වෙබ් ලිපිනය:

Sunday, September 22, 2024

පළමුව පළමු මනාපය! දෙවනුව ඉතිරි මනාප!!

දැන් ජනාධිපතිවරණයේ පළමු වටය අවසන්. පළමු වටයෙන් කිසිදු අපේක්ෂකයෙකු විසින් 50%කගේ කැමැත්ත ලබාගෙන නැහැ. දැන් තිබෙන්නේ දෙවන හා තෙවන මනාපද එකතු කර එම කැමැත්ත විමසීමේ අදියරයි. මේ ඉඩකඩ මුල සිටම තිබුණත්, මෙතෙක් පැවති ජනාධිපතිවරණ සියල්ලේදීම ඡන්දදායකයින් 50%කගේ කැමැත්ත ලැබූ තරඟකරුවෙකු සිටි බැවින් දෙවන හා තෙවන මනාප සලකා බලන්නට සිදු වූයේ නැහැ. මේ අනුව, පළමු අපේක්ෂකයින් දෙදෙනාට පළමු මනාප නුදුන් ඡන්දදායකයින්ගේ දෙවන හා තෙවන මනාප වලට මෙවර "අපමණ අගයක්" ලැබී තිබෙනවා. කෙසේ වුවත්, බොහෝ දෙනෙකු දෙවන හා තෙවන මනාප භාවිතා නොකර තිබීමට ඉඩ තිබෙන බැවින් අවසන් ප්‍රතිඵලයේ වෙනසක් වීමට ලොකු ඉඩක් නැහැ.

පළමු හා දෙවන අපේක්ෂකයින් අතර පරතරය ඡන්ද 1,268,880ක් වන අතර තෙවන හා අනෙකුත් අපේක්ෂකයින් විසින් ලබාගෙන තිබෙන ඡන්ද ප්‍රමාණය 3,317,662ක්. ඒ අනුව, වෙනසක් සිදු වීමටනම් දෙවන අපේක්ෂකයා විසින්'එම ඡන්ද වලින් 38%ක පමණ වාසියක් ලබාගත යුතුයි. එවැන්නක් වීමේ ඉඩක් පෙනෙන්නට නැහැ.

ටිකක් වෙලා ගියත් ඉක්මණින්ම නිරෝගී දරුවෙක් ලැබෙයි. කේන්දර හදන එක ඉන් පසුව කරමු! එතෙක් ලංකාවේ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදය සමරමු!!





6 comments:

  1. ඉකොනොමැට්ටා,

    මම හිතන්නේ ලංකා ඉතිහාසය තුල පළමුවන වතාවට දෙවෙනි මනාප ගණන්කරාට පසුවත් ඔය සියයට හතලිස් දෙකක් පමණක් ලබාගෙන ලක්‍ෂ පණස් හයකට ටිකක් වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන සිටින අනුර කුමාර දිසානායක සහෝදරයා ලංකාවේ නවවෙනි ජනාධිපති වෙනවා. ඒක හොඳයි.

    හැබැයි ඉස්සරහට වෙන්න තියෙන දේවල් මේ “සුන්දර” මොහොතේ කියන්න ඕන නෑ. ඔය අනුරට ඡන්දය දීපු බහුතරය ඒ දවස්වල නන්දසේනට කඩේ ගිය කාලේ කිව්ව විදිහට උරුලෑවෝ ගිය පාරක් සුද්ද කරන එක ලේසි නෑනේ! (මෙහෙම කිව්වාට උරුලෑවෝ ගිය පාරවල් මොන වගේ ද කියලා මමනං දන්නේ නෑ. අවුරුදු පහකට කලින් මෙහෙම කතාවක් අහලා තියෙන හින්දා පුරුද්දට කිව්වේ).

    බයි ද වේ මෙවර අනුරගේ ජයග්‍රහණයට අදාළ මුල් ගල තිබ්බේ එවක පැවති යහපාලන ආණ්ඩුව යටතේ අගමැති රනිල්ට ඡන්දය දිනන්න බැරි නිසා පලාත් පාලන මැතිවරණ ක්‍රමය විකෘති කරලා මන්ත්‍රීවරුන් තුන්දාස් ගාන නමදාස් ගානක් කරලා ඡන්දය දිනන පක්ෂය සුලුතරය වෙන විදියට මහා අවුල් ජාලයක් කරලා 2018 පෙබරවාරි 10 වැනි දා පවත්වපු පළාත් පාලන ඡන්දයේ දී කියන එකයි බොහෝ දෙනෙකුගේ අදහස.

    ඇත්තටම එම මැතිවරණයෙන් ප්‍රාදේශීය සභාවලට තේරි පත්වුණු අය ගැන කැමැත්තක් අපේ ගම්වල ගෝඩක් මිනිස්සුන්ට තිබුණේ නෑ. රටටම පිළිලයක් වෙලා බදුපිට බදු ගහලා ජනතාව දැඩිලෙස පීඩාවට ලක් කරපු යහපාලන කියන කාලකණ්නිම ආණ්ඩුව නමැති එපාකරපු මගුල ඉවර කරන්න ඕන හින්දා ලංකාවේ බහුතර මිනිස්සු දූෂිත රාජපක්ෂ පවුලේ ව්‍යාපාරයක් විදියට උන් අලුතෙන් හදපු අපතයන්ගෙන් පිරුණ අම්බලමක් වුණ පොහොට්ටුව කියන කල්ලියට ඡන්දය දුන්නා. ඒත් පොහොට්ටුවෙන් ඒ මැතිවරණයට ඉදිරිපත් කරලා තිබුණු අය අතර කිසිම හැකියාවක්වත් හැදියාවක්වත් නැති සෑහෙන අතිවිශාල අපතයෝ පිරිසක් හිටියා. ඒ බව දැන දැනම මිනිස්සු පොහොට්ටුවට ඡන්දය දුන්නේ වෙන විකල්ප දේශපාලන ඔප්ෂන් එකක් නොතිබුණ නිසයි. කොටින්ම පොහොට්ටුව කොච්චර නරක වුණත් යහපාලන ආණ්ඩුව කියන අතිශය සාහසික තුච්ඡ ආණ්ඩුවට වඩා ඒ අපරාධකරුවන් වුණත් හොඳයි කියල පැහැදිලිව පෙනෙන්නට තිබූ නිසායි.

    එවකට ජනපති සිරිසේනට එජාප ආණ්ඩුව ඇතුලෙන්ම ආපු දැඩි අවලාද අපහාස කුමන්ත්‍රණ නිසාත් එජාපයට එරෙහිව ආපු දැඩි ජනතා විරෝධය සිරිසේනගේ පිටට පැටවීමට රනිල්ලා කටයුතු කරපු එකෙන් ඇතිවු දැඩි කලකිරීම මත විපක්ෂයේ මහින්ද සමග හදපු කුප්‍රකට දවස් පනස් දෙකේ නීතිවිරෝධී ආණ්ඩුව, පාස්කු ප්‍රහාරය මැද්දේ මොන ජාතියෙන් හරි යහපාලනය ඉවර කරලාම දාන්න ඕන කියලා ලංකාවේ බහුතර මිනිස්සු තීරණය කළා. එය අවශ්‍යයෙන්ම කළ යුතුව තිබුණා, ඉතින් ඒ උවමනාව වෙනුවෙන් “ගෝඨාභය රැල්ල” ඉස්සරහට ආවා.

    ඒ දවස්වල අපි ඒ තේරිමේ වැරැද්ද ගැන දන්න දන්න අයට කිව්වත් කවුරුවත් ඒක ගණන්ගත්තේ නෑ. ඇත්තෙන්ම රැලි කියන ඒවා නවත්තන්න හදන එකම මහ මෝඩ වැඩක්. (ඔයරැලි ගැන නම් වෙනමම ලියන්න ඕනේ).

    Cont'd

    ReplyDelete
    Replies
    1. ඊළඟට 2019 ජනපතිවරණයේදී ඡන්ද ලක්‍ෂ 69 ක් සියයට 52% ඡන්දය ඇරගෙන ගෝඨාභය ජනාධිපති වුණා. ඒත් තමන්ගේ වගකීම් ඉටු කරන්න අවශ්‍ය පිරිස් බලය යොදාගන්න පුළුවන්කමක් ගෝඨාභයට තිබුණේ නෑ. ඒ වෙනුවට ආමිකාරයෝ ටිකක් ලංකරගෙන දෙපැත්තෙන් චක්ගෝලයෝ දෙන්නෙක් තියාගත්තා. අනික හැම වැඩක්ම ශවේන්ද්‍ර සිල්වා කියන ආමිකාරයා ලව්වා කරවාගන්න බැලුවා.

      එතකොට මහ පිරිස් බලයක් ඇති කරගෙන හිටියත් වියපත්ව දුබලව හිටපු වයසක මහින්ද රාජපක්‍ෂ පැත්තකට වුණා. “කැමැති දෙයක් කරගත්තදෙන්” කියලා අනිත් අයත් අක්‍රීයවුණා. ඒත් තමන් රටේ ආර්ථිකය එම අර්බුදය මැද කළමණාකරණය කළයුත්තේ කෙසේද ප්‍රමුඛතාව දිය යුතු මොනවාට ද කියන එකවත් ගෝඨාභය දැනගෙන හිටියේ නෑ.

      ගෝලීය කොරෝනා වසංගතය වෙලාවෙත් දැනුම් තේරුම් ඇති අය අවධාරණය කළේ ආර්ථික ප්‍රශ්නයේ බරපතලකම තේරුම් ඇරගෙන වැඩ කරන්න කියලා. ඒත් ඒ ගැන වගේවගක් නැතුව කොරෝනාව ගැන කතා කරන ප්‍රධානම පුද්ගලයා බවට ශවේන්ද්‍ර සිල්වා වගේ රටක ආර්ථිකක් ගැන කිසිම තේරුමක් නැති පුද්ගලයෙක් පත් කළා. ඉතින් උදේ හවස රූපවාහිනි බලන අයට දකින්න ලැබුණේ එක මූණයි. අන්තිමට විදේශ විනිමය සංචිත පතුලටම හි‍ඳෙද්දි තමයි ගෝඨාභය කලබල වුණේ. ඉතින් ඉන්ධන ගෙන්වීමට ඩොලර් ඉතුරුකරගැනීමට පී. බී. ගේ ලණුව කාලා පොහොර නාඩගම පටන්ගත්තා. ඒකට විරුද්ධව විපක්ෂ බලවේග දැඩිව උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කළ අතර මෑන්ව බලයට ගෙනාපු ගම්වල මිනිස්සුත් කට වහගෙන පැත්තකට වුණා.

      ඊළඟට ඩොලර් බිලියන පහක ඉලක්කයක් හඹාගිය නන්දසේනගේ චීන පෝට්සිටි වැරදි තීරණයට එරෙහිව පැමිණි ඉන්දු ඇමරිකා විරෝධතාවයේ ප්‍රතිඵලයක් විදියට ලංකාවේ රෙජීම් චේන්ජ් අරගල නාට්‍යය පෙන්නපු විදිහ අපි හැමෝම දන්නවා. ඒ පස්සෙන් හිටියේ කවුද කියන එකත් දැන් හැමෝටම රහසක් නෙවෙයි. හැම දෙයක් ම අවුල්වෙද්දි දෙපැත්තෙන් තියාගෙන හිටිය චක්ගෝලයෝ දෙන්නත් ශවේන්ද්‍ර සිල්වාත් විදේශ සබඳතා මත අක්‍රීය වුණා. කට්ටියම හෙමින් හෙමින් මග අරින්න පටන්ගත්තා. ඉතින් නම්බු පිටින් තනතුරෙන් අයින්වෙලා පැත්තකට වෙන්නේ නැතුව රනිල්ට අගමැතිකම දීලා දිගටම ජනපති විදියට ඉන්න ගිය ගෝඨාභයට රටිනුත් පැනලා යන්න වුණා, ඒ රනිල් දිපු තව ගේමක්

      Delete
    2. ඔය විදිහට 2022 රෙජීමය මාරු කරන ව්‍යාපෘතිය යටතේ නන්දේ පැනලා ගියාම හිස්වෙච්ච ජනාධිපති පුටුවට නන්දසේන සහ රාජපක්ෂ පවුල සතු පොහොට්ටුවෙන් පත් කරගත්තේ මිනිස්සු විසින් දැඩිලෙස ප්‍රතික්‍ෂේප කරපු රනිල් කියන අප්‍රසන්න චරිතයයි. තමන්ගේ ඡන්දයෙන් ගෙදර යවපු රනිල් තමන් විසින් පත් කරගත්ත ජනාධිපතිවරයා විසින්ම උඩට ගන්නවා දැකපු මිනිස්සු දැඩිලෙස අන්දමන්ද වුණා. මිනිස්සු ඉස්සරහට යන්න බයවෙච්ච මන්ත්‍රීවරු, ඇමැතිවරු රනිල් වටේ කඳවුරු බැඳගත්තා. ඒත් ඒ පස්සෙන් යන්න ඕනකමක් මිනිස්සුන්ට තිබුණේ නෑ. තමන්ට නායකයෙක් නෑ කියලා දැනගත්ත මිනිස්සු දැඩිලෙස අසරණ වුණේ මහ දේශපාලන රික්තයක් නිර්මාණය කරලා.

      මෙන්න මේ දේශපාලන රික්තය අස්සේ තමයි අනුර දිසානායක ඉස්සරහට එන්න පටන්ගත්තේ.රනිල් තරම් දේශපාලන පක්‍ෂ විනාශ කරපු කෙනෙක් මේ දක්වා ලංකාවේ පහළවෙලා නෑ. ඉස්සරහට පහළවෙන්නෙත් නැතිවෙයි. සමහර විට ලෝකයේම මේ වගේ අපත විනාශකාරි මෘගයෙක් පහළ වෙලා නැතුව ඇති අපි දන්න ඉතිහාසය ගත්තම එහෙම එකෙක් අපි දන්නේ නෑනේ.

      රනිල් මුලින් ම විනාශ කළේ එක්සත් ජාතික පක්‍ෂය. මේ වෙද්දි රට පුරා විසිරිලා බලය තහවුරු කරගන්න පුළුවන් දෙවැනි මට්ටමේ නායකයෝ දහ දෙනෙක්වත් එක්සත් ජාතික පක්‍ෂයට නෑ. මැති ඇමැතිවරු ජනාධිපති එක්ක කෙළින් ම ගනුදෙනු කළාට මිනිස්සු ඒ ගනුදෙනුව කරන්නේ ප්‍රාදේශීය නායකයෝ හරහා. එහෙම නායකයෝ නැති තැනක මිනිස්සු නන්නත්තාර වෙනවා. ඒත් රනිල් ඒ ගැන හිතුවේවත් නෑ.

      තමන්ගේ පක්‍ෂය විනාශ කරපු රනිල් 2015 මුලදී සිරිසේනට භාර දීපු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටත් අත තිබ්බා. ඉතින් මේ වෙද්දි ශ්‍රී ලංකා එක කෑලි කෑලිවලට කැඩිලා මකබෑවිලා ගිහිල්ලා ඉවරයි. රනිල් ඊ ළඟට අත තිබ්බේ 2022 දී පොහොට්ටුවට. තමන්ගේ ආරක්‍ෂාව සහ ඉදිරි පැවැත්ම ගැන විතරක් හිතපු පොහොට්ටු සෙට් එක රනිල් ළඟට පැන්නා. පොහොට්ටුව හෝදලා ගියා. ඊට පස්සේ රනිල් අතගැහුවේ සජිත්ගේ සමගි ජන බලවේගය නට්ටං කරන වැඩේට. එක්සත් ජාතික පක්‍ෂයට ඉතුරුවෙලා හිටිය පිරිස් සජිත් පස්සේ යන එක නවත්තන එක තමයි රනිල්ගේ අරමුණ වුණේ. රනිල් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන ඉලක්කය බවට පත් කරගත්තෙත් සජිත්. ඉතින් ඒ මාර්ගයෙන් සමගි ජන බලවේගයත් දුර්වල කරලා දාන්න රනිල්ට පුළුවන් වුණා.

      ඇහැට පේන දේශපාලන අස්ථාවරකම් මැද්දේ තැග්ගැහෙන්න මිනිස්සු කැමැති නෑ. මහ සංකීර්ණ විස්තර ගැන මිනිස්සු හිතන්නෙත් නෑ. ඉස්සරහට වෙන්න පුළුවන් දේවල් ගැන අංජනම් බලන පුරුද්දක් මිනිස්සුන්ට නෑ. මිනිස්සුන්ට ඕන නායකයෙක්. මේක හරි සරල තීරණයක්. ඉක්මනින් ම කේතුමතිය හදන්න ඉදිරිපත් වෙච්ච නායකයෙක් තමන්ගේ ඉස්සරහට ඇවිල්ලා. ඒ මනුස්සයා මහ ගැම්මකින් ඇවිදිනවා. ඒ මනුස්සයා පස්සේ මිනිස්සු මහ ගොඩක් යන බවකුත් පේනවා. ඒ නායකයා කියන කතා ඇහුවත් නැතත් මොනවා හරි වැදගත් දෙයක් කියනවා ඇති කියලා මිනිස්සු හිතනවා. අඩු ගානේ හොරු නැති කරලා දාන එක වුනත් මදෑ!

      ඉතින් මිනිස්සු තීරණයක් ගත්තා. අනුර දිසානායකට ලක්‍ෂ පණස් ගානක් ඡන්ද ලැබිලා. දෙවෙනි මනාප ඉවරවෙලා ඔහු ජනපති ලෙස ඔන්න නිවේදනය කළා. හෙට හවස් වෙද්දි අනුර සහෝදරයා ජනාධිපති තනතුරේ දිවුරුම් දෙයි.

      Delete
    3. හැබැයි ඒ ගමන්ම පාර්ලිමේන්තුව විසුරුවන්න තියෙන ඉඩ නම් බොහොම අඩුයි. තමන්ගෙන් හිස්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරට කෙනෙක් (ලක්‍ෂමන් නිපුණාරච්චි) නම් කරලා, ඒ නම ගැසට් කරවලා, මන්ත්‍රීකමේ දිවුරුම් දෙන්න සළස්සලා, ඊට පස්සේ ඇමැතිකමකුත් දුන්නාම තමයි පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් වෙන්නේ. මේ වැඩ ඔක්කොම කරන්න මහ වෙලාවක් ඕන කියන එක නෙවෙයි මේ කියන්නේ.

      “මේ වෙලාවේ පාර්ලිමේන්තුව විසුරුවන්න එපා” කියලා IMF එක කියපු බවකුත් ආරංචියි. IMF එක විසින් කරගෙන යන බලහත්කාරකමට ගැලැපෙන විදිහට නීති 60 ක් පනවන්න සහ සංශෝධනය කරන්න තියෙනවා. ඒ අතරින් මහ බැංකු පනත, ආර්ථික පරිවර්තන පනත වගේ කීපයක් මේ වෙද්දි සම්මත කරගෙන ඉවරයි. තව වඩු වැඩ ගොඩක් ඉතුරුවෙලා තියෙනවා. කවුරු ජනාධිපති වුනත් දැන් පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් තමන්ගේ බලහත්කාරකම්වලට අවනත වෙනවා කියලා IMF එක දන්නවා. ඉතින් මේ වැඩ කරවාගන්න නම් දැන් තියෙන පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න ඕන. ඇත්තෙන්ම මෙහෙම වෙයි ද වෙන මොකක් හරි කරයි ද කියන එක හෙට අනිද්දා වෙද්දි අපිට බලාගන්න පුළුවන්.

      පාර්ලිමේන්තුව විසුරෙව්වත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70. (7) අනුව්‍යවස්ථාවේ සඳහන් කරලා තියෙන විදිහට “පාර්ලිමේන්තුව නියමිත දිනයට කලින් රැස්වීම අවශ්‍ය වන ස්වභාවයක හදිසි තත්ත්වයක් උද්ගත වී ඇති බවට ජනාධිපතිවරයා සෑහීමකට පත් වුවහොත් විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව ප්‍රකාශනයක් මගින්” නැවත කැඳවන්න ජනාධිපතිවරයාට බලය තියෙනවා. මේ කතන්දර හොඳින්ම දන්න කෙනෙක් දැනටමත් ආර්ථික බෝම්බ ගණනාවක් ම වළදාලා තියෙන බවකුත් ආරංචියි. ඒවා ඇත්ත ද කියලා පස්සේ බලමු.

      කොහොම හරි මේ වෙද්දි මිනිස්සු නායකයෙක් තෝරගෙන. මිනිස්සුන්ට බලාපොරොත්තු තියෙනවා. හැමෝටම ඉස්සරහින් මධ්‍යම පන්තියත් ඉන්නවා. ඉතින් දැන් අපි කරන්න ඕන බොහොම නිවිහැනහිල්ලේ මේ සිද්දවෙන දේවල් දිහා බලාගෙන ඉන්න එක. ඉවසීමෙන් ලැබෙන්නේ සැනැසීම නෙවෙයි. ඊළඟ නාට්‍යය බලන්න අවස්ථාවක්. ඉතින් අපි කලබල වෙලා ඒ අවස්ථා නැති කරගන්නේ මොකටද? එහෙම නේද ඉකොනොමැට්ටා?

      Delete
  2. 2024 සැප්තැම්බර් 22 දින පස්වරු 8.00

    නිමවිය වෙහෙසකර සටනක් අවසනදී
    නිල ප්‍රතිපලය එනතුරු සැම බලා හිඳී
    ස්තුති කතාවක් තවමත් යනව ඇදී
    නිවේදනය කියවේවා කල් නෑදී

    අකුදි, සජිත්, නාමල් වැනි අයත් ඇවිත්
    නිසලව වාඩිවී ස්තුති අසා සිටිත්
    මැසි මදුරුවන්ගේ නම කියැවුණේ නැතත්
    කියැවෙයි නම් වැලම - දිගටම ඉදිරියටත්

    මෙහෙම දිගු කතා රටකට ඕනෑද
    කෙටි හා ලුහුඬු වෙන්නට ඕනෑ නේද
    දැන් පැය බාගයත් පැනලා - ඇති නේද
    දැන්වත් ප්‍රතිපලය නිල ලෙස කියනවද?

    2024 සැප්තැම්බර් 22 පස්වරු 8.33

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: