Sunday, November 29, 2015

රෙද්ද උස්සා බලමු!

ග්‍රේස්ගේ අම්මගෙ රෙද්ද ගැන බොහෝ දෙනෙකු උනන්දුවක් දක්වා තිබුණේය. මා මේ කොහෙවත් තියෙන මාස ගණනක් පරණ රෙද්දක් නැවත ඉස්සුවේ එකම දෙය අප එකිනෙකාට විවිධ අයුරින් පෙනෙන බව අවධාරණය කරන්නටය.

කාල වේලා ප්‍රශ්න නිසා මේ සටහනට වැටුණු ප්‍රතිචාර සම්බන්ධව අදහස් දැක්වීමක් කිරීමට ඉඩ නොලැබුණි. කෙසේ වුවද, කිසියම් ප්‍රතිචාරයක් සටහන් කිරීමට උනන්දුවක් දැක්වූ සහ කාලය යෙදවූ අයට යම් පිළිතුරක් නොදී මඟ හැර යාම නුසුදුසු නිසාත්, ඇතැම් අයට මේ සංසිද්ධිය ගැන දැන ගැනීමට උනන්දුවක් ඇති නිසාත් මේ රෙද්ද ගැන අද තව ටිකක් කතා කරමු.

මේ රෙද්ද මටනම් මුලින්ම පෙනුණේත්, දැන් පෙනෙන්නෙත් නිල්/කළු පැහැයෙනි. ගවුමේ සැබෑ පැහැයද නිල්/කළු එකතුවකි. එහෙත්, මට නිවැරදි පාට පෙනෙන බව සහ ඔබට එසේ නොපෙනෙන බව එයින් අදහස් නොවේ. මා මේ ඡායාරූපය මිස සැබෑ ගවුම දැක නැත. ගවුමේ සැබෑ පැහැය නිල්/කළු වුවද ගවුමේ ඡායාරූපයේ සැබෑ පැහැය නිල්/කළු බව එයින් අදහස් නොකෙරේ. එහි සැබෑ පැහැය ඔබට එය පෙනෙන පැහැයයි. මෙතැන ඔබටත් මටත් එකඟ විය හැකි 'නිරපේක්ෂ' සත්‍යයක් නැත. ඔබේත් මගේත් පිළිතුරු සම්පූර්ණයෙන් වෙනස් වුවද මෙහිදී අප දෙදෙනාම නිවැරදිය.

ග්‍රේස්ගේ අම්මගෙ රෙද්දේ ඡායාරූපය මුලින්ම සමාජ ජාල වල සංසරණය වන විට රෙද්දේ ඇත්තම පාට කවරක්දැයි කිසිවකු දැන සිටියේ නැත. කෙසේ වුවද, ඡායාරූපය දකින අය බොහෝ දෙනෙකු ඇත්තටම දැක්කේ මේ ඡායාරූපය නොවේ- කොහේවත් තියෙන රෙද්දකි. ඒ රෙද්දේ නියම පාට කිසිවකු දැන නොසිටි නිසා ඒ ගැන දැන ගැනීමට තිබුණු එකම දෘශ්‍ය ආධාරකය (හැඟවුම්කාරකය) මේ ඡායාරූපයයි. මුල් දින වලදී මේ රෙද්ද රන්/සුදු බව බහුතරයේ මතය වූ අතර සැලකිය යුතු තරම් විශාල සුළුතරයක් එය කළු/නිල් ලෙස දුටුවහ.

දින කිහිපයක් ඇතුළත ගවුමේ සැබෑ පැහැය කළු/නිල් බව ප්‍රසිද්ධ විය. ඉන්පසු, එය කළු/නිල් ලෙස දකින ප්‍රතිශතය විශාල ලෙස වැඩිවිය. කෙසේවුවද, ගවුමේ සැබෑ පැහැය කළු/නිල් බව දැනගැනීමෙන් පසුවද එය තවදුරටත් රන්/සුදු ලෙසම දකින පිරිසද සැලකිය යුතු විශාල ප්‍රතිශතයක් විය.

මේ අවුලට මූලික හේතුව  (ජගත් සහ ලොකු පුතා වැනි) ඇතැම් දෙනා සටහන් කර තිබූ පරිදි ඡායාරූපයේ ගුණාත්මක භාවයේ අඩුවකි. එය ඕනෑවට වඩා ආලෝකයට නිරාවරණයව තිබුණේය. කෙසේ වුවද, කොහේවත් ඇති රෙද්දක පාට බැලීමට උත්සාහ නොකර අතේ ඇති ඡායාරූපයේ පාට ගැන සිත යොමු කරනවානම් ඡායාරූපයේ ගුණාත්මක භාවය ප්‍රශ්නයක් නොවේ. එහෙත්, බොහෝ දෙනෙකුට ඡායාරූපයක් යනු සැබෑ ගවුම දැක ගැනීම සඳහා උදවු කරන දෘශ්‍ය ආධාරකයක් මිස දැකීමට අවශ්‍ය සැබෑ 'වස්තුවක්' නොවේ.


එමෙන්ම, මුල් සමීක්ෂණ වලදී ප්‍රතිචාර දැක්වීම සඳහා තිබුණේ රන්/සුදු සහ නිල්/කළු යන තෝරා ගැනීම් දෙක පමණි. ජගත් විසින්ද මෙය පෙන්වා දී තිබුණි. රෝසා ලේෆර්-සූසා ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් පුද්ගලයින් 1,401 දෙනෙකු යොදාගෙන පසුව සිදු කළ විද්‍යාත්මක සමීක්ෂණයේදී මෙසේ නිශ්චිත තෝරාගැනීම් කිහිපයක් ඉදිරිපත් නොකර නිදහසේ පාට පිලිබඳ අදහස් දැක්වීමට ඉඩ ලබා දුන්නත් බොහෝ දෙනෙකුගේ තේරීම වූයේ පෙර තෝරා ගැනීම් දෙකමය. ඊට අමතරව, සැලකිය යුතු පිරිසක් ගවුමේ පැහැය නිල්/දුඹුරු ලෙසද හඳුනාගත්හ. මේ අතර වෙනත් වර්ණ සංකලන දකින අයද සුළු පිරිසක් සිටියහ.

මේ සංසිද්ධිය සඳහා පැහැදිලි කිරීම් කිහිපයක්ම යෝජනා වී ඇත. බොහෝ විට මේ හේතු දැක්වීම් සියල්ලම නිවැරදිය.

පළමු පැහැදිලි කිරීම සරලය. මෙය වර්ණ වල නම් වලට සම්බන්ධය. හෝමෝ සේපියන් කෙනෙකුට වර්ණ මිලියන දෙක තුනක් වෙන් කර හඳුනා ගත හැකි සේ සැලකේ. එහෙත්, සාමාන්‍යයෙන් භාෂාවක වර්ණ හැඳින්වීමට ඇත්තේ නම් විස්සකට ආසන්න ගණනකි. වර්ණ හා අදාල ක්ෂේත්‍ර වල නම් වැඩි ප්‍රමාණයක් භාවිතා වුවත්, මේ නම් සාමාන්‍ය ජනතාව අතර භාවිතයේ යෙදෙන්නේ අඩුවෙනි. මේ නිසා අපට නමකින් හැඳින්විය හැකි සීමිත වර්ණ කිහිපයට අපට හඳුනාගත හැකි වර්ණ රැසක් කාණ්ඩගත කිරීමට අපට සිදුවේ. මෙය සියල්ලන්ම කරන්නේ එකම අයුරින් නොවේ. මේ නිසා නිල් සහ සුදු අතර පරාසයේ අප දකින වර්ණ නිල් සහ සුදු ලෙස වෙන් කිරීමට අප ගසන ඉර පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. මේ අනුව, දෙදෙනෙකු එකම පැහැය දැක්කත් එය ප්‍රකාශ කරන්නේ එකම අයුරින් නොවේ.

දෙවනුව, මා පෙර ලිපි වලින් විස්තර කළ පරිදි අපේ ආලෝක සංවේදී සෛල වල සංවේදිතා වෙනස්කම් මත අප එකිනෙකාට පෙනෙන පැහැයම වෙනස් විය හැක.

තෙවැනි පැහැදිලි කිරීම අපේ මොළය විසින් පෙනීම හා අදාල දත්ත සැකසුම් කිරීමට සම්බන්ධය. අප පරිණාමය වී සිටින්නේ දිවා ආලෝකය යටතේ ලෝකය දකින්නටය. මේ දිවා ආලෝකයද නිශ්චිත දෙයක් නොවේ. එය උදේ කාලයේදී රෝස පැහැතිය. පසුව නිල් පැහැ වී ඉර බැස යනවිට තැඹිලි පැහැයට ආසන්න වේ. මේ වෙනස් ආලෝක තත්ත්වයන් යටතේදී එකම වස්තුව අපට එකම පැහැයෙන් නොපෙනේ. එහෙත්, මේ පෙනෙන්නේ එකම වස්තුව බව අපේ මොළය දනී. ඒ නිසා ඇසේ කේතු සෛල මඟින් ලබා දෙන දත්ත සැකසුම් කිරීමේදී පරිගණක මෘදුකාංගයකින් කරන්නාක් මෙන් කිසියම් වර්ණ ගැලපීමක් කරයි. මෙය උදේ කාලයේදීනම් රෝස පැහැය අඩුකිරීමකි. දිවා කාලයේදීනම් නිල් පැහැය අඩු කිරීමකි.

ඡායාරූප හෝමෝ සේපියන්ස්ලාට අළුත් දෙයකි. හෝමෝ සේපියන්ස්ලාගේ දෘශ්‍ය පරිපථ ඡායාරූප දැකීමට පරිණාමය වී නැත. සැබෑ දසුනක් දකින විට අපේ මොළය අදාළ දත්ත සැකසුම සිදු කරන්නේ වටාපිටාවේ ආලෝක තත්ත්වය ගැන තක්සේරුවක්ද සහිතවය. ඡායාරූපයක් විශ්ලේෂණය කිරීමේදී අපට එය කැමරාවේ සටහන් වන විට පැවති ආලෝක තත්ත්වය ගැන නිරවුල් අදහසක් නැත. අප එකිනෙකාගේ මොළ ඒ පිලිබඳව වෙනස් තක්සේරු වලට එළඹේ. මෙහිදී යමෙකුගේ මොළය ග්‍රේස්ගේ අම්මගෙ රෙද්දේ නිල් පැහැය අඩු කර දත්ත සැකසුම් කළහොත් එය රන්/සුදු ලෙස පෙනේ. එමෙන්ම, කහ පැහැය අඩු කර දත්ත සැකසුම් කළහොත් එය නිල්/කළු  ලෙස පෙනේ.

මා පෙර කී පරිදි මට මේ රෙද්ද පෙනෙන්නේ නිල්/කළු පැහැයෙනි. එය ලා නිල්/ දුඹුරු ලෙසද මට දැකිය හැකිය. එහෙත්, රන්/සුදු ලෙස කිසිසේත්ම නොපෙනේ. මුල් සමීක්ෂණ වලට මෙන්ම මගේ සටහනටද ලැබුණු ප්‍රතිචාර අනුව මෙය වැඩි දෙනෙකුට පෙනෙන්නේ රන්/සුදු ලෙසය.

මා බොහෝ විට රාත්‍රී කාලයේදී වැඩ කිරීමට පුරුදුව සිටින අයෙකි. දිවා කාලයේ වුවද මා වැඩි වෙලාවක් ගත කරන්නේ ස්වභාවික ආලෝකය ලබමින් නොවේ. ස්වභාවික ආලෝකයට සාපේක්ෂව කෘතීම ආලෝකයේ කහ පැහැය වැඩිය. මේ නිසා මගේ මොළයට මගේ ඇස් වලින් ලබා දෙන මේ ගවුම පිලිබඳ දත්ත සැකසුම් කිරීමේදී පළමුව කහ පැහැය ඉවත් කරන බව පෙනේ. ඒ නිසා ග්‍රේස්ගේ අම්මගෙ රෙද්ද මට පෙනෙන්නේ නිල්/කළු පැහැයෙනි. අදාල ඡායාරූපය කැමරාවේ සටහන් වන අවස්ථාවේදී පැවති ආලෝක තත්ත්වය යටතේ එයට වැඩිපුර කහ පැහැය එකතු වී තිබේ. මෙය මගේ මොළයේ සිදුවන දත්ත සැකසුමට කෙළින්ම සම්බන්ධ නැති අහඹු සිදුවීමකි. කෙසේ වුවද, මේ නිසා මගේ මොළයෙන් ඡායාරූපයේ කහ පැහැය ඉවත් කළ විට මට ග්‍රේස්ගේ අම්මගෙ රෙද්දෙ ඡායාරූපයෙන් ගවුමේ සැබෑ පැහැයට ආසන්න පැහැයක් පෙනේ.

කිසිවෙකුට තමන්ට අවශ්‍ය පරිදි ලෝකය වෙනත් කෙනෙකුට මවා පෙන්වන්නට උත්සාහ දැරිය හැකිය. එහෙත්, මා දකින්නේ මගේ මොළය මට මවා පෙන්වන ලෝකයයි.
 ck to Open Overlay Gallery





14 comments:

  1. වර්ණ ඉතරක් නෙමෙයි... මට පේන්නේ උඹට කොමෙන්ට්ස් පේන්නෙත් නෑ වගේ.. ඒක නම් අති දරුණු ලෙඩක්..

    ReplyDelete
  2. මාතලන් නුඹ විචාරක සර් ගේ රෙද්ද උස්සා බලපන් එතකොට ඔක්කොම එයි එක බලන්න

    ReplyDelete
    Replies
    1. මෙය වැරදිමකින් පලවු කමෙන්ටුවක් බැවින් සමාවෙන්න..
      මිට
      ඇනෝ

      Delete
  3. අම්මගේ රෙද්ද අල්ලාගෙන උබ පොස්ට් දෙකක්ම තැලුවා නේද

    ReplyDelete
    Replies
    1. ඔය වගේ රෙදි හැමදාම හම්බවෙන්නේ නෑනේ...

      Delete
  4. තව පාරක් කියවලා තේරැම් ගන්න ට්‍රයි එකක් දෙනවා..

    ReplyDelete
    Replies
    1. මෙය වැරදිමකින් පලවු කමෙන්ටුවක් බැවින් සමාවෙන්න..
      මිට
      විචාරක

      Delete
    2. මේ ටික හරිනම් මුල් පෝස්ට් එකේ කමෙන්ට් වලට වැටෙන්න ඕනෑ පිළිතුරු, මෙන්ඩා. පරක්කු වැඩි නිසාත්, ගොඩක් අයට කියන්න තියෙන්නේ එකම දේ නිසාත් වෙනම පොස්ට් එකක් විදිහට දැම්මා.

      Delete
  5. /බොහෝ විට මේ හේතු දැක්වීම් සියල්ලම නිවැරදිය./
    ඔව් සම්පුර්ණයෙන්ම නෙමෙයි .

    මේ රෙද්දේ කතාව පරන එකක් නිසා කලින් කමෙන්ට් කරන්න කම්මැලි හිතුනා.
    මෙතන මා දකින වෙන කතාවක් තියෙනවා.
    /මුල් සමීක්ෂණ වලදී ප්‍රතිචාර දැක්වීම සඳහා තිබුණේ රන්/සුදු සහ නිල්/කළු යන තෝරා ගැනීම් දෙක පමණි./
    මගේ අදහසහා අත්දැකිම.(විද්‍යාත්මක පර්යේෂණ නෙමෙයි)මේ වර්ණ පෙනිම මිිනස්සු පරිනාමයේදි එයාලට ඉර එලිය ලැබෙන ප්‍රමානය මත ප්‍රවේනිගත වීමකුත් තියෙනවා. සමකය හා ධ්රුව අනුවත්, මේක බෙදන්න පුලුවන්. ඒ වගේම නැගෙනහිර ලෝකය හා බටහිරටත් (100% ක්ම නෙමෙයි .පොදුවේ)

    ඒ වගේම මෙන්න මෙහෙම දෙයකුත් තියනවා .හරියට වර්ණ උල්පත තියෙන්නේ චීනයේ වගේ. නිකං චීනයෙන් හැදිච්ච ගහක් ලෝකේ පුරා පැතිරිලා වගේ දෙයක් තියෙනවා. ඔය පීකිං මිනිස්සුන්ගේ ඇස්වල විකසනය නාකිවුනත් හරියට පොඩි ළමයිගේ වගේනේ.
    ඒ වගේම අපිි වර්ණක සායං/තින්ත පාට ගැන කතාකරද්දි වුනත් කතාකරන්නේ බ්‍රෑන්ඩ් එකෙන්.ඒකට හේතුව එකම වර්ණය අපි හිතමු වර්ම්ලියන් කියලා.නැගෙනහිර (චිනයේ හා ජපානයේ) වර්මිලියන් සායමුත් එංගලන්තේ හා ඇමරිකාවේ වර්මිලියන් සායමුත් දෙකක්. ඒවගේම. මේ වර්ග දෙක බේස් විදියට ගන්නා පොදු පාටවල් තවත් වෙනස්.
    ලංකාවේ මිනිස්සුන්ගේ ජාන ගැන මා කතා නොකර ඉන්නම්.
    ලංකාාවට කිට්ටුම දකුනු ඉන්දියාව වුනත් .වර්ණ ගැලපිමේදි/සංකලනයේදි මේ රටවල් දෙක හාත්පසින්ම වෙනස්. ඒකනේ “අපෝ ඒක දෙමළ පාටයි“ කියන්නේ.

    ලංකාවේ රෙදිපිලි තාක්ෂනය ගැන කියනවනම්.මේක කෙළින්ම කුවේණි ආච්චිගේ කාලෙටම යනවානේ. දැනට ලංකාවේ රෙදි විවිල්ල්ට සම්බන්ධ වෙන්නේ(ප්‍රධාන අසිංහල නිෂ්පාදකයින් ඇරුනු කොට) ලංකාවේ නුගත්ම ගැනු මිිනස්සු ටිකක්. නමුත් මේ මිනිස්සු ඔහේ වියන රෙදි වල වියමන්වල ඇඩ්වාන්ස් ගතිය හා වර්ණ සංකලන ලෝකේ වෙන කොහේවත් නැහැ. කුඩාම හෝ සමානකමක් තියෙන්නේ මෙක්සිකෝවෝ රෙදි විවිල්ලට. ඉන්පසු දකුනු ඇමරිකාවට.
    එක රෙද්ද එක එක පාටට පේන්න හදන එක ලංකාවට නම් හරිම කොමන් ගනන්ගන්නවත් ඇති දෙයක් නෙමෙයි ඒක ඒ තරම්ම සාාමන්‍යයි.

    ReplyDelete
    Replies
    1. පොස්ට් එක නම් අමාරුවෙන් තේරුම් ගත්තා.. මේ කොමෙන්ට් එක තේරුම් ගන්න ආයිම මුල ඉඳන් කියවගෙන එන්න ඕනි.. මලමි හි..හි..

      Delete
    2. ඔබේ අදහස් සහ අත්දැකීම් එකතු කළාට ස්තුතියි, මල්මි.

      වර්ණ පෙනීම ජාන අනුව වෙනස් වෙනවා. ජාන ජනවර්ග අනුව වෙනස් වෙනවා. මෙය සිදුවන්නේ බාහිර පරිසරයේ වෙනස්කම් අනුව නිසා ඔබ කියන ඉර එළිය කතාවට පදනමක් තියෙනවා. සමහර විට මේ ගැන හදාරපු අවස්ථා ඇති. මටනම් කියවන්න ලැබිලා නැහැ. ඇත්තටම මම ඒ ගැන හොයලත් නැහැ. කොහොමවුණත් මෙය උද්‍යෝගය ඇති කරවන (interesting) අදහසක්. උඩින් ලියූ තුන්වෙනි කරුණත්, මෙයම නොවුණත්, මේ අදහසට ටිකක් කිට්ටුවෙන් යන එකක්. ඇතැම් විට, මොළයේ ඇති පෙරන යාන්ත්‍රණය (filtering mechanism- හරියටමනම් white balancing) පහුගිය පරම්පරා ඉර එළියට නිරාවරණය වුනු ප්‍රමාණයට සම්බන්ධ විය හැකියි.

      චීන කතාවනම් මට පෙන්නේ විෂයමූලික අදහසක් වගේ. හැම අදහසක්ම වස්තුමූලික වියයුතුයැයි මා සිතන්නේ නැහැ. මේ ලිපි පෙලෙන් කියන්නෙත් එයයි. ඒත් වස්තුමූලික ආකෘතියක් නැතුව එතනින් එහාට යන්න අමාරුයි.

      //නැගෙනහිර (චිනයේ හා ජපානයේ) වර්මිලියන් සායමුත් එංගලන්තේ හා ඇමරිකාවේ වර්මිලියන් සායමුත් දෙකක්. ඒවගේම. මේ වර්ග දෙක බේස් විදියට ගන්නා පොදු පාටවල් තවත් වෙනස්.// මේකනම් තහවුරු කර ඇති අවිවාදිත දෙයක්.

      ඔබ කියන ඉතිරි කරුණු මම හිතන්නේ වර්ණ රුචිය ගැනයි. වර්ණ රුචියට වර්ණ පෙනෙන ආකාරයේ බලපෑමක් ඇති. නමුත්, මම හිතන්නේ ඒ සඳහා වෙනත් කරුණු (සංස්කෘතික කරුණු) වැඩි බලපෑමක් කරනවා ඇති කියලයි. විශේෂයෙන්ම දෙමළ සහ සිංහල වගේ ජාන වලින් (සහ ඔබ කියන පරිදි ඉර එළිය ප්‍රමාණය අනුව) වැඩි වෙනසක් තිබිය නොහැකි කණ්ඩායම් වලට අදාලව. කොහොමවුණත් නිසි අධ්‍යයනයක් නොකර හරියට අදහසක් පළ කරන්න අමාරුයි.

      ඔබ අන්තිමට කියන්නේ අත්යන්ත්‍ර රෙදි ගැනයයි මා සිතනවා. මේවා හැත්තෑ ගණන් වලනම් හැම තැනම තිබුණත් විවෘත ආර්ථිකය හඳුන්වා දුන් පසු මේ වන විට තත්ත්වය ගැන මට කිසිම අදහසක් නැහැ.

      Delete
  6. මව්ගේ රෙද්ද පැත්තක තියල අර මාතලන් උන්නැහෙත් කියපු විදිහට කමෙන්ට් වලට උත්තර බැන්දොත් නරකද...

    ReplyDelete
    Replies
    1. ලොකු කොලුවෝ...ඕන් දැම්මා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget