ශ්‍රමය විකිණීමටනම් ශ්‍රමය සඳහා විචල්‍ය නොවන ස්ථාවර ඉල්ලුමක් පැවතිය යුතුය. එහෙත්, පවතින ඉල්ලුම එවැනි ස්ථාවර එකක් නොවේ. මේ නිසා, මෙවැනි රැකියාවක නිරත අයෙකුට තමන්ගේ ශ්‍රමයට ඇති විචල්‍ය ඉල්ලුම ස්ථාවර කර ගැනීම සඳහා ක්‍රමෝපායික වන්නට සිදුවේ. මෙහිදී එවැන්නෙකු විසින් ක්‍රමෝපායික වන්නේ (වෙනස්කම් ඇතත්) චැනල් සේවා සැපයීමේදී වෛද්‍යවරයෙකු ක්‍රමෝපායික වන ආකාරයටමය.

පෙදරේරුවෙකු ඉල්ලුම ඇති විට එකවර ඇණවුම් කිහිපයක් භාරගනී. එසේ ඇණවුම් කිහිපයක් භාර ගැනීමෙන් පසු එවැන්නෙකු එක දිගට එකම තැනක වැඩ නොකර මේ සේවා ස්ථාන දෙක තුන අතර මාරුවෙන් මාරුවට වැඩ කරයි. එහෙත්, පෙද
රේරුවෙකුගේ සේවය ලබා ගන්නා අයෙකුට අවශ්‍ය වන්නේ ඔහුගෙන් (මේ වෘත්තියෙහි නිරත වන කාන්තාවන් ඉතා සීමිත නිසා ඔහු යන වචනය යොදමි.) එක දිගට වැඩ ගැනීමටය. ඒ නිසා, තමන් සමාන්තරව භාරගෙන ඇති අනෙකුත් ඇණවුම් සම්බන්ධ තොරතුරු  එළිදරවු නොකර බොරු කියන්නට ඔහුට සිදුවේ. තමන්ට අවශ්‍ය වෙලාවට අවශ්‍ය කටයුත්ත සිදු නොවී ප්‍රමාද වන බැවින් පෙදරේරුවාගේ සේවය ලබා ගන්නා අයට පෙදරේරුවන්ගේ හිඟයක් පෙනේ.

අවශ්‍ය අයෙකුට අවශ්‍ය වෙලාවටම පෙදරේරුවෙකුගේ, තීන්ත ආලේපකරුවෙකුගේ හෝ අත්වැඩකරුවෙකුගේ සේවය ලබා ගැනීමට හැකිවීමටනම් එවැන්නන්ගේ සැපයුම, වසර තුළ ඉල්ලුම උපරිමයක් වන මට්ටමට පැවතිය යුතුය. එහෙත්, සැපයුම ඒ තරමට වැඩි වුවහොත් මෙවැන්නන්ට වසරේ සැලකිය යුතු කලක් රැකියා විරහිතව ඉන්නට සිදුවේ.

කලකට පෙර විශාල පිරිසක් රැකියා විරහිතව සිටියදී මෙවැනි අතිරික්ත ශ්‍රම සැපයුමක් පැවති නිසා ක්ෂණික ශ්‍රම අවශ්‍යතාවයක් සපුරාගැනීම අපහසු කරුණක් නොවූවත් එය තවදුරටත් එසේ නොවේ. මෙසේ රැකියා විරහිතව සිටි කණ්ඩායමෙන් පිරිසක් මේ වන විට ත්‍රිරෝද රථ සේවා සැපයුමෙහි නිරතව සිටිනවා විය හැකිය. ඔවුන් දවසක් තුළ කිසියම් ඵලදායී කාර්යයක නිරත වන කාලය පැය කිහිපයක් වන්නටද පුළුවන. නමුත්, වසරක් තුළ දින කිහිපයක් පමණක් කිසියම් ඵලදායී කාර්යයක නිරත වීමට සාපේක්ෂව එය සේවා නියුක්තියේ සැලකිය යුතු වැඩිවීමකි.

එසේනම්, පෙදරේරුවෙකු හෝ අත්වැඩකරුවෙකු අවශ්‍ය අයෙකුට පොරොත්තු කාලය අඩු කරගැනීමට නොහැකිද?

බැරිකමක් නැත. ඒ සඳහා ඔවුන්ගේ ශ්‍රමය වෙනුවෙන් ගෙවන මිල වැඩි විය යුතුය. එවිට, සේවා නියුක්තිය සතියකට දින දෙක තුනක් වුවත් මේ සේවා සපයන්නෙකු බලාපොරොත්තු වන ආදායම ලැබෙන බැවින් තවත් පිරිසක් මේ සේවාවන් සැපයීම කෙරෙහි යොමුවනු ඇත.

එසේනම්, වෙළඳපොළ බලවේග මඟින් එවැනි මිල වැඩිවීමකට ඉඩ නොසලසන්නේ ඇයි?


අඩුම වශයෙන් හේතු තුනක් නිසාය.

1. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු හා නුපුහුණු ශ්‍රමය මිල දී ගන්නා ඉදිකිරීම් සමාගම්, කොන්ත්‍රාත්කරුවන් හා නිවාසයක් තැනීම වැනි කටයුත්තක යෙදෙන සාමාන්‍ය පුද්ගලයින්ට 'වැඩේ හැකි ඉක්මණින් ඉවර කර ගැනීමේ' හදිස්සිය කොතරම් වැඩි වුවත් 'පුළුවන් තරම් අඩුවට වැඩේ කර ගැනීමේ' උවමනාව ඊට වඩා වැඩිය. වෙනත් අයුරකින් කිවහොත් පොරොත්තු කාලය අඩු කර ගැනීම සඳහා ගෙවිය යුතු මිල ගෙවන්නට ක්ෂේත්‍රය සූදානම් නැත.

2. ඓතිහාසික හේතු මත අත්වැඩකරුවන් මෙන්ම පෙදරේරුවන්ද සිටින්නේ ලංකාවේ සමාජ ධුරාවලියේ පහළ මට්ටමකය. එවැන්නෙකුගේ ආදායම් මට්ටම කාර්යාලීය රැකියාවක යෙදෙන්නෙකුගේ ආදායම් මට්ටමට වඩා බෙහෙවින් වැඩි වුවද මේ තත්ත්වය එසේමය. සමාජ තත්ත්වය පෙන්වීමේ පීඩනය අඩු නිසා මේ රැකියා කරන්නෝ ඔවුන්ට දැනට ලැබෙන ආදායමෙන් ජීවත් වීම ප්‍රශ්නයක් ලෙස නොදකිති. ඒ නිසා, ඔවුන්ගෙන් සිය වැටුප් ඉහළ නංවා ගැනීම සඳහා පීඩනයක් ඇති නොවේ.

3. මේ ශ්‍රමිකයන්ට ලොකු මූල්‍ය කළමණාකරණ කුසලතා නැත. ඔවුහු බොහෝ විට කරන්නෝ එදිනෙදා ආදායමෙන් එදිනෙදා වියදම් පියවා ගැනීමයි. ඒ නිසා, වසරේ අහඹු දින සියයක් තුළ දිනකට රුපියල් හයදහස බැගින් ලැබෙන විකල්පයකට වඩා, දින තුන්සියයක් දිනකට රුපියල් දෙදහස බැගින් ලැබෙන විකල්පයකට ඔවුහු කැමැත්තෝය.


(Image: www.unhabitat.lk)

46 comments:

  1. මම දන්න විදියට මේ පැත්තෙ කොල්ලො සහ තරුණ අය වැඩි දෙනෙක් කොළඹ පැතිවල සයිට් වල ගිහිල්ල වැඩ කරනව. ගමේ ගොඩේ බදාම අනල නෝන්ඩි වෙනවට වැඩිය ඒ ක්‍රමේ හොඳයි කියල හිතනව ඇති. අනික ඒ වගේ තැනකට ගියාම දිග කාලයක් එක විදියට වැඩ කරගෙන ඉන්න පුලුවන්නෙ.

    ReplyDelete
    Replies
    1. නාගරික ප්‍රදේශ වල මෙවැනි ශ්‍රමයට ඉල්ලුම වැඩියි සහ වඩා ස්ථාවරයි. ඔබ මේ පෙන්වා දෙන්නේ නිදහස් සංචරණයට ඉඩකඩ සැලසීමේ වාසි ගැනයි. ගමක කෙනෙක් නගරයට පැමිණ මෙවැනි රැකියා කරන්නේ ඔවුන්ට එයින් ලැබෙන ආර්ථික වාසි වැඩි නිසා. එය තමන්ගේ යහපත තකා කැමැත්තෙන් ගන්නා තීරණයක්. මේ නිසා නාගරික ප්‍රදේශ වල ඔවුන්ගේ ශ්‍රමය ලබා ගන්නා අයටත් වාසියකුයි සැලසෙන්නේ. නැත්නම් නාගරික ප්‍රදේශ වල මෙවැනි ශ්‍රමය සඳහා ගෙවිය යුතු මිල මීට වඩා වැඩි විය හැකියි. ඔබ කියන සංස්කෘතික ප්‍රශ්නයත් මෙහි තිබෙනවා. ලංකාව වැනි රටවල වෘත්තිකයින් බටහිර රටවලට ගොස් වෘත්තීය නොවන ශ්‍රමික රැකියා කරන විට සිදුවන්නේත් මෙවැනි දෙයක්මයි.

      Delete
  2. ඇත්තටම මටත් ඕක හෙන ප්‍රශ්නයක් වෙලා තිබුණෙ. බාස්ල එකපාර තැන් දෙක තුනක වැඩ අරගෙන, බොරු කිය කිය ටික ටික හැම තැනම කරනව. බලනකොට මේකයි ප්‍රශ්නෙ. බලන්න ඔබතුමාලගෙන් අපිට ඉගෙන ගන්න තියෙන දේවල්. ඔබතුමාට ටුවරිස්ට් ගයිඩ් පුඟුලො හිඟවීම හෝ වැඩි අතිරික්තයක් පැවතීම ගැන අදහසක් නැද්ද ? නැත්නම් ගයිඩ් පුඟුලො ඇයි නිතරම මං පොර වීමේ ආසාවෙන් පෙලෙන්නෙ කියලවත්...

    ReplyDelete
    Replies
    1. ටුවරිස්ට් ගයිඩ් වැනි රැකියාවක ඉල්ලුම හා සැපයුම සාමාන්‍යයෙන් පහසුවෙන් සමතුලිත වෙනවා. රැකියාවට පිවිසීම පහසු වුණත්, තරඟකාරිත්වය නිසා දිගුකාලීනව ක්ෂේත්‍රයේ රැඳී සිටිය හැක්කේ වඩා කාර්යක්ෂම අයටයි. අකාර්යක්ෂම අය හැලෙනවා. එයට අමතරව වෙනත් කෘතීම බාධාවනුත් තිබිය හැකියි.

      Delete
  3. මට නම් හිතෙන්නෙ පෙදරේරු වඩු කාර්මික වගේ වෘත්තීන් සම්බන්ධව සමාජ ආකල්පවල වෙනසක් අවශ්‍යයි කියල.මේ සම්බන්ධ හොඳ වෘත්තීය අධ්‍යාපනයක් දීල ජාත්‍යන්තර මට්ටමේ නවීන දැනුම ලබා දීම එක විසඳුමක්.ලංකාවේ ගැරේජ් බාස් කියාගෙන හිටපු මෝටර් කාර්මිකයා වෘත්තිකයෙක් කරන්න ජර්මානු කාර්මික ආයතනයට හැකි උනානේ.අන්න ඒ වගේ වෙනසක් මේ ක්ෂේත්‍ර වලත් අවශ්‍යයි.ඒත් ඉතිං යහමින් කොමිස් නොලැබෙන ටෙන්ඩර් පාස් නොවෙන මේ වගේ වැඩ වලට ඔය රට සම්බන්ධව තීරණ ගන්න උදවිය අත ගහයිද ?

    ReplyDelete
    Replies
    1. Hats off for appreciating German Tech (CGTTI), I am a proud graduate of German Tech and able to migrate to Australia just with German Tech certificate.

      Delete
    2. හැබැයි තාමත් ගැරජ්වල ඉන්නෙ ගැරජ් බාස්ලාම තමයි. මම ඒකෙන් අදහස් කළේ තාමත් ගැරේජ් වල ඉන්නෙ එහෙන මෙහෙන් අතගාන කොල්ලෝ. මම නම් කිසිම තනක දකලා නෑ විධිමත් පුහුණුවක් ලබපු කෙනෙක් වැඩ කරනවා.

      Delete
    3. ඉතාම පැහැදිලිවම, ඇනෝ. සමාජ ආකල්ප වෙනස් වී මේ පිරිස් වල වෘත්තීය ගරුත්වය ඉහළ මට්ටමකින් තහවුරු වූ විට මේ ප්‍රශ්න ගොඩක් විසඳෙයි. දැන් වෙලා තියෙන්නේ මේ කණ්ඩායම් වල ආර්ථික ශක්තියට හා ආර්ථික වැදගත්කමට සාපේක්ෂව හෙට්ටු කිරීමේ හැකියාව අඩු වීමයි. මෙවැනි කාර්මිකයින් සඳහා පුහුණු පාඨමාලා වැඩි කිරීම, රැකියාවල යෙදීම සඳහා කිසියම් පුහුණුවක් අනිවාර්ය කිරීම ආදිය මඟින් මේ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් කළ හැකියි.

      ජර්මන් ටෙක් නිසා මෝටර් කාර්මිකයින්ගේ වෘත්තීය තත්ත්වය ඉහළ ගියත් තවමත් එවැනි පුහුණු ශ්‍රමිකයින් හිඟයි. අළුත් වාහන වලට අතගහන්න සම්ප්‍රදායික 'ගැරේජ් බාස්ලාට' අමාරුයි. මෙතැනදීත් පුහුණු ශ්‍රමය සඳහා ගෙවන මිල ඉහළ යා යුතුයි.

      මෑතකාලීනව සිදුවී ඇත්තේ මෙවැනි ක්ෂේත්‍රවල වැටුප් ඉල්ලුම් සැපයුම් බලවේග නිසා වැඩි වන වේගයට වඩා වැඩි හෝ නොඅඩු වේගයකින් (ලංකාවේ වැඩිම පිරිසකට රැකියා සපයන) රජයේ වැටුප් වැඩිවීම නිසා ඔවුන්ගේ සාපේක්ෂ වැටුප් අඩු වීම හෝ වැඩි නොවීම.

      Delete
  4. අත්වැඩ පරවැඩ සමව සිතන්නේ
    මෙත්සිත සව්සත කෙරෙහි කරන්නේ
    ඒත් බැරි නම් තොප සසර ගෙවන්නේ
    සෙත් පුර සැප කෙලෙසකද ලබන්නේ

    ReplyDelete
    Replies
    1. කළුආරච්චිගේ කළු බණ. සාදු කියන්න පින්වත්නී............සා..........දු.

      Delete
    2. සා..........දු.

      :D

      Delete
  5. ඉලංගකෝන්ගේ විවරණය අඩවියෙත්;

    මේ හා සමාන ලිපියක් අද ලියවී තිබෙනවා.

    ඉදිකිරීම් කොන්ත්‍රාත් කරන බොහෝ දෙනෙකු කියන්නේ ශ්‍රමිකයන් සොයාගැනීම ඉතා අපහසු බවයි. මේ මෑතකදී මට අවශ්‍ය වුණා ගෙවත්ත පිරිසිදු කරගැනීම සනදහා අනවශ්‍ය ගස් කපා ඉවත් කරන්න සහ පොල් ගස් කීපයකට කම්බි දමා අදින්න දන්නා ශ්‍රමිකයන් කීප දෙනෙක්. නමුත් මට මාසයකට වැඩි කාලය ගතවුනා එවැනි අය සොයාගන්න. ඒ සඳහා මා මිතුරන්ගේ සහාය පතනවිට ඔවුන් කිව්වේ දැන් බොහොමයක් දෙනා එවැනි රැකියා අතහැර ඇති බවයි.

    සති අන්ත පුවත්පත් වල දැන්වීම් සියගණනක් තිබෙනවා ඉදිකිරීම් ක්‍ෂේත්‍රය සඳහා ශ්‍රමිකයන් ඉල්ලා. සෑම සතියකම එවැනි දැන්වීම් වැඩිවනවා මිස අඩුවක් නැහැ.

    සේවා යෝජකයන් වෙත ශ්‍රමිකයන් සම්බන්ධිකරණය කිරීමේ ආයතනයක් පිහිටුවීම කාලෝචිතයි.

    ReplyDelete
    Replies
    1. //ඉලංගකෝන්ගේ අඩවියට දාපු කමෙන්ට් එකන මෙතනටත් ටිකක් අදායි වාගේ //

      මාත් බාස්කෙනෙක් ( සමහරුපස්සට වෙල්ලා කෑල්ලත් දානවා තමා හේ හේ ක් )

      ඔය කොන්තරත් මෑන් කියාපු දෙදාස් පන්සියේ කතාවනං බොරු ( එහෙම ගෙවනවානං හොද වැඩකාරයෙක් වැඩ අදීක්ෂණයට යොදාගන දිනපතා ඒ ගාන ගෙවනවා ඇති ) , සමහරක් ටයල් සහ ටෙරාසෝ කරන බාස්ලට ඔය ගාන ගෙවනවා ...හැබැයි කොම්පැනි කාරයෝ නෙමෙයි ......වර්ග අඩි හාරසීයයි බං තියෙන්නේ වරෙන් ඇදලා දාමු කොල්ලෝ දෙන්නෙක් ලගට දෙන්නං කියල ...ගහන දඩිබිඩි ගේම් වලට යාලුවන්ට තවත් බාස් කෙනෙක්

      ලංකාවේ වැඩියෙන්ම දවස්පඩි ගෙවන්නේ බස්නාහිර පලාතේ ( ලොකු කොම්පැනිවල පඩිය නෙමෙයි , එයාල මෙහෙම ගෙවන්නේ නැ ) බාස්ට 2200යි ගෝලයට 1600 යි ,

      තව රැහේ කෙනෙකුගේ වැඩකට යනවනං බාස්ට 2000 ගෝලයට 1400 , හැබැයි එතකොට දවල් කෑම කොන්තරත් ගත්ත යාලුවා දෙන්ඩ ඕන , තේ ටිකනං ගෙදර අයිතිකාරයා දෙනවා , කොහොම වැඩට ගියත්

      එයාලගෙන් කොහොම ගෙවල වැඩ ගන්ඩ ගියත් ඇහැ ගහගන ඉන්ඩම ඕන නැත්තං බුල කෙලිනවා , එහෙම නැත්තං නිරපරාද නාස්තියක් කරනවා

      ( මම ගෙදර නොහිටපු දවස් දෙකට අපේ ගේ පිටි පස්සේ ඇලේ තියනවා අනාපු කොන්කිරිට් සහ බදාම , ඒ මදිවාට කළුගල් කුඩු කියුබ් තුනක් හාමිනේ ලව්වා ගෙන්නවල , එවායෙන් බාගයක් ගේ පිටිපස්සේ නිකං තියනවා )

      ගං දෙකකින් හතර දෙනෙක් ආවා , දෙන්නෙක් 7.30ට ඇවිත් 3.00 ට වැඩ නවත්තනවා , අනිත් දෙන්නා 8.30 ඇවිත් හතරට යනවා , පස්සේ බැරිම තැන 8.30 දෙන්නව නැවැත්තුවා , ඒ බාස්ල දෙන්නට 2200ක් සහ ගෝලයන්ට 1600 ගානේ ගෙව්වා ....කන්ඩත් දීලා තේත් දීලා ..බුලත් විට සිකරට් දීලත් මට එහෙමනං කරන්නේ මොකටද තියාගන්නේ .....පස්සේ දවසක් දෙකක් බලලා අනිත් දෙන්නාවත් නවත්තල හාමිනෙයි මායි බිත්තිටික උස්සාගත්ත

      ඔන්න ඕකයි පුලුකුනාවේ තත්වේ

      අනික ඔය මිනිස්සු කරන්නේ ප්ලැන් එක ඇන්ද එකාට ඕන දේවත් , අපිට ඕන දේවත් නෙමෙයි උන්ට ඕන ඕන දේවල් , ...තමන්ගේ වැඩේ හරියට නොකලට මොකද ...මේ බිත්ති මෙහෙම බදින්ඩ හොද නැ ....මෙතනට උලුවහු හොදනැ ...හම්මෝ ජනෙල්නං දාන්ඩ එපා මෙතනට කියල ....වැඩකට නැති විකාර බහු බූතනං කියවන්ඩ එනවා

      ඔය පස්සේ තියාගත්ත දෙන්නාට හැම දේමත් දීලා දවල්ට කන්ඩ කලින් එලියට යනව බැලුවහම කසිප්පු බොන්ඩ පැය ගනං යන හින්දා ඉක්මනට වැඩේ කරගන්ඩ ඒන හන්දා අරක්කුත ගෙනත් දුන්නා ...ඒ අරකුකු වල ගුනයවත් තිබ්බේ නැ

      අනික ඔකේ තව කාරනාවක් තියනවා ඒ ඇවිල්ලා අනිත් පැත්ත ...බාස් කෙනෙක් හිටියා ලස්සනට ඇදල සේප්ටි බුට්ස් එහෙම දාල පලිවලට වැඩ කරන , හොර බොරු නැති ගාන ටිකක් සැර මිනිහා ගෝල බාලයෝ පටවං එන්නේ ඩෙලිකා වැන් එකක ....පිලිවලට ගණන් හිලව් එහෙම කැල් එකකින් හදල කොලයක ලියල එහෙම තමයි හවසට දෙන්නේ ...මිනිස්සු මිනිහට නම්පට බැන්දා ...රටබාස් කියල ....මං මගේ වැඩේ කරගන්ඩ හෝදිසි කරනකොට මිනිහා වැඩ නවත්තල ...මොකද ඇහුවහම කියනවා......මිනිස්සුට වැඩ කරන්ඩ බැ පුතා ...කියල ....ඔන්න ඕකයි අනිත් පැත්ත

      එයා කියන එකේ ඇත්තක් තියනවා කියල මට හිතෙනවා ....සමහරක් වෙලාවට මට මොකකට හරි එන්ඩ කියල ගෙදරට ගියහම ඒ උන්දැ නැගිටල එන්නේ ලැප් එකේ බුකියට හරි ඔයා බටේට හරි එබිල ඉදලා .....එන්ඩ කියල තියෙන්නේ මැෂිමේ ලෙඩකට නෙමෙයි ....දෙකයි පනහේ සූපීන් කේස් එකක් ගොඩ දාගන්ඩ .....අයියෝ ඕක චුටි දෙයක්නේ මෙන්න මෙහෙම කරන්ඩ කියල කියල දීලා පිච්චිච්ච පැට්රොල් ටිකත් නැතුව එලියට බැහැල එනකො ටැංකියු කියුවහම .....මැඩම් ගුගල් කරල බලන්ඩ කියුවහම කට කිම්භවාගේ වෙනවා......

      බාස්ල අපිට ඉන්ටර්නෙට් යන්ඩත් කියල දෙන්ඩ හදනවා කියල

      වරද තියෙන්නේ එක තැනක නෙමෙයි

      අනික ඔය රජයේ පුහුනු කිරිම් ආයතන වලින් පුහුනු කරල එලියට දාන මිනිස්සුන්ගෙන් නියමිත විදිහට වැඩ නෙගෙන කොම්පැනි කරන්නේ පර පක්කිලි වැඩ ගන්න ...ඉතින් දෑතේ රස්සාවක් පුහුණු වෙලා එන එකාල ඉදීද

      හයියෝ කියන්ඩ ගියොත් කමෙන්ට් එකක් නෙමෙයි පෝස්ට් එකක් කොටත හැකි.





      Delete

    2. අටමා

      පිච්චුන පැට්‍රෝල් ටිකත් නැතුව..... මේක තනිකරම උඹේ වරද.තමන්ගේ වෘත්තිය තමන්ම බාල්දු කරන එක .උඹට කවුරුහරි ජොබ් එකෙකෙට එන්න කිව්වනම් නූල් ටික හිරවෙලා ඒක හදලා දුන්නත් නිකම් කරන්න එපා.වැඩකට ගියහම අයකරන අඩුම ගානක් තියාගනින්. පිටරටවල ඒකට කියන්නේ සර්විස් කෝල් ගාස්තුව කියල. සමහරු ඒ ගානටම පලවෙනි පැය බාගේ ගාස්තුව අය කරනවා. නිකම් වැඩ කරන එක නවත්තපන්.

      Delete
    3. කුමාර කියන කතාව හරි. උඹට කෝල් කරල ගෙන්නගන්නවන් උඹට එතන වැඩක් නොතිබුණත් උඹ එතනට යනවට ගානක් අය කරන්න ඕන.

      Delete
    4. මම නම් හිතන්නෙ අටම් කරන වැඩේ හරි කියලා. හිතමුකො මැශිමේ වෙන ලොකු වැඩක් ආවා කියලා, එතකොට අටම් ඔය වැඩේට සල්ලි අරන් තිබ්බා නම් "ඌ ඒකටත් සල්ලි ගත්තා " කියලා මිනිස්සු වෙන එකෙක්ට කතා කරනවා. ඒ පිච්චෙන පැස්ටෝල් ටික ලාභයි කස්ටමර් කෙනෙක් කැඩෙනවට වඩා.

      ඔය වගේ පොඩි දේවල් නොමිලේ කරන එකෙන් වෙන්නෙ අටම් එක්ක හිත හොඳ වෙන එක.

      Delete
    5. අටම.
      කස්ටමර් කෝල් එකකට යන කොට ටෙක්නිෂියන් යුනිෆෝරම් එකක් ඇඳලා ටිකක් පොෂ්වගේ ටූල් බොක්ස් එකකුත් අරන් පලයන්, ස්පෙයාර් පාර්ට්ස් ටිකකුත් අරන් ගියානම් බිස්නස් එක සරු වෙනවා.
      මේ පොස්ට් එක දැක්ක ගමන් අටම ෂෙයාර් කරල තියන ෆොටෝස් මතක්වුනා

      Delete
    6. ඇණේ .. මං ඕකාට සිය දාස් වාරයක් ඕක කියල ඇති.!!

      Delete
    7. විචාරකට: ඉලංගකෝන්ගේ විවරණය ගැන කිවුවට ස්තුතියි! ඔහු වැදගත් කරුණු ටිකකට අවධානය යොමු කර තියෙනවා.

      අටම්: වෘත්තියෙහි යෙදෙන අයෙකු ලෙස ඔබේ අත්දැකීම් සහ වෙනත් කරුණු ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි!

      කුමාර, ප්‍රසන්න, හරි, ඇණයා, පත්තර මල්ලි: දෙපැත්තටම ඉදිරිපත් කර ඇති කරුණු ඇත්ත. අටම්ගේ පාරිභෝගිකයින්ගේ ස්වභාවය අනුව අටම්ට ඔය දෙකෙන් වඩා ගැලපෙන ක්‍රමය කලක් රැකියාව කරන විට පැහැදිලි විය යුතුයි. එකම පාරිභෝගික පිරිසකට නැවත නැවත සේවය සලසන විට රෙපියුටේෂන් එක පවත්වා ගැනීමේ වටිනාකම වැඩියි. නැත්නම් එය අඩුයි. බොහෝ දෙනෙක් ගෙයක් හදන්නේ එක් වරක් පමණක් නිසා සාමාන්‍යයෙන් රැවටීම් වලට අහුවෙනවා වැඩියි. ඒ වගේම පසුව හොඳ තීරණ නොවන බව පෙනෙන තීරණ ගැනීමත් (ජගත් පතිරණගේ පඩිපෙළේ ආනතිය වැනි).

      Delete
  6. මේ ඔක්කොම ලිපි දාන්නේ මගේ හිත කඩන්නද මන්දා අප්පා.. ගෙයක් හදන වැඩේට අත ගහන්න හැදුවා විතරයි හිටං..

    ReplyDelete
    Replies
    1. අත අරින්න එපා. කමි අත ගහපු වැඩ අතෑරලා නෑනේ.

      Delete
  7. ඇත්ත කතාව මෙහෙමයි: වසරේ අහඹු දින සියයක් තුළ දිනකට රුපියල් එක්දහස් පන්සීය බැගින් ලැබෙන විකල්පයකට වඩා, දින තුන්සිය හැට පහම දිනකට රුපියල් දෙදහසක් බැගින් බලාපොරොත්තු විය හැකි විකල්පයකට ඔවුහු කැමැත්තෝය.

    ReplyDelete
    Replies
    1. ඒ විකල්ප දෙකෙන්නම් දෙවැන්න තෝරාගැනීම ඉතාම පැහැදිලියිනේ. එවැනි තෝරාගැනීම් වලට කවුරුත් කැමතියි.

      Delete
  8. ඉකෝනොමචං .. මං හිතන්නෙ දෙදාහක් හරි කීයක් හරි ගත්තත් ඒ මුදලට සපයන සේවයටත් ඔවුන් අවංක වෙන්න ඕනැ..එහෙම දේකුත් තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන්නේ ඇතැම් දිනවල එනවා කියා පසුව නොපැමිණීම ගැනනම්, මෙය තියෙන තත්ත්වය අනුව සිදුවීමට බොහෝදුරට ඉඩ තිබෙන දෙයයි. ඇතැම් තත්ත්වයන් විසින් මිනිසුන්ට අවංක නොවීමට පොළඹවනවා. (පාසැල් වලට ළමුන් ඇතුළත් කරගැනීම ගැන හිතන්න.) මේ ශ්‍රමිකයින්ගේ සේවා ඉල්ලුමේ ස්වභාවය ගැන සේවය බලාපොරොත්තු වන පිරිස් වලට හොඳ අවබෝධයක් ලැබුණු විට හෝ මිල ප්‍රමාණවත් ලෙස ඉහළ ගිය විට ප්‍රශ්නය විසඳෙයි.

      Delete
  9. ඉකොනෝ බ්‍රදර්, මොනවද මේ සිල්ලර දේවල් ලියන්නේ? ලියන්නකෝ අලුත් මහබැංකු අධිපතිගේ Galleon Group සම්බන්ධතාවය ගැන.

    ReplyDelete
    Replies
    1. මොනවා කියන්නද,
      කබ්රාල් වගේ සිංහල බල්ලෙක් නෙමෙයි එයා වැදගත් දෙමළ මහත්යෙක්. එයාලා හරි හොඳයි. දනගහල වැඳපන්. සුද්දො ගියාට පස්සේ ලංකාවේ නායකත්වය ලැබිය යුතුවුනේ එයාලට. එයාලට ඒක නොලැබීම තමයිි දෙමළ ජනතාවගේ ප්‍රශ්ණය.

      Delete
    2. මේවගේ ජාතිවාදී පෝස්ට් ලියන හොරු කරන්නෙම බොරුවෙන් නොමඟ යවන එක. කුමාරස්වාමි දමිලයෙක් තමයි ඔහු රාජ් රාජරත්නම් ගේ ගැලියන් ෆන්ඩ් එකේ උපදේශකයෙක් හැටියට සිටිය බව ඇත්ත. ඒවගේ ආර්ථික විශේසඥ්ඥයක් කීප දෙනෙක් එහි හිටියා. රාජ් රාජරත්නම් එල් ටී ටී යී සංවිධානයට මුදල් දුන්න කෙනෙක්. එල් ටී ටී යී එකට මුදල් දුන්න කෙනෙක් රටේ ජනාධිපති වෙලත් ඉඳල තියෙනවා. ඒ වුනාට කුමාරස්වාමි එසේ මුදල් දී නැහැ.

      නිවාඩ් කබ්රාල් කියන්නේ හොරෙක්. එමෙන්ම ඔහු මේ මිනිහා කියන විදිහට සිංහල ජාතිකයෙක් නෙමෙයි. ඔහුත් දමිල ජාතිකයෙක්. ඔහු තමයි ජෙගයියා නම් ලෝක හොරා එක්ක එකතුවී ගෝල්ඩ් ක්වෙස්ට් සමාගම හරහා පිරමිඩ් ජවාරම කලේ. විශාල මිනිසුන් සංඛ්‍යාවකට මුදල් නැතිකල, රටට ඩොලර් නැතිකල එම ජවාරම ගැන පරීක්ෂණ නැවතුනේ මහ හොරා මේ හොරාව මහ බැංකුවට දැම්මට පස්සේ.

      අවුරුදු 10 ක් ටෙන්ඩර් නැතුව බැඳුම්කර නිකුත් කර ගසා කෑ කබ්රාල් හොඳ වෙන මුන්ට ටෙන්ඩර් කර එහෙත් එම ප්‍රමාණය ඉක්මවා ගත්ත මහේන්ද්‍රන් වැරදියි. කබ්රාල් බැඳලා ඉන්නේ විශාල දමිල ව්‍යාපාරිකයෙක් වූ ඇල්ෆ්‍රඩ් තම්බියයියා ගේ දුව. තම්බියයියා කියන්නේ ඔවුන්ගේ කාගෝ බෝට් ඩිස්පැච් සමාගම අයිති වී සිට පසුව අද රේණුකා හෝටලය අයිති වී සිටින පවුල. කබ්රාල් ගේ පිරමිඩ් ජවාරම ගැන මෙතනින් කියවන්න.

      Delete
    3. ඉයන් මේවට තමයි හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නේ. ඇයි ඔයා කුමාරස්වාමිගේ Galleon Group සම්බන්දතාවය ගැන කිව්වහම ඔච්චර උඩපනින්නේ? දැන් ඔයා කියන්නෙත් (ප)රාජිත කියන කතාවමනේ. ජරරත්නම් හොරකම්කරා, කුමාරස්වාමි අහිංසකයි; වටේ අය හොරකම්කරා, මහින්ද අහිංසකයි කියලද?

      මේ ඉයන්ගේ නායක රනිල් ගේ ගෝලයා වන අර්ජුන් මහේන්ද්‍රන් විසින් රටට කරනලද බිලියන 1.6 පාඩුව ගැන මෙතනින් කියවන්න!

      Delete
    4. හරි හරි සර් සුනාමි හොරා ජනාධිපති වෙනකම් එක කට්ටියකට මොකක් කරත් වැරදි. බිලියන 1.6 පාඩුව නිසා තමයි යහපාලනයට ආවඩන හැමෝම මහේන්ද්‍රන් නැවත පත් කිරීමට විරුද්ධ වුණේ. ආචාර්‍යය කුමාරස්වාමි වගේ කෙනෙක් පත්වීම ගැන මම නම් බොහොම සතුටුයි.

      ගැලියන් කථාව මෙතෙන්ට ගෙනාවෙ ඔය කමෙන්ට් දාන හොරු ටික තමයි. ගැලියන් ෆන්ඩ් එකෙන් ලංකාවට වෙච්ච හානිය ඔවුන් කොටින්ට සල්ලි දීම පමණයි. ඊට වඩා මේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින්ම කොටින්ට කාපම් දීපු එකෙක්ට ආවඩන්න ඒ සම්බන්ධය ගේන එකේ තියෙන ගොන් කම කියවන අයට තේරෙයි.

      Delete
    5. දැන් බලනකොට ඉයන් ඇතුළු ලක්ෂ 62 'ගොන්නු' චන්දය දීල තියෙන්න මහින්දගේ කලේ කරපු හොරකම් තවක් හොදට කරන්නනේ!

      හොරමට අනුබල දීමත් හොරකම හා සමානම වරදක් කියල දන්නේ නැත්ද? ඉතින් ඔයාගේ රනිල් නායක තුමාත් ඔය බිලියන 1.6 හොරමට සම්බන්දයි. එකනේ බොරු හේතු කියා කියා අර්ජුනව බේරන්න හැදුවේ. ඔයා නොදන්නවට ඔය බිලියන 1.6න් වැඩි හරියක් ගියේ එජාප මැතිවරණ ව්‍යාපාරයට.

      "ඊට වඩා මේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින්ම කොටින්ට කාපම් දීපු එකෙක්ට ආවඩන්න ඒ සම්බන්ධය ගේන එකේ තියෙන ගොන් කම කියවන අයට තේරෙයි."

      මේ කියන්නේ කොටින්ට ආයුධ දීල කොටින්ගේන්ම් කාපු රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාදිපතිතුමා ගැන වෙන්න ඇති?

      Delete
    6. " බිලියන 1.6 පාඩුව නිසා තමයි යහපාලනයට ආවඩන හැමෝම මහේන්ද්‍රන් නැවත පත් කිරීමට විරුද්ධ වුණේ."

      එටකොට ඔයාගේ නායකයා රනිල් යහපාලනයට විරුද්දද?

      "මහ බැංකු අධිපති ඉවත් කරන්න බැහැ - රනිල්"

      Delete
    7. අත්වැඩකරුවන්ගේ හා පෙදරේරුවන් වැනි අයගේ හිඟය මා කතා කළ ලංකාවේ ගොඩක් අය දැවෙන ප්‍රශ්නයක් ලෙස දකින දෙයක්, ඇනෝ.

      Delete
    8. බුදුදහමට අනුව කෙනෙකු දෙමලෙකුවන්නේ උපතින් නොව ක්‍රියාවෙනි. ඒ අනුව අජිත් නිවාඩ්, කුමාර් ගුණරත්නම් වැනි අය සිංහලයන් ලෙස සැලකිය යුතුයි.
      ඉස්ලාමයට අනුවත් අලුතින් ඉස්ලාමයට හැරෙන්නන්ට විශේෂ දීමනා ලැබියයුතුයි. ඒ වගේම අළුත් සිංහලයන්ටත් විශේෂ සැලකිලි ලැබියයුතුයි.
      නලීන් ද සිල්වාගේ වචනකට අනුව ඉන්ද්‍රජිත් මහතා සැලකියයුත්තේ බර්ගර් දෙමලෙක් ලෙසයි.

      Delete
  10. // ඒ වුනාට කුමාරස්වාමි එසේ මුදල් දී නැහැ. //

    ඒ වුනාට කුමාරස්වාමි එසේ මුදල් දුන් බවට සාක්ශි නොමැත ලෙස නිවැරදි විය යුතුය!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඒ වගේම සාරස තුමත් ඉයනුත් එසේ මුදල් දුන් බවට සාක්ශි නොමැත.

      Delete
  11. යහපාලන ආන්ඩුව මොකක් හරි සීරියස් බුලක් කෙලියාම මහින්ද මහත්ත්යාගේ ආන්ඩුව කල කී දෑ පෙන්වාදී මහින්ද මීට වඩා කොලා යැයි පවසා එම බුල තව ඉදිරියටත් කෙලගෙන යෑම ස ර ස තුමා ගේ ඉමහත් පැසසුමට ලක් වෙයි!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. සල්ලි දුන්න කියල සාක්ශි තියෙන කෙනෙක් එහෙම සල්ලි දුන්න කියල කිසිම සාක්ෂි නැති කෙනෙක් ගැන කියන කොටවත් ඒව මතක් කරන එක හරි නැහැ තමයි සාරස තුමා. කියවල බලන්න සර් මුල ඉඳන් කබ් රාල් ට ආවඩන්නෙ කවුඩ කියල. එතකොටත් එයා ගැන කියා එක වැරදියිද? ගැලියන් ගැන කියන්නෙ කුමාරස්වාමිත් කොටින්ට සල්ලි දුන්න කියල අදහසක් දෙන්න. එතකොටත් කොටින්ට ඇත්තටම සල්ලි දුන්න අය ගැන කියන එක වැරදියිද?

      Delete
    2. Galleon Group ගැන කියන්නේ කොටින්ට සල්ලි දීපු එක ගැන වගේම ඇමරිකාවේ මෙතක් "අසුවූ " විශාලතම Insider Trading case සම්බන්ද නිසා.

      කලින් රනිල්ගේ තේරීම වෙච්ච් අර්ජුන් මහේන්ද්‍රන්, මහා බැංකු අධිපති ලෙස තමන්ට පමණක් ලබාගතහැකි රහස් තොරතුරු තම බැනා වන අර්ජුන් ඇලෝසියස් වෙත ලබා දෙමින් ඔහුට විශාල ලාබයක් යුතු ලෙස උපයාගැනීමට ඉඩ සැලසුවා.

      මෙවැනි තත්වයක් යටතේ නව මහබැංකු අදිපතිගේ ව්‍යාපාරික සම්බන්දකම් ප්‍රශ්න කිරීම වරදක්ද?

      Delete
    3. Galleon Group ගැනනම් බාගෙට ලියපු ලිපියකුත් තියෙනවා. කලකට පෙර මා එය ලිවුවේ රාජ් රාජරත්නම් කියන්නේ අභ්‍යන්තර වෙළඳාම ගැන ඉගැන්වීමේදී යොදාගන්නා පාඨ ග්‍රන්ථ උදාහරණයක් (text book case) නිසයි. එම නඩුවේ වෙනත් සුවිශේෂතාත් තියෙනවා. ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ සම්බන්ධය ගැනනම් මම පෙර දැනගෙන හිටියේ නැහැ. දැන්නම් මේ කරුණු ගැන බොහෝ තැන්වල කතාකර අවසන්නේ. හැබැයි සමහර දේශපාලඥයෝ 'කොටින්ට සල්ලි දී හිරේ ගිය රාජරත්නම්' වැනි කතාත් කියනු ඇසුනා.

      Delete
  12. එකොන් දැන් බලන්නකෝ.. දැන් මේ රටවල ඔය පෙදරේරු වැඩ වලට සෙනග නැහැ. ඒවාට නැගෙනහිර යුරෝපිය අය තමා හිටියේ. ඉදිරියේදී ඒ ගොල්ල නැතිවෙනවා මෙහෙ බ්රෙක්සිට් චන්දෙ නිසා. එතකොට ඔය වැඩ වලට ගෙවන ගාන වැඩි වෙනවා . අඩු කරන්න වෙන රටවලින් සෙනග ගේන්න වෙනවා. ඒ කියන්නේ ආසියානු රටවලින්, අප්‍රිකාවෙන් . එතකොට නැවත සන්ක්රමිනක ප්‍රශ්නය එනවා. එතකොට සුද්දෝ ආයේ කියයි යුරෝපේ එවුන් ගේමු කියල. ඕකට හොඳම වැඩේ අත් වැඩකරුවන්ගේ සංගමයක් පිහිටුවල අර ඉයන් කිව්වා වගේ central database එකකට දත්ත දාල අවශ්‍ය තැනට වැඩකරු යවන එක. ඔන්න පටන් ගන්න බිස්නස් එකක්. මෙහෙ තියනවා එහෙම දැන්.

    ReplyDelete
    Replies
    1. 100%ක් එකඟයි. (උඩ කමෙන්ට්ස් තවම කියෙවුවෙ නැහැ.) ඉල්ලුම ගොඩක් විචල්‍ය වුනහම තනි නිෂ්පාදන ඒකක 'පූල් කිරීමෙන්' එයට මුහුණ දීම පහසු වෙනවා. ශ්‍රමිකයන්ටම එකතු වී හෝ වෙනත් ව්‍යවසායකයෙකු මුල් වී මෙය කළ හැකියි. ලංකාවේ මේ කර්මාන්තයේ හා එහි යෙදෙන්නන්ගේ ස්වභාවය අනුව ඔවුන් එකතු වී මෙය කරනවාට වඩා වෙනත් අයෙක් මුල්වී කිරීම ප්‍රායෝගිකව ශක්‍ය විය හැකියි. ලංකාවේ බජට් ටැක්සි සේවයේ ගුණාත්මක භාවය සාපේක්ෂව හොඳයි. මිල අඩුයි. එතැන ක්‍රියාත්මක වෙන්නෙත් මෙවැනි ආකෘතියක්.

      Delete
  13. ගෙයක් හදන වැඩේට අතගහල ඉන්න නිසා මටත් ඔය සම්බන්ධ අත්දැකීම් බොහොමයි. ඇත්තටම වෙලාවකට වැඩ කරන එවුං ටික ගගහ පන්නන්න හිතෙනව.

    ReplyDelete
  14. පොඩි පොඩි කොන්ත්‍රාත් සමඟම් වගේ ඒව බාස්ලම සෙට් වෙලා හදාගන තියනවා දැන්.සයිට් වලින් හම්බුනු හොඳ 'මහත්තයෙක්' ඉන්නවා ප්ලෑන් එක,බිල් එක ගැන බලන්න.වැඩ කරගෙන යන්නෙ ලොකු බාස්.වැඩේ තියෙන්නෙ මෙයාල බඩු පන්නනවා,බාල බඩු දානවා වගේ වඩ කරන නිසා ලඟින් ඉඳන් වැඩේ දන්න කෙනෙක් බලන්න ඕනෙ.ටිකක් ගණං වැඩි උනාට ජනප්‍රිය වෙයි වගේ.
    ජයවේවා..!!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget