Tuesday, October 24, 2017

විද්‍යා ගැන දන්නා ඔබ හරිශ්නවී ගැන නොදන්නේද?


සිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය ගැන මාධ්‍ය වල ඕනෑ තරම් කතා වී ඇති නිසා ඒ ගැන අමුතුවෙන් කතා කරන්නට දෙයක් නැත. මෙය ඉතා කණගාටුදායක සිද්ධියකි. විද්‍යා ඝාතකයන්ට මේ වන විට මරණ දඬුවම නියම කර තිබේ.

පසුගිය සෙනසුරාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විද්‍යා දැරියගේ නිවසට ගොස් ඇගේ ඥාතීන් හමුවී ඇති බවත්, ඇගේ "වැඩිමහල් සොහොයුරියගේ උසස් අධ්‍යාපන කටයුතු මෙන්ම එම පවුලේ ඉදිරි කටයුතු වෙනුවෙන් ලබාදිය හැකි සියලු උපකාර සිදුකරන බවට" පොරොන්දු වී ඇති බවත් වාර්තා වී තිබුණේය. මේ ජනාධිපතිවරයා විද්‍යා දැරියගේ පවුලේ අයව හමුවුණු පළමු අවස්ථාව නොවේ. මීට දෙවසරකට පෙර සිද්ධිය වූ අලුතමද ඔහු උතුරේ ආණ්ඩුකාර නිල නිවසේදී ඒ අයව හමු වී තිබුණේය.

ජනාධිපතිවරයා විද්‍යා දැරියගේ ඥාතීන් හමුවීම වාර්තා කර තිබුණු ගොසිප්ලංකා වෙබ් අඩවියේ එම පුවත පළවීමෙන් පසුව පළව තිබුණු ප්‍රතිචාර කිහිපයක් පහත දැක්වේ.

සියාතු මාමා:

"සේයා සදෙව්මි වගේ දකුණේ මේවගේ අපරාධ වලට ලක්වුන ලමයින්වත් බලන්න ගිහින් උන්ගේ ගෙවල්වලටත් සලකන්න පොරොන්දු වුනාද හිටං? 

අඩුම තරමේ තමන්ගේ මලයගේ මල ගෙදරවත්...? 

දෙමළ පත්තර, කැළෑ පත්තරවල හරි කමක් නෑ ෆොටෝ එකක් වැටෙනවනම් කුජීතයා එතන!"

ponil:

"විද්‍යා දැරියගේ නිවසට ගොඩ වැදීම ගැන විවේචනය කරන්න තරම් අපි කුහක නෑ, ඒ වුනාට ඔය වගේම දකුණේ විපතට පත්වුවන්වත් බලන්න ගියානම් තමා හොඳ. විශේෂයෙන් කොළොන්නාවේ කුණු කන්ද කඩා වැටිලා පවුල් පිටින් මැරුණා, දකුණේ ගං වතුරෙන් සිය ගානක් මැරුණා ඒවා බලන්න නොගිය ඔබතුමා මේ කරන්නේ නම් දේශපාලන ගේමක් කියල දකුණේ අපිට නම් හොදින් වැටහෙනවා"

kon kala doni:

"දෙමළ ළමයෙක් නිසා උඩ දාගෙන දුවලා ගිහින් උදව් කරන්න පොරොන්දු වෙලා පොටෝ ගහලා රට පුරා ප්‍රසිද්ධ කරනවා. දකුණෙ ගෑණු ළමයි කී දෙනෙක් දූෂනය කරලා මරා දාලා තියෙනවද? ඒ එකම ගෙදරකට වත් මෙයා ගියාද? කුජීතයි අප්‍රසන්නයි මුගෙ හැම වැඩක්ම."

මේ ප්‍රතිචාර කියවන විට එකවරම ඒ ඇතැම් ප්‍රතිචාර වල ඇති ජාතිවාදී ස්වභාවය අවධානයට ලක් වෙන්නට පුළුවන. එහෙත්, ඊට යටින් පෙනෙන අනෙක් කරුණ "සියල්ලන්ම සමාන වුවත් ඇතැම් අය වඩා සමාන වන්නේ කෙසේද?" යන්නයි.

මේ ප්‍රශ්නය ලංකාවේ බොහෝ දෙනෙක්ට තිබෙන ප්‍රශ්නයකි. ප්‍රශ්නයට සිංහල දෙමළ භේදයක් නැත. එහෙත් ප්‍රශ්නයේ පැත්තක දෙමළෙක් සිටින විට බොහෝ සිංහලයින් සිතන්නේ වෙනසට හේතුව එය බවයි. බොහෝ දෙමළුන් සිතන්නේද මේ ආකාරයටමය. "උන්ගේ ළමයින්ට වැඩි සැලකිලි" වැනි සමාජ ආර්ථික තත්ත්වය මත වෙනස් ලෙස සැලකීම ගැන කණස්සල්ල පළ කෙරෙන කතා සිංහල සමාජය තුළ ඇහෙන්නේ මේ "වැඩි සැලකිල්ල" ලැබෙන්නේ සිංහලයෙක්ටම වූ විට පමණි. එසේ නැත්නම් වෙනසට හේතුව ලෙස හඳුනා ගැනෙන්නේ දෙමළෙකු වීමයි. දෙමළ සමාජය පැත්තෙන් ගත්තත් මේ තත්ත්වය මෙසේමය.

විද්‍යා දැරියගේ ඝාතනයෙන් අටමසකට පමණ පසුව සිදුවුණු ගංගාදරන් හරිශ්නවී දැරියගේ ඝාතනය හා අදාළව තමිල්වින් වෙබ් අඩවියේ අද පළ කර ඇති ලිපියකින් පෙනෙන පරිදි උඩින් ඇති මතුපිටින් බැලූ විට ජාතිවාදී ස්වරූපයක් ගන්නා (හා එවැනි ස්වරූපයක් ඇති) ප්‍රතිචාර වලින් මතු කරන අදහස දෙමළ සමාජයටද පොදු අදහසක් බවයි.

මේ වන විට සමාජජාලා හරහා මගේ දෙමළ මිතුරු මිතුරියන් අතර හුවමාරු වෙමින් තිබෙන බව පෙනෙන අදාළ ලිපියේ අසම්පූර්ණ දළ පරිවර්තනයක් පහත පළවේ. මා දෙමළ භාෂාවේ ප්‍රවීණයෙක් නොවන නිසා පරිවර්තනයේ අඩුපාඩු තිබිය හැකිය.

"විද්‍යා ගැන දන්නා ඔබ මැය ගැන නොදන්නේද? සියල්ලන්ටම අමතක වී ඇති කුරිරු ඝාතනයක්...

හරිශ්නවී කියන්නේ  වවුනියාව විපුලානන්ද විදුහලේ ඉගෙනුම ලැබූ 14 වියැති දැරියකි. "හරිශ්වනී? ඒ කවුද?" බොහෝ දෙනෙක් අසනු ඇත. ඇතැම් අයට ඇයව අමතකව ගොස් තිබේ. තවත් අය හරිශ්නවී ගැන දන්නේවත් නැත.

අපට දිනපතා බොහෝ දේ අහන්නට දකින්නට ලැබේ. එහෙත්, මේ හැම දෙයක්ම මතකයේ නොරැඳේ. හරිශ්නවී ඝාතනයද මෙසේ බොහෝ දෙනෙකුට අමතකව ගොස් ඇති දෙයකි.

පසුගිය වසරේ ජනවාරි 16 දින [ඉකොනොමැට්ටා: නිවැරදි දිනය පෙබරවාරි 16 විය යුතුය] වවුනියාව උක්කුලන්කුලමේ හතරවන පියවරේ පිහිටි තමන්ගේ නිවසේ තනිව සිටි හරිශ්නවී මියගොස් සිටියේය. ඇය නිවසේ තනිව සිටියදී සේවයට ගිය [ඉකොනොමැට්ටා: විපුලානන්ද විදුහලේම ගුරුවරියක වූ] ඇගේ මව සේවය නිමකර නිවසට පැමිණි විට දකින්නට ලැබුණේ වහලයේ එල්ලී සිටි හරිශ්නවීගේ නිසල දේහයයි.

මේ මරණය සියදිවි නසාගැනීමක් මෙන් පෙනෙන්නට තිබුණත් පසුව පැහැදිලි වූ පරිදි ඇයව දූෂණය කර මරා දැමීමෙන් පසුව සියදිවි නසා ගැනීමක් මෙන් පෙනෙන්නට ඝාතකයින් විසින් මිනිය වහලයේ එල්ලා තිබුණේය. [ඉකොනොමැට්ටා: ඇගේ කලිසම මාරු කර ඇති බවත් එහි බොත්තම් හා සිපරය නිසි ලෙස වසා නැති බවත්, ඇගේ ජංගම දුරකථනය හා මුද්ද අතුරුදහන්ව ඇති බවත් නිරීක්ෂණය වීමෙන් පසු මවට සැක පහළ විය.] මේ සිසුවියගේ ඝාතනය සිදු වූ අළුත ප්‍රදේශවාසීන්ගේ විරෝධතා හා දේශපාලනඥයින්ගේ ප්‍රකාශ අඩුවක් නොතිබුණත් පුදුම සහගත ලෙස දැන් මේ සිදුවීම සියල්ලන්ටම අමතක වී තිබේ.

මේ පිළිබඳ මූලික විමර්ශන සිදු කිරීමෙන් පසුව අසල්වැසි නිවසක පදිංචිකරුවෙකු සැක පිට අත් අඩංගුවට ගැනුණේය. මේ වන විට විමර්ශන ඇරඹී මාස 21ක් ගත වී ඇතත් සිදුවූ දෙයක් පෙනෙන්නට නැත. [ඉකොනොමැට්ටා: මෙහි සැබෑ තත්ත්වය කුමක්දැයි මා ස්ථිරව දන්නේ නැත.]

මේ මිනීමැරුම යාපනයේදී සිදුවුණු මිනීමැරුමකට බොහෝ සමානය. ඒ මිනීමැරුම සිදුවුණේ හරිශ්නවී ඝාතනයට අටමසකට පමණ පෙරය. 2015 මැයි මාසයේදී පුන්කුඩුතිව් සිසුවියක් කුරිරු ලෙස ඝාතනය විය.

මේ සිදුවීම් දෙකෙන් අනතුරුව කටයුතු සිදු වූ ආකාර කෙතරම් වෙනස්ද යන්න ඉතා පැහැදිලිය. විද්‍යා ඝාතනය සිදුවීමේදී මුල සිට අග දක්වා සිදු වුණේ කුමක්ද? ලබාදුන් තීන්දුව කුමක්ද? එහි මහමොළකරුවෝ කවුද?  මේවා නොදන්නා කෙනෙක් නැත. නමුත්, හරිශ්නවී ඝාතන සිද්ධියේ විමර්ශන වල ප්‍රගතිය ගැන දන්නා අය කොපමණ සිටීද? මේ සිද්ධිය ගැන විමර්ශනද කඩිනමින් අවසන් වී ඉක්මණින් තීන්දුවක් ලැබෙනවා දකින්නට අපි කැමැත්තෙමු. මේ කුඩා දැරිය සියල්ලන්ටම අමතකව ඇති බව පෙනීම කණගාටුවට කරුණකි.

මේ හා අදාළව මුලදී පෙනෙන්නට තිබුණු උනන්දුව දැන් නැත. එහෙත්, වින්දිතයින්ට සාධාරණය ඉටු කරගැනීම සඳහා ජීවිත කාලයක් බලා සිටිය නොහැකිය.

මේ විමර්ශන වල වත්මන් තත්ත්වය ගැන අපි විමසීමක් කළෙමු. මේ ලිපිය ලියන්නට අප පෙළඹුණේ විමර්ශන වල ප්‍රගතිය පිළිබඳව අපට සෑහීමකට පත් විය නොහැකි බැවිනි. දෙමසකට පෙර මේ නඩුව උසාවියේදී විභාගයට ගැනුණු අතර උසාවියේ නිගමනය වූයේ සැකකරුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. විමර්ශන මෙහෙයවන පොලිස් නිලධාරීන්ගෙන් විමසූ විට ප්‍රකාශ කර සිටින්නේ අත් අඩංගුවේ සිටින සැකකරු ඝාතකයා වීමට 99%ක්ම ඉඩ ඇති බව පෙනෙන නමුත් එය තහවුරු කළ හැකි තරමේ සාක්ෂි නොමැති බවයි. සාක්ෂි එකතු කර චෝදනා ගොනු කිරීමට තවත් මාස හතරක් පමණ ගත විය හැකි බවද පැවසුනේය.

ලංකාවේ අධිකරණ අමාත්‍ය ධුරය දරන්නේ කාන්තාවකි. ඇයට මවකගේ දුක නොතේරේද? මාධ්‍ය වලින් පෙනෙන පරිදිනම් ජනාධිපතිවරයා දරුවන් ගැන ලොකු සැලකිල්ලක් දක්වන අයෙකි."

ගොසිප්ලංකා වෙබ් අඩවියේ පාඨක ප්‍රතිචාර වල ඇති ජාතිවාදී මුහුණුවර පැත්තකින් තිබ්බොත් ඒවායේ මූලික අදහස ඉහත තමිල්වින් වෙබ් අඩවියේ පළව ඇති ලිපියේ මූලික අදහසට සමානය. එයින් කියවෙන්නේ "යාපනයට කිරි වවුනියාවට කැකිරි" යන අදහසයි.

ඇතැම් විට හරිශ්නවී ඝාතන විමර්ශන සාමාන්‍යයෙන් එවැනි කටයුතු සිදුවන වේගයෙන් සිදුවනවා විය හැකිය. මෙවැනි වරදකට චෝදනා ගොනු කිරීම පහසු කටයුත්තක් නොවේ. කෙසේ වුවද, මේ ලිපියෙන්ද පැහැදිලි වන පරිදි ලංකාවේ අධිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව රටේ බොහෝ දෙනෙකු සෑහීමකට පත්ව නොසිටිති.

බොහෝ දෙනෙකු එසේ සෑහීමකට පත්ව නොසිටීමට සාධාරණ හේතු තිබේ. ලංකාවේ අධිකරණ පද්ධතියද වෙනත් බොහෝ අංශ මෙන්ම කාර්යක්ෂම නැත. පසුගිය කාලයේදී මෙහි කිසියම් ප්‍රගතියක් සිදුවී ඇතත් රටේ බොහෝ දෙනෙකුට එය ඇඟට දැනී නැත.

විද්‍යා ඝාතන සිද්ධිය පිළිබඳ විමර්ශන වලට හෝ හරිශ්නවී ඝාතන සිද්ධිය පිළිබඳ විමර්ශන වලට රටේ රාජ්‍ය නායකයා මැදිහත් විය යුතු නැත. අධිකරණ ඇමතිවරයා මැදිහත් විය යුතුද නැත. මේවා බරපතල ගණයේ අපරාධ බවට විවාදයක් නැතත් රටක රාජ්‍ය නායකයෙකු මැදිහත් වීම කිසිසේත්ම අවශ්‍ය නොවන සිල්ලර සිදුවීම්ය. එහෙත්, මේ ආකාරයේ සිල්ලර සිදුවීම් වලට පවා රටේ රාජ්‍ය නායකයා මැදිහත් විය යුතු බව සිතන බොහෝ දෙනෙක් ලංකාවේ සිටිති.

එක අතකින් එසේ සිතීමේ වරදක්ද නැත. ලංකාවේ ජනාධිපතිවරුන් විසින් සිල්ලර සිදුවීම් වලට මැදිහත් වෙමින් කාලයක් තිස්සේ පූර්වාදර්ශ දී තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙය ලොකුවටම කළ අයෙකි. ඊට පෙර ජනාධිපති ප්‍රේමදාසගේ දින චර්යාවේද මෙවැනි සිල්ලර සිදුවීම් වලට මැදිහත් වීම ප්‍රධාන කටයුත්තක් විය. වත්මන් ජනාධිපති වරයාද මේ පුරුද්දෙන් බැහැර වී නැත.

රාජ්‍ය නායකයෙකු රටේ සිල්ලර සිදුවීම් වලට මැදිහත් වීම තනිකරම සෝබන වැඩක් පමණි. විසි එක් වන සියවසේ රාජ්‍ය නායකයෙකු වෙස් වලාගෙන රෑ කාලයේ ගෙවල් වලට රිංගා ජනතාවගේ ප්‍රශ්න හොයාගත්තේයැයි කියන රජෙක් මෙන් හැසිරිය යුතු නැත. රටේ අධිකරණ පද්ධතිය අකාර්යක්ෂමනම් රාජ්‍ය නායකයෙකු විසින් කළ යුත්තේ එය කාර්යක්ෂම කිරීමට පියවර ගැනීම මිස තෝරාගත් හුදෙකලා සිදුවීම් වෙත අවධානය යොමු කිරීම නොවේ.

විද්‍යා ඝාතන සිද්ධිය වැනි සිද්ධියක විමර්ශන කඩිනම් කිරීමට හෝ ආර්ථික අර්බුද වලින් පෙළෙන කිසියම් කලාකරුවෙකුට නිවසක් ලබා දෙන්නට රටක රාජ්‍ය නායකයෙකු මැදිහත් වන විට මතුපිටින් පෙනෙන්නේ මේ කටයුත්ත අගතියට පත් පාර්ශ්වයකට සාධාරණය ඉටු කිරීමක් ලෙසිනි. එහෙත්, එහිදී ඇත්තටම වෙන්නේ එහි අනිත් පැත්තයි. මේ බොහෝ අවස්ථා වල සමාන තත්ත්වයන්ට මුහුණ දෙන තවත් විශාල පිරිසකට අසාධාරණයක් සිදුවේ.

තෝරාගත් එක් අයෙකුට "සාධාරණයක් ඉටු කරන" හැම විටකම සිදුවන්නේ ඇතැම් අයට "වඩා සමාන ලෙස" සැලකීමකි. මෙය විශාල පිරිසකට පෙනෙන්නේ "එයාට විතරක් කිරි අපිට කැකිරි" ආකාරයෙනි. සැලකිල්ල ලබන්නේ දෙමළෙක් වූ විට සිංහලයන්ට පෙනෙන්නේ සැලකිල්ලට හේතුව දෙමළ වීම බවයි. සැලකිල්ල ලබන්නේ සිංහලයෙක් වූ විට දෙමළුන්ට පෙනෙන්නේ සැලකිල්ලට හේතුව සිංහල වීම බවයි. සැලකිල්ල ලබන්නේ පිරිමියෙක් වූ විට ගැහැණුන්ට පෙනෙන්නේ සැලකිල්ලට හේතුව පිරිමියෙක් වීම බවයි. සැලකිල්ල ලබන්නේ ගැහැණියක වූ විට පිරිමින්ට පෙනෙන්නේ සැලකිල්ලට හේතුව ගැහැණියක වීම බවයි.

අවශ්‍ය වන්නේ විශේෂ සැලකිලි නොවේ. කිසිවකුට විශේෂ සැලකිලි අපේක්ෂා කිරීමට අවශ්‍ය නොවන වාතාවරණයකි. ඒ නිසා හරිශ්නවීගේ පවුලේ අය ඇතුළු බොහෝ දෙනෙක් ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ගැන හිතන ආකාරය ගැන අවධානය යොමු කරන්නට මිස හරිශ්නවීගේ ඥාතීන්ට පමණක් හැකි ඉක්මණින් සාධාරණය ඉටු කර ගැනීමේ අරමුණින් මා මේ ලිපිය කිසිවකුගේ විශේෂ අවධානයට යොමු කරන්නේ නැත.

21 comments:

  1. විධායක ජනාධිපතිවරුන්ගේ රාජකාරිය විවාහ වල සාක්ෂි කාරයෙක් වීමවත්,
    ස්ත්‍රී දූෂණයක් වූ පවුල් හමුවී ඔවුන් සැනසීමවත් නෙමෙයි.
    ජනාධිපති කලේ අනවශ්‍ය වැඩක්.

    // "වැඩිමහල් සොහොයුරියගේ උසස් අධ්‍යාපන කටයුතු මෙන්ම එම පවුලේ ඉදිරි කටයුතු වෙනුවෙන් ලබාදිය හැකි සියලු උපකාර සිදුකරන බවට" පොරොන්දු වී
    දැන් මේවා කරන්නේ කාගේ මුදල් වලින්ද?
    අනිත් අතට මම හිතන්නේ ඒ පවුල එතරම් දුප්පත් නෑ

    ReplyDelete
    Replies
    1. එක් අයෙකු වෙනුවෙන් මෙවැනි දෙයක් කළ විට තවත් බොහෝ දෙනෙක් ඒ සමාන සැලකුම් බලාපොරොත්තු වෙනවා. එසේ නොලැබෙන විට අතෘප්තියට පත්‍ වෙනවා. විද්‍යා වෙනුවෙන් සාධාරණය ඉටු කළ යුත්තේ තවත් දැරියන්ට එවැනි අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දෙන්න ඇති ඉඩකඩ වැළැක්වීමෙන් මිස ඇගේ පවුලේ අයට විශේෂ සැලකීමක් කිරීම මඟින් නෙමෙයි.

      Delete
  2. ජේ ආර් උන්නැහෙත් ඔහොම නාඩගං නැටුවද ..... අපි ඒ කාලේ පොඩි උං ඒකයි අහන්නේ

    ReplyDelete
    Replies
    1. මොන විවේචන තිබුණත් ජේආර් තමන් ජනාධිපති බව අමතක නොකළ කෙනෙක්. ප්‍රේමදාසනම් ඔහු අගමැතිව සිටි ජේආර්ගේ කාලයේදීත් මේ ජාතියේ සිල්ලර වැඩ කළා.

      Delete
  3. ඉතිං අපි හිතං හිටියට හිටං මිනිහා ජනාධිපති කියලා . මිනිහා හිතං ඉන්නේ මිනිහා ග්‍රාමසේවක කියලනේ හිටං,

    ReplyDelete
    Replies
    1. ටිකක් එහෙම ප්‍රශ්නයකුත් තියෙනවා. අනෙක් අතට රටේ බොහෝ දෙනෙක් ජනාධිපතිගෙන් ග්‍රාමසේවක වැඩ බලාපොරොත්තු වෙනවා.

      Delete
  4. පට්ට බං. මම දකින විදියට දැන් සිංහල බ්ලොග් අවකාශයේ තියෙන හොඳම බ්ලොග් එක මේක. ජයෙන් ජය !

    ReplyDelete
    Replies
    1. ටිකක බර වැඩියි වගේනම් දැනෙනවා. :) තැන්කියු මචං.

      Delete
  5. ඕනේ එහෙකුට රජ වෙන්න පුළුවන් ඒත් හැමෝටම ඩිප්ලෝමැටික් වෙන්න බෑ.. හැක්..

    අඩුම තරමින් වටේ ඉන්න හැට හුට හමාරක් වන්දිබ්ට්ටයින්ටවත් මේවා හරි වැරදි කියන්න පුළුවන් වෙන්න ඕනි..

    ReplyDelete
    Replies
    1. වන්දිභට්ටයින්ගෙන්නම් ඔයිට වඩා වෙනස් දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

      Delete
  6. ලංකාවේ යුක්තිය පසිඳලිම අන්තිම දුර්වලයි. එයින් වැඩිවාසි අත්වන්නේ බලපුළුවන්කාර චුදිතයින්ට විතරයි. වාර්තා ප්‍රමාද කරවනවා පුළුවන් තරම් අවසානයේ සාක්කි කරුවන්ට හරියට සාක්කියක් දෙන්න මතක නැතිවෙනවා නඩුව පටන් ගන්න කාලෙ වෙනකොට . නැත්නම් විශේෂඤ සාක්කිකරුවෝ මිය ගිහිං නැත්නම් රට හැර ගිහිං අනිතිමේ විත්තිය නිදහස් වෙන්න තියෙන අවස්ඨාව වැඩියි. ආන්දෝලානාත්මක මරණයන් පත්තර කාරයන්ටත් මතක තියෙන්නේ මාස කිපයයි . මමත් එවැනි මරණයක් නිසා අගතියට පත් පාර්ශවයක කෙනෙකේ . රස පරික්‍ෂන වාර්තාව ගෙන්න ගන්න අව්රුදු 2 1/2 ක් ගියා . ඒත් කිසිම වැඩක් නැති වාර්තවක් තමයි පිටවුනේ . ඊට පස්සේ තව අව්රුදු 1 1/2ක් දැනට ගතවී තිබෙනවා . පොලීසිය තවම හර්යට පරික්‍ෂණ ඉවර නෑ කියල දිනගන්නවා තවම නඩුවක් ගොනුකරලත් නෑ තවම යන්නනේ B-ව්ර්තාව සැකකරු හොඳ connections ඇති අයෙක් .මේවා හිතාමතාම පරක්කු කරවනවා වගේ තමයි පේන්නේ !

    ReplyDelete
    Replies
    1. රජයේ ගොඩක් අංශ වල තිබෙන අකාර්යක්ෂමතාවයන්ට විසඳුම එවැනි කාර්යයන් රජයෙන් ගලවන එකයි. එහෙත්, යුක්තිය පසිඳලීම කියන්නේ එසේ රජයෙන් ගැලවිය නොහැකි දෙයක්. ඒ නිසා, එවැනි අංශයක් වහාම බැරි වුනත් ක්‍රමිකව හෝ කාර්යක්ෂම කිරීම රජය විසින් කළ යුතුම දෙයක්. ඒ වගේම ඒ බව පෙනෙන්නට සැලැස්විය යුතුයි. ආරම්භක පියවරක් වශයෙන් කළ හැකි දෙයක් වන්නේ මැනිය හැකි නිර්ණායක ප්‍රසිද්ධ කිරීමයි. උදාහරණයක් වශයෙන් විවිධ අනු අංශ යටතේ නඩුවක තීන්දුව දීමට ගත වුනු සාමාන්‍ය කාලය.

      Delete
  7. ඉකොනොමැට්ටා,

    පුත්තලම, නල්ලන්දළුව ප්‍රදේශයේ නිවෙසකට බලහත්කාරයෙන් ඇතුළු වී කාන්තාවකට ලිංගික අතරවර කිරීමේ සිද්ධියකට අදාල අපරාධකරුව‍ෙක්ට දඩුවම් දෙනවා වෙනුවට දූෂණයට ලක්වූ කාන්තාවට අමානුෂික දඩුවමක් ලබාදීමේ පුවතක් වාර්තා වනවා.

    දූෂණයට ලක්වූ ජෙස්මීර් සිත්ති ජෙරසීමා නමැති කාන්තාව නල්ලන්දළුව ජුම්මා මුස්ලිම් පල්ලියට කැදවා ඉස්ලාම් ආගමික ශරියා නීතිය අනුව පිරිමියකු වරදට පෙළඹවීමේ වැරැද්ද නිසා පොල්පිති පහරවල් 100ක් ගැසීමට පල්ලියේ පරිපාලක මණ්ඩලය අණ කර ඇති අතර පහරදීමෙන් පසු එම කාන්තාව හදිසියේ මියගොස් ඇත.

    අදාල සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නල්ලන්දළුව ජුම්මා පල්ලියේ පරිපාලනයට සම්බන්ධ තාජුර් මුනීර්, අබ්දුල් කාදර්, අබ්දුල් සතාර්, ආදම්පුල්ලේ මොහමදුරාපි, සෙයිනුල් ආබ්දීන් තවුෆිකා යන සැකකරුවන් 05 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා නියෝග කර ඇත.

    මේ ගැන ඔබ දරන මතය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. මා දන්නා තරමින් විවාහ, දික්කසාද හා දේපොළ උරුමය හා අදාළව මුස්ලිම් නීතිය ලංකාවේ ක්‍රියාත්මක වුවත් මෙවැනි කරුණු හා අදාළව එසේ නීතිය අතට ගැනීමේ හැකියාවක් කිසිවෙකුට නැහැ. මෙය රටේ පොදු නීතියට එරෙහිව යාමක්. ස්ත්‍රී දූෂණයක් සිදු වූවානම් දූෂකයාට එරෙහිවත්, අනියම් මිනීමැරුමක් සිදුවී ඇත්නම් එයට වගකිව යුතු අයටත් එරෙහිව රටේ පොදු නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මේ සිද්ධිය සිදුවී වසරක් ගතවී ඇති බව පෙනෙනවා. සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු නඩුවට සිදු වූ දෙය දන්නවද?

      Delete
    2. //මා දන්නා තරමින් විවාහ, දික්කසාද හා දේපොළ උරුමය හා අදාළව මුස්ලිම් නීතිය ලංකාවේ ක්‍රියාත්මක වුවත් මෙවැනි කරුණු හා අදාළව එසේ නීතිය අතට ගැනීමේ හැකියාවක් කිසිවෙකුට නැහැ. මෙය රටේ පොදු නීතියට එරෙහිව යාමක්. //

      You mean common law or criminal law? This seems "conflict of laws" isn't it?

      In SL, Muslim men have the right to marry a girl under 18 (but >16 I guess) under Muslim law & if non-muslim man do the same, he should be prosecuted under criminal law (criminal offence). Is it fair enough? For civil/ commercial/ property laws, we could accept they could follow different procedures but criminal law should be the same for all citizens isn't it? Am I right?

      //සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු නඩුවට සිදු වූ දෙය දන්නවද?//

      නැහැ. May be the case still go on, it might take another 5 - 15 years to award the decision with Lankan legal system.

      Delete
    3. මම පොදු නීතිය යනුවෙන් අදහස් කළේ common law නොව අපරාධ නීතියයි. මේ වචනය භාවිතා කළේ රටේ අපරාධ නීතිය සියල්ලන්ටම පොදුයි යන අරුතින්. ඔබ පෙන්වා දෙන කරුණ අනුව බැලුවොත් (වක්‍ර ලෙස) එයත් එසේ නැහැ.

      Delete
  8. විද්‍යා ඝාතනයෙදි තව දෙයක් වුනා.
    එහිදී එම සිද්ධියට විරෝධය පා අයුතු ජනරාශියක් සිදුවුනා.
    එවිට අපේ කොමියුනිස්ට් හැදියාව (:D) තියෙන උන් එම ජනරාශියට සම්බන්ධ අය දෙමළ නිසාම එම ක්‍රියාව මහා ශ්‍රේෂ්ඨ දෙයක් හැටියට අර්ථ දැක්වුවා.
    ඉන් පසු සේයා සඳමිනි ඝාතනය අවස්ථාවෙදි සිංහල මිනිස්සුත් ඒ ආකාරයටම හැසිරුනා

    ReplyDelete
    Replies
    1. Dear Mr. Jagath,

      Could you please explain the term "කොමියුනිස්ට් හැදියාව" with more details/ examples? Is it a term translated to Sinhalese from Marxism? Das Capital or communist manifesto?

      Any formal definitions? Gimme few examples as well. Thanks in advance.

      Delete
    2. මේක උදාහරණ වලින් පැහැදිලිකල හැකියි.
      ගැහැනියක් ගබ්සාවක් කරගතහොත් අපායට යා යුත්තේ ඇය සමඟ ලිංගිකව හැසිරුන පිරිමියායි.
      දෙමලෙක් වරදක් කලහොත් එයට වගකිව යුත්තේ සිංහල ජාති වාදීන්.
      දුප්පතෙක් වරදක් කලහොත් එයට වැරදිකරු වන්නේ ධනවතෙක්.

      ඔයවිදියේ අදහස් තියෙන අය.

      Delete
    3. Dear Jagath,

      Thanks a lot. Got it. In SL, mostly governments do bulshits & put the blame on the opposition in this manner, for example the politicians of current Yahapalana regime almost put blame on bloody Rajapakse gang most of the time though it was a fault of them.

      For all the problems in north / East, Tamil separatist groups/ Politicians put the blame on Sinhalese community in the south. Their southern agents/ NGOs which are severely corrupted (just work for funds) continue this thereafter. Though I'm not a Sinhala racist, I accept that. BTW, the Sinhala racists also get benefits from this as well. Cheers.

      Delete
  9. ඔබේ ලිපියට එකඟයි. දෙපැත්තෙන් තුන් පැත්තෙන් හැමෝම හිතන්නේ අසාධාරණ තමන්ට කියල. බලනකොට හැමෝම අසාධාරණයට ලක් වෙලා. දෙවෙනි දැරියගේ සිද්දිය අහල තිබුනේ නැහැ. ලනක්වේ ළමා අතවර විශාල වශයෙන් සිදු වෙනවා කියල ඊයේ පෙරේද ගිය ප්‍රස්න්ගයකදී අහන්න ලැබුණ .

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget