වෙබ් ලිපිනය:

Friday, September 22, 2017

විරුද්ධ මතධාරීන් විසින් මරා කෑ ගණිතඥයා


පසුගිය ලිපියට ප්‍රතිචාර දමමින් රවී විසින් ඔහු කලකට පෙර කියවා තිබුණු අලික්සන්ද්‍ර දුමාගේ "la tulipe noire" කෘතියේ පරිවර්තනයක් වන "කළු දළ මල" පොත ගැන මතක් කර සිටියේය. මේ පොතේ කතාව ආරම්භ වන්නේ 1672දී සිදුවූ යොහාන් ද විත් හා කොර්නේලිස් ද විත් දෙසොහොයුරන් කැරලිකරුවන් විසින් දෙන් හාහ් (The Hague) නගරයේදී ඝාතනය කිරීමේ සිදුවීමෙනි. අලික්සන්ද්‍ර දුමා විසින් නාට්‍යමය ස්වරූපයකින් විස්තර කර ඇතත්, මේ සිදුවීම සැබෑ ඓතිහාසික සිදුවීමකි.

යොහාන් ද විත් එවකට ජාත්‍යන්තර වෙළඳාම තුළ එංගලන්තයට හා ප්‍රංශයට අභියෝග කළ නෙදර්ලන්තයේ එක්සත් ප්‍රාන්ත වල අගමැති ධුරයට සමාන තනතුරක් සේ සැලකිය හැකි රාද්පෙන්සියනාරස් (raadpensionaris) ලෙස කටයුතු කළ අතර ඔහුගේ වැඩිමල් සොහොයුරු කොර්නේලිස් ද විත් ඔහු ජීවත් වූ ප්‍රදේශයේ මහ ඇමති ධුරය ලෙස සැලකිය හැකි තනතුරක් මෙන්ම නීති, අධිකරණ හා ආරක්ෂක අංශ වල ප්‍රධානියා ලෙස සැලකිය හැකි තනතුරක් ඇතුළු තනතුරු ගණනාවක් දැරුවේය. කොර්නේලිස් යනු නෙදර්ලන්තයේ එක්සත් ප්‍රාන්ත එංගලන්තය හා ප්‍රංශය සමඟ කළ යුද්ධ වලටද නායකත්වය දුන් අයෙකි. 

මෙසේ එවක නෙදර්ලන්ත රජයේ ප්‍රබල තනතුරු දැරූ යොහාන් ද විත් හා කොර්නේලිස් ද විත් සොහොයුරෝ මධ්‍යම රජයේ බලතල සීමා කර ගම් වල ප්‍රධානීන් වූ රීජන්ට්ලාට වැඩි බලයක් ලබා දීම වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි ජනරජවාදියෝ වූහ. ඔවුන්ගේ ප්‍රතිවාදී ඔරන්යේ පාක්ෂිකයෝ රාජකීය අධිකාරයේ සංකේතය වූ  හෞස් ඔරන්යේ නසෝ (Huis Oranje-Nassau) වෙත වැඩි බලයක් සහිත ශක්තිමත් මධ්‍යම රජයක් වෙනුවෙන් පෙනී සිටි අතර ඒ හේතුවෙන් විත් දෙසොහොයුරෝ ඔවුන්ගේ දැඩි වෛරයට පාත්‍රව සිටියහ. විත් සොහොයුරන්ගේ දැඩි ජනරජවාදී අදහස් නිසා ඔරන්යේ පාක්ෂිකයින් සිටියේ ඔවුන්ව මරාගෙන කන්න තරම් තරහකිනි. 

මුල් කාලයේදී ජනරජවාදීන්ට රටේ වැඩි සහයෝගයක් තිබුණත් 1672දී එංගලන්තය හා ප්‍රංශය විසින් එක්ව එල්ල කළ හමුදා ප්‍රහාරයන්ට එක්සත් ප්‍රාන්ත හමුදාවන්ට සාර්ථකව මුහුණ දෙන්නට නොහැකි වීමෙන් පසු තත්ත්වය වෙනස් විය. යොහාන් ද විත්ට රාද්පෙන්සියනාරස් ධුරයෙන් ඉල්ලා අස්වන්නට සිදු වූ අතර ජනරජවාදීන් අතින් බලය ගිලිහී ඔරන්යේ-නසෝවාදීන් අතට පත් විය.

නියෝජ්‍ය හමුදා ප්‍රධානියාව සිටි කොර්නේලිස් ද විත් දැඩි ඔරන්යේ-නසෝ විරෝධියෙක්ව සිටි අතර ඒ හේතුව නිසා ඔරන්යේ-නසෝවාදීන්ගේ දැඩි වෛරයට විශේෂයෙන්ම ලක්ව සිටියේය. ඔහුව රාජ්‍යද්‍රෝහී චෝදනා මත අත් අඩංගුවට ගෙන වරද පිළිගැනීමට පෙළඹවීම සඳහා දැඩි වධ දුන්නත් අවසානය වන තුරුම කොර්නේලිස් වරද පිළිගත්තේ නැත. එවකට ක්‍රියාත්මක වූ රෝම ලන්දේසි නීතිය අනුව රාජ්‍යද්‍රෝහී වූ බව පිළි ගත්තේනම් ඔහුට මරණ දඬුවම නියම කළ හැකිව තිබුණත්, ඔහු වරද පිළි නොගත් බැවින් ඔහුට නීත්‍යානුකූල ලෙස මරණ දඬුවම ලබා දීමට ඔරන්යේ පාක්ෂිකයින්ට නොහැකි විය. ඒ නිසා, මරණ දඬුවම වෙනුවට කොර්නේලිස් ද විත්ට රටින් පිටුවහල් වීමට නියෝග කෙරුණේය.

හිතාමතාව ආරක්ෂාව ඉවත් කරනු ලැබ, නිවසත්, නිවසෙන් පයින් යන දුරක තිබුණු අධිකරණ ශාලාවත් අතර ගමන් කරද්දී සැලසුම්සහගත ලෙස සිදු කෙරුණු නිල නොවන හමුදා වෙඩි පහර වලට ලක්වන්නට යොහාන් හා කොර්නේලිස් ද විත් දෙසොහොයුරන්ට සිදු වූ අතර ඉන්පසු වීදි මැරයන්ගේ පහරදීම් හමුවේ මේ දෙදෙනාම දරුණු වද විඳ මිය ගියෝය. ද විත් දෙසොහොයුරන්ව ප්‍රසිද්ධියේ නිරුවත් කර, දරුණු වධ දී, මරා දැමීමෙන් පසු ඔවුන්ගේ ප්‍රතිවාදී නිල නොවන වීදි මැරයන් විසින් අක්මාව ඇතුළු සිරුරු කොටස් එළියට ගෙන පුළුස්සා ප්‍රසිද්ධියේ ආහාරයට ගත් බවත්, ඇස් බෝල උගුල්ලාගත් බවත් විවිධ වාර්තා වල සඳහන්ය.

අලික්සන්ද්‍ර දුමාගේ ප්‍රබන්ධය අනුව විත් දෙසොහොයුරන්ගේ සිරුරු කොටස් තීරු කර සිහිවටන සේ අලෙවි කර තිබේ. මේ ඇතැම් කරුණු සැබෑ නොවන අතිශයෝක්ති විය හැකි වුවත්, මේ දේවල් සිදුවිය නොහැකිව තිබුණු දේවල් නොවේ. ප්‍රතිවාදී අදහස් දරන්නන් මරාගෙන කන්න වුවත් සූදානම්ව සිටින හා ඇතැම් අවස්ථා වල ක්‍රියාවෙන්ම ඒ බව පෙන්වන වෛරී අදහස් ඇති අය තවමත් සමාජ ජාලා වල සිට බාහිර සමාජය දක්වා විවිධ තැන් වල දකින්නට පුළුවන. ඒ නිසා, සියවස් තුනහමාරකට පමණ පෙර එවැන්නන් සිටීම පුදුමයක් නොවේ.

කළු දල මල කතාව ආරම්භ වන්නේ එවක නෙදර්ලන්ත සමාජය ඉමහත් කම්පාවකට ලක් කළ, 1672 අගෝස්තු 20 දින සිදු වූ  ඉහත විස්තර කළ දේශපාලනික ඝාතන සිදුවීමෙනි. මේ කාලය වන විට ලංකාවේ මුහුදුබඩ පළාත් පාලනය කළේද ලන්දේසීන් විසිනි.

සිය දේශපාලන අදහස් හේතුවෙන් දරුණු මරණයකට මුහුණ දුන් යොහාන් ද විත් යනු තවත් එක් දේශපාලනඥයෙක් පමණක් නොවේ. ඔහු ඒ යුගයේ ජීවත් වූ දක්ෂ ගණිතඥයෙක්, නීති විශාරදයෙක්, මූල්‍යකරණය ගැන විශේෂඥයෙක්, චින්තකයෙක් හා විශිෂ්ඨ බුද්ධිමතෙක්ද විය. සිය සොහොයුරු කොර්නේලිස් මෙන්ම යොහාන්ද ලීඩන් සරසවියේ නීතිය හැදෑරු අතර එහිදී ඉතා දක්ෂ සිසුවෙකු ලෙස යොහාන්ව විශේෂයෙන්ම හඳුනා ගැනුණේය. 

යොහාන් විසින් සරසවියේදී හැදෑරු ප්‍රධාන විෂය වූයේ නීතියයි. දේශපාලනයට පැමිණෙන විට ඔහු කටයුතු කළේද නීතිඥයෙකු ලෙසයි. 1645 වසරේදී ඔහු නීතිය පිළිබඳ ආචාර්ය උපාධියක් (Juris utriusque Doctor) ලබා ගත්තත් ඔහුගේ ප්‍රධාන උපදේශකයා වූයේ එවකට ජීවත් වූ ප්‍රමුඛ ගණිතඥයෙකු වූ ෆ්‍රාන්ස් වැන් ශූටන්ය. ශූටන් යනු බොහෝ දෙනෙක් දන්නා ප්‍රසිද්ධ දාර්ශනිකයෙකු හා ගණිතඥයෙකු වන ඩෙකාට් (René Descartes) විසින් ඉදිරිපත් කළ විශ්ලේෂනාත්මක ජ්‍යාමිතිය පිළිබඳ අදහස් ඉදිරියට ගෙන ගිය අයෙකි. 

යොහාන් සරසවි සිසුවෙකුව සිටියදී ඔහුට ටික කාලයක් ශූටන්ගේ නිවසේ නවාතැන්කරුවෙකුව සිටින්නට ඉඩ ලැබුණු අතර ඒ කාලයේදී ඔහුට ඔහුගෙන් මෙන්ම එම නිවසට ආ වෙනත් ප්‍රධාන පෙළේ ගණිතඥයින්ගෙන්ද ගණිතය විෂයයෙහි අලුත්ම දැනුම ලබා ගන්නට අවස්ථාව ලැබුණේය. මේ කාලය වන විට වීජ ගණිතය හා ජ්‍යාමිතිය විෂයයන් එකතු කිරීමේ කටයුත්ත ඇරඹී තිබුණත් අවසන්ව නොතිබුණේය.

මෙය කියවන අය අතර වීජ ගණිතයේ එන වර්ගජ සමීකරණ ගැනත්, එවැනි සමීකරණයකට අදාළව ප්‍රස්ථාර කොළයක ඇඳිය හැකි ජ්‍යාමිතික රූපයක් වන පරාවලය ගැනත් නොදන්නා කෙනෙක් සිටිය නොහැක. වර්ගජ සමීකරණ වල හා පරාවල වල ලක්ෂණ විස්තර කරමින් යොහාන් ද විත් විසින් ලියූ Elementa curvarum linearum ග්‍රන්ථය අදාළ විෂයට සැලකිය යුතු අලුත් දැනුමක් එකතු කළේය. පරාවලයක් සමමිතික ලෙස බෙදන රේඛාවට ලම්බකව පිහිටි රේඛාවක් (නියාමක අක්ෂය) හඳුන්වන directrix යන වචනය යොහාන්ගේ හඳුන්වා දීමක් ලෙස සැලකේ. 

දේශපාලනයට පැමිණ රටේ වගකිවයුතු තනතුරු ගණනාවක් එකින් එක භාර ගන්නට වීම නිසා යොහාන්ගේ ශාස්ත්‍රාලයීය කටයුතු අතපසු වුවත් ඔහු තමන්ට ගණිතයට වූ ඇල්ම මුළුමනින්ම අතහැර දැම්මේ නැත. ඒ වෙනුවට ඔහු කළේ රාජ්‍ය මූල්‍යකරණයේදී මුහුණ දුන් ගැටළු හමුවේ විසඳුම් සොයමින් රාජ්‍ය යාන්ත්‍රනය වඩා කාර්යක්ෂම කිරීමට සිය ගණිත දැනුම යොදා ගැනීමයි. බැඳුම්කර විකිණීම නිසා දිගින් දිගටම රජයට ගෙවන්නට සිදුවන පොලී මුදල් හේතුවෙන් රාජ්‍ය අයවැය මත ඇති වන පීඩනය හොඳින් තේරුම් ගත් යොහාන් විසින් මේ බැඳුම්කර හා අදාළ මූල්‍යමය කරුණු විශ්ලේෂණය කරමින් ලියූ "The Worth of Life Annuities Compared to Redemption Bonds" ග්‍රන්ථය ආයුගණක විද්‍යාවේ (actuarial science) ප්‍රාරම්භය ලෙස සැලකේ. 

මෙහි විශ්ලේෂණය කෙරෙන ජීව ගෙවීම් (Life Annuities) යනු බැඳුම්කර මෙන්ම ඒ කාලයේදී රාජ්‍ය මූල්‍යනය පිණිස යොදාගත් ක්‍රමයකි. මෙහිදී කිසියම් අයෙකුගේ (උදාහරණයක් ලෙස වැන්දඹුවකගේ) සියලු වත්කම් රජය විසින් පවරා ගත් අතර, ඒ වෙනුවට මිය යන තුරු නිශ්චිත මාසික දීමනාවක් රජය විසින් ආපසු ගෙවුවේය. යොහාන් විසින් පෙන්වා දුන්නේ එවකට ජීව ගෙවීම් සඳහා රජය විසින් ගෙවූ මුදල අනුව ඒවා සමාන කළ හැක්කේ 5% පමණ පොලියක් ගෙවන බැඳුම්කර වලට බවයි. එහෙත්, මේ කාලයේ බැඳුම්කර පොලී අනුපාතිකය 4%ක් පමණක් විය. ඒ නිසා, මේ ජීව ගෙවීම් වලින් රජයට විශාල අලාභයක් සිදු විය. මේ අනුව, ජීව ගෙවීම් සඳහා ගෙවූ මුදල් අඩු කෙරුණු අතර එය යොහාන් ද විත්ගේ ජනප්‍රියත්වය පිරිහීමටද හේතු විය. ඔහුගේ මරණයෙන් පසුව ජීව ගෙවීම් වාරික නැවතත් පෙර මට්ටමට ඉහළ දමනු ලැබුවේය.

රාජ්‍ය පාලනයේදී, සම්පත් නාස්ති කරන යුද්ධය වෙනුවට යොහාන්ගේ තෝරාගැනීම වුණේ සම්මුති මත පදනම් වූ සාමයයි. මේ ප්‍රතිපත්තිය හරහා නෙදර්ලන්තය සෞභාග්‍යය කරා ගෙන යන්නට ඔහුට හැකි වුවත්, එංගලන්තය හා ප්‍රංශය ඒ අයුරින්ම නොසිතූ නිසා ඔහුට යුද්ධය මඟ හැර යා නොහැකි විය. මේ ප්‍රබල රටවල් දෙක තමන්ට එරෙහිව එක් වනු ඇතැයි ඔහු ගණනය කර නොතිබුණේය. විත් සොහොයුරන්ව මරා දැමීමෙන් පසු තෙවන විලියම් රජු පිය උරුමයෙන් නෙදර්ලන්තයේ එක්සත් ප්‍රාන්ත වල (Holland, Zeeland, Utrecht, Gelderland, සහ Overijssel ) රාජ්‍ය නායකයා (Stadtholder) වූ අතර, මවු උරුමයෙන් එංගලන්තයේ, අයර්ලන්තයේ හා ස්කොට්ලන්තයේද රජු බවට පත් විය. 

වසර 392කට පෙර සැප්තැම්බර් 24 දිනක උපන් යොහාන් ද විත් කුරිරු මරණයකට ලක්ව මිය යන විට ඔහුගේ වයස අවුරුදු 47ක්වත් වී තිබුණේ නැත. 

(Image: https://www.pinterest.com)

13 comments:

  1. මගෙත් ආසම කොටස තමයි ඔය කළු දල මල පොතේ මුල් හරිය. ඒ තරමට ලයිව් විස්තර කරනව. ගොඩක් ස්තූතියි යොහාන් ද විත් ගැන හොයල ලිව්වට...

    ReplyDelete
  2. "ප්‍රතිවාදී අදහස් දරන්නන් මරාගෙන කන්න වුවත් සූදානම්ව සිටින හා ඇතැම් අවස්ථා වල ක්‍රියාවෙන්ම ඒ බව පෙන්වන වෛරී අදහස් ඇති අය තවමත් සමාජ ජාලා වල සිට බාහිර සමාජය දක්වා විවිධ තැන් වල දකින්නට පුළුවන. ඒ නිසා, සියවස් තුනහමාරකට පමණ පෙර එවැන්නන් සිටීම පුදුමයක් නොවේ."

    සමාජජාල වල පමණක් නොවෙයි, අද රටේ අගමැති වෙලා ඉන්නෙත් එවැනිම අයෙක්
    88-89 කාලයේදී බටලන්දේ වධකාගාරය තුළදී කොල්ලන්ගේ රහසඟවල් කප්පවලා, අධෝ මාර්ගයේ කටු කම්බි රිංගවලා ඒවා කරකවල, වෘෂණ කෝෂ ලාච්චුවට දාල වහල තමයි තමන්ගේ විරුද්ධ දේශපාලන මත දරපු උදවියට සැළකුවේ
    ඒ තරුණයින්ව නිරුවත් කරවලා ඇඟට මුත්‍රා කරලා පවා සතුටු වෙච්ච පරපීඩක කාමුකත්වයෙන් මොළේ ඔද්දල් වූ පුද්ගලයෙක් තමයි අපේ අගමැටි තුමා

    අවසානයේ ඒ දේශපාලන ව්‍යාපාරයේ නායක විජේවීරව (ඌත් එක්තරා පිස්සෙක් බව ඇත්ත) පණ පිටින් බොරැල්ල කනත්තේ ආදාහනාගාරයට දාල පුච්චලා මැරෙව්වා.

    එහෙව් පුද්ගලයෙක්ගේ අන්ධ, බීරි සහ මුකුත් මතක නැති අනුගාමිකයෝ මිනිහට කියන්නේ Mr Clean කියලා. ඒ අනුගාමිකයොම තම තමුන්ව හඳුන්වා ගන්න ටොයියෝ කියලත් කියා ගන්නවා.
    ටොයියෝ කියන්නේ මොන තරම් ප්‍රාථමික (නො)මිනිස් කොටසක්ද කියල තේරුම් ගන්න ඒ උපහැරනෙම ඇති නේද මහත්මයා.

    ReplyDelete
    Replies
    1. විජේවීර කියන්නේ ප්‍රතිවාදී අදහස් දරන්නන් මතවාදී නොවන ලෙස විනාශ කර දැමීම ලංකාවේ ආයතනගත කළ කෙනෙක්. අවසානයේදී ඔහුත් ඒ සංස්කෘතියේම ගොදුරක් බවට පත් වුණා. කෙසේවුවත්, ඔහුව මරා දමනු ලැබූ ආකාරය නිවැරදි නැහැ.

      Delete
  3. " කළු දල මල" කියවා තිබුනාට යොහාන් ද විත් ගැන මේ තරම් විස්තරයක් අසා තිබුනේ නැහැ.ස්තුතියි ඉකනෝ මේ විස්තරත් ලිව්වාට.
    ප්‍රතිවාදී අදහස් දරන්නන් මරාගෙන කෑම අද විතරක් නෙමේ චිරාත් කාලයක් තිස්සේ පැවත එන දෙයක්නේ.

    ReplyDelete
  4. කළු දළ මල ඉතා කැමති පොතක්. අවුරුදු ගාණකට කලින් කියෙව්ව පොතක්. ඩුමා ගේ ඔක්කොම පොත් ලස්සනයි. කවුන්ට් ඔෆ් මොන්ටක්‍රිස්ටෝ හෙම. Twenty Years After එකේ pdf එක බාගෙන තියනවා තවම කියවනන නම් බැරි වුණා. හොඳ විස්තර ටිකක්.

    ReplyDelete
    Replies
    1. කෙටියෙන්ම කියනවානම් කවුන්ට් ඔෆ් මොන්ටක්‍රිස්ටෝ කියන්නේ මගේ ජීවිතය වෙනස් කළ පොතක්. දාදු කැට දිගින් දිගටම වාසියට නොපෙරලෙන විට සටන් කර විනාශ වීම වෙනුවට අවස්ථාව ලැබෙන තුරු සියලු ගැහැට විඳගෙන ඉවසා සිටීම පුරුදු වෙන්න ඔහු නිර්මාණය කළ චරිතයෙන් ලැබුණු පිටිවහල ඉතා විශාලයි.

      Delete
  5. මම කියවපු කළු දළ මල පොතේ කියවෙන්නෙ කොර්නේලියස් සහ ජොහාන් ද විට් සහෝදරයින් කියලයි.

    කථානායකය ඒ කියන්නෙ කොර්නේලියස් වෑන් බේලේගෙ පඤ්ඤා නොහොත් ඥාණ පියා (God father) තමයි කොර්නේලියස් ඩි විට්.

    ස්තූතියි ඉකෝන්.... ඩි විට් සොහොයුරන් පිළිබඳව මේ විස්තරය හොයල ලිව්වට...:)

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි උච්චාරණය අනුව එය නිවැරදියි.

      Delete
  6. ඩූමාගේ පොතක පරිච්ඡේදයක් සේම ඔබගේ පෝස්ටුව් රසවත්!

    ඩූමාගේ හැමකතාවක්ම ගෙවීතිබුනෙ සත්ය සිදුවීමක් මුල් කරගෙන. එයාගෙ Man in the Iron Mask පොතේ එන යවෙස් ලූ මිනිසා පවා එකල රහසිගත සිරගෙයක සිටියායැයි පැවසේ.

    බොහොමත්ම ස්තූතියි මෙම කාරණා මෙසේ එළි දැක්වූවාට!
    ( මෙසේ = රසවත්ව , සවිස්තරව , එළිදරව්වක් ලෙස , අධ්යනයකින් අනතුරුව)

    ReplyDelete
    Replies
    1. ඔව්. මේ කතා බොහොමයක් ඓතිහාසික ප්‍රබන්ධ ලෙස සැලකිය හැකියි.

      Delete
  7. විශිෂ්ට ප්‍රබන්ධයන්

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: