Tuesday, March 15, 2016

නැති පැය හා නැති වූ පැය


පසුගිය ඉරිදා පාන්දර උතුරු ඇමරිකාවේ බොහොමයක් පෙදෙස් වල නැති පැයක් ගෙවී ගියේය. ඒ පාන්දර දෙකේ සිට 2:59:59 දක්වා වන පැයයි. මේ පැය නැති  පැයක් වූ බැවින් ඒ කාලය තුල වූ පාන්දර 2.50 වැනි වෙලාවක උතුරු ඇමරිකාවේ පෙදෙස් කිහිපයක හැර වෙනත් තැන් වල කිසියම් දෙයක් සිදුවීයැයි කවුරු හෝ කිවුවොත් එය බොරුවක් බව හොයාගන්නට ෂර්ලොක් හෝම්ස්ම අවශ්‍ය නැත.

ඇමරිකාවේ, කැනඩාවේ සහ බටහිර ඉන්දීය දූපත් රාජ්‍ය ගණනාවක දිවා ආලෝක සුරැකුම් කාලය මේ ඉරිදා ඇරඹුණු නිසා එදින පෙරවරු 1:59:59 පසු වූ පසු එළැඹුණේ දෙකේ කණිසම නොවේ. තුනේ කණිසමයි. මේ නිසා, උතුරු ඇමරිකාවේදී පසුගිය ඉරිදා දිනය පැය විසි තුනකින් ගෙවී ගියේය. කෙසේවුවද, මෙසේ නැති වූ පැය මාස ගණනකින් පසු එළැඹෙන නොවැම්බර් මස හය වනදා නැවත ආපසු ලැබෙනු ඇත. ඒ අනුව, එදින ගෙවී යනු ඇත්තේ පැය විසිපහකට පසුවය. තව දෙසතියකින් යුරෝපයේද, සමකයෙන් ඈත්ව පිහිටි වෙනත් රටවල වෙනත් දිනවලද මීට සමාන දෙයක් සිදුවනු ඇත.

වසර විස්සකට පෙර ලංකාවේත් මෙවැනි නැති පැයක් ගෙවී ගියේය. ඒ, ඒ දිනවල ලංකාව මුහුණ පෑ විදුලි අර්බුදයට එය පිළියමක්යැයි එවකට පැවති රජය විශ්වාස කළ බැවිනි. මේ නැති වූ පැයෙන් බාගයක් මාස කිහිපයකට පසු ආපසු ලැබුණත් ඉතිරි බාගය ආපසු ලබා ගැනීමට අවුරුදු දහයක් බලා ඉන්නට විය. ඊට පෙර දෙවන ලෝක යුද සමයේදීද මෙවැන්නක් ලංකාවේ සිදුවී තිබේ.

ඉරිදා පාන්දර හරියටම දෙකට උතුරු ඇමරිකාවේ බොහෝ පෙදෙස් වල මේ අයුරින් ඔරලෝසු පැයක් ඉදිරියට කරකවනු ලැබුවත් එය සිදුවුණේ එකම මොහොතක නොවේ. ඒ, උතුරු ඇමරිකාවේ පාන්දර දෙක කියන සංකල්පයද තැනින් තැනට වෙනස් වන දෙයක් බැවිනි.  ඇමරිකාවේ බටහිර වෙරළ තීරයේ කැලිෆෝර්නියා වැනි ප්‍රාන්ත වල මේ නැති පැය එළැඹුණේ ලංකාවේ වේලාවෙන් හවස 3.30ටය. නැගෙනහිර වෙරළබද ප්‍රාන්ත වල මෙය සිදුවුනේ ලංකාවේ වේලාවෙන් ඊට පැය තුනකට පෙර පස්වරු 12.30ය.

ඔය කාලය ඇතුළත උතුරු ඇමරිකාවේ තැන් තැන් වල නැති පැය ගෙවෙද්දී ඔරලෝසු වල එවැනි වෙනසක් සිදු නොවී ලංකාවේ පැය නමයක් නැති වී ගොස් තිබේ. ඒ, ඇත්තටම මේ පැය නවය නොගෙවුනු නිසා නොවේ. විදුලි එළිය නැතුව ඉටිපන්දම් හඳුන්කූරු වලින් පමණක් සැනහී ගෙවන පැයක් බොහෝ දෙනෙකුට නැති වූ පැයක් වන බැවිනි. ලංකාවේ ජාතික විදුලිබල සැපයුම් පද්ධතිය බිඳ වැටී ඇති අතර එය යථා තත්ත්වයට පත් කිරීමට පැය නවයක කාලයක් ගත වී තිබේ.


එහෙම වුනේ ඇයි?

දියුණු රටක ජාතික විදුලිබල පද්ධතියේ මේ ආකාරයේ බිඳ වැටීමක් සිදු වන්නේ ඉතා කලාතුරකිනි. එහෙත්, බොහෝ දියුණු වන රටවල මෙය නිතර සිදුවන දෙයකි. ලංකාවේ මෙවැනි බිඳ වැටීම් නිතරම සිදු නොවන නිසා එවැන්නක් සිදුවූ විට විශාල කතාබහක් ඇතිවේ. කෙසේවුවද, රටක ජාතික විදුලිබල පද්ධතිය සාමාන්‍යයෙන් මෙසේ බිඳ නොවැටී පවත්වාගැනීමට හැකිවීමෙන් අදහස් වන්නේ එය සරල කටයුත්තක් බව නොවේ.

ඉතා සීමිත මට්ටමකින් හැර (බැටරි වැනි) විදුලිබල ශක්තිය යනු ගබඩා කර තබාගත හැකි දෙයක් නොවේ. විදුලිබලය පරිභෝජනය කරන අවස්ථාවේදීම නිපදවීමද කළ යුතුය. මූලික වශයෙන් මෙය ඉල්ලුම් සැපයුම් කළමනාකරණය පිලිබඳ ප්‍රශ්නයකි. ඒ ඒ මොහොතේ ඇති ඉල්ලුමට සපයන සැපයුම අඩුත් නැතිව, වැඩිත් නැතුව ක්ෂණිකව නිපදවිය යුතුය.

රටේ විදුලිබල ඉල්ලුම දවස පුරා ඉතා සුමට ලෙස වෙනස් වන්නකි. ඔබ ඔබේ නිවසේ විදුලි බල්බයක් දල්වන විට රටේ සමස්ථ විදුලිබල ඉල්ලුම වොට් 60කින් හෝ වෙනත් ගණනකින් වැඩි වේ. රූපවාහිනිය ක්‍රියාත්මක කළ විටද එයම සිදුවේ. විදුලි බල්බය ක්‍රියා විරහිත කළ විට ඉල්ලුම අඩුවේ. ඉල්ලුම මේ අයුරින් අඩු වැඩි වන විට සැපයුමද ඒ අනුව වෙනස් කළ යුතුය.

කෙසේවුවද, රටේ විදුලි බල සැපයුම වොට් 60ක් වැනි සුළු ගණනකින් වැඩි කළ නොහැකිය. සැපයුම වැඩි කළ හැක්කේ ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමෙනි. උදාහරණයක් ලෙස රන්දෙණිගල ජලවිදුලි බලාගාරයේ මෙගාවොට් 62ක ධාරිතාවක් ඇති විදුලි ජනක යන්ත්‍ර දෙකක් තිබේ. මේ දෙකෙන් එකක් ක්‍රියාත්මක කළ විට මෙගාවොට් 62ක සැපයුමක් ජාතික විදුලි බල පද්ධතියට එකතු වේ. දෙකම ක්‍රියාත්මක කළහොත් මෙගාවොට් 124ක් එකතු වේ. මේ අනුව, එක් විදුලිජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කළ විට වොට් 60ක විදුලි බල්බ මිලියනයක් දැල්වීමට අවශ්‍ය විදුලි බලය ජනනය වේ.

පෙර කී පරිදි, ලංකාවේ විදුලිබල ඉල්ලුම මොහොතින් මොහොත වෙනස් වේ. වැඩිම ඉල්ලුමක් ඇත්තේ හවස 7-8 අතරය. ඒ කාලය තුළ ඉල්ලුම මෙගාවොට් 2,000 පමණ දක්වා ඉහල යයි. ඉල්ලුම අඩුම පාන්දර 2-3 අතරය. ඒ කාලය තුල ඉල්ලුම මෙගාවොට් 900 පමණ දක්වා අඩුවේ. [ලංකාවේ විදුලිබල පද්ධතිය හා අදාළ නිවැරදිම දත්ත මා සතුව නැත. මෙහිදී මා ගණන් යොදාගන්නේ මා කියන කරුණු පැහැදිලි කිරීම සඳහාය. කෙසේවුවද, මේ ගණන් නිවැරදි ගණන් වලට ආසන්න බව මගේ අදහසයි.] මේ අතර සෑම මොහොතකම  ඉල්ලුම අඩු වැඩි වේ. එමෙන්ම, සතියේ දින අනුවද, නිවාඩු දින, ක්‍රිකට් තරඟ, මැතිවරණ කාල, සිංහල අවුරුදු, වෙසක් හා නත්තල් වැනි උත්සව කාල ආදිය අනුවද වෙනස් වේ. මෙසේ අඩු වැඩි වන විට සැලසුම් සහගතව විදුලිජනක යන්ත්‍ර ක්‍රියාත්මක හා අක්‍රිය කිරීම මඟින් මේ ඉල්ලුම හරියටම ගැලපිය යුතුය. උදාහරණයක් ලෙස මෙගාවොට් 10කින් සැපයුම වැඩිකිරීමට මෙගාවොට් 70ක ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කර ක්‍රියාත්මකව තිබූ මෙගාවොට් 60ක ජනක යන්ත්‍රයක් අක්‍රිය කිරීම වැනි දෙයක් කරන්නට සිදුවිය හැකිය.


ලංකාවේ ලබාදෙන විදුලියේ සංඛ්‍යාතය 50කි. වෝල්ටීයතාව 230කි. රට තුල භාවිතා කරන ගෘහ විදුලි උපකරණ මෙන්ම කර්මාන්ත සඳහා යොදාගන්නා යන්ත්රෝපකරණද සාදා ඇත්තේ මේ සංඛ්‍යාතයට, වෝල්ටීයතාවයට සහ තවත් සංකීර්ණ තාක්ෂණික තත්ත්වයන් සමඟ ගලපමිනි. ඒ නිසා, සපයන විදුලිය සම්මත තත්ත්වයේ නොපැවතුනොත් මේ උපකරණ වලට හානි වීමේ සිට කාර්යක්ෂමතාව අඩුවීම දක්වා අවාසි සිදුවිය හැකිය. පවතින ඉල්ලුමට වඩා සැපයුම වැඩි වූ විට ජනක යන්ත්‍ර ත්වරණය වීම නිසා (සාමාන්‍ය වේගයට වැඩියෙන් කැරකීම නිසා) විදුලියේ සංඛ්‍යාතය 50 ඉක්මවයි. ඉල්ලුම වැඩි වුවිට සංඛ්‍යාතය අඩුවේ. මා දන්නා තරමින් විදුලිබල මණ්ඩලය උත්සාහ කරන්නේ මේ සංඛ්‍යාතය 49.5-50.5 අතර පවත්වා ගැනීමටය. මෙවැනි පරාසයක් ඇත්තේ සැපයුම හරියටම පාලනය කළ නොහැකි නිසාය.

විදුලිබල පද්ධතියක් විශාල වූ තරමට එය ස්ථාවරව තබාගැනීම වඩා පහසු වේ. එවිට, ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කළ විට එක් වර ඇතිවන බලපෑම විශාල ප්‍රදේශයක බෙදීයයි. ඇමරිකාව වැනි ඉතා විශාල ලෙස විදුලිය පරිභෝජනය කරන ලංකාව මෙන් සිය ගුණයකටත් වඩා විශාල රටකද (ඇලස්කාව හා හවායි හැර) ජාතික විදුලි බල පද්ධතිය පළමුව තනි පද්ධති තුනක් ලෙස වෙන වෙනමත්, දෙවනුව එක් පද්ධතියක් ලෙසත් සම්බන්ධ කර ඇත්තේ ඒ නිසාය. ලංකාව වැනි කුඩා රටක විදුලි ජනක යන්ත්‍ර සියල්ල සම්බන්ධ කළද එය සාපේක්ෂව කුඩා පද්ධතියක් බැවින් එහි සමතුලිතතාව රැකගැනීම පහසු කටයුත්තක් නොවේ.


මෙය කරන්නේ එක් තැනකිනි. එහි සේවය කරන ඉංජිනේරුවරු පැය විසි හතර පුරාම එහි රැඳී සිටිමින් අවශ්‍ය පරිදි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට හා අක්‍රිය කිරීමට දිවයින පුරා පිහිටි විදුලි බලාගාරවල සිටින ඉංජිනේරුවන්ට  උපදෙස් දෙති. ඉල්ලුම සැපයුම කළමනාකරණය කරන්නේ ඒ අයුරිනි.

කෙසේවුවද, මේ ඉල්ලුම් සැපයුම් කළමනාකරණය මීට වඩා බොහෝ සංකීර්ණ කටයුත්තකි. ඉල්ලුම සහ සැපයුම පවතින්නේ එකම ප්‍රදේශයේ නොවන නිසා විදුලිය සම්ප්‍රේෂණය කිරීමේදී බලශක්ති හානියක් සිදුවේ. ලංකාවේ මෙසේ සිදුවන තාක්ෂනික හානිය මුළු නිෂ්පාදනයෙන් 10% පමණ වේ. කොළඹට විදුලිය සපයන විට හානිය අඩුය. යාපනයට සපයන විට ඉතා වැඩිය. එමෙන්ම, මෙසේ සම්ප්‍රේෂණය කිරීමේදී වෝල්ටීයතාව අඩුවේ. ජව සාධකය (power factor) වැනි වෙනත් තත්ත්වයන්ද පැවතිය යුතු තත්ත්වයෙන් පිට පනී. ඒ නිසා, රටේ කොතන හෝ ඇති ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කර විදුලිය සැපයිය නොහැකිය. රට පුරා වෝල්ටීයතාවය හා ජව සාධකය අවශ්‍ය මට්ටමේ තබා ගනිමින් එය කළ යුතුය. මෙය පහසු නැත.

ඉහත ආකාරයේ තාක්ෂනික කරුණු වලට අමතරව ආර්ථික සාධක ගැනද සැලකිලිමත් වීමට සිදුවේ. ජල විදුලිය ඒකකයක් නිපදවීමට යන වියදම රුපියල් 1-1.50 පමණ වුවත් ගල් අඟුරු වලින් විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 9-10 පමණත් ඩීසල් වලින් නිපදවීමට රුපියල් 15 පමණත් (මා සිතන පරිදි දැනට ඇති අඩු ඉන්ධන මිල ගණන් යටතේ) වැය වේ. එමෙන්ම, විදුලිය නිපදවීම සඳහා ජලය ප්‍රයෝජනයට ගැනීමේදී කෘෂිකාර්මික අවශ්‍යතා ගැනද සැලකිලිමත් වීමට සිදුවේ. මහවැලි සංකීර්ණය වැනි සංකීර්ණ වල ඉහල රඳවා ඇති ජලය ක්‍රමයෙන් පහළට ගෙන එමින් කිහිප වරක්ම ප්‍රයෝජනයට ගන්නා බැවින් ඒ රටා ගැනද සැලකිලිමත් විය යුතුය. මේ සියල්ල කිරීම තබා එහි සංකීර්ණත්වය ඒ පිලිබඳ දැනුමක් නැති දේශපාලනඥකුට හෝ සාමාන්‍ය පුද්ගලයෙකුට පහදා දීම වුවද පහසු කටයුත්තක් නොවේ.


කිසියම් හේතුවක් නිසා සමස්ත විදුලිබල ධාරිතාව සමස්ත විදුලිබල ඉල්ලුමට වඩා අඩුවූ විට විදුලිය කප්පාදු කිරීමට සිදුවේ. මෙහිදී කරන්නේ රටේ කිසියම් ප්‍රදේශයක විදුලිය කපා හැරීම මඟින් සමස්ත ඉල්ලුම අඩුකර සැපයුම සමඟ ගැලපීමයි. මුළු රටේම එක් වර විදුලිය නොකපන්නේ එසේ කිරීමෙන් අවශ්‍ය කටයුත්ත සිදු නොවන නිසාය.

කිසියම් හේතුවකින් පද්ධති බිඳවැටීමක් සිදුවූ විට ක්ෂණිකවම ඉල්ලුම සැපයුම වෙනස් වේ. මෙවැනි අවස්ථාවකදී සිදුවන හානිය අවම කරගැනීම සඳහා වහාම ජනක යන්ත්‍ර එකක් හෝ කිහිපයක් ස්වයංක්‍රීයව අක්‍රිය වන පරිදි ජාතික විදුලිබල පද්ධතියක් සැලසුම් කෙරේ. බිඳවැටීමේ බලපෑම ඉතා විශාලනම් සමස්ත පද්ධතියම ක්ෂණිකව අක්‍රිය විය හැකිය. 2003 අගෝස්තුවේදී සිදු වූ මෙවැනි පද්ධති බිඳ වැටීමකින් ඊසානදිග ඇමරිකාවේ හා කැනඩාවේ ප්‍රාන්ත ගණනාවක වැසියන්ට පැය ගණනක් අඳුරේ සිටීමට සිදුවිය. 2011 දී
ඇමරිකාවේ බටහිර වෙරළ තීරයේ ප්‍රාන්ත ගණනාවකද මෙවැන්නක් සිදුවිය. 2012 ජූලි මාසයේ ඉන්දියාවේ සිදුවූ මෙවැනි පද්ධති බිඳ වැටීමකින් මුළු උතුරු ඉන්දියාවටම අඳුරේ සිටින්නට සිදුවිය. ලෝක ජනගහණයෙන් 9%ක් අඳුරේ තැබූ මේ පද්ධති බිඳ වැටීම මෙතෙක් ලොව සිදුවූ විශාලම පද්ධති බිඳ වැටීමයි.

ලංකාවේ පද්ධති බිඳ වැටීමට මුල් වූ කරුණ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න ගැන සැලකිලිමත් විය යුතුය. කෙසේවුවද, එක් තැනෙක සිදුවූ බිඳ වැටීමක් නිසා රටේම විදුලිය නැතිවීම අසාමාන්‍ය තත්ත්වයක්නම් නොවේ. මෙසේ වූ විට, ජනක යන්ත්‍ර සියල්ලම එක් වර ක්‍රියාත්මක කළ නොහැකිය. පද්ධතියේ සමතුලිතතාව පවත්වාගනිමින් එකින් එක ක්‍රමානුකූලව ක්‍රියාත්මක කළ යුතුය. ඒ සඳහා යම් කාලයක් ගතවන නමුත් පැය නවයක් වැනි විශාල කාලයක් ගතවීමනම් තේරුම් ගැනීමට අපහසුය. 



(Image: http://www.ndtv.com/world-news/sri-lanka-suffers-worst-blackout-in-20-years-1286782)

41 comments:

  1. කොහොමත් ඇතුලෙන් එන නිව්ස් අනුව නම් ඉදිරිය මීටත් වඩා අඳුරුයි.... මේකේ අර වෛද්‍ය මාෆියාව වගේම ඉංජිනේරු මාෆියාවක් ගේමක් ගෙනියන තැනක්... මේ යන්ත්‍රෝපකරණ අළුත්වැඩියාව සඳහා ලැබුණු සියළුම ආධාර කස්ටිය එක්ක ගසා කාලා.. කිසිම නඩත්තුවක් කරලා නෑ.. ප්‍රතිඵල බොහෝම පැහැදිලියි...

    ReplyDelete
    Replies
    1. පුද්ගලයකුට ලැබෙන තොරතුරු වලින් එම පුද්ගලයා යම් දෙයක් තේරුම්ගනු ලබනුයේ තමාට අවශ්‍යවන ආකාරයට පමණි, ඒ අනුව බොහෝ පුද්ගලයින්ට පෙනෙන්නේ රටතුල වෛද්‍ය, ඉංජිනේරු, දේශපාලකයින්ගේ මපියා තිබෙන බවය.

      මාතලන් නඩත්තුවට ලැබෙන මුදල් සියල්ල සොරකම් කල හැකියැයි කියන්නේ කිසිවක් පිලිබදව අවබෝධයක් නැතුවය, අලුත්වැඩියාවන් හෝ ව්‍යාපෘති සිදුකිරීමේදී සොරකම්, වංචාවන් සිදුකරන්නේ නැතැයි මා පවසන්නේ නැත. එහෙත් යන්ත්‍රෝපකරණ අළුත්වැඩියාව සඳහා ලැබුණු සියළුම ආධාර කිසිදු නඩත්තුවක් නොකර හොරකම් කිරිම පමණක් කරනවාය කියා මා විශ්වාස කරන්නේත් නැතිය. එවා මාතලන්ලාට පමණක් විශ්වාසකල හැකි කුමන්ත්‍රණය.

      Delete
    2. කරපු නිසා නේ මේ බැලැකව්ට් වෙන්නේ... මේවා ලියන කොට මේවට සම්බන්ධ සම හරක්ටත් අර කිතුලට නැග්ග එකාට වගේ උත්තර නම් තියෙනවා...

      Delete
    3. ලංකාවේ හැමතැනම වගේ සාමාන්‍යයෙන් තියෙන ගසාකෑම් වලට වඩා විශේෂ තත්ත්වයක් තියෙනවද කියන්නනම් මම දන්නේ නෑ. ඒත්, රාජ්‍ය ඒකාධිකාරය නිසා ඇතිවූ අකාර්යක්ෂමතාවයන් ගොඩක්නම් විදුලිබල මණ්ඩලයේ තියෙනවා. ඒ අතින් එය රෝහල් පරිපාලනයට සමානයි.

      Delete
    4. මාතලන්ලා අමාරුවෙන් පත් කර ගත්ත ආන්ඩුව ‍රැක ගන්න මොනවා හරි කියන්නත් එපැයි.

      Delete
  2. //මේ යන්ත්‍රෝපකරණ අළුත්වැඩියාව සඳහා ලැබුණු සියළුම ආධාර කස්ටිය එක්ක ගසා කාලා.. කිසිම නඩත්තුවක් කරලා නෑ. //

    මාතලන් තුමා හැර සියලුම සිරි ලාන්කිකයෝ හදවතින් ම හොරු බව මෙයින් පැහැදිලි වේ....

    තමන් බහුතරයක් වන හොරුන් ගේ සාමාජිකයෙක් වී සිටීම ගැන ස ර ස තුමා ඉතාම සන්තෝසය!

    ReplyDelete
  3. පිට රටකදි මේ පැය ගැන දන්නෙ නැතුව මුල් දවසෙ පැයක් පරක්කුවෙලා වැඩට ගියා. උදේට වැඩිපුර නිදාගන්න කැමති මට පැයක් කලින් ඇහැරෙනවා කියන්නෙ මරනව වගේ.

    ReplyDelete
    Replies
    1. ඔය වෙලාව වෙනස් කරන දවස කොහොමත් ගොඩක් අයට ටිකක් විතර අවුල් තමයි.

      Delete
  4. බොහෝවිට මිනිසුන් තමන්ට තේරුම් ගැනීමට නොහැකි දෙයක් සිදුවුවිට එය සිදුවුයේ යම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස හෝ දෙවියන්ගේ හෝ වෙනත් බලවේගයක දෙයක් හෝ ලෙස එම සිද්ධිය තේරුම් ගැනිමට කටයුතු කරයි. මේ අනුව මිනිසකුට දෙයක් සිදුවන්නේ කර්මය හෝ ලබා උපන් හැටි අනුවය, රටකට හෝ පුද්ගල කණ්ඩායමකට දෙයක් වන්නේ කාගේ හෝ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් අනුවය. (රනිල්ට හා යහපාලනයට මහින්දගේ ක්‍රමන්ත්‍රණ, විමල් සහ ජාතිවාදින්ට බටහිර හා දෙමළ ඩයස්පොරාවේ කුමන්ත්‍රණ,..)

    මේ පිලිබදව පරික්ෂණයක් සිදුකරන්නේ නැතුව කුමන්ත්‍රණකතා කියන්නේ සිද්ධියට අදාලව තමන්ගේ ඇග බේරා ගැනීමටය, මා දන්නා තරමට ඉංජිනේරුවන් තමන්ට ලබාදී ඇති සම්පත් හා මුල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය අනුව හැකි උපරිමයෙන් කටයුතු කරනවාය, එහෙත් ඔවුන්ගේ නොසලකිල්ල, ප්‍රමාණවත් තාක්ෂණික හා මුල්‍ය පහසුකම් නොමැතිවීම නිසා සමහර අඩුපාඩු සිදුවිය හැකිය. එවා පිලිබදව විධිමත් පරික්ෂණයක් පවත්වා වැරදි සිදුකර ඇති පුද්ගලයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතුය. එලෙස නොකර විදුලි බල මණ්ඩලයේ සියලුම නිලධාරින් තමන්ගේ අවශ්‍යතාවයන් සදහා වැරදිකරුවන් කිරීමෙන් කිසිවකුට ලැබෙන දෙයක් නොමැත,

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කරුණු සමඟ එකඟයි. ලංකාවේ වෙන තැන්වල වගේම විදුලිබල මණ්ඩලයේත් කාර්යක්ෂමව වැඩ කරන ටික දෙනෙක් සහ එසේ නොකරන සෑහෙන පිරිසක් ඉන්නවා.

      Delete
  5. meeting reschedule කරන්න, අමතක වෙන උන්ට reminder ඊමේල් යවන්න, හවස off වෙන සුපුරුදු වෙලාව වෙනස් වෙන එක වගේ දේවල් නිසා මට නම් ඔය daylight saving time එක මහ කරදරකාරී වැඩක්.

    කරන්ට් එක තිබුනොත් ඉදිරි ලිපිත් බලන්නම්!

    ReplyDelete
    Replies
    1. වැඩේ ටිකක් වාතයක් තමයි. ඒ දවස්වල ක්ලාක් මහත්තයත් ඔය වැඩේට විරුද්ධ වෙලා තියෙනවනේ.

      Delete
  6. ස්තුතියි අගන පැහැදිලි කිරීමක් , කරන්ට් යන්න කලින් කමෙන්ටුවක් දාන්න ඕන

    ReplyDelete
    Replies
    1. ඉක්මණින් විදුලි බලය ලැබේවා!

      Delete
  7. තේරුණා තේරුණා...

    ReplyDelete
    Replies
    1. කරුවලේ හරි කියෝගත්තනම් ඒ මදැයි.

      Delete
  8. තව පැය භාගෙකින් විතර විදුලිය කප්පාදු කරනවා.ගස්ලබ්බගෙ ගෙවල් ලඟ ගෙදරක කෙනෙක් මෙෂින් වගයක් දාගෙන අවුරුද්දට සරම්,චීත්ත මහ මහ හිටියා.ඌට ජෙනියක් ගන්න සල්ලි නෑ.එතන ගෑණු ළමයි කීපදෙනෙක්ම වැඩ කලා.අන්න අහස දිහා බලාගෙන හුලං බොනවා... මෙහෙම විදුලි කප්පාදු දැනගත්තාම ආයෝජකයො මන වගේ හැසිරෙයි ද? විසඳුමක් නැති ප්‍රශ්නයක් තියෙන්න විදිහක් නෑ නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඕවනම් මොනවද මෙයා...ලංකාවේ ආර්තික මර්මස්තානයක් වෙච්ච පෝර්ට් එක කරන්ට් නැතුව බකන් නිලාගෙන, නැව් ඔහේ වේලි වේලි තියනවා.. පාඩුව කීයක් වෙයි කියලා හිතාගත්තැකිද ? අදත් 0930 ඉඳන් 1330 වෙනකම් නෝ කරන්ට්...නෝ වැඩ.....නියන් කුමාරි ඉන්න කාලෙනම් මෙහෙම කරන්ට් කැපුවා ශෙඩුල්ස් හදාගෙන.. ඊට පස්සෙනම් මේ ඇහුවමයි....

      Delete
    2. //විසඳුමක් නැති ප්‍රශ්නයක් තියෙන්න විදිහක් නෑ නෙ.//
      විසඳුම් නැත්තේ නැහැ. මේ සිදුවීම බොහෝ විට අහඹු සිද්ධියක් විය හැකියි. එහෙත්, මෙය විසඳුම ගෙන ඒමේදී ඇති වන විරෝධය අවම කරගැනීමේ පියවරක් හෝ එහි ප්‍රතිවිරුද්ධ දෙය වන විසඳුම නිසා තමන් දැනට ලබන යම් ප්‍රතිලාභ අඩුවීමට එරෙහි ප්‍රතික්‍රියාවක් වීමට ඇති ඉඩකඩත් සම්පූර්ණයෙන් බැහැර කරන්න බෑ. මේ තියෙන්නේ මැදිකාලීන හා දිගුකාලීන විසඳුම්.
      1. http://www.lankabusinessonline.com/sri-lanka-india-power-link-pre-feasibility-complete-kumarasinghe/
      2. http://www.lankabusinessonline.com/ceb-includes-nuclear-power-in-generation-plan/

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. හෑ..SGAT එකේ ජිනදාස ලොක්කගෙන් අහන්න ඕනෑ ජෙනියක් වත් ඕනැද කියලා...

      Delete
    5. SAGT = South Asia Gateway Terminal

      Delete
  9. Anith mattanta wada economattata tharamak therenawa. Mama lakvijaya kiyana name gana baluwama tikak avul vage. Vena namakuth dagena balayata adipathi indian deviyekuge prathimawak haduwam god yawi

    ReplyDelete
  10. බොහොමත්ම ස්තූතියි!!

    ReplyDelete
  11. ඉතා වටිනා ලිපියක්. විදුලි බල සැපයුම වැඩි කිරීමට යාමේදි සංඛ්‍යාතය වෙනස් වෙනවා සුළු වශයෙන්. ඒත් ඒක පාලනය කරන්න පුලුවන්..

    ඉන්දියාවේ විදුලි බල හැඩය මීට හාත්පසින්ම වෙනස් නේද ඉකෝ..

    ReplyDelete
    Replies
    1. //ඉන්දියාවේ විදුලි බල හැඩය// එවැනි වෙනසක් ගැන දන්නෙ නෑ, දේශා. උතුරු හා දකුණු ඇමරිකානු රටවලනම් වෝල්ටීයතාව හා සංඛ්‍යාතය වෙනස්.

      Delete
  12. වටිනා ලිපියක්..

    ReplyDelete
  13. හොද පැහැදිලි කිරීමක් ඉකොන්

    ReplyDelete
  14. පද්දති බිඳ වැටීම් ආවාම නොරච්චෝලේ බලාගාරයේ ස්ටීම් හදන පැත්ත නවතින්නේ නැතිව ජෙනරේටර් විතරක් නවත්තා ගන්න බැරිව ඇතිද? එහෙම බැරිනම් ක්ලච් එකක් නැති කාර් එකක් වගේ වෙනවනේ.

    වරක් ඔය විදුලි සැපයුම් ඉල්ලුම් බැලන්ස් කිරිල්ල ගැන අපුර්වට අපට කියා දුන් ප්‍රොෆ් අමිර්තනාදන් අපට කීවේ නොරච්චෝලේ හැදුවාම වික්ටෝරියාව හැමදාම උතුරලා යන සංචාරක පරාදීසියක් වෙයි කියලා ...


    හැමදාම නගරෙට කිරි ගමට කැකිරි කීවාට, ගමට කිරි නගෙරෙට කැකිරි වෙන දවසුත් තිබේ. මේ අපේ ගමට එවැනි දවස් කිපයකි, සාමාන්‍යයෙන් දවසට කීප වරක් විදුලි සැපයුම අවුල් වන අපේ ගමේ පහු ගිය දවස් කීපයම කිසිම කැපිල්ල කෙටිල්ලක් හෝ වෙනයම් අවුලක් නැතුව දවසම ලයිට්‍ තියේ, කපන ලැයිස්තුව හදන එකාටත් රටේ මුල්ලටත් ගම්මාන ඇති බව අමතක වෙලා, ඉංජිනේරුවාත් ගෙදර නොගිහින් ක්වාර්ටස් එකේම ඉන්නවා වෙන්ටෑ :)



    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඇණයා load shedding schedule එකෙත් ප්‍රශ්න තියෙනවා. ඕක තවදුරටත් ප්‍රශස්තකරණය කරන්න පුළුවන්කමනම් තියෙන්න ඕනෑ.

      Delete
  15. අපිට ඉතාලියේ නම් පැයක් නැති වෙන්නේ මාර්තු අන්තිම සතියේ.

    ReplyDelete
    Replies
    1. යුරෝපයේ හැමතැනම වගේ මාර්තු 27 නේද?

      Delete
  16. දකුණු කුරු දිවයිනේ ඉන්නා අපට නැතිවූ පැය ආපසු ලැබෙන්නේ අප්‍රියෙල් මාසයේ දී ය.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget