Thursday, May 12, 2016

අලි මදිවට හරක් ප්‍රශ්න


ගව මස් කෑම හා ඒ නිසාම අනියමින් ගව ඝාතනයට අනුබල දෙන ඇතැම් අය දම්වැලින් කකුල් බැඳ පෙරහැරක ගෙන යන අලියෙකුගේ හෝ ඇතෙකුගේ 'මානව අයිතිවාසිකම්' ගැන කණගාටු වන්නේ ඇයිද යන්න ඇතැම් අයට ප්‍රශ්නයකි. ගව ඝාතනය වැළැක්වීමේ අරමුණින් ගිණි තබාගෙන සියදිවි නසාගැනීමට නොපැකිළෙන අයෙකු හෝ එවැනි ක්‍රියාවක් උත්කර්ෂයට නංවන අයෙකු කැලේ සිටින අලි පැටවෙකු මවගෙන් වෙන් කර රැගෙන විත්  'සමාජගත කිරීම' සඳහා 'නවක වදයට' ලක් කිරීම ප්‍රශ්නයක් ලෙස නොදකින්නේ ඇයිද යන්න තවත් අයට ප්‍රශ්නයකි. (සියදිවි නසාගැනීමක් නොකියා ජීවිත පූජාවක් කරන අයෙකු කියා වෙනස් අයුරකින් කිව හැකිය. කෙසේ හැඳින්වුවද, මා අදහස් කරන්නේ යම් පුද්ගලයෙකු විසින් ස්ව කැමැත්තෙන් තම ජීවිතය අවසන් කර ගැනීමයි.)

මේ ආකාරයේ 'අලි මදිවට හරක්' ප්‍රශ්න වලට පිළිතුර ඇත්තේ ප්‍රශ්නය තුළමය. වෙනත්, අයුරකින් කිවහොත් ප්‍රශ්නය අසන සන්දර්භය තුළය. ඉහත ප්‍රශ්න මතුවන්නේම යම් නිශ්චිත ආගමික, සංස්කෘතික හා මතවාදී රාමුවකට සාපේක්ෂවය. ඒ නිසා, වෙනත් ආගමික, සංස්කෘතික හා මතවාදී රාමුවකට සාපේක්ෂව ඇතැම් විට මේ ප්‍රශ්නයට පිළිතුර අවිවාදිත එකක් විය හැකි අතර තවත් රාමුවකට සාපේක්ෂව මෙහි පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක් නොතිබෙන්නට වුවත් පුළුවන.


ඉහත ප්‍රශ්න ඇසෙන්නේ අලියෙකුගේ ජීවිතය සහ හරකෙකුගේ ජීවිතය සමාන ලෙස සලකන රාමුවකට සාපේක්ෂවය. මෙය තවත් දිගු කළහොත් මේ රාමුව යනු පණ ඇති සෑම සත්ත්ව ජීවිතයකටම සමාන වටිනාකමක් ඇතැයි යන රාමුවයි. සංස්කෘතිකව ලංකාවේ බොහෝ දෙනෙකු කාලයක් ජීවත් වී ඇත්තේත්, දැනට ජීවත් වන්නේත් මෙවැනි සංස්කෘතික රාමුවක් ඇතුළේය. මේ රාමුවේ පදනම ප්‍රාග්-බෞද්ධ වෛදික මතවාදී රාමුවයි.

බුද්ධ කාලයට පෙර සිට වත්මන් ඉන්දියාවේ පැවති විශ්වාසයන්හි මෙන්ම අදටත් බොහෝ දෙනකු අදහන හින්දු හා ජෛන ආගම් වල භෞතික සිරුරට වඩා ප්‍රමුඛත්වය ලැබෙන්නේ භෞතික සිරුර තුළ ඇතැයි සැලකෙන අධ්‍යාත්මික සිරුරට නැත්නම් ආත්මයටය. මේ විශ්වාස අනුව, 'සැබෑ' පුද්ගලයා යනු මේ ආත්මයයි. භෞතික සිරුර යනු මේ 'සැබෑ' පුද්ගලයා තාවකාලිකව ජීවත් වන නිවෙසයි. මේ අතින් මේ අදහස ආබ්‍රහමික ආගම් වල දැනට පිළිගැනෙන ආත්මය පිළිබඳ සංකල්පය සමඟ ගැලපේ. (ඇතැම් දේවධර්මාචාර්යවරුන්ට අනුව ආත්මය යන අදහස ආබ්‍රහමික ආගම් වලට පසුව එකතු වූවකි. මුලදී තිබී ඇත්තේ ශුද්ධාත්ම සංකල්පය පමණි.) කෙසේවුවද, පැරණි ඉන්දියානු ආගම් ආබ්‍රහමික ආගම් සමඟ සම්පාත වන්නේ පුද්ගලයෙකුගේ උපතේ සිට මරණය දක්වා පමණි.

සංසාර සංකල්පය බෞද්ධ සංකල්පයක් නොවේ. එය බුද්ධ කාලයට බොහෝ පෙර සිට පැවති සංකල්පයකි. මේ අනුව, 'සත්ත්වයා' ගිණිය නොහැකි වාර ගණනක් සංසාරයේ මැරි මැරී උපදී. මෙසේ මැරි මැරී නැවත නැවතත් උපදිද්දී විනාශ වන්නේ භෞතික සිරුර පමණි. මිය යන වාරයක් පාසා අළුත් 'නිවසක්' සොයා ගන්නා ආත්මය මරණය හේතුවෙන් විනාශ නොවේ. මරණින් මතු ලැබෙන අළුත් නිවස ගව සිරුරක් හෝ ඇත් සිරුරක් විය හැකිය. අවසානයේ විමුක්තිය ලබන්නේ මෙසේ අස්ථිර සිරුරු නිවෙස් කර ගනිමින් කාලාන්තරයක් සසර සැරි සරන ආත්මයයි.


ජීවිතය ස්වභාව ධර්මය සමඟ කරන නිරන්තර සටනක් වූ මැදපෙරදිග කාන්තාර දේශගුණයේ ජීවිතයට සාපේක්ෂව පැරණි ඉන්දියාවේ ජන ජීවිතය වඩා සුමට හා සාමකාමී එකක් විය. මේ පරිසරය තුළ ජීවත් වූ මිනිසුන්ට අලින් හා හරකුන් යනු තමන්ගේ ආහාරයක් ලෙස නොපෙනී තමන්ට දැනෙන හැඟීම් දැනීම් එලෙසින්ම දැනෙන තමන්ගේම අනෙකා ලෙස පෙනෙන්නට ඇත.

කිසියම් මතවාදී හෝ සංස්කෘතික රාමුවක් වෙනත් රාමුවකට සාපේක්ෂව ප්‍රශ්නකාරී වුවත්, අදාළ රාමුව තුළ එවැනි ප්‍රශ්නයක් නැත්නම් ඒ රාමුව කාලයක් ස්ථායීව පවතී. එවැන්නක් වෙනස් වන්නේ වෙනත් බාහිර  සංස්කෘතික රාමුවක් සමඟ ගැටුණු විටය. එහෙත්, යම් රාමුවක් එම රාමුව තුළම ප්‍රශ්න කෙරෙන විට, අදාළ රාමුව ස්වාධීනවම පැවතුණේ වුවද එවැනි අභ්‍යන්තර විසංවාද ඉවත් කරගැනීම සඳහා, ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ.

පණ ඇති සෑම සත්ත්ව ජීවිතයකටම සමාන වටිනාකමක් ඇතැයි යන රාමුව එම රාමුව තුළම ප්‍රශ්න කෙරෙන්නකි. පළමු මූලික ගැටළුව වන්නේ පණ ඇති සත්ත්ව ජීවිතයක් යනු කුමක්ද යන්නයි. මෙහිදී ඕනෑම විශ්ලේෂණයක් ඇරඹෙන්නේ තමන්ට සාපේක්ෂවය. 'මම' යනු 'පණ ඇති ජීවියෙක්' වේනම් මා තරමට 'දියුණු' නැති මගේ අළුත උපන් දරුවාද පණ ඇති ජීවියෙක් විය යුතුය. ඒ නිසා ඔහුගේ හෝ ඇයගේ 'මගේ ජීවිතය තරමටම වටිනා' ජීවිතය මගේ ජීවිතය තරමටම හෝ ඊට වඩා යහපත් කර ගැනීමට ලබාදෙන උදවුවක් වශයෙන් මා මගේ දරුවාව මා හොඳයයි සිතන ආකාරයට පුහුණු කළ යුතුය. මේ සංකල්පය ඉන්පසුව මගේ පවුලෙන් පිටතට හා මගේ කුලයෙන්, ජනවර්ගයෙන් පිටතට ආදී වශයෙන් පළල් කළ හැකිය. ඉන්පසු මගේ බල්ලා, පූසා, හරකා හෝ අලියා දක්වාත් මගේ නොවන වෙනත් බල්ලන්, පූසන්, හරකුන් හා අලින් දක්වාත් පුළුල් කළ හැකිය. ඇසට පෙනෙන සියළු සතුන් දක්වාත්, ඇසට නොපෙනෙන සතුන් දක්වාත් පුළුල් කළ හැකිය. සතුන් නොවන ගස්වැල් දක්වාත් පුළුල් කළ හැකිය. 



මෙසේ මා හඳුනාගන්නා මට මෙන්ම ආත්මයක් ඇති පණ ඇති සතුන් පරාසය පුළුල් කරගෙන යන විට තවත් බාධකයක් හමුවේ. ඒ මගේ ආහාර යනු මොනවාද යන්නයි.

මිනිසෙකුට ඔහුගේ පවුලේ සාමාජිකයෙකුව හෝ වෙනත් මිනිසෙකුව මරා මස් ආහාරයට ගන්නට බැරිකමක් නැත. එහෙත්, එවැනි දේ සිදුවන්නේ ඉතා කලාතුරකිනි. තමන්ගේම වර්ගයා (තමන් සමඟ සංසර්ගයෙන් සරු ජනිතයෙකු බිහි කිරීමට හැකි තරම් සමානත්වයක් ඇති ජාන දරන අය) විනාශ කරන සත්ත්ව වර්ගයකයට දීර්ඝකාලීනව වඳ වී නොසිටිය හැක්කේ කෙටි කලක් තුළ ඉතා විශාල ජනිතයන් සංඛ්‍යාවක් බිහි කිරීමේ ජීව විද්‍යාත්මක හැකියාවක් ඇත්නම් පමණි. මෙවැනි හැකියාවක් ඇති සතුන් සුලභ නැත. ඒ නිසා තමන්ගේම වර්ගයාගේ මස් ආහාර ලෙස නොසැලකීමේ පදනම පැහැදිලි එකකි. එසේනම්, හෝමෝ සේපියන්ස්ලාට සංසර්ගයෙන් සරු ජනිතයින් බිහි කළ නොහැකි අනෙක් සතුන්ගේ මස්?



භෞතික සිරුර විනාශ වීමෙන් පසු තව දුරටත් ඉතිරි වන ස්ථිර ආත්මයක් ඒ තුළ තිබේයැයි සිතූ විට එවැනි ආත්මයක් සහිත ජීවියෙක් ආහාරය පිණිස හෝ වෙනත් හේතුවකට මරණයට පත් කිරීම ප්‍රශ්නයක් වේ. ඒ නිසා, ආත්මයක් සහිත "පණ ඇති" හා ආත්මයක් රහිත "පණ නැති" දේ වෙන් කර ගැනීමට නිර්ණායකයක් අවශ්‍ය වේ. ඒ සඳහා, කොතනින් හෝ ඉරක් අඳින්නට සිදු වේ. එහෙත්, මේ ඉර කාටත් එකඟ විය හැකි පැහැදිලි එකක් නොවේ.  


ආබ්‍රහමික ආගම් වල මේ ඉර ඇඳ ඇත්තේ මිනිසුන් අනෙකුත් සියළුම සතුන් හා ශාක වලින් වෙන් කරමිනි. මේ අනුව, එක්කෝ අනෙකුත් සතුන්ට මිනිසුන්ට මෙන් ආත්මයක් නැත. එසේ නැත්නම්, සතුන්ට ඇත්තේ මිනිසුන්ට ඇති ආත්මයට වඩා වෙනස් ආත්මයකි. මේ අනුව, ආහාරය පිණිස සතෙකු මැරීමේ හා තිරිඟු ගසක් කපා තිරිඟු ඇට සූරා ගැනීමේත් බිත්තරයක් තැම්බීමේ හා අර්තාපල් අලයක් තැම්බීමේත් ආකෘතිමය වෙනසක් නැත. බෞද්ධ ඉගැන්වීම් වලට වඩා පරම්පරාවකින් පරණ, පරම අවිහිංසාවාදී ධර්මයක් වන ජෛන ඉගැන්වීම් අනුව ආහාරය පිණිස සතෙකු මැරීම මෙන්ම ශාකයක් විනාශ කිරීමද වරදකි. මේ නිසා ජෛනාගමිකයෝ ආහාරයට ගන්නා කොටස ලබා ගැනීම සඳහා ජීවී ශාකයක් 'මරා දැමිය යුතු' අල වර්ග හා ළූණු වර්ග ආහාරයට නොගනිති. 

සිද්ධාර්ථ ගෞතමයන්ගේ ඉගැන්වීම් අනෙකුත් සමකාලීන මෙන්ම පසුකාලීන ආගමික ඉගැන්වීම් වලින් මූලික වශයෙන්ම වෙනස් වන්නේ භෞතික සිරුර තුළ ඇති ස්ථිර හෝ සදාකාලික ආත්මයක් පිලිබඳ අදහස ප්‍රතික්ෂේප කිරීම නිසාය. (ආත්මවාදය ප්‍රතික්ෂේප කළ වෙනත් ශාස්තෘවරුද බුද්ධ කාලයේ මෙන්ම ඊට පෙරත් සිටියහ.)

"කොයි සතාගේ පණත් සමානය" යන  වෛදික අදහස බෞද්ධ ඉගැන්වීම් සමඟ ගැලපෙන්නක්යයි මා සිතන්නේ නැත. බුද්ධ දේශනා වලින් බොහෝ විට ඉස්මතු වන්නේ වෙනත් සත්ත්ව ජීවිත වලට සාපේක්ෂව මිනිස් ජීවිතයක ඇති වැඩි වටිනාකම පිලිබඳ අදහසයි. සිද්ධාර්ථ ගෞතමයින් විසින් දකින මිනිසා බුද්ධිය අතින් අනෙක් සියළු සත්ත්ව වර්ග වලට වඩා ඉදිරියෙන් සිටින සතෙකි.

බෞද්ධ අවිහිංසාවාදයේ පදනම වනුයේ වැඩි බුද්ධි මට්ටමක් ඇති මිනිසුන් විසින් තමන්ට මෙන්ම හැඟීම් දැනීම් ඇති, මරණය හා දඬුවම් හේතුවෙන් බියට හා තැති ගැන්මට පත්වන තවත් සතෙකුව එසේ වේදනාවට පත් කිරීම නොතරම් දෙයක් බවයි. එය පුද්ගල නිදහස පිළිබඳ සංකල්පය හැඟීම් දැනීම් ඇති වෙනත් සත්ත්ව කොටස්ද ඇතුළත් වන පරිදි පුළුල් කිරීමක් මිස හරකෙකුගේ හෝ අලියෙකුගේ ජීවිතය මිනිස් ජීවිතයක් සමඟ සමාන කිරීමක් නොවන බව මගේ අදහසයි.


ප.ලි. උඩ ඇති රූපයේ ඔබට පෙනෙන්නේ අලි ඔළුවක්ද නැත්නම් හරක් ඔළුවක්ද?

(Image: www.alamy.com)

30 comments:

  1. ජීවිතය ස්වභාව ධර්මය සමඟ කරන නිරන්තර සටනක් වූ මැදපෙරදිග කාන්තාර දේශගුණයේ ජීවිතයට සාපේක්ෂව පැරණි ඉන්දියාවේ ජන ජීවිතය වඩා සුමට හා සාමකාමී එකක් විය. මේ පරිසරය තුළ ජීවත් වූ මිනිසුන්ට අලින් හා හරකුන් යනු තමන්ගේ ආහාරයක් ලෙස නොපෙනී තමන්ට දැනෙන හැඟීම් දැනීම් එලෙසින්ම දැනෙන තමන්ගේම අනෙකා ලෙස පෙනෙන්නට ඇත. ////////////// ++++++++++++++

    ReplyDelete
  2. //*එය* පුද්ගල නිදහස පිළිබඳ සංකල්පය හැඟීම් දැනීම් ඇති වෙනත් සත්ත්ව කොටස්ද ඇතුළත් වන පරිදි පුළුල් කිරීමක් මිස හරකෙකුගේ හෝ අලියෙකුගේ ජීවිතය මිනිස් ජීවිතයක් සමඟ සමාන කිරීමක් නොවන බව මගේ අදහසයි.//

    මම ද එපරිද්දෙන් ම සිතමි.

    ReplyDelete
  3. රූප දෙකම පේනවා..
    ///.කිසියම් මතවාදී හෝ සංස්කෘතික රාමුවක් වෙනත් රාමුවකට සාපේක්ෂව ප්‍රශ්නකාරී වුවත්, අදාළ රාමුව තුළ එවැනි ප්‍රශ්නයක් නැත්නම් ඒ රාමුව කාලයක් ස්ථායීව පවතී. එවැන්නක් වෙනස් වන්නේ වෙනත් බාහිර සංස්කෘතික රාමුවක් සමඟ ගැටුණු විටය.///

    මට හිතෙනවා මනසින් දියුණුයි කියන මිනිස් සතා තරන් සොබාදහමත් , අනිත් අයගෙත් පැවැත්ම නොසලකා තමන්ම එක එක පරිසර පද්ධතින් වලට අනුපුරකව හදාගත් විවිධාකර මත සධාරණිකරනය කරන්න පෙලඹෙන වෙන කිසිම සත්තු ජාතියක් නැහැ...

    ReplyDelete
    Replies
    1. පොඩි අවුලකට තියෙන්නේ, නිම්නා, ස්වභාව ධර්මය හා පරිසර පද්ධතියක් කියන්නේ මොකක්ද කියන එකත් සාපේක්ෂ සංකල්පයක් වීමයි. උදාහරණයක් විදිහට වේ තුඹසක් හරි වඩු කුරුළු කූඩුවක් හරි ස්වභාව ධර්මයේ කොටසක්නම් ලංකා බැංකු ගොඩනැඟිල්ල ස්වභාව ධර්මයේ කොටසක් නොවෙන්නේ කොහොමද කියන එකට පැහැදිලි පිළිතුරක් නැහැ නේද?

      Delete
  4. හින්දු ආත්ම සංකල්පය පැහැදිලිය.සැරිසරන ආත්මයක් ගැන ඔවුහු කියති.නමුත් බුදුදහමේ මෙය අපහැදිලිය. මට සිතෙන පරිදි මෙතන වචන සෙල්ලමක් ඇත. උදාහරනයකට උපදින්නේ මැරුන කෙනාත් නොවේ අලුත් කෙනෙකුත් නොවේ කියා කියයි. ඉන් පසු චතුෂ්කෝටික තර්කය අරකය මේකය කියා කියයි. නමුත් මෙහිදී එක් වචනයක අඩුවක් ඇත. යලි උපදින්නේ මැරුන කෙනා ඇසුරින් පහල වූ නව සත්වයෙකි. බලන්න ඇසුරින් යන වචනය අඩු නිසා අහස පොලව ගැටලන්නට රෑ එලි වෙන කල්ම තර්ක කරන්නට සිදුවූ සැටි.

    මේ අනුව බෞද්ධ සිතිවිලි පරම්පරාව හින්දු ආත්මයෙන් වෙනස් නොවේ. ආත්මය කියන වචනයට සිතිවිලි පරම්පරාව කියා වෙනත් වචනයක් ආදේශ කිරීම පමනි. පසුකාලීන මහායානිකයෝ මනෝකාය සංකල්පය ප්‍රවර්ධනය කලහ.
    අනාත්මවාදී වෙන්න යන්නේනම් එය නතරවන්නේ භෞතික වාදයෙනි.

    මගේ වැටහීම බුදුන් සිත ගැන විග්‍රහයක් කල බවයි. ඒ අනුව භවයක් යනු සිතිවිල්ලකි. අප සැබවින්ම ජීවත් වන්නේ මෙම ක්ෂනයේය. හැඩිදැඩි පුරුශයෙකු සිය බාහුව දිග හරින තරමක වේගයෙන් ( බුදු හිමියන්ගේ උපමාව ) මෙම ක්ෂනය වෙනස් වෙයි. ඒ අනුව බෞද්ධ ස්න්සාරය යනු අපගේ මෙම ජීවිතයමය.
    මහනෙනි දිව්ලොවද ,බඹලොවද නිවනද බඹයක් තරම් වන මේ සිරුරේ ඇත කියා බුදුන් දෙසුවේ එයයි.
    එහෙත් අශෝක යුගයේදී බුදු මග බඩගිනි බුද්ධාගමක් වූ පසු මෙම සංවාදය නතර වී නිවන කල්ප ලක්ෂයකට කල් දමා දන් දීමේ අනුහස් ගැන නිච්චි නිනව් නැතිව දේශනා කරන කන්ට මංග සූත්‍රයක් බවට බුදුදහම පත් විය.

    සුනීතලා සෝපාකලා දාරුචීරියලා,චුල්ලපන්ථකලාට පහසුවෙන් රහත් (අවබෝධය ලැබීම )විය හැකිව තිබුනි. නමුත් බඩගිනි බුද්ධාගම ජයගැනීමත් සමග සරලුවක් දන් දී කෙලකෝටියක් දිව සැප පතන බෞද්ධයෙක් බිහිවිය.

    ReplyDelete
  5. මෙය මාත් කතා කරන්න කැමති ක්ශේත්‍රයක්. ඇතැම් ප්‍රාථමික ශාක සහ සතුන් වෙන්කර හදුනාගැනීමත් දුෂ්කරයි. ඒබ්‍රහමික ආගම්වල ආත්ම සංකල්පය පැහැදිලියි. මිනිස්සු මැරිල ඇමීබා ,පැරමීසියම් වගෙ සතුන් වෙලා උපදින කතා අවුල් වගෙ. සමහර සතුන්ගෙ( නම මතක නෑ ) හිස කොටස කැඩුවම කද කොටසෙන් හිසක් ලියලනව. හිසෙන් අලුත් කද කොටසකුත් ලියලනව. මේවට වචන උඩප්පරං ගහල තර්ක හොයාගත්තත් මූලික අදහස හෙනම අවුල්.
    විඥානයක් තියෙන්නෙ මිනිසාට පමනක් නිසා මිනිසුන් මැරිල මිනිසුන් ලෙසම උපදිනවනම් එතන යම් නිරවුල් බවක් තියනව.

    කර්මය වගෙ සංකල්පත් හරිම අපහැදිලියි.ප්‍රවේණික රෝග වගෙ දේවල් වලට අද විද්‍යාවෙන් ප්‍රතිකර්ම සොයාගෙන තියනව.දුප්පත්ව උපදින්නෙ පවුලකාමය කියන කතාව සමාජවාදය වගෙ දේශපාලන දර්ශන නිසා අභියෝගයට ලක් වෙනව.ඒ විතරක් නොවෙයි නියාම ධර්ම වල එන උතු නියාම,බීජ නියාම, ධම්ම නියාම ,චිත්ත නියාම වල දේවල් ඇරුනම අමුතුවෙන් කර්මයක් අවශ්‍ය නැති තරම්. කර්මය බෞද්ධ සංකල්පයක්ද කියන ප්‍රශ්නෙත් එනව.

    ආත්ම සංකල්පයත් මුල සිටම ඒකාකාරීව තිබුනෙ නෑ. සමූහාත්ම සංකල්පය තුල පුද්ගල ආත්මයක් නෑ. ක්‍රියාවේ ප්‍රතිපල භුක්ති විදින්නෙ සාමූහිකවයි.මෙය පරමාත්මය ලෙස හැදින්විය හැකියි.

    සමූහාත්මය ,සංයුක්ත පරමාත්මය( බ්‍රහ්මන් /චීන ටා ඕ ), වියුක්ත පරමාත්මය (යුදෙව් ආඅදර්ශය ), සැරිසරන ආත්මය ,අනාත්මය ( බෞද්ධ පැහැදිලි කිරීම )ලෙස ස්වරූප ගනනාවකින් ආත්ම සංකල්පය පැවතුනා.

    ආත්මය ඒබ්‍රහමික ආගම්වලට පසුව ලැබුන දෙයක් තමයි. මහා පරමාත්මය විසින් මලවුන් නැගිටුවා විනිශ්ඡය කරන විට ආත්මයක් ලෙසින් නොවෙයි මිනිසුන් එන්නෙලේ මස් ඇති ශරීරවලින් මයි. යුදෙව් හා ඉස්ලාම් ආගම්වල මෙය සදහන් වෙනවා.පුංචි ඇට කෑල්ලකින් ශරීරය අලුතෙන් හැදෙන හැටි සදහන් වෙනව. ඒකත් හරි අපූරු අදහසක්.ඒ කියන්නෙ ඒබ්‍රහමික ආගවලත් ආත්මයක් නෑ.එහෙම බැලුවොත් ඒවත් අනාත්මවාදියි.

    ReplyDelete
    Replies
    1. ඔබේ දිගු අදහස් දැක්වීමට ස්තුතියි, මධ්‍යස්ථ! මේ දේවල් ගැන ඔබ උනන්දු බව මම දන්නවා. සමහර ආගම් හා දර්ශන ගැන මට ඔබට තරම් දැනුමක් නැහැ. ඔබ මෙවැනි දේ හා අදාළව ලියපු පෙර ලිපි මම උනන්දුවෙන් කියෙව්වත් බොහෝවිට කමෙන්ට් එකක් දමන්න කාලය හරස් වෙනවා.

      කාට වුනත් තමන්ගේ දැනුම වෙනත් අයට සම්ප්‍රේෂණය කරන්න වෙන්නේ දෙදෙනාටම පොදු සංකල්ප භාවිතා කරමින්. දෙදෙනෙක් හරියටම එක විදිහටම අවබෝධ කරගන්න සංකල්ප නැති වුණත් අදහස් සම්ප්‍රේෂණය කිරීමට ප්‍රමාණවත් තරමට සමාන යන අදහසිනුයි පොදු කියන වචනය භාවිතා කරන්නේ. කර්ම, නිර්වාන, සංසාර වගේම බුද්ධ කියන සංකල්පයත් සිදුහත් උපතට පෙර සිට පැවති සංකල්ප. සිද්ධාර්ථ ගෞතමයන් විසින් කළේ මේ සංකල්පම අරගෙන ඒවාට වෙනස් අර්ථ දැක්වීම් දීමයි. ඒ නිසා වචනය එකම වුණත් අදහස වෙනස්. ඔබ කියන පරිදිම අශෝක යුගයේත්, ඉන් පෙර හා පසුවත් මේ සංකල්ප බොහෝ සේ වෙනස් වී ඇති නිසා ඒවා තුළ අනවශ්‍ය ලෙස කොටුවීම තේරුමක් නැති දෙයක්.

      මම මේ සංවාද ආකෘතිය ඇතුළේ වැඩි දුර යන්න අකැමති එයින් මගේ ෆ්ලෝ එක කැඩෙන නිසා. මුලින් කියන්න අවශ්‍ය දේවල් නොකියා වෙනත් දේ කතා කළහම වෙනස් අදහසකුයි මතුවන්නේ. මම ලියන ගොඩක් දේවල් එකිනෙකට සම්බන්ධයි. උපත, මරණය, ආහාර, මානව පරිණාමය, ආගම් හා සංස්කෘති, කාලය හා සාපේක්ෂ චලිතය, තාක්ෂනය, ඉන්ද්‍රිය හා මොළයේ ක්‍රියාකාරීත්වය ආදී සියල්ලම එකිනෙකට සම්බන්ධ දේවල්. මට අවශ්‍ය හැම දෙයක්ම ලියන්න අඩු වශයෙන් තවත් වසර හතරක්වත් යයි. :) ඒත් අන්තිමට ඔබ කෙටියෙන් කියනවට වඩා මහ ලොකු දෙයක් නැති වෙන්නත් පුළුවන්. ආර්ථික විද්‍යාව ගැන කියන දේවල් තරමක් දුරට වෙනත් සීමිත රාමුවක සිට ලියන නිසයි ඒ ලිපි වෙන් කළේ.

      සමහර දේවල් තනියම හිතල හෝ තර්ක කරලා තේරුම් ගන්න අමාරුයි. ඒ සඳහා කිසියම් බාහිර දැනුමක් අවශ්‍ය වෙනවා. හැමදේම දිගටම වෙනස් වෙනවනම් උපත හා නැතිවීමට අමතරව පැවැත්මක් තියෙන්නේ කොහොමද කියන එක වගේ ප්‍රශ්න මතුවෙන්නේ දාර්ශනික ලෙස පමණක් බලා විසඳුම් හොයන විට. පැවැත්ම කියන එක තේරුම් ගන්න ඇසෙන් සහ අනෙකුත් ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන සංඥා මොළය විසින් තේරුම් ගන්නේ කොහොමද කියන දැනුම අවශ්‍යයි. කේතු සෛල ගැන ලිපි ලිවුවේ ඒ නිසා. ඒත් මේ වෙනස් ට්‍රැක් වල යන ලිපි මාලා එකක්වත් අවසන් නැහැ. හදිසි ගමනක් යන්න මගේ අදහසක් නැහැ. තර්කනය ගැන මගේ අදහස තවත් එක් බලහත්කාරකමක් පමණයි කියන එක. තර්කනයෙන් පැහැදිලි කළ පමණින් මිනිස්සු අදහස් වෙනස් කරගන්නේ නැහැ. ඒ නිසා මම බොහෝ විට මම තමතමන්ට ස්වාධීනව හිතන්න උදවුවෙන්න තොරතුරු සැපයීම පමණයි කරන්නේ.

      Delete
  6. කිසිම සතෙක් කිසිම පෙරහැරක කිසිම විදිහකට ගෙන යාම වැලකිය යුතුයි කියන එක වගේම හාමුදුරුවරුන්ට හා පෙරහර සංවිධායකයින්ට ඕන දෙයක් කර ගත්තට කමක් නෑ ඒක තමා සංස්කෘතිය කියන එකත් වෙනස් කර ප්‍රායෝගිකව සත්ව හිංසාව වැලකිය යුතුයි

    ReplyDelete
    Replies
    1. ///////ප්‍රායෝගිකව සත්ව හිංසාව වැලකිය යුතුයි///////

      මේවා ප්‍රායෝගික වලකාගැනීම කොතරම් දුරට ප්‍රායෝගිකද? පාරේ රිලව් නටවන එක, නයි නටවන එක,අස්ස රේස්, බලු රේස්,සර්කස් සඳහා හෝ සතුන් ගෘහස්තව හෝ ප්‍රදර්ශන සඳහා කූඩු කිරීම, මේ වගේ ඒවා කොහොමද විසඳගන්නේ..ඔය විදිහට බැලුවොත් පරීක්ශන සඳහා සතුන් යොදාගැනීමත් ප්‍රශ්නයක් වෙයි නේද?
      ////Right now, millions of mice, rats, rabbits, primates, cats, dogs, and other animals are locked inside barren cages in laboratories across the country. They languish in pain, ache with loneliness, and long to be free. Instead, all they can do is sit and wait in fear of the next terrifying and painful procedure that will be performed on them./////////People for the Ethical Treatment of Animals (PETA)

      /////බෞද්ධ අවිහිංසාවාදයේ පදනම වනුයේ වැඩි බුද්ධි මට්ටමක් ඇති මිනිසුන් විසින් තමන්ට මෙන්ම හැඟීම් දැනීම් ඇති, මරණය හා දඬුවම් හේතුවෙන් බියට හා තැති ගැන්මට පත්වන තවත් සතෙකුව එසේ වේදනාවට පත් කිරීම නොතරම් දෙයක් බවයි. එය පුද්ගල නිදහස පිළිබඳ සංකල්පය හැඟීම් දැනීම් ඇති වෙනත් සත්ත්ව කොටස්ද ඇතුළත් වන පරිදි පුළුල් කිරීමක් මිස හරකෙකුගේ හෝ අලියෙකුගේ ජීවිතය මිනිස් ජීවිතයක් සමඟ සමාන කිරීමක් නොවන බව මගේ අදහසයි.////////ඉකොනොමැට්ටා

      මට පෞද්ගලිකව හිතෙන්නේ මේවා උත්තර නැති ප්‍රශ්න කියලා.

      Delete
    2. ප්‍රායෝගිකව යනු කරන්න පුලුවන් තරමට. වගේ බලයක් තියන යාන්ත්‍රණයක් ලංකාවෙ මට්ටමට හදාගෙන
      ඔව්. 100% විසඳුම් නැත.

      Delete
    3. ඉහත "RSPCA " වගේ .....ඇතුලත්විය යුතුයි

      බෙහෙත් හා ලෙඩ ගැන පර්යේෂණ සඳහා සීමිතව සතුන් යොදා ගත්තත් රූපලාවන්‍ය හා සුවඳ විලවුන් ටෙස්ට් කිරීමට සඳහා යොදා ගැනීම නැවත්වීමට තැත් කරනවා වගේ ප්‍රායෝගිකව ට්‍රයි කරන එකක්. "not tested on animals" tag is fairly effective for cosmetics.
      ඉස්සර හොලිවුඩ් මූවීස් වල සත්ව හිංසනය තිබුනා ගොඩක්. දැන් No animals were harmed in the making of this movie කියන එක ඔක්කොම දානවා

      Delete
    4. ඔව් ප්‍රා.....මමත් ඔය ටැග්ස් මෑතකදි ඉඳන් දකිනවා. හොඳ ප්‍රවනතාවයක්.
      Q: How did the headless chicken cross the road?
      A: in a KFC bucket.

      Delete
    5. මිනිසුන්ගේ නිදහස් තීරණ වලට ඉඩ ලැබෙනවනම් මිනිස්සු හිතන විදිහ වෙනස් වන විට වෙළඳ පොළ බලවේග විසින් හැම දේම වඩා හොඳ විදිහට වෙනස් කරනවා. ඔබ කියන ටැග්ස් වලින් වෙන්නේ ඒ දේ. බාල වයස්කරුවන්ගේ ශ්‍රමය යොදාගන්නා හෝ පරිසරයට හානි කරන ඇඟලුම් කම්හල් වල නිපදවන ඇඳුම් මිලදී නොගැනීමට පාරිභෝගිකයින් පෙළඹීමත් එවැනි දෙයක්. සත්තු වතු වල කූඩු ලොකු වෙන්නේ හෝ සාපේක්ෂව වඩා නිදහස් තැන් බවට පත්වෙන්නේත් නරඹන්නන් සතුන් පොඩි ඉඩක කූඩු කර සිටිනු දකින්න අකැමති නිසා. මිනිස්සුන්ගේ ඉල්ලීමක් තියෙන දේවල් නීති දමා වලක්වන්න අමාරුයි. ඉතිහාසයේ එක් එක් කාල වල මිනිස්සුන්ට තමන්ගේ පැවැත්ම වෙනුවෙන් වෙනත් සත්තු සමඟ සටන් කරන්න වුණා. අද ඩෙංගු මදුරුවන් විනාශ කරනවා වගේ. සියවස් කිහිපයකට පෙර අලි මැරුවෙත් (සම්පූර්ණයෙන්ම නොවුණත්) මෙවැනි පදනමක. මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ වන තරමට, ජීවිත වඩා සුරක්ෂිත වන තරමට අනිත් අය ගැන හිතන්න පෙළඹීම වැඩි වෙනවා. සම්පත් සීමිත වෙනකොට තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මරා ගන්නවා. එසේ නොවන අවස්ථා තිබුණත් බොහෝ විට එහෙමයි.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. පෙරහර යනු සඟිස්කෘතියකි
      අලි අතුන් ගනන් තියා ගැනීම යනු උප සඟිස්කෘතියකි
      ඒ නිසා ඒ ගැන කිසිවකුටත් ප්‍රශ්ණ කළ නොහැක.

      Delete
    2. උප සංස්කෘති ගැනනම් ලියන්න සෑහෙන්න දේවල් තියෙනවා.

      Delete
  8. ආගම් බිහිවුණු වටාපිටාව සහ පරිසරය ඒ ආගම් වල අන්තර්ගතයට බොහෝ බලපෑම් එල්ල කරලා තිබෙනවා ඉකොනෝ කියල තියන විදියටම. ක්‍රිස්තියානි ආගම සහ ඉස්ලාම් ආගම බිහිවුණු ප්‍රදේශ කාන්තාර දේශගුණික ලක්ෂණ තියෙන්නෙ (වැරදි නම් නිවැරදි කරන්න) බොහෝ විට ඒ ප්‍රදේශ වල තිබුනෙ එඬේර ජීවිත. වගා කරලා කන එකට වඩා සතුන් ආහාරයට ගන්න සිද්ධ වෙනව. එතකොට එතනට පැනල අවිහිංසා වාදය කියල "උඹල සත්තු කන්න එපා" කියල කියන්න පුලුවන්ද මොන හෝ ආගමික නායකයෙකුට. මිනිස්සු ගහල පන්නයි, බොහෝ විට ඒ පුද්ගලයත් කන්න නැතුව මැරෙයි. ඉන්දියාවේ බුදුහාමුදුරුවන්ගේ කාලේ ඒ තත්වය වෙනස්. සත්තු කෑවෙ නැති උනාට කන්න ජාති තියනව. එතකොට අවිහිංසාව වෙනුවෙන් එහෙම දේශනාවක් කරන්න පුළුවන්. සතෙක්ට හිංසා කිරීම, ජීවිතය අහිමි කිරීම හොඳ දෙයක් නෙවෙයි. පන්සීය පනස් ජාතකේ බෝසත් හාවා ගිනිගොඩට පැන්නට කිසි එකෙක් එහෙම කරන්නෙ නෑ.. සතුන් මැරීම සහ හිංසා කිරීම ම්ලේච්චත්වය තමයි. පව හෝ මොකක් වේවා ඒ දේ අනුමත කරන්න බෑ. වෙළඳාම් ක්‍රම භාණ්ඩ හුවමාරු ක්‍රම නොදියුණු කාල වල ඉන්න තැන තියන දේ කන්න වෙනව. එතෙන්දි පව් පිං බලන්න බෑ. හැබැයි අද තත්වය වෙනස්. අයිස්ලන්තයේ ඉන්න පුළුවන් වෙජිටේරියන් වෙලා. මස් අනුභවය ගැන කතා කලොත් මා ද ඇතුළුව බොහෝ පිරිසක් මස් රසයට ගිජුයි. මාළු බිත්තර කරවල, හොදි පමණක් හෝ වේවා ඒක තමයි ගිජු කම. ඒ වෙනුවෙන් බොරු බයිලා කියල වැඩක් නෑ. හරියට බැලුවොත් මස් මාළු කන එක වැරදියි. වරද දැන දැන අපි වැරදි කරනව සමහර වෙලාවල් වලදී. සමහර විට ජේසුස් වහන්සේ ඉන්දියාවෙ ඉපදුනා නං මස් මාංශ වලින් වැළකෙන්න කියල දේශනා කළා නම් අද KFC නැති වෙන්න තිබ්බ.
    මදුරුවා මරණ පව සහ හරකා මරණ පව ඒකයි කියල මම පිළිගන්නෙ නෑ. හාල්මැස්සෝ නොකා තලපත් කෑල්ලක් කෑවම පවා අඩුයි කියලත් පිළිගන්න බෑ. එක් එක් සතාගේ මනසේ උසස් බව අනුව මැරීමේදී සිදුවන පවා වෙනස් වෙනව වගේ අමුතු මතයක් මගේ තියෙන්නෙ. ඒ සතාගේ මනසේ උසස් බව, උගේ ක්‍රියා කලාපය ඔක්කොම සහ ඌව මරණ චේතනාව අනුව පවා වෙනස් වෙනව වගේ මහා පිස්සු විකාරයක් මගේ හිතේ හොල්මං කරන්නෙ. විකාර තමයි..

    ReplyDelete
    Replies
    1. මේවා විකාර කියා මම හිතන්නේ නැහැ.

      Delete
  9. මට හිතෙන හැටියට නම් බුදුදහම දෙවියන් වහන්සේ පුතික්ශේප කරන ආගමක් නෙමෙයි. බෞද්ධ මතය "දෙවියෝ හිටියත් වැඩක් නෑ" යන්නයි. නමුත් සිංහල බෞද්ධයෝ වැඩ්දෙනෙක් මෙය පිලිගන්නේ නෑ එයට හේතුව දේශපාලන හා සංස්කෘතික හේතු විය හැකියි. එහෙම වෙන්න සාධාරන හේතු තියෙනවා. ගවමස් කෑමට විරුද්ධ වීමට ඇත්තේත් එවැනිම සංස්කෘතික හේතුවක්.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ ඔබේ අදහස නිවැරදි බවයි.

      Delete
  10. පෙරහැර වල අලි ගෙන යාමත් රුසියාව චීනය වගේ රටවල විජයග්‍රහන පැරඩ් වල රොකට් ලෝන්චර්, ටැංකි වගේ තමුන්ට තියන හොඳම ආයුධ ගෙනයාම වගේ රජ්ජුරුවෝ තමුන්ගේ බලය පෙන්නන්න කරපු වැඩක් නේද?

    ReplyDelete
    Replies
    1. හරියටම ඒකම තමයි!ඇසල පෙරහැරට දළදා කරඬුව සමඟ රජුගේ ඇතා එකතු වෙන්නේ බුද්ධාගමට විශාල රාජ්‍ය අනුග්‍රහයක් ඇති බව තායිලන්ත (ඒ කාලයේ සියම්) භික්ෂු පිරිසකට පෙන්නන්න අවශ්‍ය වූ නිසා (ඒ කතාව පසුව ලියන්නම්).

      Delete
  11. /ගව මස් කෑම හා ඒ නිසාම අනියමින් ගව ඝාතනයට අනුබල දෙන ඇතැම් අය දම්වැලින් කකුල් බැඳ පෙරහැරක ගෙන යන අලියෙකුගේ හෝ ඇතෙකුගේ 'මානව අයිතිවාසිකම්' ගැන කණගාටු වන්නේ ඇයිද යන්න ඇතැම් අයට ප්‍රශ්නයකි. / කණ කීං ගැවා

    ReplyDelete
  12. සතෙකුගේ ජීවිතය නැතිකිරීම හොඳද නැතිද කියල ප්‍රශ්නේ තියෙන්න පුළුවන්. ඒත් ආගම් වලින් කෙරෙන්නේ අන්තිමට එකම දේ නේද? පුද්ගලිකවනම් මම හිතන්නේ පව් පින් කියල දෙයක් මේ විශ්වයේ තියෙන්න විදියක් නැහැ. මොකද ලෝකය කියන්නේ එහෙම කළු සුදු තැනක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. හැම ආගමකම අරමුණ එකක් කියන එකනම් නිවැරදි අදහසක් නෙමෙයි.

      Delete
  13. em
    පලමු සංවත්සරට සුබ පැතුම් !!!

    ReplyDelete
  14. I heard two theories. one Man was hunter-gatherer many moons ago. two, human digestive system is not designed to dijest animals. which one is true.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget