වෙබ් ලිපිනය:

Monday, June 26, 2023

දවස් පහේ නිවාඩුව


මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා මේ සටහනින් අපි මේ දවස් පහේ නිවාඩුව ගැන පමණක් කතා කරමු. 

දවස් පහක බැංකු නිවාඩුවක් එන්නේ ජූනි 30 සිකුරාදා දිනය විශේෂ බැංකු නිවාඩුවක් සේ නම් කිරීමත් එක්ක. අනෙක් දවස් හතර කොහොමටත් බැංකු වසා තබන්න නියමිතව තිබුණු දවස්.

ජූලි 3 සඳුදා අධි ඇසළ පසළොස්වක පෝය. ඊට කලින් දවස් දෙක සති අන්තය. සඳුදා දවසකට පෝයක් වැටුණු විට කොහොමටත් දවස් තුනක දිගු සති අන්ත නිවාඩුවක් ලැබෙනවා. පෙර සතියේ, ජූනි 29 බ්‍රහස්පතින්දා හජ්ජි උත්සව දිනය. ඒකත් කොහොමටත් තිබුණු නිවාඩුවක්. සිකුරාදා දවස විශේෂ බැංකු නිවාඩුවක් කරලා හජ්ජි නිවාඩු දිනය දින තුනේ දිගු සති අන්තය එක්ක එකතු කරන එකයි අමුතුවෙන් කරලා තියෙන්නේ. එතකොට දවස් පහකට බැංකු වැහෙනවා. 

කොහොම වුනත් මේ ජූනි 30 විශේෂ බැංකු නිවාඩුව ලංකාවට අලුත්ම දෙයක් නෙමෙයි. මට මතක ඇති කාලයේ ඔය නිවාඩුව ස්ථිර විශේෂ බැංකු නිවාඩුවක්ව පැවතුණා. එය වෙනස් වුනේ කොයි කාලයේද කියන එක සොයා බැලිය යුතු දෙයක්. 

අපි සුහුරු ජංගම දුරකථන වලට පසුව පුරුදු වුනු, කාලයක් තිස්සේ අත් ඔරලෝසුවකින් හෝ බිත්ති ඔරලෝසුවකින් වෙලාව බලපු, කැලැන්ඩරයකින් දවස බලාගත් පරම්පරාවක අය. ඒ දවස් වල අලුත් ජනවාරියක් එද්දී අපි දිනපොත්, කැලැන්ඩර මාරු කරන්න බලා හිටියා. සමාගම්, සුළු වෙළඳ ව්‍යාපාර, සුළු වෙළඳ ව්‍යාපාරිකයෝ වගේම රජයේ ආයතන විසින්ද නොමිලේ දිනපොත්, කැලැන්ඩර බෙදුවා. පාසැල් කාලයේ අපි කාගෙන් හෝ දිනපොතක් ලැබෙන තෙක් බලා හිටියා. පසුව රැකියා කරද්දී රැකියාව කළ ආයතනයෙන් ලැබුණු දිනපොත්, කැලැන්ඩර වෙනත් අයට බෙදුවා. 

ගොඩක් කැලැන්ඩර සැලසුම් කර තිබුණේ කැලැන්ඩර වලට වඩා බිත්ති සැරසිලි විදිහට. නළුවෙකුගේ හෝ නිලියකගේ පින්තූරයකට එහෙමත් නැත්නම් මනරම් භූමි දර්ශනයකට ප්‍රමුඛතාවය ලැබෙද්දී මාස දොළහේ දවස් ටිකත් පැත්තක පොඩියට මුද්‍රණය කරලා තිබුණා. ඕකේම අනෙක් අන්තය විදිහට දින කැලැන්ඩර තිබුණා. ඒ කැලැන්ඩර වල දවස ගානේම කොළ කැඩිය යුතුයි. මේස කැලැන්ඩරයක්නම් කොළ පෙරළන්නත් පුළුවන්.

දවස බලා ගන්න වැඩියෙන්ම ප්‍රයෝජනවත් වුනේ ඔය වගේ විච්චූරණ රූප නැති, ලොකු ඉලක්කම් වලින් දවස් මුද්‍රණය කර තිබුණු මාස් කැලැන්ඩර. මේ වර්ගයේ කැලැන්ඩර වල මාසයකට පිටුව බැගින් තිබුණා. කොළේ කඩාගන්න අපි මාසය අවසන් වන තෙක් බලා හිටියා. සමහර වෙලාවට ඔය කැලැන්ඩර කොළ පොත් වලට පිටකවර දමන්න ගත්තා.

මාස් කැලැන්ඩර වල සතියේ වැඩ කරන දවස් කළු පාටිනුත්, සති අන්ත දවස් හා වෙනත් නිවාඩු දවස් රතු පාටිනුත් මුද්‍රණය කරලා තිබුණා. මාසයක රතු දවස් වැඩි වෙන තරමට අපි වගේ පාසැල් ගිය හෝ රජයේ රැකියා කළ ගොඩක් අය සතුටු වුනා. පාසැල් කාලයේ වගේම, රැකියා කරද්දීත් නිවාඩුවක් කොයි තරම් වටිනවද? 

ඔය නිවාඩු රජයේ නිවාඩු, බැංකු නිවාඩු සහ වෙළඳ නිවාඩු ලෙස නම් කර තිබුණා. වෙළඳ නිවාඩුවක් හැම විටම මෙන් රජයේ හා බැංකු නිවාඩුවක්ද වුණා. එහෙත්, රජයේ හෝ බැංකු නිවාඩු හැම විටම වෙළඳ නිවාඩු වුනේ නැහැ. 

පාසල් කාලයේදී මෙන්ම ඉන්පසුව රැකියා කරද්දී අපට වැදගත් වුනේ රජයේ නිවාඩු. සාමාන්‍යයෙන් හැම විටම මෙන් රජයේ නිවාඩුවක් බැංකු නිවාඩුවක්ද වුනා. එහෙත්, ජූනි 30 මේ සම්බන්ධය කැඩුණු දවසක්. විශේෂ බැංකු නිවාඩුවක් සේ නම් කර තිබුණු එම දිනය රජයේ නිවාඩු දිනයක් වූයේ නැහැ. ඒ නිසා, කැලැන්ඩරයේ දවස රතු පාටින් ලකුණු කර තිබුණත් ඒ දවස පාසැල් හෝ රජයේ කාර්යාල වල නිවාඩු දිනයක් වූයේ නැති නිසා ඔය දවස කැලැන්ඩරයේ දකින වාරයක් පාසා හිත රිදෙන එක පමණයි සිදු වුනේ. 

දෙසැම්බර් 31ත් ඔය වගේම තවත් විශේෂ බැංකු නිවාඩුවක් තිබුණා. නමුත්, දෙසැම්බර් 31 වැටෙන්නේ කොහොමටත් පාසැල් නිවාඩු කාලය තුළ නිසා ඒ ගැන ලොකු කණස්සල්ලක් තිබුණේ නැහැ. පාසැල් වාරයේ වැටුණු ජූනි 30 නිවාඩුව ඒ වගේද?

ඔය කාලයේ බැංකු වල ගිණුම් පරිගණකගත කරලා තිබුණේ නැහැ. ලොකු ලෙජර් එකක අතින් ගිණුම් සටහන් කළ කාලයක්. මාසේ අවසන් වෙද්දී ඔය ගිණුම් තුලනය කරන එක එක යුද්දයක්. මාස හයකට වරක් විශේෂ බැංකු නිවාඩුවක් දෙන්න ඇත්තේ ගිණුම් සටහන් විගණනය කරලා අවසන් ගිණුම් වාර්තා හදන්න වෙන්න ඇති. පාරිභෝගිකයින් සඳහා බැංකු වසා තිබුණත් ඔය විශේෂ බැංකු නිවාඩු දවස් දෙක බැංකු සේවකයින්ට නිවාඩු දවස් වූයේ නැහැ. 

ජුනි 30 විශේෂ බැංකු නිවාඩුවක් දෙන සම්ප්‍රදාය අවසන් වුනේ කොයි අවුරුද්දේද කියා මම දන්නේ නැහැ. මේ සටහන සමඟ පළ කර ඇති රූපයේ දැකිය හැකි පරිදි 1992, 1993 කාලයේනම් ඔය නිවාඩුව තිබුණා.  මෑත වසර වලදී ඇතැම් අහඹු දින වල විශේෂ බැංකු නිවාඩුවක් ලබා දී තිබෙනවා. උදාහරණයක් විදිහට මේ අවුරුද්දේ ජනවාරි 16 විශේෂ බැංකු නිවාඩුවක් ලෙස කලින්ම නම් කරලා තිබෙනවා. 

ලංකාවේ නිවාඩු දවස් තීරණය කරන්නේ නිවාඩු පණත අනුව අදාළ ඇමතිවරයා විසින්. මේ කාර්යයයේදී ඇමතිවරයාට විශේෂඥ උපදෙස් ලබා දෙන පෝය කමිටුව වැනි කමිටු තිබෙනවා. මේ අවුරුද්දේ රජයේ නිවාඩු දින ගණන 26ක්. අලුතෙන් එකතු කළ විශේෂ බැංකු නිවාඩුවත් එක්ක බැංකු නිවාඩු ගණන දින 28ක්. ඔය නිවාඩු වලින් වැඩි ප්‍රමාණයක් ආගමික හේතු මත ලබා දෙන නිවාඩු. පෝය නිවාඩුම 14ක්. 

වෙසක් පෝයට පසු දිනයත් එක්ක සාමාන්‍යයෙන් ඕනෑම අවුරුද්දක පෝය නිවාඩු 13ක් වැටෙනවා. අධික චන්ද්‍ර මාසයක් තිබෙන අවුරුදු වල ඔය ගණන 14ක් වෙනවා. මේවා බෞද්ධාගමික නිවාඩු. හින්දු ආගමික නිවාඩු දින 3ක්, ඉස්ලාම් ආගමික නිවාඩු දින 3ක් හා ක්‍රිස්තියානි ආගමික නිවාඩු දින 2ක් එක්ක මුළු ආගමික නිවාඩු දින ගණන 22ක් වෙනවා. කෙසේ වුවත් ආගමික අනාගමික භේදයක් නොමැතිව සියලුම ශ්‍රී ලාංකිකයින්ට මේ නිවාඩු සියල්ලම එක සේ ලැබෙනවා. 

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් තවත් නිවාඩු දින දෙකක් එකතු වෙනවා. ඉතුරු නිවාඩු දෙක නිදහස් දිනය හා ලෝක කම්කරු දිනය. කම්කරු දිනයත් එක විදිහක ආගමික නිවාඩුවක්ම තමයි. 

නිල වශයෙන් ලංකාවේ රජයේ අවුරුද්ද පදනම් වෙන්නේ ග්‍රෙගෝරියන් දින දර්ශනය මතයි. එහෙත්, ලංකාවේ රජයේ නිවාඩු වලින් ග්‍රෙගෝරියන් දින දර්ශනය මත පදනම් වන නිවාඩු තිබෙන්නේ තුනක් පමණයි. ඒ නත්තල්, කම්කරු දින හා නිදහස් දින නිවාඩු තුනයි. අනෙක් නිවාඩු දින සියල්ලම තීරණය වන්නේ වෙනත් දින දර්ශන අනුවයි. අදාළ දින දර්ශන හා වර්ෂ ක්‍රම අනුව එම නිවාඩු සියල්ලම වසරේ එකම දිනක යෙදුනත්, ග්‍රෙගෝරියන් දින දර්ශනය අනුව එම දින වසරින් වසර වෙනස් වෙනවා. 

වර්තමානයේදී  ග්‍රෙගෝරියන් දින දර්ශනය භාවිතා කරන බොහෝ රටවල දින හතේ සතියද භාවිතයේ පැවතුනත් දින හතේ සතිය හා ග්‍රෙගෝරියන් දින දර්ශනයද සමමුහුර්ත (synchronize) වන්නේ නැහැ. ඒ නිසා, ලංකාවේ නිවාඩු දින බොහොමයක් මෙන්ම සති අන්තයද වසරින් වසර වෙනස් වෙනවා. 

කාලයක් සිංහල චන්ද්‍ර-සූර්ය දින දර්ශනය මත පදනම් වූ සති ක්‍රමයක් ලංකාවේ භාවිතා වුනා. එම සති ක්‍රමය සිංහල චන්ද්‍ර-සූර්ය වර්ෂය සමඟ සමමුහුර්ත වන්නක්. 

නිදහස ලැබෙද්දී ලංකාවේ පෝය නිවාඩු වූයේ වෙසක් හා පොසොන් පසළොස්වක දින පමණයි. නිදහසෙන් පසුව මුලින්ම රජයේ නිවාඩු අතරට දුරුතු හා උඳුවප් පසළොස්වක පෝය දවස් එකතු වුනා. ඉන් පසුව, නමසිය පනස් හයේ බුද්ධ ජයන්තිය සමඟ සියළුම පෝය දින රජයේ නිවාඩු බවට පත් කෙරුණත් වසර තුනක් යද්දී නැවතත් එම අමතර පෝය නිවාඩු අහෝසි කෙරුණා. එසේ අහෝසි කර රජයේ සේවකයින්ගේ අනියම් නිවාඩු ගණන 14 සිට 21 දක්වා ඉහළ දමා අවශ්‍ය කෙනෙකුට අමතර පෝය දින වලදී පෞද්ගලික නිවාඩු ලබා ගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබුවා.

ලංකාවේ නිවාඩු ක්‍රමයේ ලොකුම පරිවර්තනය කළේ ඩඩ්ලි සේනානායක ආණ්ඩුවයි. ඔහුගේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව, 1965 අංක 17 දරණ පණත මගින් ඒ වන විට අහෝසි කර තිබුණු පසළොස්වක පෝය නිවාඩු පමණක් නෙවෙයි හතර පෝයම නිවාඩු දින බවට පත් කළා. කාලයක් තිස්සේම තිබුණු ඉරිදා නිවාඩුව අහෝසි කෙරුණා. මේ වෙනසින් පසුව, සෙනසුරාදා ඉරිදා වෙනුවට ලංකාවේ සති අන්තය වුනේ හතර පෝය හා පෙර පෝය දවස් හතරයි. ඒ දවස් වල කලින් ඉරිදා පළවූ සිළුමිණ වගේ පුවත්පත් පළ කෙරුණේ පෝය දවස් වල. සඳුදා පළ වූ මිහිර පත්තරේ ආවේ පෝයට පසු දවසේ. සතියක් හැම විටම දවස් හතක් වුණේ නැහැ. සමහර සති වල දවස් අටයි. වැඩ කරන දවස් හයයි.

මේ ක්‍රමය නිසා විවිධ ගැටළු රැසක් පැන නැගපු බව කිව යුතු නැහැ. අඟහරුවාදා දවසකට පෝයක් වැටුණු විට සඳුදා හා අඟහරුවාදා දවස් ලංකාවේ සති අන්තය. අනෙක් බොහෝ රටවල සති අන්ත නිවාඩුව සෙනසුරාදා හා ඉරිදා. ඒ නිසා, ඇතැම් විට හදිසි ජාත්‍යන්තර වාණිජ කටයුතු දින හතරකින් කල් ගියා. ඩඩ්ලි සේනානායක ආණ්ඩුව විසින් කළ වෙනස සමඟි පෙරමුණු රජය බලයට පත් වීමෙන් පසුව 1971 අංක 29 දරණ පණතින් නැවත ආපසු හරවා සෙනසුරාදා හා ඉරිදා දවස් නැවත සති අන්තය බවට පත් කෙරුණා. පසළොස්වක පෝය දින පමණක් දිගටම පොදු නිවාඩු දවස් වුණා.

මේ අනුව, පෙනී යන පරිදි, මේ සති අන්තයේ ලැබෙන දින පහක බැංකු නිවාඩුව තුළ ඇති සෙනසුරාදා හා ඉරිදා නිවාඩු වලට තිබෙන්නේ පෝය නිවාඩු හා හජ්ජි නිවාඩු වලට වඩා කෙටි අඛණ්ඩ ඉතිහාසයක්. හජ්ජි උත්සව දිනය 1886 සිට ලංකාවේ නිවාඩුවක්. පෝය නිවාඩු අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ 1965 සිටයි. ඉරිදා හා සෙනසුරාදා දින කාලයක සිටම නිවාඩු දින වුනත්, අවසන් වරට මෙම දින රජයේ නිවාඩු බවට පත් වන්නේ 1971 සිටයි. 

ඉස්ලාම් ආගමද යුදෙව් හා ක්‍රිස්තියානි ආගම් මෙන්ම ආබ්‍රහමික ආගමක්. ඉස්ලාම් දින දර්ශනයේ අවසන් මාසය තුළ ඉස්ලාම් ආගමිකයින් විසින් ආබ්‍රහම් හෙවත් ඊබ්‍රාහීම් හා ඔහුගේ පුතා ඉස්මායීල් දෙවියන් වෙනුවෙන් කළ කැප කිරීම් සමරනවා. 

හොඳ දරුවෙකු ලබා දෙන මෙන් දෙවියන්ට යාඥා කිරීමෙන් පසුව ඊබ්‍රාහීම්ට දරුවෙකු ලැබෙනවා. ඉස්මායීල් සේ නම් කෙරෙන මෙම දරුවා පියා සමඟ පා ගමනින් ඇවිදිය හැකි වයසට පැමිණෙද්දී තමා විසින් ඔහුගේ බෙල්ල කපා දෙවියන්ට බිලි දෙන බව ඊබ්‍රාහීම් සිහිනෙන් දකිනවා. මේ ගැන ඔහු දරුවා දැනුවත් කර ඒ ගැන විමසද්දී පියාට ලැබුණු නියෝගය අනුව කටයුතු කරන මෙන් ඉස්මායීල් ඉල්ලා සිටිනවා. ඒ අනුව, ඉස්මායීල්ගේ බෙල්ල කපා දෙවියන්ට බිලි දීම සඳහා ඔහුගේ පියා වන ඊබ්‍රාහීම් දරුවාව මුණින් අතට බිම හෙළනවා. මෙහිදී ඊබ්‍රාහීම්ගේ හා ඉස්මායීල්ගේ ඉමහත් පරිත්‍යාගය නිසා සතුටු වන දෙවියන් විසින් දරුවා නොමරා ඒ වෙනුවට නාඹර එළුවෙකු බිලි දී දරුවා නිදහස් කර ගන්නට ඉඩ සලසනවා. 

ඊදුල් අල්හා හෙවත් හජ් උත්සවය ඊබ්‍රාහීම් හා ඉස්මායීල් විසින් දෙවියන් වෙනුවෙන් කරන්නට සුදානම් වූ ඉහත පරිත්‍යාගය සැමරීමක්. මේ උත්සවය යෙදෙන්නේ ඉස්ලාම් දින දර්ශනයේ අවසන් මාසයේ දහවන දිනයි. ඉස්ලාම් දින දර්ශනයද සිංහල සූර්ය-චන්ද්‍ර දින දර්ශනය මෙන්ම චන්ද්‍රයාගේ සාපේක්ෂ චලිතය මත පදනම් වූ දින දර්ශනයක් වුවත් සිංහල සූර්ය-චන්ද්‍ර දින දර්ශනය මෙන් අධික මාස එකතු කර සූර්යයාගේ සාපේක්ෂ චලිතය සමඟ සමමුහුර්ත නොකෙරෙන නිසා ඉස්ලාම් දින දර්ශනයේ වර්ෂයක්  සිංහල සූර්ය-චන්ද්‍ර දින දර්ශනයේ වර්ෂයකට වඩා දින 11කින් පමණ කෙටියි. ග්‍රෙගෝරියන් දින දර්ශනයට සාපේක්ෂවද ආසන්න වශයෙන් දින 11කින් පමණ කෙටියි. 

ඉස්ලාම් දින දර්ශනයට සාපේක්ෂව සිංහල සූර්ය-චන්ද්‍ර දින දර්ශනය ආකෘතියක් මත පදනම්ව වියුක්ත ලෙස ගණනය කරන්නක්. ඉස්ලාම් මාසයක් ආරම්භ වන්නේ අලුත් සඳක් උදාවීමෙන් පසුවයි. මෙහිදී සිංහල සූර්ය-චන්ද්‍ර දින දර්ශනයේදී මෙන් අලුත් සඳක් උදා වීම ගණිතමය ලෙස "සිදු විය යුතු වීම" ප්‍රමාණවත් නැහැ. අලුත් සඳ පෙනෙන්නට තිබිය යුතුයි. ඒ නිසා, කාලගුණ තත්ත්වය වැනි සාධක මත ඉස්ලාම් දින දර්ශනයේ මාසයක ආරම්භක දිනය වෙනස් විය හැකියි. 

මුව දඩයමේ ගිය තිස්ස රජු ගෝණෙකු සේ වෙස් වලාගත් මිස්සක පවුවේ දෙවියා පසු පස පැන්නුවත් විද මරා දමන්නට පෙර මිහිඳු හිමියන් හමු වුනේ පසළොස්වක පෝය දවසකයි. පසළොස්වක පෝයක් යෙදෙන්නේ අලුත් සඳක සිට 13වන හෝ 14 වන දිනයි. ඒ නිසා, හජ්ජි උත්සවය යෙදෙන්නේ පසළොස්වක පෝය දිනකට දින තුනකට හෝ හතරකට පෙරයි. අලුත් සඳ දැකිය හැකි දිනය ප්‍රමාද විය හැකි නිසා බොහෝ විට පසළොස්වක පෝය දිනකට දින දෙකකට පෙර දිනයේද හජ්ජි උත්සවය යෙදෙන්නට පුළුවන්. මේ අනුව හජ්ජි උත්සවය හැම විටම මෙන් යෙදෙන්නේ පසළොස්වක පෝය දිනකට දින 2-4කට පෙරයි. මේ අතරට සති අන්තයක් වැටුණොත් එය දීර්ඝ සති අන්තයක් විය හැකියි.

හජ්ජි උත්සවය යෙදෙන්නේ කවර පසළොස්වක පෝයට පෙරද යන්න ආසන්න වශයෙන් වසර තුනකට පමණ වරක් වෙනස් වෙනවා. ඊට හේතුව ඉස්ලාම් කැලැන්ඩරය සිංහල සූර්ය-චන්ද්‍ර දින දර්ශනයට වඩා දින 11කින් පමණ කෙටි වීමයි. මේ වසරේදී හජ්ජි උත්සවය යෙදෙන්නේ අධි ඇසළ පෝයට පෙර වුවත් ඉදිරි වසරේ එය යෙදෙනු ඇත්තේ පොසොන් පෝයට පෙරයි.

ආර්ථික අර්බුදය හා එයින් ගොඩ යාමට ගත් ක්‍රියාමාර්ග හමුවේ ශ්‍රී ලාංකිකයින්ට පසුගිය වසරකට වැඩි කාලය තුළ විශාල කැපවීම් කරන්නට සිදු වුනා. එළැඹෙන හජ්ජි උත්සව සමයේ ඒ කැපවීම් වෙනුවෙන් ඔවුන්ට යම් සහනයක් ලැබෙනු ඇත්ද? ශ්‍රී ලාංකිකයින්ටත් ඊබ්‍රාහීම්ට මෙන් අඩු වටිනාකමැති දෙයක් බිල්ලට දී වඩා වටිනා දෙයක් බේරා ගන්නට ඉඩක් ලැබෙයිද? එහෙම නැත්නම් කලකට පෙර කැලැන්ඩරයේ ජූනි 30 දකින විට මෙන් හිත් රිදීමක් පමණක් ඉතිරි වෙයිද? 

3 comments:

  1. කලබල බල බල
    ඉන්නෙමු ගැස්සිල
    රටේ කතන්දර
    එමටම පැතිරිල!

    ReplyDelete
  2. මචෝ, මේ දවස් පහේ ගහන්න යන ගේම ගැන යමක් කියාන්!

    ReplyDelete
  3. ඔය හතර පෝය නිවාඩුව ලෝක විහිලුවක් වුනා කියල අපේ තාත්තල කියනවා. ඔය පෝය ඇතුලු ආගමික නිවාඩු දෙන්නම ඕනැද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: