Sunday, May 1, 2016

Mayday! Mayday!! Mayday!!! මේ ඩේ! මේ ඩේ!! මේ ඩේ!!!


ඇමරිකාවේ සියැටල්හි සිට ඇලස්කාව බලා ගමන් ගත්, අඩි 75ක් දිග 'උතුරු කුමාරි' (Northern Belle) යාත්‍රාව 2010 අප්රේල් 20 වනදා හවස් වරුවේදී ලොකු රැල්ලක වැදී එක්වරම පැත්ත පෙරලුනේය. ඇතැම් විට එහි ප්‍රවාහනය කෙරෙමින් තිබුණු භාණ්ඩ සමතුලිතතාවය වෙනස් වූ විට නැවත ස්ථාවර වන පරිදි නිසි පිළිවෙලට අසුරා නොතිබුණා විය හැකිය. 


ඇලස්කා බොක්කේදී මෙසේ උතුරු කුමාරිය පැත්ත පෙරලෙන විට යාත්‍රාවේ කප්පිත්තා වූ රොබට් රෝයර් ඇතුළු සිවු දෙනෙකු  එහි වූහ. හදිස්සියට කොරොස් කටේවත් අත දාගැනීම අමාරුය. ගැටගසා තිබුණු ජීවිතාරක්ෂක බෝට්ටු ලිහා ගැනීමට අපහසු වූයෙන් රොබට් රෝයර් හැර ඉතිරි තිදෙනාම කළේ ජීවිතාරක්ෂක ඇඳුම් ඇඳගෙන මුහුදට පැනීමයි.

යාත්‍රාවේ වූ හදිසි අනතුරකදී තමන් සිටින ස්ථානය රේඩියෝ සංඥාවක් මඟින් ස්වයංක්‍රීයව සන්නිවේදනය කළ හැකි (Emergency Position Indicating Radio Beacon -EPIRB) බීකනය ක්‍රියාත්මක කර නොතිබුණේය. ඒ නිසා, අනෙක් තිදෙනා සමඟ වහාම මුහුදට පනින්නට ඉක්මන් නොවූ රොබට් රෝයර් ඇමරිකානු වෙරළාරක්ෂක හමුදාවට
අනතුර හා තමන් සිටින ස්ථානය දැනුම්දීමට වෙලාව ගත්තේය. ඔහුගේ අනතුරු හැඟවීම නිසා අනෙක් තිදෙනාගේ දිවි ගැලවුනත් රොබට්ට සිය ජීවිතය අහිමි විය.

පහත වීඩියෝවේ ඇත්තේ රොබට්ගේ මේ අවසන් අනතුරු හැඟවීමයි.



ගුවන් යානාවක් හෝ මුහුදු යාත්‍රාවක් අනතුරට පත් වූ විට එය දැනුම් දෙන සංකේතය "මේ ඩේ! මේ ඩේ!! මේ ඩේ!!!" යන්නයි. මේ වචනයේ මුල "මට උදවුකරන්න" යන තේරුම ඇති "මේ ඩේ!" (m’aider) යන ප්‍රංශ වචනයි. ප්‍රංශ ශබ්දය අනුකරණය කරන ඉංග්‍රීසීහු එය MayDay ලෙස ඉංග්‍රීසියෙන් ලියන්නට පටන් ගත්හ. 1927දී මේ කේතය ජාත්‍යන්තර සම්මතයක් ලෙස තීරණය කෙරිනි.

තාක්ෂණික වචනද වැඩිපුර යොදාගනිමින් ඉංග්‍රීසියෙන් ලියූ මගේ පසුගිය ලිපියට ප්‍රතිචාරයක් දක්වමින් එක් පාඨකයකු සටහන් කර තිබුණේ එහි ලියා ඇති සියල්ල කෙසේ වෙතත් 'නැව ගිලෙන්නට යන බව'නම් තේරෙන බවයි. ලිපියේ අදහස වචන කිහිපයකට කෙටි කිරීමට ඊට වඩා හොඳ ක්‍රමයක් නැත.


"මේ ඩේ" හෙවත් මැයි දිනය ලෙසද හැඳින්වෙන ලෝක කම්කරු දිනය අදයි.  මැයි දිනයට දින දෙකක් තිබියදී, රජය විසින් ගිලෙන්නට යන නැව බේරාගන්නට ඉදිරිපත් වන මෙන් කළ ඉල්ලීමකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යහපත් ප්‍රතිචාර ලැබී තිබේ. මේ අනුව, ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණයක් ලැබෙන්නට නියමිතය. ඒ සමඟම ඩොලර් මිලියන 650ක වෙනත් බහු පාර්ශ්වීය හා ද්වී පාර්ශ්වීය ණය පැකේජයක්ද ලැබෙන බැවින් ඩොලර් බිලියන 2.2ක පමණ අරමුදලක් ණය ලෙස ලැබේ.

මේ අරමුදල් මඟින් නැව ගිලෙන්නට නොදී බේරාගන්නට හැකි වනු ඇති බව මගේ අදහසයි. ඒ අනුව, කෙටිකාලීනව ප්‍රශ්නය විසඳී තිබේ. එහෙත්, දිගුකාලීනව ප්‍රශ්නය එසේමය. නැව ගිලීම වැළැක්වීම ප්‍රමාණවත් නැත. අවසානයේදී, එය පිළිසකර කර ගමන යා යුතුය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලබාගැනීම සඳහා රජය විසින් අත්සන් කෙරෙන ගිවිසුමෙහි ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක්ම තිබේ. මේවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් පනවා ඇති කොන්දේසි නොවේ. ඔවුන් එකඟ වී ඇති, රජය විසින් ඉදිරිපත් කළ, රජයේ සැලසුම්ය. මේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ හැකිනම් එය රටේ දිගුකාලීන යහපතට හේතු වනු ඇත.

කෙසේවුවද, යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම දේශපාලනිකව පහසු කරුණක් නොවනු ඇත. පෙනෙන්නට ඇති පරිදි, මේ යෝජනා එජාපයේ යෝජනාය. එම යෝජනා හා අදාළව රජයේ ශ්‍රීලනිප පාර්ශ්වයෙන් ප්‍රතිරෝධයක් ඇති බව පෙනේ. රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ ගැඹුර පිළිබඳව ජනාධිපතිවරයා ප්‍රධාන ශ්‍රීලනිප පාර්ශ්වයට පැහැදිලි අවබෝධයක් ඇති බවක් නොපෙනේ.

ආර්ථිකයේ වත්මන් තත්ත්වය ගැන මුළුමනින්ම කෙසේවුවත් සාපේක්ෂව වඩා හොඳ අවබෝධයක් අගමැති වරයා ප්‍රධාන රජයේ එජාප පාර්ශ්වයට ඇති බව පෙනේ. එහෙත්, ඒ සඳහා යෝජිත විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී මතු විය හැකි දේශපාලනික ගැටළු පිළිබඳව එම පාර්ශ්වය ගැඹුරෙන් සිතන බවක් නොපෙනේ. රජයේ ශ්‍රීලනිප පාර්ශ්වයට මේ තත්ත්වය ගැන වඩා හොඳ අවබෝධයක් තිබේ.

අද රටේ දේශපාලනික තත්ත්වය ජේආර් විසින් 1977දී ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන විට පැවති තත්ත්වය නොවේ. ආර්ථික ප්‍රශ්න වලට වහා පිළියම් සෙවිය යුතුය. එහෙත්, එසේ කිරීමේදී හැකිතාක් පාරදෘශ්‍ය වෙමින් ජනතාව සමඟ සක්‍රිය සංවාදයක් පවත්වා ගැනීමද අත්යවශ්‍ය කරුණකි. ඊට පෙර රජය තුළ සිටින එජාප හා ශ්රිනිප පාර්ශ්ව අතර ඉදිරි ආර්ථික සැලසුම් පිලිබඳ සම්මුතියක් ඇති විය යුතුය. (ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ යෝජනා සිංහල පත්තරයක පළ කිරීම හොඳ ප්‍රවේශයක් වන්නට පුළුවන.)


රජයේ ප්‍රධාන පක්ෂ දෙකට අයත් කොටස් විසින් සංවිධානය කෙරෙන මැයි රැළි තුනක් අද පැවැත්වේ. මේ මැයි දිනය ශ්‍රී ලංකා දේශපාලනයේ කිසියම් හැරුම් ලක්ෂ්‍යයක් සටහන් කරන්නට ඉඩ ඇති දිනයකි. ඉහත කී ප්‍රධාන මැයි රැළි තුනෙන් එකකදීවත් ප්‍රමුඛත්වය ලැබෙන්නේ ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා නොවේ. ජාත්‍යන්තර කියා කීවත් මැයි දිනයේදී සැමරෙන සිදුවීම සිදුවූ ඇමරිකාවේ කම්කරු දිනය සැමරෙන්නේ අද නොවේ. සැප්තැම්බර් මාසයේදීය. මෙහි ඇත්තේ මා ඒ ගැන පෙර ලියූ සටහනකි.

චිකාගෝහි පිහිටි ලොවපුරා කම්කරු දිනය සැමරීමට මුල් වූ සිදුවීම හා අදාළ තැන් දැක බලාගන්නට මට කලක සිට 'උණක්' තිබුණේය. වසර ගණනාවකට පෙර චිකාගෝ නගරයට ගිය අවස්ථාවක මේ සඳහා උත්සාහයක් දැරුවත් මෙවැනි සිදුවීමක් ගැන අඩු වශයෙන් බොහෝ දෙනෙකු අසා තිබුණේවත් නැති නිසා මගේ අදහස ඉටු නොවීය. කෙසේ වුවද, පසුගිය වසරේ සියළු අවශ්‍ය තොරතුරු සොයාගෙන මම එහි ගියෙමි. ලොකුම අමාරුවේ වැටුනේ හැමතැනම ස්මාරක පිරුණු මේ විශාල සුසාන භූමියට ඇතුළු වූ පසුවය. කෙසේවුවද, මේ ස්මාරකය ඇති තැන ජීපීඑස් ඛණ්ඩාංක අන්තර්ජාල අඩවියක සටහන් කර තිබුණු නිසා කෙසේ හෝ අදාළ ස්මාරකය දැක ගැනීමට හැකිවිය.


(Image: http://www.seattletimes.com/)

31 comments:

  1. ඔබ කියන්නා වු එම ආර්ථීක ප්‍රතිසංස්කරණයන් එලෙසම ක්‍රියාත්මක වන්නේ නම් රටේ තත්ත්වය යහපත් වනු ඇත. නමුත් බිලියන ගණනින් ණය ලබා ගෙන සුළුතරයෙකුගේ සාක්කු තුළට ඒවා ගලාගියහොත් රටට ඇතිවන තත්ත්වය කුමක් වනු ඇත්ද?

    ReplyDelete
    Replies
    1. සුළුතරයෙකුගේ සාක්කු තුළට සම්පත් ගලායාම ගැන මගේ තියෙන්නේ ජනප්‍රිය අදහසට වඩා තරමක් වෙනස් අදහසක්. පැහැදිලිවම එසේ වීමෙන් වෙන්නේ හානියක් තමයි. ඒත් එසේ යන සල්ලි කා ළඟ හෝ තියෙනවා. ඒවා කල් පසුවී හෝ වියදම් කරන විට වෙනත් අයගේ අත් වලටත් එනවා. ඊට වඩා ලොකුම හානිය අකාර්යක්ෂම ආර්ථික හා වෙනත් ප්‍රතිපත්ති නිසා සම්පත් සම්පූර්ණයෙන්ම විනාශ වීම හා අළුතින් ඉපදීමට නියමිත සම්පත් නොඉපදීම. තවත් විදිහකින් කියනවනම් සම්පත් නාස්තිය. නාස්ති වූ සම්පත් 'හොරු ඇල්ලීමෙන්' නැවත ලබා ගන්න බැහැ.

      Delete
  2. මුහුදු යාත්‍රාවක කපිතාන් කෙනෙක් විසින් ඉටු කල යුතු රාජකාරිය ඔහු විසින් අකුරටම සිදු කර තිබෙනවා. නමුත් අපේ රට මෙහෙයවන කිසිම කපිතාන් කෙනෙකුට ඔවුන් සිටින අක්ෂාංශ දේශාංශ ගැනවත් මුහුදේ ගැඹුර හෝ කාලගුණය ගැනවත් කිසිම අවබෝධයක් ඇති හැටියක් පෙනෙන්නට නැහැ. සියල්ලන්ටම උවමනා කපිතාන් වරුන් වීමට පමණයි. ලැබෙන ණයකින් ආර්ථික ප්‍රතිසංස්කාරණයක් කිරීමට ඇත්තටම ඔවුන්ට උවමනාවක් තිබේද?

    ReplyDelete
    Replies
    1. ප්‍රතිසංස්කරණ වලට රටේම තියෙන්නේ ලොකු ප්‍රතිරෝධයක් නේද? කොයිතරම් හොඳ ප්‍රතිසංස්කරණයක් වුවත් මහජන කැමැත්තෙන් තොරව කළ යුතුයි කියා මම හිතන්නේ නැහැ. එවැනි හොඳ ප්‍රතිසංස්කරණය ජනතාවට 'විකුණා' කැමැත්ත ලබා ගැනීම තමයි හොඳ දේශපාලනඥයෙකුගේ කාර්ය භාරය විය යුත්තේ. අද මා සිටින ප්‍රදේශයේ බද්දක් වැඩි කිරීමට පැවති ඡන්දයකින් එම යෝජනාව 72%කින් සම්මත වුණා.

      Delete
  3. ශ්‍රිලනිපය කන ආර්තිකය එජාපය සෑම විටම ගොඩ අරගෙන තියෙනවා... මේක තාමත් පරක්කු බයියෙක් රාජ්‍ය නායකයා වීමයි... 2002 - 2004 මෙය ගැටළුවක් නිවූයේ රජ කළේ බයි නායිකාවක් වුවද ඇය මනසින් ටොයියෙකු වීමයි.

    රාජ්‍ය සේවය කප්පාදු කිරීමකින් හා රාජ්‍ය ව්‍යවසාය පෞදගලීකරණයකින් තොරව කිසිම රජයකට ගොඩ ඒමක් නෑ...

    ReplyDelete
    Replies
    1. http://emgesathapaha.blogspot.com/2016/04/blog-post_27.html

      Delete
  4. කරන්න හදන දේවල් සහ රටේ තත්වය ගැන තවමත් සාමාන්‍ය ජනතාවට නිසි අවබෝධයක් ලබා දී අති බවක් නොපෙනේ.

    ReplyDelete
    Replies
    1. ඒ නිසා ඇතැම් අය දුර්මත ප්‍රචාරය කරනවා.

      Delete
  5. Andu pakshaya
    wirudda Pakshaya
    Yata kara gena siti.
    Jana madya nihadawi sitina athara
    Maha Janathawa bala sitee.

    ReplyDelete
    Replies
    1. ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂයේ කොටස් දෙකත් එකිනෙකා බදාගෙන අනිත් පැත්ත හරවා ගැනීමට දඟලයි කිව්වනම් වඩා හරි.

      Delete
  6. යෙප් අහි හැමෝටම දැං සංඥාව දෙන්න බටන් එක ඔබන්න විතරයි තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙ එන්න වෙරළාරක්ෂක හමුදාවක් නැති එකයි.

      Delete
  7. ක්ප්ිත්තා තම කාර්ය දේව කාර්යක් වගේ ඉෂ්ඨ කරලා තියනවා...

    මැයි දිනේ ගැන නම් කතා කරළා වැඩක් නෑ.. කම්කරු දිනේ /උනාට රැලි කීපයක් තිබ්බත් කවුරුත් කම්කරුවන් ගැන කතා කළාද??

    ReplyDelete
    Replies
    1. මැයි දිනේ කවදත් යොදා ගැනුණේ වෙනත් අරමුණු වෙනුවෙන්.

      Delete
  8. නාවිකයන්ගේ "මේ ඩේ:කතාව දැනගත්තේ ඔබෙන්.මේ බ්ලොග් එකෙන් බොහෝවිට අලුත් යමක් ඉගෙනගන්න අවස්ථාවක් ලැබෙනවා.ස්තුතියි එකට.

    කොහොමත් මේ යන විදියට අපිට පටි තද කරගන්න වෙන බව පැහැදිලියි.අපි පටි තදකරගන්න ගමන් නායකයොත් කිසියම් කැපකිරීමක් කරනවා නම් මේ ආර්ථික ගැටලුව යම් තරමකින් හෝ විසඳා ගන්න පුළුවන් වේවි.

    ReplyDelete
  9. ජනතාවට උරුම වෙන්නේ
    හැමදාම පටි තදකරගැනීම තමයි,
    යුද්ධය පටන්ගත්තදා ඉඳනුත් එහෙමයි

    ReplyDelete
    Replies
    1. කියලා ගන්න එකට වඩා නරක නොකියා ගැනීමයි.

      Delete
  10. "මේ ඩේ" යනුවෙන් භාවිතා වෙන්නේ ගුවන් හෝ මුහුදු යානයක් අනතුරට පත් වෙද්දි විතරක් නෙමෙයි නේද ? මේ තියෙන්නේ මම කලකට ඉහත ලියපු කතාවක්, 9/11 ප්‍රහාරය ගැන. මම මුලින්ම "මේ ඩේ" කියන භාවිතය ගැන දැනගත්තේ මේ කතාවෙදි.

    "නොර්දන් බේල්" කතාව අද තමා දැනගත්තේ... ඔහු නියම කපිතාන් කෙනෙක්.. එහෙත් ඉතාලිය ආසන්නයේ සිදු වූ "කොස්ටා කොන්කෝර්ඩියා" මගී නැව් අනතුරේදි අපි දැක්කා හැමෝටම කලින් නැවෙන් බැහැලා ගිය කපිතාන්ලවත්...

    අපි බලන් ඉමු අපේ කපිතාන්ලා මොනවා කරයිද කියලා...

    ReplyDelete
    Replies
    1. ඔවු, සෙන්නා. මේක සම්මත ඩිස්ට්‍රෙස් සිග්නල් එකක්. වෙනත් අවස්ථා වලත් යොදාගන්න පුළුවන්.

      Delete
  11. ලංකාවෙ කම්කරු රැළි නැහැ.. දේශපාලන රැළි මිස.. කතා කරන්නෙ පීඩකයන් ගැන මිස පීඩිතයන් ගැන නෙමේ..

    ReplyDelete
    Replies
    1. වෙන රටවලත් ඕකේ ලොකු වෙනසක් නැහැ.

      Delete
  12. මට නම් හිතෙන්නේ ලංකාව කියන නැව දැන් ගිලිලා ඉවරයි. දැන් තියෙන්නේ පතුලට බැහැගෙන යන අවධියේ. පතුලේ වැදිලා පස්ස බිම ඇනෙනකන් කාටවත් ඕක දැන්නේනේ නැහැ. එතෙක් පුද්ගලවාදේ, වර්ගවාදේ, ආගම්වාදේ කරේ තියාගෙන, තමන්ගේ වැරදි වලට අනික් උන්ට බැන බැන අපි ඉමු නේද?

    හැබැයි එකක් නම් හොඳටම ෂුවර්. අපි නැවත් එක්ක ගිලුණත් අපේ කැප්ටන්ලා ගිලෙන්නේ නම් නැහැ.

    ReplyDelete
  13. 'අපේ නැවේ' කපිතන්ලා මොනවා කරයිද කියලා, මහා සයුරේ ඉබාගාතේ පාවෙන නැවේ ඉන්න අපිට, ලොකු බයක් දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ඉබාගාතේ පාවෙන කියන එක බොහෝ දුරට හරි.

      Delete
  14. මැයි දිනය හොඳම ජෝක් එකක් වුණා මේ පාර...
    නිකං වචන අපතේ අරින්න ඕන නැති නිසා මේක ගැන වචනයක්වත් ලියන්නෑ කියල මං හිතාගත්ත

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඒ ජෝක් එකේ දිගුකාලීන ප්‍රයෝජනයක් තියෙනවා කියල.

      Delete
  15. ගිලෙන නැව යාන්තමින් හෝ බේරගන්න වහ වහා මුහුදට විසිකල යුතු දේවලුත් තියෙනවා. කෝ ඉතින් කැපා තියා ගෝලයෝවත් ඒ කැපකිරීම කරන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. මුහුදේ තියෙන දේවලුත් නැවට දාගන්න එකනේ කරන්නේ!

      Delete
  16. අහස ලෝක ණය ස්ථිරව, අපි 3% 0f ක පොලී අනුපාතිකයක් යටතේ ණය මුදල් දෙන්න.
     

    සුබ දවසක්, සර් / ma am.

    අපි පුද්ගලික සමාගමක් වන අතර අපි ණය මුදල කොපමණද තීරණය අඩු පොලී අනුපාත යටතේ ණය ලබා ව්යාපාර සංවර්ධනය සඳහා $ 1,000 ඩොලර් ණය මිලියන 100 ක් අතර ණය ප්රතිපාදන ය: අද්දර / ව්යාපාර පුළුල් තරගකාරිත්වය.

    අපි ණය මඟින්ම ලබා දෙන විවිධ

    * පුද්ගලික ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
    * ව්යාපාර ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
    * ඒකාබද්ධ ණය
      
    බදුවලින් ඇති කිසිම ගාස්තුවක් අය නොකෙරේ.

    අපි මෙම දැන්වීම බෙදා ගන්න කියවීමට කාලය ගැනීම සඳහා ඔබට ස්තුතියි.
    වැඩි විස්තර සහ පරීක්ෂණ සඳහා අද අපට ඊ-තැපැල් යැවීමට
    skyworldloanfirm@gmail.com
    skyworldloanfirms@yahoo.com


    සාරා විලියම්ස්.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget