Friday, May 26, 2017

ඔක්ස්ෆෑම් ධනපතියන්ගේ උරුමය කාටද?


දරිද්‍රතාවය හා ආදායම් විෂමතාවය සාර්ථක ලෙස අලෙවි කරමින් මුදල් එකතු කිරීම මඟින් හා එසේ එකතු කරගන්නා බදු මුදල් විශාල ප්‍රමාණයක්ද ඇතුළු අරමුදල් ආයෝජනය කිරීම මඟින් ආදායම් උපදවන, එසේ උපදවන ආදායම් වලින් අඩුම වශයෙන් 42%ක් තම සංවිධානයේ නඩත්තුව වෙනුවෙන් වැය කරන ඔක්ස්ෆෑම් ජාත්‍යන්තර සංවිධානය විසින් පිළියෙළ කර ප්‍රසිද්ධ කර ඇති ලෝකයේ ආදායම් විෂමතාවය පිළිබඳ වාර්තාවෙන් පෙන්වා දෙන ප්‍රධාන කරුණක් වන්නේ ඉදිරි වසර 20 තුළ ලෝකයේ ධනවත් පුද්ගලයින් 500 දෙනෙකු විසින් ඉන්දියාවේ දළ ජාතික නිෂ්පාදිතය ඉක්මවන ඩොලර් ට්‍රිලියන 2.1ක ධනයක් ඔවුන්ගේ උරුමක්කාරයින් වෙත ඉතිරි කරනු ඇති බවයි.

"Over the next 20 years, 500 people will hand over $2.1 trillion to their heirs – a sum larger than the GDP of India, a country of 1.3 billion people."

කවුරු හෝ පුද්ගලයෙකු තමන්ගේ දක්ෂතාවයෙන් උපයන ධනය තමන්ගේ දරුවන් වෙනුවෙන් ඉතිරි කිරීමේ හෝ තමන් කැමති වෙනත් ඕනෑම අයෙකුට පැවරීමේ කිසිදු වැරැද්දක් නැත. එය ඒ අයගේ තීරණයකි. ඒ මුදල් පිනට දෙන්නට හෝ ලෝකයේ දරිද්‍රතාවය නැති කිරීම වෙනුවෙන් වැය කරන්නට
අවශ්‍ය නැත. එහෙත්, ඔවුන් කැමතිනම් ඔවුන්ට තමන්ගේ ධනයෙන් වැඩි කොටසක් පිනට දෙන්නට වුවද අයිතියක් තිබේ. ඒ, ඒ ධනය ඔවුන්ගේ ධනයක් බැවින් ධනය වැය කළ යුතු ආකාරය තීරණය කළ යුත්තේද ඔවුන්ම බැවිනි.

ලෝකයේ දැනට සිටින ඉහළම වත්කම් හිමියන් වන බිල් ගේට්ස් හා වොරන් බුෆේ විසින් 2010දී නිවේදනය කළ "දාන ප්‍රතිඥාවට" මේ වන විට ඔක්ස්ෆෑම් ලැයිස්තුවේ සිටින ඇමරිකන් ප්‍රකෝටිපතියන් වන මාක් සකබර්ග්, ලැරී එලිසන් හා මයිකල් බ්ලූම්බර්ග් ඇතුළු ධනපතියන් 139ක් එක්ව සිටින අතර විකිපීඩියා අනුව ඔවුන්ගේ ශුද්ධ වත්කම් වල එකතුව ඩොලර් බිලියන 731කි. විකිපීඩියා සටහන කාලයකින් යාවත්කාලීන කර නැති අතර මේ ශුද්ධ වත්කම් ප්‍රමාණය දැන් මීට වඩා බොහෝ වැඩිය. දාන ප්‍රතිඥාව අනුව මේ ධනපතියන් සියළු දෙනාම ඔවුන්ගේ ජීවිත කාලය තුළ හෝ මරණයෙන් පසුව තමන්ගේ වත්කම් වලින් වැඩි ප්‍රමාණය ජනහිතකාමී කටයුතු වෙනුවෙන් වැය කරනු ඇත. මෙසේ වැය කෙරෙනු ඇති අරමුදල් ප්‍රමාණය ඔක්ස්ෆෑම් සංවිධානයේ ගණනය කිරීම් අනුව ලෝකයේ වත්කම් අඩු මිනිසුන් බිලියන 3.6කගේ වත්කම් වල එකතුව වූ මුදලට වඩා වැඩිය.

ප්‍රතිඥාව අනුව ඔවුන් ජනහිතකාමී කටයුතු වෙනුවෙන් වැය කළ යුත්තේ සිය වත්කම් වලින් අඩකට නොඅඩු ප්‍රමාණයක් වුවත් මේ බොහෝ දෙනෙකු තමන්ගේ වත්කම් වලින් අඩකට වඩා බොහෝ වැඩි ප්‍රමාණයක් ජනහිතකාමී කටයුතු වෙනුවෙන් වෙන් කරන්නට සූදානම්ව සිටිති. මාක් සකර්බර්ග් හා ඔහුගේ බිරිඳ ප්‍රිසිලා චෑන් විසින් 2015 දෙසැම්බරයේදී ඔවුන්ගේ කුළුඳුල් දියණිය උපන් දින නිවේදනය කළ පරිදි, ඔවුන් සතු ෆේස්බුක් කොටස් හිමිකම් වලින් 99%ක්ම ජනහිතකාමී කටයුතු වෙනුවෙන් යොදවනු ඇත. ඒ නිසා ඇයටත්, තව මාස කිහිපයකින් මෙලොව එළිය දැකීමට නියමිත මාක්ගේ හා ප්‍රිසිලාගේ දෙවන දරුවාටත්  බෙදී යනු ඇත්තේ ෆේස්බුක් කොටස් වලින් 1%කට අඩු ප්‍රමාණයකි.

වොරන් බුෆේ විසින්ද මේ වන විට ඔහුගේ වත්කම් වලින් 83%ක් බිල් සහ මෙලින්ඩා පදනමේ ජනහිතකාමී කටයුතු වෙනුවෙන් වෙන් කර ඇති අතර එය ඔහු විසින් කර ඇති ජනහිතකාමී කටයුතු අතරින් එකක් පමණි. තමන්ගේ දරුවන්ට උරුම කරන දේ ගැන ඔහුගේ අදහස මෙවැන්නකි.

"මගේ දරුවන්ට ඔවුන්ට කරන්නට අවශ්‍ය දෙයක් කරන්නට මුදල් නැතිකම බාධාවක් නොවන තරම් මුදලක් මා ඔවුන් වෙනුවෙන් ඉතිරි කරන්නට බලාපොරොත්තු වන නමුත් කිසිවක් නොකර සිටින්නට ඔවුන්ව දිරිගන්වන තරම් මුදලක් ඉතිරි කරන්නට බලාපොරොත්තුවක් නැහැ."

වොරන් බුෆේ, මාක් සකබර්ග් හා බිල් ගේට්ස් වැනි ප්‍රකෝටිපතියන් ජනහිතකාමී කටයුතු වෙනුවෙන් තමන්ගේ ධනයෙන් වැඩි ප්‍රමාණයක් මෙසේ වෙන් කළත් ඒ අරමුදල් ඔක්ස්ෆෑම් සංවිධානය වැනි දිළිඳුකම විකුණා මුදල් හොයන සංවිධාන හරහා බෙදා නොහැර තමන් විසින්ම ඒ අරමුදල් පාලනය කිරීමට තීරණය කර ඇත්තේ එවැනි සංවිධාන හරහා ගලායන මුදල් වලින් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය තැන් වලට නොයන බව ඔවුන් හොඳින්ම දන්නා බැවිනි. ඒ නිසා, මේ අයගේ ධනයට ලැබෙන ප්‍රසිද්ධිය ඔවුන්ගේ ජනහිතකාමී කටයුතු සඳහා ලැබෙන්නේ නැත.




(Image: http://www.nytimes.com/2010/11/11/giving/11PLEDGE.html?pagewanted=all&_r=0)

6 comments:

  1. මේ ජනහිතකාමී ක්‍රියා මොනවාද? යුද්ධ, මත් ද්‍රව්‍ය ව්‍යසනයන් නවත්වන්න ඔවුන් මොනවා හඑි කරලා තියනවද ?

    ඇයි ඔවුන්ට ඔක්ස්ෆෑම් ධනපතියො කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඔක්ස්ෆෑම් ධනපතියෝ කියන එක මා යොදාගත් වචනයක් පමණයි. මේ අයගේ වත්කම් ඉදිරිපත් කරමින් හා ඒ වත්කම් ලෝකයේ වත්කම් අඩු බිලියන ගණනකගේ වත්කම් සමඟ සසඳමින් ලෝකයේ ආදායම් විෂමතාවය පිළිබඳ සංවාදයක් කරලියට ගෙනාවේ ඔක්ස්ෆෑම් සංවිධානය විසින් නිසයි මා එසේ හැඳින්වූයේ.

      ලෝකය වඩා යහපත් තැනක් කිරීම සඳහා තමන් දායක විය යුත්තේ කෙසේද කියන එක එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික තීරණයක්. මේ ලැයිස්තුවේ සිටින අය තමන්ගේ මුදල් වියදම් කරන ආකාරය තනි තනිව තීරණය කරන නිසා ඔවුන්ගේ මුදල් විවිධ අරමුණු වෙනුවෙන් යෙදෙවී තිබෙනවා. විශේෂයෙන්ම මානව සංහතියේ යහපත පිණිස හේතුවන පර්යේෂණ ආධාර ලෙස විශාල මුදලක් වැය කරන බව මා දන්නා දෙයක්.

      යුද්ධ නැවැත්විය හැකි විවිධ ක්‍රම තිබෙනවානේ, සෙන්නා. දැන් ලංකාවේ යුද්ධය නැවතුණේ රජයේ හමුදා විසින් එල්ටීටීඊ එක පරාජය කිරීමෙනුයි. එහිදී ආණ්ඩුවට යුද්ධය සඳහා කවුරු හෝ ආධාර කර තිබුණානම් එය යුද්ධය නැවැත්වීම සඳහා වූ ආධාරයක්. කවුරු හෝ එල්ටීටීඊ සංවිධානයට විශාල ලෙස මුදලින් ආධාර කිරීම නිසා ඔවුන්ට තීරණාත්මක ලෙස රජයේ හමුදා පරාජය කිරීමට ලැබී ස්වාධීන ඊළාම් රාජ්‍යයක් හැදීමෙන් වුවත් යුද්ධය අවසන් විය හැකිව තිබුණා. යුද්ධ අවසන් කිරීම සඳහා ආධාර කරනවා කියන එක කන්ට්‍රවර්ෂල් දෙයක්. ධනවතෙකු තමන් අතේ ඇති මුදල් වැය කළ යුතු හොඳම ආකාරය එය කියා මම හිතන්නේ නැහැ. මත්ද්‍රව්‍ය නිවාරණය කළ යුතු ආකාරය ගැන වුනත් විවිධ අයගේ අදහස් සමාන විය යුතු නැහැ.

      Delete
  2. අය්යෝ අපරාදේ සල්ලි, පන්සල් වලට දුන්නා නම් එයාල ඔක්කොලටම ලේසියෙන්ම මතු බුදු වෙන තරමට පින් රැස්කරගන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. සකබර්ග්ගේ බිරිඳ ප්‍රිසිලා චෑන්නම් බෞද්ධ කාන්තාවක්. පන්සල් වලට සල්ලි දෙන බවක් හෝ දුන් බවක් වාර්තා වී තිබෙනු දැක නැහැ.

      Delete
  3. බිල් ගේට්ස් ලා, වොරන් බුෆේලා වැනි අයගේ හෘද සාක්‍ෂිය කියනවා ඇති ඔවුන් ගේ මේ ධනය ඔවුන් ගේ ව්‍යවසායකත්වයේ අගයට වඩා ඉතා වැඩි අගයක් බව. එනිසා යි මේ අය ඒ ධනය නැවත බෙදා දෙන්නේ.

    ඕස්ටේ‍රලියාවෙත් ලොකු ධනපතියෙක් වන ඇන්ඩ්‍රෘ ෆොරස්ට් තමන් ගේ ධනයෙන් මිලියන 400 ක් සුබසාධන ව්‍යාපෘතිවලට වෙන් කළා ගිය සතියේ. ඔහු ධනවතෙකු වුනේ පොලොවේ ඇති ඛනිජ නිධි හාරා චීනයට යැවීමෙන්. ඒ සඳහා රජය 10% වැනි බිම් පංගුවක් විතරයි ගෙවන්නේ. ඊට අමතරව ව්‍යාපාරික බදු ගෙවනවා ඇති සමාගම් ලියාපදිංචි කර ඇත්තේ මෙටට නම්!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget