වෙබ් ලිපිනය:

Saturday, April 6, 2019

යකුන් එළවා නාගයින් සමගි කළේ කවුද? (තෙවන කොටස)


බුදුන්ගේ දෙවන ලංකාගමනය පිළිබඳ කතාවෙන් කියැවෙන්නේ පූර්ණ සූර්යග්‍රහණයක් ගැන වෙන්න පුළුවන් වගේම, පළමු ලංකාගමනය පිළිබඳ කතාවෙන් කියැවෙන්නේ චන්ද්‍රග්‍රහණයක් ගැන වෙන්නත් බැරිකමක් නැහැ. වංශ කතා අනුව පළමු ලංකාගමනය සිදුවෙන්නේ පුර පසළොස්වක දවසක රාත්‍රී කාලයේදීයි.

"ලංකාද්වීපයෙහි මනෝරම්‍ය වූ ගං ඉවුරෙහි තුන් යොදුන් දිගු එක් යොදුන් පුළුල්  වූ රම්‍ය වූ  මහා නාග වන නම් උයනෙහි යක්ෂයන්ගේ යුද්ධ භූමියෙහි ලක්දිව් වැසි යකුන්ගේ මහා නිශාචර සමාගමය ප්‍රසිද්ධ විය."

"ඒ මහා යක්ෂ සමාගමයට පැමිණි සර්වඥතෙම එහි සමාගම මැද ඔවුන්ගේ හිස්මතුයෙහි මහියංගනය ථූපයාගේ ස්ථානයෙහි අහස්කුස වැඩ සිටි සේක. ඔවුන්ට භයජනක වූ වර්ෂාවාතාන්ධාකාරාදිය මැවූ සේක."

දැන් මේ කතාවේ හැටියට වෙන්නේත් බුදුන් විසින් යක්ෂයින්ගේ හිස් මතුපිට සිට අන්ධකාරයක් මවන එකයි. පසුව අවශ්‍ය දේ සිදුවීමෙන් පසුව ගිණිගෙන දිලිසෙන්නාක් වැනි ආලෝකයක් දැකිය හැකි වෙනවා.

"ඔවුන්ගේ බියද ශීතද අන්ධකාරයද නසා ඒ දුන් භූමියෙහි පත්කඩ අතුට එහි වැඩහුන් සර්වඥතෙම එතැනින් ඒ පත්කඩ ගිනිගෙන දිලියෙන්නක් කොට හාත්පසින් විශාල කළ සේක." 

මේ ආකාරයට පෙනුනේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවන අවස්ථාවක පෙනෙන රතු හඳද?

විජය පැමිණියායැයි සැලකෙන කාලය හා ඊට පෙර සියවස් වල අවම වශයෙන් ලංකාවේ වෙනස් සංස්කෘතීන් දෙකක් පැවතී ඇති බව පැහැදිලියි. රට ඇතුළේ යක්ෂයින් හා මුහුදුබඩ පළාත් වල නාගයින් වශයෙන්. ලංකාවේ නාගයින් වත්මන් ඉන්දියාවේ මුහුදුබඩ පෙදෙස්වල විසූ නාගයින් සමඟ සමීප සංස්කෘතික සම්බන්ධතාවක් පවත්වාගෙන ඇති බවත් පැහැදිලියි. නමුත්, යක්ෂයින් හා නාගයින් අතර එවැනි සම්බන්ධතාවයක් තිබී ඇති බවක් පෙනෙන්නේ නැහැ.

යක්ෂයින්ගේ ප්‍රතිරෝධය හමුවේ ගංගා දිගේ රට ඇතුළට සංක්‍රමණය වෙන එක නාගයින්ට බොහෝ අසීරු කටයුත්තක්ව තිබෙන්න ඇති. එසේ තිබියදී නාගයින් ගෝකණ්ණයේ සිට මහවැලි ගඟ දිගේ ඉහළට ටිකෙන් ටික ඇවිත් මහියංගනය හරියටම ව්‍යාප්ත වෙලා හිටියා වෙන්න පුළුවන්. නමුත්, මහියංගනය ආසන්නව යක්ෂයින්ගේ බලය ලොකුවටම තියෙන්න ඇති.

වංශ කතා අනුව මහියංගනයේ යක්ෂයින් කඳුකරයට (ගිරි දිවයිනට) එළවා දමන්න හැකි වී තිබෙන්නේ බුදුන්ගේ උදවුවෙන්. නාග හා දේව ගෝත්‍රිකයින්ට යක්ෂයින් එළවා මහියංගනයේ බලය තහවුරු කරගන්න උදවු වුනේ දුරුතු පසළොස්වක පෝ දිනක සිදු වූ පූර්ණ චන්ද්‍රග්‍රහණයක්ද?

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදු වීම එතරම් දුලබ දෙයක් නොවන නිසා කිසියම් ඓතිහාසික සිදුවීමක් කාල නිර්ණය කර ගැනීමට එවැන්නක් පිළිබඳ දැනුමකින් ලොකු පිටිවහලක් ලැබෙන්නේ නැහැ. නමුත්, පූර්ණ සූර්යග්‍රහණයක් කියන්නේ ගොඩක් දුර්ලභ සිදුවීමක්.

බුදුන්ගේ දෙවන ලංකාගමනය සිදු වූ තැන සේ සැලකෙන්නේ නාගදීප දූපතයි. එම ස්ථානය පිහිටා තිබෙන්නේ උත්තර අක්ෂ භාග 9°36'17.8"හි හා  නැගෙනහිර දේශාංශ 79°46'07.1"හියි. ආසන්න වශයෙන් මුහුදු මට්ටමේම තිබෙන තැනක්. මේ විස්තර ඇසුරෙන් අපට බුද්ධ කාලය අයත් වන ක්‍රිස්තු පූර්ව පළමු සහශ්‍රය තුළ එහි සිට දැකිය හැකි වූ පූර්ණ සූර්යග්‍රහණ හඳුනාගත හැකියි. එම සහශ්‍රය තුළ නාගදීපයට දැකිය හැකි පූර්ණ සූර්යග්‍රහණ සිදුව තිබෙන්නේ හතරක් පමණයි. පහත තිබෙන්නේ අදාළ විස්තරයි.

-ක්‍රිස්තු පූර්ව 1055 මාර්තු 18 දින දවල් 12:51:42 සිට 12:57:05 දක්වා මිනිත්තු 5කුත්  තත්පර 23ක කාලයක්
-ක්‍රිස්තු පූර්ව 480 අප්‍රේල් 19 දින උදේ 8:40:27 සිට 8:44:13 දක්වා මිනිත්තු 3කුත්  තත්පර 46ක කාලයක්
-ක්‍රිස්තු පූර්ව 375 පෙබරවාරි 28 දින හවස 5:11:04 සිට 5:12:07 දක්වා මිනිත්තු 1කුත්  තත්පර 03ක කාලයක්
-ක්‍රිස්තු පූර්ව 335 ජූලි 04 දින හවස 4:34:57 සිට 4:36:19 දක්වා මිනිත්තු 2කුත් තත්පර 43ක කාලයක්
-ක්‍රිස්තු පූර්ව 168 ජූලි 17 දින උදේ 9:39:18 සිට 9:44:29 දක්වා මිනිත්තු 5කුත් තත්පර 10ක කාලයක්

අශෝක රජුගේ රාජ්‍යාභිෂේකය සිදු වූ වසර ක්‍රිස්තු පූර්ව 268 හෝ ආසන්න වසරක් බව සෑහෙන තරම් නිවැරදිව හඳුනාගෙන තිබෙනවා. මහා වංශයට අනුව, විජයාගමනය හා සම්බුද්ධ පරිනිර්වාණය සිදුව තිබෙන්නේ ඊට වසර 218කට පෙරයි. මෙය බොහෝ ගැටළු සහගත හා අවිනිශ්චිත මූලාශ්‍රයක් වුවත් දැනට තිබෙන වඩාත් පිළිගත් මූලාශ්‍රයයි. ඒ අනුව සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ වසර සේ පිළිගැනෙන්නේ ක්‍රිස්තු පූර්ව 486 වසරයි. එසේනම්, දෙවන ලංකාගමනය සිදුව තිබිය යුත්තේ ඊට වසර 40කට පෙර ක්‍රිස්තු පූර්ව 526දීයි. නමුත්, මෙම කාලයට ආසන්නවම සිදුව ඇති නාගදීපයට දැකිය හැකි පූර්ණ සූර්යග්‍රහණය සිදුව ඇත්තේ ක්‍රිස්තු පූර්ව 480දීයි. එනම් බුද්ධත්වයෙන් නොව සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර පහකට පමණ පසුවයි.

සම්බුද්ධ පරිනිර්වාණය හා විජයාවතරණය සිදු වුනේ එකම දවසක කියන එක නිවැරදි තොරතුරක් සේ පිළිගැනීම ගොඩක් ගැටළු සහගත දෙයක්. මහා වංශය අනුව සම්බුද්ධ පරිනිර්වාණය සිදුවන විට මගධයේ රජු අජාසත්. එතැන් සිට ධර්මාශෝක දක්වා මගධය පාලනය කරන රජවරුන් ගණන 29ක්. නමුත් මේ වසර 218 තුළ ලංකාව පාලනය කරන්නේ රජවරුන් 8 දෙනෙක් පමණයි. ඒ අතරින් ඇතැම් රජවරුන් පිළිගත නොහැකි තරම් දිගු කලක් ජීවත් වී තිබෙනවා.

වැඩිම වුනොත් මහින්දාගමනයේ සිට නිශ්චිත ක්‍රමවේදයකට වාර්තා කෙරුණු ලංකා ඉතිහාසයේ ඊට පෙර කොටස ප්‍රතිනිර්මාණය කළ කවුරු හෝ විසින් සම්බුද්ධ පරිනිර්වාණය හා විජයාවතරණය කෘතීම ලෙස ගැලපුවා වෙන්න සෑහෙන ඉඩක් තිබෙනවා. ඒ අනුව, විජයාවතරණය සිදුවුණේ සම්බුද්ධ පරිනිර්වාණයට පසුව වෙන්නත් සැලකිය යුතු ඉඩක් තිබෙනවා. වත්මන් ඉන්දියාවේ විවිධ පෙදෙස් වල සිට සංක්‍රමනික කණ්ඩායම් පැමිණීම සම්බුද්ධ පරිනිර්වාණයටත් පෙර සිටම දිගින් දිගටම සිදු වුනා වෙන්න පුළුවන්. විජය ඇතුළු කණ්ඩායම එසේ පැමිණි එකම හෝ මුල්ම කණ්ඩායම කියා හිතන්න අමාරුයි.

ඓතිහාසික කරුණු වල නිරවද්‍යතාවය සනාථ කරගැනීමේදී හා කාල නිර්ණය කර ගැනීමේදී ප්‍රධාන වශයෙන්ම කරන්නේ ලිඛිත සාක්ෂි හා පුරා විද්‍යාත්මක සාක්ෂි ගලපන එකයි. ප්‍රශ්නයකට තියෙන්නේ පුරා විද්‍යාත්මක සාක්ෂි කාල නිර්ණය කළ හැක්කේ විශාල ඇස්තමේන්තු වරදක් එක්ක වීමයි. මේ ක්‍රමවේදයට අනුපූරයක් ලෙස ඓතිහාසික කරුණු සමඟ සූර්යග්‍රහණයක් වැනි ස්වභාවික සංසිද්ධියක් ගැලපිය හැකිනම් අන්තිම තත්පරයටම ඓතිහාසික සිද්ධි කාල නිර්ණය කළ හැකියි. කේන්ද්‍ර සටහන් ආදිය ඇත්නම් ඒවා ඇසුරෙනුත් එවැන්නක් කළ හැකියි.

නාගදීපයට පෙනෙන ලෙස බුද්ධ කාලයට ආසන්නව සිදුව තිබෙන එකම පූර්ණ සූර්යග්‍රහණය සිදුව තිබෙන්නේ ප්‍රලම්බිත ජුලියන් කැලැන්ඩරයෙන් ක්‍රිස්තු පූර්ව 480 අප්‍රේල් 19 වෙනිදා උදේ 8:40-8:44 අතරයි. මේ දවස හරියම බක් අමාවක දවසක් වීම විශේෂ කරුණක්. එවැන්නක් සිදුවෙන්න ඉඩ තිබෙන්නේ අවුරුදු දහස් ගණනකට වරක් පමණයි.ඊට අමතරව, මේ පූර්ණ සූර්යග්‍රහණය සිදුවෙන්න වසර පහකට පමණ පෙර දුරුතු පුර පසළොස්වක පෝය දවසක රෑ මහියංගණයට (උත්තර අක්ෂාංශ 7°19'11.1" හා නැගෙනහිර දේශාංශ 80°59'17.5", මුහුදු මට්ටමේ සිට මීටර 100 පමණ) පෙනෙනු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්ද සිදුවී තිබෙනවා. ඒ ක්‍රිස්තු පූර්ව 485 ජනවාරි 31 වෙනිදා මධ්‍යම රාත්‍රී 11:39 සිට 1:17 දක්වා කාලය ඇතුළතයි.

5 comments:

  1. ඉකොනොමැට්ටා එංගලන්තයේදී අයින්ස්ටයින්ගේ බුද්ධිය පැරදවූ ලංකාවේ නිෂී උග්ගල්ල ගැන දන්නවද?

    එංගලන්තයේ චැනල් 4 නාලිකාව මගින් පවත්වනු ලැබූ Child Genius නමැති රූපවාහිනී තරගාවලිය ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලාංකික සම්භවය ඇති 12 හැවිරිදි දැරියක පසුගිය දා පැවති එහි අවසන් තරගයේදී සමත් වුණා. මැන්චෙස්ටර් ප්‍රදේශය නියෝජනය කරමින් එයට සහභාගීවූ ඇය නිෂී උග්ගල්ලයි.

    මැන්චෙස්ටර් හි උසස් පාසලක ඉගෙනුම ලබන ඇයව පාසලේ අය හදුන්වන්නේ “මානව කැල්කියුලේටරය“ නමිනි. අයින්ස්ටයින් IQ පරීක්ෂණයකට ලක් කර නැතත් ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ මෙන්සා සමාජය පවසන්නේ අයින්ස්ටයින්ගේ IQ මට්ටම 160 ක් බවයි. මෙන්සා සමාජය කළ එවැනිම පරීක්ෂණ අනුව නිශී දියණියගේ IQ මට්ටම 162 යයි ඔව්හු පවසති. අනෙකුත් සමාජයන් ඇය පිළිබඳ කරන ලද IQ පරීක්ෂණ වලදී ඒ මට්ටම 200 අභිබවා ගොස් තිබේ. හැමෝම කියන්නේ ඇය ඉදිරියේදී භෞතික විද්‍යාවේ සියලුම ප්‍රශ්න විසඳා නොබෙල් ත්‍යාගය 5 -6 වතාවක් ලබනු නිසැකය කියලා. හැමෝම කියන දෙයක් තමයි ලංකාවේ හිටියානම් මෙහෙම ජයග්‍රහණයක් ලැබෙන්නේ නෑ කියන එක. ඒ කියන්නේ බෞද්ධ සම්භභවයක් තිබුනත් ක්‍රිස්තියානි රටකට ගියොත් තමයි තැනක් ලැබෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නිශී උග්ගල්ල කියන්නේ ගැහැණියක්. සාමාන්‍යයෙන් ගැහැණුන්ට තියෙන්නේ සංයුක්ත චින්තනයක්. එමනිසාම බටහිර භෞතික විද්‍යාවතුල නව ප්‍රවාද ගොඩනැගීමේදී ඇයට අවාසි විය හැකියි.

      අනිත් අතට IQ අගය මත කෙනෙක් බටහිර භෙතික විද්‍යාවේ සමතෙක් වේ යැයි නිගමනය කරන්න බෑ

      Delete
    2. http://mentalfloss.com/article/573985/albert-einstein-facts?fbclid=IwAR0VaQqlbcEw4V0Q9C0CQ-y3TPztKHxJuAYJ17W8UxhgX5egwGM1jJoGJe0


      "4. NOBODY KNOWS EINSTEIN'S IQ.
      Einstein's IQ was never tested, though that hasn't stopped people from guessing. Lots of websites claim the physicist's IQ was 160, but there's simply no way of verifying that claim. "One fundamental problem with the estimates I've seen is that they tend to conflate intellectual ability with domain-specific achievement," Dean Keith Simonton, professor emeritus of psychology at the University of California, Davis told Biography. For all we know, Einstein's aptitude in arenas outside of physics might have rivaled that of an average Joe."

      Delete
  2. මේ ගැන මටත් කියවීමක් තියෙනවා. නාගයන් සමගිකර යක්ෂයන් එළවීම ගැන මමත් මීට පෙර කල්පනා කළ දෙයක්. අපි වැඩි දෙනෙක් නොසිතන ඉන්දියානු ව්‍යාප්තවාදයක් තිබිල තියෙනවා. මේව මේ සුලඟට හසා ගෙන ආපු නැවු නෙමෙයි. සැලසුම් සහගත ගමන් බිමන් . නාග ගෝත්‍රිකයන් වෙළද ප්‍රජාවක්. ධීවර කර්මාන්තයෙත් යෙදුනා. යක්ෂ ගෝත්‍රිකයන් කෘෂිකර්මය මත පදනම් වුනා. වාරිකර්මාන්ත ඔවුන්ගෙ. මහසෙන් රජුගෙ යුගයෙත් ඔවුන් බලවත් ප්‍රජාවක්. යකුන් ලවා වැව් සෑදුවා කියල කියන්නෙ වැව් හදන තාක්ෂණැය යකුන් ගෙන් ගත්ත කියන එක. මහසෙන් රජු ගෙ සොහොයුරිය යකෙකුට බන්දල දීල යක් පවුලකින් විවාහයක් රජු කරග්ත්ත කියන්නෙ ඔවුන් නොතකාහැරිය නොහැකි බලවත් ප්‍රජාවක් කියන එක. ක්‍රි ව 477 වෙනකොටත් යක්ෂයන්ගෙ බලය ශක්තිමත්ව තිබිල තියෙනවා.

    ඔබ කියන ලෙසම නාගයන් ජාත්‍යාන්තර ප්‍රජාවක්. සුනාමිය නිසා ඔවුන්ට බලවත් හානි වෙන්න ඇති. නාග්යන් ගෙ ගැටුම් ඉන්දියානු මැදිහත්වීමකින් සමනය වුනා කියන්නෙ ඉන්දියානු සම්බන්ධය දිගටමතියාගෙන ආව කියන එක.

    නාගයන් බෞද්ධයන් ,ඉන්දියාවෙ මුචලින්දල අරවින්දල වාගෙ. ඉන්දියානු බෞඩ්ධ මැදිහත්වීමකින් ඔවුන් සමගි කලා. ඒ වාගෙම යක්ෂයන්ට එරෙහිවත් ඔවුන් සිය සහෝදරඉන්දියානු බෞද්ධ නාගයන්ගෙ සහාය ගත්තා. ඒකයි වෙන්න ඇත්තෙ.


    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: