Wednesday, March 30, 2016

නෙළුම් පතක රැඳි තෙල් බිඳුවක් සේ...


තෙල් හා වතුර කලවම් නොවේ. ඒ වගේම නෙළුම් කොළේ දිය රැඳෙන්නේත් නැත. ඒ අනුව, තෙල් සහ නෙළුම් දෙකටම වතුර ඇලජික්ය. තෙල් සහ නෙළුම් අතර වෙනත් සම්බන්ධතාවයක් ගැනනම් මතකයට එන්නේම නැත.

ඉකොනොමැට්ටා විසින් ලියා පළ කළ තෙල් ගැන ලිපියකට නෙළුම් සම්මානයක් ලැබී තිබේ. "ඇමෙරිකානු බොරතෙල් තහනම ඉවතට" නම් වූ මේ ලිපිය පළකළේ පසුගිය දෙසැම්බර් මස 21 වෙනිදාය. ඒ ලිපියෙන් කතා කළේ ඊට දින තුනකට පෙර සිදුවූ ඇමරිකානු බොරතෙල් අපනයන තහනම ඉවත් කිරීම, ඒ සඳහා හේතු වූ කරුණු හා වසර හතළිහකට පෙර එම තහනම පැනවීමට හේතු වූ පසුබිම ගැනය.

ඉහත ලිපිය පළ කිරීමෙන් පසු මතු වූ අදහසක් වූයේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහතයාම ඇමරිකාව හා සවුදි අරාබිය එකතු වී කෘතිමව ඇති කළ තත්ත්වයක් බවයි. දින දෙකකට පසු දෙසැම්බර් මස 23 වන දින "තෙල් මිල ඉහළ යයිද?" යන මාතෘකාව යටතේ ඉකොනොමැට්ටාගේ අඩවියේ පළ කළ තවත් ලිපියක් මඟින් පැහැදිලි කළේ එය එසේ නොවන බවයි. තෙල්මිල පහළ යාමට හේතු වූ දීර්ඝකාලීන හා ආසන්න හේතු එහිදී සාකච්ඡා කෙරිණි. මේ ලිපිය පලවී තෙමසක් ඉක්මගොස් ඇති මේ මොහොතේ සාකච්ඡා කෙරෙන්නේ ලෝක තෙල් වෙළඳපොළ හා අදාළව ඉන්පසුව සිදුවූ වර්ධනයන් ගැනය.


එම ලිපියේ මම මෙසේ සඳහන් කළෙමි.

"මේ අවස්ථාවේ ඇමරිකාව සහ සවුදි අරාබිය අතර ඇත්තේ ගල උඩ සටනකි."

"...මිල මට්ටම පහත තබා ගැනීමෙන් සවුදි අරාබිය අපේක්ෂා කරන්නේ ඇමරිකාවේ ශල්ක තෙල් නිෂ්පාදකයින් වෙළඳපොළෙන් ඉවත් කිරීමටය. මේ වන විට සවුදි අරාබිය ඔවුන්ගේ අරමුණ වෙත සෑහෙන දුරකට ලඟා වී සිටී. පසුගිය මාස කිහිපය තුළ ඇමරිකාවේ අළුත් ශල්ක තෙල් කැනීම් අට්ටාල ඉදිවීම විශාල ලෙස අඩුවී තිබේ. එහෙත්, මේ සඳහා සවුදි අරාබියටද විශාල වන්දියක් ගෙවීමට සිදුවේ...තෙල් මිල පහළ යද්දී සවුදි අරාබියේ අයවැය හිඟය ඉහළ යයි. ඒ නිසා මේ ක්‍රීඩාවෙන් අන්තිමේදී සවුදි අරාබිය පැරදෙන්නටත් බැරි නැත."

"...ඇමරිකාව සහ සවුදි අරාබිය අතර මේ ක්‍රමෝපායික ක්‍රීඩාවේ ජයග්‍රහණය කාට හිමි වේදැයි කියන්නට තවමත් කල් වැඩිය. "

මේ ලිපි පළ කෙරෙන විට තෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 40 මට්ටමේ පැවතුනු අතර පසුගිය පෙබරවාරි මැද වන විට මේ මිල 2003 සිට පැවති අඩුම මිල වන ඇමරිකන් ඩොලර් 26 මට්ටම දක්වාම අඩු විය. කෙසේවුවද, එතැන් සිට ගතවූ පසුගිය සති හය තුළ ලෝක තෙල්මිල නැවතත් ඇමරිකන් ඩොලර් 40 මට්ටමට පැමිණ ස්ථාවර වී තිබේ. මෙයින් අදහස් වන්නේ කුමක්ද? පෙර ලිපි වලින් කතා කළ ගල උඩ සටනේ දිනුම ලැබුණේ කාටද?

පසුගිය මාස හතරේ දත්ත අනුව පෙනීයන්නේ සවුදි අරාබිය ඔවුන් බලාපොරොත්තු වූ අරමුණ කරා ලඟා වී ඇති බවයි.


2011 වසර ආරම්භයේදී ඇමරිකාවේ සක්‍රිය කැනීම් අට්ටාල 1,220ක් පැවති අතර එම වසර අවසාන වන විට මෙම සංඛ්‍යාව 1,694 දක්වා වැඩි විය. 2013 වසර ඇරඹෙන විට මේ ගණන 2007 දක්වා තවදුරටත් වැඩි විය. මේ වර්ධනයට හේතු වූයේ පැවති ඉහළ තෙල්මිල හේතුවෙන් ශල්ක තෙල් කැණීම් සඳහා වන ආයෝජන දිරිමත් වීමයි.

කෙසේවුවද, 2014 මැද වන විටත් ඇමරිකන් ඩොලර් 100-110 මට්ටමේ පැවති තෙල්මිල එතැන් සිට කඩා වැටෙන්නට පටන් ගැනීමත් සමඟ ආයෝජන ප්‍රවාහ ඇණහිටීම නිසා අළුතින් අළුත් කැණීම් අට්ටාල ඉදිකිරීම සිදුවුණේ ඉතා සෙමිනි. අළුතින් කැණීම් අට්ටාල ඉදිකිරීම නැවතීමෙන් පසු පැරණි කැණීම් අට්ටාල ක්‍රමයෙන් කල් ඉකුත්ව භාවිතයෙන් ඉවත් වෙද්දී ඇමරිකාවේ සක්‍රිය කැණීම් අට්ටාල ගණන ක්‍රමයෙන් අඩුවන්නට විය.

පසුගිය 2015 ආරම්භයේදී සක්‍රියව පැවති කැණීම් අට්ටාල 1,811 වසර අවසානය වන විට 698 දක්වා අඩු විය. එහෙත්, පසුගිය වසර තුළ ඇමරිකාවේ බොරතෙල් නිෂ්පාදනයේ අඩුවක් පෙනෙන්නට නොතිබුණේය. එයට හේතු වූයේ, නිෂ්පාදනයෙන් ඉවත් වූයේ වඩා අකාර්යක්ෂම කැණීම් අට්ටාල වීමත්, දිගටම නිෂ්පාදනයේ යෙදුණු කැණීම් අට්ටාල වල ඵලදායිතාව ඉතා විශාල ලෙස දියුණු කෙරුණු නිසාත්ය. කෙසේවුවද, හැම දෙයකටම සීමාවක් තිබේ.

පසුගිය මාර්තු 24 දින වන විට ඇමරිකාවේ සක්‍රිය කැණීම් අට්ටාල ගණන 464 දක්වා අඩුවී ඇති අතර එය තවදුරටත් අඩු වන ප්‍රවණතාවක් පෙනෙන්නට තිබේ. එමෙන්ම, පෙබරවාරි මාසයේ පමණ සිට ඇමරිකාවේ බොරතෙල් නිෂ්පාදන පරිමාවන්ද අඩුවෙමින් පවතී. මේ අනුව සවුදි අරාබිය විසින් ඇමරිකාවේ දරාගැනීමේ සීමාව සාර්ථක ලෙස පරික්ෂාවට ලක්කර තිබේ. තෙල් මිල ඇමරිකන් ඩොලර් 26 මට්ටමට වැටී නැවතත් ඉහළ යාමෙන් පෙනෙන්නේ මිල පහත වැටිය හැකි අවසාන සීමාව එය බවයි. අළුත් කැණීම් අට්ටාල ඉදිවීම අඩාල වී ඇති නිසා ඉදිරි වසර දෙකක පමණ කාලය තුළ ඇමරිකානු බොරතෙල් නිෂ්පාදනය තවදුරටත් පහත වැටීමෙන් තෙල් මිල තරමක් දුරට ඉහළ යා හැකිය.

අනෙක් අතට ඉදිරියේදී තෙල්මිල විශාල ලෙස ඉහළ යාමේ හැකියාවක්ද නැත. තෙල්මිල ඇමරිකන් ඩොලර් 55-70 මට්ටමට ලඟාවුවහොත් ඇමරිකාවේ ශල්ක තෙල් කැනීම් අට්ටාල රැසක් නැවතත් වහා ඉදිවනු ඇත.

මෑතකාලීන තෙල් මිලේ සිදුවූ වෙනස්කම් නිසා සවුදි අරාබිය ඇතුළු මැද පෙරදිග රටවලටත්, රුසියාවටත් ඇති වූ බලපෑම ගැනත් සවුදි-රුසියානු ගිවිසුමේ අනාගතය ගැනත් පසුව කතා කරමු.


(Image: skycare.unetedu.vn)

38 comments:

  1. ඔබ කි්යන්නේ ඇමරිකානු සංචිත වල සීමිත බව පැහැදිලියි කියලද?? මට ඒක තේරෙන්නේ නැහැ. නමුත් මෙතන ප්ලැන් සී එකක් හෝ තිබිය හැකියි..

    ReplyDelete
    Replies
    1. නෑ, දේශා. සංචිත තව ඕනෑ තරම් තියෙනවා. මෙතන තියෙන්නේ නිෂ්පාදන වියදම පිලිබඳ ප්‍රශ්නයක්. මුළු පිරිවැය ආවරණය නොවුණත් ආන්තික පිරිවැය ආවරණය වනතාක් ව්‍යාපාරයකට අල්ලාගෙන ඉන්න පුළුවන්. ඩොලර් 30 පමණ මට්ටමට මිල වැටෙනකල්ම අමාරුවෙන් හෝ ශල්ක තෙල් නිෂ්පාදනය වුනා. එසේ වුනේ දැනට කැන ඇති ලිං වල කැනීම් වියදම සන්ක් කොස්ට් එකක් නිසා. එවිට අලුත් කැණීම් අට්ටාල නොහැදුණත් දැනට ඇති ඒවායින් තෙල් උඩට ගැනීමෙන් ලාබයක් ගන්න පුළුවන් වුණා. ඒත් ඒ මට්ටමේදී දැනට කැන ඇති ලිං වලින් තෙල් උඩට ගැනීමත් තවදුරටත් වාසිදායක නැති වෙනවා.

      Delete
    2. අනික් පැත්තෙන් මිල අඩුවුණත් එය ඉක්මණින් ඉහළ යයි කියන බලාපොරොත්තුවෙන් ටික කාලයක් ආයෝජන එනවා. ඒත් දිගටම මිල අඩුවෙන් පවතින කොට එය නවතිනවා.

      Delete
  2. මේ තත්වය ලංකාවට බලපාන හැටිත් පුංචි විස්තරයක් කරන්න...

    ReplyDelete
    Replies
    1. තරු, තෙල් මිලත් රබර් මිලත් අතර සම්බන්ධයක් තියෙනවා කියලා අසා තිබෙනවා. අද රබර් මිල පහත යාමට ලෝකයේ එලවලු තෙල් ආදී කොමොඩිටීස් සියල්ලේම පහල යාමද එසේත් නැත්නම් තෙල් මිල නිසාද කියා ඉකොනොමැට්ටා විස්තර කරනවා නම් අගෙයි.

      Delete
    2. ස්වබාවික රබර් වල තඟකාරයා වන Synthetic rubber හදන්නේ Petroleum ආශ්‍රිත ද්‍රව්ය පාවිච්චි කොරලා ය. Petroleum මිල අඩු වන විට Synthetic rubber මිල ද අඩු වේ... එවිට රබර් යොදා භාන්ඩ නිශ්පාදනය කරන හාදයෝ වඩා ගුනයෙන් යුත් Synthetic rubber ලාබ බැවින් ඒවා යොදා බාන්ඩ නිශ්පාදනය කොරති.

      ස්වබාවික රබර් වලට ඉල්ලුම අඩුවීමට මෙය ද හේතුවකි!

      Delete
    3. Sa rasa ගේ පැහැදිලි කිරීම නිවැරදියි. Synthetic rubber කොතරම් නිෂ්පාදනය කලත් තවමත් මා දන්නා තරමින් රබර් ආශ්‍රිත නිෂ්පාදනය කරන බොහෝ විශාල සමාගම් (විශේෂයෙන්ම ළදරු නිෂ්පාදන සහ ආහාර බහාලුම් ආදිය) ප්‍රමුඛතාවය දෙන්නේ ස්වාභාවික රබර් වලට. එය මම හිතන්නේ සෞඛ්‍යමය හේතුවක් වෙන්න ඕනේ.

      Delete
    4. සා රස කියා ඇති දේ නිවැරදියි. රබර් මිල වෙනස්වීමට බලපාන ප්‍රධාන සාධකය මෙය බවයි මගෙත් අදහස.

      Delete
  3. මා ඉකොනොමැට්ටා කියවන්නේ බ්ලොග් රසිකයෙක් වීමටත් එහා ගිහින් මාධ්‍ය වේදියෙක් ලෙස සමහර කාරණා ගැන මගේ අදහස ගොඩනඟාගන්න උදව්වෙන ඔපීනියන් බ්ලොග් එකක් විදියට... ඒ වගේ බ්ලොග් කිහිපයයි තියෙන්නේ...
    ඔබ ලබපු සම්මානයට සුභ පතනවා...
    නොනවත්වාම ලියන්න ශක්තිය පතනවා..
    ඉකොනොමැට්ටා මැට්ටෙක් නෙවෙයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, උඩුවා. මෙවැනි බ්ලොග් එකක් විශාල පිරිසක් කියෙව්වේ නැතත් විශාල පිරිසකට බලපෑමක් කිරීමේ හැකියාව ඇති (ඔබ වැනි) ටික දෙනෙක්ට යම් බලපෑමක් කළ හැකි නිසා අවසාන වශයෙන් සැලකිය යුතු බලපෑමක් වෙනවා.

      Delete
  4. Drexel Code Review

    If you are trading binary options you already know of the big advantages this kind of trading offers. What I will try to show in this article is a very simple strategy that can be applied in certain situations and give great results for those who trade using binary options. The strategy I'm about to explain is based on hedging and tries to obtain high profits while risking only a small investment.

    http://centumentltdreview.com/drexel-code-review/

    ReplyDelete
  5. // මිල මට්ටම පහත තබා ගැනීමෙන් සවුදි අරාබිය අපේක්ෂා කරන්නේ ඇමරිකාවේ ශල්ක තෙල් නිෂ්පාදකයින් වෙළඳපොළෙන් ඉවත් කිරීමටය. //

    එපමනක් ම නොවේ....
    දිනෙන් දින ම ඉදිරියට ආ alternative energy / clean energy වලට පහර දීමත් ඔවුන් ගේ එක් අභිප්‍රායක් විය....
    එහෙත් ඛනිජ තෙල් කොපමන ලාබ වුවද එයින් වන පරිසර හානිය නිසාම චීනය සහ ජර්මනිය ප්‍රමුක කාර්මික රටවල් alternative energy / clean energy ගැන නව බලාපොරොත්තු තබමින් ඒවා වැඩි දියුනු කිරීම අත හැරියේ නැත...

    අද වන විත් Photon ප්‍රතිචක්‍රීය ක්‍රියාවලියකට පවා ඔවුන් සමත් වී ඇත...

    http://science.sciencemag.org/content/351/6280/1430

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකට ස්තුතියි! විවේකයක් ලැබුණු වෙලාවක නිදහසේ කියවන්න ඕනෑ. පසුබිම් දැනුමක් නැති නිසා උඩින් පල්ලෙන් බැළුවට තේරෙන්නෙ නෑ.

      Delete
  6. ඔබේ මේ සරළ පැහැදිලි කිරීමේ විලාශය නිසා, එකොන් ගැන මෙලෝ මළදානයක් නොදන්න අපිටත් ටිකක් ටිකක් යම්දෙයක් තේරෙනවා වගේ හැ‍ඟෙනවා...

    පසු ගිය වසරේ සවුදියේ අයවැය පරතරය නම් ඩොලර් හෝ රියාල් බිලියන 8ක් කියනවා දැක්කා...

    ReplyDelete
    Replies
    1. ඔවු, සෙන්නා. මෙය සවුදියේ අයවැය පරතරයට ඉතා නරක ලෙස බලපෑවා. රුසියාවට බලපෑම ඊටත් වැඩියි. ලෝක දේශපාලනයේ තෙල් භූමිකාවේ ඉතාම තීරණාත්මක ව්‍යුහමය වෙනසකුයි පසුගිය කාලයේ වුනේ. ඉතාම කාර්ය බහුල වී සිටින නිසා විස්තරාත්මක ලිපියක් දැන්ම ලියන්න අමාරුයි.

      Delete
  7. ලැබූ සම්මානයට සුබ පැතුම් !!

    ReplyDelete
  8. උඹ නිකං සම්මානය ලැබුනේ අපරාදේ වගේනේ නියලා තියෙන්නේ බොල...... කොහොම හරි ඒකට අපේ සුභ පැතුම්..... ජයවේවා..

    ReplyDelete
    Replies
    1. කුරුටු: එයින් අදහස් කළේ නිෂේධනාත්මක දෙයක්නම් පැහැදිලිවම නෑ. ජූනි මාසයේදී කමීගේ අතින් සම්මානය ගන්න බලාගෙන ඉන්නවා. තෙල් ගැන ආපහු කතා කරන්න යොමුවුනෙත් සම්මානය නිසානේ. සුබපැතුමට ස්තුතියි! කුරුට්ටන්ටත් සුබපැතුම්!

      Delete
  9. ඕමානයේ තෙල් සමාගමක සේවය කරන මගේ ඤති සහෝදරයෙකුගේ වැටුප ඛනිජ තෙල් මිල අඩුවීම හේතුවෙන් 20% අඩුවූ බවක් පැවසුවා.මේ විදියට තෙල් මිල එකම ස්ථාවරයක රඳන්නේ නැතුව අඩු වැඩි වීමත් අපේ රටවල් වලට බලපෑම් කරනවා නේද?විශේෂයෙන්ම අපිට විදේශ විනිමය ගොඩක් එන්නේ මැදපෙරදිගින්නේ.මේ විදියට තෙල් මිල පහළට යාමත් තෙල් මිල ඉහල යාමෙන් කරන බලපෑම තරම්ම නැතත් කිසියම් බලපෑමක් අපිට කරනවා නේද ?

    අපේ රුපියලේ අගය ගොඩක් අඩු වෙලා තියෙන වෙලාවේ තෙල් මිල පහල වැටි තිබීම නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. මෑතකාලීනව සිදුවූ ව්‍යුහමය වෙනස්කම් නිසා ඉදිරි වසර වල තෙල් මිල විශාල ලෙස වැඩි වීමට හෝ අඩුවීමට ඇති ඉඩකඩ ඇහිරිලයි තියෙන්නේ. ඒ තත්ත්වය ලංකාව වැනි කුඩා, විවෘත ආර්ථිකයක් ඇති රටකට දීර්ඝකාලීනව හොඳයි.

      Delete
  10. සුභ පැතුම්.!
    මෙහෙම පැත්තකුත් තියනවානෙ.. ඒකෙ මෙහෙමනෙ වෙන්නෙ කියල සරල භාසාවෙන් ලියන එකට නම් හැමදාම ස්තුති කලත් මදි.ඉකෝන්.., ලෝක තඹ වෙලඳපොල මඟින් ඩොලරය පාලනය වෙනවා කියන්නෙ ඇත්තක් ද?
    කොටස් වෙලඳපොල/ෆොරෙක්ස් වගේ දේවල් ගැනත් ලියන්න ආරාධනා කරනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. තඹ වෙලඳපොල ගැන මම හදාරලා නැහැ. කොටස් වෙලඳපොල/ෆොරෙක්ස් වගේ දේවල් ගැන ඉඩ ලැබෙන පරිදි ලියන්නම්.

      Delete
  11. වටිනා ලිපිය්ක්,
    හැබැයි මේකේ තව කතා කල යුතු පැති ගනනාවක් තියෙනවා කියලා මට හිතෙනවා.
    විශේශයෙන්ම, මැද පෙරදිග ත්‍රස්ථ පාලනයේ පවතින තෙල් නිධි වලින් ලෝකයට කෙරෙන රහසිගත සැපයුම, ඇමරිකාව හා රුසියාව අතර ඇති පටලැවිල්ල, යුක්‍රේනයේ හා ඒ හරහා යුරෝපීය ගැස් සැපයුම, චීනයේ ඉරාන ගනුදෙනු, චීනුන්ගේ නව තාක්ශනික ප්‍රවනතා, අඩු ඉන්ධන දහන රථ වාහන නිසා තෙල් වෙළඳ පොලේ සිදුවුනු වෙනස් කම් වගේ කරුනු. මේවා ගැනත ඉකොනොමැට්ටාගේ අවධානය යොමු වුනානම් ලිපිය වඩා සමබර වෙයි වගේම අපිටත් දැනුවත් වෙන්න කරුනු ලැබෙයි කියලා හිතෙනවා.
    තව දුරටත් ලන්ඩන් ලෝහ වෙළඳ පොල හා ෂැංග්.හායි ලෝහ වෙළඳ පොලේ මෑත කාලීන කඩා වැටීම් සමග තෙල් වල සම්බන්ධයක් තියෙන බවක් ඔබ හිතනවාද?

    ReplyDelete
    Replies
    1. ඔවු, සිතුවිළි සි. හැම පැත්තක්ම සාකච්ඡා කරන්න තරම් කාලවෙලාවක් තිබුනේ නැහැ. ඒ නිසා ලියපු ටික පලකළා.

      Delete
  12. ඉකොනොමැට්ටාගෙන් තව දෙයක් ඇසීමට කැමැත්තෙමි.
    ඔබතුමා ආනයන ගැන ඉතා හරවත් ලිපියක් සත පහේ ලියා තිබී කියැවූවෙමි.
    මගේ ප්‍රශ්නය නම් ආනයන වලදී රජයේ මැදිහත් වීමකින් තොරව, වාප්පු ලිපිකරුවන් හා ඇතැම් රේගු මහතුන් එකතු වී අළුතින් දමන නව බදු වර්ග නිසා ආනයනයට වන සමස්ථ බලපෑම කොපමනක්ද?

    ReplyDelete
    Replies
    1. මේ වගේ Non-tariff barriers වල බලපෑම ඉතාම විශාලයි. ඒ බලපෑම ගණනය කිරීම ඉතාම අපහසු කාර්යයක්.

      Delete
  13. පළමුවෙන්ම නෙලුම් සම්මානෙට මගේ සුබ පැතුම් ! ඉකෝගේ සටහන් මම එකවර කියවන්නේ නෑ . ඒවා කල් ගිහින් කියෙව්වත් වටිනාකමේ අඩුවක් නෑ . ඔබ සරල සිංහලෙන් බ්ලොග් ලියන්නට ඉදිරිපත් වීම ගිය වසරේ සිදු වූ සුවිශේෂ සිද්දියක් ලෙසයි මම දකින්නේ

    ReplyDelete
  14. මම හිතුවේ රුසියාව සමඟ ගැටුම නිසා රුසියා ආර්ථිකය වට්ටන්න තෙල්මිල අඩුකලා කියලා.
    අළුත් දෙයක් දැනගත්තා. ඔබනම් පුරුෂයෙක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. හිතාමතා කළත්, නොකලත් රුසියාවට විශාල බලපෑමක්නම් තියෙනවා. එය ඉදිරි ලෝක බලතුලනයටත් සැලකියයුතු බලපෑමක් කරයි.

      Delete
  15. Nelum kole bath kawama leda hadenna puluwanda.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මම දන්නෙ නෑ, ජගත්.

      Delete
  16. කාලින සංවාද පිලිබඳ නෙලුම්යායේ තේරීම හරියටම හරි කියලා හිතෙන්නේ මට විතරද?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ. :)

      ඇත්තටම ගොඩක් හොඳ කාලීන සංවාද ලිපි වෙනත් බොහෝ අයත් පළ කර තිබුණා. ඉතා පැහැදිලිවම ඒවා අතරින් එකක් තෝරාගැනීම 'හරියටම කිරීම' ඉතාම අමාරු සංකීර්ණ කටයුත්තක්. එකක් අනෙත් සියල්ල අභිබවා විශේෂයෙන් කැපී පෙනුණා කියා මම හිතන්නේ නැහැ. ඒ නිසා ඉකොනොමැට්ටා අඩවියේ ලිපියකට මෙය ලැබීම ගැන සතුටු වනවා වගේම එය වෙනත් අයෙකුගේ හොඳ ලිපියකට ලැබුණානම් ඒත් සතුටු වෙනවා.

      Delete
  17. සම්මානයට සුබ පැතුම්! තව තවත් රසවත්,හරවත් ලිපි ලිවීමට ශක්තිය සහ කාලය ලැබේවා!!!

    ReplyDelete
  18. සම්මානයට සුබ පැතුම්, තමන් දන්න දේවල් සරලව නොදන්න අයට කියවන්න ලියන එක අගය කරන්නම ඕන දෙයක්.. අදයි මේ පැත්තේ ආවේ.. හිමින් හැම ලිපියක්ම කියවන්න හිතුනා...

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget