වෙබ් ලිපිනය:

Saturday, October 28, 2017

උතුරේ ප්‍රශ්නය හා සැන්ට ක්ලෝස්


උතුරේ ප්‍රශ්නය කියා එකක් ඇතැයි සිතන ඇතැම් අය ඒ ප්‍රශ්නය විග්‍රහ කරන්නටත්, ප්‍රශ්නයට විසඳුම් සොයන්නටත් උත්සාහ කරති. උතුරේ ප්‍රශ්නය කියා එකක් තිබේනම් එයට හේතුව උතුර කියා එකක් තිබීමයි. එහෙම කිවුවත්, උතුර කියා එකක් නොතිබුණානම් ඒ නොතිබීමම ප්‍රශ්නයක් වෙන්නටද ඉඩ තිබුණේය. උතුර කියා නිශ්චිත දෙයක් තිබෙනවාද? එසේනම් ඒ කුමක්ද?

පැරණි ඉන්දියානුවන් (වෛදිකයින්) දැන සිටි ලෝකයේ හරි මැද ලෙස සැලකුණේ ලංකාවයි. සූර්ය සිද්ධාන්තයට අනුව, ඒ ලෝකයේ ලංකාවට උතුරෙන් රෝහිතක, උජ්ජයිනී (උදේනි) හා කුරුක්ෂේත්‍ර යන නගර පිහිටා තිබුනේ හරියටම පොළොවේ මධ්‍ය රේඛාව මතය. මෙසේ මධ්‍ය රේඛාව ලෙස හැඳින්වුණේ ලංකාව හා උත්තර ධ්‍රැවය යා කරන මනඃකල්පිත රේඛාවයි. උත්තර ධ්‍රැවය ලෙස සැලකුණේ පෘථිවියේ වඩාත්ම උතුරෙන් පිහිටි ස්ථානයයි.

නත්තල් සීයා හෙවත් සැන්ට ක්ලෝස් ජීවත් වන්නේද මේ උත්තර ධ්‍රැවයේය. එහි ඔහුගේ නිවස මෙන්ම නත්තල් දවසේ ලොව පුරා මිලියන ගණනක් දරුවන්ට එක රැයින් තෑගි ලෙස බෙදීම සඳහා සෙල්ලම් බඩු නිපදවන කර්මාන්තශාලාවද පිහිටා තිබේ.

උතුරු ඇමරිකාවේ වයස අවුරුදු පහක හයක දරුවෙකුගෙන් ඇසුවොත් ඉහත කතාව බොරුවක් නොවන බව ඔබට සහතික කර කියනු ඇත. රුඩොල්ෆ් නම් රත් නැහැ පිණි මුවා ඇතුළු පිණි මුවන් විසින් එළවන රථයෙන් පැමිණ කුස්සියේ දුම් කවුළුවෙන් බැස නත්තල් දා රැයේ හොරෙන්ම තෑගි බෙදා යන සැන්ට ක්ලෝස් මෙන්ම වැටෙන කිරිදත් වෙනුවෙන් මුදල් ගෙවන ටූත් ෆෙයරිද ඔවුන්ගේ ප්‍රත්‍යක්ෂ්‍ය දැනුමකි.

මේ දරුවෝ බොහෝ දෙනෙකු නත්තලට මාසයකට පමණ පෙර සිට තමන් කැමති තෑගි ගැන සඳහන් කර සැන්ටාට ලිපියක් යවන්නට අමතක කරන්නේ නැත. මේ ලිපි දැමීම සඳහා අපේ සිටි කවුන්සිලයේ විශේෂ තැපැල් පෙට්ටියක් තිබේ. ලිපි සියල්ල එකතු කර උත්තර ධ්‍රැවයේ සිටින සැන්ටා වෙත යවන්නට සිටි කවුන්සිලය කටයුතු කරන අතර ඔවුන් මේ කටයුත්ත නිසි පරිදි කරන බවට කිසිදු සැකයක් නැත්තේ ලිපියට සැන්ටාගෙන් පිළිතුරක් තැපෑලෙන් ලැබෙන බැවිනි.

ළමයින් ඉල්ලා සිටින තෑගි එලෙසම ලැබෙනු ඇති බවට මේ පිළිතුරු ලිපිය මඟින් සැන්ටා විසින් බොහෝ විට දැනුම් දීමක් කරයි. සිය උදවුකරුවන් වන එල්ෆ්ලා කෙසේ වුවත් සැන්ටාගේ නියෝජිතයින් වන ළමයින්ගේ දෙමවුපියන් හරහා සැන්ටා මේ කටයුත්ත කර ගනී. දැන් මා ජීවත් වන නගරය මුළුමනින්ම වාගේ ඉහළ ආදායම් උපයන්නන් ජීවත්වන නගරයක් නිසා සැන්ටාට මේ තෑගි බෙදාදීමේ කටයුත්ත එතරම් අපහසුවකින් තොරව ක්‍රියාත්මක කළ හැකිය.

මීට පෙර මා කලක් ජීවත් වූ, උත්තර ධ්‍රැවයට වඩා ආසන්නව තිබුණු නගරයක මේ කටයුත්ත සිදු වුනේ හරියටම මේ පිළිවෙළටම නොවේ. ඒ නගරයේ සිටි ළමයින්ට සැන්ටා ගෙදරටම තෑගි බෙදුවේ නැති අතර ලියුම විශේෂිත තැපැල් පෙට්ටියට දමා ටික දවසකින් සැන්ටාගෙන් ලැබුණු පිළිතුරු ලිපියේ සඳහන්ව තිබුණු තැනට එහි සඳහන් දිනයට හා වෙලාවට ගොස් සැන්ටාගේ අතින්ම මේ තෑගි ලබාගත යුතු විය. නත්තලට පෙර නගරයේ සුපිරි වෙළඳසැල්, පුස්තකාල, තැපැල් කාර්යාල හා පෞද්ගලික ආයතන ආදියේ වූ නත්තල් ගස් වල එක් එක් දරුවාට අවශ්‍ය තෑග්ග (දරුවාගේ තොරතුරු රහිතව) සඳහන් ටැග් එල්ලා තිබුණු අතර අවශ්‍ය අයෙකුට මේ ටැග් එකක් හෝ වැඩි ගණනක් කඩාගෙන අදාළ තෑග්ග හෝ තෑගිද සමඟ ආපසු භාර දිය හැකි වූ අතර බොහෝ විට නත්තලට සතියකට හෝ දෙකකට පෙර නත්තල් ගස් වල වූ ටැග් අවසන් විය. ඒ නිසා, අඩු ආදායම්ලාභී පවුලක දරුවෙක්ට වුවද තමන් සැන්ටාගෙන් ඉල්ලා සිටි තෑගි නොලැබී ගියේ නැත.


සැන්ටාට ලියන ලිපි විශාල ප්‍රමාණයක් සෑම වසරකම නත්තලට පෙර මෙවැනි විශේෂිත තැපැල් පෙට්ටි වලට අමතරව සාමාන්‍ය තැපැල් පෙට්ටි වලටද වැටේ. ඇමරිකාවේ තැපැල් පෙට්ටි වලට එසේ වැටෙන "නෝර්ත් පෝල්" ලෙස ලිපිනය ලියූ ලිපි විශාල ප්‍රමාණයක් ඇත්තටම "නෝර්ත් පෝල්" තැපැල් කන්තෝරුව දක්වාම යයි. මේ "නෝර්ත් පෝල්" තැපැල් කන්තෝරුව තිබෙන්නේ ඇමරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ පිහිටි "නෝර්ත් පෝල්" නගරයේය. මෙහි තැපැල් කේතය 99705යි. ඇලස්කා ප්‍රාන්තයේ මැද හරියේ පිහිටි "නෝර්ත් පෝල්" නගරයේ සැන්ට ක්ලෝස්ගේ නිවසද පිහිටා තිබේ.


"මටයි කියල ඉඩම් අඟලක්වත් නෑ!"

සමහර අය මෙසේ මැසිවිලි කියනු මා අසා තිබේ. තමන්ගේ නිජබිමේ ඉඩම් අඟලක්වත් නැති එහෙම අයට කැමතිනම් ඩොලර් 9.95ක මුදලකට ඇමරිකාවේ නෝර්ත් පෝල් නගරයෙන් ඉඩම් අඟලක් මිලදී ගන්නට පුළුවන්කම තිබේ. ඇමරිකාවෙන් පිටත රටකට ඔප්පුව තැපැල් කර යැවීම සඳහා තවත් ඩොලරයක් අය කෙරේ.

කෙසේ වුවද, බොහෝ දෙනෙක් "නෝර්ත් පෝල්" ලෙස හඳුනාගන්නේ උඩින් කී ඇමරිකානු නගරය නොවේ. දේශාංශ රේඛා ලෙස හඳුන්වන මනඃකල්පිත රේඛා හමුවන මනඃකල්පිත ස්ථාන දෙකෙන් එක් තැනකි. අනිත් තැන සවුත් පෝල් හෙවත් දක්ෂිණ ධ්‍රැවයයි.


දේශාංශ රේඛා හමුවන මනඃකල්පිත උත්තර ධ්‍රැවයේ අයිතිය මතභේදාත්මක එකකි. කැනඩාව, රුසියාව හා ඩෙන්මාර්කය වැනි මෙම ස්ථානයට ආසන්නව පිහිටි රටවල් කිහිපයක්ම උත්තර ධ්‍රැවයට අයිතිය කියයි. විශේෂයෙන්ම උත්තර ධ්‍රැවය ආශ්‍රිතව ඇති ඛනිජ සම්පත් හේතුවෙන් පසුගිය දශකය පුරා මේ මතභේදය වඩාත් තීව්‍ර වෙමින් පවතී.

මෙහි ප්‍රතිඵලයක් ලෙස කැනඩාව විසින් වසර කිහිපයකට පෙර සැන්ට ක්ලෝස් කැනේඩියානු පුරවැසියෙකු බව නිල වශයෙන්ම දැනුම් දුන් අතර පසුව සැන්ට ක්ලෝස්ට හා ඔහුගේ බිරිඳට ලොව වටා ළමුන්ට තෑගි බෙදා ඔහුගේ නිවස පිහිටි කැනඩාවට (උත්තර ධ්‍රැවයට) නැවත පැමිණීමේදී ප්‍රශ්නයක් නොවීම සහතික කරන්නට කැනේඩියානු ගමන් බලපත්‍රද නිකුත් කළේය. කැනේඩියන් ගමන් බලපත්‍රලාභීන්ට ඇමරිකාවට පැමිණෙන්නට වීසා අවශ්‍ය නොවන නිසා ඇමරිකාවේ ළමුන්ට මෙයින් ප්‍රශ්නයක් වී නැත. ඊට අමතරව සැන්ටාට ලියුම් යවා පිළිතුරු ලබාගන්නට කැමති අයට එසේ ලිපි යැවිය හැකි නිල ලිපිනයක්ද කැනඩාවේ තිබේ. කැනඩාව තුළ මේ ලිපි යවන්නට මුද්දර ගාස්තුද අවශ්‍ය නැත.

ඇමරිකාවේ පිහිටි පළමු උත්තර ධ්‍රැවයට මෙන් නොව, මේ දෙවන උත්තර ධ්‍රැවයට කැනඩාව ඇතුළු රටවල් කිහිපයක්ම අයිතිය කිවුවත් එය තහවුරු කර ගැනීම අපහසු කාර්යයයක් වන්නේ මේ ස්ථානය ස්ථිර බිම්කඩක පිහිටා නැති නිසාද බැවිනි. දක්ෂිණ ධ්‍රැවය පිහිටි ස්ථානය මෙන් නොව, උත්තර ධ්‍රැවය පිහිටි ස්ථානය පිහිටා ඇත්තේ පාවෙන අයිස් ස්ථරයක් මත නිසා යම් මොහොතක එහි කොඩියක් වැනි දෙයක් සිටුවා සලකුණු කළත් නැවත එහි එන විට කොඩිය තිබෙන තැන මුල් තැනම නොවේ.

ඉහත කී උත්තර ධ්‍රැව දෙකට අමතරව තෙවන උත්තර ධ්‍රැවයක්ද තිබේ. මේ සියවස් ගණනක් තිස්සේ නාවිකයින් විසින් ප්‍රයෝජනයට ගත්, ඉතා මෑතකදී ජීපීඑස් තාක්ෂනය ව්‍යාප්ත වන තුරුම ලොව පුරා බොහෝ දෙනෙකුට මඟ සොයා ගැනීමට උපකාර කළ මාලිමා යන්ත්‍ර වලින් පෙන්වන චුම්භක උතුරයි. චුම්භක උතුරද දිනපතාම වෙනස් වන දෙයක් මිස පොළොවේ පිහිටි නිශ්චිත ස්ථානයක් නොවේ.

උතුර කියන්නේම මේ තරම් අවිනිශ්චිත දෙයක් නිසා උතුරේ ප්‍රශ්නය ගැන උතුර දකුණ මාරු වන තුරු කල්පනා කරන්නට අවශ්‍ය නැත. උතුර දකුණ මාරුවීම ගැන අපි පසුව වෙනත් ලිපියකින් කතා කරමු.

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: