වෙබ් ලිපිනය:

Tuesday, September 3, 2024

ගාල්ල හා මාතර


පසුගිය දවස් වල විවිධ අය විවිධ දේවල් ගැන ලියන මෙන් ඉල්ලීම් කර තිබුණා. සමහර විට ප්‍රසිද්ධියේ. සමහර විට පෞද්ගලිකව. සාමාන්‍යයෙන් මම එවැනි ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වනවා. නමුත් මේ වෙලාවේ ලිවිය යුත්තේ මොන වගේ දේවල්ද කියන එක ගැන දෙවරක් හිතන්න වෙනවා.

ජනාධිපතිවරණයට තවත් තියෙන්නේ දවස් 18ක් පමණයි. මේ වෙද්දී ලංකාවේ සමාජය හොඳටම ධ්‍රැවීකරණය වෙලා. කලාතුරකින් කෙනෙක්ගේ ඇරුණු විට අපේ පාඨකයින් බොහෝ දෙනෙක්ගේත් ඔලුවේ තියෙන්නේ ජනාධිපතිවරණය. මේ වගේ වෙලාවක ආර්ථිකය හා සම්බන්ධ බරසාර දේවල් කතා කරලා වැඩක් නැහැ.

සමහර අය සමහර දේවල් ගැන ලියන්න කියන්නේ අභියෝග විදිහට.

"පුලුවන්නම් මේක ගැනත් ලියන්න!"

ඔය එකම වචන ටික සමහර වෙලාවට ඇත්තටම කාරුණික ඉල්ලීමක්. තවත් වෙලාවට අභියෝග කිරීමක්. තවත් සමහරක් වෙලාවට "මාර්ගෝපදේශනයක්". ඉල්ලීම ඔය කොයි කැටගරියේ වුනත්, ලියන එකෙන් කාට හෝ වැඩක් වෙයි කියා හිතෙනවානම් මම ලියනවා. 

හැබැයි ගොඩක් වෙලාවට අභියෝග විදිහට එන ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වන්න මම මහන්සි වෙන්නේ නැහැ. මොනවා හෝ වලින් පුරවා ගත්ත භාජන වලට අලුතෙන් දේවල් පුරවන්න බැහැ. ඒවා අපතේ යනවා පමණයි. 

ඒ වගේම, වෙනත් අයට "පහර දීමට" අවි සපයා ගැනීම සඳහා කරන මාර්ගෝපදේශන මාදිලියේ ඉල්ලීම් වලට ඒ බව දැන දැනම සමහර වෙලාවට ප්‍රතිචාර දක්වන්නේ ඒ මහින් කවර හෝ ආකාරයක දැනුවත් කිරීමක් සිදු කළ හැකි නිසා. මේ වගේ අවස්ථාවක ඒ වැඩේ වෙන්නේ නැහැ. 

විශේෂයෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂයින්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ගැන හෝ ඡන්ද පොරොන්දු ගැන මේ වෙලාවේ කතා කරන එක කිසිම තේරුමක් නැති දෙයක්. ඒ වගේ දෙයක් ඕනෑම කෙනෙක් කියවා ගන්නේ තමන්ගේ දේශපාලන පක්ෂපාතිත්වය එක්ක ගලපා ගනිමිනුයි. 

ඔය දේවල් ගැන කතා කළා කියලා මැතිවරණ ප්‍රතිඵලයට බලපෑමක් වෙන්නෙත් නැහැ. දැන් මැතිවරණ ප්‍රතිඵලය බොහෝ දුරට තීරණය වෙලා ඉවරයි. තවමත් ප්‍රතිඵලයට බලපෑමක් කළ හැකි ලොකු අයිස් කන්දක් පැත්තක තියෙනවා තමයි. ඒ අයිස් කන්ද ගැන කෙටි අර්ථදැක්වීමක් කළොත් "ෆේස්බුක් එන්නේ නැති ඡන්දදායකයෝ" කියලයි කියන්න වෙන්නේ. ඒ නිසා, ෆේස්බුක් සටන් වලින් තව දුරටත් මහ පොළොවේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. 

ගොඩක් අයට අවශ්‍ය මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන කරුණු ගැන දැනගන්න. මම එහි පිටකවරය දැක්කා. ඒ හැර එය කියවා බැලුවේ නැහැ. මේ වගේ වෙලාවක එය කියෙවුවා හෝ ඒ ගැන ලිවුවා කියලා ඇති වැඩකුත් නැහැ. 

මීට කලින් මාලිමා ආර්ථික ප්‍රතිපත්ති ගැන සටහනක් ලියා තිබෙනවා. එය ලිවුවේ අලුත් ප්‍රතිපත්ති හදන්න කලින්. අවශ්‍යනම් එයින් ගන්න තියෙන දෙයක් ගන්න. නමුත් දැන් අලුත් එක හදලා ඉවරයි. දැන් මොනවා ලිවුවත් ඒක වෙනස් වෙන්නේ නැහැ. මාලිමාව දිනුවොත් වඩා වැදගත් වෙන්නේ ඇත්තටම කරන දේවල් මොනවාද කියන එකයි. ඒ ගැන කතා කරන්න (හෝ නොකරන්න) තව ඕනෑ තරම් කල් තිබෙනවා. 

ඊළඟට මේ ඡන්ද කටේ ආණ්ඩුව කියන දේවල්. ඒවා අදාළ වෙන්නෙත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කුමක්ද කියන එක මතයි. ආර්ථිකය හා අදාළව බැලුවත්, මේ වෙලාවේ වැදගත්ම දේ ඊළඟ ආණ්ඩුව කුමක්ද කියන එකයි. අනෙක් හැම දෙයක්ම ඒ මත වෙනස් වෙන්න පුළුවන් දේවල්. 

හැබැයි කිසිම ස්වයං වාරණයක් දාගෙන නැහැ. ඒ වෙලාවට හිතෙන දෙයක් ලියනවා. ඉදිරි සති දෙක තුනේ කියලා ඒකේ වෙනසක් නැහැ. ඒ නිසා, විවිධ ඉල්ලීම් කරන අයට එහෙම කරන්න එපා කියලා මම කියන්නේ නැහැ. 

අපි මොනවා ලිවුවත් කියවන අය ඒවා කියවා ගන්නේ තමන්ට අවශ්‍ය විදිහට. ඡන්ද කාලයක ඒ තත්ත්වය වඩා දරුණුයි. මගේ පෙර සටහන් කිසිවක මම මැතිවරණ ප්රතිඵල පුරෝකථනය කරලා නැහැ. මම කරලා තියෙන්නේ වෙනත් අය විසින් සිදු කර තිබෙන සමීක්ෂණ හෝ පුරෝකථන පිළිබඳව පැහැදිලි කිරීම් කරන එක. 

මැතිවරණ ප්රතිඵලය ගැන යම් අදහසක් ගන්න පුළුවන් දත්ත අප අවට තිබෙනවා. ඒවා නිවැරදිව කියවා ගන්න එක කාට වුනත් ප්‍රයෝජනවත් කියලා මම හිතනවා. තමන්ගේ දේශපාලන පක්ෂපාතිත්වය අනුව එය වෙනස් වෙන්නේ නැහැ. 

පසුගිය සතියේ මම බදුල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්ක ගැන කතා කළා. බදුල්ල දිස්ත්‍රික්කය හා අදාළව ඉතා හොඳ මට්ටමේ දත්ත තිබෙනවා. මේවා විද්‍යාත්මක සමීක්ෂණ නොවුනත් සමහර විට විද්‍යාත්මක සමීක්ෂණ වලටත් වඩා ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. 

ඊයේ ඉදිරිපත් කළ ප්‍රතිඵලයට අද තවත් නගරයක් එකතු කරන්න පුළුවන්. ඒ ඇටම්පිටිය. ඒ එක්ක බදුල්ලේ නියැදිය 1,686 දක්වා ඉහළ යනවා. ප්‍රතිඵලය විශාල ලෙස වෙනස් වී නැහැ. අලුත් දත්ත එකතු වෙද්දී ප්‍රතිඵලයේ දැනෙන වෙනසක් සිදු නොවීමෙන් පෙනෙන්නේ එය බොහෝ දුරට නිවැරදි බවයි. 

අනුර = 17.4%

සජිත් = 21.7%

රනිල් = 9.3%

නාමල් = 0.5%

සරත් ෆොන්සේකා = 0.1%

තීරණය කර නැති = 51.2%

සුදත්තගේ සමීක්ෂණ වල විශ්වාසනීයත්වය පිළිබඳව මතු වන ප්‍රධානම ගැටලුව ඔහුගේ දේශපාලන නැමියාවයි. ඔහු සෘජු ලෙස කිසිදු දේශපාලන ධාරාවක් වෙනුවෙන් පෙනී සිටින්නේ නැතත්, රාජපක්ෂලා හා පොහොට්ටුව ඉතා දැඩි ලෙසත්, රනිල්ව සෑහෙන තරමකිනුත් විවේචනය කරනවා. මේ විවේචන කරන්නේ ප්‍රසිද්ධියේ. ඒ නිසා, ඔහු සමීක්ෂණ වීඩියෝ ඉදිරිපත් කිරීමේදී හොර බොරු කරන්නේ නැහැ කියා උපකල්පනය කළත්,  ඔහුගේ මත විමසුම් වල නිරවද්‍යතාවය ගැන යම් සැකයක් මතු වෙනවා. උදාහරණයක් ලෙස නාමල්ට ඡන්දය දීමට සිටින කෙනෙක් සුදත්තට ඒ බව නොකියන්න පුළුවන්. 

බදුල්ලේ සමීක්ෂණ කරන්නේ සුදත්ත නෙමෙයි. නමුත් එම සමීක්ෂණ ප්‍රතිඵල සහ සුදත්තගේ සමීක්ෂණ ප්‍රතිඵල අතර විශාල නොගැලපීම් දැකිය නොහැකියි. ඒ අනුව පෙනී යන්නේ සුදත්තගේ සමීක්ෂණ සම්බන්ධව ඉහත සැකය පහසුවෙන්ම දුරු වන බවයි. මෙයට හේතුව ඔහුගේ සමීක්ෂණ වලට සහභාගී වන වැඩි දෙනෙක් ඔහුව නොදන්නා අය වීම වෙන්න පුළුවන්.

සුදත්ත විසින් ඊයේ වලස්මුල්ලේ අලුත් සමීක්ෂණයක් සිදු කර හම්බන්තොට නියැදිය 866 දක්වා වැඩි කර තිබෙනවා. පහත තිබෙන්නේ හම්බන්තොට අලුත් තත්ත්වයයි. 

අනුර = 44.6%

සජිත් = 11.4%

රනිල් = 4.4%

නාමල් = 1.5%

නුවන් බෝපගේ = 0.1%

දිලිත් ජයවීර = 0.1%

තීරණය කර නැති = 37.9%

බදුල්ල හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක දෙකේම තීරණය කර නැති ඡන්ද ප්‍රතිශතයේ යම් අඩු වීමක් දැකිය හැකියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස බදුල්ලේදී සජිත්ගේ ගොඩත්, හම්බන්තොටදී අනුරගේ ගොඩත් සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. මෙය මැතිවරණ දිනය ආසන්න වෙද්දී සිදු විය හැකි දෙයක්. 

"පොහොට්ටු ඡන්ද ඔක්කොම දැන් මාලිමාවට ගිහින් ඉවරයි!"

"පොහොට්ටු ඡන්ද ඕනෑනම් වැඩිම වුනොත් 30%ක් මාලිමාවට යයි!"

"සජිත් දැන් 2019 ඡන්ද ටික අරගෙන ඉවරයි!"

ඔය වගේ "පුරෝකථන" ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන්. නමුත් මම කරන්නේ එවැනි දෙයක් නෙමෙයි. මම කරන්නේ සොයාගත හැකි දත්ත වල තිබෙන තොරතුරු ග්‍රහණය කර ගන්න උත්සාහ කරන එක. ඒ දත්ත සියයට සියයක් නිවැරදි නැහැ. නමුත් නිකම්ම හිතන එක සහ දත්ත මත පදනම්ව හිතන එක අතර පැහැදීලි වෙනසක් තිබෙනවා. 

බදුල්ල හා හම්බන්තොට තරමටම අනෙකුත් හැම දිස්ත්‍රික්කයක් හා අදාළවත් තොරතුරු තිබෙනවානම් එයින් එහාට වෙනත් ආකෘතියක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අවාසනාවට අනෙකුත් හැම දිස්ත්‍රික්කයක් හා අදාළවම මෙවැනි දත්ත නැහැ. ඒ නිසා, යම් ආකාරයකින් ඒ දිස්ත්‍රික්ක වල තත්ත්වය අපෝහණය කරගන්න වෙනවා. ඒ සඳහා ආකෘතියක් අවශ්‍ය වෙනවා.

පොහොට්ටු ඡන්ද කොපමණ ප්‍රතිශතයක් මාලිමාවට ගිහින්ද?

මට මේ ප්‍රශ්නයට පිළිතුරක් අවශ්‍ය වෙන්නේ ඒ පිළිතුරේ උදවුවෙන් වැඩිමනත් තොරතුරු නැති දිස්ත්‍රික්ක ගැන යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් නිසා. උදාහරණයක් විදිහට හම්බන්තොට හා ගාල්ල දිස්ත්‍රික්ක වල පොහොට්ටු ඡන්ද වලින් 70%ක් මාලිමාවට ගිහින් බව පේනවානම් මාතර තත්ත්වයත් ඒකමයි කියන නිගමනයට එන්න පුළුවන්. ඊට පස්සේ මාතර 2020 ප්‍රතිඵල මත පදනම්ව ඇස්තමේන්තුවක් හදාගන්න පුළුවන්. 

දැනට තිබෙන තොරතුරු අනුව, 

- බදුල්ලේ පොහොට්ටු ඡන්ද 31.3%ක් මාලිමාවට ගිහින්.

- හම්බන්තොට පොහොට්ටු ඡන්ද වලින් 67.1%ක් මාලිමාවට ගිහින්. 

මේ දිස්ත්‍රික්ක වලින් ලබාගෙන තිබෙන නියැදි ප්‍රමාණය සහ නියැදි වල ප්‍රමාණ අනුව මේ ඇස්තමේන්තු විශාල ලෙස වෙනස් වෙන්න බැහැ. 

බදුල්ල හා හම්බන්තොට කියන්නේ ලංකාවේ දේශපාලන ධ්‍රැවීකරණයේ අන්ත දෙකක්. ඒ නිසා, අපිට මේ දිස්ත්‍රික්ක දෙක දිහා බලලා ලංකාවේ අනෙකුත් දිස්ත්‍රික්ක වල පොහොට්ටු ඡන්ද කොපමණ මාලිවාවට ගිහින්ද කියන එක ගැන යම් අදහසක් ගන්න පුළුවන්. 

මාතර දිස්ත්‍රික්කය 

මාතර දිස්ත්‍රික්කය කියන්නේ හම්බන්තොට හැරුණු විට ලංකාවේ වඩාත්ම රතු දිස්ත්‍රික්කය කියා කියන්න පුළුවන්. ඒ නිසා ප්‍රතිඵලය හම්බන්තොට ප්‍රතිඵලයට ආසන්න විය යුතුයි. මේ බව පරීක්ෂා කිරීම සඳහා අප සතුව තිබෙන්නේ එක් නියැදියක් පමණයි. ඒ දෙවිනුවර නියැදිය. එක නියැදියක් පමණක් යොදාගෙන ඒ තරම්ම නිවැරදි ඇස්තමේන්තුවක් ලබා ගන්න බැහැ. එහෙමයි කියලා කරන්න දෙයකුත් නැහැනේ. ලද දෙයින් සතුටු වෙන්න වෙනවා. 

පහත තිබෙන්නේ දෙවිනුවර සමීක්ෂණ ප්‍රතිඵලය.(N = 167)

අනුර = 50.6%

සජිත් = 16.9%

රනිල් = 6.3%

නාමල් = 1.3%

බත්තරමුල්ලේ සීලරතන හිමි = 0.6%

තීරණය කර නැති = 30.0%

මාතර දිස්ත්‍රික්කයේ 2019 ඡන්ද ප්‍රතිඵල අනුව මාලිමාව විසින් පොහොට්ටු ඡන්ද වලින් 84.3%ක් ආකර්ශනය කරගෙන තිබෙනවා. 

ගාල්ල දිස්ත්‍රික්කය 

දකුණු පළාතේ ඉතිරි දිස්ත්‍රික්කය ගාල්ලනේ. ගාල්ල දිස්ත්‍රික්කයේ අලුත් සමීක්ෂණ කිසිවක් නැහැ. මාස පහකට කලින් අම්බලන්ගොඩදී කළ එක සමීක්ෂණයක් පමණක් තිබෙනවා. මෙය තනි නියැදියක් වීමේ ප්‍රශ්නයට අමතරව තවත් ප්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් මාස පහකට පසුව තත්ත්වයේ වෙනසක් සිදු වී තිබිය හැකි වීම. දෙවැන්න අම්බලන්ගොඩ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරනවද කියන එක. ඒ නිසා, ප්‍රතිඵලයේ නිරවද්‍යතාවය ගැන ලොකුවට බලාපොරොත්තු තියන්න බැහැ. නමුත් නියැදිය තරමක් විශාල වීම වාසියක්. 

අම්බලන්ගොඩ ප්‍රතිඵලය (N = 296)

අනුර = 29.4%

සජිත් = 22.0%

රනිල් = 4.4%

නාමල් = 3.7%

තීරණය කර නැති = 40.5%

දැන් මේ නියැදියෙන් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය වෙනවා කියලා උපකල්පනය කළොත් ගාල්ල දිස්ත්‍රික්කයේ පොහොට්ටු ඡන්ද වලින් 67.1%ක් මාලිමාව විසින් ආකර්ශනය කරගෙන තිබෙනවා. මෙම අගය හම්බන්තොට ප්‍රතිඵලය සමඟ හරියටම ගැලපෙනවා. 

ගාල්ල හා මාතර තනි නියැදි වලින් ලොකු නිගමන වලට එන්න බැහැ. නමුත් ඒ නියැදි දෙක සහ හම්බන්තොට නියැදි එකට ගත් විට කියැවෙන්නේ එකම කතාවක්. ඒ අනුව, අප‍ට දකුණු පළාත ගැන පොදුවේ යම් තක්සේරුවක් කරන්න පුළුවන්. දකුණේ පොහොට්ටු ඡන්ද වලින් 70%ක් පමණ මාලිමාවට ගිහින් බව පැහැදිලියි. 

5 comments:

  1. රනිල්ට අවශ්‍ය තමන් ජනපති නොවෙනවා නම් අනුර ජනපති නොවෙන්න වැඩ සැලැස්වීම.

    ඉන්පසු අනුරයා එලවා ගෙන නැවතත් වැඩ බලන ජනපති වීම.

    ReplyDelete
  2. Hello Economatta, thanks for your contribution. can you compare the behavior of the US citizen and SL citizen just before the election. It seems to be that SL are more interested in knowing the winning candidate. There is/was no discussion about policies. As you said here, we select the party first and then find something in the policy of the selected party to justify their selection. I think the rational people read the policy first and decide the candidate second. what do you think?

    ReplyDelete
  3. කොලඹ, ගම්පහ,කුරුණෑගල, මහනුවර කොහොම වෙයිද

    ReplyDelete
  4. සුබ උදෑසනක් වේවා ඔබ සැමට.. සියලුම සහෝදර සහෝදරියන්ට...

    අද තැපැල් චන්දය ආරම්භ වෙනවා. අප මාතෘභූමිය විනාශ කර හප කෝට දැමූ කාලකන්නි 76 වසරක දූෂිත පාදඩ අමන වනචර දේශපාලන ක්‍රමය එළවා දමා, පළමු වතාවට රටේ ජනතාවගේ සැබෑම ජනතාවාදී මානවවාදී පාලනයක් ඇති කිරීමේ පළමු වෙඩිමුරය තැබීමට රජයේ සේවකයෝ බහුතරයක් එක සිතින් එකවෙලා ඉන්නවා❤️

    රටේ ඇත්ත අවබෝධ කරගෙන, රජයේ ආයතන ආරක්ෂා කර ගැනීමටත් රජයේ සම්පත් විකුණන දූෂිත වික්‍රමසිංහ රජය පලවාහැරීමට සහ රජයේ සේවය තවත් වැඩිදියුණු කර හොඳ වැටුපක්, හොඳ වරප්‍රසාද සහිතව තෘප්තිමත් පුළුල් ශක්තිමත් රාජ්‍ය සේවාවක් ඇතිකිරීමට NPPය දිනවීමට චන්දය දෙන රාජ්‍ය සේවක ඔබ සැමට මෙන්න මේ කරුණු වැදගත් වෙයි....

    බැලට් පේපරයේ අංක 16ට තමයි අනුර සහෝදරයා ගේ නම සහ ලකුණ තියෙන්නේ

    *මාලිමාව ලකුණ ඉදිරියේ පමණක්, එක කතිරයක් පමණක් දමන්න*
    *1,2,3 අංක දැමීම්, දෙවන හෝ තෙවන මනාප දැමීම් කරන්න යන්න එපා*

    ඒව අනවශ්‍යයි වගේම ඔබේ වටිනා චන්දය අවලංගු වීමට හේතුවක් වෙන්න පුළුවන්
    (කතිරය ගැසූ පසුව 1/2/3 ආදී ඉලක්කම්නුත් ලිව්වොත් ඔබේ චන්දය අවලංගු වෙනවා)

    කොහොමත් අනුරට වැටෙන චන්දවල දෙවන හෝ තෙවන මනාපයක් ගණනය කෙරෙන්නේ නෑ. දූෂිත කල්ලියේ අපත අපේක්ෂකයන් වන රනිල්, සජිත්, නාමල් සහ වෙනත් අපේක්ෂකයන්ට පළමු මනාපය ලබා දෙන අයගේ විතරයි දෙවන හෝ තෙවන මනාප ගණනය කරන්නේ

    "එම නිසා ඔබේ වටිනා චන්දය අවලංගු වීමට නොදී හරියට දමන්න, මෙය ඔබට ලැබෙන අවසන් අවස්ථාව නිසා මෙවර හරියටම ඔබේ වටිනා ඡන්දය ප්‍රකාශ කිරීමට අනිවාර්යයෙන්ම ඉටා ගන්න"

    ඉතින් අද දවසේ මේ තොරතුරු පුළුවන් තරම් නොදන්නා අයට දැනුවත් කරන්න.
    ඔබේ whatsapp status, facebook posts සහ whatsapp,facebook groups අතරේ *මේ message එක forward කර හැකිතාක් share කරන්න*

    ජය
    🧭✖
    #NPPsupport

    ReplyDelete
  5. චන්දෙ ගැන ලියල තේරුමක් නෑ ඉකොනො. ඔයාගෙ අස්සය දිනන්නෙ නෑ. දිනනව දිනනව කිව්වට පරදින උන් දිනන්නෙ නෑ

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: