Sunday, March 27, 2016

නොපෙනෙන ලොව දකින්නට විටමින්


අප දකින වර්ණ යනු වස්තුවක කිසියම් භෞතික ලක්ෂණයක් නොවේ. යම් වස්තුවක් මඟින් පරාවර්තනය කරන විද්‍යුත් චුම්භක තරංග වල වලට ප්‍රතිචාර ලෙස අපේ ඇස් හා මොළය අපට "පෙන්වන" ගුණයකි. දැනට දෙසියවසකට පමණ පෙර අප දැන සිටි එකම විද්‍යුත් චුම්භක තරංග ප්‍රභවය දෘශ්‍ය ආලෝකය පමණක් වුවද නැනෝ මීටර 390-720 අතර වූ මේ තරංග ආයාම පරාසය සමස්ත විද්‍යුත් චුම්භක තරංග ආයාම පරාසයෙන් ඉතාම සුළු කොටසක් පමණක් බව දැන් අප දනිමු. එසේනම්, අපට සෘජුවම දැකගත නොහැකි බොහෝ දේ භෞතික ලෝකයේ ඇති බව පැහැදිලිය.

මෙසේ අපට සාමාන්‍යයෙන් ග්‍රහණය නොවන දේ දැකිය හැකි පරිදි අපේ ඉන්ද්රියමය සීමාවන් අතික්‍රමණය කළ නොහැකිද?

ඉන්ද්රියමය සීමාවන් අතික්‍රමණය කළ හැකි "විද්‍යාවට අහු නොවන" ක්‍රම ගැන ඕනෑ තරම් ලියැවී තිබේ. මා කතා කරන්නේ එවැනි ප්‍රවේශයන් ගැන නොවේ. අපට අපේ ජීව විද්‍යාත්මක මෙහෙයුම් පද්ධතියේ දෘඩාංග හා මෘදුකාංග උත්ශ්‍රේණි කර ගැනීම මඟින් දෘශ්‍ය පරාසය පුළුල් කර ගත නොහැකිද?

නිරවි යුද සමයේදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ඇමරිකානු නාවික සෙබළුන් යොදාගනිමින් අධෝරක්ත කිරණ දැකිය හැකි පරිදි මිනිස් දෘශ්‍ය පරාසය පුළුල් කිරීමේ පරීක්ෂ
සිදු කෙරී තිබේ. පසුව අතහැර දමනු ලැබුවද, යම් සාර්ථකත්වයක් ලබා ඇති මේ පර්යේෂණ සිදුකර ඇත්තේ ඉතා සරල ක්‍රමවේදයක් අනුගමනය කරමිනි.

අපට නැනෝ මීටර 390-730 පරාසයෙන් පිටත තරංග ආයාම නොපෙනෙන්නේ අපේ ඇස් වල ඇති කේතු සෛල සංවේදී වන්නේ එම පරාසය තුළ පමණක් බැවිනි. එසේනම්, කිසියම් අයුරකින් අපේ කේතු සෛල වල සංවේදීතාව වැඩි කළ නොහැකිද?

කේතු සෛල නිෂ්පාදනය සඳහා විටමින් ඒ උපකාරී වේ. විටමින් ඒ ඌණතා ඇති විට ඇස් පෙනීම දුර්වල වන්නේ මේ නිසාය. මේ විටමින් ඒ කාණ්ඩයේ සාමාන්‍යයෙන් අප ගන්නා ආහාර වල ඇති විටමින් ඒ-1 වලට අමතරව එයට ආසන්න ව්‍යුහයක් ඇති විටමින් ඒ-2 ප්‍රභේදයක්ද තිබේ. මේ පර්යේෂණ වලදී සිදු කෙරුණේ හිතාමතාම විටමින් ඒ-1 සහිත ආහාර පාලනය කර ඒ වෙනුවට විටමින් ඒ-2 අඩංගු ආහාර ලබා දීමයි.

ආලෝක සංවේදී සෛල නිෂ්පාදනය කිරීමට විටමින් ඒ-1 නොලැබෙන විට අපේක්ෂා කළ පරිදිම සිරුර ඒ සඳහා ප්‍රතිචාර දක්වමින් විටමින් ඒ-2 වලින් මේ ප්‍රභා සංවේදී සෛල නිපදන්නට පටන් ගත්තේය. ඒවා තුන්හතර  ගුණයක් වැඩියෙන් සංවේදී විය. මේ අනුව, පර්යේෂණය සඳහා යොදාගත් සෙබළුන්ට යම් තරමකින් කලින් නොපෙනුණු දේ පෙනෙන්නට විය. අධෝරක්ත කිරණ සංවේදීතාව ලබාගැනීම මඟින් බලාපොරොත්තු වුනේ වඩා හොඳ රාත්‍රී දැක්මක් (නයිට් විෂන්) ලබා ගැනීමයි.

පර්යේෂණය සාර්ථක වුවද මේ කාලයේදීම රාත්‍රියේ පෙනීම ලබා දෙන උපාංග වැඩි දියුණු කෙරුණු බැවින් එම පර්යේෂණ තවදුරටත් ඉදිරියට ගෙනයාමේ වැදගත්කම අඩුවිය. කිසිදු සරසවියකට හෝ රජයකට සම්බන්ධ නැති ස්වේච්ඡා පර්යේෂක කණ්ඩායමක් (science for the masses) දැන් මේ පැරණි පර්යේෂණය ඉදිරියට ගෙනයාමට නවමු උත්සාහයක් දරති.


දෘශ්‍ය වර්ණාවලියේ රතු අන්තයේ තත්ත්වය මෙසේ වෙද්දී, ජම්බුල අන්තයේ ඇත්තේ වෙනස් තත්ත්වයකි. අපේ ඇස් වල ඇති කෙටි (නිල්) කේතු සෛල සාමාන්‍යයෙන් අපට දැකිය නොහැකි නැනෝමීටර 390ට වඩා අඩු තරංග ආයාම වලටද සංවේදීය. එහෙත් මේ තරංග ආයාම අපේ ඇස් වල කාච මඟින් පෙරන නිසා ඒවා ඇසේ දෘෂ්ඨි විතානය කරා ළඟා නොවේ.

ඇසේ සුද මතුවූ විට ඇතැම් රෝගීන්ගේ අක්ෂි කාචය ශල්‍ය කර්මයක් මඟින් ඉවත් කෙරේ. මෙසේ කළ විට ආලෝක කිරණ නාභිගත නොවීම නිසා පෙනීම අපැහැදිලි වීම වැළැක්වීම සඳහා බාහිර හෝ අභ්‍යන්තර කෘතීම කාචයක් ඇතැම් විට යොදාගැනේ. කෘතීම කාචයක් සහිතව හෝ රහිතව උපතින් ලැබුණු අක්ෂි කාචය ඉවත් කළ විට පාරජම්බුල කිරණ වලට දෘෂ්ඨි විතානය කරා ළඟා වීමට තිබුණු බාධාවන්ද යම් තරමකින් ඉවත්වේ. මෙසේ අක්ෂි කාචය ඉවත් කරනු ලැබූ රෝගීන්ට යම් තරමක පාරජම්බුල දෘෂ්ඨියක් ලැබී ඇති බවද වාර්තා වී තිබේ.

හිතාමතාම හෝ වෙනත් අවශ්‍යතාවයක් වෙනුවෙන් අපේ ජීව විද්‍යාත්මක පද්ධතිය 'හැක් කිරීමෙන්' අපට අපේ ඉන්ද්‍රියන්ගේ සංවේදීතා සීමාවන් නිසා නොපෙනෙන ලෝකයෙන් යම් කොටසක් දැකිය හැකිය. එහෙත්, මෙසේ උත්ශ්‍රේණි කරගැනීමෙන් ලබාගත හැක්කේ  අපේ විජානනයේ ඉතා සීමිත දියුණුවක් පමණි. කෙසේවුවද, මෙවැනි උත්ශ්‍රේණි කරගැනීම් සඳහා වන නිරන්තර උත්සාහයන් මඟින් පෙනෙන්නේ අපේ ජීවවිද්‍යාත්මක සීමාවන් අතික්‍රමණය කිරීමට හෝමෝ සේපියන්ස්ලා දක්වන උනන්දුවයි.


(Image: http://www.lifenews.com/2013/12/16/human-engineering-augmenting-human-sight-into-the-infrared-range/)

11 comments:

  1. සුපර් සෝල්ජර් හදන වැඩේ කෙරෙනකන් හොඳ හොඳ සොයාගැනීම් වෙයි..
    ජයවේවා..!!

    ReplyDelete
  2. පෙරේතයො, පිසාචයො, කුම්භාණ්ඩයොත් දකින්න හම්බෙයි එහෙනම් ඉස්සරහට.. මට මතකයි පොඩි කාලේ කියවපු බෞද්ධ කතා පොතක ඔහොම සීන් එකක් තිබුනා.. පොරකට කණ්නාඩියක් හම්බෙනවා. ඒක දැම්මම වටේ පිටේ ඉන්න ඔක්කොම අදෘශ්‍යමාන ජීවීන් පේන්න ගන්නවා....

    ReplyDelete
    Replies
    1. සැලකිල්ලෙන් බැළුවොත් පෙරේතයො, පිසාචයො, කුම්භාණ්ඩයො ඕනෑතරම් වටේපිටේ පේනවා! :)

      Delete
  3. ඉකොනොමැට්ටා, ලැබූ සම්මානයට උණුසුම් සුබපැතුම් !!

    ReplyDelete
  4. සුබ පැතුම්, ඉකොනෝ...

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget