වෙබ් ලිපිනය:

Sunday, September 22, 2024

නවවන ජනපතිට සුබ පැතුම්!


මේ වන විට ජනාධිපතිවරණයේ අවසන් නිල ප්‍රතිඵල නිකුත් වී අවසන්. රටේ ව්‍යවස්ථා නීතිය අනුව එම ධුරයට තේරී පත්ව සිටින්නේ අනුර කුමාර දිසානායකයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායේ ශක්තිය ලොවට පෙන්වමින් තවත් වරක් ඉතා සුමට බල හුවමාරුවක් සිදු වෙමින් පවතිනවා.

අනුර කුමාර දිසානායක මෙම ජනාධිපතිවරණ තරඟය ජය ගන්නේ ඉතා අසීරු හා තියුණු සටනකින් පසුවයි. මෙහිදී ඔහුගේ කඳවුර විසින් යොදාගත් උපාය මාර්ග කිසිදු අයුරකින් ලංකාවේ දේශපාලන පක්ෂ විසින් සම්ප්‍රදායිකව මැතිවරණ වලදී යොදා ගත් උපාය මාර්ග වලට සම කළ නොහැකියි. ඔවුන් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී නොවූ ඔවුන්ගේ අතීත භාවිතාව තුළ සාර්ථකව භාවිතා කළ ඇතැම් සාර්ථක උපාය මාර්ග ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට රැගෙන එමින් සහ නූතන තාක්ෂණයේ උදවු ලබා ගනිමින් ඉතා ප්‍රතිඵලදායක මහජන සන්නිවේදනයක් සිදු කළා. 

කෙසේ වුවද, අනුර කුමාරගේ ජයග්‍රහණයට හේතු වූ ප්‍රධාන සාධකයක් වූයේ ප්‍රතිවිරුද්ධ කඳවුර තුළ වූ බල සංයුතියේ ස්වභාවයයි. මීට පෙර ලංකාවේ පැවති සෑම ජනාධිපතිවරණයකදීම දැකිය හැකි වූ පැහැදිලි ද්වි-ධ්‍රැව විභේදනය මෙවර එලෙසින්ම සිදු වුනේ නැහැ. මාලිමා කඳවුර ඇතුළු තවත් බොහෝ දෙනෙකු විශ්වාස කළේ මෙවරද පෙර මෙන්ම එම ද්වි-ධ්‍රැව විභේදනය සිදු වනු ඇති බවයි. 

අනුර කුමාර විසින්ම සඳහන් කළ පරිදි ඔහුගේ දැඩි විශ්වාසය වූයේ ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය ඉතා අඩු මට්ටමකට නොවැටේනම් එය 50% මට්ටම ඉක්මවීම පිළිබඳ කිසිදු සැකයක් නැති බවයි. මෙය සමාජවාදී පක්ෂ වල සාමාජිකයින් කාලයක් පුහුණු වී සිටින චින්තනයේ ස්වභාවය නිසා ඔවුන් ලෝකය තේරුම් ගන්නා ආකාරය වෙන්න පුළුවන්. 

මහ පොළොවේ පවතින තත්ත්වය දැකීම ඇස් කණ තිබෙන ඕනෑම කෙනෙකුට කළ හැකි දෙයක්. අසීරු කාර්යය වන්නේ මහ පොළොවේ පවතින තත්ත්වයෙන් දැකීමෙන් පසුව ඒ මත පදනම්ව එයින් ඔබ්බට දේවල් දැකීමයි. එසේ දැකිය හැකි වූ ඇතැම් අයට මෙවර ජනාධිපතිවරණ තරඟයේ ස්වභාවය නිවැරදිව හඳුනා ගත හැකි වුණා. 

අනුර කුමාර මුල් වටයේ ජයග්‍රාහකයෙකු වීම මෙන්ම 50% සීමාව නොඉක්මවීමද බොහෝ දුරට ගණිතමය යථාර්තයන් ලෙස ලියැවී තිබුණු දේවල්. එම තත්ත්වය තුළ ජනාධිපතිවරණ ප්‍රතිඵලය කෙරෙහි බලපෑ හැකි තීරණාත්මක සාධකය වී තිබුණේ රනිල් වික්‍රමසිංහ විසින් ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතයයි. මේ හේතුව නිසා අප මුල සිටම ඒ පිළිබඳව විමසිලිමත්ව සිටියා. මැතිවරණ ප්‍රතිඵලය කෙරෙහි රනිල් වික්‍රමසිංහ විසින් ලබා ගත් ඡන්ද ප්‍රමාණය බලපා ඇති ආකාරය දැන් ඕනෑම කෙනෙකුට දැකගත හැකියි. ප්‍රතිඵලය මහ පොළොවට වැටුණු පසු කාටත් පැහැදිලිව පේනවා. 

මෙතෙක් ලංකාවේ ජනාධිපතිවරණ තරඟයක් ජයගත් සෑම අපේක්ෂකයෙකු විසින්ම 50% සීමාව ඉක්මවීමට සමත්ව තිබෙනවා. මෙහි වාසිය වනුයේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයට 50%ක ජනතා අනුමැතියක් හිමිව ඇති සේ සැලකිය හැකි වීමයි. මෙහි නෛතික හා සදාචාරත්මක සිද්ධාන්තය වන්නේ අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනමත විචාරණයකට ඉදිරිපත් කර ඒ සඳහා 50%ක අනුමැතිය ලබා ගත් සේ සැලකිය හැකි වීමයි. අනුර කුමාර දිසානායක ජනාධිපති සේ තේරී පත් වන්නේ මෙම වාසිය නොමැතිවයි. 

කෙසේ වුවත්, බොහෝ කරුණු හා අදාළව ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනාගේම ප්‍රතිපත්ති වල ඒකමිතියක් තිබීම අපට දැකිය හැකි තත්ත්වයක්. උදාහරණයක් වශයෙන්, ප්‍රතිවාදීන් කවර විවේචන සිදු කළත්, මාලිමා කඳවුරේ වගකිව යුතු අය මැතිවරණ සමයේදී පැහැදිලිව සඳහන් කළේ දැනට ක්‍රියාත්මක ආර්ථික ස්ථායීකරන වැඩපිළිවෙළ සාර්ථකව දිගටම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඔවුන්ද පෙනී සිටින බවයි. 

මාලිමා අපේක්ෂකයෙකු ජනාධිපති සේ පත් වීම හා අදාළව බොහෝ අයට තිබුණු එක් කණස්සල්ලක් වූයේ ඔවුන්ගේ කණ්ඩායමට ප්‍රමාණවත් පළපුරුද්දක් නොමැති බවයි. මෙය බොරුවක් නොවුනත් විශාල ප්‍රශ්නයක් නෙමෙයි. එක් අතකින් මාලිමා (ජවිපෙ) මන්ත්‍රීවරුන් කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවේ විවිධ කාරක සභා ආදියෙහි කටයුතු කර තිබෙනවා. අනෙක් අතින් ඕනෑම කෙනෙකුට යම් දෙයක් අලුතෙන් කරද්දී යම් හැදෑරීමක් කරන්න වෙනවා. ඒ සඳහා අවශ්‍ය වන්නේ කැපවීමයි. 

අනෙක් ප්‍රධාන ප්‍රශ්නය රටේ ආර්ථිකය නිවැරදි ලෙස කළමනාකරණය නොකිරීම නිසා නැවත වරක් සියල්ලන්ටම විඳවන්නට සිදු වේද යන්නයි. රටේ ආර්ථික ස්ථායීත්වය සදහා අවශ්‍ය වන්නේ හොඳ වැඩ පිළිවෙලක්. එය ක්‍රියාත්මක කරන නායකත්වය වෙනස් වූ පමණින් ආර්ථිකයක් අස්ථායී වන්නේ නැහැ. විශේෂයෙන්ම මාලිමාව හා අදාළව ගත් විට ඔවුන් වරද්දා ගන්නා තෙක් බලා සිටිනා පිරිසක් සිටිනා බැවින් ඔවුන් අඩු වශයෙන් යම් කාලයක් යන තුරු ඇල් වතුරත් නිවා බොන ස්ථාවරයක සිටිනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි.

නව ජනපති අනුරට මුහුණ දෙන්නට සිදුවන ප්‍රධානම අභියෝගය ලෙස මා හඳුනා ගන්නේ ආර්ථික කළමණාකරණය නොව දේශපාලන කළමනාකරණයයි. ඔහුව තෝරා පත් කරගෙන සිටින පිරිස විවිධ අපේක්ෂා ඇති ඉතාම විෂමජාතීය පිරිසක්. මාලිමා කඳවුරේ ප්‍රධාන ඉල්ලීම වුයේ "අප කෙරෙහි විශ්වාසය තබන්න" යන්නයි. 

දැන් 42%ක පිරිසක් විසින් ඉල්ලා සිටි අයුරින්ම මාලිමා කණ්ඩායම කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. රටේ ජනපතිගේ ඉලක්කය විය යුත්තේ එම 42%ක පිරිසගේ විශ්වාසය නොබිඳිමින්, යම් හේතුවක් නිසා තමන් කෙරෙහි විශ්වාසය නොතැබූ 58%ක කණ්ඩායමේද විශ්වාසය දිනා ගැනීම සදහා කටයුතු කිරීමයි. අනුර ඇතුළු කණ්ඩායම සතු දේශපාලන පළපුරුද්ද මේ සඳහා උදවුවක් විය හැකි නමුත් මෙය අභියෝගාත්මක කටයුත්තක්. ඊට සාපේක්ෂව බැලූ විට ආර්ථිකය කළමනාකරණය කර ගැනීම වඩා පහසු තාක්ෂනික වැඩක්.

නව ජනපතිට අපේ සුබ පැතුම්!

11 comments:

  1. සුබ පැතුම් නෙවෙයි ඉකොනෝ ඇත්තටම රනිල් ඇතුලේ ගහල තියෙන ගැට ලෙහන්න අනුර ගිය ඉස්කෝල මදි වෙයි..
    ඉංදියාව ඇමරිකා එක්සත් ජනපදය එක්ක තියෙන ඩීල්, භාරත ඉන්දු ඇමරිකන් ඉන්දීය සාගර භූ දේශපාලන ඩීල්බැලැන්ස් කරල ගේම ගහන්න ලේසි නැහැ,

    අයි එම් එෆ් එක එක්ක ගහල තියෙන ගැට එක්ක සුලුතර රජයකට අර පණත් කීපයක්ම වෙනස් කරන්න අමාරුයි නේද?
    අන්තිමට පුද්ගලිකරණය කරන එක ඔය වෘත්තිය සමිතිකාරයන් අතින්ම කරවන්න වෙන්නේ, විශේෂයෙන්ම ලොකුම ප්‍රශ්නය තමයි දැනට පවතින දාහත්වන අයිඑම්එෆ් මූල්‍ය අරමුදලේ ගිවිසුම මීට පෙර ඒවා වගේ නෙවෙයි ඉතාම බරපතල ගැටයකට අහුවෙලා ඉන්නේ රටම, අපි කොච්චර අකමැතිම වුණත් මේ සැරේ ගහල තියෙන අයිඑම්එෆ් ගැටෙන් ගැලවෙන්න හරිම අමාරුයි, කොටින්ම කිව්වොත් මේ සැරේ IMF ගිවිසුම කඩන්නම බැහැ.

    අනුරත් ඒක කියනවා එයා IMF ගිවිසුම සංශෝධනය කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගෙන මූල්‍ය අරමුදල එක්ක සාකච්ඡා කරලා වඩාත් මානුෂීය ලෙස එහි ඇති දැඩි සහ රටට හානිකර කොන්දේසි හැකි උපරිම ලෙස ලිහිල් කිරීමට උත්සාහ දරන බවත් එසේ කරමින් වඩාත් ජනතාවාදී ලෙස එය ඉදිරියට ක්‍රියාත්මක කරනව කියල.

    ඒකේ තියෙන විදුලිබල මණ්ඩලය පුද්ගලිකරණය කිරීම, ඉන්දීය අමුල් ආයතනය සමග මිල්කෝ පුද්ගලිකරණය, ශ්‍රී ලංකන් එයාලයින්ස් පුද්ගලිකරණය වගේ දේවල් ගොඩක්ම කරන්න තියෙනව.

    ඒ වගේම රනිල් ඩීල් දාල තියෙන
    ඉන්දියාව එක්ක ගිවිසගත්ත ගිවිසුම් තියෙනව චීනයේ හ්වාවි (Huawei) එකට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජයේ 51% ක කොටස් විකිණීමේ ඩීල් එක කරන්න ඕන, ඒවා හ්වාවී එකට
    දෙන්න ගහපු ගිවිසුම් පවා දැනට අත්සන් කරල තියෙනව ඒව ක්‍රියාත්මක කරන්න වෙයි. ඒවයින් අනුරගේ ජනප්‍රියත්වයට කෙළවෙයි ඒත් එක පැත්තකින් ඒක කරන්න අනුරට ලේසියි වර්ජනය කරන කට්ටිය ඉන්නෙත් එයා ලගමනෙ.

    ReplyDelete
    Replies
    1. ආන් ඒකයි අනුර අසාර්ථක උනොත් අසාර්ථක වෙන්නේ. නැතුව අනුරගේ සහා මාලිමා දේශපාලකයන්ගේ නොහැකියාවක් නිසා එහෙම නෙමෙයි.

      අනුරට කලින් කෙහෙල් කැණ වැට පැනලා වගේ.

      Delete
  2. ලංකාව අවුරුදු 100ක් ආපස්සට ගියා.

    ReplyDelete
  3. නාකි සොම්බියාට කෙලවුනු එක ගැන අප්‍රමාණ සන්තොෂයක් තියෙන්නෙ.

    ReplyDelete
  4. රනිලට යූඑන්පී චන්ද ආපහු ඇද්දගන්න බැරිවීම ගැන මොකද හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. කපටි රනිල් මුත්තා උගේ ප්ලෑන් එක ක්‍රියාත්මක කළා, ඌට ඕන වුණේ මේ සැරේ සජබයට කෙළවලා දාන්න, ඒක කර ගත්තනේ. ඊළඟට මුත්තගේ අරමුණ ජාතික ජන බලවේගය මාලිමාවත් විනාශ කරලා බලය අල්ලන්න, ඒකට නම් රටේ බහුතර ජනතාව ඉඩ දෙන්නේ නෑ මොකද ජාතික ජන බලවේගය මාලිමාව කියන්නේ පොහොට්ටුව වගේ හොරුන් අපතයන් තක්කඩියන් එකතුකර ගෙන හදපු පවුලේ පක්ෂයක් නෙවෙයි සමාජයේ පතුල බිඳගෙන බිමේ මුල් ඇදපු ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් නිසා මේ සැරේ තමයි සොම්බි මුත්තාගේ හොට පැටලෙන්නේ, අපි බලාගෙන ඉඳිමු මුත්තා දොඹෙන් යනහැටි 😅🤣😂

      Delete
  5. අනුරට හිමි වුණේ ජය නොව මාවතය
    ඒ මග දිගේ ගොස් ඔහු ජයගත යුතුය
    ගමන අසීරුය, බාධක අපමණය
    ඒ අභියෝග අනුරල ජයගනු ඇතිය

    ඇලඩින්ගේ පහන නැත පිරිමදින්නට
    හොරු හතලිහට වැඩියෙන් ඇත මඩින්නට
    පොදු ජන පැතුම් තියෙනව ඉටු කරන්නට
    ඒ කාරියට ඉඩ දෙමු මාලිමාවට

    ReplyDelete
  6. දකුනේ චන්ද වලින් බලයටපත්, සුලුතරයේ ජනාධිපතිට අපගේ සුභ පැතුම්

    ReplyDelete
  7. ලංකාවේ දේශපාලනය තුල ගාමක බලවේගය වෙන්නේ ප්‍රබල මධ්‍යම පාන්තික ජනතාවයි. රනිල් වික්‍රමසිංහගේ දූෂිත තක්කඩි පාදඩ පාලනය විසින් හඳුන්වා දුන් දරාගත නොහැකි වූ අධික පේයී ටැක්ස්/ ආදායම් බදු ආදි අධික බදු බර, අධ්‍යාපන සෞඛ්‍ය සහ ආහාර මත පැනවූ අධික වැට් බදු බර, අධික තීරුබදු නිසා ආනයනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුලු ආනයනය කරන භාණ්ඩ ගණනාවක මිල අධික ලෙස ඉහල යාම ආදි බොහෝ ප්‍රබල ප්‍රශ්න වලින් දැඩි ලෙස බැට කෑ මධ්‍යම පාන්තික බහුතර ජනතාව රනිල් වික්‍රමසිංහගේ දූෂිත ජඩ දේශපාලනයට නැවතීමේ තිත තැබීමට මාලිමාව දිනවීමට තීරණය කළා.

    කෙසේ නමුත් ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් ඊට වඩා ප්‍රබල දේශපාලන දැක්මක් සහිතව වැඩ කරන්න වෙනවා, මෙවර මාලිමාවට ඡන්දය දී AKDව දිනවන්න ඡන්දය දුන්නේ බහුතරය ගියසැරේ ජනපතිවරණයේදී ගෝඨාභය දිනවන්න වැඩකරපු දැන උගත් මධ්‍යම පාන්තික පිරිසේ බහුතරයක් විසින්...අප වැනි ජීවත්වීමේ අරගලය නිසා මාලිමාවට හැරුනු හිටපු එජාප පාක්ෂිකයින්ටත් වඩා හිටපු පොහොට්ටු ඡන්දදායකයන්ට මෙහි වැඩි ගෞරවය හිමිවිය යුතුයි, නමුත් එහි ඉතිරි කොටස RW, නාමල් සහ දිලිත් අතර බෙදී ගිහින්.. එයිනුත් නාමල් සහ දිලිත් ඉදිරි කාලය තුල ඔවුන්ගෙන් ගිලිහීගිය ඡන්ද පදනම නැවතත් ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම දැකගන්නට ලැබෙයි. අප එය දැන්සිටම වැලැක්වීමට හැකි උපරිම උත්සාහය දැරීම අත්‍යවශ්‍ය බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා, මොකද මෙවර ඉතාම සීමිතව ඉතාම කෙටිකලෙක අඩු වියදමින් කළ කැම්පේන්වලින් ඔවුන් ඊට අවශ්‍ය මූලික පදනම දාගෙන තියෙන බවත් අප මනාව තේරුම්ගත යුතුයි

    ගියවර 2019දී සජිත්ට දාපු ඡන්ද ප්‍රමාණයෙන් බහුතරයක් ඔහුට ආපහු ලැබිලා.. මේ ඡන්ද අතර දෙමල මුස්ලිම් ඡන්ද හැරුණු විට අනිකුත් ඡන්ද වලින් සැලකිය යුතු පිරිසක් එම පක්ෂයේ යාවජීව සාමාජික නොවන අය. මේ අය මොන අදහසින් සජිත් වගේ අතිශය විසුළු සහගත අසාර්ථක කෙනෙක්ට ඡන්දෙ දෙනවා ද කියලා හිතාගන්නත් අමාරුයි.

    මාලිමාවට සැලකිය යුතු බරක් සහිතව ඉදිරි මහමැතිවරණය ජයග්‍රහණය කිරීමට අමුතු පොතක් එළිදැක්වීම කළයුතුයි ජනතාව ගොනාට අන්දන්න සමත් වන ඉතාම ආකර්ෂණීය එකක් විය යුතුයි එය.

    අනුර කුමාර දිසානායකට මේ රට ගොඩ නැගීමට අවංක හැඟීමක් තිබෙන බව ජනතාවට පෙනෙන පරිදි ඉතාම හැඟීම්බරව කටයුතු කළ යුතු කතා කළයුතු නිසාම ඔහු පළමුව කල යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ලබා දෙන අසීමිත වරප්‍රසාද ඉතාම ඉක්මනින්ම අහෝසි කිරීමයි. මන්දයත් එසේ කිරීමට ඔහු සමත් වුණොත් පමණක් ඊළඟට එළබෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගය (NPP) බහුතර මන්ත්‍රී ආසන සංක්‍යවක් ලබාගැනීමට හැකිවෙනවා.

    ලංකාවේ දේශපාලනය තුල කාලයත් සමග සමහරක් මන්ත්‍රී වරුන්ට ලැබෙන වරප්‍රසාද සමග ඔවුනට මන්ත්‍රීකම රැක ගැනීමේ දැඩි ආශාවක් පහල වෙනවා.
    හොඳම උදහරණය 2004දී ජනතා විමුක්ති පෙරමුණ ආසන 39ක්‌ දිනා ගත්තා. එහෙත් එම 39 දෙනාගෙන් අද කීදෙනාද ඔවුන් සමග සිටින්නේ? බොහෝ දෙනා මුදලට විකුණුනා. මෙවර එසේ නොවීමට නම් මන්ත්‍රීවරුන් යනු වරප්‍රසාද නැති ඉතාම අඩු පහසුකම් සහිත සාමාන්‍ය ගරු සේවයක් බවට පත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක්.

    එමනිසා අනුර කුමාර දිසානායක සහෝදරයා කලයුතු පළමු කාර්ය විය යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන වරප්‍රසාද සම්පූර්ණයෙන්ම පාහේ අහෝසි කිරීමයි. බාර් පර්මිට් වැලි පර්මිට් වගේ ඒවා ඕපන් ටෙන්ඩර වලින් සාමාන්‍ය ජනතාවට ලබාගැනීමට ඉඩ ලබාදිය යුතුයි වැඩිම ඉල්ලුමට. මන්ත්‍රීවරුන්ට ටොයෝටා ප්රියස් වගේ හයිබ්‍රිඩ් කාර් ධූරය දරන කාලයට පමණක් ලබාදිය යුතුයි. ධූරය නැති වුණාම කාර් එක බාර දෙන්න ඕනේ. මන්ත්‍රීවරුන්ට වගේම නිලධාරීන්ට තියෙන රථගාය සහ ස්කොඩ් රථපෙලපාලි මේනියාව නැත්තටම නැති කරන්න ඕන. මේ වගේ දේවල් ගොඩක් තියෙනවා සේරටම කලින් කරන්න ඕන ඒවා.

    රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය මෙතනින් නිම වේවි, ඔහුට ආයේ දේශපාලන අනාගතයක් නෑ, ඔහුට හිමි විය යුතු ඉතිහාසයේ කුණුබක්කිය නීසා රනිල් දැන් ටොයිලට් එකට දාලා ෆ්ලෂ් කරලා දාන්නයි තියෙන්නේ, අවුරුදු 75ක රනිල් දේශපාලනයෙන් ඉවත් වෙද්දී මෙවර රනිල්ට සහාය දුන් පොහොට්ටුවෙන් රනිල්ට ආපු උන් ආපහු නාමල්ට දිලිත්ට නැත්නං සජිත්ට සෙට් වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඔය සෙට් එකම පාර්ලිමේන්තුවෙන් එලවා දමා හැකි උපරිමයෙන් මාලිමාවේ ජාතික ජන බලවේගයේ විශාල පිරිසක් ඊළඟ මැතිවරණය තුළින් පාර්ලිමේන්තුවට පත්කර ජාජබ නියෝජනය තූනෙන් දෙකක් දක්වා වැඩිකරගන්න උපරිම ලෙස ක්‍රියාත්මක විය යුතුයි.

    #මාලිමාවට හතරෙන් තුනක්
    #NPP අලුත් පාර්ලිමේන්තුවක්
    # NPP 🧭 X

    ReplyDelete
    Replies
    1. 58% විරුද්ධයි කියන එක ජනාධිපතිවරණයේදී ප්‍රශ්ණයක් නොවුනට පාර්ලිමේන්තු මැතිවරණයේදී විශාල ප්‍රශ්ණයක් බව මතක තියා ගන්න. ඔය තත්ත්වයේ වෙනසක් නොවුනොත් අනුරට ලැබෙන්නෙ තමන්ට බහුතරය නැති පාර්ලිමේන්තුවක්.. මේ තරම් මහා සුනාමියක් වගේ පෙන්නපු රැල්ලෙන් හම්බුනේ 42%යි කියන්නෙ රැලි කියන තරම් විශාල නෑ කියලා තමා. ඒක හින්දා අනුරට හතරෙන් තුන කෙසේ වෙතත් අඩුම 113 වත් හදා ගන්න මාර ගේමක් ගහන්න වෙනවා. එහෙම නැතුව ජනාධිපතිකම් අහෝසි කිරිලි වගේ කතා සුරංගනා කතා විතරයි.. මට තේරෙන විධිහටනම් විධායක ජනාධිපතිකම අහෝසි කිරීම මේ රටට විනාශයක් වෙනවා..

      මගේ කියවීම අනුව රනිල්ගෙ දේශපාලනය මෙතනින් ඉවර නෑ සහ ඔව්හු නැවත් පාර්ලිමේන්තුවට එනවා..

      Delete
  8. දැන් ඉකොනෝ මහත්තයා මොකක්ද කරන්න ඉන්නේ.

    ජනතා විමුක්ති පෙරමුණේ පෙචාරක අන්සේට සෙට් වෙනවද

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: