Saturday, June 8, 2019

විස්සෙන් පස්සේ විස්ස පර නොවන්නට...

ජනාධිපති සිරිසේනගේ ධුර කාලය අවසන් වෙන්න තවත් තිබෙන්නේ මාස හයක් පමණයි. ඉන් පසුව, එළැඹෙන මැතිවරණ වල ප්‍රතිඵල ගැන අනාවැකි කියන්න තවමත් කල් වැඩියි. මැතිවරණවලට ඉදිරිපත් විය හැකි අපේක්ෂකයින් සම්බන්ධව වගේම ඇති විය හැකි මැතිවරණ සන්ධාන පිළිබඳවත් තවමත් තිබෙන්නේ අවිනිශ්චිත භාවයක්. අඩු වශයෙන් ප්‍රධාන මැතිවරණ පෙල ගැසෙන අනුපිළිවෙල ගැන හෝ ස්ථිරව කියන්න පුළුවන්කමක් නැහැ.

මේ වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වී වසර හතරහමාරක් වෙනවා. මහ මැතිවරණය පැවැත්වුණේ ඉන් මාස ගණනාවකට පසුව වුවත්, යහපාලන ආණ්ඩුවට මේ වන විට වසර හතර හමාරක් වයසයැයි සැලකීමේ වැරැද්දක් නැහැ. මම හිතන්නේ යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ගැන පසු විපරමක් කරන්න මෙය හොඳ අවස්ථාවක්.


රාජපක්ෂ දශකය තුළ ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 6.4%ක්ව පැවතියා. වසර විසිහයක් පැවති සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව රටේ ජාතික ආර්ථිකය සමඟ කාලයක් තිස්සේ බද්ධ වී නොතිබුණු බිම් කොටස් වල සිදුවන ආර්ථික කටයුතු ජාතික ආදායම් ඇස්තමේන්තු වලට නැවත ඇතුළත් වීම හා අදාළ කාලපරිච්ඡේදයේ අවසන් කාලයේ ආර්ථික වර්ධනය අඩු මට්ටමක පැවතීම වැනි කරුණු සැලකිල්ලට ගත්තත් මේ ආර්ථික වර්ධන වේගය නිදහසින් පසු ලංකාවේ කවර හෝ ආණ්ඩුවක් යටතේ දැකිය හැකි වූ වේගවත්වත්ම ආර්ථික වර්ධනය යන කරුණ බැහැර කරන්න බැහැ.

පසුගිය සිවු වසර තුළ ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය යාන්තම් 4.0%ක් පමණයි. මේ අවුරුද්දේ ආර්ථික වර්ධන වේගය මේ මට්ටමටවත් පැමිණෙයි කියා හිතන්න අමාරුයි. 1977න් පසු කවර හෝ ආණ්ඩුවක් යටතේ ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය මෙතරම් අඩු වී නැහැ. ඊට පෙරද කිසිදු එජාප ආණ්ඩුවක් යටතේ ආර්ථික වර්ධනය මෙතරම් අඩු වී නැහැ. එසේ ආර්ථික වර්ධන වේගය අඩු වී තිබෙන්නේ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ 1956-64 හා 1970-77 වකවානු වලදී පමණයි. ඒ අනුව, රටේ ආර්ථිකය පිළිබඳ ප්‍රධානම නිර්ණායකය වන ආර්ථික වර්ධනය පිළිබඳව සැලකූ විට යහපාලන ආණ්ඩුවේ අසමත්කම කැපී පෙනෙනවා.

කොහොම වුනත්, යහපාලන ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුව මෙන් රටේ ආර්ථික වර්ධනය ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති ඉලක්කය සේ නොසැලකු බව අපට මෙහිදී නොසලකා හරින්න බැහැ. යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති ඉලක්කය වූයේ ආර්ථික ස්ථාවරත්වයයි. ඔවුන් ඒ වෙනුවෙන් ආර්ථික වර්ධනය අඩාල කෙරෙන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගන්න පැකිළුනේ නැහැ. යහපාලන ආණ්ඩුවේ වචන වලින්ම කියනවානම් ඔවුන්ගේ ඉලක්කය වූයේ පළමුව "රාජපක්ෂ ණය" ගෙවා ණය උගුලින් මිදී දෙවනුව ආර්ථික වර්ධනය ගැන හිතීමයි.

යහපාලන ආණ්ඩුව බලයට පත් වන විට ලංකාව ණය උගුලක පැටලී සිටි බව බොරුවක් නෙමෙයි. රාජපක්ෂ දශකය තුළ ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,139.5 සිට රුපියල් බිලියන 7,390.9 දක්වා 3.45 ගුණයකින් ඉහළ ගියා. මෙය 13.2%ක වාර්ෂික වර්ධනයක්. කෙසේ වුවත්, මේ ණය වර්ධනය ලංකාව පිළිබඳව සැලකූ විට අසාමාන්‍ය ණය වර්ධනයක් නෙමෙයි. නිදහසින් පසු බලයට පත් වූ සෑම ආණ්ඩුවක් යටතේම වගේ අඩු වශයෙන් 12-13% පමණ වේගයකින් වාර්ෂිකව රාජ්‍ය ණය ප්‍රමාණය ඉහළ ගියා. ඒ නිසා, ලංකාව ණය උගුලක පැටළුනේ රාජපක්ෂ දශකය ඇතුළත බව කියන්න බැහැ. මේ බව මා මීට පෙර කරුණු සහිතව පෙන්වා දී තිබෙනවා.

රාජපක්ෂ ආණ්ඩුව බලයට පත් වන විටත් ලංකාව හිටියේ මේ ණය උගුලේ පැටලිලයි. ණය උගුලෙන් ගොඩයාම පිණිස රාජපක්ෂ උපාය මාර්ගය වුණේ රජයේ වියදම් අඩු කිරීම වෙනුවට රාජ්‍ය ආයෝජන වෙනුවෙන් තවත් වියදම් වැඩි කර ඒ හරහා රටේ ජාතික ආදායම වැඩි කිරීමෙන් ණය ගෙවීමේ හැකියාව වැඩි කර ගැනීමයි. ණය ගෙවීමේ හැකියාව වැඩි වුනාද නැද්ද යන්න විවාදිත කරුණක්. එහෙත්, මේ උපාය මාර්ගය හේතුවෙන් රටේ ජාතික ආදායම් ඉහළ ගියා. ඒ නිසා, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය පහළ ගියා.

යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති උපාය මාර්ගය වුණේ තනිකරම එහි අනිත් පැත්තයි. ඒ රජයේ ප්‍රාග්ධන වියදම් කපා හැර අළුතින් ණය ගැනීමේ අවශ්‍යතාවය සීමා කර ගැනීමයි. රාජ්‍ය වියදම් අඩු කිරීම කියා කිවුවත්, ඇත්තටම අඩු කළේ රජයේ ප්‍රාග්ධන වියදම්. රජයේ පුනරාවර්තන වියදම් එතරම් අඩු කෙරුණේ නැහැ. ඒ එක්කම, රජයේ ආදායම් වැඩි කර ගැනීම සඳහා බදු ඉහළ දැමීම කෙරෙහිත් යහපාලන ආණ්ඩුව යොමු වුණා. මේ හැම දෙයක්ම රටේ ආර්ථික වර්ධනය අඩාල කරන්න හේතු වුණා.

දැන් අප විමසා බැලිය යුත්තේ ආර්ථික වර්ධනය පැත්තෙන් මේ තරම් පාඩුවක් කරගෙන පසුගිය සිවුවසර තුළ රාජ්‍ය ණය කෙතරම් දුරකට අඩු කරගන්න යහපාලන ආණ්ඩුව සමත් වුණාද කියන එකයි. කලින් සටහන් කළ පරිදි, 2014 අවසානයේදී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,390.9ක්. 2018 අවසන් වන විට රුපියල් බිලියන 11,977.5ක්. මෙය 12.8%ක සාමාන්‍ය වාර්ෂික වර්ධනයක්. රාජපක්ෂ දශකයේ 13.2%ක ණය වර්ධන වේගයට වඩා අඩු යාන්තමිනුයි. මේ අනුව, පෙනෙන්නේ ආර්ථික වර්ධනය විශාල සේ අඩාල කෙරෙන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් පසුවත්, ණය අඩු වීම කෙසේ වෙතත්, රාජපක්ෂ දශකයේ ණය වැඩි වූ වේගයටම කිට්ටු වේගයකින් පසුගිය වසර හතර ඇතුළතත් ලංකාවේ රාජ්‍ය ණය ඉහළ ගොස් තිබෙන බවයි.

ආර්ථික වර්ධන වේගය විශාල ලෙස අඩු වෙද්දී ණය වර්ධන වේගය ඉතා සුළුවෙන් පමණක් අඩු වීමේ ප්‍රතිඵලයක් ලෙස දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් සේ ගත් විට ලංකාවේ රාජ්‍ය ණය ඉහළ යමින් තිබෙනවා. රාජපක්ෂ දශකය තුළ සිදු වුණේ එහි අනිත් පැත්තයි.

රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමේ අවශ්‍යතාවය මේ ආණ්ඩුව විසින් පුන පුනා කිවූ දෙයක්. ඒ වෙනුවෙන් විවිධ බදු හඳුන්වා දෙන්න ආණ්ඩුව පැකිළුනේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුවේ ආදායම් කොතරම් වැඩි වී තිබෙනවද? 2014-2018 කාලය ඇතුළත රජයේ බදු ආදායම් 13.00%ක සාමාන්‍ය වේගයකින් හා සමස්ත ආදායම් 12.58%ක සාමාන්‍ය වේගයකින් වර්ධනය වී තිබෙනවා. නමුත්, රාජපක්ෂ දශකය හා සැසඳූ විට මෙහි විශාල ප්‍රගතියක් පෙනෙන්න නැහැ. 2004-2014 කාලයේදී රජයේ බදු ආදායම් 14.07%ක සාමාන්‍ය වේගයකින් හා සමස්ත ආදායම් 14.39%ක සාමාන්‍ය වේගයකින් වර්ධනය වුණා.

රාජපක්ෂ දශකයේදී රජයේ බදු ආදායම් වඩා වේගයෙන් ඉහළ ගොස් ඇතත් හැම දෙයකටම බදු ගහන බව කියන්නේ යහපාලන ආණ්ඩුවයි. එහෙම වුණේ කොහොමද?

බදු අනුපාතික ඉහළ යවන හැම විටම රජයේ බදු ආදායම් ඉහළ යන්නේ නැහැ. ඉහළ දැමූ බදු නිසා කිසියම් භාණ්ඩයක හෝ සේවාවක මිල ඉහළ ගිය විට ඉල්ලුම අඩුවී විකිණෙන භාණ්ඩ ප්‍රමාණය අඩු වෙන නිසා අවසානයේදී රජයේ බදු ආදායම පහළ වැටෙන්න පුළුවන්. මේ ආණ්ඩුව විශාල සේ බදු වැඩි කළ අවස්ථා කිහිපයකදීම එවැනි තත්ත්වයක් දකින්න ලැබුණා. නිසි අධ්‍යයනයකින් තොරව බදු අනුපාතික ඉහළ දැමූ විට වෙන්නේ ආණ්ඩුවේ ජනප්‍රිතාවය අඩුවන නමුත් අවශ්‍ය ප්‍රතිඵලය වන රජයේ ආදායම් ඉහළ යාම සිදු නොවීමයි. එවිට, සැලසුම් කළ පරිදි රජයේ අයවැය හිඟය අඩු කරන්න හෝ ණය ගෙවන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. අනෙක් අතින් රාජපක්ෂ දශකයේ පැවති ඉහළ ආර්ථික වර්ධන වේගය නිසා බදු අනුපාතික වැඩි නොකළත් රජයේ බදු ආදායම් ඉහළ ගියා.
 

රට හිරවී සිටින ණය උගුල සැළකු විට පසුගිය වසර හතර ඇතුළත අමුතු දෙයක් සිදු වී නැහැ. තවමත් වාර්ෂිකව 13%ක පමණ වේගයකින් රටේ ණය ඉහළ යනවා. මේ ණය වෙනුවෙන් ලංකාවේ ආණ්ඩුව විසින් වාර්ෂිකව ගෙවිය යුතු පොලී අනුපාතිකය වසරින් වසර විචලනය වුවත් දිගුකාලීනව බැලූ විට එය ස්ථාවර එකක්. සාමාන්‍යයක් ලෙස 6.5%ක පමණ වාර්ෂික පොලියක්. ඒ නිසා, රාජ්‍ය ණය ඉහළ යාමට අනුරූපීව වාර්ෂික පොලී වියදමත් වැඩි වෙනවා (රූප සටහන 2).

පසුගිය වසරේදී ලංකාවේ රජය රාජ්‍ය ණය වෙනුවෙන් පොලී ලෙස ගෙවූ මුදල පමණක් රුපියල් බිලියන 852.2ක්. මේ මුදල රජයේ සමස්ත බදු ආදායමෙන් 49.8%ක්. රජයේ සමස්ත ආදායමෙන් 44.4%ක්. රජයේ බදු ආදායමෙන් බාගයක්ම පොලී විදිහට ගෙවුවට පස්සේ රජයකට කලින් ගත් ණය ගෙවන්න පුළුවන්කමක් නැහැ. ඉතිරි කොටස රජයේ වියදම් වලටත් මදි නිසා තවත් ණය ගන්නම වෙනවා. රටේ ණය කාලයක් තිස්සෙම වාර්ෂිකව 13%කින් පමණ ඉහළ යන්නේ ඒ නිසයි. රටේ ණය 13%කින් වැඩි වන විට වාර්ෂික පොලී වියදමත් 13%කින් වැඩි වෙනවා.

ලංකාවේ පවතින තත්ත්වයන් යටතේ රජයේ බදු ආදායම් වසරකට 13%කට වඩා වැඩි වේගයකින් ඉහළ දමාගන්න අමාරුයි. ඒ මට්ටම තමයි ප්‍රශස්ත මට්ටම. රජයේ බදු ආදායම් ඉහළ දමා ගන්න කියලා බදු අනුපාතික ඕනෑවට වඩා වැඩි කළොත් වෙන්නේ ලැබෙන ආදායම තවත් අඩු වෙන එකයි. ඒ නිසා, මේ වර්ධන වේගය උපරිම සීමාවක්. මේ ආණ්ඩුව විසින් මේ කරුණ තහවුරු කරලා තිබෙනවා.

අනෙක් පැත්තෙන් මේ ආණ්ඩුව ප්‍රාග්ධන වියදම් සීමා කළත් පුනරාවර්තන වියදම් සීමා කරන්න සමත් වී නැහැ. එයත් ප්‍රායෝගිකව කරන්න අමාරු දෙයක්. රජයේ පුනරාවර්තන වියදම් වලින් වැඩි කොටසක් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්. පසුගිය වසරේදී මේ වියදම් වල එකතුව රුපියල් බිලියන 820.5ක්. මේ මුදල රජයේ සමස්ත බදු ආදායමෙන් 47.9%ක්. සමස්ත අදායමෙන් 42.7%ක්. මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව රාජ්‍ය සේවය විශාල කිරීමක් ලොකුවට සිදු නොකළත් රජයේ ආදායමෙන් පොලී ගෙවා ඉතිරිවන කොටසින් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවුවට පස්සේ අනික් හැම වියදමක් වෙනුවෙන්ම ඉතුරු වෙන්නේ බදු ආදායමෙන් 2.3%ක් පමණයි. සමස්ත ආදායමෙන් වුවත් 12.9%ක් පමණයි.

ඒ සොච්චම් මුදලෙන් ණය ගෙවන්න කලින් කරන්න තව කොයි තරම් දේවල් තියෙනවද? ප්‍රාග්ධන වියදම් සම්පූර්ණයෙන්ම අමතක කළත් රජයේ අනෙක් සියළු මිල දී ගැනීම්, සමෘද්ධි, පොහොර සහනාධාර වගේ තව කොයි තරම් වියදම් තියෙනවද? ඒ නිසා, ප්‍රාග්ධන වියදම් සම්පූර්ණයෙන්ම කපා හැරියත් (එහෙම කරන්න බැහැ. අපි නිකමට එහෙම හිතමු.) ලංකාවේ ආණ්ඩුවකට අලුත් ණය නොගෙන දැනට තියෙන ණය ගෙවන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අඩු ගණනේ අලුත් ණය නොගෙන ඉන්න එකවත් කරන්න පුළුවන්කමක් නැහැ.


ඒ නිසා දැනට තිබෙන ලංකාවේ රාජ්‍ය ණය තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්න පුළුවන් ආකාරයක් පෙනෙන්නවත් නැහැ. මේ විදිහට වසරින් වසර ණය වැඩි වෙද්දී සමස්ත රාජ්‍ය ආදායමෙන් පොලී වියදම් ලෙස වෙන් කළ යුතු ප්‍රතිශතයත් වසරින් වසර වැඩි වෙනවා. පොලී අනුපාතික වෙනස් වීම අනුව විචලනය වීම් සිදු වුවත් පසුගිය දශක තුනක කාලයේ මේ ප්‍රතිශතය වෙනස් වීමේ ප්‍රවණතාවය දෙස බැලූ විට (රූප සටහන 3) මේ කරුණ පැහැදිලි වෙනවා. ලංකාව පැටලිලා ඉන්න ණය උගුල ඔයාකාරයේ එකක්. මෙහි කෙළවර කොතැනද?

ඉදිරි මැතිවරණයකදී කවුරු බලයට පත් වුණත් භාර ගන්න වෙන්නේ මේ විදිහේ ගොඩ යන්න බැරි ණය උගුලක පැටලී තිබෙන ආර්ථිකයක්. රජයේ ප්‍රාග්ධන වියදම් වැඩි කරලා ඒ හරහා ආදායම් වැඩි කරගෙන ණය උගුලෙන් ගොඩයන්න රාජපක්ෂ ආණ්ඩුව උත්සාහ කළා. නමුත්, ඒ උපාය මාර්ගය හරිගියේ නැහැ. ණය බර තවත් වැඩි වුණා. ප්‍රාග්ධන වියදම් කපා හැරලා රජයේ අයවැය හිඟය අඩු කරගෙන උගුලෙන් ගොඩයන්න යහපාලන ආණ්ඩුව උත්සාහ කළා. ඒත් හරි ගියේ නැහැ. ණය කලින් ආකාරයටම වැඩි වෙද්දී ආර්ථික වර්ධනයත් අඩාල වුන එක විතරයි වුණේ.

ලංකාවේ ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් වී බලය ලබා ගන්න බලාගෙන ඉන්න අයට ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන නිසි අවබෝධයක් තිබෙනවාද? එහෙමනම්, රට හිර වී තිබෙන උගුලෙන් ගොඩගන්න ඒ අයගේ උපාය මාර්ග මොනවාද? පැරණි රාජපක්ෂ උපාය මාර්ගයමද? නැත්නම් යහපාලන උපාය මාර්ගයද? එහෙමත් නැත්නම් මේ දෙකම නොවන වෙනත් කවර හෝ විකල්ප උපාය මාර්ගයක් තියෙනවද?

10 comments:

  1. ///ජනාධිපති සිරිසේනගේ ධුර කාලය අවසන් වෙන්න තවත් තිබෙන්නේ මාස හයක් පමණයි. ඉන් පසුව, එළැඹෙන මැතිවරණ වල ප්‍රතිඵල ගැන අනාවැකි කියන්න තවමත් කල් වැඩියි.///
    මට නම් එක අනාවැකියක් 99.99% නිවැරදි තාවයෙන් අදම කියන්න පුළුවන්. වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් උනොත්, දෙවන ස්ථානය හෝ තුන්වන ස්ථානය මිසක් පළමුවන ස්ථානය නම් ලැබෙන්නේ නැහැ .

    ReplyDelete
  2. Only way to come out of economic crisis-
    https://www.rt.com/shows/news/461396-rtnews-june-08-17msk/

    relevent part between 7 and 13.20 mins.

    noteworthy how Bolivia's circumstances were used to contol the politics.

    ReplyDelete
  3. විසඳුමක් පෙනෙන තෙක් මානයක නැති ප්‍රශ්නයක්!

    ReplyDelete
  4. 'පසුගිය සිවු වසර තුළ ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය යාන්තම් 4.0%ක් පමණයි. මේ අවුරුද්දේ ආර්ථික වර්ධන වේගය මේ මට්ටමටවත් පැමිණෙයි කියා හිතන්න අමාරුයි. 1977න් පසු කවර හෝ ආණ්ඩුවක් යටතේ ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය මෙතරම් අඩු වී නැහැ.'

    එතකොට කටුනායකට කොටි ගහපු අවුරුද්දේ රටේ ආර්ථිකය රින උනා කියන්නේ බොරුද?

    ReplyDelete
    Replies
    1. ආර්ථිකය සංකෝචනය වූ 2001 වසරේ සෘණ අගයද ඇතුළත්ව චන්ද්‍රිකා අගමැතිව සිටි 1995-2001 කාලය ඇතුළතත් සාමාන්‍ය ආර්ථික වර්ධනය මීට වඩා (යාන්තමින් වුවත්) ඉහළින් තිබුණා. පහත සබැඳියේ තිබෙන පෙර ලිපිය බලන්න.

      http://emgesathapaha.blogspot.com/2016/04/blog-post_27.html

      Delete
  5. මෝදි ඇවිත් ගියා වගේ
    සිව් පැයකට ගොඩ බහින්න
    රෑ වෙනකොට පණ බේරං
    වෙන රටකට පියාඹන්න
    කව්දැයි එන ටුවරිස්ට්ලා
    ලක්මව සනසලා යන්න

    ReplyDelete
  6. ඔබ මුස්ලිම් මිනිහෙක් එක්ක දේශපාලනය ගැන කතා කලොත් ඔහු කියන්නෙම ආර්ථිකය ගැන විතරයි. නමුත් ඌ චන්දෙ දාන්නේ ආර්තිකයව ගැන හිතලා නෙමෙයි. සිංහලයනි රැවටෙන්න එපා.

    ReplyDelete
  7. ඉකොනෝ මහත්තයා එක්සත් ජතික පක්ෂ මාධ්‍ය ඒකකයෙන් ඉවත් කරා නේද? ඒක තමයි මාත් ඊයේ පෙරේදා නිවුස් එකක් දැක්කා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ නැගණිය එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකයේ බලය අතට ගෙන, එහි වැඩ කරපු බොහෝ දෙනෙක් ඉවත් කරා කියලා. මොකද රනිල් මහත්තයට ගොඩක් අය විරුද්ධයි නේ පක්ෂේ ඇතුලේ. මාධ්‍ය ඒකකයේ හිටපු අයත් එහෙමලු. ඉකොනෝ මහත්තයගේ මේ මාසේ පඩිය හම්බෙන එකක් නෑ නේද? දැන් මොකද කරන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මාධ්‍ය ඒකකයට වත් එකතු වෙන්න බලනවද?

    ReplyDelete
    Replies
    1. දැන් සිරිකොත payroll එකෙන් ඉකොනොමැට්ටාගේ මේ මාසේ පඩිය හම්බෙන එකක් නෑ නේද? දැන් මොකද කරන්නේ? අපි සම්මාදමක් වත් එකතු කරන්න බලමුද?

      Delete
  8. ඉකොමැට්ටා අපිට මේ ණය උගුලෙන් ගැලවෙන්න විදිහක් නැද්ද? ඇත්තටම ඔය වියදම් ඇතුලේ කොතරම් ප්‍රමානයක් දුශිත මුදල් ප්‍රවහයක් තියෙනවාද? අනෙක් කරුණ තමයි විගණාධිපතිවරයාට අනුව රජපක්ශ ණය ට්‍රිලියන 9ක් වුනාට වත්කම් එහෙම නැතිනම් වියපෘතිවල වටිනාකම ට්‍රිලියන 2ක් වැන්නේ කෙසෙද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.