Tuesday, May 16, 2017

ජුලියන් ප්‍රතිසංස්කරණය


ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල දැන් භාවිතා කරන සිවිල් දින දර්ශනය ග්‍රෙගෝරියන් දින දර්ශනයයි. ග්‍රෙගෝරියන් දින දර්ශනය සකස් කර ගැනුණේ ඉන් පෙර පැවති ජුලියන් දින දර්ශනය සංශෝධනය කර ගැනීමෙනි. ජුලියන් දින දර්ශනයේ ආරම්භය ජුලියස් සීසර්ගේ රෝමයට දිව යන්නකි.

ජුලියන් දින දර්ශනය සකස් කිරීමට සහශ්‍රයකට පමණ පෙර ලෝකයේ බොහෝ රටවල භාවිතා වූයේ චන්ද්‍ර මාස මත පදනම් වූ දින දර්ශනයයි. මේ දින දර්ශන වල විවිධ ප්‍රභේද තිබුණේය. ඇතැම් දින දර්ශන අමාවක පෝයෙන් අවසන් වූ අතර තවත් ඒවා පසළොස්වක පෝයෙන් අවසන් විය. මේ ක්‍රම දෙකේදීම, මුල් කාලයේදී මාසයේ ආරම්භය පදනම් වූයේ හඳේ අවශ්‍ය වක්‍රය සැබෑවටම අහසේ පෙනීම මතය. එහෙත්, කාලගුණ තත්ත්වය හෝ වෙනත් කිසියම් හේතුවක් නිසා නියම දින හඳ නොපෙනීම මේ ක්‍රමය අනුගමනය කිරීමේදී මතු වූ ගැටලුවකි.

ඉහත ගැටලුවට විසඳුමක් ලෙස චන්ද්‍රමාස මත පදනම් වූ සිවිල් දිනදර්ශන බොහෝ සංස්කෘතීන් තුළ නිර්මාණය විය. මේ මාසයක දින ගණන බොහෝ විට 29ක් හෝ 30ක් විය. ඉර, හඳ හා පොළොව (එසේ නැත්නම් ඉර, පොළොව හා හඳ)  එකම රේඛාවක් මත පිහිටන අවස්ථා දෙකක් අතර කාලය දින 29.53ක් පමණ වන නිසා කිසියම් මාසයක නියමිත දිනයේදී හඳ නොපෙනුණත් දිගුකාලීනව මේ දින දර්ශන නිරීක්ෂණ සමඟ සෑහෙන දුරකට ගැලපුනේය.

මෙවැනි ඇතැම් දින දර්ශන වසර තුනකට පමණ වරක් අධික මාසයක් එක් කිරීමෙන් සූර්ය වර්ෂය සමඟද ගලපනු ලැබුවේය. මුල් කාලයේදී මෙය කළේද ස්වභාවික නිරීක්ෂණ මත පදනම් වෙමිනි. තිරිගු පැසීම, සමනලයින් දක්නට ලැබීම හෝ සංචාරක කුරුල්ලන් පැමිණීම වැනි නිරීක්ෂණ වසරක් අවසන් වී ඇති බව තහවුරු කළේය. ඒ හැර නිවර්තන වර්ෂයක හෝ නක්ෂත්‍ර වර්ෂයක දිග හරියටම දැන ගැනීමට තරම් දැනුමක් මුල් කාලයේදී කිසිදු සංස්කෘතියක නොතිබුණේය.

සූර්ය වර්ෂය මත පදනම් වූ සිවිල් දින දර්ශන භාවිතය මුලින්ම ඇරැඹී ඇත්තේ ඊජිප්තුවේ හා බැබිලෝනියාවේය. මේ දින දර්ශන වල සූර්ය වර්ෂයක් දින 365ක් ලෙස සලකා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස වසර හතරකට පමණ වරක් අවුරුද්දකට දිනයක් අඩුවී තිබේ. ඊජිප්තු කැලැන්ඩරය සූර්ය කැලැන්ඩරයක් වූ මුල් කාලයේදී දින තිහේ මාස 12ක් ලෙස දින 360ක් පමණක් තිබී ඇතත් පසුව අමතර දින 5ක් අධික දින ලෙස වසර අවසානයට එකතු කර තිබේ. වසර හතරකට වරක් මේ අධික දින ගණන 6ක් දක්වා ඉහළ නැංවීමෙන් මේ දින දර්ශනය වඩා නිවැරදි කිරීමට ජුලියන් කැලැන්ඩරය හඳුන්වා දීමට සියවස් තුනකට පමණ පෙර උත්සාහ දරා ඇතත් එය සාර්ථක වී නැත.

රෝම කැලැන්ඩරයේ මුලින්ම තිබී ඇත්තේ මාස දහයක් පමණි. ඒ, මාර්තු සිට දෙසැම්බර් දක්වා වන මාස දහයයි. එයින් පසුව එළැඹෙන ශීත සෘතුව තුළ විශේෂ මාස නම් කිරීමක් සිදුවී නැත. කෙසේ වුවද, පසුව එකොළොස්වන හා දොළොස්වන මාස ලෙස ජනවාරි හා පෙබරවාරි මාසත්, ඇතැම් වසර වලදී පමණක් එකතු කෙරෙන දහතුන්වන අධික මාසයකුත් එක් වී තිබේ. රෝම කැලැන්ඩරය ජුලියන් ප්‍රතිසංස්කරණයට පෙරම මාසයකට නිශ්චිත දින ගණන් ඇති සිවිල් කැලැන්ඩරයක් වී ඇති අතර මුල් මාස එකොළහ දින 29කින් හෝ 31කින් සමන්විතවද, අවසන් මාසය වූ පෙබරවාරි මාසය කෙටි මාසයක්වද පැවතී තිබේ. සාමාන්‍ය අවුරුද්දක් දින 355ක් වුවත්, දින 378ක අධික අවුරුදු වරින් වර එකතු කිරීමෙන් පැරණි රෝමන් දින දර්ශනය සූර්ය වර්ෂය සමඟ සමපාතව තබාගෙන තිබේ.

කෙසේවුවද, මේ අධික මාස එකතු කිරීම බොහෝ වර්ෂ වලදී නිවැරදිව සිදුවී නැත. එහි ප්‍රතිඵලයක් ලෙස වසන්තයේ ආරම්භය වසරින් වසර කල් යාම නිසා ක්‍රිස්තු පූර්ව 46 වසර වන විට වසන්තය ජූනි මාසය පමණ දක්වා කල් ගොස් තිබේ. ජුලියන් කැලැන්ඩරය හඳුන්වා දෙනු ලබන්නේ මෙවැනි පසුබිමකය.

ජුලියන් කැලැන්ඩරයට අනුව සෑම වසර හතරකටම වරක් අධික අවුරුද්දක් පැමිණෙන නිසා වසරක සාමාන්‍ය දින ගණන 365.25කි. මෙය නිවර්තන වසරකට වඩා මිනිත්තු 11.23කින් පමණ දිග, එහෙත් සූර්ය සිද්ධාන්ත වසරකට වඩා මිනිත්තු 12.61කින් පමණ කෙටි කාලයකි. අවුරුද්දේ දින ගණන තීරණය කරන ක්‍රමවේදය නිශ්චය කිරීමට අමතරව, ඒ වන විට අධික මාස එකතු නොකිරීම නිසා ඇති වී තිබුණු අක්‍රමිකතාවය නැති කිරීමට මේ වසරට අමතර දින 90ක්ම එක් කර තිබේ. ඒ සාමාන්‍යයෙන් ඊට පෙර අධික වර්ෂයකට එකතු කළ දින 23 හා තවත් අමතර දින 67ක් වශයෙනි. ඒ අනුව, ක්‍රිස්තු පූර්ව 46 වර්ෂයට දින 445ක් තිබී ඇත.

ජුලියන් දින දර්ශන ප්‍රතිසංස්කරණයේදී වර්ෂයේ ආරම්භය ලෙස ජනවාරි 1 දිනය තෝරාගෙන තිබේ. ඒ දිනය එවකට රෝම අධිරාජ්‍යයේ තානාපති නිලධාරීන්ට පත්වීම් ලබාදුන් දිනයයි. එමෙන්ම, එසේ කිරීමෙන් එම වර්ෂයේ ශිශිර සූර්ය නිවෘත්තිය සිදුවූ දෙසැම්බර් 24 දිනය දැන් බොහෝ දෙනෙකු ජේසු උපත සිදුවූ දිනය ලෙස සලකමින් සමරන නත්තල් රාත්‍රිය සමඟ සමපාත විය. ඒ වර්ෂයේදී වසන්ත විෂුවය සිදුව ඇත්තේ දැන් ජේසු බිළිඳා පිළිසිඳුණු දින ලෙස බොහෝ දෙනෙකු විශ්වාස කරන මාර්තු 24 දිනයි. යුදෙවු හා මුල් ක්‍රිස්තියානි සම්ප්‍රදායේ දවස ඇරඹුණේ සූර්ය අස්තය සමඟ නිසා මේ දවස් වල රාත්‍රී කාල එම දින දර්ශන අනුව පිළිවෙලින් දෙසැම්බර් 25 හා මාර්තු 25 විය.

කෙසේ වුවද, ජුලියන් අවුරුද්දක් නිවර්තන අවුරුද්දකට වඩා මිනිත්තු 11.23කින් පමණ දිග නිසා ජුලියන් වර්ෂ ක්‍රමය පැවතෙද්දී වසන්ත විෂුවය දිනය වසර 128කට පමණ වරක් දිනකින් පසුපසට යාම නිසා 1582දී ග්‍රෙගෝරියන් කැලැන්ඩරය හඳුන්වා දෙන කාලය වන විට වසන්ත විෂුවය සිදුවී ඇත්තේ දින 14කට පමණ පෙර මාර්තු 11 දිනකය. ග්‍රෙගෝරියන් ප්‍රතිසංස්කරණය හේතුවෙන් 1582 වසරේ දින 10ක් කැලැන්ඩරයෙන් ඉවත් කරනු ලැබීම නිසා ඉන් පසුව වසන්ත විෂුවය මාර්තු 21 දක්වා තල්ලු වී තිබේ.

පෙර ලිපියෙන් පෙන්වා දුන් පරිදි ක්‍රිස්තු වර්ෂ 543 ආසන්න වසර වලදී මේෂ සංක්‍රාන්තිය හා වසන්ත විෂුවය සිදුව ඇත්තේ එකම දවසකය. එම වසරට පෙර වසර වලදී මේෂ සංක්‍රාන්තිය සිදුව ඇත්තේ වසන්ත විෂුවයට කලිනි. ජේසුස් වහන්සේගේ මරණය සිදුවී ඇති ක්‍රිස්තු වර්ෂ 33දී මේෂ සංක්‍රාන්තිය සිදුවී ඇත්තේ මාර්තු 14 දින හෝ ආසන්න දිනකය. මේෂ සංක්‍රාන්තිය පසුවී දින 5කට පසු මාර්තු 19වන දින උදාවූ පුර පෑලවිය හඳ සමඟ ඒ අවුරුද්දේ වෙසක් මාසය උදා විය. මේෂ සංක්‍රාන්තියෙන් දින 20කට පමණ පසුව අප්‍රේල් 3 වන දින පුර පසළොස්වක පෝය උදා වෙද්දී හඳ විසා නැකතටද පැමිණියේය. ඒ නිසා, ජේසුස් වහන්සේ මරණයට පත් වූ ක්‍රිස්තු වර්ෂ 33 අප්‍රේල් 3 සිකුරාදා දිනය සිංහල චන්ද්‍රමාස ක්‍රමය අනුව අනුව මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෙසක් දිනය තීරණය කිරීමට යොදාගන්නා තායිලන්තය හා මියන්මාරය වැනි වැනි ථෙරවාද බෞද්ධ රටවල භාවිතා කරන චන්ද්‍ර මාස ක්‍රමය අනුවද වෙසක් පුර පසළොස්වක පෝය දිනයකි.


(Image: http://www.vroma.org/~bmcmanus/caesar.html)

12 comments:

  1. අපූරු, වැදගත් සටහනක්... කොමෙන්ටු නොදැම්මත් බොහොම ආසාවෙන් ඔබගේ මේ පෝස්ටු හැමදාමත් කියවනවා....

    ReplyDelete
  2. නියමෙට ඇනලයිස් කරල අරන් තියෙනව​.
    කලින් එකේදි පොඩි දේවල් කිහිපයක් පටලවාගෙන කියල මම හිතුවෙ.
    දැන් නම් පැහදිලියි.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ හිතෙන වෙලාවට කියන්න. පැටලිලා වෙන්නත් ඉඩක් තියෙනවනේ! එහෙම නැත්නම් වැඩිපුර පැහැදිලි කළ හැකියි.

      Delete
  3. බොහෝම ආශාවෙන් කියෙව්වා. වෙනස් ක්ෂේත්‍ර ගැන ඔබේ දැනුම හරි අපූරුයි. දිගටම ලියන්න ශක්තිය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, උදය! මේ සීරීස් එකත් කැමැත්තෙන් කියවන කොටසක් ඉන්න නිසා දිගටම ඇදගෙන යනවා.

      Delete
  4. /* ජේසුස් වහන්සේ මරණයට පත් වූ */

    ජේසුස් වහන්සේ මරණයට පත් වූවා යැයි සැලකෙන....?

    (ඇයි ඉතිං ආපහු ආවනේ!)

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා. ආපහු ආපු අය බ්ලොග් ලියන්නත් එනවනේ!

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget