වෙබ් ලිපිනය:

Wednesday, June 29, 2016

අලින්ට කිරි අපිට කැකිරි...


පසුගිය සතියේ අපි උඩවලව ඇත් අතුරු සෙවණේ  'අලි පැටවුන්ට කිරි පොවනු බලන්නට' ගියෙමු. ලංකාවේ අලි ගැනත්, ලංකාවේ අලි දඩයම් ගැනත්, ලංකාවේ අලි වෙළඳාම ගැනත්, අලි පැටවුන්ට මිනිසුන්ගෙන් කිරි බීමට සිදු වී තිබීම ගැනත් මෙන්ම  සද්දන්ත හස්ති රාජයින් මෙන් පෙනී සිටි අය කිරි බොන අලි බබාලා වී සිටීම ගැනත් කියන්නට බොහෝ දේ ඇතත් මේ ලිපිය ඒ එකක්වත් ගැන නොවේ.

මේ ලිපිය උඩවලව ඇත් අතුරු සෙවණේ අලි පැටවුන්ට කිරි පොවනු පෙන්වීමේ සේවාව හා ඒ වෙනුවෙන් අය කරන මිල ගැන සරල සටහනකි. මේ හුදෙකලා වෙළඳපොළ ගැන කතා කරන්නේ ලංකාවේ වෙනත් බොහෝ වෙළඳපොළ වල ඉල්ලුම හා සැපයුම සමතුලිත වන ආකාරයද මෙහි එය සිදුවන ආකාරයට සමාන බැවිනි.

වසර දහයකට පමණ පෙර උඩවලව ජාතික වනෝද්‍යානය නරඹන්නට යනවිට මේ කිරි පෙවීමේ කටයුත්ත නැරඹීමට මුදලක් අය කළ බවක් මතකයේ නැත. එහෙත්, දැන් ඒ සඳහා දේශීය වැඩිහිටියෙකුගෙන් රුපියල් විස්සක මුදලක් හා දරුවෙකුගෙන් රුපියල් දහයක මුදලක් අය කෙරේ. මේ මුදල් අයකිරීමෙහි කිසිදු වරදක් නැත. ජාතික වනෝද්‍යාන නඩත්තු කිරීමේ පිරිවැය බදු මඟින් පොදුවේ මහජනතාවගෙන් අයකරගන්නවාට වඩා ඒවා නරඹන්නට පැමිණෙන අයගෙන් අය කර ගැනීම සාධාරණය. එවිට එම පිරිවැය දරන්නේ රජය විසින් මෙවැනි තැන් නඩත්තු කිරීම හේතුවෙන් සතුටක් ලබන අය පමණක් බැවිනි. එයට අමතරව මිලක් නියම කිරීම මඟින් ඉල්ලුම කළමනාකරණය කිරීමේ හැකියාවද උද්‍යාන පාලකයින්ට ලැබේ.

දේශීය නරඹන්නන්ගෙන් එවැනි මිලක් අය කළද විදේශිකයින්ගෙන් අය කරන මුදල ඊට වඩා බොහෝ වැඩිය. මේ ස්ථානයේදී එසේ අය කරන මුදල මට හරියටම මතක නැතත් එම මුදල 37.5 ගුණයකින් පමණ වැඩි යැයි සිතමි. පසුගිය දිනවල අප නැරඹු කෞතුකාගාර, වනෝද්‍යාන වැනි බොහෝ තැන්වල දේශීය හා විදේශීය ප්‍රවේශපත්‍ර ගාස්තු අතර අනුපාතය බොහෝ විට රුපියල් 4කට ඩොලරයක් විය. මේ අනුපාතය වැඩි විය හැකි වුවත්, විදේශීය නරඹන්නන්ගෙන් වැඩි මිලක් අය කිරීම මම වරදක් ලෙස නොදකිමි.

එයට හේතුව බටහිර රටවල මෙවැනි තැනක් නැරඹීමට ගෙවිය මිල ඩොලර් පහළොවක් විස්සක්වත් වීම හෝ විදේශික සංචාරකයින්ට ගෙවන්නට ඇති තරම් සල්ලි තිබීම නොවේ. පළමු තර්කය බටහිර රටවලින් පැමිණෙන සංචාරකයින්ට අදාළ වුවත් ඉන්දියාව වැනි රටවලින් පැමිණෙන්නට අදාළද නැත.

ලංකාවේ කෞතුකාගාර, වනෝද්‍යාන වැනි තැන් බොහොමයක්ම නඩත්තු කරන්නේ රජය විසිනි. එය බොහෝ විට ලාභ ලබන කාර්යයක් නොවන බැවින් ආදායම් හා වියදම් අතර පරතරය පියවෙන්නේ මහජන මුදලිනි. බදු ගෙවීම් හරහා රටේ ජනතාව මේ පරතරය පියවන බැවින් ඔවුහු එවැනි තැනක් නරඹන්නට පැමිණෙන්නට පෙරම එහි නඩත්තු වියදමින් කොටසක් ගෙවා අවසන්ය. විදේශික නරඹන්නන් එවැනි දායකත්වයක් දක්වා නැත. ඒ නිසා වඩා සාධාරණ වන්නේ මෙවැනි මිල වෙනසක් තිබීමයි. වඩාත්ම සාධාරණ වන්නේ දේශීය හා විදේශීය නරඹන්නන්ගෙන් අය කරන මුදලින් පිරිවැය හැකිතාක් කලමනාකරණය කරගෙන බදු මුදල් යෙදවීම තවදුරටත් අඩු කිරීමයි. මේ සඳහා, දේශීය නරඹන්නන්ගෙන් අයකරන ප්‍රවේශ ගාස්තුද යම් තරමකින් ඉහළ දමන්නට සිදු විය හැකිය.

කෙසේ වුවද, බටහිර රටකදී මෙවැනි තැනක් නැරඹීමට වැඩි මිලක් අය කළත් සාමාන්‍යයෙන් ගෙවන මිලට සැලකිය යුතු යමක් ලැබෙන බව මගේ අත්දැකීමයි. කිසියම් සේවාවක් සඳහා මුදල් අය කරන්නේනම් එම මුදලට සරිලන සේවයක් සැපයීම සේවා සපයන්නෙකුගේ යුතුකමකි.

මුදල් ගෙවා අලින්ට කිරි පොවනු බලන්නට අප ගියද කිරි තබා අලි බැලීම හිතූ තරම් පහසු නොවීය. අතුරු සිදුරු නැතිව පිරී සිටි සෙනඟ අතර අලියෙකුගේ හොඬවැලක්වත් නොපෙනේ. මම මගේ බාල දරුවා කරට ගත්තෙමි. දැන් මට අලි නොපෙනුනත් ඔහුට පෙනේ. එහෙත්, වඩා නොඋස් මගේ බිරිඳට හෝ වැඩිමල් දරුවාට කිසිවක් නොපෙනේ.

"මොන කෙහෙම්මලක්ද සල්ලි ආපහු ඉල්ලගන්න ඕනෑ!" මගේ බිරිඳට මළ පැනලාය. ඇය මගේ වැඩිමල් දරුවාද රැගෙන ආපසු යන්නට සැරසුණේය.

රුපියල් විස්සක් යනු විශාල මුදලක් නොවේ. ඒ මුදලට වායු සමීකරණය කළ කුටියක සුව පහසු අසුනක දිගාවී අලි බලන්නට නොහැකිය. එහෙත්, ලැබෙන මොනවා හෝ දෙයක් තිබිය යුතුය. අප ප්‍රවේශපත් මිල දී ගත්තේ කිසියම් සේවාවක් අපේක්ෂාවෙනි.

අප නැරඹු කෞතුකාගාර කිහිපයක්ම සෙනඟ නැතිව පාළුවට ගොස් තිබුණත් මෙහි පැවතියේ එහි ප්‍රතිවිරුද්ධ තත්ත්වයයි. සැපයුමට වඩා ඉල්ලුම බොහෝ වැඩිය. ආර්ථික විද්‍යා න්‍යාය අනුව එය එසේ වන්නේ මිල 'නියම මිලට' වඩා අඩු වූ විටය. මෙසේ මිල නියම මිලට වඩා අඩුවෙන් නියම කර ඇති බැවින් නරඹන්නෙකුට සේවාව ලබාගැනීම සඳහා තවත් අමතර මිලක් ගෙවන්නට සිදු වේ.

ඉහත කී අමතර මිල ගෙවිය හැකි ක්‍රම දෙකකි. පළමුවැන්න, සෑහෙන වෙලාවකට පෙර පැමිණ තැනක් අල්ලා ගැනීමයි. එවිට, ගෙවන්නට සිදුවන අමතර පිරිවැය මේ නාස්ති වන කාලයේ ආවස්ථික පිරිවැයයි. එදින අපේ වැඩසටහනට උඩවලව වනෝද්‍යානය, සංඛපාල රජමහා විහාරය, සීනි කර්මාන්ත ශාලාව හා ඉස්කාගාරය ඇතුළු තැන් කිහිපයක්ම ඇතුළත්ව තිබූ බැවින් අපට මේ කාලයේ ආවස්ථික පිරිවැය ඉතා විශාල විය. දෙවන ක්‍රමය වූයේ බාහු බලය ප්‍රයෝජනයට ගනිමින් බලු පොරයට වැටී සෙනඟ තෙරපාගෙන ඉදිරියට රිංගීමයි. අපට හා අපේ දරුවන්ට මේ දෙවැනි ක්‍රමයද නුහුරුය.

අප පත් වූ තත්ත්වයට පත්ව සිටි, වැඩි මිල ගෙවා පැමිණි විදේශීය නරඹන්නන්ද කිහිප දෙනෙකුම අපි දුටුවෙමු.


කෙසේ වුවද, නරඹන්නන් අතර සිටි එක් පරාර්ථකාමී මිනිසෙකු නිසා අපේ ප්‍රශ්නය යම් තරමකින් විසඳුණේය. සෙනඟ අතරින් කෙසේ හෝ ඉදිරියට රිංගා යාමේ ප්‍රවීණතාවය තිබුණු අනෙකුත් දරුවන් අතර දුර්වලයෙකු ලෙස කැපී පෙනුණු, පැත්තකට වී බලාපොරොත්තු කඩ කරගෙන සිටි මගේ වැඩිමල් දරුවාව බලෙන්ම වාගේ ඔසවාගෙන අලි පෙන්වන්නට අයෙකු ඉදිරිපත් විය. ඔහු එසේ කළේ ඔහුගේ එක් අතෙක තවත් දරුවෙකුද සිටියදීය.

මේ නොදන්නා පුද්ගලයා විසින් කළේ පහසු වැඩක් නොවේ. මගේ වැඩිමල් දරුවා කුඩා දරුවෙකු නොවේ. මා වසර ගණනකින් ඔහුව මෙසේ ඔසොවාගෙන නැත. මගේ ඇවිටිලි වලින් පසු ඔහු දරුවා බිම තැබුවේ දරුවාට අලින්ට කිරි පොවන හැටි යාන්තමින් වුවත්, ප්‍රමාණවත් තරමට බලා ගන්නට ඉඩ සැලැස්වීමෙන් පසුවය. ඉන්පසුව ඉදිරිපත් වූ ඔහුගේ බිරිඳ "මේ ළමයෙක් ඉන්නවා. පොඩ්ඩක් ඉඩ දෙන්න!" යැයි කියමින් ඔහුට ඉදිරියට යන්නට ඉඩකඩ සකස්කර දුන්නේය. අප පසුගිය දිනවල ආගිය තැන් වලදී තවත් මෙවැනි පරාර්ථකාමී මිනිසුන් අපට හමු වූ බව කිව යුතුය.

මිල නිසි පරිදි ඉහළ නැංවීම මඟින් මෙවැනි තැනක ඉල්ලුම හා සැපයුම පහසුවෙන් කලමණාකරණය කළ හැකි අතර එමඟින් ආදායම වැඩි කරගෙන මහජනතාව මත පැටවෙන බදුබර මඳකින් හෝ අඩු කිරීමටත්, මිල ගෙවා
නරඹන්නෙකුට ගෙවන මිලට වටිනා සේවයක් ලබාදීමටත් පුළුවන.

එවැනි වැඩි මිලක් අඩු ආදායම්ලාභියෙකුට දරා ගැනීමට අපහසු වේයැයි යමෙකුට කියන්නට පුළුවන. ඒ සඳහාද පහසු විසඳුම් තිබේ. අවශ්‍යනම් අඩු ආදායම්ලාභීන්ට නොමිලේම මෙවැනි තැන් නැරඹීම සඳහා කිසියම් ප්‍රවේශපත්‍ර සංඛ්‍යාවක් වෙන් කරන්නට පුළුවන. එමෙන්ම, කාලයේ ආවස්ථික පිරිවැය ගෙවා මුලින් එන අයට අඩු මිලකටත් අවසන් මොහොතේ එන අයට වැඩි මිලකටත් ප්‍රවේශපත්‍ර විකුණන්නටද පුළුවන. ඇතැම් විට මේ ඉල්ලුම සැමදා එක ලෙස නොපවතිනවා විය හැකිය. එසේනම්, සතිඅන්තයේදී ප්‍රවේශපත්‍ර මිල සතියේ දිනවල මිලට වඩා වැඩි කිරීම වැනි ක්‍රමයක් විසඳුමක් ලෙස යොදාගත හැකිය. මේ සියල්ල ක්ෂණිකව වුවද ක්‍රියාත්මක කළ හැකි දේවල්ය. තරමක් කල් ගතවන කාර්යයක් ලෙස ඇත් අතුරු සෙවණ නරඹන පීඨිකාව ක්‍රමයෙන් උස්වන පඩිපෙළක් ලෙස සෑදීමෙන් වැඩි පිරිසකට එකවර නරඹන්නට ඉඩ සැලැස්විය හැකිය.

අලින්ට කිරි පෙවීම ගැන කතා කළද, ලංකාවේ බොහෝ සේවාවන් සම්බන්ධ තත්ත්වය මෙයයි. නියම මිලට වඩා අඩුමිලට සැපයෙන බොහෝ සේවාවන් ලබා ගැනීමට වක්‍ර ලෙස අමතර මිලක් ගෙවන්නට එවැනි සේවාවන් ලබා ගන්නා බොහෝ දෙනෙකුට සිදුවේ. මේ නිසා ඇති වන ආතතියෙන් කොටසක් අතරින් පතර සිටින පරාර්ථකාමී මිනිසුන් නිසා සමනය වේ. බොහෝ දෙනෙකු එවැනි හොඳ මිනිසුන් වූ දිනෙක ලෝකය වඩා යහපත් වනු ඇතත්, එය එසේ සිදුවන්නට පෙරම මිල නිවැරදි කිරීම් මඟින් පමණක් වුවද බොහෝ අවුල් ලිහන්නට පුළුවන. 


(Image: www.sundaytimes.lk

31 comments:

  1. සමහර පැටව් ආයිත් හොරෙන් පෝලිමට එක්වෙන්න තැත්කරනවා.
    There's nothing cuter than a playful elephant calf.

    ReplyDelete
    Replies
    1. මෙය අපිත් නිරීක්ෂණය කළා. So cute!

      Delete
    2. මමත් දක්කා. හොර දඟයෝ .ඒ නැත ආදරයක් හිතෙනවා.

      Delete
  2. Replies
    1. අලින්ගෙන් ඉගෙනගත යුතු පාඩම් වගේම අලි විසින් ඉගෙන ගත යුතු පාඩමුත් තියෙනවා. :)

      Delete
  3. බාහු බලය පෙන්වා පෝලිම් පැනීම දකුණු ආසියාවටම ආවේනික තත්වයක්.වැඩේ කියන්නෙ මේ අපිම දියුණු සිස්ටම් එකක් තියෙන රටකට ගියාම අගේට පිළිවෙලකට පෝලිමේ යනව.

    ReplyDelete
    Replies
    1. මේ තනි දෙය පුරුදු වෙන්න පුළුවන්නම් එය ලොකු දෙයක්. නිතරම එකම පිරිසක් පෝලිමට එන සරසවි (ඕනෑනම් ඒ නවක වදය නිසා කියමුකෝ!), සේවා ස්ථාන, කාර්යාලයීය බස් රථ ආදී තැන් වල පෝලිම් පැනීම සිදුවන්නේ නැහැ. ඒත්, පෝලිමේ ඉන්නේ දන්නා හඳුනන අය නොවූ විට තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්.

      Delete
  4. අලින්ට කිරි පෙවීමේ විපාක විඳින්න වෙන බව දැන් දැන් පෙනෙනවා.

    ReplyDelete
  5. ඉන්දියානුවන්ගෙන් අඩු මුදලක් අය කිරීමේ කිසිදු සාධාරණයක් නැත. ටජ් මහල් නරඹන්න ඉන්දියානු ජාතිකයෙකුගෙන් අයකරන්නේ ඉන්දියන් රුපියල් 20කි. හැබැයි අපි ඉන්දියන් රුපියල් 720ක් ගෙවන්න ඕනෑ. ඒකට පහසුකම හැටියට ටජ්මහල් මන්දිරයට පිවිසීමේ අවසර සමග ලැබෙන්නේ වතුර ලීටර් 1/2 බෝතලයක් සහ සපත්තු තියෙන පැ පතුල වසා ගැනීමට පොලිතින් ආවරණයක් පමණයි.

    ReplyDelete
    Replies
    1. වෙනස් ලෙස මිල අය කිරීමේ වරදක් නැත්තේ මා ලිපියේ කී හේතුව නිසා. මමනම් ඉන්දියාවේ බොහෝ තැන් වලට ලෝකල් රේට් එකට ගිහින් තියෙනවා. හමේ පාට වෙනස් නැති නිසාත්, ඉන්දියාවේ භාෂා ගණනක් කතා කරන නිසාත් ඔවුන්ට වෙනස හොයා ගන්න අමාරුයි. ලංකාවේදී ඉන්දියානුවනුත් සමහර විට මෙය කරනවා ඇති.

      Delete
  6. අලි කතාවක් නිසා... අපේ ෆීල්ඩ් එකේ එකෙකුට උන කතාවක් කියන්නම්...

    ඔය ඉන්දියන් සෙට් එකක් සෙට් උනාලු හබරණදි අලියගේ පිටේ යන්න. ඉතින් අලි සෆාරි යන තැනට ගිහිල්ලා ඇහුවලු... හව් මච් ඩියර් බ්‍රදර්... කියලා.. අරු කිව්වලූ ටුවෙන්ට් ෆයිෆ් ෆෝ වන් වන් පර්සන් කියලා.. අරෙ යාර්.. වෙරි වෙරි චීප් මයි ෆ්‍රෙන්ඩ්.. කියලා රුපියල් සීයක් දුන්නලු හතර දෙනාට... අලියා අයිති එකා හිනාවෙලා කිව්වලු නොට් 25 රුපීස්.. 25 ඩොලර්ස්.. කියලා.. අරූ අලියා අයිති එකාට කිව්වලු..

    මයි ඩියර් බ්‍රදර්.. වී ආ නොට් හියර් ටු බයිද එලිපෙන්ට්.. වී ආ හියර් ටු රයිඩ් ද එලිපෙන්ට්.. කියලා..

    එහේ ගන්නේ එකාගෙන් රුපියල් සීයලූ...

    මේකේ "ර්" අකුර බර කරලා ඇදලා කියවගන්න... එහෙම තමයි ඉන්දියන්ස්ලා කතා කොරන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔන්න එක කැලේක සිංහයක් රජකම් කරගෙන හිටියලු. අල්ලපු රටේ ඉන්දියන්කාරයොන්ට මේක ඇල්ලුවේ නැහැලු. උන් කැලේ හිටපු බුරුවො ටිකකට පුන්නක්කු පොවලා කිව්වලු සිංහයව එලවල වඳ බැහැපු අලියෙක්ව රජකරවන්න කියල. මේ බුරුවො ටිකත් එහෙම කරලු. කරලා තව පුන්නක්කු ඉල්ලුවලු. එතකොට ඉන්දියන්කාරයො කිව්වලු "බ්‍රදර් වී ආර් හියර් ටු චෙස් ද ලයන් නොට් ටු ෆීඩ් යු ඩොන්කිස්" කියල.

      Delete
    2. ඔව් නේ වී ආර් නේන්නම්...

      Delete
    3. ඕකෙ හොඳම සීන් එක තමයි ගයිඩ් පුඟුලා ටුවරිස්ට් සෙට් එක මොන දේට එක්ක ගියත්, (shopping, dinning, elephant riding, what ever it is) මෙතනදිනම් ඇත්ගොව්වා අහනවා සිංහලෙන් අර ටුවරිස්ට් පුඟුලගෙන් ලණුව කීයද කියල, ඒ කියන්නෙ කොමිස් එක. එතකොට ටුවරිස්ට්ලට ගාන කියන්නෙ අර ගයිඩ් පුඟුලගෙ කොමිස් එකත් එක්ක. සමහරවිට කොමිස් එක ගාස්තුව වගේ කීප ගුණයක් වෙන්න පුළුවන්. ඔන්න ඔහොම තමයි අපේ රටට එන ටුවරිස්ට්ලව ගයිඩ් පුඟුලො ගසා කන්නෙ. ඔව්වා නිකන් කතා නෙමෙයි ගයිඩ් පුඟුලන්ගෙ ජීවන අත්දැකීම්.

      Delete
    4. මෙය කඩේකින් බඩුවක් ගැනීමේදී වුණත් සිදුවෙනවා. වෙනත් ආසියාතික රටවලත් මෙය මෙලෙසම වෙනවා.

      Delete
    5. ලණුවේ තේරුමනම් කලින් දැනගෙන හිටියේ නැහැ.

      Delete
    6. ඉන්දියාව ඇර වෙන ආසියාතික රටවල් ඇත්නම් කියනු මැනවි. තව එකක් අමතක වුණා, ගයිඩ් පුඟුලො කොමිස් එක ගන්නෙ අතට නෙවෙයි, driving seat එක පැත්තෙ shutter එක අඟල් කීපයක් (2ක්, 3ක් වගේ) ඇරල තමයි වාහනෙන් බහින්නෙ. එතකොට අර කොමිස් මුදල හිමීට driving seat එක උඩට වැටෙනවා.

      Delete
  7. මට පේන්න බැරි වැඩක් තමයි ඔය පෝලිම් පැනිල්ල. සුපර් මාකට් වලත් පෝලිම පනිනවා කියන්නෙ අහන්නත් දෙයක්ද. මිනිස්සුන්ට විනයක් නෑ. ඒක තමයි ප්‍රධානම හේතුව..

    ReplyDelete
    Replies
    1. උඹලා ඉන්න තිබුනේ පාන් පෝලිම කාලේ.... සම්පෙට කරෝල අවමත් එහෙමයි...

      Delete
    2. ඒ කාලෙ කට්ට කාගෙන හරි පෝලිමේ හිටිය බං.අනික වෙලාවෙ වටිනාකමක් එච්චර තිබුනෙත් නෑනෙ.සම්පෙට එන කලිසන් රෙදි ටික සාරි ටික එහෙම කුසපත් ඇදල බෙදා දුන්න උඹට මතකද.සැරයක් මටත් කලිසන් රෙද්දක් ඇදිල තිබුණා.

      Delete
    3. ඒ කාලෙ ගැන හොඳට අහල තියනව. සීය එකපාරක් වී වගයක් ඈතින් ගේන්න කරත්තෙක අමුඩෙ ගහගෙන දැතිගොයියා , බෝල් අතු කාරිය දාගෙනලු ආවෙ ගොයම් කපල පාගාගෙන එනව වගේ පේන්න. බෝල සබන් කියල ජාතියකුත් තිබ්බලු නේද?? දොඩම් අත්තක කටු වල ගහලලු තියෙන්නෙ සම්පකාර වල . කොටට අඳින එවුන්ට බණින අපෙ අම්මගේ පොටෝ එකක් තියනව මිනි ගවුමක් ඇඳලා ගත්ත. තාත්ත සෙට් වෙන්න ඇත්තෙ ඕක දැකල වෙන්ටැ හැක්...

      Delete
    4. වැඩේ කියන්නේ අපිට පෝලිම පනින්න බැරිවීම ගොඩක් අය දැක්කේ අපේ දුර්වලතාවයක් ලෙසයි. මගේ සොහොයුරාම කියනවා "කොහෙද අයියගේ ළමයින්ට අස්සෙන් රිංගලා ගිහින් පුරුදු නෑනේ. xxxගේ ළමයි ආවනම් විනාඩියට ඉස්සරහට ගිහිල්ලා!" එතන හිටපු අපට උදවු කළ අයත් ඒ අදහසම අනුමත කළා. බොහෝවිට ලංකාවේ රැකියාවක ප්‍රමෝෂන් ගැනීමේදී වෙන්නෙත් ඔය වගේම දේවල්.

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ලංකාවේ ටුවරිස්ම් ගැන නම් කතා කරලා වැඩක් නැත. බලන්න යන එවුන්ටයි තෑගි දෙන්න වටින්නේ බොහෝ අවස්තාවලදි. ඒකට රජයටම දොස් කියන්න බෑ. කොටින්ම වගකීමක් නැති ජනතාවක් ඉන්න රටක කොහෙන් වෙනස් වෙන්නද කියලා හිතාගන්නවත් බෑ.

    මිනිස්සු කැලේ සත්තු බලන්න යනවා. සතෙක්ගෙ ජීවන රටාව ගැන බින්දුවක හැඟීමක් නෑ. (ඉන්නේ නම් හරියට කොළඹ හතේ වගේ සතෙක් සර්පයෙක් මැස්සෙක් මීයෙක් කවදාවත් නොදැක්ක ගානට. කැලේට ගියාමයි තේරෙන්නේ කැලේ සත්තු කොයි තරම් සංවරයිද කියලා. ;)
    අලි බලන එක ගැන මට තියෙන්නේ අනුකම්පා සහගත හැඟීමක්. නිදහස අහිමිවෙච්ච හැම සතෙක් ගැනම මට එහෙම හිතෙනවා.
    මම ඒක හින්දා කෑම දෙන්නවත් උන් කිරි බොනවා බලන්නවත් ගිහින් නෑ.
    අර සංචාරක ස්ථාන ගැන නම් මට අවුලක් තියෙනවා. අද වෙනකොට සුපිරි සල්ලි කාරයෝන්ට වඩා සංචාරය කරන්නේ බැක් පැක් හා බොහෝම අමාරුවෙන් සල්ලි කීයක් හරි හොයාගන්න මිනිස්සු. ඉතින් ජාතියක් විදියට, රටක් වෙනස් වුනා කියලා එහෙම පට්ට ගණන් ගනන් එක ගැන මට තියෙන්නේ අවුලක්. කොටින්ම නුවර මාලිගාව, සීගිරිය වගේ තැන්වලදි

    ReplyDelete
    Replies
    1. සංචාරක ව්‍යාපාරය මම දන්න විදියට හා දැනගත් විදියට බොහෝ රටවල ඔහොමමයි. මෙහේ නෙමෙයි ජපානයෙත් මේ විදියයි කියලා ළඟදි මම නිව්ස් වලදි දැක්කා. මහා ළොකුවට කෑ ගැහුවට මෙහේ මොනවද සංචාරකයන්ට තියෙන ෆැසිලිටීස්.. සීගිරියේ ටොයිලට් එක මේන්ටේන් කර ගන්නෙත් ගයිඩ්ලා උන්ට සපෝට් එකක් දීලා... අනෙක් තැන්වල එහෙම ෆැසිලිටි එකක්වත් නෑ..

      පෙන්නන්න තියෙන්නේ කීපයයි.. ඉතින් ඒවයෙන් උපරිම හූරගෙන කනවා.. පැකේජ් ටුවර් එන උන්ට අවුලක් නෑ.. ඒත් කොච්චර සල්ලි තියෙන එකෙක් ආවත් සීගිරියේ ටිකට් එකේ ගාන ඇහුවාම හුඟක් උන් යන්නේ නෑ.. මහා අසාධාරන ගනනක්.. ස්පයිස් ගාඩන්, ජෙම් බිස්නස් කියන්නේ සමාගම්ද එකව මහ දවල් කරන අමුම අමු මංකොල්ලයක්. ඔය දේවල් සංචාර්කයනට අවබෝධ කරලා දීලා සාධාරනව රැකියාව කරන පිරිසත් ගොඩක් ඉන්නවා කියන එක ඒ අයට උපහාරයක් ලෙස කියන්නම ඕන. ඒත් අති බහුතරය අනෙක් තැන් වල වගේම රැල්ලට යන උදවිය.

      Delete
    2. //කොටින්ම වගකීමක් නැති ජනතාවක් ඉන්න රටක කොහෙන් වෙනස් වෙන්නද කියලා හිතාගන්නවත් බෑ.//
      බටහිර රටවලුත් අද ඉන්න තැනට එක පාරටම ආවේ නැහැනේ, රංගි. මේ දේවල් සමාජ පරිණාමය සමඟ ස්වභාවිකවම වෙනස් වෙයි. කවුරු කොහොම කිවුවත් මිනිස්සුන්ගේ ආදායම් මට්ටම් ඉහළ යන විට (මූලික අවශ්‍යතා පහසුවෙන් සැපිරෙන කොට) හැසිරීම් වලත් දියුණුවක් වෙනවා. ඇතැම් හැසිරීම් දියුණු රටවලට වඩා පිටුපසින් වුණත්, මටනම් පහුගිය වසර පහ දහය ඇතුළත සිදුවී ඇති හොඳ වෙනස්කම් ගොඩක් පේනවා. කලකට පසු පැමිණි විටයි එවැනි සියුම් වෙනස්කම් නිරීක්ෂණය වන්නේ.

      //අලි බලන එක ගැන මට තියෙන්නේ අනුකම්පා සහගත හැඟීමක්. නිදහස අහිමිවෙච්ච හැම සතෙක් ගැනම මට එහෙම හිතෙනවා.//
      ඇමරිකාවේ මා දුටු එක කානිවල් එකක අලියෙකුගේ පිටේ නඟින්න අය කළේ ඩොලර් හයක් පමණක් වුවත් ඒ සඳහා ඉල්ලුමක් තිබුණේ නැහැ. මම හිතන්නේ ගොඩක් අය ඔබ වගේ හිතන නිසා වෙන්න ඇති.

      //පට්ට ගණන් ගනන් එක ගැන මට තියෙන්නේ අවුලක්. කොටින්ම නුවර මාලිගාව, සීගිරිය වගේ තැන්වලදි// මටනම් මේ ගණන් ප්‍රොහිබිටිව් කියල හිතෙන්නේ නැහැ. මට පෙනෙන අවුල තියෙන දෙය ඔහේ විකුණනවා මිස අය කරන මුදලට වටිනා දෙයක් දෙන්න උත්සාහ නොකිරීම. දළදා මාලිගාවටනම් මුදල් අය කරන්නේ නැහැ නේද?

      //මෙහේ නෙමෙයි ජපානයෙත් මේ විදියයි කියලා ළඟදි මම නිව්ස් වලදි දැක්කා//
      ජපානය ගැනනම් එවැනි අත්දැකීමක් නැහැ. ඉන්දියාව, චීනය වැනි රටවලදී මෙවැනි අත්දැකීම් වලට මුහුණ දීල තියෙනවා.

      //සීගිරියේ ටොයිලට් එක මේන්ටේන් කර ගන්නෙත් ගයිඩ්ලා උන්ට සපෝට් එකක් දීලා.//
      ලංකාවේ පොදු වැසිකිලි ප්‍රමාණවත් නැති එකනම් විශාල ප්‍රශ්නයක්. අපිටනම් ඔය වැඩේ කොහොම හරි කරගෙන පුරුදුයි. එහෙම පුරුදු නැති අයට? හැබැයි ඒ අතිනුත් කිසියම් දියුණුවක් තියෙනවා. ගොඩක් නගර වල සුපර් මාර්කට් තියෙන නිසා තරමක් වැඩේ ගොඩදාගන්න පුළුවන්. මම ඇමරිකාවෙත්, වෙනත් යුරෝපීය රටවලත් වැඩිය ප්‍රසිද්ධ නැති ඇතැම් වනෝද්‍යාන වලට ගිහින් තියෙනවා. සේවකයෝ කවුරුවත් නැහැ. ප්‍රවේශපත්‍ර ගාස්තුව කවරෙකට දමලා පෙට්ටියකට දමන්නයි තියෙන්නේ. එවැනි තැන්වලත් කැලේ ඇතුළේ පවා තැනින් තැන හොඳ මට්ටමේ වැසිකිළි තිබෙනවා.

      //සීගිරියේ ටිකට් එකේ ගාන ඇහුවාම හුඟක් උන් යන්නේ නෑ// එහෙමනම්, ඒ කියන්නේ ලංකාවට එන සංචාරකයෝ ගොඩක් බජට් ටුවරිස්ට්ලා කියන එකයි. මම ගිය තැන් වල මිල ගැන මටනම් එහෙම හිතෙන්නේ නැහැ. සීගිරියට අයකරන ගණනනම් හරියටම දන්නේ නැහැ.

      Delete
  10. ඔය සල්ලි දීලා සංචාරකයින් විසින් අලින්ට කිරි පොවන එක නතර කරන කතාවක් එහෙමත් තිබ්බා.දේශීය සංචාරකයින්ට සහා විදේශීය සංචාරකයින්ට මිල මට්ටම් දෙකක් තිබීම ගැටළුවක් නොවේ.නමුත් ඒ මිල දෙක අතර තිබෙන විශාල පරතරය ගැටළුවක්.

    ReplyDelete
    Replies
    1. ඔවු. පරතරය සෑහෙන්න වැඩියි.

      Delete
  11. අලින්ට කැපකරු මාපිය ක්‍රමයක් හදනවා කිව්වා ඒක ක්‍රියාත්මකයිද දන්නෑ. දැං එන සංචාරකයො කටුනායකින් 138කට නැගලා බස් එකේදි වඩේ දෙකක් කාල රවුං ගහන ඈයො.තනි ආතල් එකක් ගන්නෙ.එයාලව වෙනම ටාගට් කරලා පහසුකම් හදන්න ඕනෙ ගස්ලබ්බා හිතන විදිහට.
    පෝලිම් ගැන නම් කතාව හරිම කැතයි.කැලේ නීතිය තමයි ක්‍රියාත්මක.හැබැයි බස් එකක උනත් කොන්දා එක වචනයක් කිව්වොත් මහත්තුරු ඔක්කොම පෝලිමේ යනවා හැබැයි.
    මට හිතෙන්නෙ ඉකොනො අපි කවුරුහරි විසින් අපිව පාලනය කරනකන් ම බලාගෙන ඉන්න කොටසක්.හරි කැමැත්තෙන් පොදු තැනකදි හයියෙන් කතා කරන කෙනාව ෆලෝ කරනවා. අනේ මන්දා..
    ජයවේවා..!!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: