Saturday, May 28, 2016

තෙසක්රියක ගමනක්...


මේ වන විට ලංකාවේ ලියාපදිංචි වාහන ගණන ලංකාවේ මුළු පවුල් ගණනට වඩා වැඩිය. මේ වාහන වලින් අඩකටත් වඩා මෝටර් සයිකල්ය. පසු ගිය වසර අවසන් වන විට ලියාපදිංචි මෝටර් සයිකල් ගණන 3,359,501 කි. පසුගිය 2015 වසර තුළ අළුතින් ලියා පදිංචි කර ඇති මෝටර් සයිකල් ගණන පමණක් 370,889 කි.

වාහන කාණ්ඩ අතරින් දෙවන තැන ගන්නේ ත්‍රිරෝද රෝද රථයි. පසුගිය වසර තුළදී ලියාපදිංචි කර ඇති රථ 129,547ක් ද සමඟ පසුගිය වසර අවසානය වන විට රට තුළ වූ ත්‍රිරෝද  රථ ගණන මිලියනය ඉක්මවා (1,059,042) ඇත. මේ අනුව, පවුල් පහකින් එකක් ත්‍රිරෝද රථයකට හිමිකම් කියයි. 


බොහෝ දෙනෙකු ත්‍රිරෝද රථයක් මිලදී ගනු ලබන්නේ පෞද්ගලික පරිහරණය සඳහාම නොවේ. ත්‍රිරෝද රථ ප්‍රවාහන සේවාවන් සපයා ආදායමක් ලබා ගැනීම සඳහාය. ත්‍රිරෝද රථ ප්‍රවාහන සේවා සැපයුම වැඩි බවත්, හන්දියක් හන්දියක් ගානේ ත්‍රිරෝද රථ කුලියට දීම සඳහා බලා සිටින්නන් සුලභ බවටත්, ඔවුන් බොහෝ විට නිකරුණේ කාලය ගත කරන බවටත් මැසිවිලි නැඟෙනු පෙනේ.

මා සිතන පරිදි ලංකාවේ වත්මන් ත්‍රිරෝද රථ ප්‍රවාහන සේවා සැපයීමේ වෙළඳපොළ අඩුම වශයෙන් සාධනීය ලක්ෂණ දෙකක් පෙන්වයි. පළමුව, මේ වෙළඳපොළ සංකල්පීය තරඟකාරී වෙළඳපොළකට ඉතා ආසන්න බව පෙනේ. තරඟකාරී වෙළඳපොළක් එහි ගණුදෙණු සඳහා සහභාගී වන විශාල පිරිසකට මෙන්ම සමස්තයක් ලෙස රටටද සැලකිය යුතු ප්‍රතිලාභ සපයයි. දෙවනුව, ත්‍රිරෝද රථ ප්‍රවාහන සේවා සැපයීමේ කර්මාන්තය විශාල පිරිසකට කුඩා පරිමාණ ව්‍යවසායකයින් වීමට අවස්ථා සලසයි.


ත්‍රිරෝද රථ සේවා සපයන්නෙකු ත්‍රිරෝද රථයක් මිල දී ගැනීම සඳහා මූලික ප්‍රාග්ධනයක් යෙදවිය යුතුය. බොහෝ විට මේ ප්‍රාග්ධන අවශ්‍යතාව සපුරා ගැනෙන්නේ කල්බදු පහසුකමක් හරහාය. ඉන්පසු ඉන්ධන සඳහා විචල්‍ය පිරිවැයක් දැරිය යුතුය. රියදුරු ශ්‍රමය යෙදවෙන ප්‍රධාන ආකෘති දෙකක් තිබේ. පළමුවැනි ආකෘතිය ත්‍රිරෝද රථයේ අයිතිකරු විසින් සෘජුවම සේවා සැපයීමයි. මෙහිදී ව්‍යවසායකයා හා ආයෝජකයා එක් අයෙකි.

දෙවන ආකෘතිය යටතේ සිදුවන්නේ අයිතිකරු විසින් ත්‍රිරෝද රථ සේවා සැපයීම වෙනත් අයෙකුට පැවරීමයි. මෙය බොහෝ විට සිදුවන්නේ දිනකට කිසියම් කුලියක් අයකර ගැනීමේ පදනම මතයි. මෙහිදී අයිතිකරු විසින් කරන කාර්යයේ ලොකු අවදානමක් නැත. එහිදී සිදුවන්නේ ආයෝජනයකි. ව්‍යවසායකයා වන්නේ මේ ව්‍යාපාරයේ අවදානම ගන්නා, අවසානයේදී ත්‍රිරෝද රථ සේවා සපයන රියදුරාය. ත්‍රිරෝද රථ සේවා සැපයීමේ කර්මාන්තය පුළුල් වන ආකාරයෙන් පෙනෙන්නේ මේ සේවාවන් සඳහා ඇති ඉල්ලුම මෙන්ම, කර්මාන්තය වෙත ඇදෙන නව ව්‍යවසායකයින් ගණනද එන්න එන්නම වැඩි වන බවයි.


පළමුව, ඉල්ලුම් සාධක දෙස බැලූ විට මෙයින් පිළිබිඹු වන්නේ පසුගිය කාලය තුළ මැදි ආදායම් ලබන රටක් ලෙස ඉදිරියට පැමිණි ලංකාවේ ආදායම් ඉහළ ගොස් තිබීම හා ඒ හේතුවෙන් සාමාන්‍ය පුද්ගලයින් තමන්ගේ ජීවන තත්ත්වය වඩා උසස් කර ගැනීමට දරන උත්සාහයයි. උද්ධමනය අඩු මට්ටමක පැවතීම මේ තත්ත්වයට තවදුරටත් ඉවහල් වී තිබේ. ත්‍රිරෝද රථ සේවාවන් සඳහා යමෙකු මුදල් වැයකරන්නේ ආහාර වැනි මූලික අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසුවය.

අනෙක් අතට, මේ කර්මාන්තයට තවදුරටත් අළුත් ව්‍යවසායකයින් ඇදෙන්නේ කර්මාන්තයේ ලාභ ඇති නිසාය. දවසේ පැය ගණනක් එක තැනක නිකරුණේ කාලය ගත කළද, දුවන හයර් කිහිපයෙන් දවසේ ශ්‍රමය වෙනුවෙන් සැලකිය යුතු යමක් ලැබෙන බව පෙනේ. ඇත්තටම ත්‍රිරෝද රථ රියදුරකු දිනකට උපයන මුදලින් ඉන්ධන සඳහා වැය වන විචල්‍ය පිරිවැය හා කල්බදු වාරික හෝ අයිතිකරුගේ දෛනික කුලිය ඉවත් කිරීමෙන් පසු ඉතිරි වන මුදල ලාභයක්ම නොවේ. රියදුරුගේ දෛනික ශ්‍රමයේ වටිනාකමද එහි ඇතුළත්ය. 


ලංකාවේ ත්‍රිරෝද රථ සේවා සපයන වෙළඳපොළ වැනි විශාල තනි පාරිභෝගිකයින් පිරිසක් මෙන්ම, එවැනිම සංවිධානය නොවූ තනි සේවා සපයන්නන් විශාල ගණනක් සිටින, ඒකාධිකාර නැති, තරඟකාරී වෙළඳපොළක ඉල්ලුම හා සැපයුම ස්වයංක්‍රීයවම සමතුලිත වන අතර එය සිදුවන්නේ මිල වෙනස්වීම් මඟිනි.  මෙවැනි වෙළඳපොළක සේවා සපයන්නෙකුට තමන්ගේ ශ්‍රමයේ වටිනාකම හා ගන්නා අවදානම වෙනුවෙන් ප්‍රතිලාභයක් හැරුණු විට 'සුපිරි ලාභ' ලැබිය නොහැකිය. ඒ නිසා, පාරිභෝගිකයින්ට අඩුම මිලකට හොඳ සේවාවක් ලබා ගැනීමට හැකිවන අතර, මිල අඩු වුවද මේ අඩු මිල නිසා වැඩි වන ඉල්ලුම විසින් නව ව්‍යවසායකයින් දිරිමත් කරයි. 

මෙවැනි තරඟකාරී වෙළඳපොළක කිසිදු සේවා සපයන්නෙකුට අනෙක් අයට වඩා වැඩි මිලක් අය කිරීමේ හැකියාවක් නැත. වෙනත් සේවා සපයන්නන් ඕනෑ තරම් සිටින නිසා එයින් සිදුවන්නේ පාරිභෝගිකයා වෙනත් සේවා සපයන්නෙකු වෙත යාමයි. එමෙන්ම, අනෙක් අයට වඩා අඩුවෙන් අය කිරීමේ හැකියාවක්ද නැත. අය කරන මිල සේවා සැපයිය හැකි අවම මිල නිසා එසේ කිරීම පාඩුවකි. ඒ නිසා (විශේෂ තත්ත්වයන් යටතේ හැර) මිල ස්ථාවරව පවතී. ඒ නිසා, සේවා සපයන්නට තරඟ කරන්නට වෙන්නේ වඩා හොඳ සේවාවක් සැපයීම මඟිනි.

මෙය සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීම අපහසු නැත. බොහෝ සේවා සපයන්න
න්ට තමන්ගේම වූ පාරිභෝගිකයින් සිටින අතර ඔවුහු ජංගම දුරකථන සම්බන්ධතා හරහා සම්බන්ධීකරණය වෙති. මෙවැනි ස්ථිර පාරිභෝගිකයින් ඇති කරගැනීම මඟින් සේවා සපයන්නෝ තමන්ගේ අවදානම තරමක් අඩු කරගනිති. එමෙන්ම, එවැනි පාරිභෝගිකයෝද සිය සේවාවේ තත්ත්වය ගැන සහතිකයක්ද සහිතව හොඳ මිලක් ලබා ගනිති.

ත්‍රිරෝද සේවා සැපයුම ඉල්ලුමට වඩා වැඩිනම් මිල නියම මට්ටමටත් වඩා පහළට වැටීමෙන් මේ සේවාව මඟින් ප්‍රමාණවත් ලාභයක් ලැබිය නොහැකි වනු ඇත. මෙය සිදු වන විට මේ කර්මාන්තයට අළුතින් සේවා සපයන්නන් එකතු වීම ස්වයංක්‍රීයවම අඩුවීම නිසා නැවතත් මිල ඉහළ ගොස් ඉල්ලුම සැපයුම සමතුලිත වනු ඇත. රජය විසින් ඇඟිලි ගසා කෘතීම ලෙස ඉල්ලුම හා සැපයුම පාලනය නොකරනවානම් වෙනත් බොහෝ කර්මාන්තයන්හි වැඩි ලාභ නැතිවී මෙවැනි කාර්යක්ෂම තත්ත්වයක් ඇති වනු ඇත.

පසුගිය කාලයේ රටේ ආදායම වැඩි වීම හා අඩු උද්ධමනය ත්‍රිරෝද රථ සේවා සඳහා ඉල්ලුම වැඩි කළාක් මෙන්ම, සැපයුම වැඩි වීමට හේතු වූ කරුණුද තිබේ. කලක් පැවති සාපේක්ෂව අඩු පොලී අනුපාතික හා ස්ථාවරව පැවති විණිමය අනුපාතිකය මේ අතරින් ප්‍රධාන සාධක වූ අතර රටේ පහළ මැදි ආදායම් ලබන පුද්ගලයෙකුට වුවද ත්‍රිරෝද  රථයක් මිලදී ගැනීම කළ හැකි දෙයක් බවට පත් කර තිබේ. තෙල් මිලෙහි බලපෑමනම් මිශ්‍ර එකකි. එක් අතකින් අඩු තෙල් මිල පයින්
යන්නන් හා පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නන් ත්‍රිරෝද රථ වෙත ආකර්ශනය කරන අතර තවත් අතකින් වැඩි තෙල් මිල පෞද්ගලික මෝටර් රථ හා ටැක්සි භාවිතා කරන්නන් ආකර්ෂණය කරයි. සමස්තයක්  ලෙස අඩු තෙල් මිල කර්මාන්තයට වාසිදායක බව මගේ අදහසයි.

ත්‍රිරෝද රථ රියදුරන් ලෙස සේවය කරන බොහෝ දෙනෙකු ඉහළ අධ්‍යාපනයක් නොලැබූ හා සමාජයේ ඉහළ ස්ථර සමඟ ලොකු සමාජ සම්බන්ධතා නොමැති අයයි. රජයේ රැකියා බලා සිටිමින් බෝක්කු උඩ හෝ පහන් කණු යට රස්තියාදු නොවී මේ කර්මාන්තයට පිවිසීම තුළින් ඔවුහු රටේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙති.  ඔවුන්ගේ දායකත්වය ඔබ සලකා බැලිය යුත්තේ මේ සේවාව නිසා ඔබට ඉතිරි වූ කාලය ගැන සිතමිනි.
ඔවුන් පැය ගණනක් ත්‍රිරෝද රථ ගාලක රස්තියාදු වීම ගැන සිතිය යුත්තේ මුළු දවසම නිකරුණේ රස්තියාදු වීමේ විකල්පයට සාපේක්ෂවය.

පෞද්ගලික මෝටර් රථ හිමිකරුන්වන්නම් ත්‍රිරෝද රථ නිසා ඇති වන මාර්ග තදබදය අවාසියක් ලෙස සිතන්නට පුළුවන. එහෙත්, මාර්ග නඩත්තුව සිදුවන්නේ රටේ සියල්ලන්ගේම මුදලින් නිසා එසේ සිතීම නිවැරදි නැත.

මෑතකදී ඉහළ ගිය විණිමය අනුපාතය හා බදු නිසා ඉදිරි කාලයේදී ත්‍රිරෝද රථ සේවා සැපයුම අඩු විය හැකිය. කෙසේ වුවද, විණිමය අනුපාතය වෙනස්වීම හා රාජ්‍ය අයවැය හිඟය අඩුවීම අතවශ්‍ය නිවැරදිවීම්ය. මෙහිදී ත්‍රිරෝද රථ සේවා කර්මාන්තයේ සිදුවනු ඇත්තේ මේ සාර්ව-ආර්ථික වෙනස්කම් පිළිබිඹු කරමින් ඉල්ලුම හා සැපයුම අලුත් සමතුලිතතාවයක් කරා එළැඹීමයි.

37 comments:

  1. ඉකොනො දන්නවද දන්නෑ, ඔවුන් මේ අති තරඟකාරිත්වය අතික්‍රමණය කොට, වැඩි පාරිභෝගිකයන් ප්‍රමාණයක් තමන් වෙත අද්දවා ගැනීමට දැන් වැලිව් ඇඩඩ් සර්විස් දෙන්න පටන් අරන්...

    උදාහරණයක් විධිහට, ගෑස් එකක් ගන්න දැන් අපි යන්න ඕනා නෑ. ත්‍රීවීල් කරුට ඇමතුම ක් දුන් විට ඔහු පැමිණ හිස් ටැංකිය ‍රැගෙන ගොස් අලුත් එකක් ගෙනත් දෙනවා.. අපි ගෙවිය යුත්තේ ගැස් වල මිළ සහ ඔහුගේ ගාස්තුව පමණි. මේ ළඟදි මට පොලීසියට දඩයක් ගෙවලා ලයිසන් එක ආපහු ගන්න සිදු වුනා. මම ගෙවපු දඩ කොලේ එක්ක දවස් දෙකක්ම පොලීසිය්ට ගියාට ඔවුන්ට වෙන වෙන වැඩ රාජකාරි බහුල නිසා ගන්න බැරිවුනා.. නිවාඩු දාන අමාරු නිසා මම අපි දන්න ත්‍රීරොද රත රිය දුරුගේ සහය පැතුවා. වැඩේ ගානට වෙලාවට සිදු වුනා...

    මම් පුද්ගලිකව මේ වාහනේට කැමති නෑ. ඒක ඔවුන් පදවන අවිධිමත් විධිහ නිසා සිදුවන අනතුරු හා මාර්ග තදබදයන් අති විශාලයි. නිසි පුහුණුවක් යටතේ, රජයෙන් පාලනය වන කුඩා කාර් සේවාවක් වගේ එකකට ඔවුන්ව යොමු කරන්න පුළුවන්නම් ඉතා හොඳයි කියලා හිතනවා.. හැබැයි දැන්නම් ඉතින් කාර් හීනයක් තමා....

    ReplyDelete
    Replies
    1. මේ වගේ දේවල් රජය මුල් වී කිරීම සාර්ථක නැහැ. මම කලක් සේවය කළ ආයතනයකට හදිසියේම රියදුරන් සෑහෙන කණ්ඩායමක් අළුතින් බඳවා ගත්තා. රියදුරු බලපත් තිබුණත් ගොඩක් අයගේ රිය පැදවීමේ පුහුණුව ඉතාම ප්‍රාථමික එකක්. කොළඹ පාරවල් කිසිවක් දන්නෙත් නැහැ. අන්තිමට ඒ අයත් එක්ක කොහේ හෝ යන්න ගියාම හෙන අවුලක්. රටේ ආදායම තව ටිකක් ඉහළ යන විට ස්වයංක්‍රීයව මේවා කුඩා කාර් වලින් ප්‍රතිස්ථාපනය වෙයි. ඉන්දියාවේ, බංග්ලා දේශයේ හා පකිස්ථානයේ ඇතැම් නගරවල බහුලව ඇති, ලංකාවෙත් කලකට පෙර තිබී ඇති මිනිසුන් අදින රික්ෂෝ වෙනුවට ත්‍රිරෝද රථ ආදේශ වූ හෝ වන අයුරින්.

      Delete
    2. නිවාඩුවක් බේරගන්න පුළුවන් කියන්නේ සෑහෙන්න ලොකු සේවයක්. ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නනම් තියෙනවා. අර කතාවට කියන්නේ කකුල් දෙක වැඩිපුර පළල් කරගෙන හිටියොත් ඒක අස්සෙනුත් ත්‍රීවීල් එකක් රිංගනවා කියල. සමහර මගියොත් මෙවැනි 'කොහෙන් හෝ දමා යෑම්' ඉල්ලා සිටිනවා.

      Delete
    3. මම වැරදි වචනයක් පාවිච්චි කළේ "පාලනය" කියලා. ඒක "නියාමනය" කියලා වෙනස් වෙන්න ඕනා.

      Delete
  2. මමත් පාරේ තෙසක් රිය වල අන්තුරුදායක හැසිරීමට අකමැතියි. හැබැයි ඒවායින් තම ආර්ථිකය ඉහලට ගෙන යන මිනිසුන් දැක්කාම ඇත්තටම සතුටක් ලබනවා

    ReplyDelete
    Replies
    1. මට ඉන්දියාවේ සහ බංග්ලා දේශයේ බයිසිකල් රික්ෂෝ පදින මිනිස්සු ගැන ගොඩක් අත්දැකීම් තියෙනවා. ඒ අයට සාපේක්ෂව ලංකාවේ ත්‍රිරෝද රථ රියදුරන් ගෙවන්නේ බොහෝ සැපවත් ජීවිතයක්.

      Delete
  3. මෝටර් රථ නිශ්පාදකයන් මෝටර් රථයක සාමාන්‍ය වේගය(Average speed) පැ.කි.මී. 30 වශයෙන් ගන්නා නමුත් ලංකාවේ මෝටර් රථයක සාමාන්‍ය වේගය පැ.කි.මී. 18 ක් බව එක්තරා ලිහිස්සි සමාගමක් මගින් පැවැත්වු වැඩසටහනකදී දැන ගන්නට ලැබුනා. මෙයට හේතුවක් ලෙස ඔව්න් දැක්වුයේ ටුක් ටුක් වල අඩු ත්වරණයයි( low acceleration). එසේම ඔවුන් දකුනෙන් රිංගා ඉස්සර කිරීම, ලේන් දෙකක් මැදින් ගමන් කිරීම වගේ දේවල් නිසා මෝටර් රථ පදවන්නන්ට එය ඉතා වෙහෙස ගෙන දෙන කාර්යක් වී ඇත.

    ReplyDelete
    Replies
    1. ඔවුන්ගේ රිය පැදවීමේ පුරුදුනම් ලොකු වදයක් තමයි. මෙය ඔවුන් සඳහා ඉල්ලුම වැඩිවීමටත් තරමක් හේතු වී තිබෙනවා. ඒ නිසයි එය එලෙස සිදුවන්නේ. මෙවැනි නරක රිය පැදවීම් මිනිස්සු ප්‍රතික්ෂේප කරන්න පටන් ගත් විට ඔවුන්ට වඩා හොඳ රියදුරන් වෙන්න පුළුවන් වෙයි. ඕනෑ තරම් ත්‍රිරෝද රථ තිබෙන නිසා එය කරන්න බැරි කමක් නැහැ.

      Delete
  4. මගේ මල්ලී තනිව යන ගමන් යන්නේ ම ත්‍රිරෝද රථයෙනුයි. රජයේ ගුරුවරයකු වන ඔහුට වඩා ඔහු ගමන් යන රථයේ රියදුරා ගේ මාසික ආදායම සෑහෙන්න වැඩියි.

    ReplyDelete
    Replies
    1. තමන්ට කැමති රැකියාවක් කිරීම (අකැමති රැකියාවක් නොකිරීම) වෙනුවෙන් ගෙවන මිල!

      Delete
  5. ත්‍රී රෝද යන්න වැරදි අච්චාරු යෙදුමකි. එය ත්‍රි රෝද විය යුතුයි නේද?

    ReplyDelete
    Replies
    1. රසික, මම හිතන හැටියටත් නිරුක්තිය අනුව නිවැරදි යෙදුම ත්‍රිරෝද තමයි. ජාතික පුවත්පත් ඇතුළු බොහෝ තැන්වල දැන් ලියවෙන්නේ ත්‍රීරෝද කියා නිසා භාවිතාවෙන් මෙය වෙනස් වී ඇතැයි හෝ මගේ භාවිතය වැරදියි කියා සිතා සිතා එය එසේ දැම්මා. දැන් ඔබත් මෙය ත්‍රිරෝද බව කියන නිසා නැවතත් ත්‍රිරෝද ලෙස වෙනස් කළා.

      Delete
  6. ලංකාවේ ජංගම දුරකථන සේවා සහ නිමි ඇඳුම් වෙළෙඳ පොළ ද near perfect තත්වයේ යැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. රසික, ජංගම දුරකථන වෙළඳපොළ ගැන ලංකාවේ ප්‍රධාන සමාගමක වගකිවයුතු තනතුරක සේවය කරන මිතුරෙකු සමඟ මම පැය කිහිපයකට පෙර කතා කළා. එහි ඇත්තටම සිදුවී ඇත්තේ දැඩි තරඟය නිසා මිල නියම මට්ටමටත් වඩා අඩු වීමයි. මෙය හරියටම ඇමරිකාවේ ශල්ක තෙල් වෙළඳ පොළේ සිදුවූ තත්ත්වයමයි. ආන්තික පිරිවැය හොඳටම අඩු නිසා මිල අඩු කළ හැකිවුණත් එයින් ස්ථාවර පිරිවැය ආවරණය වෙන්නේ නැහැ. ඒ නිසා ජාල ව්‍යාප්තිය පිණිස ආයෝජනය කිරීම අඩපණ වෙලයි තියෙන්නේ. හරියට අළුත් තෙල් අට්ටාල කැණීම නැවතුණා වගේ. මේ නිසා නියාමන කොමිසමට අවම මිලක් දමන්න සිදුවුණු බවයි ඔහු කිවුවේ. නිමි ඇඳුම් වෙළඳපොළනම් කලක සිටම ආසන්නව පරිපුර්ණ තරඟකාරී වෙළඳපොළක්.

      Delete
  7. ඉකො හොද පැහැදිලි කිරීමක්..

    මම නම් ඉතා අකමැති වාහනයක්.. හේතුව එහි ආරක්ෂාව පවතින්නේ සෘණ මට්ටමේ..

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒක ඇත්ත. ආරක්ෂාව පිලිබඳ ගැටළු ගොඩක් තියෙනවා.

      Delete
    2. අර උඩ සෙන්නා කිව වගේ නියාමනයක් හැදුවොත් වඩා ආරක්ෂාකාරී වෙයි.

      Delete
  8. මුලින්ම ඔබට අනෙක වාරයක් ස්තුතියි, තෙසක් රිය, සහ ත්‍රිරෝද රථය, යන නිවැරදි යෙදුම් භාවිතය පිළිබඳව. මක්නිසාදයත්, අපේ මහා මාධ්‍ය කුක්කන් කික්කියන් පවා යොදන්නේ, 'ත්‍රීරෝද' රථය නමැති, එලොවටත් මෙලොවටත් නැති වචනයක්.

    ගොඩනැගිලි ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ, පෞද්ගලික සමාගමක් පවත්වාගෙන යන මගේ මිත්‍රයකු, මෑතකදී මට කිව්වා,, දැන් ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය 'බාස් වරුන්' සහ 'අත්වැඩ කරුවන්' සොයාගැනීම අතිශයින් දුෂ්කර බවත්, විභාග අසමත්ව, පාසලෙන් පිටතට වැටෙන අති මහත් බහුතරය, ත්‍රිරෝද රථ රැකියාවට වැටෙන බවත්. ත්‍රිරෝද රථ සංස්කෘතිය ගැන වෙනම දීර්ඝව සාකච්ඡා කළයුතුයි.

    මෑතකදී මා දුටු පුවත්පත් වාර්තාවකින් කියවුනේ, ලංකාවේ ත්‍රිරෝද රථ රියැදුරන්ගෙන් 40% කට පමණ, රිය පැදවීමේ බලපත් නැති බවයි. අපි පාරේ යන්නේ මෙවැනි මාරක මධ්‍යයේයි.

    ත්‍රිරෝද රථයකට, ආනතියෙන් වැඩි, වංගු සහිත මාර්ගයක, පහළට වේගයෙන් එන්නට බැහැ. සමතුලිතතාව ගිලිහී පෙරළෙනවා. මහනුවර - කුරුණෑගල මාර්ගයේ ගලගෙදර ප්‍රදේශයේ, විශාල දැන්වීමක් සවිකර තිබෙනවා, 'ත්‍රීවීල් පෙරලෙන වංගුව' යනුවෙන්.

    දියුණු රටවල මේ වාහනයට ඉඩක් නැහැ. මා යෝජනා කරනවා 25 අවුරුදු සැලැස්මක් යටතේ මේ රථය ලංකාවෙන් ඉවත් කරන්න.

    1 වැනි පියවර:- අලුතෙන් ගෙන්වීම නැවත්වීම.

    2 වැනි පියවර:- අමතර කොටස් සීමා කිරීම.

    3 වැනි පියවර:- ගම්බද දුෂ්කර ප්‍රදේශ වලට පමණක් සීමාකිරීම.(ප්‍රධාන මාර්ග වලින් ඉවත් කිරීම)

    ඉහත පියවර තුන සඳහා වසර 20 ක් ලබාදීම. සහ ඉන්පසුව භාණ්ඩ ප්‍රවාහන රථයක් ලෙස ග්‍රාමීය මාර්ග වලට පමණක් සීමා කිරීම.

    ReplyDelete
    Replies
    1. //ගොඩනැගිලි ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ, පෞද්ගලික සමාගමක් පවත්වාගෙන යන මගේ මිත්‍රයකු, මෑතකදී මට කිව්වා,, දැන් ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය 'බාස් වරුන්' සහ 'අත්වැඩ කරුවන්' සොයාගැනීම අතිශයින් දුෂ්කර බවත්, විභාග අසමත්ව, පාසලෙන් පිටතට වැටෙන අති මහත් බහුතරය, ත්‍රිරෝද රථ රැකියාවට වැටෙන බවත්. ත්‍රිරෝද රථ සංස්කෘතිය ගැන වෙනම දීර්ඝව සාකච්ඡා කළයුතුයි.//

      මේ කරුණු ටික මගේ මිතුරෙකු විසින් අදත් මට මේ විදිහටම කිවුවා. නමුත්, ප්‍රශ්නය තියෙන්නේ මේ රැකියා වලට බලහත්කාරයෙන් මිනිසුන් යොමු කළ නොහැකි වීමයි. සාමාන්‍ය පෙළ කළ පසු පාසැල් හැර යන අයට යම් පෙළඹවීමක් කළ හැකියි (දැනුවත් කිරීම් මඟින්). දැනට කළ යුත්තේ මෙවැනි රැකියා සඳහා ගෙවන දෛනික වැටුප වැඩි කිරීමයි. එවිට අළුතින් පිරිස් මේ ක්ෂේත්‍ර වලට එයි. පිරිස් සොයාගැනීම අමාරුයි කියන එකෙන් අදහස් වෙන්නේ ගෙවන වැටුප් ප්‍රමාණවත් නැහැ කියන එකයි.

      රියදුරු බලපත් නැතිව එලවීමනම් නීතිය ක්‍රියාත්මක වන ආකාරයේ ලොකු ප්‍රශ්නයක්.

      ත්‍රිරෝද රථ ආනයනය තහනම් කිරීමට තරම් ප්‍රශ්නයක් ඇතැයි මා සිතන්නේ නැහැ. ලොකු වාහනයක් ගැනීමට ශක්තියක් නැති බොහෝ අය පෞද්ගලික වාහනයක් ලෙසත් ත්‍රිරෝද රථ පාවිච්චි කරනවනේ. මිනිස්සු ඒවායේ ගමන් කිරීම අඩු කළොත් මේවා රටට එන එකත් නිකම්ම අඩුවෙයි. භූ විෂමතා අනුව මේවා ධාවනයට නුසුදුසු ප්‍රදේශ වල හා/හෝ මගී සුරක්ෂිතතාව පිළිබඳ ගැටළු ඇති තත්ත්වයන් යටතේ ධාවනය කිරීමනම් (නිසි අධ්‍යයනයකින් පසුව) දැන් වුනත් තහනම් කිරීමේ වැරැද්දක් නැහැ. රථ වාහන අනතුරු පිළිබඳ දත්ත ඇත්නම් (මේවා කොහොමත් පොලීසි වල තියෙනවනේ) ප්‍රධාන මාර්ග වලින් ඉවත් කළ යුතුද වැනි දෙයක් අධ්‍යයනය කිරීම ගොඩක් අමාරු දෙයක් නෙමෙයි.

      Delete
    2. රනිල්ට හෙට ම එළිදැක්වීමට හැකි ප්‍රතිපත්තියක්......!

      Delete
    3. දවසකට අලුත් ත්‍රිරෝද රථ පටවගත්ත ලොරි කොච්චර ප්‍රමාණයක් මේ ඉස්සරහ පාරෙන් යනවද කියල දැක්කම පුදුම හිතෙනව.

      Delete
  9. ඉකනෝ ඇමරිකාවේ උන්නත් මේ අහිංසක ස්වයං රැකියාලාබීන් ගැන ධනවාදීව කතා කිරීම බොහෝම අගය කරනවා... මොවුන්ගෙන වන සමාජ සේවය හා හොඳ හිත.. රෝද හතරේ යන අය ළඟවත් රෝද දෙකෙන් යන අය ළඟවත් නෑ... ඒක මහපාරේ නිතරම ඉන්න අපි අත්දැකීමෙන් දකින දේ... ගමේ වගේ නෙමෙයි නගරේ මොවුන් නියෝජනය කරන්නේ වෙනම සමාජ ස්ථරයක්... ඒ ගැන අවබෝධයක් නැතිකමයි මොවුන් එක්ක ගැටෙන්න ප්‍රධානම හේතුව.. ඔවුන්ගේ සේවය පමණක් ලබා ගත්තාම ඇති.. සම හරක් ඔවුන්ගෙන් වෙනත් දේවලුත් බලාපොරොත්තු වෙනවනේ... ඒකයි ඔය ගැටුම.. ප්‍රයිවට් බස් වල කොන්දා එක්ක තියෙන්නෙත් මේ ගැටුමමයි... ටිකට් එකේ ගාන ගෙදරින් අරගෙන ආවා නම් කිසි ලෙඩක් නෑ...

    ReplyDelete
    Replies
    1. පළමුව, පසුව "ත්‍රීවීල්" ලෙස ජනප්‍රිය වූ මේ වාහන වර්ගය කොළඹින් පිට දකින්නට නොතිබුණු "ආටා" යුගයේ කොළඹ ආටා වල සිට මුලින්ම ගම් වලට ආ "බජාජ් එක" දක්වා මා මේ කර්මාන්තය වර්ධනය වූ ආකාරය නිරීක්ෂණය කර තිබෙනවා. මට සමීප නිරීක්ෂණ වැඩිපුර නැත්තේ මෙය "වීල් එක" වූ පසුගිය කාලය තුළ පමණයි. දෙවනුව, ඔබ කියන ඔය කොළඹ සමාජ ස්ථරයත් මා සමීපව ඇසුරු කර තිබෙනවා. කලක් රටේ ත්‍රීවීල් කර්මාන්තය තුළ සිටි ප්‍රධානම කණ්ඩායම මෙය වුවත්, පසුව මහරගම, රත්මලාන, කඩවත ආදී ප්‍රදේශ වල තරමක් වෙනස් අර්ධ-නාගරික කණ්ඩායම් වෙතත්, රටපුරා ග්‍රාමීය ප්‍රදේශ වෙතත් ත්‍රීවීල් ව්‍යාප්ත වීමෙන් පසු මේ වන විට ත්‍රීවීල් ආර්ථිකයෙන් බලපෑමක් සිදුවන කණ්ඩායම හා අදාළ දේශපාලන බලතුලනය විශාල ලෙස වෙනස් වී තිබෙනවා. ඒ නිසා ත්‍රීවීල් විරෝධය පසුපස පැහැදිලි දේශපාලනයකුත් තියෙනවා. ත්‍රීවීල් සම්බන්ධ පක්ෂ ආකල්ප හරහා රටේම දේශපාලනය තේරුම් ගත හැකියි.

      ඔබ කියන ධනවාදීව කතා කිරීම කියන එකට ආවොත් ධනවාදය කියන්නේ දුප්පතෙකුට පොහොසතෙකු වීමට ඇති බාධා අවම කරමින් දුප්පතුන් ධනවතුන් කිරීම මඟින් දුප්පතුන් නැති කිරීම අරමුණු කරගත් ක්‍රමයක් මිසක් දුප්පතුන්ගේ අවස්ථා නැති කරන ක්‍රමයක් නෙමෙයි. ලංකාවේදී නීති විරෝධී, සමාජ විරෝධී මුදල් ඉපයීමේ මාර්ග හැරුණු විට පහළ සමාජ ස්ථරයක අයෙකුට සමාජයට බරක් නොවී තමන්ගේ ජීවන තත්ත්වය උසස් කර ගැනීමට ඉතා සීමිත මාර්ග කිහිපයක් පමණයි තියෙන්නේ. ත්‍රිරෝද රථ කර්මාන්තයත් එවැනි එක් කර්මාන්තයක්. පාරිභෝගිකයන්ගේ පැත්තෙන් බැළුවත් එය එහෙමයි. ත්‍රිරෝද රථ සේවා ලබා ගන්නේ පොදු ප්‍රවාහන සේවා වලින් ලැබෙන පහසුවට වඩා පහසුවක් අපේක්ෂා කරන එහෙත් ඊට වඩා පිරිවැය වැඩි විකල්පයක් තෝරා ගැනීමේ හැකියාවක් නැති අයයි. මේ වන විට ලංකාවේ ඉන්න වැඩි පිරිසක් ඉන්නේ මෙවැනි ආදායම් කාණ්ඩයක. ලංකාවේදී ධනවාදය ලෙස බොහෝ දෙනෙක් හඳුනාගන්නා ධනවාදය නොවන ක්‍රමයේ සැබෑ ස්වභාවය තමයි මේ.

      Delete
  10. තිරෝද රථ පදවා කාලය කන්නේ නැතුව ශ්‍රම බලකායට එක්වෙන්න කියල කියන එක හරි අමානුශිකයි...
    ඔවුන් එසේ කරන්නේ ඒ හරහා ඔවුන්ට යැපෙන්න හැකි නිසා, ගොවියාට නම් වවද්දී මොනවා හරි සහනාධාරයක් ලැබෙනවා(දැන් නැතත්)...
    ගොවියා කරන්නෙත් රැකියාවක්, නමුත් මොවුන්ට කිසි සහනාධාරයක් නොලැබී ජිවත් වෙන්න හැකි මුදලක් ලැබෙන නිසා ඔවුන්ට ඒ රැකියාව කරන්න අයිතියක් තියෙනවා...

    වැඩබිම් වලට මිනිස්සු නැති ගැටළුව අපිටත් තියෙනවා, හොඳම විසඳුම වැඩි පඩියක් ලබා දීම පමණයි...

    මම සමහර වෙලාවට මගේ පහසුවට තිරෝද රථයට "3WD" ලෙසින් මගේ සටහන් වල ලියනවා...
    නමුත් බ්ලොගයේ එසේ ලියා නැති බවයි මගේ මතකය...

    තෙසක් රිය වලට මගේ අමනාපය ඔවුන්ගේ අධික වේගය සහ වමෙන්, පේමන්ට් උඩින් හෝ කොහොන් හෝ රිංගා ඉස්සර කරන, සංඥා නොදල්වා හරවන, කළින් හරවන්න දාපු සංඥාව එසේ තියෙද්දීම නැවත අනිත් දිශාවට හැරවීම, එක වරම පාර මැද U tern ගැසීම යන ඔවුන්ගේ ජාතික ප්‍රතිපත්ති නිසා...
    මම තිරෝද රථයක කොහේ හරි යනවනම් හෙමින් යන ලෙස පවසනවා...

    ඔවුන්ගේ තවත් එක අසංවර පුරුද්දක් තමයි පාර මාරු වෙන්න කහ ඉර ගාව නතර වෙලා වාහන අඩු වෙනකල් හෝ සංඥා බල්බ දැල්වෙනකම් ඉන්න අවස්ථා වල පවා අප ඉදිරියෙන් කහ ඉර අවහිර වනසේ නතර කර කොහේ හෝ යනවාදැයි අසා පාර පැනීමට ඇති අවස්ථාවට අවහිරයක් ඇති කිරීමයි...

    ReplyDelete
    Replies
    1. මේ අය කරන්නේ කාටවත් බරක් නොවී විශාල පිරිසකට සේවයක් සලසමින් තමනුත් නීත්‍යානුකූලව ආදායමක් උපයා ගැනීමයි. ඔවුන්ට මේ අවස්ථාව නැති කළ පමණින් ඔවුන් පෙදරේරුවන්, පින්තාරුකරුවන් වේයැයි හිතනවානම් එය මුලාවක්. නාගරික ප්‍රදේශ වල ඉදිකිරීම් වලදී කොන්ක්‍රීට් දැමීමට අඬගසාගත් කණ්ඩායමේ පිරිස් අඩු වීම ආදී හේතු මත වඩා දැනට හොඳ ජීවන තත්ත්වයක් ලබන අය නැවත පහළට තල්ලු කිරීම අමානුෂික වනවාට අමතරව අකාර්යක්ෂම දෙයක්. ත්‍රිරෝද රථ ධාවනය කරන ආකාරය පිළිබඳ ප්‍රශ්න රටේ නීතිය හා සාමය රැකීමේ අඩුපාඩු, එනම් රජයේ අකාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නයක්. රජය කියා මා කියන්නේ වත්මන් රජය හෝ පෙර රජය කියන අර්ථයෙන් නෙමෙයි. රාජ්‍ය යාන්ත්‍රණයේ ඇති අකාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නය නොවිසඳා වඩා කාර්යක්ෂම වෙළඳපොළක සමතුලිතතාවය වෙනස් කරන්නට උත්සාහ දැරීම පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමක්. ඇතැම් විට මෙය කරනවා ඇත්තේ ගෙවුම් ශේෂ ප්‍රශ්නයට විසඳුමක් ලෙසයි. එසේ කිරීමේදී ඇතැම් කණ්ඩායම් ආරක්ෂා කර ප්‍රශ්නයේ බර හෙට්ටු කිරීමේ බලය අඩු එක් කණ්ඩායමක් මත පැටවීම එතරම් සාධාරණ හෝ කාර්යක්ෂම දෙයක් කියා මම හිතන්නේ නැහැ.

      Delete
  11. අහිංසක විදිහට ලෝකෙට බරක් නැතුව පවුලක් ජීවත් කරන රැකියාවක් මේක.ගොඩක් වෙලාවට පාරිභෝගිකයාගේ පෙළඹවීම මතම තෙසක් රිය නීති කඩන අවස්ථා තියෙනවා.ට්‍රැෆික් වෙලාවට කාර් එක එලියට නොදා ත්‍රිවීල් එකක යන සම්භාවිතාව වැඩියි.
    කොල්ලෙක්ගෙ පලවෙනි හීනෙ බයික් එක.බයික් එකක් තියන එකා ත්‍රිවීල් එකක් ගැන හිතනවා.ඊට පස්සෙ පරණ රෝද හතරක් ගන්නවා..පියවරෙන් පියවර උඩට නඟිනවා.ඒත් 'මහත්තුරු' ඒකට කැමති නෑ.බයික්,ත්‍රිවීල් වලට ඇසිඩ්,උණුවතුර වක්කරන්නෙ සාමාන්‍ය මිනිහා ගැන හිතන්නෙ නැතුව.අඩු ගානෙ බස් ටිකයි,දුම්‍රිය ටිකයි වත් පිලිවලක් කරලා සීමා කිරීම් පටන් ගත්තනම් හරි.හැමෝටම වෙස්ල් වලින් ලීෆ් වලින් ජීවිතේ පටන් ගන්න බෑ කියල තේරෙනව අඩුයි වගේ. රුපියල් දාහෙ බද්දට ගෙනෙන්න දෙනව නම් ත්‍රිවීල් මල්ලිලත් හයිබ්‍රිඩ් ගෙන්ල්ල හයර් කරයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ධෛර්යවත් පුද්ගලයෙක්ට සමාජයට බරක් නොවී නීත්‍යානුකූල ලෙස ආදායම් උපදවාගෙන සමාජ ස්ථරයේ උඩට නඟින්න තිබෙන ඉඩප්‍රස්තා පුළුල් විය යුතුයි.

      Delete
  12. ඉකෝන්ස්,

    ඔබේ ලිපියෙන් බොහොම වැදගත් දෙයක් ඉගෙන ගත්තා. මම මෙතෙක් හිතාගෙන හිටියෙ ආයෝජකයා සහ ව්‍යවසායකයා කියන්නෙ එක්කෙනාමයි කියල. ඒත් ඒ වචනදෙකේ අරුත වෙනස් බව ඉගෙන ගත්තෙ අද. ස්තූතියි...:)

    ReplyDelete
    Replies
    1. මෙය ඉතා වැදගත් වෙනසක්. ලංකාවේ තියෙන්නේ ව්‍යවසායකත්වයේ අඩුවක්. ලංකාවේ ගොඩක් ව්‍යාපාරිකයෝ ආයෝජකයෝ මිසක් ව්‍යවසායකයෝ නෙමෙයි. ඔවුන් කරන්නේ ඔවුන් සතු ප්‍රාග්ධනය ආයෝජනය කර ප්‍රතිලාභයක් ලබාගැනීම මිස අළුතින් අගයක් එකතු වන දෙයක් ගැන සිතීම නොවෙයි. ඇතැම් විට විට ඔවුන් තමන්ගේ හෙට්ටු කිරීමේ හැකියාව උපයෝගී කරගෙන වැඩි ප්‍රතිලාභයක් ගන්න උත්සාහ කරනවා. ව්‍යවසායකත්වය කියන්නේ ප්‍රාග්ධනයේ හා ශ්‍රමයේ හිමිකරුවන්ට ඔවුන්ගේ කොටස් දී, පාරිභෝගිකයින්ටත් ගෙවන මිලට වඩා වටිනා සේවයක් සලසා තමන්ටත් යමක් ඉතිරි කරගැනීමට හැකි වීමේ නිර්මාණශීලී හැකියාව. එවැන්නකුගේ ලාභය තමන් විසින් අළුතින් මවන දෙයක් මිසක් ප්‍රාග්ධනයේ හෝ ශ්‍රමයේ හිමිකරුවන්ගෙන් ගන්නා ඔවුන්ට හිමි දෙයක් නෙමෙයි. රජය ව්‍යාපාර වල අතගැසූ විට මෙවැනි නිර්මාණශීලිත්වයකට ඇති ඉඩ ඇහිරෙනවා.

      Delete
  13. ඔය ඉන්ටර්නෙට් ඇවිත් ත්‍රිවිල් වලට බයින අයියලගේ ගෑනු ෂොපීන් යන්නේ මාකට් යන්නෙත් ඔකේම තමා , ලමයි ඉස්කෝලේ අරින්නෙත් ඒකේ , ගෙදරට ගෑස් එක කෝල් එකෙන් ගෙනවත් දෙන්නෙත් උන් , ඔපිස් එකේ වැඩ කරන උන්ව එහෙනං ඔයා ටුයිෂෝ එකේ ගිහින් වැඩේ කරගන එන්න , ඉක්මනට ටුක් ටුක් එකක් අරගන එන්න කියල ගේම ගස්සවන්නෙත් ඕකේ , වාහනේ කරකවන්න ඕන නැ මං වීල් එකක යනවා කියල ඔය පොරවලුත් යනවා

    හොදම එක ඒක නෙමෙයි ...කාර් එක කොහෙට හරි ඇඹරිලා ගියහම ..ඔය ඒක සැප වාහනයක් ඉසිපිරිතාලේට දාගන යන්නේ නැ ... ඔය අවලං , පජාත වේසා ත්‍රීවිල් කාරයෙක් තමා ...කොන්දට කෙලවෙන්ඩ හරි වැරදි ක්‍රමයට පටවං ඉසිපිරිතාලේ යන්නේ , ....ගෙදර ඇවිත් ගෑණු ළමයි එක්ක එකතු වෙලා වාහනයේ ලේ ටික හෝදගන .....එදා දවසම දුහන්ඩත් නැතුව ....අරං ගිය එකා මලහම ඉස්පිරිතාලෙට බාර දුන්න පවට පහුවදාට පහුවදා උසාවි යන්නේ .... ඊට හපං පාක් එකේ ඉන්ඩ නැ මැරිච්ච එකාගේ ගෙදර එවුන් හප්පලා ගිය වාහනේ දන්නනවද හෝඩුවාවක් තියනවා බලන්ඩ යන්ද ...එදා දවසත් ඉවරයි , ....එක්කෝ පොලිසියෙන් ගෙදරට එනවා එදා ඉසිපිරිතාලේ ගෙනිච්ච මහත්තයගේ පර්ස් එකට උඹ කෙලියද කියල ....ඔය ටිකයි ........ත්‍රීවිල් අයින් කරන තැනට යන්ඩ නං ..අනිත් උන්ගේ තියන අඩුපාඩු හදන්ඩ ඕන ඒකට තව අවුරුදු සීයක්වත් යයි .....ත්‍රිවිල් රත්තරන් මටනං

    ReplyDelete
    Replies
    1. කොයි සමාජ ස්ථරයේත් මිනිසුන්ගේ හොඳ නරක දෙකම දෙකම තියෙනවා.

      Delete
  14. ලංකාවේ බොහෝ ප්‍රදේශවල ත්‍රිරෝද රථ සේවාවන් සැපයිමේ තිබෙන්නේ තරගකාරි තත්වයක් නෙමෙයි, කොළඹ සහ නගර ආශ්‍රිත ප්‍රදේශවල පමණක් මෙම තත්වය ඇතිවී තිබෙනව, අනිකුත් බොහෝතැන්වලදී සේවාවන් සපයනු ලබන්නේ කුඩා කණ්ඩායම් මගින් ඇතිකර ගන්නා එකගතාවයන් අනුව, එමෙන්ම ඔවුන් එම ස්ථානවලට අලුතින් සාමාජිකයින් ඇතුලත්කර ගන්නේ ඔවුන්ගේ එකාධිකාරි බලයන් අනුවයි, ඒ අනුව බොහෝ පුද්ගලයින්ට එවැනි ත්‍රිවිල් පාක් වලට ඇතුල් වීමට හැකියාවක් නැහැ. එමෙන්ම එක් එක් දුර සදහා එකිනකට වෙනස් මිලගනන් තිරණය කරන්න ඔවුන්ට හැකියාවක් නැහැ. එබැවින් කොළඹ හෝ නගර ආශ්‍රිත ප්‍රදේශයකදී අඩු හා තරගකාරී මිලකට සේවාවක් ලබාගැනීමට හැකියාවක් තිබුනද අනෙක් ප්‍රදේශවලදී එලෙස ප්‍රවේශවිය නොහැකිය. ..

    ත්‍රිවිල් රථ හෝ එවැනිම කැබ් සේවාවන් වැඩිවීමට බොහෝ සේ බලපා තිබෙන්නේ ලංකාවේ ශ්‍රම හා සේවා ව්‍යාපතියේ තිබෙන අසවිධිතභාවය සහ පොදු ප්‍රවාහන සේවාවන්වල තිබෙන අඩුපාඩුන්ය. එමෙන්ම මෙම වෙළද පොළ පුලුල් වීමට හා ඉල්ලුම වැඩිවිමට තෙල් හා අමතර කොටස් මිල අඩු අගයක වීමද බලපායි. පොදු ප්‍රවාහන සේවාවන් නිවරදිව කළමනාකරණය කර ගන්නේනම් ප්‍රවාහන සේවාවන් සැපයීමට අවශ්‍ය ශ්‍රම අවශ්‍යතාවය අඩුකල හැකිවනු ඇතැයි මම සිතමි. එහෙත් පවතින සමාජ තත්වයන්තුල එවැනි පියවරක් ගැනීමට අවශ්‍ය තරමේ බලපෑමක් ප්‍රතිපත්ති සම්පාදකයින්ට ඇතැයි මම සිතන්නේ නැත. මන්දයත් එවැනි කළමනාකරණයකින් ඉවත්කරන ශ්‍රමයට අවශ්‍ය රැකියා උත්පාදනයේ ගැටලුවකට හා අබියෝගයකට ඔවුන්ට ඒ මගින් මුහුණදෙන්නට සිදුවීමත් එමගින් අමතර දේශපාලන ගැටලු ඇතිවීමත් මෙයට බලපානවාය, ලංකාවේ රාජ්‍ය සේවයේ ප්‍රමාණය ඉහල යන්නේද මේ හේතුවෙන්මය, මෙහි අනිත් අතට ආයෝජකයින් අවශ්‍යතරමේ ශ්‍රමය සපයා ගැනීමට ඇති නොහැකියාව නිසා තමන්ගේ ආයෝජනයන් සිදු නොකිරීමට මෙම තත්වය බලපානවායැයි මට හැගේ. එබැවින් මෙම තත්වයන් දෙක ලංකාවේ ආර්ථිකයට ඉදිරියටත් සංවර්ධනයවීමට ගැටලු සහගත තත්වයක්යැයි හැගේ. මට ආර්ථිකය පිලිබදව එතරම් අවබෝධයක් නොමැති බැවින් මේ සම්බන්ධව වන මාගේ නිරික්ෂණයන් ආර්ථික විද්‍යාව සමග කොතරම් ගැලපේදැයි හරියටම දන්නේ නැත...

    එහෙත් මම දකින ආකාරයටනම් වෙනත් ක්ෂෙත්‍රවල ඇති අඩු නිදහසත්, බොහෝ දෙනෙකුගේ සුදුසුකම් මට්ටම අනුවඅපේක්ෂාකල හැකි රැකියාවල ඇති අස්ථිරභාවය, වැටුප් මට්ටම අඩුවීම සහ තම ජීවන රටාව වෙනස්වීම වැනි තත්වයන් නිසා වෙනත් ක්ෂෙත්‍රවලට මෙම ශ්‍රමයේ පෙළඹවීම අඩුය. එහෙත් ඉදිරියේදී ලංකාවේ ආයෝජනයන් වර්ධනය කිරීම හරහා ශ්‍රම බලකාය වැඩිකිරීමට උත්සහ කරන්නේනම් අද තිබෙන තත්වයද සමග මෙයින් කොටසක් එම ක්ෂෙත්‍ර සදහා පොළඹවාගැනීම වැදගත්වනු ඇත. එලෙස නොකරන්නේනම් දැනටද බොහෝ ක්ෂෙත්‍රවලට ඇතිවි තිබෙන ශ්‍රම අර්බුදය විසදීමට සහ ඉදිරියේදී ඇතිවිය හැකි ශ්‍රම අවශ්‍යතාවයන් පිරවිමට විදේශයන්ගෙන් ශ්‍රමය ලබාගැනීමට සිදුවනු ඇතැයි මම සිතමි.

    ReplyDelete
    Replies
    1. //ත්‍රිවිල් රථ හෝ එවැනිම කැබ් සේවාවන් වැඩිවීමට බොහෝ සේ බලපා තිබෙන්නේ ලංකාවේ ශ්‍රම හා සේවා ව්‍යාපතියේ තිබෙන අසවිධිතභාවය සහ පොදු ප්‍රවාහන සේවාවන්වල තිබෙන අඩුපාඩුන්ය. //

      ත්‍රිරෝද රථ හා කැබ් සේවා වැඩිවීමට ප්‍රධානම හේතුව පොදු ප්‍රවාහනයේ අඩුපාඩු කියා මම හිතන්නේ නැහැ. හැමවිටම නොවුණත් බොහෝ විට මේ සේවාවන් වලින් සැලසෙන්නේ වෙනස් විදිහක අවශ්‍යතාවයක්. කොයිතරම් දියුණු කළත් පොදු ප්‍රවාහන සේවා වලින් තමන්ගේ ගමනාන්තය දක්වාම හරියටම යාමට, අවශ්‍ය වෙලාවටම යාමට හෝ වෙනත් අය නොමැතිව තමන්ගේ කණ්ඩායම සමඟ යාමට වැනි අවශ්‍යතා සපුරන්න අමාරුයි.

      //නගර ආශ්‍රිත ප්‍රදේශයකදී අඩු හා තරගකාරී මිලකට සේවාවක් ලබාගැනීමට හැකියාවක් තිබුනද අනෙක් ප්‍රදේශවලදී එලෙස ප්‍රවේශවිය නොහැකිය//
      මෙයින් කියවෙන්නේ ඉල්ලුම සැපිරීම සඳහා සැපයුම තවදුරටත් වැඩි විය යුතුය යන අදහසයි. දැනට මතු වී ඇති අදහස සැපයුම ඕනෑවටත් වඩා වැඩියි කියන එකයි. මා කියන්නට උත්සාහ කළේ මැදිහත්වීමට තරම් සැපයුමේ වැඩිකමක් නැති බවයි.

      //එහෙත් ඉදිරියේදී ලංකාවේ ආයෝජනයන් වර්ධනය කිරීම හරහා ශ්‍රම බලකාය වැඩිකිරීමට උත්සහ කරන්නේනම් අද තිබෙන තත්වයද සමග මෙයින් කොටසක් එම ක්ෂෙත්‍ර සදහා පොළඹවාගැනීම වැදගත්වනු ඇත. එලෙස නොකරන්නේනම් දැනටද බොහෝ ක්ෂෙත්‍රවලට ඇතිවි තිබෙන ශ්‍රම අර්බුදය විසදීමට සහ ඉදිරියේදී ඇතිවිය හැකි ශ්‍රම අවශ්‍යතාවයන් පිරවිමට විදේශයන්ගෙන් ශ්‍රමය ලබාගැනීමට සිදුවනු ඇතැයි මම සිතමි.//

      ආයෝජන හරහා විදෙස් ප්‍රාග්ධනය ලබාගත් විට ඒ සඳහා ප්‍රතිලාභ ගෙවිය යුතුය. විදෙස් ශ්‍රමය ලබාගත් විට ඒ සඳහාද ප්‍රතිලාභ ගෙවිය යුතුය. දැනට පවතින තත්ත්වය අනුව ඇතැම් ක්ෂේත්‍ර වලට විදෙස් ශ්‍රමය ලබාගැනීම වඩා වාසිදායකය. නීත්‍යානුකුල නොවන තත්ත්වයන් යටතේ දැනටත් මෙය විශාල ලෙස සිදුවන බව පෙනේ. ලෝක බැංකු ඇස්තමේන්තු අනුව ඉන්දියානුවන් ලක්ෂ 3ක් පමණ දැනටත් ලංකාවේ සිටිති.

      Delete
  15. ලිපිය හොඳයි. නමුත් එකොන් තව කට්ටියක් ඉන්නවා. කාරයක් මිලදී ගැනීමට නොහැකි එහෙත් ත්‍රිවිල් එකක් ගැනීමට හැකි අය ගෙදර වාහනය වශයෙන් ත්‍රිවිල් එක භාවිතා කරනවා. මම මීගමුවේ ඉන්න විට මෙය දැක්කා . එක් අයෙක් නේවි එකේ සිටි හොඳ විශ්‍රාම වැටුපක් ඇති අයෙක්. දෙවැන්නා වත්තක හිටි අයෙක්. ඔහු ත්‍රි විල එලෙව්වත් ඔහුට ගමේ අය කියන්නේ මහත්තය කියල. (වත්තක සුපෙරින්ටෙන්ඩේන්ට් වෙලා ඉඳල) ඔහු ගේ ගෙදර දුරකතනයට කතා කලොත් ඇවිත් එක්කන් යනවා. ඒ සඳහා සාධාරණ මුදලක් ගන්නවා. පාරවල් අයිනේ ඉන්නේ නැහැ හයර් එනකන්. අනිත් සෙට් එක මම දැක්කේ බොඩිලයින් ගාමන්ට් එකේ වැඩ කරන සේවකයන්. නිලධාරීන්ට කාර් රථ තියනවා. සැලකිය යුතු සංඛ්‍යාවකට මොටර්බයික් හා ත්‍රිවිල් තියෙනවා. ඒ ත්‍රීවිල් පාරේ දුවන්නේ නැහැ. ගෙදර පාවිච්චියට හා වැඩට යන්න. හොරණ මහා මාර්ගයේ ගියොත් මෙය දැක ගත හැකියි.

    ReplyDelete
    Replies
    1. ඔවු, පැහැදිලිවම. ඔබ කියන කොටස විශාල කණ්ඩායමක්. මේ කණ්ඩායම හා අදාළව බැළුවත් ත්‍රිරෝද රථ වලින් කරන්නේ දැනට පවතින නිශ්චිත රික්තකයක් පිරවීමයි. මේ අය ඔබ කියන අයුරින්ම "කාරයක් මිලදී ගැනීමට නොහැකි එහෙත් ත්‍රිවිල් එකක් ගැනීමට හැකි අය".

      Delete
  16. Another myth busted! Thanks.
    තවත් ව්‍යාජයක් පුපුරුවා හරින ලදි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget