Tuesday, May 24, 2016

පටිභාග නිමිත්ත කුමක්ද?


බෞද්ධ භාවනා ප්‍රධාන වර්ග දෙකකට බෙදේ. සමථ භාවනා සහ විපස්සනා භාවනා වශයෙනි. මේ දෙවර්ගයෙන් වඩා උසස් ලෙස සැලකෙන්නේ විදර්ශනා භාවනාවන්ය. සමථ භාවනා ඇත්තටම බෞද්ධ භාවනා ලෙස දියුණු කරනු ලැබූ භාවනා නොවේ. සමථ භාවනා පිලිබඳ දැනුම බුද්ධ කාලයට බොහෝ කලකට පෙර සිටම වත්මන් ඉන්දියාවට අයත් පෙදෙස් වල පැවති දැනුමකි.

බුද්ධ කාලයට පෙර, බුද්ධ කාලයේ හා බුද්ධ කාලයෙන් පසුව සමථ භාවනා පුහුණු කළ විවිධ පුද්ගලයින් අතර බෞද්ධයෝ මෙන්ම අබෞද්ධයෝද සිටියහ. සමථ භාවනා යනු බෞද්ධ සම්ප්‍රදාය තුළට අවශෝෂණය කර ගැනුණු එවකට පැවති දැනුමකි. සිද්ධාර්ථ ගෞතමයන් විසින්  බුද්ධත්වයට පෙර ආලාර කාලාම, උද්දක රාමපුත්ත ආදී ගුරුවරුන්ගේ අධීක්ෂනය යටතේ මේ සමථ භාවනා හැදෑරීය.

මා දන්නා පරිදි, සමථ භාවනාවකදී කරන්නේ යම්කිසි බාහිර නිමිත්තක් (කර්මස්ථානයක්) අරමුණු කර ගනිමින් චිත්ත ඒකාග්‍රතාව ඇති කර ගැනීම පුහුණු කිරීමයි. බෞද්ධ භාවනා පුහුණුවීම් වලදී භාවිතා කරන මෙවැනි කර්මස්ථාන හතළිහකි. ඒ අතරින් දහයක් දස කසිණ ලෙස හැඳින්වේ.  මේ දස කසිණ වලදී අරමුණු කරන්නේ ඉන්ද්‍රියයක් හරහා ලැබෙන නිශ්චිත සංඥාවකි. එම සංඥා අතරින් හතරක් ස්පර්ශය හා මුල්ව ලැබෙන සංඥා වන අතර ඉතිරි පහක් දෘෂ්ඨිය මුල් කර ගත් සංඥාවන්ය. මා සිතන පරිදි ආකාශ කසිණයේදී අරමුණු වන්නේ දෘශ්‍ය හෝ ස්පර්ශ සංඥාවක් නොලැබීමයි. ඒ නිසා එය මේ දෙකටම සම්බන්ධය.

දස කසිණ

1.  පඨවි කසිණය
2.  ආපෝ කසිණය
3.  තේජෝ කසිණය
4.  වායෝ  කසිණය
5.  නීල කසිණය
6.  පීත කසිණය
7.  ලෝහිත කසිණය
8.  ඕදාත කසිණය
9.   ආකාශ කසිණය
10. ආලෝක කසිණය

ඉහත ලැයිස්තුවේ ඇති අවසන් කසිණ භාවනා හය දෘෂ්ඨිය හා සම්බන්ධය.  මා පෞද්ගලිකව මේ භාවනා කිසිවක් සාර්ථකව පුහුණු කර නැති නිසා එම භාවනා පුහුණු කිරීමෙන් ලැබෙන අත්දැකීම පිළිබඳ ප්‍රත්‍යක්ෂ දැනුමක් මට නැත. එහෙත්, මේ භාවනා ක්‍රම කලක් පුහුණු කළ අය දුලබ නැත. බ්ලොග් ලියන්නන් කිහිප දෙනෙකුටද එවැනි පුහුණුවක් හා අත්දැකීම් ඇති බව සටහන් කර තිබෙනු මා දැක ඇත.

බුද්ධ කාලයේ, බුද්ධ කාලයට පෙර හා ඉන් පසුව වර්තමානය දක්වා කසිණ භාවනා පුහුණු කර ඇති බෞද්ධ හා අබෞද්ධ විවිධ පුද්ගලයින් විසින් වාර්තා කර ඇති ඔවුන් ලැබූ අත්දැකීම් වල වෙනස්කම් නැත. ඒ නිසා, මේ අත්දැකීම් ඔවුන්ගේ සැබෑ අත්දැකීම් බවත්, එම භාවනා පුහුණු කරන බෞද්ධ හෝ අබෞද්ධ වෙනත් අයෙකුට අවශ්‍යනම් ලබාගැනීමට බාධාවක් නැති අත්දැකීම් බවද පැහැදිලිය.


කසිණ භාවනාවකින් (සහ වෙනත් සමථ භාවනා දොළහකින්) ලැබෙන අත්දැකීමෙහි අදියර තුනකි.
1. පරිකම්ම නිමිත්ත,
2. උග්ගහ නිමිත්ත, හා
3. පටිභාග නිමිත්ත වශයෙනි.

උදාහරණයක් ලෙස නීල කසිණය ගතහොත් මේ භාවනාව වඩන්නේ නිල් රෙදිකඩක් භාවිතා කරගෙන එහි නිල් පැහැය අරමුණු කර ගනිමිනි. පරිකම්ම නිමිත්ත මේ නිල් පැහැති රෙදිකඩයි. පළමු අදියරේදී පුහුණු වන්නේ මේ රෙදිකඩෙහි ඇති නිල් පැහැය කෙරෙහිම අරමුණු පවත්වා ගැනීමටය. දෙවන අදියරේදී, මේ රෙදිකඩ තවදුරටත් අවශ්‍ය නොවේ. වෙනතක බැලුවද, දෑස් පියාගත්තද මේ රෙදිකඩම පෙනේ. කෙසේ වුවද, මේ දෙවන අදියරේදී පෙනෙන්නේද රෙදිකඩෙහි ඇති නිල් පැහැයමය.

තෙවන අදියරේදී, මෙසේ පෙනෙන රෙදිකඩ තුලින් ඉතා දීප්තිමත් පැහැදිලි නිල් පැහැයක් පෙනේ. එය පරිපූර්ණ නිල් පැහැයකි. රෙදිකඩෙහි පෙනුණු නිල් පැහැයෙහි ඇති අඩුපාඩු එහි නැත. මේ අවසන් අවස්ථාව දක්වා පැමිණි භාවනායෝගියාට නිල් පැහැය මනසින් පාලනය කළ හැකිය. එය අවකාශය පුරා පැතිරවිය හැකිය. වෙනත්, කසිණ හා අදාළවද ලැබෙන අත්දැකීම මෙයට සමානය. ලෝහිත කසිණය වැඩූ විට අත්දැකිය හැකි පටිභාග නිමිත්ත දීප්තිමත් රතු පැහැයකි.

එසේනම් මේ පටිභාග නිමිත්ත කුමක්ද? මේ ඒ ගැන මගේ අදහසයි.


[කියවන්න: තැඹිලි තැඹිලි පාටද? (පළමු කොටස)
තැඹිලි තැඹිලි පාටද? (දෙවන කොටස)]


නිල් පැහැති රෙදිකඩකින් පරාවර්තනය කර එවන්නේ දෘශ්‍ය වර්ණාවලියේ එක් අන්තයක ඇති කෙටි තරංග ආයාමයි. නිල් පැහැති රෙදිකඩක් දෙස දිගින් දිගටම අවධානයෙන් බලා සිටින විට ඇසේ නිල් කේතු සෛල එහි උපරිමයටම ආරෝපණය වේ. එහෙත්, රතු හා කොළ  කේතු සෛල ආරෝපණය වන්නේම නැත. කෙසේ වුවද, රෙදිකඩෙහි නිල් පැහැය අංග සම්පූර්ණ නිල් පැහැයක් නොවන නිසා එයින් යම් තරමකට වෙනත් තරංග ආයාමද පරාවර්තනය විය හැකිය.

එකම පැහැයක් දෙස වැඩි වේලාවක් බලා සිටින විට එම පැහැයට සංවේදී වන කේතු සෛල විඩාවට පත් වේ. මෙවැනි අවස්ථාවක වෙනත් පැහැයකින් යුතු පසුබිමක් වෙත ඇස් යොමු කළද එම සෛල ක්ෂණිකව ක්‍රියාත්මක නොවේ. උදාහරණයක් ලෙස ඔබ රතු පැහැති පසුබිමක් දෙස සෑහෙන වෙලාවක් බලා සිටීමෙන් පසු සුදු ආලෝකය දෙස බැලුවොත් ඔබට පෙනෙන්නේ කොළ පැහැයකි. ඒ, වෙහෙසට පත් ඔබේ රතු කේතු සෛල ප්‍රතිචාර දැක්වීමට කල් ගන්නා අතරතුර ඔබ දකින සුදු ආලෝකයේ රතු පැහැය රතු පෙරනයක් යෙදූ අයුරින් පෙරෙන බැවිනි. මෙසේ කේතු සෛල විඩාවට පත් වන නිසා, නිල් රෙදිකඩක් දෙස එක දිගටම බලා සිටින විට
ම කාර්යය එන්න එන්නම අසීරු වේ.

මා සිතන පරිදි සමථ භාවනාවේ දෙවන අදියරේදී වෙන්නේ මෙසේ වෙහෙසට පත්ව කහ පැහැය සොයන, නිල් අන්තයේ ආරෝපණය වී ඇති කේතු සෛල පුහුණුව මඟින් තව දුරටත් එසේම රඳවා ගැනීමයි. වෙනත් අයුරකින් කිවහොත් ඇසට වැටෙන ආලෝක තරංග වල තරංග ආයාම වෙනස් වුවද කේතු සෛල ඒවාට ප්‍රතිචාර දැක්වීම පුහුණුව තුළින් පාලනය කිරීමයි. එවිට වෙනතක බැලුවද, මොළයට යන්නේ පෙර සංඥාවම බැවින් තවදුරටත් පෙර දුටු රෙදිකඩම පෙනේ.



පෙනීම සිදුවන භෞතික ක්‍රියාවලියේදී බාහිර වස්තුව, ඇසේ කේතු සෛල, මොළයට යන විද්‍යුත් සංඥාව හා මොළයේ සිදුවන දත්ත සැකසුම පිළිවෙලින් සිදුවේ. අවසානයේදී අප දකින රූපය මොළය විසින් සිදුකරන දත්ත සැකසුමේ ප්‍රතිඵලයකි. එහෙත්, අපට සිතෙන්නේ අප දකින්නේ අපෙන් පිටත ඇති බාහිර වස්තුව බවයි.

දෙවන අදියර දක්වා පැමිණෙන කෙනෙකු බාහිර වස්තුව සහ කේතු සෛල අතර සම්බන්ධය බිඳ දමා අවසන්ය. දැන් මේ පුද්ගලයාගේ දැකීමේ ක්‍රියාවලිය ඇරඹෙන්නේ ඇසේ කේතු සෛල වලිනි. එම ක්‍රියාවලියට අවධානය යොමු කළ විට නිල් කේතු සෛල වලින් ලබා දෙන සංඥාව පමණක් වෙන් කරගෙන කර්මස්ථානය ලෙස භාවිතා කළ නිල් රෙදිකඩ හරියටම නිල් නොවූ නිසා රතු හා කොළ සෛල වලින් අතරින් පතර එන වෙනත් සංඥා ඉවත් කර ගත හැකිය. එසේ කළ විට පෙනෙන්නේ ඉතා පිරිසිදු දීප්තිමත් නිල් පැහැයකි. එය කෙනෙකුට දැකිය හැකි හොඳම නිල් පැහැයයි. නීල කසිණය හා අදාළ පටිභාග නිමිත්ත මෙය මෙය විය යුතුය.

කෙසේ වුවද අවසානයේදී යම් පුද්ගලයෙකු විසින් දකින නිල් පැහැය හදන්නේ නිල් කේතු සෛල විසින්ද නොවේ. එය කරන්නේ නිල් කේතු සෛල වලින් පැමිණෙන සංඥාව අවබෝධ කරගන්නා මොළය විසිනි. එසේනම්, ඇත්තටම නිල් පැහැය දකින්නට මේ සංඥාවද අවශ්‍ය නැත. බාහිර වස්තුව, ඇසේ කේතු සෛල හෝ මොළයට ලැබෙන සංඥාව නැතත් කෙනෙකුට නිල් පැහැය දැකිය හැකිය. ඒ නිල් පැහැය දැන් තමන්ගේ පාලනය යටතේ තිබේ. ඒ නිසා තමන්ගේ මොළය විසින් දකින ලෝකය තුළ ඒ නිල් පැහැය තමන්ට කැමති පරිදි පතුරුවන්නට හා පාලනය කරන්නට පුළුවන.


දෘෂ්ඨිය හා සම්බන්ධ අනෙකුත් කසිණ භාවනා වලින් කෙරෙන්නේද මෙවැන්නක් විය යුතුය.

නීල කසිණය: දෘෂ්ඨි වර්ණාවලියේ කෙටි අන්තයට අවධානය යොමු කර නිල් කේතු සෛල උපරිමයට ආරෝපණය කිරීම කෙරෙහි සිත යොදවයි.


ලෝහිත කසිණය: දෘෂ්ඨි වර්ණාවලියේ දිගු අන්තයට අවධානය යොමු කර රතු කේතු සෛල උපරිමයට ආරෝපණය කිරීම කෙරෙහි සිත යොදවයි.


පීත කසිණය: දෘෂ්ඨි වර්ණාවලියේ මැදට අවධානය යොමු කර රතු හා කොළ කේතු සෛල එක සමානව ආරෝපණය කිරීම කෙරෙහි සිත යොදවයි.


ඕදාත කසිණය: දෘෂ්ඨි වර්ණාවලියේ සමස්ත පරාසය වෙත අවධානය යොමු කර නිල්, රතු හා කොළ කේතු සෛල තෙවර්ගයම එක සමානව ආරෝපණය කිරීම කෙරෙහි සිත යොදවයි.


ආලෝක කසිණය: කේතු සෛල අතහැර යෂ්ඨි සෛල වලින් එන ආරෝපණය කිරීම කෙරෙහි සිත යොදවයි.


මේ අනුව, මේ භාවනා පුරුදු කරන කෙනකුට තමන්ගේ දැකීමේ මෙන්ම තමන් විසින් දකින ලෝකයේද සැබෑ ස්වභාවය පහසුවෙන් තේරුම් ගත හැකිය. ඒ අයුරින්ම, ස්පර්ශය හා අදාළ කසිණ භාවනා මඟින් තමන්ට දැනෙන ලෝකයේ සැබෑ ස්වභාවයද පහසුවෙන් තේරුම් ගත හැකිය. තවත් ඉන්ද්‍රියයන් ඇති නමුත් මිනිසුන් ලෝකය අවබෝධ කරගන්නේ ප්‍රධාන වශයෙන්ම දෘෂ්ඨිය හා ස්පර්ශය මඟිනි.  

(Image: www.fryba.cz)

16 comments:

  1. අද කාලයට ගැලපෙන මාතෘකාවක්. බෞද්ධ දර්ශනය, යථාර්ථය, විද්‍යාව යන්න සංකලනය කොට මෙවැනි සංවාද ඇතිකල යුතු කාලය වර්තමානය ලෙස මමද දකිමි.

    පන්සල්වල සිල් අරගෙන සාම්ප්‍රදායිකව සියල්ල අසාසිට පැමිණෙන උපාසක උපාසිකාවන් සමග මෙවැනි සංවාදයක් කළහැකිනම්, ඔවුන්ගේ ධර්මාවබෝධය මීට වඩා පුළුල් වනු ඇත.

    ReplyDelete
  2. මගේ අදහසට අනුව භාවනාවෙන් කෙරෙන්නේ විසිරෙන සිත එක් අරමුනකට ගැනීමයි.සමථයේ අරමුන එක අරමුනකට විශේෂ සිතිවිල්ලකට සිත රදවා තබා ගැනීමයි.ආධුනිකයා සමථ භාවනා වැඩීමේදී ප්‍රවේසම් විය යුතුය.
    භාවනාව කිසිදු ආගමකට අයත් නැත. එසේම භාවනාවෙන් මැජික් කල හැකිය යන අදහසද වැරදිය.
    අන්‍යාගමිකයෙක් දෙවියන් වහන්සේ අරමුනු කරගත්තත් බෞද්ධයෙක් බුද්ධානුස්සතිය වැඩුවත් මොළයේ භෞතික ලෙස සිදුවන්නේ එකම දෙයකි.

    විපස්සනාවේදී මෙම අරමුනද නැත. එහිදී විශේෂ අල්ලාගැනීමක් නැත. එය සමාධියක් නොව ප්‍රඥාවකි.

    අහසේ පක්ශීන් පියාසර කරන සැටි දකින්න.
    පරිසරය දෙස බලන්න. ගස් වැල් සෙලවෙන සැටි බලන්න.
    ගස් වැල් වල විවිධත්වය දකින්න.
    ( මෙහිදී කිසිවක් පියකරුය ආදී වශයෙන් නොගත යුතුය.
    ඔබගේ සුදු ඇදුම කිළිටිවන සැටි දකින්න.
    ඔබගේ යම් භාන්ඩයක් පරන හැටි දකින්න,
    ඔබගේ අතීතය මෙනෙහිකරමින් ඔබ තුල සිදුවූ වෙනස්කම් දකින්න.
    කාලයත් සමග අවට පරිසරයේ වෙනස්කම් දකින්න.
    පරිසරයේ විවිධත්වය දකින්න.
    අනිත්‍ය බව ,වෙනස්වන සුළුබව දකින්න.
    එයම ප්‍රඥා භාවනාවකි.


    සියළු භාවනාවනගෙන් අවසානයේදී සිදුවන්නේ මමත්වය නැතිකිරීමය.

    භාවනා ගැන දැනගැනීමට බොහෝ වෙබ් අඩවි ඇත. ඉතා සරලව ක්කරුනු පැහැදිලිකර ඇති මෙම වෙබ් අඩවිය තුලින් ආධුනිකයෙකුට යම් දැනීමක් ලබාගත හැක.

    http://www.namaskara.lk/?sid=article&dt=2015/02&id=2015/02/npg60_0

    ReplyDelete
    Replies
    1. මගේ අදහසත් මෙයට කිට්ටුයි.

      Delete
  3. එතකොට අපගේ සංවේදනයන්ට අහු නොවෙන දේ වෙනුවෙන් සිත යොමු කරන දේ විද්‍යාත්මක දේ නිර්ක්ෂණය කිරීමට උත්සාහ කිරීමේදි මෙම දස කසීණයන් අතිරමණය වෙන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නය හරියටම තේරුණේ නැහැ, දේශා.

      Delete
    2. සමාවෙන්ඩ ඕන අකුරුත් වැරදිලා.. අදහසත් ඇවිත් නැහැ.

      මම ඇහැව්වේ දැං අපි හිතන හා අපිට දැනෙන දේ ඒ කියන්නේ ග්‍රහණය කර ගත හැකි ප්‍රමාණය මත නේ මෙම දස කසීණයන් අදාළ වන්නේ. නමුත් මේ විශ්වීය කාරණා වලදි අපට සංවේදනය වන දේ ට අමතර දේවල් කොපමණ තියේද කියල අපවත් දන්නැති කොට මෙම දස කසීණයන් අත්‍රක්‍රමණය කරමින් තවත් ඉදිරියට යන්න පුළුවන්ද යන්නයි මගේ ප්‍රශ්නය. කෙටින්ම ඇහුවොත් විසි කසිණයන් තියෙන්න බැරිද?

      Delete
    3. මේවා විස්තර කර ඇති ආකාරයට මෙවැනි පුහුණුවීම් වල අරමුණ එසේ ඉදිරියට යාම තමයි. සමථ භාවනා හතළිහක් තියෙනවා. කසිණ භාවනා අයත් වන්නේ පුහුණුවේ මුල් අදියරට. ඉන්පසු විපස්සනා භාවනා. මා මේ කිසිවක් පුහුණු කර නැති නිසා අත්දැකීමක් හරියට නැතුව මේ කියන ඉදිරි පියවර වලදී වෙන දෙය මට අවබෝධ කරගන්න අමාරුයි. දැනටනම් මට මේවා අත්හදාබැලීමේ අරමුණක් හෝ අවශ්‍යතාවයක් ඇති වී නැහැ. ඒ නිසා මට මේ අත්දැකීම් තේරුම් ගත හැකි එකම ක්‍රමය වෙනත් අය කලින් කලට සටහන් කර ඇති කරුණු හැදෑරීම පමණයි. ඒ අත්දැකීම් බොහෝ දුරට සමාන නිසා ඒවා (මරණාසන්න අත්දැකීම් මෙන්) සැබෑ අත්දැකීම් බව මම හිතනවා.

      Delete
    4. අද තමයි ලිපිය කියවන්න හම්බවුනෙ.

      @දේශකයා... ඔබ අහන්නේ අපේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවන, භාවනාවට යොදාගන්නා අරමුණු තිබේද කියලද? එහෙමනම් මේ කසින භාවනා අයිතිවෙන රූපී කියන ධ්‍යානයන් 4 වන මට්ටම දක්වා වඩල ඉන්පසුව පුරුදු කරන්න පුළුවන් අරූපී ධ්‍යාන. ඒකෙදි ගන්නෙ පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන අරමුණු නෙවේ.

      Delete
  4. ඉකොන්....කවදාවත් භාවනා කරලා නම් නැහැ. හිත හීලෑ නැහැ..හරිම මුරණ්ඩුයි...තැන තැන ඇවිදිනවා....හිතුන හිතුන තැන නවතිනවා.

    පල්ලෙහා ලිපිය කියවා බලන්න. ඔබට යමක් එකතුකරගත හැකියි කියා විශ්වාස කරනවා.

    මෙයාකාරයෙන්ම කිසියම් අරමුණක සිත පිහිටුවා ගෙන භාවනා කරන අයකුට ද එම භාවනා කමටහන ඔහු විසින් ග්‍රහණය කර ගන්නා ආකාරවලට අනුව යම් යම් නිමිති පහළවීමක් සිදු වෙයි. භාවනා පිළිබඳ කිසිවක් නොදන්නා භාවනා නොකළ අයකුට මේ දේවල් කියවන හා අසන විට දී විහිළුවක්, පිස්සු විකාරයක් ලෙස හැඟෙන්නට පුළුවන. එහෙත් සත්‍යය නම් භාවනා කරන විට දී ඒ ඒ සමාධි තල වල දී නිමිති පහළවීම, සත්‍ය වශයෙන්ම සිදුවන මානසික ස්වභාවයක් බවයි.

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙක්ට පොදු අත්දැකීමක් තියෙනවනම් එයට පැහැදිලි කිරීමකුත් තියෙන්න ඕනෑ.

      Delete
    2. භාවනාව නිවැරදිව කිරීමට උදව්වන ප්‍රධාන දේවල් කීපයක්ම තියනව.
      ඒ තමයි සීලය, ඉන්ද්‍රීය සංවරය, ආහාරයේ පඨිකූලතාවය, සහ සතිය
      ඒව පිළිවෙලින් පුරුදු නොකර භාවනාව විතරක් කිරීම නිසා මෙවැනි අත්දැකීම් ලැබීම වෙන්න පුළුවන් දෙයක්. විඤ්ඤාණයේ මායාකාරී ස්වාභාවය නිසාත්, සංඥාවේ මිරිඟු ස්වාභාවයත් නිසා ලැබෙන එවැනි අත්දැකීම් ලැබෙනවිට එවා හඳුනාගෙන බැහැර කිරීම කලයුතුයි.

      Delete
  5. බුද්ධාගම විද්යාත්මකයි කියල ඉතින් මිනිස්සුන්ට පොඩි ආතල් එකක් දෙන එකෙත් අවුලක් නැහැ

    ReplyDelete
    Replies
    1. බුද්ධාගම විද්යාත්මකද කියන ප්‍රශ්නය මට අනුවනම් තේරුමක් නැති ප්‍රශ්නයක්, ඇනෝ.

      Delete
  6. අරහං කියන වචනේ ජනගත තේරුම සිහිවුණා!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget