වෙබ් ලිපිනය:

Thursday, September 5, 2024

අයිස් කන්ද දිය වෙනවා වගේද?


මම හිතන්නේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය හා අදාළව ලොකු බලපෑමක් කළ හැකිව තිබුණු අයිස් කන්ද දැන් දියවෙන්න පටන් අරගෙන. තුනෙන් එකක් පමණවත් දැනටම දිය වෙලා ඇති. බොහෝ විට අවසන් ප්‍රතිඵලය මේ වෙද්දීත් ලියැවිලා අවසන්ව තියෙන්න පුළුවන්. ඒක විසි දෙවෙනිදාට බලා ගන්න පුළුවන් වෙයි.

මේක පුරෝකථනයක් නෙමෙයි. අවසන් ප්‍රතිඵලය කුමක් වෙයිද කියලා මම දන්නේ නැහැ. නමුත්, ඒක කුමක් වුනත්, මාලිමාව වගේම රනිලුත් දැනටම දිනලා ඉවරයි. 

දැන් තිබෙන බලතුලනය අනුව අනුර එක්කෝ දිනයි. නැත්නම් පරදියි. හැබැයි අනුර පැරදුනොත් දිනන අපේක්ෂකයාට දිනන්න වෙන්නේ සුවිශේෂී තත්ත්වයන් දෙකක් යටතේ. ඒ දෙකෙන්, අඩු වැදගත් කරුණ උතුරු නැගෙනහිර ඡන්ද වල උදවුවෙන් දිනන්න සිදු වීම. වඩා වැදගත් කරුණ දෙවන වටයෙන් දිනන්න සිදු වීම. 

ඔය අඩු වැදගත් කරුණ වුනත්, ඉන් පසුව ජන විඥානය කෙරෙහි විශාල බලපෑමක් කරන්න ඉඩ තිබෙන එකක්. මේ වැඩේ මීට කලින් 2015දී සිදු වුනා. සිංහල බහුතර ප්‍රදේශ සියල්ලේම වගේ මහින්ද ඉදිරියෙන් සිටිද්දී ජනාධිපති වුනේ මෛත්‍රීපාල සිරිසේන. පොහොට්ටුව හැදුනේ ඔය කම්පනය එක්කයි. 2019දී සිංහල බහුතර ප්‍රදේශ වල ඡන්ද වලින් ගෝඨාභය ජයග්‍රහණය කිරීම දක්වාම විකාශනය වුනේ ඔය කම්පනයේ පසු තරංග.

දෙවැන්න සිදු වුනොත් වෙන්නේ හිතාගන්න බැරි තරමේ කම්පනයක්. නිකමට හිතන්නකෝ අනුර පළමු වටයෙන් සැලකිය යුතු ලීඩ් එකක් අරගෙන දිනුවට පස්සේ දෙවන වටයෙන් යාන්තමින් පැරදුනොත් ඇති වෙන තත්ත්වය. මේ වගේ දෙයක් පිළිබඳ පූර්වාදර්ශයක් (precedent) ලංකාවට නැහැ. ඒ වගේ තත්ත්වයකට ලංකාවේ සමාජය මොන විදිහට ප්‍රතිචාර දක්වයිද කියලා හිතා ගන්නත් අමාරුයි. 

කොහොම වුවත් අනුර හැර වෙනත් අපේක්ෂකයෙක් දිනුවොත්, ඊට පස්සේ හැදෙන්නේ ඉතාම දුර්වල ආණ්ඩුවක්. ඒක ගෙනියන්න වෙන්නේ අමාරුවෙන් අටවාගෙනයි. එහෙම ආණ්ඩුවක් කරද්දී, කිසිම සහයෝගයක් දෙන්න සූදානමක් නැති, පුළුවන් පළමු අවස්ථාවේම ආණ්ඩුව ගෙදර යවලා රාජ්‍ය බලය ලබා ගන්න බලාගෙන ඉන්න ශක්තිමත් විපක්ෂයක් එක්ක ගැටෙන්නත් වෙනවා. ඔය තත්ත්වයන් එක්ක මෙවර අනුර පැරදුනොත් වෙන්නේ ඊළඟ වාරයේ, සමහර විට ආණ්ඩුවක සම්පූර්ණ කාලය ඉවර වෙන්නත් කලින්, මාලිමාවට ආණ්ඩු බලයට කිට්ටු කරන්න ඉඩ ලැබෙන තත්ත්වයක්. කොහොමටත් මාලිමාව දැන් තුන් වන පක්ෂයක සීමාවෙන් එළියට ඇවිත් ඉවරයි. 

තුන් වන පක්ෂයක් විදිහට දශක ගණනාවක් දේශපාලනය කරපු, අවසන් ජාතික මැතිවරණ වලදී 3% සීමාවේ හිටපු පක්ෂයක් විදිහට මාලිමාව දැනටමත් දිනලා ඉවරයි කිවුවේ ඔය හේතුව නිසා. දැන් ඉන්න තැනට ආවට පස්සේ පැරදුනත් දිනන එක කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.

රනිල්ගේ පැත්තෙන් බැලුවොත් ඒත් රනිල් දිනලා. මාලිමාව එක්ක බලද්දී රනිල් කියන්නේ තනි පුද්ගලයෙක්. රනිල් කියන පුද්ගලයාගෙන් මේ වෙලාවේ නියෝජනය වෙන්නේ ආර්ථික-දේශපාලන ප්‍රතිපත්ති පැකේජ් එකක්. රනිල් පැරදිලා ගෙදර ගියාට පස්සෙත් ඒ ආර්ථික-දේශපාලන ප්‍රතිපත්ති පැකේජ් එක දිගටම ක්‍රියාත්මක වෙනවානම් ජනාධිපතිවරණ ප්‍රතිඵලය කුමක් වුවත් ඒක රනිල්ගේ ජයග්‍රහණයක්. 

මම අපේ පවුලේ වැඩිමලා. පොඩි කාලේ ඉඳලම මට විභාග වලට එහෙම ටිකක් හොඳට ලකුණු තිබුණා. මගේ පවුලේ බාල සහෝදර සහෝදරියෝ පසුව කියපු දෙයක් තමයි ඒක ඔවුන්ට විශාල පීඩනයක් වුනා කියන එක. මං හිතන්නේ මම කියන දේ තේරෙනවා ඇති. පවුලේ වැඩිමලා විශ්ව විද්‍යාලයකට තේරුණාම බාල අයට ඒකේ පීඩනය එනවා. මොකද තමන් යා යුතු අවම සීමාව කලින්ම වෙන කෙනෙක් ලකුණු කරලා. 

දැන් රනිල් කරලා තියෙන්නෙත් ඔය වැඩේ. අලුත් ආණ්ඩුවකට කාර්ය සාධනය පෙන්වන්න සිදු වන අවම සීමාව රනිල් දැනටමත් ලකුණු කරලා ඉවරයි. ඒක අභියෝගාත්මක සීමාවක්. අලුත් ආණ්ඩුවක කාර්ය සාධනය ඒ සීමාවෙන් පහළට වැටුනොත් විවේචනය කරන්න බලාගෙන සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ නිසා, කාට වුනත් වැඩිය සෙල්ලම් දාන්න පුළුවන් ඉඩක් ඉතිරි වෙලා නැහැ. අවසන් ජාතික මැතිවරණ වලදී 2% සීමාවේ හිටපු රනිල් අවුරුදු දෙකකින් ඔය තරම් හරියක් කරලා ගෙදර ගියොත් එය ඔහුගේ පරාජයක් වෙන්නේ නැහැ. 

ඡන්ද ශ්‍රේණිගත කිරීම් කොහොම වුනත් අනුරගේ (මාලිමාවේ) සැබෑ ප්‍රතිවාදියා රනිල්. මේ කතාව මේ විදිහටම වගේ @Anuruddha Pradeep Karnasuriya විසින් ලියලා තිබුණා. ඔහු ලියා තිබෙන හැම දෙයකටම එකඟ වෙන්නේ නැතත්, ඔහුගේ මූලික තර්කය නිවැරදියි. ඔහු පෙන්වා දෙන විදිහට (මම හිතන්නේ මීට සමාන දෙයක් මමත් කලින් කියලා ඇති), මාලිමාව 3% සිට පටන් ගනිද්දී රනිල්ට පටන් ගන්න වෙන්නේ 2% ඉඳලා. ගොඩක් අය ඒක අමතක කරනවා වෙන්න පුළුවන්. හැබැයි මමනම් මේ කරුණ නොසලකා හැරලා නැහැ.

දැන් මෙහි තර්කය වන්නේ අනුරට වගේම රනිල්ටත් තරඟ කරන්න වෙන්නේ එකම ඡන්ද ටික වෙනුවෙන් කියන එක. ඒ කියන්නේ පොහොට්ටුවේ ඡන්ද ටික වෙනුවෙන්.

මම නිරීක්ෂණය කරපු විදිහට මුල ඉඳලම මාලිමා කණ්ඩායමේ විග්‍රහය වුනේත් මේක. එය @Anuruddha Pradeep Karnasuriyaගේ විග්‍රහය එක්ක සමපාත වීම අහම්බයක්ද නැද්ද කියන්න මම දන්නේ නැහැ. මාලිමාව දිගටම හිටියේ මේ තරඟය අවසානයට කිට්ටු වෙද්දී ප්‍රධාන තරඟකරුවන් දෙන්නෙක් අතර තරඟයක් බවට පත් වෙනවා කියන ස්ථාවරයේ. ඒ තර්කය අනුවම රනිල් 7%කට වඩා ගන්නේ නැහැ කියලා @Anuruddha Pradeep Karnasuriya කැට තියලා කියනවා. 

ඔය වගේ පුරෝකථන එක්ක එකඟ වෙන්න හෝ නොවෙන්න තරම් මට කිසිම අපේක්ෂයෙක් එක්ක ආත්මීය බැඳීමක් නැහැ. රනිල් 7%කට වඩා ගන්නේ නැහැ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. රනිල් දිනන බව තවත් කෙනෙකුට කියන්න පුළුවන්. කරුණු හා දත්ත මත පදනම්ව හෝ සංඛ්‍යානය මත පදනම්ව ඔය දෙකෙන් එකක් ගැනවත් නිශ්චිත ලෙස කියන්න බැහැ. 

රනිල්ගේ පැත්තෙන් කොහොම වුනත් මාලිමාවේ පැත්තෙන් බැලුවහම මේ තර්කය හරියටම හරි. රනිල්ව පැත්තකින් තිබ්බොත්, මාලිමාව පටන් ගත්තේ 3% මට්ටමේ ඉඳලා. ඉලක්කය 50%ක්. එතකොට 47%ක අඩුවක් තිබෙනවා. ඒක නිකම් රුපියල් පනස් දාහක් අතේ තියාගෙන කාර් එකක් ගන්න විදිහ ගැන හිතනවා වගේ වැඩක්. හැබැයි මාලිමාවට මේ ඉලක්කය හඹා යාම සඳහා අවශ්‍ය වූ වාස්තවික තත්ත්වයන් නිර්මාණය වෙලයි තිබුණේ. එහෙම චාන්ස් හැමදාම ලැබෙන්නේ නැහැ. 

මාලිමාව මුල ඉඳලම ඉව ඇල්ලුවේ ගෝඨාභයගේ 52%ට. මේ ප්‍රවේශයේදී සජිත්ගේ 42% සජිත්ටම දීලා ඒ ගැන බලාපොරොත්තු අත ඇරලයි මාලිමාව හිටියේ. සජිත්ගේ ඡන්ද ප්‍රමාණය ගැන දැනටත් @Anuruddha Pradeep Karnasuriya කියන්නේ  "ඒ ඡන්ද ප්‍රමාණය ලොකු වෙනසක් නැතිව අද වෙනතුරු තියෙනවා වගේ." කියලයි.

ඔය දෙවන මතයට මම එකඟ නැහැ. කොහොම වුනත්, @Anuruddha Pradeep Karnasuriyaගේ පළමු මතය වගේම, මාලිමාවේ පැත්තෙන් ඔවුන්ගේ ප්‍රවේශයත් සාර්ථක එකක්. මොකද සජිත්ගේ ඡන්ද ගලවන එක මාලිමාවට ලේසි වැඩක් නෙමෙයි. නමුත් අයිතිකාරයෙක් නැති පොහොට්ටු ඡන්ද එකතු කරන එක ඒ තරම් අමාරු නැති වැඩක්. මේ වෙද්දී මාලිමාව ඒ වැඩේ සෑහෙන තරම් සාර්ථක ලෙස කරලා තියෙනවා.

ඒ වගේම මෙහි මූලධාර්මික කරුණකුත් තිබෙනවා. සාමාන්‍යයෙන් වාමාංශික පක්ෂ වලට කවුරු හෝ සතුරෙක්ව අවශ්‍යයි. ඔවුන් තමන්ගේ කඳවුර ගොඩ නගා ගන්නේම මේ සතුරු කඳවුරට ප්‍රතිපක්ෂව ස්ථානගත කරමිනුයි. සමහර වෙලාවට සතුරාව අර්ථ දක්වද්දී ජාතිකවාදී හෝ ජාතිවාදී මුහුණුවරක් එන්නත් පුළුවන්. ඔවුන්ට ලෝකය දකින්න පුළුවන් ඔය රාමුව ඇතුළේම තමයි. ජවිපෙ ඉතිහාසය දිහා බැලුවත් මේක පැහැදිලිව පේනවා. (වාමාංශික නොවන පක්ෂයක වුනත් මේ ලක්ෂණය තියෙන්න පුළුවන්.).

ජවිපෙ ඉතිහාසය බැලුවොත්, ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකම ඔවුන් විසින් හඳුනාගෙන තිබුණේ සතුරු කඳවුරු විදිහටයි. වරින් වර තාප්පය පාත් කරපු වෙලාවල් තිබුණත් පටු ඉඩක ගහගත්ත තාප්පයක් තිබුණා. තාප්පය ඇතුළේ තිබුණු ඉඩ ප්‍රමාණයේ හැටියට තමයි ජවිපෙ 3%ට සීමා වුනේ. 

ජවිපෙ මාලිමාව වෙද්දී කළේ ඔය තාප්පය ඉස්සරහට ගෙනියන එක. ඒ එක්ක, කලින් ඇතුළට රිංගන්න බැරි විශාල පිරිසකට ඉඩ හැදුනා. පොහොට්ටු කණ්ඩායමේ උඩම තට්ටුවේ ටික දෙනෙක්ට ඇරෙන්න වෙන ඕනෑම කෙනෙකුට ඉතාම සුළු මහන්සියකින් මාලිමාවේ වේදිකාවක වාඩිවෙන්න පුළුවන් තත්ත්වයකට තමයි දැන් ඔවුන් පක්ෂය වෙනස් කරලා තියෙන්නේ. 

ප්‍රධාන පක්ෂ වලට ඔය වගේ පටු සීමා මායිම් තිබුණේ නැහැ. කලින් ජවිපෙ ක්‍රියාකාරීන් ප්‍රධාන පක්ෂ වලට යන එක දිගින් දිගටම සිදු වුනු දෙයක්. 

මාලිමාව ඔය වෙනස්කම කර ගත්තත් ජවිපෙ උරුමය නිසා මාලිමාවට ස්ථානගත වෙන්න පුළුවන් සතුරු කඳවුරකට ප්‍රතිපක්ෂවම තමයි. මේ වෙලාවේ තෝරාගත්ත සතුරු කඳවුර සජිත්ගේ කඳවුර. පොහොට්ටු කඳවුර පෝෂක කඳවුර. වෙනත් සන්දර්භයකදී වුනත්, 88/89දී පැවතුනෙත් ඔය වගේම තත්ත්වයක්. එජාපය සතුරු කඳවුර. ඒ වෙද්දී දුර්වල වෙලා හිටපු ශ්‍රීලනිපය පෝෂක කඳවුර. 

දැන් මාලිමාවට මේ තමන්ගේ පෝෂක කඳවුරෙන් පොහොට්ටු ඡන්ද එකතු කරද්දී තරඟ කරන්න වෙන්නේ රනිල් එක්කයි. ප්‍රධාන ප්‍රතිවාදියා විදිහට සජිත්ගේ කඳවුර පැත්තක තියෙද්දී මාලිමාව දිගින් දිගටම සජිත්ට ගහනවා වෙනුවට රනිල්ට ගහන ප්‍රවේශයක හිටියේ ඒ නිසායි. පෙසපෙ මාලිමාවට ගහන්නෙත් ඔය හේතුව නිසා. මොකද පෙසපෙට සාපේක්ෂව පෝෂක කඳවුර මාලිමා කඳවුර. ඉතිං ඒ නිසා @Anuruddha Pradeep Karnasuriyaගේ පළමු තර්කය හරියටම හරි.

හැබැයි මාලිමාවට තරඟය තියෙන්නේ රනිල් එක්ක කියන එකෙන් එහි විලෝමය ඒ විදිහටම අදහස් වෙන්නේ නැහැ. මොකද රනිල්ගේ පැත්තෙන් තියෙන්නේ වෙනත් තත්ත්වයක්.

රනිල් මුල සිටම සිටියේ සතුරු මිතුරු සේ කඳවුරු බෙදන ප්‍රවේශයකට වඩා සියලු කඳවුරු එක් සේසත් කරන ප්‍රවේශයක. ඒ ප්‍රවේශය සාර්ථක වීම හෝ නොවීම වෙනම කරුණක්. මාලිමාව 3% ඉඳලා පටන් ගනිද්දී රනිල්ට පටන් ගන්න වුනේ 2% ඉඳලා කියන එක ඇත්ත. නමුත් රනිල්ට පෝෂක කඳවුරු දෙකක් තිබුණා. ඔය දෙක එකතු කළොත් එතැන 94%ක්. ඒ වගේම, රනිල්ට යම් තරමකින් හෝ දෙවන මනාපයේ වාසියත් තිබුණා. ඒ නිසා, අනුරට වගේ 50% ඉලක්ක කරන්න අවශ්‍ය වුනේ නැහැ. 

නමුත්, දෙවන මනාපයේ වාසිය ගන්න පුළුවන් වෙන්නේ පළමු වටයේ මුල් අපේක්ෂයින් දෙන්නා අතරට පැමිණියොත් පමණයි. රනිල් තරඟයට එනකොට අනෙක් අපේක්ෂකයෝ දෙන්නාම සෑහෙන දුරක් දුවලා ඉවරයි. ඒ නිසා, අඩු වශයෙන් දෙවන තැනට එන්නනම්, ඉන්න දෙවෙනියාව පහු කරන්න වෙනවා.

අනුර ගොඩක් ඉස්සරහට ගිහින් තිබුණත් පොහොට්ටු ඡන්ද සියල්ලම අනුර විසින් එකතු කරගෙන තිබුණේ නැහැ. ප්‍රමාණය හරියට දැන සිටියේ නැතත් තවත් පොහොට්ටු ඡන්ද ඉතිරිව තිබෙනවා කියන එක පෙනෙන්න තිබුණු දෙයක්. ඒ වගේම, සජිත් පටන් ගත්තේ 42% ඉඳලා නෙමෙයි. ඒක වැරදි උපකල්පනයක්. 2019දී සජිත් 42%ක් ගත්තත්, 2020දී ඒ ප්‍රමාණය 24%ට බැහැලයි තිබුණේ. රනිල් තරඟයට එනකොටත් සජිත් ඒ මට්ටමෙන් ගොඩක් උඩට ගිහින් තිබුණේ නැහැ. 

ඇත්තටම කියනවානම් සජිත් හිටියේ 24% මට්ටමටත් පහළින් වෙන්නත් පුළුවන්. මොකද අරගලය එක්ක ආපු විරෝධය රාජපක්ෂලාට තරම්ම නැති වුනත් බලයේ හිටපු පක්ෂ දෙකටම ආවා. ඒ නිසා, සජිත් පටන් ගත්තේ 24%ටත් පහළ තැනකින්. සජිත් කොයි වෙලාවකවත් 42% මට්ටමට ආවේ නැහැ. 

එජාපය දෙකඩ වෙද්දී සම්ප්‍රදායික එජාප පාක්ෂිකයාට තිබුණු ප්‍රධාන ප්‍රශ්නය රනිල්ට දිනන්න බැහැ කියන එක. වැඩි පිරිසක් රනිල් එක්ක එකතු නොවී සජිත් එක්ක එකතු වුනේ ඒ නිසා. ඒ ඇරෙන්න සම්ප්‍රදායික එජාප පාක්ෂිකයාට රනිල් සහ සජිත් අතර ලොකු වෙනසක් නැහැ. 

රනිල් ඇත්තටම දැන් වුනත් නියෝජනය කරන්නේ එජාපය මිසක් පොහොට්ටුව නෙමෙයි. රනිල්ගේ භාෂාව එජාප භාෂාව. ඒ භාෂාව පොහොට්ටු ඡන්දදායකයාට ආගන්තුක භාෂාවක්. ඒ නිසා රනිල්ගේ ප්‍රචාරණය නිසා පහසුවෙන්ම එකතු වෙන්නේ සජිත්ට නොගිය එජාප ඡන්ද. ඇත්තටම සජිත්ට ගිය එජාප ඡන්ද වුනත් රනිල්ට එකතු වෙන්න පුළුවන්. 

ඒ වගේම, දැන් තිබෙන තත්ත්වය අනුව රනිල්ට වඩා වැදගත් දෙවන තැනට එන එක. ඒ සඳහා රනිල්ට තරඟය තියෙන්නේ සජිත් එක්ක. 

මේ මැතිවරණ වටයේදී මුල සිටම මාලිමාවේ ප්‍රධාන උපාය මාර්ගයක් වුනේ මාලිමාවට දිනන්න පුළුවන් කියන මතය ජනගත කිරීම. ඉන් පසුව එය මාලිමාව දිනනවා කියන එක දක්වාත්, දැන් දැන් මාලිමාවට කෝටියක් වගේ ටැග් ලයින් දක්වාත් වෙනස් කර තිබෙනවා. මේ ප්‍රචාරණ ව්‍යාපෘතිය ඇත්තටම සාර්ථකයි. මාලිමාවේ ඡන්ද ගැන ඔවුන්ට සතුටු විය නොහැකි තක්සේරුවක් දකින විට බොහෝ මාලිමා ආධාරකරුවන්ට මළ පනින්නේ මේ ප්‍රොපගැන්ඩා කැම්පේන් එක ඔවුන්ට ඉතාම වාසිදායක නිසා. 

මුලින් මාලිමාව හිටියේ කවුරුවත් නැති පිට්ටනියක. සජිත් තරඟයට ආවට පස්සේ ඒ තත්ත්වය වෙනස් වෙලා මාලිමාව කොහොමටත් දිනනවා කියන එක අභියෝගයට ලක් වුනා. ඒ එක්ක මාලිමා රැල්ලත් පසු බැස්සා. නමුත් රනිල් තරඟයට ආවාට පස්සේ නැවතත් මාලිමාවට පහසුවෙන් දිනන්න පුළුවන් කියලා බොහෝ දෙනෙකුට ඒත්තු ගිහින් තියෙනවා. ඒ එක්ක ඉතිරි වී තිබුණු පොහොට්ටු ඡන්ද වලින් තවත් කොටසක් මාලිමාව පැත්තට ගිහින් හා යමින් තියෙනවා. 

රනිල් ඉදිරියට යද්දී වෙන්නේ දිනන අපේක්ෂකයා ලෙස කලින් හඳුනාගෙන සිටි සජිත්ට දිනන්න බැහැ කියන එක වැඩි වැඩියෙන් පේන එක. එහෙම වෙද්දී පාවෙන පොහොට්ටු ඡන්ද වැඩි වැඩියෙන් අනුරට ආකර්ෂණය වෙනවා. රනිල් ඉදිරියට එන එක මාලිමාවට වාසියක් වෙන්නේ ඔය විදිහටයි. ඕක වෙනස් වෙන්නේ රනිල් දෙවැනි තැනට පැමිණ ඇති බව පැහැදිලිව පෙනුනොත් පමණයි. තවමනම් එවැනි තත්ත්වයක් පේන්න නැහැ. පොහොට්ටු ඡන්ද වැඩි වැඩියෙන් මාලිමාව පැත්තට යද්දී රනිල්ගේ පෝෂක කඳවුර එන්න එන්නම කුඩා වීමකුත් වෙනවා.

රනිල්ගේ ප්‍රවේශය එකතු කිරීමේ ප්‍රවේශයක් වුනත් ප්‍රචාරණ ව්‍යාපෘතිය ඇතුළේ දැකිය හැක්කේ මාලිමාව සතුරෙක් ලෙස පෙන්වන ප්‍රවේශයක්. ඇත්තටම මේක තමයි මාලිමාවට අවශ්‍යම ප්‍රවේශය. ජවිපෙ අතින් "සිදු නොවිය යුතු දේ සිදු වී තිබෙනවා" කියලා අනුරම කියලා තියෙනවනේ. මේවා නැවත නැවත මතක් කළා කියලා අනුරට අවාසියක් වෙන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ වාසියක්. ඒ දවස් වලම වුනත්, වැඩි වැඩියෙන් බය දැනෙද්දී වුනේ මිනිස්සු ඒ පැත්තටම හේත්තු වෙන එක. උතුරේ තිබුනෙත් ඔය වගේම තත්ත්වයක්නේ. ගොඩක් අය බලන්නේ කෝකටත් හොඳයිනේ කියලා "වෙනසේ කොටස්කරුවෙක්" වෙන්න. අර අරගලයට කලාකරුවෝ එක දාගන්න ගියා වගේ. 

මම හිතන්නේ රනිල් සහ පොහොට්ටුවේ උඩ තට්ටුව ඉතිරි වී තිබෙන පොහොට්ටු ඡන්ද පිළිබඳව ඉඳලා තියෙන්නේ ලොකු අධි තක්සේරුවක විය හැකි බවයි. පේන්න තියෙන්නේ පොහොට්ටුව දිය වෙලාම ගිහින් වගේ තත්ත්වයක්. ඒ "හිටපු පොහොට්ටු" මාලිමාවට දැනටමත් ගොස් නැත්නම් අතර මං වූ ගන්ධබ්බ ඡන්ද මිසක් පොහොට්ටු ඡන්ද නෙමෙයි. මේ මැතිවරණයේදී ඒවා භාවිතා නොවෙන්න පුළුවන්. 

ගොඩක් අය ගණන් හදන්නේ මුළු ඡන්ද වලින් 83%ක් පමණ වැටෙයි කියලා උපකල්පනය කරගෙන. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකදී ඡන්ද භාවිතය ඔය වගේ ඉහළ මට්ටමක තිබෙනවා. නමුත් මෙවර එසේ නොවෙන්න පුළුවන්. භාවිතා වෙන ඡන්ද ප්‍රමාණය ප්‍රතිඵලය කෙරෙහි විශාල බලපෑමක් කරන්න ඉඩ තිබෙනවා. ඡන්ද භාවිතය 75%ක් වුනොත්, 38%ක් එයින් බාගයකට වඩා වැඩියි. 

11 comments:

  1. ඊයේ බෙහෙත් ගන්නට හම්බන්තොට ගියා. ඒ ගමනේදී යැවුණු පාරවල දෙපැත්තේ තිබුණු - අපට දකින්නට ලැබුණු පක්ෂ කාර්යාල ප්‍රතිඵලයයි මේ.
    මාලිමාවේ කාර්යාල- 40ක්
    සජබෙ කාර්යාල 3ක්
    රනිල්ගේ කාර්යාල 1ක්
    නාමල්ගේ කාර්යාල 1ක්

    ඒ දිස්ත්‍රික්කයේම ප්‍රධාන නගරයක කඩ හිමියන්ගේ ඡන්ද දෙන විදිහ ගැන (අසම්පූර්ණ) ගණනයක තොරතුරුත් දැනගන්ට ලැබුනා. ඒ අනුව
    මාලිමාවට 76 ක්
    සජිත්ට 16ක්
    රනිල්ට 12ක්
    නාමල්ට 1 ක් ඡන්දය දෙන්නට තීරණය කර සිටියදී තවම තීරණයකට එළඹුණේ නැති 2ක් ඉඳලා.

    ReplyDelete
  2. රනිල් එන්න කලින්නෙ සජබෙන් ගෝටට කිව්වෙ imf පලයන් කියල 2020 ඉඳලම.
    එතකොට රනිල පාර්ලිමේන්තිවෙත් නෑ. රනිල් ඇවිල්ල imf ගියා. ඒ කියන්නෙ දැන් සජබෙ ජයග්‍රහනය කරලද ඉන්නෙ?

    ReplyDelete
    Replies
    1. මේව මේ පොතේ ගුරුන්ගේ අමු මැටි ගොන් තර්ක. රනිල් වික්‍රමසිංහ කියන්නේ මොකෙක්ද කියලා කාටවත් මතක නැති වෙනවා ලබන අවුරුද්දේ මැද විතර වෙනකොට. වික්‍රමසිංහ සොම්බි මහල්ලා දැනටත් ලංකාවේ බහුතරයක් දෙනා දැඩි ලෙස අප්‍රිය කරන රාක්ෂයෙක් නිසා ඕකා පැරදුනාට පස්සේ ඕකාව කාටවත්ම මතක තියාගන්න ඕන නෑනේ. බටලන්දේ මිනීමරුවා වගේම උගේ පක්ෂයක් නැත්තටම නැති වෙලා යනවා.

      මාලිමාව ඇවිත් ඔය IMF වැඩසටහන නවතා දැමීමට ඇති හැකියාව බලලා ඉක්මනට ඒක නවත්වන්න කටයුතු කරනවා. එහෙම කරලා රටේ බදු ආදායම වැඩි කරගෙන IMF ඊළඟ වාරිකය නොගෙන වෙනමම වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මේ ගැන චතුරංග අබේසිංහ සහ ආචාර්ය අනිල් ජයන්ත, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම වගේ ජාජබ ගොඩක් අය පැහැදිලි කරලා තියෙන්නේ මේ නව ලිබරල් ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් බව ඒ අය පැහැදිලි කරලා තියෙනවා.

      එකපාරටම මාලීමාවේ රජයක් IMF එකෙන් ඉවත් වෙන්නේ නෑ ඒත් ක්‍රමානුකූල ලෙස IMF වැඩසටහනෙන් ඉවත් වෙමින් ස්වාධීනව ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කරන අතර චීනය සහ ඉන්දියාව යන රාජ්‍යයන් දෙකම හොඳින් කළමනාකරණය කරගෙන චීනයේ ද සහාය ඇතිව ලංකාවේ ආර්ථිකය නැංවීම කරන්න පුළුවන්.

      දැනට එක්සත් ජනපදය සමග තාවකාලිකව හොඳ සම්බන්ධතාවක් තියාගෙන ඉන්නවා මැතිවරණ කාලය තුල ඒත් බලය තහවුරු කර ගත් පසු චීනය සහ ඉන්දියාව යන රාජ්‍යයන් සමගින් වෙනමම දියුණු ආර්ථික දේශපාලනික ප්‍රවේශයක් වෙත යොමු වෙනවා ඉතාමත් ඉක්මනින්ම.

      Delete
    2. මට තේරෙන විදියටත් දිනල තියෙන්නෙ සජබෙ මෙයාගෙ රනිල් විග්‍රහය අනුව. එයාලනෙ home grown solution එපා IMF යන්න කියල. රනිල් ඇවිල්ල කලේ සජබෙ කියපු ටික. ගෝට ඒ වෙලාවෙ ඒක ඇහුවනම් ගෝට දිනුම්. මේ මනුස්සය ලියන්නෙ පක්ශග්‍රාහී විදියට.

      Delete
    3. හරි වයසෙදි මොන රස්සාවෙන් උනත් විශ්‍රාම ගන්න ඕනෙ❤️නැත්තං මෙහෙම වෙනව අපරාදෙ ඉස්සර හොදට ඉදපු මනුස්සයෙක්.. වයසට යද්දි ඕනම කෙනෙක්ට මෙහෙම ට්‍රැක් පනින්න පුලුවන් 🥲

      මිනිස්සුන්ට ජෝක් එකක් වෙන්න එපා ඉකොනො සීයේ. තමන්ගේ තත්වේ තියාගෙන ඉන්න බලන්න.

      කවුරු හරි මේ economatta කියන මූව අංගොඩ වත් ගිහිල්ලා දාන්න පීස්😏

      Delete
  3. මේ ඉකොන්මැට්ටා යූඇම්පීකාරයෙක් නේද ? තාමත් හිතන් ඉන්නෙ රනිල් වගේ එකෙක්ට ජනාධිපතිවරණයක් දිනන්න පුළුවන් කියලද ? මාලිමාව දින්නොත් කිය කිය අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාපද වලින් හැමතැනම කොට කොට ඉන්නවා. ඇමරිකාවට ගියෙ යුඇම්පී ආණ්ඩු කාලෙ වෙන්ට ඇති මගෙ හිතේ. ඊට පස්සෙ ඇවිල්ලවත් ගිහින් නැද්ද ? මම නම් මෑත කාලෙ කීප සැරයක් ගියා, ලංකාව සෑහෙන්න වෙනස්වෙලා ඉකොන්, මේ පාර මාලිමාවට බහුතරයක් එනවා, අනුර 50% පන්නල ගොඩක් කල්. දැන්වත් grassroot එකේ තත්වෙ බලල අමාරුවෙන් හරි මාලිමා ආණ්ඩුවක් එන එක ගැන හිත හදා ගන්න. මොකද වලව් හාමුලගෙ දේශපාලනේ මෙතනින් ඉවරයි. ඉදිරියෙදි මාලිමාව පැරදෙන්නෙ, ඊටත් වඩා හොඳ මිනිස්සු හදන අලුත් පක්ෂෙකින් මිසක් දැන් ඉන්න තක්කඩි රැලෙන්වත් උන් ඉන්න පක්ෂවලින්වත් නෙවෙයි.

    ReplyDelete
  4. ඉකොනොමැටටලා වගේ චව් චව් ඔස්තාර්ලගෙ බයිලා කතන්දර වල නිමාව ඉක්මනටම දකින්න පුළුවන්, ඉකොනොමැට්ටා කියන්නෙ තවත් එක් තක්කඩි නවලිබරල් න්‍යායාචාර වරයෙක්, හර්ශ ද සිල්වා කියන්නෙත් ඒ ඉස්කෝලෙටම ගිය පීචං ජෝකර් කෙනෙක්, දැන් මේ උන්දෑදලා කවදාවත් ජවිපෙට ජාජබට වචනෙකින්වත් උදව් කලේ නෑ නේ, අපහාස සහ විවේචන පමණයි. සේරම වර්ණනා සහ උපදෙස් දුන්නෙ තිබ්බ ආණ්ඩුවලට

    දැන් වැඩේ කෙල වෙලා කුල්ල කුජීත උනාම විකල්ප වැඩපිලිවෙල හරියන්නෙ නෑ කියල විවාද කරල වැඩක් නෑ. මොකද ඕගොල්ලොන්ගේ ක්‍රමේ Fail

    මේ දවස් වල යන බුකියේ යන විවාදයක් තමයි මාලිමාව ආවොත් ගෝට වගේ ගෙදර යන්න වෙනව කියල ඔය ඉකොනොමැට්ටා වගේ ගොබ්බ ඔස්තාර්ල හදන බිය. ඇත්තට එය දත්‍ත මත කරන විවාදයක් නෙමෙ, වික්‍රමසිංහගේ විකුණං කෑම ව්‍යාපෘතිය නවතින නිසා වේදනාවට කියන එකක්

    මේ තියන්නෙ එතුමාලගේ ආර්ථිකයේ ප්‍රතිපල

    ලොකේ දියුණු වෙන ආර්ථික සිය දදේනී වලින් 26% බදු එකතු කරගන්නකොට මෙතුමලට පුලුවන් උනේ උපරිම 13% එකතු කරගන්න. හේතුව තමයි ලංකාවෙ බදු ක්‍රමය බදු වල මූලික මූලධර්ම කඩකරලා, සාධාරණත්වය, කාර්‍ය්ක්ෂම බව...

    හර්ශ රනිල් රවී ආණ්ඩුව තිබ්බේ 2015-2019 කෙරුවාව මතකනේ ඩොලර් බිලියන 12.5 ක අතිවිශාල ණය කන්දක් වුණ කෙටි කාලීන ගිනිපොලී ISB 7.7% ට ගත්තෙ ඒ කාලෙ. දැන් මට ඔනේ මේ ඉකොනොමැට්ටා වගේ ගෝතයො ඒ කාලෙ ඒ ආණ්ඩුවට එරෙහිව ලියපු ලිපි බලන්න.

    සජබේ ජෝකරයා හර්ශ ද සිල්වා කියන හිපාටුවා කියනවා සජියා ආවම Digital කරල බදු එකතු කරනවලු 🤭 ඉතින් යකෝ තොපිට අවස්තාව තිබ්නෙ 2015 ඉදන් කලේ ණැනේ.. බදු දැල පුළුල් කරනවලු 🤭 කෝ කලේ නෑනේ ඒ කාලේ ?

    අන්තිමට මේ අය අපිට දෙනවා වාර්ශිකව ට්‍රිලියන 3ක් හිඟ භාණ්ඩාගාරයක් දීල ප්‍රශ්න කරනවා අඩෝ... තොපි කොහොමද මේක ගොඩ ගන්නේ කියල. ඔබ අද බදු ගෙවන්නෙ නැත්තෙ බදු අසාධාරණ නිසා බදුවල ප්‍රතිලාබ ඔබට නොලැබෙන නිසා. කවදාවත් බදු බලෙන් එකතු කරන්න බෑ ඒක තමා රීතිය

    දැන් IMF කියල ණය පොලී නැතිව ප්‍රාතමික ශේෂය දදේනී වලින් 2.3% ක් ගේන්න කියල..හා ඇයි ඒ ණය පොලී නැතිව කීවේ? ඔව් දූශිතයන් මේ දක්වා ඔබෙන් ගන්න බදු වලින් 38% ගෙවන්නෙ ණය පොලී. රනිල්ලාගේ ඉකොනොමැට්ටාලාගේ හර්ශලගේ යාලුවො තමයි බැදුම්කර වල අයෝජනය කරල තියෙන්නේ එහෙම නැතිව ලංකාවෙ සාමාන්‍ය මිනිසුන් නෙමේ. අන්න ඒකයි දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරනකොට මීක් නොකිය හිටිය. ඔව් මහජනතාවට බදු ගහල ඒ ටිකෙන් යාලු මිත්‍රයන්ට ගෙවන්න 🤭

    ඒ වගේම උන්ගේ අතකොලු වන වෙරිටේ රීසර්ච්, ඇඩ්වොකාටා එක වගේ හොරණෑ භාවිතා කරල බොරු බිල්ලෙක් මැවුවා අයවැය ගිහයට මුල රාජ්‍ය සේවය හා රාජ්‍ය ව්‍යවසායකත්ව කියල..අනේද කියන්නෙ 2024 IMF බජට් එකේ එහෙම බරක් භාණ්ඩාගාරයේ නෑ. හොදට බලන්න

    ඔබ ගෙවන බදු වලින් 38% ණය පොලී, 17% ක් සහනාධාර, අනේ රාජ්‍ය සේවකයට 16%යි ඒකෙන් බාගයක් ආර්ක්ෂක සෙවයට.

    ප්‍රශෙන් තියෙන්නෙ අර්බුදය නිර්මාණය කල අය ආයෙත් ඔබව අන්දල හාම්පුතාලට අපේ සල්ලි මංකොල්ල කන්න ක්‍රමයක් හදල දෙන්න යන්නෙ

    දැන් මාලිමාව ප්‍රතිපත්ති එලියට දැම්ම, ඉතම විද්‍යාත්මකව අපි කියනව අපේ යෝජනා වලින් නිශ්චිතව රු බිලියන 110ක් ආදායක් අහිමි වෙනවා, හැබැයි අමතර වියදම් තව බිලියන 90ක් ව්තර එනවා, ඒත් එක පියවගන්න අපිට පැහැදිලි වැඩපිලිවෙලක් තියෙනවා කියල

    පැහැර හල බදු බිලියන් 1,100න් කොටසක් එකතු කරගැනීම

    සීනිබදු වංචාව වගේ ඒව බිලියන 79+++ එකතු කරගැනීම

    රේගුව හා සූරාබදු අහිමිවෙන ඒව එකතු කිරීම

    අහිමි වෙන වැට් බදු එකතු කිරීම..

    ඒ වගේම තක්කඩි රනිල් වික්‍රමසිංහ වගේ දූෂිත පාලකයන්ගේ වර්තන වියදම් හා ප්‍රාග්ධන වියදම් වලින් කොමිස් ගහනවා, අනවශ්‍ය වියදම් කරනවා ( උදා Smart Sri Lanka) එව අපි අඩු කලාම අපිට තව බිලියන 300ක් විතර බේරගන්න පුලුවන්

    හරි අපි කියනව අපිට මේක පුලුවන් කියල 😊

    දැන් මේ මහත්වරු රනිල්ගේ සජිත් ගේ සහන පැකේජ් එක ගැන ලියන්නෙ නෑ නේද.. ඔව් ඒ දෙකම රු බිලියන 500ට වැඩීනේ 🤭

    අන්න එකයි මිත්‍රවරුනි ආචාර්ය මහාචාර්ය තක්කඩි ලංකාවේ දේශපාලනය ගැන පුහු මඩ හදමින් ඉන්නව කියන්නේ.. ඒ නිසා මේ දැණුම ඔබට දෙන්නෙ මේ බොරු කාරයන්ගෙන් රට මුදව ගන්න එක දේශපාලනයෙන් රට බේරගන්නව වගේම බාරදූර වැඩක්. මාලිමාව අනිවාර්යයෙන්ම ඔය IMF වැඩසටහන වෙනස් කරනවා මයි ඒක අනිවාර්යයෙන්ම වෙනවා. ජනතාවට හොඳම අනාගතයක් හදනවා හදනවාමයි. මාලිමාවට ජය වේවා!

    ReplyDelete
  5. සල්ලි නිසානේ මේ සේරම. මං හිතන්නෙ ඉකොනෝ මැටි බොසාට සොම්බි මුත්තාගේ කැම්පේන් එක බාර දෙද්දි මුත්තාගේ යු එන් පී එකෙන් එකෙන් මූට වශියක් කරලා ඉනාවකුත් කවලා 🙄 නැත්තං මෙච්චරම ⁣ට්‍රැක් අවුට් වෙන්න බෑ🙆

    අනුර සහෝදරයාගේ නව ආණ්ඩුව යටතේ අපි මේ ඉකොනෝ මැටි මහතාව පුනරුත්ථාපනය කරනවා.. ආපහු පියවි ලෝකෙට එන්න 😄

    ReplyDelete
  6. කමෙන්ට් ටික කියෙව්වම හිතාගන්න පුළුවන් පොහොට්ටු ඡන්ද ඇත්තටම මාලිමාවට ගිහින් කියල...මේ තරම් ගොනාට ඇන්දෙන්නෙ උන් මිසක් වෙන කවුද ? 🥴

    ReplyDelete
    Replies
    1. පොහොට්ටුවේ උන් හැබැයි යු එන්පී සජබ අමු මැටි මීහරක් තරම් ගොන්කම් කරලා නෑ නේද? උන් රටට ආදරේ නිසා රාජපක්ෂ හොර රැලට රැවටිලා ගියසැරේ ඡන්දය දුන්නා තමයි ඒත් ඒ අනුර දිසානායක සහෝදරයා දිනන්න ඉඩ නෑ කියල හිතපු නිසා සජිත් ප්‍රේමදාස වගේ අමුම ගොන් පොල් බූරුවෙක්ට බලය යන එක වලක්වන්න ඊට වඩා ටිකක් විතර මොළේ තියෙන නන්දසේන මෝලට ඡන්දය දුන්නා. ඒත් රනිල් වික්‍රමසිංහගේ වෝක්ස්වගන් කෙබරය, හර්ෂ ද සිල්වා වගේ දෙකයි පණහේ හොරාචාරියො ගහන බොරු බයිලා සහ බූරු පුතානෝ වගේ අමු ගොන් කතා කියන මීහරකුන්ට රැවටෙන ඊටත් වැඩිය මීහරකුන්ට වඩා නම් මේ සැරේ මාලිමාවට හැරිල ඉන්න පොහොට්ටු බයියෝ සෑහෙන බුද්ධිමත් පිරිසක්. තාම නාමලාගේ කුට්ටි ගොනාගේ පොහොට්ටුවට ඡන්දය දෙන්න ඉතුරු වෙලා ඉන්න උන් නම් ඔන්න සජිත් ප්‍රේමදාස වගේ අමු ගොනෙකු පස්සෙ යන සජබයි මීහරකුන්ට සහ තාමත් රනිල් මුත්තාට කඩේයන උන් වගේ අමුම ගොබ්බ මානසිකත්ව තියෙන උන්ට සමාන උන් කියල කියන්න පුළුවන්. මේ සැරේ මාලිමාවට හැරුණ පොහොට්ටුවේ උන් ඒ අතින් බලන කොට සෑහෙන බුද්ධිමත්ව තීරණ ගන්න පිරිසක්.

      Delete
    2. වොක්ස්වැගන් කතා මොනාද ඉතින් පොහොට්ටුවෙ උන් කියන ගොන් කතාවා හැටියට බන්
      බයියන්ගෙ හරක්කමට යූඑනපී එකෙන් මොලේ දෙන්න අමාරුයි. වෙනම ලෙවල් එකක් ඉන්නෙ

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: