Wednesday, May 4, 2016
God bless Venezuela!! වෙනිසියුලාවට මොකද වෙන්නේ?
"Sri Lanka should take Venezuela as an example and follow in their footsteps. It is more effective than trying to find development models from history and the Western world."
"ශ්‍රී ලංකාව වෙනිසියුලාව ආදර්ශයට ගනිමින් ඔවුන් ගමන් කරන මාර්ගයේ ගමන් කළයුතුයි. ඉතිහාසයෙන් හා බටහිර ලෝකයෙන් සංවර්ධන ආකෘති සොයනවාට වඩා එය ඵලදායීයි."
ලංකාවේ හිටපු ඇමතිවරයෙකු විසින් ඉහත ප්‍රකාශය කර දැන් වසර හතර හමාරක් ගතවී තිබේ. ඒ වන විට වෙනිසියුලාවේ ජනාධිපති වූ හියුගෝ චාවේස් සිය තෙවන ධුර කාලය නිමා කිරීමට ආසන්නව සිටි අතර පිළිකාවක් සඳහා ප්‍රතිකාර අරඹා සිටියේය. එමෙන්ම, චාවේස්ට මෙන් රටේ ජනාධිපති ධුරය තෙවන වරට හෙබවීමට ලංකාවේ පුරවැසියෙකුට තිබුණු නීතිමය බාධාව ඉවත් කරගැනීමට දහ අටවන සංශෝධනය සම්මත කරගෙන ගත වී තිබුණේ මාස ගණනක් පමණි.
2013 මාර්තුවේදී චාවේස් පිළිකා රෝගය හේතුවෙන් ජනාධිපති ධුරයේ මෙන්ම සිය දිවියේද ධුර කාලය අවසන් කළේය. එහෙත්, චාවේස්ගෙන් පසු බලයට පැමිණි නිකොලස් මදුරෝ චාවේස් ගමන් කළ මඟින් ආපසු හැරුණේ නැත. මේ අතර, 2014 ජනවාරියේ ලංකාවේ ඇතිවූ දේශපාලනික වෙනස්කම් හේතුවෙන් ඉහත ප්‍රකාශය කළ හිටපු ඇමති වරයාට ලංකාව වෙනිසියුලාව ගිය මඟ ගෙන යන්නට උත්සාහ දැරීමට තිබුණු අවස්ථාව ගිලිහී ගියේය. දහනව වන සංශෝධනය මඟින් පෙර සිදුකළ ඇතැම් වෙනස්කම් ආපසු හැරවිණි.
මෙසේ දෙමඟක යන්නට පටන් ගැනීමෙන් පසු ලංකාවේ තත්ත්වය ගැන අපි බොහෝ දෙනෙකු දන්නෙමු. එසේනම්, දැන් වෙනිසියුලාවට කොහොමද?
"I live in Carabobo, Venezuela, can confirm, i have to get up at 3 am on saturdays to wait in line, i can't go any other day because i have college, my friends are in the same spot. Waiting lines are not only "annoying" but they are dangerous, people get really freaking stressed after 8 hours waiting, there's yelling and fighting in almost every packed place with food, and when things are running out, shit gets serious. We literally have to fight for food sometimes, i live with a family of five and only my mom and i can buy things, truly, these are horrible times."
දේශ සීමා නැති අන්තර්ජාලය හරහා වෙනිසියුලානුවන්ගේ අඳෝනාවන් දැන් නිමක් නැතිව ඇසේ. කෘතීම මිල පාලනය නිසා රටේ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම වාගේ ඇණහිට ඇති අතර රටවැසියන්ට ආනයන මත යැපෙන්නට සිදුවී තිබේ. එහෙත්, රට පුරා දැඩි භාණ්ඩ හිඟයකි. පාන් ගෙඩියක් හෝ කිරි ගැලුමක් ගන්නට උදේ පාන්දර තුනේ පමණ සිට පැය හත අටක් පෝලිම් වල රස්තියාදු විය යුතුය. එසේ ලබා ගත්තද, පෝලිමේ පසුපසින් සිටි බලාපොරොත්තු කඩ වූ අයෙකු ඔබට පහර දී පාන් ගෙඩිය උදුරා ගන්නට ඉඩ තිබේ. රජයේ රැකියා හැරුණු විට රටේ කිසිදු රැකියා උත්පාදනයක් නැත. රජයේ සේවකයින් වැඩ කළ යුත්තේ සඳුදා හා අඟහරුවාදා දිනවල පමණි. සති අන්තය දින පහකි. පාසැල් සතියද කෙටි වී ඇත. දිනකට පැය හතරක් විදුලිය කැපේ. රට පුරා ජල හිඟයකි. රෝහල් වල බෙහෙත් නැති නිසා රෝහලකට ඇතුළු වූ පසු වෙනත් රෝහලකට යැවේ. එතැනින් තවත් තැනකටය. එහෙත්, රටපුරාම මේ තත්ත්වයේ වෙනසක් නැත. රජයට හා ආරක්ෂක හමුදාවන්ට සම්බන්ධ සීමිත පිරිසකට පමණක් රටේ ඇති සීමිත සම්පත් වෙත ප්‍රවේශ වීමට හැකියාව තිබේ. එහෙත්, දැන් දැන් බැරැක්ක වලටද කෑම සීමා වෙමින් පවතින අතර හමුදා සෙබළු එළුවන් හොරකමේ යති.
කලක් කලාපයේ වැඩිම ආර්ථික වර්ධන වේගයක් පවත්වාගත් පොහොසත්ම ලතින් ඇමරිකානු රටක් වූ වෙනිසියුලාවට මෙහෙම වුනේ ඇයි?
වෙනිසියුලාව ප්‍රධාන වශයෙන්ම තෙල් මත යැපෙන රටකි. රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 50%ක් පමණත්, අපනයන ආදායමෙන් 95%ක්මත් ලැබෙන්නේ පෙට්‍රෝලියම් නිෂ්පාදන වලිනි. මේ නිසා වෙනිසියුලා ආර්ථිකය ලෝක තෙල් මිලේ උච්චාවචයනයන්ට බොහෝ සංවේදී ආර්ථිකයකි. ලෝක තෙල් මිල ඉහළ යන විට මහන්සියකින් තොරවම එහි වාසිය ලබන වෙනිසියුලා ආර්ථිකය තෙල් මිල පහත වැටෙන විට අර්බුදයට ලක්වේ. ඊට අමතරව මේ දිනවල වෙනිසියුලාව නියඟයෙන්ද බැට කයි.
හියුගෝ චාවේස් පළමුව බලයට පැමිණුනේද වෙනිසියුලාව මෙසේ ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටි කාලයකට පසුවය. කෙසේ වුවද, එයින් පසු ලෝක තෙල් මිල නැවත ඉහළ යාම නිසා වෙනිසියුලාවේ ආර්ථික තත්ත්වය නැවතත් යහපත් විය. මේ 'තෙල් සෞභාග්‍යයේ' පිහිටෙන් චාවේස්ට රටේ අඩු ආදායම්ලාභීන් ඉලක්ක කරගත් සුභසාධන ආර්ථිකයක් පවත්වා ගැනීමට හැකි වූ අතර ඒ හේතුවෙන් රට තුළ මෙන්ම රටින් පිටතද ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ ගියේය. කලක් ඇමරිකාවේ පදිංචිව සිට වෙනිසියුලාවට නැවත යාමෙන් පසු සිය ඇමරිකානු මිතුරන් සමඟ සම්බන්ධතාව පවත්වා ගැනීම වෙනුවෙන් ආරම්භ කළ, දැනට ලොව පුරා ඉතා ජනප්‍රියව ඇති බ්ලොගයක් වසර දහතුනක් තිස්සේ පවත්වාගෙන යන දානියෙල් වෙනිසියුලා යන ආරූඪ නමින් ලියන බ්ලොග්කරු වැන්නෝ වෙනිසියුලානු සංවර්ධන ආකෘතියේ මායාව ගැන මුල සිටම අවබෝධයෙන් සිටියත් රටේ අවාසනාවකට බොහෝ දෙනෙකු මෑතක් වන තුරුම මේ තත්ත්වය තේරුම් නොගත්හ.
චාවේස් නිබඳ මැතිරූ මතුර වූයේ අධිරාජ්‍ය විරෝධය හා ඇමරිකානු විරෝධයයි. රටේ සම්පත් බොහොමයක් ජනසතු කිරීමේ නාමයෙන් රජය සතු කෙරිණි. ඒවායේ පාලනය භාර කෙරුණේ චාවේස්ලාගේ පුද්ගලික හා දේශපාලන මිතුරන්ටය. තෙල් සල්ලි වල උදවුවෙන් ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබාගෙන තිබුණු ණය මුදල් කලින්ම ගෙවා දමා, එයින් නොනැවතී 2007 මැයි දිනයේදී ප්‍රකාශයක් කරමින් එම ජාත්‍යන්තර සංවිධාන හා පැවති සම්බන්ධතාවන් කපා දැමීම එවකට ලංකාවේ ඇතැම් දේශපාලඥයින් විසින්ද දැක්කේ මහා ලොකු වීර ක්‍රියාවක් ලෙසිනි.
කෙසේ වුවද, ලොකු සද්දයක් දැම්මත් වෙනිසියුලාව විසින් තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඔවුන්ගේ වත්කම් ඉවත් කරගෙන හෝ ඡන්ද බලය අහිමි කරගෙන නැත. අවසන් වශයෙන් සිදුවී ඇත්තේ සාමාන්‍යයෙන් සිදුවන පරිදි ඔවුන්ගේ ආර්ථිකය පිළිබඳව අධ්‍යයනය කර එහි ඇති ගැටළු හඳුනාගැනීමට හා පිළියම් යෝජනා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කලකින් ඉඩ නොදීම පමණි.
ඉහත මැයි දින කතාවේදී චාවේස් විසින් ලබා දීමට පොරොන්දු වූ පැය හයකට සීමා වූ වැඩ දිනයනම් මේ වන විට වෙනිසියුලාවේ ජනතාව භුක්ති විඳිති. රටේ රැකියා කරන ජනතාවගෙන් අති මහත් බහුතරය වන රජයේ සේවකයෝ සතියේ දින දෙකක් පමණක් වැඩ කරද්දී රටේ බොහෝ දෙනෙකු රැකියා විරහිතව නිකම්ම සිටිති. කෙසේ වුවද, චාවේස් මුල් වී යෝජනා කළ "දකුණු බැංකුව" (Bank of the South) පිලිබඳ අදහසනම් නරක එකක් නොවේ. කලාපීය ආර්ථික හා මූල්‍ය සහයෝගිතාවය තුළින් ලෝකයේ කලාප කිහිපයකටම ඉදිරියට එන්නට හැකි වී ඇති බව අපි දනිමු.
වෙනිසියුලාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා විරසක වීමට එක් හේතුවක් වූයේ රටේ අනාගත ආර්ථික වර්ධන වේගය පිළිබඳවත්, චාවේස් රජයේ ප්‍රතිපත්ති නිසා ඇති විය හැකි අනාගත ආර්ථික අර්බුද ගැනත් අරමුදල විසින් සිදු කළ පුරෝකථන පිළිබඳව චාවේස් දැක්වූ නොකැමැත්තයි. රටක ආර්ථිකය අවදානම් තත්ත්වයක පැවතියද එය යම්කිසි නිශ්චිත කාලයක් තුළ අනිවාර්යයෙන්ම අර්බුදයකට යන බව ස්ථිරව කිසිවෙකුට කිව නොහැක. එහෙත්, ඒ සඳහා ලොකු ඉඩකඩක් ඇති බව කියන්නට බැරි නැත. වෙනිසියුලාව සම්බන්ධව අරමුදල විසින් කලක් තිස්සේ කළ පුරෝකථන මේ වන විට සැබෑ වී තිබේ.
රටක ආර්ථිකය වල පල්ලට යන විට පවතින රජයයන් විසින් බොහෝ විට කරන දෙයක්නම් සංඛ්‍යාලේඛණ ප්‍රසිද්ධ නොකර සිටීමයි. තෙල් මත ඉහළ ගිය ආර්ථිකය තෙල් සමඟම පහළ වැටෙද්දී 2014 ජනවාරි සිට වෙනිසියුලාව සංඛ්‍යාලේඛණ ප්‍රසිද්ධ කිරීම නැවැත්වූයේය. පසුගිය ජනවාරියේදී වසරකට පසුව වෙනිසියුලාව විසින් ප්‍රසිද්ධ කළ නිල සංඛ්‍යාලේඛණ අනුව රටේ උද්ධමනය 141%කි. නිල සංඛ්‍යාලේඛණ අනුව මෙසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව වෙනිසියුලාවේ සැබෑ උද්ධමනය 275%කි. මේ වසරේදී එය 720% දක්වා ඉහළ යනු ඇත. මෙය මේ වන විට ලෝකයේ කිසියම් රටක් මුහුණපාන ඉහළම උද්ධමනයයි. පසුගිය කාර්තු හත තුළ වෙනිසියුලාවේ ආර්ථිකය දිගින් දිගටම හැකිලී ඇති අතර මේ වසරේ තව දුරටත් හැකිලෙනු ඇතැයි විශ්වාස කෙරේ.
උද්ධමනයට මුහුණ දීම සඳහා මදුරෝ රජය විසින් දින දෙකකට පෙර අවම වැටුප 30%කින් වැඩි කළ නමුත් පවතින උද්ධමන වේගය අනුව ඒ වැඩිවීමෙන් ලොකු ප්‍රයෝජනයක් නැත. අනෙක් අතට, මුදල් තිබුණත් ගන්නට බඩු නැත. ලාබෙට ඇත්තේ ඉන්ධන පමණි. ටොයිලට් පේපර් රෝලක මිලට වාහනයකට ටැංකිය පිරෙන්නට ඉන්ධන මිල දී ගැනීමටනම් පුළුවන. මිල පාලනය යටතේ භාණ්ඩ වල පාලන මිල ඉතා අඩු වුවත් ඒ මිලට ගන්නට බඩු නැත. කළු කඩ මිල එමෙන් කිහිප ගුණයකි. විණිමය අනුපාතිකය පිලිබඳ තත්ත්වයද මෙසේය. ඇතැම් අවශ්‍යතා සඳහා ඇමරිකානු ඩොලරයක් බොලිවාර් 10කට මිල දී ගත හැකි වුවත් ඒ වාසිය සියල්ලන්ටම නොලැබේ. ඩොලරයක නිල නොවන මිල බොලිවාර් 1000ක් පමණ වී ඇත. බොලිවාර් 10කට ඩොලර් මිල දී ගැනීමේ හැකියාව ඇති අය කළු කඩයට ඩොලර් විකුණා ආදායම් ලබති. දරිද්‍රතාව 75% මට්ටමට ඉහළ ගොස් ඇති අතර මිනී මැරුම් හා සියදිවි නසාගැනීම් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.
කෙසේ වුවද, චාවේස් දිගින් දිගටම වෙනිසියුලාවේ මැතිවරණ ජයග්‍රහණය කළේ මැතිවරණ දූෂණ මඟින්ම නොවේ. ඔහුගේ සුභසාධනවාදී, ජාතිකවාදී ප්‍රතිපත්ති අඩු ආදායම් ලබන ජන කොටස් අතර ඉතාම ජනප්‍රියව පැවතුණේය. බහුතරය භක්තිමත් කතෝලිකයින් වන වෙනිසියුලාවේ චාවේස් යනු නාසරෙත්හි ජේසුස්ගේ දෙවන උපතක් වැනි විය. චාවේස්ගේ අකාර්යක්ෂම ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් රටේ ආර්ථිකය වල පල්ලට යමින් තිබුණත් ඉහළින් පැවති තෙල් මිලේ වාසිය හේතුවෙන් යටින් පැසවන මේ තුවාලය මතුපිටින් වැසී තිබුණේය. රටේ ආර්ථිකය තුළ වැඩෙමින් පැවති පිළිකාවට වඩා චාවේස්ගේ සිරුරේ පැතුරුණු පිළිකාව වේගයෙන් වැඩුණු නිසා චාවේස්ගේ ජනප්‍රියත්වය ගිලිහෙන්නට පෙරම ඔහුට ජීවිතය හැර යන්නට විය.
චාවේස් කතෝලික සාන්තු වරයෙකු සේ පෙනී සිටියාක් මෙන්ම නිකොලාස් මදුරෝ පෙනී සිටියේ දෙවන චාවේස් කෙනෙකු ලෙසිනි. චාවේස්ගේ ආත්මය කුරුල්ලෙකු ලෙසින් පැමිණ තමන්ට ආශිර්වාද කරන්නේය වැනි කතා කියමින් ඔහු වෙනිසියුලාවේ අඩු ආදායම් ස්ථර ආමන්ත්‍රණය කළේය. කෙසේ වුවද, චාවේස් මිය යන විටද ඔහු විසින් නියෝජනය කළ එක්සත් සමාජවාදී පක්ෂයේ ජනප්‍රියත්වය ගිලිහෙමින් පැවතුණේය. 2013 ජනාධිපතිවරණයේදී එම පක්ෂයෙන් තරඟ කළ වත්මන් ජනාධිපති නිකොලාස් මදුරෝ ජයග්‍රහණය කළේ යාන්තමිනි. ඔහු ඡන්ද 7,587,579ක් ලබන විට ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් වටමේසයේ (MUD ) හෙන්රිකේ රදොන්ස්කිද ඡන්ද 7,363,980ක් ගත්තේය. කෙසේ වුවද, පසුගිය දෙසැම්බරයේ පැවති මහ මැතිවරණය රදොන්සිකි නායකත්වය දුන් දක්ෂිණාංශික සන්ධානයට තුනෙන් දෙකක ජයග්‍රහණයක් හිමි කර දෙමින් අවසන් විය.
මහ මැතිවරණ පරාජයෙන් ජනාධිපති මදුරෝ පසු බැස්සේ නැත. ජාතික සභාවේ බලය නැතත් චාවේස් හිතවාදීන් රටේ ප්‍රධාන තනතුරු වලට පත් කර ඔහු පෙර පැවති ප්‍රතිපත්ති දිගටම ගෙනයයි. චාවේස් මෙන්ම මදුරෝද රටේ මුදල් සැපයුම වැඩිවීම භාණ්ඩ මිල ඉහළ යාමට හේතුව බව පිළිගැනීමට කැමති නැත. ඒ වෙනුවට, එහි වරද සමාගම් වල අධික ලාභ බව පවසමින් මිල පාලනයට පෙළඹීම නිසා අවසාන වශයෙන් රටේ විශාල භාණ්ඩ හිඟයක් ඇති වී තිබේ.
වෙනිසියුලානු ව්‍යවස්ථාව අනුව මහජන පෙත්සමක් මඟින් කාලය අවසන් වීමට පෙර ජනාධිපතිවරයාව ගෙදර යැවිය හැකිය. පෙරේදා වන විට අත්සන් මිලියන 1.85ක් එකතු කර අවසන් කළ වෙනිසියුලා විපක්ෂය මේ සඳහා පළමු පියවර දැනටමත් තබා අවසන්ය. කලකට පෙර චාවේස්ට එරෙහිවද මෙවැනි ජනමත විචාරණයක් පැවැත්වුන නමුත් ඒ වන විට ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටි චාවේස්ට එම ජනමත විචාරණය ජයගත හැකිවිය. ඉහත පෙත්සම ජාතික මැතිවරණ කොමිසම විසින් භාර ගැනීමෙන් පසුව දින තිහක් ඇතුළත එක් එක් දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් 1% බැගින් වන අත්සන් ප්‍රමාණයක් එකතු කිරීම ඇතුළු තවත් පියවර කිහිපයක් ඇතත් පළමු වටයේදී පෙත්සමට අත්සන් කිරීමට වැල නොකැඩී ජනතාව පැමිණි ආකාරය අනුව මෙය අභියෝගයක් බව නොපෙනේ. ඉන් පසුව, නිකොලාස් මදුරෝව ඉවත් කිරීම සඳහා පවත්වන ජනමත විචාරණයකදී එසේ ඉවත් කිරීම සඳහා ඔහු 2013දී ලබාගත් ඡන්ද 7,587,579ට වඩා වැඩි ප්‍රමාණයක් ලැබිය යුතුය. එයද ලබාගැනීම වෙනිසියුලානු විපක්ෂයට අභියෝගයක් නොවනු ඇත.
පවතින තත්ත්වය අනුව මාස කිහිපයක් ඇතුළත බොහෝ දුරට වෙනිසියුලාවේ කාලයක් තිස්සේ පැවති එක්සත් සමාජවාදී පක්ෂයේ පාලනය අවසන් වී දක්ෂිණාංශික සභාගය බලයට පත්වනු ඇත. එහෙත්, එසේ පත්වන නව රජයකට සැබෑ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට වෙන්නේ ඉන් පසුවය. වෙනිසියුලාව දැනට මුහුණ දෙන දරුණු ආර්ථික අර්බුදයට චාවේස්ගේ අදූරදර්ශී ප්‍රතිපත්ති බොහෝ දුරට හේතු වී ඇතත් අර්බුදයට එකම හේතුව එය නොවේ. යම් හෙයකින් වෙනස් ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කළේ වුවද ලෝක තෙල් මිල අඩුවීම හා නියඟය වැනි බාහිර කම්පන නිසා මේ කාලයේ වෙනිසියුලාවේ ආර්ථිකය අර්බුදයකට යා හැකිව තිබුණි. කෙසේ වුවද, මාළු අහුවන දිනවල ඉදිරියේ පැමිණිය හැකි වාරකන් දින ගැන නොසිතූ නිසා වෙනිසියුලාවේ අර්බුදය මේ තරමටම උග්‍ර වී තිබේ. රජය වෙනස් වුවද, වෙනුසියුලාවට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩයාම පහසු නොවනු ඇත.
මේ අවස්ථාවේ වෙනිසියුලානු ජනතාව මුහුණ දෙන ආහාර හා බෙහෙත් හිඟය ඇතුළු මානුෂික ප්‍රශ්න හමුවේ වෙනත් රටවලට උදවු කිරීමට නොහැකිව ඇත්තේ ජනාධිපති මදුරෝගේ දැඩි ස්ථාවරය නිසාය. MUD පක්ෂයේ මන්ත්‍රී වර්ජිලෝ ෆෙරාර්ට අනුව මදුරෝ විසින් මේ වන විට සිදුකරමින් සිටින්නේ වෙනිසියුලාවේ ලොකුම ජන ඝාතනයයි. රට තුළ ජාතික මානුෂික සෞඛ්‍ය අර්බුදයක් (national humanitarian health crisis) පවතින බවට අද දින MUD පක්ෂය විසින් ජාතික සභාවේ සම්මත කරගත් පණත අනුව වෙනිසියුලාවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හා වෙනත් රටවලින් මානුෂික ආධාර ඉල්ලා සිටීමට සහ ඒවා භාර ගැනීමට ඉදිරියේදී ඉඩ සැලසෙනු ඇති අතර වෙනිසියුලාවේ ගෞරවයට හානියක්යැයි කියමින් එම ආධාර ප්‍රතික්ෂේප කිරීම ජනාධිපති මදුරෝට පහසු නොවනු ඇත.
(Image: )
Labels:
දේශපාලනය,
නවමු පුවත්,
වෙනිසියුලාව,
සමාජවාදය
Subscribe to:
Post Comments (Atom)
වෙනිසියුලාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම නොවෙන්නේ අපට තෙල් සල්ලි වගේ හැංගිලා ඉන්න පොරොවනයක් නැති නිසා. අපිට වෙන වෙනස්කම් එච්චර දුර යන්න කලින්ම දැනෙනවා.
ReplyDeleteවෙනිසියුලා රජය හිතේ හැටියට වියදම් කළේ තෙල් විකුණා ලැබුණු මුදල්. අපි වියදම් කළේ ණයට ගත් මුදල්. වෙනස ඒකයි.
Deleteබරපතල ප්‍රශ්න.. වසන්තයේ නිමැවුම් ද මේවා ඉකෝ..?
ReplyDeleteසන්තයේ නිමැවුම් ද මේවා ඉකෝ///
Deleteමං හිතන්නෑ... ඉකෝ තාම එ් තත්වෙට වැටිල කියල..
අපට මේ දවස් වල ගෙවෙන්නේ වසන්තය.
Deleteමේ කසිකබල් බ්ලොග් වෂන්තයා ගැන නෙමෙය් මං ඇහුවේ.. අරාබි වසන්තය ගැන..
Deleteහියුගෝ චාවේස් කියන්නේ කාලයක් බොහොම ප්‍රියකල දේශපාලකයෙක්. කණ කොකාගේ සුද පෙනෙන්නේ පස්සෙනේ. අනේ අර ලංකාවේ දුරදක්නා නුවණක් ඇති ආර්ථික ඔස්තාද් ඇමතිතුමා තව ටික කාලයක් හරි හිටියානම් කියලා හිතුනා. රටවල් සැබෑ ලෙසම විනාශ කරන්නේ එහි ප්‍රධානියා නොව වටේ ඉන්න මෙන්න මේ වගේ ගොන් නාම්බන් නේද...
ReplyDeleteඑතකොට, ඒ ගොන් නාම්බන් වැදගත් තනතුරු වලට පත් කරගන්නේ කවුද?
Deleteතවත් ගොන් නාම්බන් පිරිසක්!
Deleteතමන් අවංකව නිවැරදියයි විශ්වාස කරන, එහෙත් අකාර්යක්ෂම හෝ විනාශකාරී ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් පෙනී සිටින අයට ගොන් නාම්බන් කිවුවට කමක් නැහැ. එහෙම අයට වඩා හොඳ දෙය පෙන්වා දී නිවැරදි කළ හැකියි. ඒත්, තමන් පෙනී සිටින මතවාදයේ හෝ ක්‍රියාමාර්ගයේ ඇති ඇති අඩුපාඩු දැන දැනම, ඒවා වසමින් තමන්ගේ වාසියට බොරුව වෙනුවෙන් පෙනී සිටින අය කපටි හිවල්ලු මිසක් ගොන් නාම්බෝ නෙමෙයි. එහෙම අයට ඇහැට ඇඟිල්ලෙන් ඇනල පෙන්නුවත් දකින්නේ නැහැ. ඒ අය කරන්නේ තමන්ගේ වාසියට කබරගොයා තලගොයා කිරීම හා නැවත අවශ්‍ය වූ විට තලගොයා කබරගොයා කිරීමයි.
DeleteUdaya වගේ බුවාස්ලට ඉතින් චාවේස්ලා, පුටින්ලා තමයි වීරයෝ. ලංකාවේ වැඩිහරියක් ඉන්නේ ඔයවගේ බුවාස්ලා තමයි. වැඩිය ඕනේ නැහැ දැන් ඉන්න හිටං තුමාගේත් වීරයා පුටින්ලුනේ.
Deleteඉහළම උද්දමන වාර්තා තබා තිබු සිම්බාබේ අභිබවා යන්න වෙනිසියුලාව සමත් වෙලා තියෙනවා ඒ කියන්නේ.
ReplyDeleteමට හිතෙනවා වෙනිසියුලාවේ තත්වය ශ්‍රී ලංකාවේ අද පවතින ආර්ථික වාතාවරණයත් එක්ක යම් තරමකින් ගලපා ගන්න පුළුවන් කියලා.කොළඹ තිබ්බ IMF කර්යාලය වසා දමන්නත් අපෙත් සමහර නායකයෝ කටයුතු කෙරුවා
මේ වන විටනම් සිම්බාබ්වේ වල තියෙන්නේ අවධමන තත්ත්වයක්. සිම්බාබ්වේ ඩොලරය ඉවත් කිරීමට පෙර පැවති තත්ත්වය වෙනිසියුලාවේ තත්ත්වයට වඩා ගොඩක් දරුණුයි. කොළඹ පැවති IMF කාර්යාලය වසා දැමීම ඇතැම් අය ඒ දවස් වල සැලකුවේ මහා ලොකු දෙයක් ලෙසයි. ඒත්, වැඩිකල් නොයාම නැවතත් IMF එක පස්සේ යන්න වුනා.
Deleteබොහොම ස්තුතියි ලිපියට.
ReplyDeleteමම හිතන්නේ මේ දවස්වල වෙනිසියුලාවේ සිදුවන දේ හැදෑරීම තරමක් වැදගත් බවයි.
Deleteඅපට නම් වෙනෙසියුලාවේ වුන/වෙන දේ දැන ගන්න එක තරමක් නොවේ ගොඩක් වැදගත්, එහේ මොනවා හෝ අවුලක් තියනවා කියා දැන සිටියත් මොකක්ද අවුල කියල හොඳට පැහැදිලි කලේ ඔබයි. මේවාගේ ලිපියක් ලංකාවේ පත්තර වලටත් දාගන්න පුළුවනිනම්, පත්තර අරක්ගෙන ඉන්න පරණ සමාජවාදියෝ බෙදන මතවාද තමා ජේවීපී මෙන්ටලිටි එක ආහාරයට ගන්නේ.
Delete// එහෙත්, රට පුරා දැඩි භාණ්ඩ හිඟයකි. පාන් ගෙඩියක් හෝ කිරි ගැලුමක් ගන්නට උදේ පාන්දර තුනේ පමණ සිට පැය හත අටක් පෝලිම් වල රස්තියාදු විය යුතුය. එසේ ලබා ගත්තද, පෝලිමේ පසුපසින් සිටි බලාපොරොත්තු කඩ වූ අයෙකු ඔබට පහර දී පාන් ගෙඩිය උදුරා ගන්නට ඉඩ තිබේ. //
ReplyDeleteලන්කාවේ නම් ප්‍රශ්න්ය වන්නේ වුවම්නාවට වඩා සහල් නිස්පාදනයයි!
යහපාලනෙ කොරන්න යන්නේ එම සහල් නිශ්පාදන්ය අඩාල කිරීමයි
කිරි ගැලුම් ගනනින් මිල දී ගන්නන් ලන්කාවේ නැත
සැපයුම ඉල්ලුමට වඩා වැඩිනම් එයින් අදහස් වෙන්නේ පවතින මිල සමතුලිත (නියම) මිලට වඩා වැඩි බවයි. එසේනම් කළ යුත්තේ මිල අඩුවෙන්නට ඉඩ හැරීමයි. එහෙත්, මිල තව දුරටත් අඩු වුවද සහල් ඉල්ලුම විශාල ලෙස වැඩි වීමට ඉඩක් නැත. ලංකාවේ සහල් ඉල්ලුම මිල අනුව විශාල ලෙස විචලනය නොවේ. ඒ නිසා, මිල අඩු වූ විට සිදුවන්නේ සැපයුම අඩු වීමයි. අප දන්නා පරිදි, ලංකාවේ සහල් සැපයුම මේ මට්ටමේ තිබෙන්නේ සහනාධාර නිසා කෘතීම ලෙස නිෂ්පාදන වියදම අඩුවෙන් පැවතීම නිසාය. මේ සහනාධාර වල මිල වෙනත් අය දැරිය යුතුය. සහනාධාර වල අරමුණ සහල් සැපයුම දිරිමත් කිරීමයි. ඒ නිසා, සැපයුම ප්‍රමාණවත්නම් සහනාධාර ඉවත් කිරීම නිවැරදියි. එවිට, මිල අඩු නොවී ඉල්ලුම හා සැපයුම සමතුලිත වනු ඇත. එසේ නැතිව තාක්ෂණ දියුණුව හෝ වෙනත් හේතුවක් නිසා කාර්යක්ෂමතාවය වැඩිවී නිෂ්පාදන පිරිවැය අඩුවීම නිසා සැපයුම වැඩි වී ඇත්නම් ඉතා පහසුවෙන් සහල් අපනයනය කළ හැකි විය යුතුය. එවැනි කාර්යක්ෂමතා වර්ධනයක් සිදුවී ඇති බවක් පෙනෙන්නට නැත.
Deleteලංකාවේ වී ගොවීන්ගේ තත්ත්වය යහපත් වන්නේ කිසිදු සහනාධාරයක් නැතිව වී නිෂ්පාදනය කර පවතින වෙළඳපොළ මිල ගණන් යටතේ අළෙවි කර සැලකිය යුතු ලාභයක් ලැබිය හැකි තරමට කාර්යක්ෂමතාවය දියුණු වූ දිනකය. එවිට, වී වලට සහතික මිලක් ඉල්ලනන්නට හෝ පොහොර සහනාධාර ඉල්ලමින් හඬා වැටෙන්නට අවශ්‍ය නොවේ. තරඟකාරී මිලකට හොඳ තත්ත්වයේ වී/ සහල් නිපදවිය හැකිනම් සහල් අපනයනය කරන්නට වුවත් හැකියාව තිබේ. ඒ තත්ත්වය ලඟා කරගන්නා තුරු රටේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් සැපයුම කිසියම් අවම මට්ටමක පවත්වාගැනීම සඳහා යම් සහනාධාරයක් දීමෙහි වරදක් නැත. වී ගොවිතැන සඳහා මුදල් අය නොකර ලබාදෙන ජලය මෙන්ම වී පර්යේෂණායතන වෙනුවෙන් වෙන් කරන මුදල්ද එම කර්මාන්තය වෙනුවෙන් ලබාදෙන සහනාධාරයි. (තේ, රබර් ආදී කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සඳහා යන සහනාධාර ඇතුළු වියදම් සෙස් බද්දක් මඟින් එම කර්මාන්ත තුළින්ම නැවත අය කර ගැනේ.)
Deleteස ර ස තුමා මෙහි දී මතු කලේ එක් කාරනාවකි. එනම් වෙනිසුලාව තම ආහාර සුරක්ශිතතාව ලබා නොගත්තද සිරි ලන්කාව මහින්ද මහත්ත්යා යටතේ එය ලබාගත් බව ය!
Deleteමහින්ද මහත්තයා ගෙන් ආහාර සුරක්ෂිත තාව ලබාගත් උදවිය එතුමා වෙනුවෙන් සටනේ, එයාලා ආහාරයට ගත් දේවල් සටන්පාට වලින් කියතෑකි.
Deleteආහාර සුරක්ෂිතතාව යනු ලෝකෙට ණයවී කාගන්නත් බැරි තරමට හාල් හැදීම කියල හිතන ගොබ්බයොත් ඉන්නවනේ
Deleteරටේ බහුතරයක් සතියට පැය දෙකයි වැඩ කරන්නේ !?
ReplyDeleteඉතින් හරි යයිද රටකට මං අහන්නේ ? අනිත් දවස් පහේ හැබෑටම ඕකුන් මොනාද දන්නෑ කරන්නෙ... ට්‍රිප් එකක්වත් යන්න සල්ලි තියෙන්නත් එපෑයෑ....
ඉතිරි දවස් පහ බඩු ගන්නට පෝලිම් වල විය යුතුය. එයට අමතරව, රෝහල් හා රජයේ කාර්යාල ආදියේද විශාල පෝලිම් ඇති නිසා වෙනත් වැඩ වලටද කාලය වැඩිපුර ගතවනවා විය යුතුය.
Deleteඇත්තටම දෙවි පිහිටයිවගේ තමා...
ReplyDeleteචාවෙස් රට චා කරල වගේ...
වැදගත් ලිපියක් ඉකොනො..
උද්දමනය 720% කියන්නෙ.. තනිකර රොකට් එකක් නෙ
යම් මට්ටමක් ඉක්මවූ විට උද්ධමනය පාලනය කිරීම ඉතා අසීරුය.
Deleteඒකයි එහෙනම් ජෙප්පෝ හෝ ගාලා රට යන්නේ වෙනිසියුලාව බංකොලොත් නම් ජෙප්පන්ට වෙන සල්ලි උල්පතක් හොයාගන්න වෙනවනේ.
ReplyDeleteදැන් චාවේස්ගේ විවේචනයට ලක් වූ බටහිර රටවලට වෙනිසියුලාවට යවන්නට මානුෂික ආධාර එකතු කරන්නට සිදු වී තිබේ. වෙනිසියුලාවට උදවු කරන්නට කැමති ලංකාවේ සිටින වෙනිසියුලා මිතුරන්ටද දැන් ඔවුන්ට පෙරලා උදවු කිරීමට අවස්ථාවක් ලැබී තිබේ.
Deleteකොටිය මැරෙනකොට මැක්කෝ මාරු, එහෙම වෙන්නේ කැලේ වෙන සත්තු නැති නම් වෙන්නැති. කැලේ හිටියේ එක සතෙක් විතරයි නම් කැලේ මැක්කොත් ලංකාවේ අය වගේ උද්ඝෝෂණ කරයි.
Delete/වෙනිසියුලාවට උදවු කරන්නට කැමති ලංකාවේ සිටින වෙනිසියුලා මිතුරන්ටද දැන් ඔවුන්ට පෙරලා උදවු කිරීමට අවස්ථාවක් ලැබී තිබේ/
ඒකාලෙ වියට්නාමෙට අධාර එතකු කරලු නේද? එහෙම කරන්න කියලා කියන්න ලොකු අයියා කෙනෙකුත් (රුසියාව) හිටියුනේ ...
Had IMF predicted this price drop of crude oil & drought in Venezuela also?
ReplyDeleteමම සිංහලෙන් ලියන්නම්, ඇනෝ. බොරතෙල් බැරලයක මිල ඩොලර් 70ට අඩුවෙන් පැවතීමට 84%ක් ඉඩ ඇති බව IMF එක 2014දී පුරෝකථනය කර තිබුණේය. කාලගුණ වෙනස්කම් පුරෝකථනය කිරීමනම් සාමාන්‍යයෙන් කාලගුණ විද්‍යාඥයින් කරන වැඩකි. ඔබ අහන්නේ IMF එක කියන දේවල් හැමවිටම නිවැරදිද යන පුළුල් ප්‍රශ්නය විය හැකිය. පැහැදිලිවම නැත. IMF එකේ සේවය කරන්නේද ලංකාව වැනි එහි සාමාජික රට වලින් යන සාමාන්‍ය පුද්ගලයින්ය. ඔවුන් බොහෝ විට සාමාජික රටවල මහ බැංකු වැනි ආයතන වල සේවය කරන පුද්ගලයින් තරමට ආර්ථික විද්‍යා පුහුණුවක් ලබා ඇති, වැටුපක් වෙනුවෙන් රැකියාවක් කරන අයයි. ඔවුන්ගේ පුරෝකථන ඕනෑ තරම් වරදී. එමෙන්ම, ඔවුන්ගේ විශ්ලේෂණ වල යම් අරමුණක් තිබේ. එහිදී ඔවුන්ට ලෝකයේ එක් රටක වෙනත් රටකට වඩා විශේෂ වැදගත්කමක් නැත. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය කිසියම් රටක් දරුණු අර්බුදයකට (විශේෂයන්ම ගෙවුම් ශේෂ අර්බුදයකට) යාම වැළැක්වීමයි. එහෙත්, යම් රටක ආර්ථිකය මෙහෙයවන අයට තමන්ගේ රට විශේෂ විය යුතුය. එමෙන්ම, කෙටි හා මැදි කාලීන අර්බුද වලක්වා ගැනීමේ දැක්මට වඩා පුළුල් දිගුකාලීන දැක්මක් තිබිය යුතුය. IMF යෝජනාවක් ප්‍රතික්ෂේප කළ යුත්තේ වඩා හොඳ ක්‍රියාමාර්ගයක් වෙනුවෙනි. එවැන්නක්, හේතු සහිතව පෙන්වා දිය හැකිනම් IMF එක වුවද එය පිළි ගනී. එහෙත්, 'ගැට්ටට' IMF එක ප්‍රතික්ෂේප කිරීමෙන් සිදුවන යහපතක් නැත.
Deleteමේ කොයි යන්නේ....වෙනිසියුලා..
ReplyDeleteකිසියම් හේතුවක් නිසා මට එය නැරඹිය නොහැකියි.
Deleteවෙනිසියුලාවේ බෙහෙත් නොමැතිකම නිසා මතුවී ඇති තත්වය
Deleteපිලිබඳ අන් රිපෝටඩ් වර්ල්ඩ් කියන වැඩසටහනට ගිය කෙටි ඩොකියුමෙන්ට්‍රි එකක්. දුක හිතෙනවා ඒ ලමයි ගැන.
2015 ජනවාරි සිදුවූ දේශපාලන වෙනස නොවුවා නම් කරුණු වල ඉතා සුළු වෙනස් කම් ටිකක් කරලා ඉහත රටේ නම වෙනුවට අපේ රටේ නම දමලා ලියන්න වෙන්නත් යම් ඉඩකඩක් තිබුනා. අපි නොදන්නා යම් වාසනා ගුණයක් නිසා එසේ නොවන බවයි මා සිතන්නේ.
ReplyDelete//අවිද්‍යාවෙන් (බටහිර) විද්‍යාවට//
Deleteබටහිර කොහෙද ඕයි විද්‍යාවක් තියෙන්නේ. හැමදාම අලුතෙන් එකක් එනකොට කඩාවැටෙන තර්ක විතරයිනේ. චතුරාර්ය සත්‍යය තරම් දියුණු විද්‍යාවක් බටහිර කොහෙහරි තියනවද?
දේශපාලන වෙනස නිසා බොහෝ විට මේ කාලය වන විට ඇති විය හැකිව තිබුණු එවැනි අර්බුදයක් කල් දමා ගැනීමට හැකි වී තිබෙනවා. එහෙත්, යම් වෙනස්කම් තිබුණත් අප තවමත් ඉන්නේ පැරණි ආකෘතිය තුළමයි.
Deleteආර්ය සත්‍ය හතර ගැන අහල තිබුනට එක අවබෝධ නොවීමනේ තුමනි/තුමියනි මට වුන සන්තැසිය. ඔබ තුමා/තුමී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තැහේ, මක්කටෙයි ඕයි කුසලෙට කම්මැලි වන්නේ කියන්නැහේ ඔන්න ඕක මෙන්න මෙතනම පැහැදිලි කරලා දාන්න මේ අවබෝධ කරගන්න බැරිවුණ අපි ගැනත් අනුකම්පා කරලා.
Deleteනායකයන් මත විශ්වාසය තියනවාට වඩා සමාජයක් විදියට දියුණුව හෙව්වොත් ලංකාව දියුණු වෙයි
ReplyDeleteමෙයාට තියෙන්නේ ඊලාම් කොමියුනිස්ට් හැදියාව.
Deleteමෙන්න news. JVP එකට අයිති lankatruith.com එකේ මෙහෙම තිබුණ. "පසුගිය මාස කහිපය තුළ ජපන් යෙන් 1ක අගය ඇමරිකන් ඩොලර් 110 සිට 137 දක්වා ඉහළ ගොස් ඇත"
ReplyDeleteඑතකොට රුපියල කොච්චර ඉහල ගිහිල්ලද දන්නේ නැහැ. අම්බරුවෝ!
http://www.lankatruth.com/site/index.php/2014-08-09-14-28-31/item/1267-වාහන-ආනයනය-නවතයි
වෙනිසියුලා ආර්ථික අර්බුධය සෑම රටක්ම වගේ අධ්‍යයනය කල යුතුයි.
ReplyDelete