Thursday, September 7, 2017

පුද්ගල අයිතිවාසිකම් හා ගබ්සාව


ඇමරිකා එක්සත් ජනපදය කාන්තාවන්ගේ ගබ්සා අයිතිය පිළිගත් රටකි. එයින් දළ වශයෙන් අදහස් වන්නේ ඇමරිකාවේ සෑම ප්‍රාන්තයකදීම නීත්‍යානුකූල ලෙස ගබ්සා කර ගැනීමට ඉඩක් ඇති බවයි. කෙසේ වුවද, බොහෝ ප්‍රාන්ත වල මේ ගබ්සා අයිතිය කිසියම් ආකාරයකින් නියාමනය වේ. ඊට අමතරව ගබ්සා කිරීමට නීතිමය නොවන බාධාවන්ද තිබේ.

ගබ්සා හා අදාළව ඇමරිකාවේ දැන් පවතින නීතිමය තත්ත්වය තීරණාත්මක ලෙස වෙනස් වුණේ 1973 වසරේදී ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුවකින් පසුවය. ඒ වන විට ඇලස්කාව, වොෂින්ටන්, හවායි වැනි ප්‍රාන්ත කිහිපයක කාන්තාවකගේ ඉල්ලීම මත කරන ගබ්සා නීත්‍යානුකූල වුවත්, රටේ ප්‍රාන්ත වැඩි ප්‍රමාණයක එය නීති විරෝධී කටයුත්තක් විය. ප්‍රාන්ත තිහකම කවර ආකාරයක ගබ්සාවක් වුවද නීති විරෝධී වූ අතර ටෙක්සාස් වැනි තවත් ප්‍රාන්ත ගණනාවක ගබ්සාවට ඉඩ ලැබුණේ මවගේ ජීවිතයට අනතුරක් ඇත්නම් පමණි.

පෙර කී නඩු තීන්දුවෙන් පසු ඒ වන විට පැවති තත්ත්වය කණපිට හැරුණේය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළේ ඇමරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති පුද්ගල අයිතියේ කොටසක් ලෙස සැලකිය හැකි කාන්තාවකට අනවශ්‍ය ගැබක් ගබ්සා කිරීමට ඇති අයිතිය වළක්වමින් නීති පැනවීමේ අයිතියක් ප්‍රාන්ත රාජ්‍යයන්ට නැති බවයි.

ඉහත නඩු තීන්දුව ලබා දීමේදී පදනම් කරගත් එක් සිද්ධාන්තයක් වූයේ නූපන් දරුවෙකු "පුද්ගලයෙකු" ලෙස සැලකිය නොහැකි බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුද්ගලයෙකුට ලැබෙන ජීවත් වීමේ අයිතිවාසිකම මවගේ ගර්භාෂයෙන් පිටත ස්වාධීන පැවැත්මක් තිබිය නොහැකි, අඩු වයසක දරුගැබකට අදාළ නොවන බවයි. මේ කාලය වෙද්දී අඩු වශයෙන් සති 27ක්වත් සම්පූර්ණ නොකළ ගැබක් ගර්භාෂයෙන් පිටතදී ජීවත් කරවීමේ හැකියාවක් නොතිබුණේය.   

වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ සති 24 පමණ වයසැති දරු ගැබක් වුවද සැලකිය යුතු තරම් ඉහළ සම්භාවිතාවකින් ගර්භාෂයෙන් පිටත ජීවත් කරවිය හැකි වීම නිසා මුල් නඩු තීන්දුව අනුව ගබ්සා කිරීමට ඉඩ ලැබුණු කාලය පසුව වෙනත් නඩු තීන්දුවකින් පහත හෙලුනත්, 1973 තීන්දුව අනුව ගබ්සා කිරීමට ඉඩ දීමේදී සලකා බැලිය යුතු නිර්ණායකය ලෙස හඳුනා ගැනුණු "වෛද්‍යාධාර ලබමින් හෝ ගර්භාෂයෙන් පිටත ජීවත් වීමේ හැකියාව (Fetal viability)" යන සිද්ධාන්තය වෙනස් වුණේ නැත.

ගබ්සාව පිළිබඳ ඇමරිකානු ජනමතය අද වන විටද දෙපැත්තකට බෙදී ඇත. අතරමැදි අදහස් දක්වන්නන්ද යම් පිරිසක් සිටියත් බොහෝ දෙනෙකු එක්කෝ ගබ්සාවට මුළුමනින්ම විරුද්ධය. නැත්නම් පක්ෂය.

ගබ්සාවට පක්ෂ අය කාන්තාවකට ඇගේ සිරුර ගැන තීරණ ගැනීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින අතර විරුද්ධ අය කළලයකට වර්ධනය වී පුද්ගලයෙකු ලෙස ජීවත් වීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටිති.

ඇමරිකාවේ ගබ්සා විරෝධයට ආගමික පදනමක් තිබුණත් එය ගබ්සාවට එරෙහි වීමේ එකම පදනම නොවේ. ගබ්සාව හා අදාළව මතවාදී ලෙස ඇමරිකානු සමාජය දෙපිල බෙදී සිටීමට ප්‍රධානම හේතුව "අයිතිවාසිකම් හිමි පුද්ගලයා" කවුද යන්න ගැන සියල්ලන්ටම එකඟ විය හැකි තර්කානුකූල පදනමක් නොතිබීමයි.

පුද්ගල අයිතිවාසිකම් යන සංකල්පය මෙන්ම එයට පාදක වන පුද්ගලයා යන සංකල්පයද සමාජ සම්මතයකි. මේ පුද්ගල සංකල්පය සෑම සමාජයකටම හා සෑම කාලයකටම පොදු සංකල්පයක් නොව කිසියම් නිශ්චිත සමාජයක වුවත් කාලයත් සමඟ පරිණාමය වන සංකල්පයකි.

අද බටහිර ප්‍රමුඛ මතය අනුව පූර්ණ අයිතිවාසිකම් හිමි පුද්ගලයෙකු යනු ආසන්න වශයෙන් ගත්තොත් වැඩිහිටි පිරිමියෙකු හෝ වැඩිහිටි ගැහැණියකි. විවාහ වීම, සංසර්ගයේ යෙදීම, මත්පැන් මිල දී ගැනීම හා පානය කිරීම හා ඡන්දය ප්‍රකාශ කිරීම වැනි තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ මේ වැඩිහිටි පිරිමියාට හෝ ගැහැණියටය. ඒ අය අතරින් වුවද, සමාජ විරෝධීයෙකු ලෙස හෝ කිසියම් අවම ශාරීරික හා මානසික යෝග්‍යතාවක් නොමැත්තෙකු ලෙස හඳුනාගත් අයෙකුට මේ අයිතිවාසිකම් සියල්ල ඒ අයුරින්ම හිමි නොවේ.

වැඩිහිටියන් නොවූ උපන් දරුවන්, නූපන් දරුවන්, සමාජ විරෝධීන් ලෙස හඳුනා ගන්නා අය, ශාරීරික හා මානසික රෝගීන්, මෙන්ම ආහාරය පිණිස ඇති කරන, ගෘහාශ්‍රිතව ජීවත් වන හෝ ස්වභාවික පරිසරයේ ජීවත් වන සතුන් සතු විය යුතු සීමිත අයිතිවාසිකම් මොනවාද කියා අවසාන වශයෙන් තීරණය කරන්නේද ඉහත විස්තර කළ පුද්ගල අර්ථකථනයට යටත් වන නිරෝගී, වැඩිහිටි ගැහැණුන් හා මිනිසුන් විසිනි.

ඇමරිකානු සමාජය වැනි සමාජයක් ගත්තත් කලකට පෙර මේ පුද්ගල අයිතිවාසිකම් තිබුණේ නිරෝගී, වැඩිහිටි සුදු පිරිමින්ට පමණි. කළු පිරිමින් හා සුදු හා කළු ගැහැණුන් පූර්ණ අයිතිවාසිකම් සහිත පුද්ගලයින් බවට පත් වුණේද සමාජ පරිණාමයත් සමඟය. එය සිදුවුණේ එවකට "පුද්ගලයින්" නොවූ අදාළ කණ්ඩායම් වල පිරිස් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැඟීමෙන් පසුවය. මේ ලිපියේ ඇමරිකානු සමාජය ගැන කතා කළත්, මේ බොහෝ කරුණු අඩු වැඩි වශයෙන් වෙනත් සමාජ වලටද පොදුය.

පුද්ගලයෙකුගේ ජීවත් වීමේ අයිතිය ගැන කෙතරම් දුරකට පෙනී සිටින සමාජයක් වුවත් ඇතැම් තත්ත්වයන් යටතේ යමෙකුගේ මේ අයිතිය නැති කිරීමට පැකිලෙන්නේ නැත. ඇමරිකාව තවමත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටකි. මරණ දඬුවම අහෝසි කර ඇති ඕනෑම රටක් වුවද සමාජ විරෝධියෙකු සිර කර තබා එවැන්නෙකුට සාමාන්‍ය පරිදි ජීවත් වීමට ඇති අයිතිය සීමා කිරීමට පැකිලෙන්නේ නැත. මෙහිදී අදාළ වන මූලධර්මය වැඩි දෙනෙකුගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන්, එයට බාධා කරන  ටික දෙනෙකුගේ ජීවත් වීමේ අයිතියට බාධා කිරීමේ වරදක් නැති බවයි. යුද්ධ වලදී සිදුකරන මනුෂ්‍ය ඝාතන සාධාරණීකරණය කෙරෙන පදනමද මෙයට තරමක් ආසන්නය. මානසික රෝගියෙකුගේ හෝ මත්වී සිටින පුද්ගලයෙකුගේ තීරණ ඇතැම් විට නිදහස් තීරණ ලෙස නොසැලකේ.

සමාජ විරෝධීන්, මානසික රෝගීන් හා මත්වී සිටින පුද්ගලයින්ව හඳුනා ගනු ලබන්නේද අනෙකුත් පුද්ගලයින් විසිනි. මේ හැමවිටකම සිදු වන්නේ තමන්ට පුද්ගල අයිතිවාසිකම් ඇතැයි සම්මත කරගත්, බලය ඇති වැඩි පිරිසක් එකතු වී තමන්ගේ තේරීම් සමඟ නොපෑහෙන තේරීම් කරන අයව මේ බලය ඇති ප්‍රමුඛ කණ්ඩායමෙන් බැහැර කිරීමයි. (මෙසේ අන්තිමට ඉතිරි වන අයිතිවාසිකම් ඇති පුද්ගලයින් අතරද වෙනත් තල ගණනාවකදී දී මීට සමාන බැහැර කිරීම් සිදු වන අතර ලෝක දේශපාලනය තුළ රටවල් වලට ඇති 'සමානත්වය' උදාහරණයකි.)

ඇමරිකාවේ හෝ වෙනත් දියුණු සමාජයක සිරකරුවෙකුට, මානසික රෝගියෙකුට, දරුවෙකුට හෝ සතෙකුට තමන්ට අවශ්‍ය තේරීම් කිරීමට සීමිත නිදහසක් ඇතත්, පූර්ණ නිදහසක් නැත. තමන් කැමති තේරීම් කිරීමේ පූර්ණ නිදහසක් නැති මෙවැනි කණ්ඩායම් වලට නිදහස තිබිය යුත්තේ කවර ආකාරයේ තේරීම් කිරීමටද යන්න තීරණය කරන්නේ "පුද්ගල අයිතිය" හිමි "පුද්ගලයින්" ලෙස තමන්වම සම්මත කරගෙන සිටින හොඳ සිහියෙන් සිටින, වැඩිහිටි ගැහැණුන් හා මිනිසුන් විසිනි. මෙහි පදනම බලය මිස වෙන කිසිවක් නොවේ. තීරණ ගැනීමේ නිදහස හා පුද්ගල අයිතිවාසිකම් සංකල්ප පිටුපස අවසාන වශයෙන් ඇත්තේ බලයයි.  "හොඳ සිහියෙන් සිටින" හෝ "වයස් පූර්ණත්වයට පැමිණි" වැනි කරුණු තීරණය කරමින් නිර්ණායක හදන්නේ මේ "බලය අල්ලාගෙන සිටින" නිරෝගී, වැඩිහිටි ගැහැණු හා පිරිමි කණ්ඩායම හෝ ඇතැම් විට ඒ කණ්ඩායම තුළත් බලය හිමි වෙනත් උප කණ්ඩායමකි.

කවුරු මොන දාර්ශනික කතා කිවුවත් කාලයක් ගැහැණුන් හා කළු මිනිසුන් තීරණ ගැනීමේ පූර්ණ අයිතිය ඇති පුද්ගලයින් නොවීමේත්, ඉහත විස්තර කළ පිරිස් වලට එවැනි පූර්ණ අයිතියක් අදටත් නොතිබීමේත් පදනම බලය තිබීම හා නොතිබීමේ වෙනසයි. අලින්ට හෝ රිළවුන්ට මිනිසුන්ව බලයෙන් අභිබවිය හැකිනම් අවසාන වශයෙන් ක්‍රියාත්මක වන්නේ අලින්ගේ හෝ රිළවුන්ගේ කැමැත්ත මිස මිනිසුන්ගේ කැමැත්ත නොවේ.

මිනිස් කළලයකට බලයක් යෙදවීමේ හැකියාවක් ඇත්තේම නැති තරම්ය. ඒ නිසා අවසාන වශයෙන් මිනිස් කළලයක පැවැත්ම තීරණය කෙරෙන්නේ බලය ඇති "පුද්ගලයින්ගේ" අභිලාශ පරිදිය. මා මෙහි සාකච්ඡා කරන්නේ හරි දෙය හෝ වැරදි දෙය ගැන නොවේ. ඇත්තටම සිදුවන දෙයයි.

වයස අවුරුදු දහඅටක් යාන්තමින් සම්පූර්ණ කළ අයෙකුට රටේ ජනාධිපති විය යුත්තේ කවුදැයි තීරණය කිරීමට ඉඩක් ලැබුණත් වයස දිනකින් අඩු අයෙකුට ඒ අවස්ථාව නොලැබේ. එහෙත්, වයස දහඅට සපුරන මොහොතේ දරුවෙකු ක්ෂණිකව පරිණත වී "පුද්ගලයෙකු" බවට පත් වන්නේ නැත. මෙහිදී සිදු වී ඇත්තේ ඒ නිශ්චිත කඩඉම පසු කළ අයෙකු තමන්ගේ කණ්ඩායමට ඇතුළු කර ගැනීම බලය අතේ ඇති අයගේ තේරීම වීම පමණි.

දරුවෙකු මවු කුසෙන් එළියට පැමිණි වහාම සිදුවන ලොකුම වෙනස ඔහුට හෝ ඇයට එතැන් සිට අම්ලකර වායුව වායුගෝලයෙන් සෘජුව උරා ගන්නට හැකි වීමයි. එපමණකින් මේ දරුවා ස්වාධීන පුද්ගලයෙකු වන්නේ නැත. දරුවාගේ ආහාර තවදුරටත් පෙකණි වැල හරහා නොපැමිණියත්, ආහාර ලැබෙන්නේ මවගෙනි. මිනිස් දරුවෙකුට "සාමාන්‍යයෙන්" උපත ලබා සෑහෙන කලක් යන තුරුම "ස්වාධීනව" ජීවත් වීමේ හැකියාවක් නැත.

"පුද්ගලයෙකු" හෝ "මිනිසෙකු" බිහිවන නිශ්චිත මොහොතක් තීරණය කිරීම තර්කානුකූලව කළ නොහැකි දෙයකි. එය කළ හැක්කේ සම්මතයෙන් පමණි. උපත ලබන දරුවෙකුට මවගෙන් වෙන්වී ස්වාධීන ජීවිතයක් ආරම්භ කළ හැක්කේ වෙනත් මිනිසුන්ගේ උපකාර ලැබේනම් පමණි. මවු කුසෙන් එළියට පැමිණීම නිසා දරුවෙකු හා මවක අතර ඇති සම්බන්ධය නැති වන්නේ නැත.

වෛද්‍ය විද්‍යාව දියුණු වන්නට පෙර දරුවෙකු මවු කුසෙන් එළියට එන නිශ්චිත මොහොතට අදට වඩා වැදගත්කමක් තිබුණේය. ඒ කාලයේ ස්වභාවික ලෙස මවු කුසෙන් එළියට පැමිණි දරුවෙකුට උදවු කරන්නට වෙනත් මිනිසුන්ට හැකි වුවත්, එතෙක් දරු ගැබ රැකගැනීම කළ යුතු වූයේ මව විසිනි. මව විසින් දරුවෙකු බිහි කරන තුරු වෙනත් අයට කළ හැකි දෙයක් නොවීය.

කෙසේ වුවද අවුරුදු දෙදහස් තුන්සීයකට පෙර පවා නූපන් දරුවෙකුගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් මිනිසුන් ක්‍රියාත්මක වී ඇති බවට හොඳම උදාහරණය අශෝක අධිරාජයාගේ පියා වූ බින්දුසාර රජුගේ උපත පිළිබඳ කතාවයි. බින්දුසාරගේ පියා හා අශෝකගේ සීයා වූ චන්ද්‍රගුප්ත මයුරට රාජ්‍ය බලය ගැනීමට උදවු කළ අර්ථශාස්ත්‍ර ග්‍රන්ථයේ කතුවරයාද වන චානක්‍ය හෙවත් කෞටිල්‍ය විසින් චන්ද්‍රගුප්ත මයුර කිසියම් විෂක් ශරීරගත වී මිය යාමට ඇති ඉඩකඩ වැළැක්වීමට ඔහුගේ ආහාරයට දිනපතා විෂ වර්ග සුළු මාත්‍රාවක් එකතු කළේය. මේ මාත්‍රාව දිනපතා ක්‍රමයෙන් වැඩි කිරීම මඟින් චන්ද්‍රගුප්තට වෙනත් අය මරණයට පත් කරන මට්ටමේ විෂක් ආහාරයට ගැනීම ප්‍රශ්නයක් නොවන ප්‍රතිශක්තියක් ලැබී තිබුණත් මේ බව දැන සිටියේ චන්ද්‍රගුප්ත මයුර හා කෞටිල්‍ය පමණි. 

බින්දුසාර ලැබෙන්නට ආසන්නව සිටි චන්ද්‍රගුප්ත මයුරගේ බිසව ආහාර වල විෂ ඇති බව නොදැන රජුගේ අහරින් ඉතිරිව ඇති කොටසක් අනුභව කරන බව කෞටිල්‍ය හදිසියේම දැක්කේය. එකතු කර ඇති විෂ ද්‍රව්‍ය වල ස්වභාවය අනුව දේවිය ඉතා ඉක්මණින් මරණයට පත් වීම නොවැලැක්විය හැකි බව දැන සිටි ඔහු, දරු ගැබට විෂ සම්ප්‍රේෂණය වන්නට පෙර ක්ෂණිකව දේවිය මරණයට පත් කර අසිපතෙන් කුස පලා දරුවා එළියට ගත්තේය. ගැබ මෝරා තිබුණු බැවින් කිරිමවුවරුන් යොදවා දරුවා ජීවත් කරවිය හැකි විය.

බින්දුසාරගේ කතාවේ මෙන් මවත් දරුවාත් දෙදෙනාම බේරාගත නොහැකි අවස්ථා දැනුත් ඇතැම් විට එළැඹේ. මෙවැනි බොහෝ අවස්ථා වලදී ප්‍රමුඛත්වය ලැබෙන්නේ මවගේ ජීවිතය බේරා ගැනීමටය. එහෙත්, එහි අනිත් පැත්ත සිදුවන අවස්ථාද තිබේ. මෙහිදී යොදාගැනෙන මූලධර්මය වන්නේ ජීවත් කරවීමට වැඩි සම්භාවිතාවක් ඇති ජීවිතය රැක ගැනීමට ප්‍රමුඛතාවය දීමයි.

වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා මේ වන විට සති 22 නොඉක්මවූ කළල පවා ගර්භාෂයෙන් පිටත ජීවත් කරවීමේ හැකියාව තිබේ. ඉදිරියේදී තත්ත්වය වෙනස් විය හැකි වුවත්, සති 21 නොඉක්මවූ කළලයක් ගර්භාෂයෙන් එළියට ගෙන ජීවත් කරවීමේ හැකියාවක් තවමත් නැත. සති 22-26 අතර සෑම දිනකදීම මිනිස් කළලයක් ගර්භාෂයෙන් එළියට ගෙන ජීවත් කරවීමේ හැකියාව වේගයෙන් ඉහළ යන අතර සති 27 පමණ වන විට මේ සම්භාවිතාව 90% ඉක්මවයි. ඒ නිසා සති 21-22 පමණ වයසැති කළලයක් යනු මවගෙන් බාහිර පැවැත්මක් තිබිය හැකි ජීවියෙකි. ඊට අඩු වයසක කළලයකට වෛද්‍ය විද්‍යාවේ උදවුවෙන් වුවත් එසේ මවගෙන් ස්වාධීනව ජීවත් වීමට තවමත් නොහැකිය. 

සති 22 නොඉක්මවූ කළල පවා ගර්භාෂයෙන් පිටත සාර්ථකව ජීවත් කරවා ඇති අවස්ථා ඇතත්, කළලයක වයස අඩු වන තරමට ගර්භාෂයෙන් පිටත ජීවත් කරවීම අපහසු වෙයි. සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකු අඩු වයස් කලයක් ජීවත් කරවීමට උත්සාහ දරන්නේ එම මිනිස් කළලය "ජීවත්වන්නට උවමනාවක්" කිසියම් අයුරකින් හෝ පෙන්වන්නේනම් පමණි. මෙය අත පය හෙලවීමක්, හුස්ම ගන්නට උත්සාහ කිරීමක් වැනි දෙයක් විය හැකිය.

මිනිස් කළලයකට ගර්භාෂයෙන් එළියට පැමිණ ජීවත් වීමේ හැකියාවක් ඇත්ද යන්න වෙනත් පුද්ගලයින්, වෛද්‍ය විද්‍යාවේ දියුණුව හා ප්‍රදේශය වැනි බාහිර සාධක මත තීරණය වන්නක් මිස එම කළලය විසින් තීරණය කරන්නක් නොවේ. ඒ නිසා, දැනට මිනිස් කළලයක් ගර්භාෂයෙන් එළියට ගෙන ජීවත් කරවිය හැකි අවම වයස යනු තවත් එක් අහඹු දිනයක් නිසා "පුද්ගලයෙකු" හෝ "ජීවියෙකු" බිහිවන සුවිශේෂී දවසක් නොවේ. වෛද්‍ය විද්‍යාව දියුණු වන විට දැනට ජීවත් කළ හැකි වයසට වඩා අඩු වයසක කළල වුවද ගර්භාෂයෙන් පිටත ජීවත් කරවිය හැකි වනු ඇත. ජීව විද්‍යාත්මක ලෙස බැලුවොත් මිනිස් කළලයක් පිළිසිඳගත් දින සිට සෑම දිනකම එම කළලය ක්‍රමයෙන් වර්ධනය වන අතර මවු කුස තුළදී හෝ පුද්ගලයෙකු බිහිවී, ජීවත් වී, මිය යන තුරු කිසිම දවසක එහි එකවර ලොකු වෙනසක් සිදුවන්නේ නැත. ඒ නිසා, ඉතා පැහැදිලිවම ජීවයේ මුල්ම අවස්ථාව පිළිසිඳගන්නා අවස්ථාවයි.

ගබ්සාවට පක්ෂ මතවාදයේ එක් කොනක ඇත්තේ "ඇගේ ගර්භාෂය ඇගේ අයිතිය" යන අදහසයි. ගර්භාෂයෙන් පිටත මිනිස් කළලයක් බිහි කරගැනීමේ හැකියාවක් ඇතත්, කාන්තාවකගේ ගර්භාෂයක් උදවු කර නොගනිමින් මිනිස් ජීවයක් බිහි කර ගැනීම් හැකියාවක් තවමත් නැත. මෑතකදී කෘතීම ගර්භාෂ තුළ සාර්ථක ලෙස බැටළු පැටවුන් වර්ධනය කරගෙන ඇති බැවින් ඉදිරියේදී මේ තත්ත්වය වෙනස් විය හැකි වුවත්, දැනට පවතින තත්ත්වය අනුව ගර්භාෂය යනු උපත ලබන්නට නියමිත ජීවියෙකුටද අයිතියක් ඇති තැනකි.  "ඇගේ ගර්භාෂය ඇගේ අයිතිය" යන අදහසට තේරුමක් තිබෙන්නේ කිසියම් නිශ්චිත වයසක් පසු කරන තුරු මිනිස් කළලයකට (හෝ මිනිස් දරුවෙකුට) පුද්ගල අයිතිවාසිකම් නැතැයි යන අදහසට තේරුමක් ඇත්නම් පමණි. එවැනි අදහසකට සමාජ සම්මතය තුළ මිස ජීවවිද්‍යාත්මක තේරුමක් නැත.

කෙසේ වුවද, අලුත් ජීවියෙකු බිහි කිරීම තවදුරටත් "දෙවියන්ගේ කැමැත්ත පරිදි" සිදුවන අහඹු සිදුවීමක් නොවේ. හැම විටම නොවූවත්, බොහෝ දුරට දරුවෙකු බිහි කිරීම යනු එහි වැඩි බර දරන ගැහැණියකගේ කැමැත්තෙන් ගන්නා තීරණයක ප්‍රතිඵලයකි. උපත් පාලන ක්‍රම සොයාගැනීමත් සමඟ ලිංගික එක්වීමක් යනු තවදුරටත් ගැබ් ගැනීම් වලින් කෙළවර විය යුතු දෙයක් නොවේ. කවර හෝ හේතුවක් නිසා ගැබ් දරන්නට අකැමැති ගැහැණියකට ගැබ් ගැනීමේ අවදානම නොගනිමින් ලිංගිකව එක්වීමේ හැකියාව දැන් තිබේ. මෙය වෙනත් සතුන් කිසිවෙකුට නැති, මානව ඉතිහාසය පුරා මිනිසුන්ටද නොතිබුණු සුවිශේෂී හැකියාවකි.

ලිංගික එක් වීමෙන් වැලකී සිටීම මඟින් හැර, ගැබ් ගැනීම ගැහැණුන්ට පාලනය කළ නොහැකි වූ අතීතයේ ගැහැණුන්ගේ ගැබ් ගැනීම් සියල්ලම සජීවී දරු උපත් වී පසුව වැඩිහිටි පුද්ගලයින් බවට පත් වීමෙන් කෙළවර වුණේ නැත. උපතින් පසු පළමු මාස හා වසර කිහිපය තුළ ජීවිතය දිගටම පවත්වා ගැනීමේ හැකියාව ලැබුණේ ජීව විද්‍යාත්මකව ශක්තිමත් දරුවන්ට පමණි. 

මිනිස් සංස්කෘතිය ක්‍රමයෙන් දියුණු වෙද්දී මේ ජීව විද්‍යාත්මක වරණයට වඩා වැදගත් සාධකයක් ලෙස දෙමවුපියන් ප්‍රධාන වැඩිහිටි මිනිසුන්ට දරුවන් වෙනුවෙන් කළ හැකි ආයෝජනයේ තරම වරණීය සාධකය බවට පත් විය. අද වන විට දරුවකු බිහි කිරීම බොහෝ දුරට දෙමවුපියන්ගේ සවිඥානක තීරණයක ප්‍රතිඵලයක්ව පවතින අතර පරිසර සාධක මත හොඳම අයට ඉතිරි වන්නට ඉඩ හරිමින් වැඩි දරුවන් ගණනක් බිහිකිරීම වෙනුවට ගුණාත්මක භාවයෙන් වැඩි සීමිත දරුවන් ගණනක් බිහි කිරීම අද බොහෝ දෙමවුපියන්ගේ තේරීමයි.

කෙසේ වුවද, ගැහැණියක් ගැබ් ගැනීම හැමවිටම ඇගේ සවිඥානක තීරණයක ප්‍රතිඵලයක් නොවේ. ගැහැණියකට තමන්ගේ අකැමැත්තෙන් පිරිමියෙකු සමඟ ලිංගිකව එක් වන්නට සිදුවීමත්, එහි ප්‍රතිඵලයක් ලෙස අනපේක්ෂිත ලෙස ගැබ් ගන්නට සිදුවීමත් ඉතා සාමාන්‍ය තත්ත්වයකි. ඇමරිකාවේ ගැබ් ගැනීම් වලින් අඩකට වඩා අනපේක්ෂිත ගැබ් ගැනීම්ය. එයින් අදහස් වන්නේ මේවා ස්ත්‍රී දූෂණ බව නොවේ. අනවශ්‍ය ගැබ්ගැනීම් වලින් විශාල ප්‍රමාණයක් සිදුවන්නේ විවාහ සංස්ථාව තුළමය. ඇමරිකාව වැනි ලිංගික ප්‍රවේශය ගැහැණියගේ කැමැත්ත මත තීරණය විය යුතු රටක පවා තත්ත්වය එවැනිනම් ලංකාව වැනි රටක තත්ත්වය සිතාගන්නට බැරිකමක් නැත. 

අනවශ්‍ය ගැබ් ගැනීමක් නිසා ඇති වන පීඩාව කෙතරම් වුවත්, ඇමරිකාව වැනි ගබ්සාවට නීත්‍යනුකූල බාධා ඉතා අඩු රටක වුවද ගබ්සා වලින් කෙළවර වන්නේ අනවශ්‍ය ගැබ්ගැනීම් වලින් 40%ක පමණ ප්‍රමාණයක් පමණි. ගැබ දැරීම කොපමණ පීඩාවක් වුවත් ආගමික, ආචාර ධර්මීය, සමාජයීය හා ආර්ථික වැනි විවිධ කරුණු නිසා බොහෝ කාන්තාවෝ කැමැත්තෙන් සිය ගැබ ඉවත් කරගැනීමට නොපෙළඹෙති. එසේ පෙළඹෙන කාන්තාවන්ගෙන් බොහෝ දෙනෙක්ද එය කරන්නේ වෙනත් කරන්නම දෙයක් නැති නිසා මිස "ආතල් එකට" නොවේ. මේ බොහෝ කාන්තාවෝ ගබ්සා කිරීමට පෙර හා පසුව, ඇතැම් විට ගබ්සාවකින් වසර ගණනක් යාමෙන් පසුත් මානසිකව පීඩා විඳිති. එසේ මානසික පීඩාවක් විඳිමින් ගබ්සාවක් කිරීමට කාන්තාවක් පෙළඹෙන්නේ ගැබ දැරීමේ මානසික, ශාරීරික හා සමාජමය පීඩාවන්ගේ බර ගබ්සා කිරීමේ පීඩාවට වඩා වැඩි බැවිනි. ලංකාව වැනි ගබ්සාව නීති විරෝධී ලෙස සැලකෙන රටක මේ මානසික පීඩාව වඩාත් උග්‍රය.

ගබ්සාව නිවැරදිද යන ගැටළුවට අවශ්‍ය වන්නේ දාර්ශනික පිළිතුරක් නොව ප්‍රායෝගික පිළිතුරකි. දාර්ශනික පිළිතුරු මෙන් නොව, ප්‍රායෝගික පිළිතුරු සෑම සමාජයකටම හා සෑම කාලයකටම එක සේ ගැලපෙන්නට අවශ්‍ය නැත. පිළිතුර සොයාගත යුත්තේ කිසියම් සමාජයක දැනට පවතින තත්ත්වය මත පදනම්වය.

ලංකාවේ ගබ්සාව දැනට නීති විරෝධී වුවත් දිනපතාම විශාල ගබ්සා ප්‍රමාණයක් රට තුළ සිදුවන බව රහසක් නොවේ. මුදල් යහමින් ඇති, හොඳ සමාජ තත්ත්වයක් ඇති අයෙකුට ප්‍රවීණ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු ලවා ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකදී සෞඛ්‍ය අවදානම් රහිතව මේ කටයුත්ත කරගත හැකි බවද රහසක් නොවේ. එවැනි හැකියාවක් නැති වැඩි දෙනෙකු වෙනත් විකල්ප කරා යොමු වෙති. සුදුසුකම් රහිත පුද්ගලයින් විසින් නිසි සනීපාරක්ෂක තත්ත්වයන් නැතිව සිදුකරන ගබ්සාවන් හේතුවෙන් සිදු වන මාතෘ මරණ දැනට ඉතා අඩුමට්ටමක ඇති ලංකාවේ මාතෘ මරණ අනුපාතය තවත් පහළ දමාගැනීමට ඇති විශාල බාධාවකි.

ගබ්සාවක් කිරීමට පෙළඹෙන කාන්තාවක් එය කරන්නේ එය තමන් සතු හොඳම විකල්පය බැවිනි. ගබ්සාවක් කරන වෛද්‍යවරයෙකු එය කරන්නේ මුදල් අය කර වුවත්, තමන් කරන්නේ වරදක් නොවන බව සිතන නිසාද බැවිනි. ඇමරිකන් වෛද්‍යවරුන් අතරද සැලකිය යුතු පිරිසක් ගබ්සාව වරදක්යයි සිතන අතර ඔවුහු ගබ්සා නොකරති. එසේනම්, ගබ්සාවක් යනු පාරිභෝගිකයෙක් හා සැපයුම්කරුවෙකු අතර ස්වේච්ඡාවෙන් සිදුවන ගනුදෙනුවකි. එවැනි ගනුදෙනුවකින් අයහපතක් විය හැක්කේ එයින් තෙවන පාර්ශ්වයකට අවැඩක් වන්නේය යන පදනමින් පමණි.

ගබ්සාවකදී අදාළ කළලයට ජීවත් වීමට ඇති අවස්ථාව නැති වේ. දැන් මෙහි ඇති ප්‍රශ්නය "පුද්ගලයෙකුගේ" හෝ "අනාගත පුද්ගලයෙකුගේ" ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් තවත් පුද්ගලයෙකුට පීඩාවක් විඳින්නට බලකිරීමේ හැකියාවක් වෙනත් අයට (සමාජයට) තිබේද යන්නයි. වකුගඩු රෝගයෙන් පීඩා විඳින බොහෝ දෙනෙකුට වෙනත් අයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම මඟින් ජීවත් වීමේ අවස්ථාව ලබා දිය හැකිය. මෙවැන්නෙකුට වෙනත් අයෙකුගේ වකුගඩුවක් නොලැබුණහොත් ජීවත් වීමේ අයිතිය නැති වන්නට පුළුවන. එසේනම්, නිරෝගී වකුගඩු දෙකක් ඇති අයගේ එක් වකුගඩුවක් වකුගඩු රෝගීන්ගේ ජීවත් වීමේ අයිතිය සුරැකීම වෙනුවෙන් ලබා දිය යුතු බව සමාජයට බලකළ හැකිද?

එක් අයෙකුගේ ජීවත් වීමේ අයිතිය සුරැකීම වෙනුවෙන් වෙනත් අයෙකු වකුගඩුවක් නැතුව ජීවත් වීමේ හා වකුගඩුව ඉවත් කිරීමේ ශල්‍ය කර්මයට මුහුණ දීමේ පීඩාව විඳිය යුතුය යන අදහස විකාර අදහසක් බව බොහෝ දෙනෙකු කියනු ඇත. එහෙත්, යමෙක් කැමැත්තෙන්ම මේ පීඩාව විඳිමින් වකුගඩුවක් පරිත්‍යාග කරන්නේනම් එහි ගැටලුවක් නැත.

කාන්තාවන් සතු ගැබ් දැරීමේ හෝ නොදැරීමේ අයිතියද ඉහත ආකාරයේ එකකි. එහි පීඩාව යම් කාන්තාවක් විසින් ස්වේච්ඡාවෙන් විඳින්නේනම් ගැටළුවක් නැතත්, ඇයගේ කැමැත්තක් නැතිව, වෙනත් ජීවයක් රැක ගැනීමේ අරමුණින් ඇයට පීඩාවක් විඳින්නට බල කිරීම ජීවිතයක් බේරීම සඳහා කාගේ හෝ වකුගඩුවක් බලහත්කාරයෙන් ලබා ගැනීමෙන් වෙනස් නොවේ. 

මිනිස් ජීවිතයකට වුවද නිශ්චිත මිලක් තිබේ.

(Image: http://www.dailymail.co.uk/femail/article-1021034/The-tiniest-survivor-How-miracle-baby-born-weeks-legal-abortion-limit-clung-life-odds.html)

15 comments:

  1. අපගේ කිතුනු දහම අනුව ගබ්සාව කියන්නේ පාපයක්. ඒක ලංකාවේ නිත්‍යානුකූල කරන්න අපි ඉඩ දෙන්නේ නෑ. ජිවිත පරිත්‍යාගයෙන් හරි ඒක නවත්තනවා.

    ReplyDelete
    Replies
    1. එච්චරද කරන්නේ ?

      Delete
    2. # AnonymousSeptember 8, 2017 at 1:33 AM

      මෙන්න මිත්‍යා දෘෂ්ටිකයෙක් ඇවිත්.

      Delete
  2. ඉකොනො, ඉතාම හොඳින් තර්කය ගොඩනගා අවසන් මතවාදය කරලියට පමුණුවා ඇති සාර්ථක ලිපියක්.
    මේ ගැටළුව ගැන සැලකුවොත්, ගබ්සාව හරි හෝ වැරදි වේවා, ගැබක් දරා සිටීමේ හෝ නොසිටීමේ තීරණය ගනු ලබන්නේ අදාල කාන්තාව විසින් නම්සමාජය ඊට බලපෑම් එල්ල කිරීම අයුතු බව මාද දකිමි.

    ආගමික් මත වාද දරන්නන් වරදාගෙන සිටින තැන මා මේ ගැන වූ මගේ ලිපියෙන් පැහැදිලි කිරීමට උත්සහ ගතිමි.

    ආගමික උන්මත්තකයින් තනන්නේ තමන් විශ්වාස කරන ආගමික මතය අනුව අනුන්ව හෝ මුළු මහත් සමාජයක් පවින් වලකා ලීමටය. අනුන් දරන බරක පිහිටෙන් තමන් ස්වර්ගස්ථ වීමට හෝ නිවන් දැකීමටය.
    මේ ආත්මාර්තකාමී පරපුටු සංකල්පය කුමණ ආගමික ඉගැන්වීමක් හා ගැලපේදැයි මා නොදනිමි.

    ReplyDelete
    Replies
    1. //ආගමික උන්මත්තකයින් තනන්නේ තමන් විශ්වාස කරන ආගමික මතය අනුව අනුන්ව හෝ මුළු මහත් සමාජයක් පවින් වලකා ලීමටය.//
      මෙය ආගමික නොවන වෙනත් මතවාද දරන අයත් කරන දෙයක්. ඔබේ මතය වෙනුවෙන් පෙනී සිටීම සහ එය ප්‍රචලිත කිරීම එක් දෙයක්. එය වෙනත් අය මත බලෙන් පටවන්න යාම තවත් දෙයක්. ප්‍රශ්න මතු කරන්නේ දෙවැන්නයි.

      Delete
  3. කර්මය සහ නීතිය කියන්නේ දෙකක්. සියලු දෙනාම ධර්මයෙන් හික්මවන්න, නියාමනය කරන්න බැහැ. එහෙම පුළුවන් නම් රටකට නීති අවශ්‍ය නැහැනේ. ආගමක් අවශ්‍ය වෙන්නේ සංහිඳියාව ඇතිකරලන්න (පුද්ගල සහ අන්තර් පුද්ගල) මිසක් රටක් කරවන්න නෙවෙයි. මේවා මුලාවෙන අදහස්.

    සාර්ථක ලිපියක්. වනේ තියෙන එකා තමයි දුක දන්නේ.

    නීතිගත කිරීමට අමතරව එවන් දරුවන් ගබ්සා නොකර හදාවඩා ගන්න උපකාර කරන සේවාවන් ශක්තිමත් කරන්නත් ඕනේ. එය තමන්ගේ පුද්ගලික කැමැත්ත.

    ReplyDelete
    Replies
    1. //නීතිගත කිරීමට අමතරව එවන් දරුවන් ගබ්සා නොකර හදාවඩා ගන්න උපකාර කරන සේවාවන් ශක්තිමත් කරන්නත් ඕනේ.//
      ඇමරිකාවේනම් මෙය සෑහෙන දුරට සිදුවනවා. ඊළඟ ලිපිය එවැනි ක්‍රමවේදයක් ගැනයි.

      Delete
  4. ඉතාම අනර්ඝ සහ එමෙන්ම තර්කානුකූල සටහනක්...බොහොම ස්තූතියි ඉකෝන්ස්...:)

    ReplyDelete
  5. ඕනැම රටක පුද්ගල නිදහස රටේ නීතියෙන් සීමා වෙනවනේ..ඒ වගේ ගබ්සාවත් රටේ නීතියට යටත් වෙන්න ඕනා. රටේ නීතියෙන් පිළිගන්නව ද නැද්ද කියන එක ජනමතවිචාරනයක් වගේ එකකින් විමසලා තීරණය කළානම් අහවරයි. එතකොට කාටවත් මුකුත් කියන්න ඉඩක් නෑ.

    මගේ පුද්ගලික අදහස, ගබ්සාව ම්ලේච්ඦයි, අසාධාරණයි.

    ReplyDelete
    Replies
    1. ඇයි මේකට විතරක්? උතුරු නැගෙනහිර අය අපිත් එක්ක එකට ඉන්න කැමතිද කියන එකටත් ජනමත විචාරණයක් තියමු.
      මෙච්චර ලිපියක් ලියල තර්කානුකූලව ගබ්සාව නීතිගත කලයුත්තේ ඇයි කියල පෙන්නලා දුන්නටත් පස්සේ ආපහු මේවගේ ගොන් හරක් කියනවා මගේ පුද්ගලික අදහස, ගබ්සාව ම්ලේච්ඦයි, අසාධාරණයි.කියල.
      ආපහු ඉතින් මුල ඉඳන් පටන් ගනින්කෝ පැහැදිලි කරන්න.

      Delete
    2. //ජනමතවිචාරනයක් වගේ එකකින් විමසලා තීරණය කළානම් අහවරයි.//
      වැඩි දෙනෙක් අකැමැති තීරණ ක්‍රියාත්මක කරන්න ප්‍රායෝගිකව අමාරුයි. ජනමත විචාරණ වලට යනවද කියන එකට වඩා පහසුවෙන් ජනමත සමීක්ෂණයක් කළ හැකියි. මේ කරුණ හා අදාළව වැදගත් වන්නේ දරුවන් බිහි කළ හැකි වයසේ සිටින කාන්තාවන් සිතන ආකාරයයි.

      Delete
  6. මගෙ මතයනම් ගබ්සාව හරිද වැරදිද කියන එකටත් වඩා ඒක දැනටත් ගජරාමෙට සිදුවෙනවනම් , ගර්භාෂය කාන්තාවගේ කියන තර්කයත් ශක්තිමත් නම් , අනවශ්‍ය දරුවෙක් බිහිවීමෙන් එම දරුවා දෙමවුපියන්ගේ හා සමාජයේ පීඩාවට පත්වෙනවනම් , ආබාධ සහිත දරුවෙක් බිහිවී එම දරුවාත් පවුලත් හතර මහ අපායෙ වැටෙනවනම් , සේරටමත් වඩාමේ වගෙ පසුගාමී දුප්පත් රටක උපදින එකේ තේරුමකුත් නැත්නම් ගබ්සාව විකල්පයක්ය කියන එක.

    ReplyDelete
    Replies
    1. ඔව්. දැන් තිබෙන තත්ත්වය පාදක කරගෙනයි වෙනසක් ගැන හිතන්න වෙන්නේ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget