Thursday, July 7, 2016

වෙළඳ සම්බාධක වලට එරෙහිව ලංකාව යුද්ධයකට...


පරාක්‍රමබාහු යුගයේදී, ඒ කාලයට සාපේක්ෂව, ලංකාව ආර්ථික, දේශපාලනික හා යුදමය ලෙස බලවත්ව හා ස්ථාවරව පැවති රටකි. මේ යුගය ගැන සැලකිය යුතු විස්තරයක් මහාවංශයෙහි ලියවී තිබේ.

රට එක්සේසත් කර සෞභාග්‍යමත් රටක් බවට පත් කිරීම සඳහා වූ පැරකුම්බාවන්ගේ අධිෂ්ඨානය මෙන්ම සිය රටට අමතරව බුදුසසුන හා රටින් පිටත ලෝකය ගැන ඔහුගේ පැවති අපේක්ෂාවන්ද මහා වංශයේ හැටනවවන පරිච්ඡේදය ආරම්භයේ මෙසේ ලියැවී තිබේ.

"එකල්හි පැරකුම්බා රජතෙම මෙසේ සිය රජය නිරවුල් කොට තබා කටයුතු මෙසේ සිතී."

"මෙකල්හි මම වහාම ලංකාව එක්සේසත් කොට සස්නද ලොවද සෘජු කොට තබන්නෙම්නම් යෙහෙකි."


මේ දේශපාලනික අරමුණ වියදම් අධික කටයුත්තකි. පැරකුම්බාවෝ ඒ වියදම් අධික කටයුත්තට අත ගසති.

"මෙසේ සිතා සාමන්තයන් හා මාණඩලීකයන්ට සේනාවද, යුද පිණිස උපකරණද සපයනු පිණිස උපදෙස් දෙමින් ක්ෂත්‍රිය තෙමේ පළමු කොට රත්කුරවක නම් රට දෙමළ සෙනඟට අධිපති වූ මලය රට නැමැත්තා කැඳවා නොයෙක් බලද හසුන්ද ඔවුන්ට සන්නාහයන් හා අවිද සපයා එහි වසන පිණිස යැවී. තඹ රටද, ගිරිබා පටද, මොණර වැවද, මීපල් නම් රටද, බුත්ගමු නම් රටද අළ වන නම් රටද, බෝගම්බරනම් රටද, කටුපේකට නම් රටද පසල් දනව් රක්නා ඇමතියන් වෙන් වෙන් වශයෙන් කැඳවා නොයෙක් දහස් ගණන් යෝධයින් හා කොටුද, සන්නාහයන් ද, කඩු තෝමර හෙල්ල ආදී නොයෙක් ඇවිද සපයා ඒ ඒ තන්හිම වසන පිණිස යැවී."

යුද උපකරණ වලට මෙන්ම දේශීය හා විදේශීය සෙබළුන් බඳවා ගනිමින් හමුදා ශක්තිය තර කිරීමටද පැරකුම්බා රජය මුදල් වැය කරයි.

"මහත් සිරුරු හා මහ බලැතියන් නොයෙක් දහස් ගණන් මුගුරු ගන්නා යෝධයන් කොට යුද්ධෝපකරණ ද දින. අන්‍ය දේශවාසී වූ කේරළාදී කෘතහස්ත යෝධයන් සම්බන්ධී වූ බොහෝ දහස් ගණන් ද සෑදී."

මෙසේ යුද වියදම් වැඩි වෙද්දී, පරිපාලනයද පුළුල් වී පැරකුම්බාවන්ගේ රජය ප්‍රසාරණය වෙයි. සිය පරිපාලන නිලධාරීන්ගේ විදෙස් භාෂා දැනුම ඇතුළු මානව ප්‍රාග්ධනය එකතු කිරීම ගැනද ගැනද පැරකුම්බාවෝ සැලකිලිමත් වෙති.

"ඇත් අස් කඩු ශිල්පයෙහිද අන්‍ය දේශ  භාෂායෙහිද නැටීම් ගීයෙහිද දක්ෂව රාජ කාර්යයෙහි නුවණැතිව වැඩෙත්වයි නොයෙක් කුලවතුන්ගේ පුත් සොහොවුරු මුණුබුරන් එකල අධිපති තෙමේ සිය මැදුරෙහි වැඩුවේය." මෙසේ සිය පරිපාලන නිලධාරීන් පුහුණු කරන අතරම ඔවුන් යටතේ සේවය කිරීම සඳහා තවත් දහස් ගණනක් රාජ්‍ය සේවකයෝ බඳවා ගැනෙති.


මෙසේ රජයේ යුද හා පරිපාලන වියදම් පුළුල් වෙද්දී පැරකුම්බා රජයේ අයවැය හිඟය ඉහළ ගොස් රාජ්‍ය භාණ්ඩාගාරය හිස්වන්නට පටන් ගනී. කෙසේවුවද, පැරකුම්බා රජය අයවැය හිඟය පියවා ගැනීම සඳහා පහසුම ක්‍රමය වන බදු වැඩි කිරීම වෙනුවට වෙනත් විකල්පයක් ගැන සිතයි.

"පිය රජහුගේ භාණ්ඩාගාරාධිකාරින්ගෙන් ධන ප්‍රමාණ දැන මා විසින් මෙපමණ ධනයෙන් ලංකා තොමෝ එක්සත් කරන්ට නොහැක්කීයයි නිශ්චය කොට ජන සමූහයා නොපෙළ මෙසේ ධනය රැස් කළේයි."



සිය පරිපාලනය විධිමත් කරමින් පැරකුම්බාවෝ පළමුව මුදල් හා ආරක්ෂක ඇමති වරුන්ද ඉන්පසුව වෙනත් ඇමති වරුන්ද පත් කරති. මේ අතර සිය ආර්ථික උපාය මාර්ගය අනුව විදෙස් වෙළඳාම පුළුල් කර රජයේ ආදායම වැඩි කර ගැනීමේ අරමුණෙන් "අන්තරංග" නම් ධුරයක් ඇති කර එම ධුරයට ඇමති වරයෙකු පත් කරයි. රටේ ආර්ථික වැදගත් කමක් ඇති ප්‍රදේශ මේ ඇමතිවරයාගේ සෘජු පාලනයට යටත් කෙරේ.

"මුහුදු තෙර රටින්ද, රුවන් ආකාර රටින්ද, මහ මලය රටින් ද, ඉන් අවශේෂ රටින්දැයි ඒ මිහිපල් තෙමේ සියල් සාර තැන් වෙන් කොට අන්තරංග ධුරයයැයි නම් කොට ඇමතියෙක් කෙරෙහි තැබී. හේ තෙමේ බොහෝ රුවන් නැව් වලින් යවා වෙළඳාම් කරවා ධන රාශියද වැඩී."


පැරකුම්බාවන්ගේ මේ ආර්ථික උපාය මාර්ගය සාර්ථක වෙයි. ලංකාව පෙර අපරදිග වෙළඳාම සිදුවන වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත් වේ. නොයෙක් රටවලින් ආනයනය කෙරෙන වෙළඳ භාණ්ඩ වෙනත් රටවලට ප්‍රති අපනයනය කෙරේ.

ලංකාවේ අලි ඇතුන් වෙළඳාම මේ වන විට සියවස් ගණනක් පැරණි වෙළඳාමකි. රට තුළ අලි ඇතුන්ගේ හිඟයක් නැත. එහෙත්, වල් අලියෙකු අල්ලා හීලෑ කර වෙළඳ භාණ්ඩයක් ලෙස සකස් කිරීමට කාලයක් ගත වෙයි. එහි ආවස්ථික පිරිවැයද සැලකිය යුතු මට්ටමක පවතී. අරමණ දේශයේ (මියන්මාරයේ) හීලෑ අලි අඩු මිලකට විකිණේ. ඒ නිසා, අරමණ රටින් අලි ඇතුන් ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීම හොඳ ව්‍යාපාරික අවස්ථාවකි. අරමණ දේශය සමඟ ඇති දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික හා සංස්කෘතික සම්බන්ධතා නිසා මේ කටයුත්ත වඩාත් පහසුය. කෙසේවුවද, ප්‍රවාහන වියදම් වෙන් කිරීමෙන් පසු ලාභයක් ලැබීමටනම් මියන්මාරයෙන් මේ අලි ඇතුන් අඩු මිලකට ලබා ගැනීමට හැකි විය යුතුය.

ලංකාව විසින් මියන්මාරයෙන් අලි ඇතුන් ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීම කලක් සාර්ථක ලෙස සිදුවේ. එහෙත්, කල් ගතවෙද්දී ලංකාවේ ස්ථානගත කර සිටි සිය චර පුරුෂයකු ලබාදෙන තොරතුරු අනුව සිය අලි ඇතුන් කුණු කොල්ලයට විකිණෙන බවත්, ඔවුන් ප්‍රති අපනයනය කිරීමෙන් ලංකාව විශාල ලාභයක් ලබන බවත් මියන්මාර රජ තුමා දැනගනී. ඒ අනුව, ඔහු ලංකාවට වෙළඳ සම්බාධක පනවයි. ඉන් පසුව සිදු වූ දේ මහාවංශයේ හැත්තෑ හය වන පරිච්ඡේදයේ විස්තර වේ.



"...ඒ රජ තෙමේ මේ ලක්දිවින් ගිය කණෙහි කොඳුරන්නා වූ කිසි දූත කෙනෙකුන්ගේ බස් අසමින් තමන් වෙත ගිය ලංකේශ්වරයානන්ගේ දූතයන්ට පුරාණ සිරිත් වූ දෙනු ලබන්නා වූ වැටුප් පිරිහෙලී. බැහැර නොයෙක් තැන නොයෙක් දෙනා විසින් විකුණනු ලබන්නා වූ "ඇත්තු නොවිකිණිය යුත්තාහ ය" සම්මතයකුදු කරවී. යම් ඇත් කෙනෙකු වනාහී පූර්වයෙහි රිදී සියයට හෝ වැලි දහසට හෝ එහි පූර්වයෙහි විකුණනු ලබන්නෝ  "සහශ්‍රද්වයට හෝ සහශ්‍රත්‍රයට හෝ වික්ක යුත්තාහ" යි මෙසේ දුෂ්ට අදහස් ඇත්තා වූ හේ තෙමේ ගණන් සීමා තැබ්බ වී."

අරමණ රජු විසින් ක්ෂණිකව මෙවැනි විශාල මිල වැඩි කිරීමක් සිදු කළ විට නිදහස් වෙළඳාමෙහි වාසිය ලබමින් සිටි ලංකාව ලොකු අමාරුවක වැටෙන බව කිව යුතු නැත. ආර්ථික ශක්තිය ඇති රජයක එම ආර්ථික ශක්තිය දුර්වල කෙරෙන බාහිර ක්‍රියාවක් සිදු වූ විට එවැනි රජයක් යුදමය ක්‍රියාමාර්ග වෙත එළැඹීම අද මෙන්ම එදාත් සිදු වූ දෙයකි. ඒ අනුව, මහ පැරකුම්බාවෝද අරමණ දේශය ආක්‍රමණය කිරීමට තීරණය කරති.

ලංකා ඉතිහාසයේ, ලංකාව විසින් දකුණු ඉන්දියාවෙන් පිටත රටක් ආක්‍රමණය කළ එකම අවස්ථාව ලෙස සැලකිය හැකි පැරකුම්බාවන්ගේ මේ අරමණ ආක්‍රමණය ගැන ඊළඟ කොටසින් කතා කරමු.



උපුටා ගැනීම් සියල්ල හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් හා බටුවන්තුඩාවේ පඬිතුමන් විසින් සකස් කරන ලද, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ප්‍රකාශිත මහාවංශ සිංහල පිටපතෙනි.


(Image: www.delcampe.net)

32 comments:

  1. ලංකාවේ ලියවුණු පොත්වල නම් විදෙස් ආක්‍රමණයට ගිය ලාංකීය හමුදා පෙති ගැසූ හැටි ලියවී තිබෙනු හොයා ගන්න බැරි වේවි

    ReplyDelete
    Replies
    1. තමුන් තමුන්ගේ බ්ලොග් එකේ තම්මැට්ටම ගහනවා වගේ තමයි!

      Delete
    2. එසේ කිරීම වීර ක්‍රියාවක් ලෙස සැලකුණු යුග වලදී ලියැවී තිබෙනවා.

      Delete
  2. ඔය පැපොල් බෑය තියාගෙන ඉන්නේ පැරකුම්බා නෙවේ පුලස්ති ඍෂිවරයාය කියනවා නේද?

    ReplyDelete
    Replies
    1. පුලස්ති කියන්නේ රාමායනයට සම්බන්ධ කෙනෙක් නේද? එහෙනම් ඒ සෙනරත් පරණවිතානගේ දවල් හීනයක් වියයුතුයි.

      Delete
    2. පුලස්ති වගේම අගස්ත්‍ය සෘෂි වරයාගේ බවටත් අදහස් පළ වී තිබෙනවා.

      Delete
  3. මාහාචාරිය කපිල ගුණසේකර නම් කිව්වේ පරාක්‍ර‍භාහු රජතුමාගේ යෝධ සංවර්ධන වැඩ වලට බදුගෙවලම(රාජකාරි ශ්‍ර‍මය සහ ධාන්‍ය)හෙම්බත්වුනු ග්‍රාමීය ජනතාව සන්තකේ තිබ්බ දේවල් පොදිබැඳගෙන රෑ හඳපානේ කැලෑ මැද්දෙන් වි දේශවලට පාද චාරිකාවල යෙදුනය කියලා.

    ReplyDelete
    Replies
    1. ඇතැම් විට එය එසේ වෙන්න ඇති. බොහෝ විට බදු අය කිරීමට ඇති විකල්ප ගැන පාලකයෙකු හිතන්න පෙළඹෙන්නේ තව දුරටත් බදු වැඩි කිරීම ප්‍රශ්නකාරී වූ විටයි.

      Delete
  4. // මාහාචාරිය කපිල ගුණසේකර නම් කිව්වේ//

    සරසවිගම තියෙනවා කපිල ගුනසේකර ගේ කාලේ විස්ස විජ්ජාලේ දනය සහ ස්‍රමය සන්ක්‍රමනය වෙලා හැදුනු බන්ගලාවක් හිටන්!

    ReplyDelete
    Replies
    1. ඕක හදන කොට ආව ප්‍රයෝගික ගැටළුත් ලෙච්චර් කන්ටෙන්ට් එකේම තිබුනා, මනුසයයට හොඳ අයිඩයාස් තිබ්බා රෑ දහය දොලහ වෙනකත් ඇරල තියන බියර් පොට් එකක් දෙකක් හේම දාන්න, කොහෙද ඔහෙල කිසි සහයෝගයක් දුන්නෑනේ.

      Delete
    2. Prof. Kapila Gunasekara ge parama hathurek wunemi

      Delete
    3. මා ඔහු ගැන වැඩි විස්තරයක් දන්නේ නැහැ.

      Delete
  5. අරමණය දන්නෑ අපේ හැටි.. හෙහ්...ඕන් බලහල්ලා ගිහින් ගහන්නෙ නිකන් සූර පප්පා රෝමන්කාරයන්ට ගැහුවා වගේ...

    ReplyDelete
  6. අපි එදා ඉඳන්ම වලිබර ජාතියක්නේ හිටං.

    ReplyDelete
    Replies
    1. ඉතිහාස තොරතුරු අනුව වෙනත් ජන කණ්ඩායම් වලට වඩා යුද්ධ වලට පැටලීමේ විශේෂ නැඹුරුවක් හෝ එසේ නොකිරීමේ නැඹුරුවක් විශේෂයන් පෙනෙන්නේ නැහැ.

      Delete
  7. අහෝ! එවන් රටකට අද වනවිට අත්පත්ව ඇති මහත් කණගාටුදායක ඉරණම..

    ReplyDelete
  8. ඉදින් එසේ අරමණ රටට ගොස් රමණය ඉගැන්වූවෝ කවරහු දැයි මීලඟ කථාංගයෙන් නරඹනු යෙහෙකි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අරමණය ගැනුමට යන සෙබළුන්ගේ රමණය ගැනත් පැරකුම්බා රජු හිතන්නට ඇති බවට සාධක මහා වංශයේම තියෙනවා.

      Delete
  9. පෙරපර ගලපා මේ කියන්නේ වැට් බදු අය නොකර පිටරට වෙලන්දම් කරන්නට කියා නොවේද? :)

    ReplyDelete
    Replies
    1. මේ අවස්ථාවේ ආර්ථිකය පවතින තත්ත්වය අනුව වැට් වැඩි කිරීම ගැන මගේ ප්‍රතිරෝධයක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ දිගුකාලීනව අවුලෙන් ගැලවෙන විදිහක් හරියටම නොපෙනීමයි.

      Delete
  10. රජතුමාට කරන්න තිබුනේ, මියන්මාර් අලි ගෙනල්ලා, අලි ඇතුන් බිහිකිරීමේ මධ්‍යස්ථානයක් මෙහෙ දාගන්න.

    ReplyDelete
    Replies
    1. එවැනි දෙයක් කළ බවට තොරතුරක් මට හමු වෙලාම නැහැ.

      Delete
  11. මෙන්න මේ විදිහට අපේ ඉස්කෝලවල ඉතිහාසය රසවත්ව ඉගෙන ගන්න ළමුන්ට ඉඩ දෙනවානම්......!

    ReplyDelete
  12. "තෙල වරායට ගොස් එය නගා සිටුවා රාජ්‍ය භාණ්ඩාගාරය තර කරනු යෙහෙකි." "තෙල කිව්වෙ සවුදියේ වරායක් වත්ද, එහෙනේ තෙල් තියෙන්නෙ" " නැත නැත, තෙල වරාය යයි අදහස් කලේ මේ වරාය යන්නයි. මේ වරාය කියන්නෙ හම්බන්තොට වරායට" "ආ හැබෑට, එකත් ඇත්ත, ඒක හැදුවෙ තෙල වැඩි වෙලා නේන්නං"

    ReplyDelete
    Replies
    1. පාලකයන් විසින් තෙල වැඩි වී කළ බොහෝ දේ ඉතිහාසයේ සටහන් වී තිබෙනවා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget