වෙබ් ලිපිනය:

Wednesday, June 7, 2023

ඇමරිකාවේ බදු කපන හැටි...

පහත රූප සටහනේ තිබෙන්නේ ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ ආදායම් හා වියදම්. සාමාන්‍යයෙන් ප්‍රාන්ත රජය ආදායම් හා වියදම් තුලනය කර ගන්නවා. ආර්ථික අවපාතයක් හෝ වෙනත් ආපදාවක් ඇති වූ විටෙක අනපේක්ෂිත ලෙස බදු ආදායම් පහළ ගොස් වියදම් තරමට ආදායම් එකතු කර ගන්න බැරි වෙනවා. 2010 හා 2020 එවැනි වසර දෙකක්.


මේ ආකාරයෙන් ආදායම ඉක්මවා වියදම් කරන්නට සිදු වූ අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම සඳහා ආපදා අරමුදලක් නඩත්තු කරනවා. සාමාන්‍ය වසරකදී මෙම ආපදා අරමුදලට බැර කෙරෙන මුදල් සටහන් වන්නේද වියදම් ලෙසයි. ඊට අමතරව අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් සඳහා වන අරමුදල් දෙකක වෙනම සංචිත පවත්වා ගැනෙනවා. ප්‍රස්ථාරයේ බොහෝ වසර වලදී දැකිය හැකි අයවැය අතිරික්තය යනු ඉහත අරමුදල් තුනටම මුදල් වෙන් කර අනෙකුත් සියලු වියදම් දැරීමෙන් පසු අතිරික්තයයි. එම අතිරික්තය එකතු වන්නේ පොදු සංචිත අරමුදලේ. 

ප්‍රාන්ත රජයේ ඉලක්කය වන්නේ වාර්ෂික ආදායමෙන් 10%-12% පරාසය තුල සංචිත පවත්වා ගැනීමයි. යම් හේතුවකින් ඉදිරි වසරක ආදායම් අනපේක්ෂිත ලෙස පහළ ගියහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා මෙවැනි මට්ටමක සංචිත පවත්වා ගැනීම ප්‍රමාණවත්. 


පසුගිය දෙවසර තුළ පැවති ඉහළ උද්ධමනය නිසා ඉන්දියානා ප්‍රාන්ත රජයේ ආදායම් අනපේක්ෂිත ලෙස ඉහළ ගියා. ආදායමෙන් කොටසක් දෙවරකට බදු ගෙවන්නන් අතර බෙදා දීමෙන් පසුවද පොදු සංචිත ප්‍රමාණය ඉලක්ක මට්ටම ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා (දෙවන රූපය බලන්න). මේ අයුරින් ඕනෑවට වඩා සංචිත එකතු වීම නිසා අතිරික්ත සංචිත අඩු කර ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වී තිබෙනවා. මෙය කරන්න යන්නේ වියදම් වැඩි කිරීම මගින් නෙමෙයි. 

ප්‍රශ්නයට විසඳුමක් ලෙස ප්‍රාන්ත රජය විසින් දැනට 3.15%ක් වන ප්‍රාන්ත ආදායම් බදු අනුපාතිකය 2024දී 3.05% දක්වා සහ ඉන්පසු වසරකට 0.05% බැගින් අඩු කර 2027 වන විට 2.90% දක්වා අඩු කිරීමට යෝජිතයි. 

6 comments:

  1. තිබ්බා ඉස්සර ගමේ ගෙවල්වල
    හදිස්සියට ගන්නට හැක්කක්
    හැමදාමත් ඒ මුට්ටිය පිරෙව්වෙ
    දාලා ඒකට හාල් මිටක්

    ඒවා අමතක කරලා අපි නං
    අද වෙද්දී ගොඩ කාලයක්
    අද අපි කන්නේ විකුණා දමමින්
    අනාගතේ - නැතිවම ගණනක්!

    ReplyDelete
  2. මිනිසුන්ගෙන් බදු අය නොකර විකිනෙන භාණ්ඩ හා සේවා වලින් පමණක් ඉහල බද්දක් අය කරගෙන රජයක් පවත්වා ගෙන යන්න බැරිද

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ ප්‍රාන්ත 7/50ක පුද්ගල ආදායම් බදු නැහැ. එයින් දෙකක සමාගම් වලින්ද බදු අය කරන්නේ නැහැ. මුළු ආදායමම මෙන් එන්නේ විකිනෙන භාණ්ඩ හා සේවා වලින් අය කරන බදු වලින්.

      Delete
    2. ඒ ප්‍රාන්තයක් දෙකක් ගැන වෙලාවක් තියෙනවා නම් ලියන්න. එතකොට සෙන්ට්‍රල් ගවන්මන්ට් එකෙන් ටැක්ස් ගහන්නේ නැත්ද?As of 2022, Alaska, Florida, Nevada, New Hampshire, South Dakota, Tennessee, Texas, Washington, and Wyoming are the only states that do not levy a state income tax.

      Delete
    3. ඔය ප්‍රාන්ත නවයෙන් දෙකක ශ්‍රමය (වැටුප්) මත ආදායම් බදු අය නොකළත් ප්‍රාග්ධනය (ලාභාංශ ආදිය) මත බදු අය කරනවා. අනෙක් හතේ එහෙමවත් නැහැ. ෆෙඩරල් ආදායම් බදු ප්‍රාන්තය අනුව වෙනස් වෙන්නේ නැහැ. ප්‍රාන්තය කුමක් වුවත් රටේ හැමෝම ෆෙඩරල් ආදායම් බදු සහ අනෙකුත් බදු (සමාජ සංරක්ෂණ බදු ආදිය) එකම විදිහට ගෙවිය යුතුයි. ප්‍රාන්ත ආදායම් බදු වෙනස් වෙන ආකාරය අනුව වැටුප එකම වුනත් අතට ලැබෙන ගණන වෙනස් වෙනවා. ඒ වගේම ප්‍රාන්තය ඇතුළේ කවුන්ටිය විසින් වෙනම බදු අය කරනවා (එසේ කරන ප්‍රදේශ වල).

      Delete
  3. මම ඉන්නෙ ඇමරිකාවෙ වැඩියෙන්ම බදු ගෙවන ප්‍රාන්තයක. මෙහෙ tax system එක තවමත් 100%ක් පැහදිලි නැහැ. delaware වගේ කුඩා ප්‍රාන්තයක property tax අඩු වෙන්න හේතුව පැහැදිලි කරන්න පුළුවන්ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: