Tuesday, November 17, 2015

ඔබ දකින්නේ මා දකින ලෝකයමද? (තෙවන කොටස)


(පළමු කොටස)

 (දෙවන කොටස)

පසුගිය සටහනෙන් කතාකළ පරිදි අපි අකුරු ලියන්නේ අපිට අකුරු පෙනෙන හැටියටය. අපිට ලෝකයම උඩුයටිකුරු වී පෙනේනම් අපි අකුරු ලියන්නේත් අපිට පෙනෙන හැටියට උඩුයටිකුරුවය. කෙසේ වුවද, ලෝකය උඩුයටිකුරුව දකින කෙනෙකු උඩුයටිකුරුව ලියන අකුරු දෙස ලෝකය කෙලින් අතට පෙනෙන කෙනෙකු බලා සිටියොත් මේ අකුරු කෙලින් ලියන බව පෙනේ.

මේ ආකාරයටම, වම දකුණ මාරුවී ලෝකය පෙනෙන කෙනෙකු වම දකුණ මාරුකර ලියන අකුරු වෙනත් කෙනෙකුට පෙනෙන්නේ තමන්ට ලෝකය පෙනෙන හැටියටය. මේ නිසා ලෝකයම කවර හෝ නිශ්චිත ආකාරයකට යමෙකුට පෙනේනම් ඒ පුද්ගලයාට හෝ බාහිර නිරීක්ෂකයෙකුට කිසිදු වෙනසක් නොපෙනේ. ඒ නිසා ඔබට පෙනෙන්නේ මට පෙනෙන ලෙසද නැද්ද යන්න මට නොපෙනේ.

කෙසේ වුවද, පසුගිය සටහන සමඟ පලකළ වීඩියෝවේ පෙනෙන පරිදි දෘෂ්ඨිය උඩුයටිකුරු කරනු ලැබූ අයෙකු උඩුයටිකුරුව අකුරු ලියනු අපට පෙනේ. මේ තැනැත්තියගේ දෘෂ්ඨිය උඩුයටිකුරු කරවීමට පෙර ඇය 'නියම විදිහට' අකුරු ලියන හැටි දැන සිටියාය. ඒ නිසා දැන් ඇයට පෙනෙන අකුරු උඩුයටිකුරු වී ඇති බව ඇයට 'තේරේ'. මේ නිසා ඇය ඇයට පෙනෙන පරිදි 'නියම විදිහට' අකුරු ලිවීමට උත්සාහ කරයි. ඈ එසේ ලියන අකුරු අපට උඩුයටිකුරු වී පෙනේ. එමෙන්ම, අපි 'නියම විදිහට' ලියන අකුරු ඇයට පෙනෙන්නේ උඩුයටිකුරුවය. මේ නිසා ඇය උඩුයටිකුරුකර පුවත්පත් බලන්නීය. එවිට ඇයට එහි අකුරු  'නියම විදිහට' පෙනේ.

ඉහත සංසිද්ධිය වෙන්නේ මෙසේ දෘෂ්ඨිය උඩුයටිකුරු කරනු ලැබූ අයෙකු 'නියම විදිහට' අකුරු ලිවිය යුතු ආකාරය 'දන්නා' බැවිනි. එහෙත්, උපන්දා සිටම උඩුයටිකුරු දෘෂ්ඨියක් ඇති කෙනෙකු මෙසේ හැසිරීමට ඉඩක් නැත. එවන් අය කොපමණ සිටීදැයි දැනගැනීමට වුවද පහසු නැත. මේ අනුව, බෝජනා ප්‍රහේලිකාවකි. ඇයගේ සැබෑ ප්‍රශ්නය ඇතැම් දේවල් පමණක් වෙනස් අයුරකින් පෙනීමයි.

එක්කෝ ඇයට කෙලින් පෙනෙන ලෝකයක උඩුයටිකුරු වූ රුපවාහිනී සහ පත්තර පෙනේ. එසේ නැත්නම්, උඩුයටිකුරු වූ ලොවක කෙලින් අතට ඇති රුපවාහිනී සහ පත්තර පෙනේ. මේ නිසා ඇයට ඇගේ රුපවාහිනී තිරය සහ පත්තර ආදී ඇතැම් දේ පමණක් උඩුයටිකුරු කරගැනීමට සිදුවී ඇත.

මේ තත්ත්වය පැහැදිලි කරගැනීමට ඇයට වෙනස්ව පෙනෙන දේ දෙස බැලිය යුතුය.
- පත්තර
- පරිගණක තිරය හා යතුරු පුවරුව
- රූපවාහිනිය
- ජංගම දුරකථනය

මේවා බොහොමයක් අක්ෂර හා සම්බන්ධය. අපි දකින වෙනත් දේ සහ අකුරු අතර වෙනසක් තිබේ. අපේ ඇස් ගහක්, ගලක්, බල්ලෙකු හෝ පුසෙකු දකින විට මේ දකින්නේ සැබෑ ලෝකයක ඇති සැබෑ භෞතික වස්තුවක් බව අපේ මොළය 'දනී'. මේ භෞතික වස්තුව අපේ අනෙකුත් ඉන්ද්‍රියයන් එකකට හෝ කිහිපයකටද ගෝචර වන්නකි.

(www.wordworld.com)

උදාහරණයක් ලෙස හොඳින් ඉදුණු අඹ ගෙඩියක් අපේ ඇසට අමතරව නහයට, දිවට මෙන්ම ස්පර්ශේන්ද්‍රියටද ග්‍රහණය වේ. මොළයට කරන්නට ඇත්තේ මෙසේ ලැබෙන සංවේදන මෙයට පෙර මෙසේ ලැබී අපේ මතක ගබඩා වල ඇති සංවේදන සමඟද සසඳා අපට අඹ ගෙඩිය ගැන අවබෝධයක් ලබා දීමයි. වෙනත් ඕනෑම 'සැබෑ' වස්තුවක් දුටුවිටද සිදුවන්නේ මෙයයි.

එහෙත්, අඹ ගෙඩියක රූපයක් හෝ 'අඹ ගෙඩිය' යන අකුරු දුටු විට සිදුවන්නේ මේ දෙයම නොවේ. මෙහිදී අප දකින්නේ 'සැබෑ' වස්තුවක සංකේතයකි. 'සැබෑ' වස්තුව වන අඹ ගෙඩියේ රූපය හෝ 'අඹ ගෙඩිය' යන අකුරු අපට එතරම් වැදගත් නැත. අපට වැදගත් සැබෑවක් නොවන බව අප දන්නා සැබෑ අඹ ගෙඩියකි. මේ අයුරින්ම, අලියා යන අකුරු තුන දකින විට අපට මේ අකුරු තුනට අමතරව 'සැබෑ අලියෙක්' පෙනේ. ඒ සමඟම මේ 'සැබෑ අලියා' සැබෑ අලියෙක් නොවන බවද අපට පෙනේ.

බෝජනා පුවත්පතක් බලන විට ඇයට දකින්නට අවශ්‍ය එහි ඇති අකුරු නොවේ. එයින් විස්තර කරන පුවතයි. ඇය රූපවාහිනිය නරඹන්නේද මේ රූප සැබෑ රූප බව නොදැන නොවේ. පුවත්පතේ හෝ රූපවාහිනියේ ඇති සැබෑ නොවන සංකේත තුලින් සැබෑ ලෝකය දකින්නට තවත් වැඩිපුර දත්ත සැකසුමක් අවශ්‍යය. මෙහිදී පත්තරයේ නැති බව හොඳින්ම දන්නා 'සැබෑ අලියා' යමෙකුට දැකීමට අවශ්‍ය අවසාන ඉලක්කයයි.

කතරගම යන විට පාර හරස් කරගෙන පලතුරු ඉල්ලන්නේ ඒ සැබෑ අලියා මිස පත්තරයේ ඇති අලියාගේ රූපය හෝ 'අලියා' යන අකුරු තුන නොවේ. පත්තරයේ ඇති අලියාගේ රූපය හෝ 'අලියා' යන අකුරු තුන  'සැබෑ අලියා' දැකීමේ ක්‍රියාවලියේ අතරමැදි පියවරකදී උපකාරී වන අවසාන වශයෙන් තේරුමක් නැති සංකේත පමණි.

මේ සංකේත මොනවා වුණත් අවසාන දැකීමට බාධාවක් නැත. 'අලියා' කියා සඳහන් වුවත් 'elephant' කියා සඳහන් වුනත් 'யானை' කියා සඳහන් වුනත් (මේ වචන තේරුම් ගන්නා ආකාරයට සාපේක්ෂව වෙනස්කම් තිබිය හැකි වුවත්) යමෙකු දකින්නේ එකම දෙයකි. ඒ ඔහුගේ මතක ගබඩාවේ කාලයක් තිස්සේ බටකොළ කන සැබෑ අලියාය.

මෙහිදී සිදුවන දත්ත සැකසුම පාර අයිනේ සිට වාහන නවත්වා පලතුරු ඉල්ලන සැබෑ අලියෙකු දුටු විට සිදුවන ප්‍රාථමික දත්ත සැකසුමෙන් වෙනස්, එයට අමතරව සිදුවන ද්වීතියික දත්ත සැකසුමකි. ඒ සඳහා අවශ්‍ය වන්නේ කවර හෝ නිශ්චිත සංකේතයකි. මේ අතරමැදි සංකේතය 'ʇuɐɥdǝlǝ' වුවද එමඟින් සැබෑ අලියෙකු දැකීමට බාධාවක් නැත.

මා සිතන පරිදි බෝජනාගේ මොළයේ වෙනස් ලෙස සිදුවන්නේ මේ ද්වීතියික දත්ත සැකසුමයි.

22 comments:

  1. පරිඝනගය අනිත් පැත්ත හරවලා බැලුවා..තව පොඩ්ඩෙන් මට පිස්සු කියලා කෙල්ලෝ මාව එලියට දානවා..

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ගාමන්ට් එකකින් කණපිට මහල එවපු කාන්තා යට ඇඳුම් බැච් එකක් රිජෙක්ට් වෙලා කියලා කවුද කියනව ඇහුණා.

      Delete
    2. මට හොඳටම ෂුවර් මෙන්ඩා අනිත් පැත්තේ හැරෙව්වේ පරිගණකය නොවෙයි, මොනිටරය කියලා. එකත් කරන්න පහසු ක්‍රමයක් තියෙනවා. කන්ට්‍රෝල් ඕල්ටර් කී දෙක ඔබාගෙන ඊතල ඔබන්න. එතකොට පැත්තට උඩ යට හරවන්න පුළුවන්.

      Delete
  2. මට අර අකුරු මාරු කරල තියන වචන ( මුල් හා අග එසේ තිබියදී මැද අකුරු ජම්බ්ල් කරල ) සහිත වාක්‍ය සෑහෙන්න හොඳට කියවන්න පුලුවන්.
    ඒත් සිරස් අතට හෝ අකුරු අතර විශාල පරතරයක් ඇතිව හෝ උඩු යටිකුරු හෝ දකුණේ සිට වමේ ආදී විදිහට ලියල තියන වචන කියවීම අපහසුයි.
    ඒ මං අකුරු වලට වඩා වචන කියවීමට පුරුදුවී ඇති නිසා නේද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ප්‍රාජේ අපි හොඳට දන්න භාෂාවක් කියවන විට අපි කියවන්නේ වචන. අපේ මොළයේ pattern matching හැකියාව ඉතාම ඉහළ නිසා මෙය පහසුයි. (ඒ වගේම face recognition වලටත් විශේෂ හැකියාවක් තිබෙනවා. සංඛ්‍යානය අනුව හඳුනාගත හැකි වෙනසක් නැති භෞතික පිළිබිඹු දෙකක් අපේ ඇස් වල මවන නිවුන්නු දෙන්නෙක්ව අපට වෙන්කර හඳුනා ගත හැක්කේ ඒ නිසයි) දැන් 'බෝංචි කරල පළු කරල, කඩල ඇටේ දෙකට කඩල' කියන එකේ 'කරල' 'කඩල' වචන එක විදිහට ලියා තිබුණත් අපට වෙනස් ලෙස කියවිය හැක්කේ ඒ නිසා. ඒත් වැඩිපුර නොදන්නා භාෂාවක්නම් අපි කියවන්නේ අකුරු. මම හිතන්නේ අපේ ඉංග්‍රීසි අධ්‍යාපනය (දැන් වෙනස්ද කියා මම දන්නේ නැහැ. මා දන්නා කාලය ගැන මම කියන්නේ) අසාර්ථක වීමට හේතුවත් මෙයයි. අපට පුරුදු කරන්නේ අකුරු කියවීමට. මේ අකුරු වලින් හැදෙන වචන වල තේරුම් අපි දන්නේ නැහැ. (ඉංග්‍රීසි කතාකරන රටක මේ ක්‍රමයට උගන්වන්නේ භාෂාව දන්නා අයෙකුට ලිවීම කියවීම හුරු කරවීම සඳහා) ඒ නිසා ඒ අකුරු වල සැබෑ තේරුම ලෙස අපි දකින්නේ අපි ඒ වන විට දන්නා සිංහල අකුරක්. දැන් A සංකේතය දකින විට අපිට මොළය පෙන්වන්නේ අයන්න. v, w අකුරු අපට පෙන්වන්නේ එකම දෙයක්. මේ ක්‍රමයට පුරුදු වුණාම table අපට පේන්නේ 'ටාබ්ලේ' වගේ. මේක 'ටාබ්ලේ' නෙමෙයි 'ටේබල්' කිවුවහම මොළේ කොලොප්පන්. එතකොට අපි වැරැද්ද ඉංග්‍රීසි භාෂාවට දමලා අපේ වැරැද්ද වහගන්නවා. ඒත් ප්‍රශ්නය එහෙම්මමයි.

      Delete
  3. මේ මට කාලෙකට ඉස්සෙර හිතුන දෙයක්... පාට අපි හැමෝටම එක විදිහට පේනව ද? මට රතු පාට පේන්නෙ වෙන කාට හරි කහ පාට පේන විදිහට වෙන්න බැරි ද? අපි පොඩි කාලෙ කවුරු හරි පාටක් පෙන්නල කියපු නම අදාල පාටට ගලප ගන්නව.

    ReplyDelete
    Replies
    1. ඔබ හිතන විදිහ හරි, ඇනෝ. මම දකින කහ පාට වෙන කෙනෙකුට විස්තර කරන්න මට ක්‍රමයක් තියෙනවද? මට පුළුවන් කියන්න එය ඉදුණු කෙසෙල් ගෙඩියක පාට බව. එතකොට ඔබ හිතාගන්නවා ඔබට පෙනෙන ඉදුණු කෙසෙල් ගෙඩියේ පාට කහ පාට බව. එකම දේ ගැන වැඩිපුර ලිවීම බෝරිං නිසා මාතෘකාව වෙනස් කරන්න හිතන කොට ඔබේ කමෙන්ටුව නිසා නැවත අදහස වෙනස් වුනා.

      Delete
    2. ඕක මටත් පොඩි කාලේ ඉඳන් තියෙන ප්‍රශ්නයක්...ඉදුණු කෙසෙල් , සුරියකාන්ත මල් මේවා 'කහ පාටයි' කියනවා තමා. ඒත් 'කහ' පාට මට පේන විදියටම ද ඔයාටත් පේන්නේ?

      Delete
    3. ඊලඟට එන ප්‍රශ්නෙ පේන විදිහ කියල කියන්නෙ මොකක්ද? පේන විදිහ ඒ කියන්නෙ ඇත්තටම මනසින් ග්‍රහණය කර ගන්න විදිහ එකිනෙකාට වෙනස් නම් සම්මත එක පේන විදිහක් තියනවද?

      Delete
  4. මේ සියල්ල ගැන සාකච්ඡා කරන අතර මෙවැන්නක් නොපෙනේද?

    පසිඳුරන් මගින් අරමුණු ගැනීම, එම අරමුණු සත්‍ය යැයි මනසින් ගැනීම, එම අරමුණු සැපයයි විශ්වාස කිරීම, ආදී වශයෙන්, එදා බුන් වදාළේ, කොපමණ ගැඹුරු අවබෝධයකින් යුක්තවද?

    ReplyDelete
    Replies
    1. ඔව්, විචාරක. සම්පුර්ණයෙන් එකඟයි.

      Delete
    2. @විචාරක ++++++++++++++

      Delete
    3. /…..ආදී වශයෙන්, එදා බුන් වදාළේ, කොපමණ ගැඹුරු අවබෝධයකින් යුක්තවද?

      සිංහල අපේ සුපුරුදු මව් භාෂාව හින්ද විචාරක " බුන් වදාලේ" කියල ලිව්වම අපි තේරුම් ගන්නව මොකක්ද මේ කියන්න හදන්නෙ කියල. ඒත් සිංහල අලුතෙන් ඉගෙන ගත්තු විදේශිකයෙක් කරකවල අතෑරිය වගෙ වෙයි. බුන් කියන්නෙ බිඳුනු කියල හිතුවොත්...වචන කියවීම සහ අකුරු කියවීම........:)

      Delete
    4. ඇත්තටම රවි නොකිව්වනම් මම විචාරක ගේ අදහස කියෙව්වේ බුදුන් වදාලේ කියලා
      ඒත් රවීගේ ප්‍රථිචාරෙ කියෙව්වහම ආයෙ බැලුවා මොකක්ද මේ කියන්නේ කියලා. එතකොටයි දැක්කේ මුල් අදහසේ තියෙන්නේ බුදුන් කියලා නෙවෙයි බුන් කියලා බව.
      ඔන්න කතා කරන මාතෘකාවට ඇස් පනා පිට සාක්ශියක්.

      Delete
  5. අවසාන නිගමනය කියවන දේ සැබෑ නෙමේ කියන එකද?

    ඔලුව පොඩ්ඩක් උඩුයටිකුරු වෙලා ගියා වගේ දැනුනා. :)

    හරිම රසවත් ඉ.මැට්ටෝ. මේ වගේ සංවාදාත්මක පෝස්ට් ලියවෙනවා අඩුයි.

    ReplyDelete
    Replies
    1. 'මීහරකා' යන්නෙහි තේරුම 'නරක රියදුරෙක්' කියලා හැමෝටම හිතෙන්නෙ නැත්තේ ඒකනේ, පොඩ්ඩි.

      Delete
  6. මුලින් කොටස් දෙක කියවන්නේ නැතුව අන්තිම කොටස හිත ගන්න අමාරුයි. අපට පෙනෙන දැනෙන ලෝකයම යථාර්තය නොවේ කියන එක පිලි ගැනෙනවා නේද. අනික පරමාණුක අංශු පැත්තෙන් බලුවෝහ් එතන වෙනම දෙයක්. වෙන ලෝකයක්. සෛල අපට පෙන්නේ නැහැ. නමුත් වෙනම දෙයක්.
    ඔය මේ ලිපියේ ලියන්නේ හැඟවුම්කාරක ගැන නෙමෙයිද එක පැත්තකින් බැලුවොත්.

    ReplyDelete
    Replies
    1. පරමාණුක අංශු පැත්තෙන් බැලුවොත්නම් යථාර්තය කියල දෙයක් නෑ වගේ නේද? හැඟවුම්කාරක=signifies වෙන්න ඇති නේද?

      Delete
  7. අපිට තියෙන එක ප්‍රශ්නයක් තමයි පොත පත අධ්‍යාපනය. සාමාන්‍ය ලෝකයේ දසුනක් විදියට තියෙන අඹ ගෙඩිය අපි චිත්‍රයකට ඇඳලා පුරුදු වෙනවා. ඒක අඳින විදිය උඩ යට මාරු කරලා. පැත්තට හරවල නෙවෙයි. සාමාන්‍යයෙන් අඹ ගෙඩිය ගහේ එල්ලිලා තියෙන විදියට. මේ නිසා තමයි අපි අඹ ගෙඩිය වෙනත් විදියට දැක්කොත් අඳුනා ගන්න බැරි. නමුත් වැද්දෙක් මේ හැම ක්‍රමයටම අඹ ගෙඩිය දකිනවා. ඒ නිසා ඔවුන් අඹ ගෙඩිය මතක තියා ගන්නේ වෙනස් ආකාරයකට. සමහරවිට අඹ ගෙඩියක් නොදැක්ක ළමයෙක් වුණත් මුලින්ම අඹ ගෙඩිය චිත්‍රයක් විදියට පාසලෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ වුනොත් එයා චිත්‍රයෙන් පසුව සැබෑ රුපය දකින්නේ. එතකොට එයා මුල් තැන දෙන්නේ ඇඳපු එකට. උඩ යට මාරු වීම් එයාට දකින්න අපහසු වෙන්න පුළුවන්. දැන් බලන්න නිල් චිත්‍රපටයක් උඩ යට මාරු කරලා පෙන්නුවත් කට්ටිය තේරුම් ගනීවි. මොකද ඒකෙ හැමදාම පෙන්වන්නේ එකම කැමරා කෝණයක දසුන් නොවෙන නිසා. විහිලුවට නෙවෙයි හිතලා බලන්න. අනිත් එක පසුබිමේ අකුරු දකින්න නොලැබෙන නිසා. මම ළඟදී වීඩියෝවක් දැක්කා කෙනෙක් ගුරුත්වය අනික් පැත්තට ඇති විදියට මේසයක් ඉදිරිපිට ඉඳගෙන භාජනය යටින් තියලා වීදුරුව උඩින් තියලා වතුර දමනවා. ඒකෙදී කරන්නේ මිනිහා සිවිලිමේ සවි කරපු අධාරකයක එල්ලිලා, මේසයත් සිවිලිම හයි කරලා ඉඳගෙන. පස්සේ අනික් පැත්ත හරවලා පෙන්වත්දී තමයි ඇත්ත තේරෙන්නේ. අපේ මොළය පුරුදු කරලා තියෙන විදියට වෙනස් දසුන් අපිට පහසුවෙන් දකින්න නැති නිසා තමයි මේ වෙනස දැනේනේ. මම උත්සාහ කරලා තියෙනවා ඇඳේ නිදාගෙන ඉන්න ගමන් පරිගණකයේ තියෙන දේවල් කියවන්න. ටිකක් අපහසුයි. අනෙක් පැත්තට හරවපු එකක් වුණත් කාලයක් පුරුදු වුනොත් බැරි නෑ. මේකෙන් කියවෙන්නේ අපේ මොලයට උගන්වපු විදියට වැඩි කැමැත්තක් දක්වනවා කියන එක. මේ මට තේරුම් ගියේ Artificial Intelligence කියන විෂය ඉගෙන ගනිත්දී. එකෙදී මිනිසුන් විසින් කරන දේවල් පරිගණක මගින් කරවන්න ඒවාට පුහුණු කරවනවා. ඒකෙදී තමයි අපි හිතන්න පටන් ගන්නේ මේවා පෙනෙන්නේ කොහොමද කියලා. කුඩා දරුවෙක් වුණත් මේ කාල පරිච්චේද පහු කරනවා. අපිට ඒ ගැන වැඩි සැලකිල්ලක් නෑ. ඒ විෂයේ තියෙනවා Supervised Learning / Unsupervised Learning කියලා දෙකක්. මගේ වාසනාවකට මම මේ විෂය ඉගෙන ගත්තේ මගේ බබා බහ තෝරන කාලෙදී. ඒ නිසා ඒ විෂයේ පැහැදිලි කෙරෙන දේ මම හොඳින්ම තේරුම් ගත්තා. ඒ වගේම විෂය කෙරේ තිබුණු ඇල්මත් වැඩි වුණා. මෙන්න මේ වීඩියෝ එක බලන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, සුදීක. ඔබේ දිගු ප්‍රතිචාර වලට. වෙලාවක් ලැබුණොත් තව යමක් එකතු කරන්නම්.

      Delete
  8. මා ඉකොනොමැට්ටා කියවන්නට පටන් ගත්තේ තැඹිලි ගෙඩියේ ලිපියෙන්.
    ඉන් පස්සේ මේකත් කියෙව්වා. මම තැඹිලි ගෙඩියෙ කතාවේදී ඇසූ පැනයම මෙතැනත් ත්වත් අය අහලා තියෙනවා. ඒකෙන් පෙනෙන්නේ මේ ලෝකය පෙනෙන ආකාරයට වඩා වෙනස්ව දකින්නත් අපි හුඟ දෙනෙක් උත්සහ කරනවා.
    ඒකත් අපූරුයි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget