Tuesday, May 28, 2019

නිවාඩු වාඩුව

අද අර්ථයෙන් ගත් විට පොදු නිවාඩු කියන අදහස යුරෝපීයයන් ලංකාවට එන්න කලින් ලාංකිකයින්ට පුරුදු දෙයක් නෙමෙයි. පොදු නිවාඩු වගේම දැන් සිදු වන ආකාරයට ආණ්ඩු විසින් සාමාන්‍ය ජන ජීවිතයේ කටයුතු නියාමනය කිරීමත්, දවස් හතේ ස්ථිර සතිය අනුව ජන ජීවිතයේ රටාව සකස් වීමත් සිදු වුනේ ඉංග්‍රීසි කාලයේදීයි.

දවස් හතේ ස්ථිර සතියේ පදනම හා සති අන්ත නිවාඩුව පරණ තෙස්තමේන්තුව මත පදනම් වන්නක්. දෙවියන් වහන්සේ ලෝකය හා මිනිසා මවන්න දවස් හතක් ගන්නවා. දවස් හතක් එක දිගට මැවීම් කරන දෙවියන්ට විවේකයක් අවශ්‍ය වෙනවා.

"දෙවියන්වහන්සේ තමන් විසින් කළ ස්වකීය කර්මාන්තය සත්වෙනි දවසේ නිමකළසේක. උන්වහන්සේ තමන් විසින් කරනලද සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත්සේක. දෙවියන්වහන්සේ තමන් මැවුවාවූ සෑදුවාවූ ස්වකීය සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත් හෙයින් ඒ දවසට ආශීර්වාදකොට එය ශුද්ධයයි නියමකළසේක."

පරණ තෙස්තමේන්තුවේ කතුවරුන්ට දවස් හතේ සතිය පිළිබඳ අදහස එන්න ඇත්තේත් බැබිලෝනුවන්ගෙන් වුවත් එය ලෝක සම්මතය වුණේ ක්‍රිස්තියානිය ප්‍රධාන ආබ්‍රහමික ආගම් වල බලපෑම නිසයි. ප්‍රධාන ආබ්‍රහමික ආගම් තුන දවස් හතේ සතිය පිළිබඳව එකඟ වුවත්, නිවාඩු දිනය පිළිබඳව එවැනි එකඟතාවයක් නැහැ. යුදෙවුවන්ගේ සබත් දවස සෙනසුරාදා. එහෙත්, වත්මන් ප්‍රධාන ධාරාවේ ක්‍රිස්තියානි නිකායයන් සතියේ ප්‍රධාන ආගමික දවස සේ සලකන්නේ ඉරිදා. ඉස්ලාම් භක්තිකයන්ට වඩා වැදගත් දවස සිකුරාදා. ක්‍රිස්තියානින්ගේ ආගමික දවස ඉරිදා වීමේ ඉතිහාසය දැනට පැත්තකින් තියමුකෝ.

හින්දු හා බෞද්ධ ආගමිකයන්ට දවස් හතේ සතිය ආබ්‍රහමික ආගම් අදහන්නට තරම් වැදගත් නැතත්, එය ඔවුන්ට ආගන්තුක අදහසක් නෙමෙයි. රවිවාරය, චන්ද්‍රවාරය ආදී වූ දවස් හතේ සතිය ඉන්දියානු ජ්‍යෝතිෂ්‍යය අනුව කාලය අර්ථ දක්වන එක් ක්‍රමයක්. නමුත්, එක් ක්‍රමයක් පමණයි. ජ්‍යෝතිෂ්‍යයේ මෙවැනි එක් ක්‍රමයක් වෙනුවට පංචාංගයක්ම තිබෙනවා. යුරෝපීයන්ට පෙර ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතයේ කටයුතු සැලසුම් කෙරුණේ මේ පංචාංගයම සැලකිල්ලට අරගෙනයි. ඒකේ එක් සබත් දවසක් වෙනුවට පෝය දවස්, කෙම්මුර දවස්, රිට්ටා දවස් වගේ විවිධ දවස් තිබුණා. නැකැත් බැලිල්ලේ පොදු දේවල් තිබුණත් එහි පෞද්ගලිකත්වයට වැදගත් තැනක් ලැබුණා. කෙනෙක්ට සුබ දවසක් හැම විටම හැම කෙනෙක්ටම සුබ දවසක් වුණේ නැහැ.

චන්ද්‍ර වර්ෂ ක්‍රමය බෞද්ධ වර්ෂ ක්‍රමය වී තිබෙන්නේ එය බුද්ධ කාලයේ භාවිතයේ වූ සම්මතය නිසා මිසක් බෞද්ධයින්ට ධර්මය අනුව පෝය දින වල අමුතු වැදගත්කමක් තිබෙන නිසා නෙමෙයි (මා වැරදිනම් දන්න කෙනෙක් නිවැරදි කරන්න). පෝය දවසේ ආගමික කටයුතු වල යෙදුණා කියා හෝ නොයෙදුනා කියා බෞද්ධයෙකුට වෙන දවසක ඒ දේවල්ම කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයට වඩා වෙනස් ප්‍රතිඵලයක් ලැබිය හැකි බවක් මා කොහේවත් අසා හෝ දැක නැහැ. බෞද්ධයින්ට වැදගත් සුවිශේෂී සිදුවීම් පෝය දින වල සිදු වී තිබීම හා එම සැමරුම් පෝය දින වල කිරීම වෙනම කරුණක්. නමුත්, අනෙකුත් බොහෝ ආගම් වල එවැනි සුවිශේෂී දවස් තිබෙනවා.

කොහොම වුනත් හතර පෝයට සිල් ගැනීම සැදැහැවත් බෞද්ධයින් විසින් කාලයක් තිස්සේ කළ දෙයක්. හතර පෝය කියන්නේ බෞද්ධයින්, විශේෂයින්ම සිංහල බෞද්ධයින් කාලයක් තිස්සේම ආගමික කටයුතු වෙනුවෙන් වෙන් කර තිබුණු දවස්. ධර්මය අනුව ඒ දවස් වල විශේෂයක් නොතිබුණත් එය කාලයක් තිස්සේ භාවිතයෙන් ඇතිව තිබුණු සම්මතයක්. පෝය දින වලදී බෞද්ධයින් තමන් අතින් අත් වැරදීමකින් හෝ පවක් සිදුවෙන්න තිබෙන ඉඩ ගැන වැඩි සැලකිල්ලක් දැක්වූවා. සතුන්ට හානි විය හැකි නිසා පොළොව කෙටීම, ගිණි තැබීම වැනි කටයුතු වලින් වැලකී සිටියා. එය රජයක් හෝ රජෙක් විසින් නියම කර තිබුණු දෙයක් නෙමෙයි. අඩු වශයෙන් ආගමෙන් නියම කර තිබුණු දෙයක් හෝ නෙමෙයි.

ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ක්‍රිස්තියානින්ට වැදගත් දවස් පොදු නිවාඩු දින කිරීම හෝ පෝය දින වල වැඩ කිරීම මුල් කාලයේ සිංහල බෞද්ධයන්ට ප්‍රශ්නයක් වුණා කියා හිතන්න අමාරුයි. මුලදී ඉංග්‍රීසි ආණ්ඩුවේ සේවකයින් වූ බොහෝ දෙනෙක් ක්‍රිස්තියානි හෝ කතෝලික ආගමිකයින්. ඒ නිසා, තමන්ගේ ගොවිතැන් බතක් හෝ කර්මාන්තයක් කරගෙන හිටපු සිංහල බෞද්ධයින්ට අවශ්‍යනම් හතර පෝයට වැඩ නොකර ආගමික කටයුතු වල යෙදෙන්න ලොකු බාධාවක් තිබුණේ නැහැ. ඉරිදා නිවාඩුව නොසලකා ඉන්න බැරිකමක් තිබුණේත් නැහැ. නමුත්, ලංකාවට නිදහස ලැබෙන කාලය වෙද්දී පෝය නිවාඩු ප්‍රශ්නය රටේ දේශපාලනය තීරණය කළ හැකි තරමේ වැදගත් කරුණක් වෙලා. ඒක එහෙම වුනේ කොහොමද?

මුලදී ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුවේ රැකියා ලබාගත් සිංහල හෝ දෙමළ බොහෝ දෙනෙක් රැකියාව ලැබෙන විට ක්‍රිස්තියානින් වී නොසිටියානම් එයින් පසුව හෝ ක්‍රිස්තියානින් වුණා. ඒ නිසා, ක්‍රිස්තියානි නිවාඩු දවස් මිසක් පෝය නිවාඩු දවස් රජයේ නිවාඩු දවස් කර ගන්න කාටවත් ලොකු උවමනාවක් තිබුණේ නැහැ. දහනවවන සියවසේ අගභාගය වෙද්දී මේ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. බෞද්ධ හා හින්දු පුනරුදය සමඟ ක්‍රිස්තියානියට ගොස් සිටි පරම්පරා වල උගත් අය නැවත මුල් ආගම් දෙසට නැඹුරු වීමත්, ක්‍රිස්තියානි ආකෘතියේ බෞද්ධ පාසැල් බිහිවීමත් නිසා ඉංග්‍රීසි ආණ්ඩුවේ ආගමික සංයුතිය වෙනස් වෙන්න පටන් ගත්තා. අනික් පැත්තෙන් ආණ්ඩුව ක්‍රමයෙන් විශාල වෙමින් සාමාන්‍ය ජනජීවිතයට ආණ්ඩුවෙන් සිදුවන බලපෑම් ඉහළ ගියා.

සංඛ්‍යාලේඛණ නොමැතිව ස්ථිරව කියන්නට පුළුවන් කමක් නැතත්, දහනවවන සියවස අගභාගය වන විටත් ලංකාවේ ආණ්ඩුව වෙනුවෙන් සෘජුව සේවය කළ බෞද්ධයින් ඉන්න ඇත්තේ රටේ බෞද්ධ ප්‍රතිශතයට වඩා ගොඩක් අඩුවෙනුයි. ක්‍රිස්තියානි ප්‍රතිශතය රටේ ප්‍රතිශතයට වඩා වැඩි වූ බව පැහැදිලි කරුණක්. බොහෝ විට හින්දු හා ඉස්ලාම් ආගමිකයින් වුවත්, ක්‍රිස්තියානින් තරමටම නැතත්, ආණ්ඩුව ඇතුළේ වැඩිපුර නියෝජනය වෙන්න ඇති. ඒ නිසා, පොදු නිවාඩු තීරණය කිරීමේදී එක් බෞද්ධ නිවාඩුවක් දෙන කොට ඉස්ලාම් හා හින්දු නිවාඩුව බැගින්ද දීමේ අමුත්තක් නැහැ.

නිදහස දෙන කාලය වෙද්දී රටෙන් තුනෙන් දෙකක් පමණ වූ බෞද්ධයින්ට ආණ්ඩුවේ තනතුරු වලින් බාගයක පමණවත් නියෝජනයක් ලැබී තිබෙන්න ඇති. ආණ්ඩුව ඇතුළේ තමන්ගේ නියෝජනයට සරිලන සැලකිල්ලක් නැති බව ඔවුන්ට ඇඟට දැනෙන්න ඇති. පෝය නිවාඩුව වැදගත් වෙන්න ඇත්තේ රජයේ රැකියා කළ උගත් සිංහල බෞද්ධයින්ට මිසක් සාමාන්‍ය ගැමි සිංහල බෞද්ධයින්ට නෙමෙයි.

වර්තමාන අර්ථයෙන් ගත් විට ආණ්ඩුව කියන සංකල්පයම බටහිර සභ්‍යත්වය තුළ, විශේෂයෙන්ම ක්‍රිස්තියානි ආගමික පසුබිමක බිහි වුනු සංකල්පයක්. ඒ නිසා, සෙනසුරාදා ඉරිදා වෙනුවට පෝය හා පෙර පෝය සති අන්ත කළත්, ක්‍රිස්තියානි නිවාඩු අඩු කර බෞද්ධ නිවාඩු වැඩි කළත් ආණ්ඩුවේ මූලික ආකෘතිය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, ආණ්ඩුව තමන්ගේ ආණ්ඩුවක් නොවන බව රටේ ප්‍රධාන ආගමික හා සංස්කෘතික කණ්ඩායම වූ සිංහල බෞද්ධයින්ට දැනෙන එකට පිළියමක් ලෙස කරන්න තිබුණේ සාමාන්‍ය ජන ජීවිතයට සිදුවන ආණ්ඩුවේ බලපෑම් අවම කරගැනීම වෙනුවෙන් සටන් කරන එකයි. ආණ්ඩුවේ බලපෑම් ක්‍රමයෙන් අඩු වන විට රටක ප්‍රධාන සංස්කෘතිය ඉස්මතු වෙන එක වලක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි.

නමුත්, නිදහස ලැබෙන්නත් කලින් ඉඳන්ම සිංහල බෞද්ධයින්ට මාක්ස්වාදී හුළං වැදී තිබුණු නිසා ඔවුන්ගෙන් බොහෝ විට ආවේ ආණ්ඩුව තවත් විශාල කෙරෙන ඉල්ලීම් මිසක් ආණ්ඩුවේ බලපෑම් ලිහිල් කරන සේ වන ඉල්ලීම් නෙමෙයි. නවීන ආණ්ඩු වල ආකෘතිය හැදී තිබෙන්නේ ක්‍රිස්තියානි ආගමික පසුබිමක වුවත් ඒ ආකෘතිය තවදුරටත් ආගමික සේ සැලකිය නොහැකි තරමට පොදු දෙයක් වී ඇති නිසා ලංකාව වගේ පර්යන්තයේ පිහිටි කුඩා රටක් වෙනස්ම ආකෘතියකට යන එක ප්‍රායෝගික දෙයක් නෙමෙයි. ඔය ආකෘතිය ඇතුළේම සිටිමින් ආණ්ඩුවේ උදවුවක් නැතුව ප්‍රධාන සංස්කෘතියේ විශේෂත්වය පවත්වා ගත හැකි ආකාරය ගැන ඇමරිකාව හොඳම උදාහරණයක්.

ඇමරිකන් ආණ්ඩුව ලෝකයට කෙසේ වුවත් ඇමරිකන් ජන ජීවිතයට අවම බලපෑමක් කරන ආණ්ඩුවක්. ඒ වගේම, පළමු සංශෝධනයෙන් ඇමරිකාවේ රජය හා ආගම අතර පැහැදිලි ඉරක් ඇඳ තිබෙනවා. නමුත්, අඩු වශයෙන් නත්තල් දවස ඇමරිකාවේ ෆෙඩරල් නිවාඩු දවසක්. ඒ වගේම, ඇමරිකාවේ ඇතැම් කාසි හා නෝට්ටු වල "ඉන් ගෝඩ් වී ට්‍රස්ට්" කියන බැලූ බැල්මටම ආගමික ස්වරූපයක් තිබෙන පාඨය මුද්‍රණය කර තිබෙනවා. මෙවැනි ඇතැම් දේ පළමු සංශෝධනයට පටහැනි බව කියමින් වරින් වර විවිධ පුද්ගලයින් හා සංවිධාන අධිකරණය වෙත ගොස් ඇති වාර ගණන බොහොමයි. එහෙත්, දිගින් දිගටම මෙන් අධිකරණයේ මතය වී ඇත්තේ මේ දේවල් වලින් කිසියම් ආගමකට විශේෂත්වයක් නොකෙරෙන බවයි.

නත්තල වෙනුවෙන් ෆෙඩරල් නිවාඩු දිනයක් ලබා දීම වාරණය කර සර්ශියෝරාරි රීට් ආඥාවක් නිකුත් කරන සේ ඉල්ලමින් රිචර්ඩ් ගැනුලින් විසින් 2001දී ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය උදාහරණයක් විදිහට පෙන්විය හැකියි. මෙහිදී අධිකරණ මතය වුණේ නත්තල මේ වන විට නිශ්චිත ආගමකට සම්බන්ධ නැති ඇමරිකන් සංස්කෘතිය හා බැඳුනු පොදු සැමරුමක් බවයි. ඒ වගේම, මුදල් නෝට්ටු වල සඳහන් "ඉන් ගෝඩ් වී ට්‍රස්ට්" පාඨය පිළිබඳ අධිකරණ මතය වී තිබෙන්නේත් භාවිතය තුළින් ඒ පාඨයේ ආගමික ස්වරූපය තනුක වී ගොස් ඇති බවයි.

මේ අධිකරණ මතය වැරදි නැහැ. නමුත්, නිවැරදිමත් නැහැ. නත්තල හා පාස්කුව සමරන්නේ කිතුණු ආගමික පසුබිමක් ඇති අය පමණක්ම නෙමෙයි. අපි අපේ දරුවන්ටත් කුඩා කාලයේදී නත්තලට නත්තල් සීයාගෙන් සේ පෙනෙන්න මොනවා හෝ තෑග්ගක් දුන්නා. පාස්කු සති අන්තයේ ඔවුන්ව බිත්තර එකතු කරන්න අරන් ගියා. ඒ දේවල් මේ වන විට පොදු ඇමරිකානු සංස්කෘතියේ කොටස්. නමුත්, කිතුණුවන් මේ දවස් වල කරන්නේ ඔය පොදු දේවල් පමණක් නෙමෙයි. ඔවුන් බොහෝ දෙනෙක් තමතමන්ගේ දේවස්ථාන වල දේව මෙහෙයන්ටත් සහභාගී වෙනවා. අධිකරණ තීන්දු ලබා දෙන්නෙත් නිරපේක්ෂ පදනමකම නෙමෙයි. තීන්දු ලබා දෙන්නේ මිනිස්සු. ඔවුන්ට කිසියම් සංස්කෘතික පසුබිමක් තිබෙනවා. ඒ නිසා, ආගම හා රාජ්‍යය වෙන් කළ විට ප්‍රායෝගිකව සිදුවන්නේ රටක ප්‍රධාන සංස්කෘතිය වඩා ඉස්මතු වීමයි.

කොහොම වුණත්, නිදහසින් පසු සිංහල බෞද්ධයන්ට, මම හිතන විදිහට උගත් සිංහල බෞද්ධයන්ට අවශ්‍ය වුණේ ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි ආගමට ලැබුණු ආකාරයේ ප්‍රමුඛතාවයක් ආණ්ඩුව හරහාම බුද්ධාගමට ලබා ගන්නයි. පොදු නිවාඩු ප්‍රශ්නයේදී මේ උවමනාව මතු වුනේ බුද්ධාගමේ විශේෂත්වය කැපී පෙනෙන තරමට බෞද්ධාගමික නිවාඩු වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමේ උවමනාවක් විදිහටයි. වෙනත් විදිහකින් කිවුවොත් නිදහසට පෙර ඔවුන්ට සිදු වූ නිවාඩු පාඩුව වෙනුවෙන් නිවාඩු වාඩුව ගන්නයි.

නිදහසෙන් පසු අනෙකුත් ආගමික නිවාඩු වල ලොකු වෙනසක් වුණේ නැහැ. නමුත්, බෞද්ධාගමික නිවාඩු ක්‍රමයෙන් ඉහළ ගියා. මුලින්ම, එකතු වුනේ දුරුතු හා උඳුවප් පසළොස්වක පෝය දවස්. පසුව පසළොස්වක පෝය සියල්ලම පොදු නිවාඩු බවට පත් වුණා. ඒ නමසිය පනස් හයේ බුද්ධ ජයන්තිය එක්කයි. නමුත්, වසර තුනක් යද්දී නැවතත් පෝය නිවාඩු අහෝසි කෙරුණා. එසේ අහෝසි කර රජයේ සේවකයින්ගේ අනියම් නිවාඩු ගණන 14 සිට 21 දක්වා ඉහළ දමා අවශ්‍ය කෙනෙකුට අමතර පෝය දින වලදී පෞද්ගලික නිවාඩු ලබා ගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබුවා. මේ විදිහට පෝය නිවාඩු අවලංගු කෙරුණේ අනෙක් ආගමික උත්සව වෙනුවෙන් ලබා දෙන පොදු නිවාඩු ප්‍රමාණයට වඩා වැඩි නිවාඩු ප්‍රමාණයක් බෞද්ධයින්ට ලබා දෙන එක සාධාරණ නැති බව ආණ්ඩුව හිතපු නිසා වෙන්න ඇති.

ලංකාවේ නිවාඩු ක්‍රමයේ ලොකුම පරිවර්තනය කළේ ඩඩ්ලි සේනානායක ආණ්ඩුවයි. ඔහුගේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව, ඒ වන විට අහෝසි කර තිබුණු පසළොස්වක පෝය නිවාඩු පමණක් නෙවෙයි හතර පෝයම නිවාඩු බවට පත් කළා. කාලයක් තිස්සේම තිබුණු ඉරිදා නිවාඩුව අහෝසි කෙරුණා. මේ වෙනසින් පසුව, සෙනසුරාදා ඉරිදා වෙනුවට ලංකාවේ සති අන්තය වුනේ හතර පෝය හා පෙර පෝය දවස් හතරයි. ඒ දවස් වල කලින් ඉරිදා පළවූ සිළුමිණ වගේ පුවත්පත් පළ කෙරුණේ පෝය දවස් වල. සඳුදා පළ වූ මිහිර පත්තරේ ආවේ පෝයට පසු දවසේ. සතියක් හැම විටම දවස් හතක් වුණේ නැහැ. සමහර සති වල දවස් අටයි. වැඩ කරන දවස් හයයි.

නීල් ආම්ස්ට්‍රෝන් හඳට ගිය පුවත වාර්තා කෙරුණු 1969 ජූලි 20 දිනය ඉරිදාවක් වුවත් එදින පෙර පෝය දිනය නිසා සිළුමිණක් වෙනුවට පළවුණේ දිනමිණක්. සිළුමිණ පළවුනේ අටවක පෝය දිනය යෙදුනු 21 සඳුදා. ඇමරිකානු අජටාකාශගාමීන් හඳ වටා රවුම් ගහද්දී, හඳ පොළොව වටා රවුම් ගහන දිහා බලාගෙන ලංකාවේ මිනිස්සු සති අන්ත ගත කළා.


මේ ක්‍රමය නිසා විවිධ ගැටළු රැසක් පැන නැගපු බව කිව යුතු නැහැ. විශේෂයෙන්ම විදේශ රටවල් සමඟ ගණුදෙනු කිරීමේදී. අඟහරුවාදා දවසකට පෝයක් වැටුණු විට සඳුදා හා අඟහරුවාදා දවස් ලංකාවේ සති අන්තය. අනෙක් බොහෝ රටවල සති අන්ත නිවාඩුව සෙනසුරාදා හා ඉරිදා. ඒ නිසා, ඇතැම් විට හදිසි වාණිජ කටයුතු දින හතරකින් කල් ගියා. 1965 අංක 17 දරණ පණතින් කළ වෙනස සමඟි පෙරමුණු රජය බලයට පත් වීමෙන් පසුව 1971 අංක 29 දරණ පණතින් නැවත ආපසු හරවා සෙනසුරාදා හා ඉරිදා දවස් නැවත සති අන්තය බවට පත් කෙරුණා. පසළොස්වක පෝය දින පමණක් දිගටම පොදු නිවාඩු දවස් වුණා.

මේ ආකාරයට 1971දී හඳුන්වා දුන් නිවාඩු ක්‍රමය අද වන තුරුත් ලොකුවට වෙනස් වී නැහැ. නිදහස ලැබෙන විට තිබුණු ක්‍රිස්තියානි ආගමික නිවාඩු දින දෙක වූ මහ සිකුරාදා දිනය හා නත්තල් දින නිවාඩුව තවමත් එළෙසම තිබෙනවා.  නමුත්, නිදහසට පෙර කාලයේදී මෙන් මේ දින ආශ්‍රිතව නිවාඩු දින වැලක් දැන් නැහැ. ජනවාරි පළමුවැනිදා දවසත් දැන් නිවාඩු දිනයක් නෙමෙයි. නිදහස ලැබෙන විට තිබුණු ඉස්ලාම් ආගමික නිවාඩු දින තුන එළෙසම තිබෙනවා. හින්දු අලුත් අවුරුදු නිවාඩුව සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුව වී දින දෙකක් වී තිබෙනවා. හින්දු ආගමික නිවාඩුවක්ව පැවති ආඩි අමාවාසෛ දින නිවාඩුව අහෝසි වී ඇතත් ඒ වෙනුවට මහා සිවරාත්‍රී හා දීපාවලි නිවාඩු දින එකතු වී තිබෙනවා. එංගලන්ත රජ පවුල හා සම්බන්ධ නිවාඩු දින අහෝසි වී කම්කරු දින හා ජාතික දින නිවාඩු එකතු වී තිබෙනවා. පසළොස්වක නිවාඩු හේතුවෙන් කලින් තිබුණු බෞද්ධාගමික නිවාඩු තුන  දහතුනක් වී තිබෙනවා. මේ අනුව, නිදහසින් පසු ලංකාවේ පොදු නිවාඩු වල සිදු වී තිබෙන ප්‍රධානම වෙනස නත්තල හා පාස්කුව ආශ්‍රිතව තිබුණු අමතර නිවාඩු අහෝසි වී පෝය දින නිවාඩු එකතු වීමයි.

ඩඩ්ලි සේනානායක රජය විසින් පෝය හතරම නිවාඩු දින බවට පත් කරන්න හේතු වුනු වාතාවරණය ගැන අදහසක් 1964 සැප්තැම්බර් මාසයේදී දවස පුවත්පතෙහි පළ කර ඇතැයි සඳහන් මඩිහේ පඤ්ඤාසීහ​ නාහිමියන්ගේ ලිපියක් කියවීමෙන් අවබෝධ කරගත හැකියි.


මඩිහේ පඤ්ඤාසීහ හිමිගේ ලිපියේ සඳහන් ඉරිදා දින නිවාඩුවත් ක්‍රිස්තියානි ආගමික නිවාඩුවක් ලෙස සැලකූ විට ක්‍රිස්තියානි ආගමික නිවාඩු දවස් 54ක්ම තිබෙනවා කියන එක පදනමක් නැති කතාවක් නෙමෙයි. හතර පෝයම නිවාඩු දින වූ වසර හය තුළ සති අන්ත වලට අමතරව බෞද්ධ නිවාඩුවක් කියා තිබුණේ වෙසක් පෝයට පසු දිනය පමණයි. නමුත්, ඇත්තටම බෞද්ධ නිවාඩු 50ක් පමණ තිබුණා. සිකුරාදා දිනය සති අන්තයට අයත් වන ඉස්ලාම් ආගමික රටවල තත්ත්වයත් එවැන්නක්.

නිවාඩු ගැන සෑහෙන්න කතා කළානේ. දැන් ඉතිං අපිත් ටික දවසකට නිවාඩුවක් ගන්නයි යන්නේ.


5 comments:

  1. කාටහරි කියන්න පුලුවනිද මේ ගැන ආජිත් මහතාගේ මතය මොකක්ද කියලා. මොකද මම පිළිගන්නේ එයා කියන දේ විතරයි.

    -ගොනෙක්-

    ReplyDelete
  2. ඇමරිකන් ජනාධිපතිධුරන්ධර ශ්‍රීමත් ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා කියන්නේ දුප්පතාගේ දුක දන්නා නායකයෙක්. එතුමා මට මේ ගේ ලබා දුන්නා. එතුමාට අපි සදා ණය ගැතියි.

    ඒ උත්තමයා මේ දවස් වල ජපන් රටේ සංචාරයක නිරත වෙලා ඉන්නේ. එයාර්පොස් වන් ගුවන් නැවේ නැගිලා එහෙ මෙහෙ යන්නේ. ජපානේ නායකදාරීන් එක්ක සුමෝ ක්‍රීඩා බලන්නත් ගිහිං බෝජන සංග්‍රහයකටත් සහභාගී උනා. එතුමාට බුදු බව පාර්ථනා කරමු.

    ReplyDelete
  3. Points to concern;

    1. One bomb for all other hotels but two for Shangri La

    2. Attacked Churches which are near to Muslim community. All Attacked church communities are mainly fisherman who has sharpen machetes at home. Nearby masjids had armoury of swards, machates.

    3. Intelligence reports suggested an Indian High commission attack but surprisingly attack on Taj fails, IHC neither targets

    4. All attackers operated on instructions from kerala, Koimbathur syndicates.

    4. Indian election was round the corner.

    5. Vote on British occupation in Diago Garcia fails in UN which might iterate US to move their base somewhere else

    Puzzle is not Geo politically well concealed.

    ReplyDelete
  4. බොහෝ නිවාඩු දිනයයන් හා සේවක අයිතිවාසිකම් සටන් කොට ලබා ගත් ඒවා. තවත් ඒවා බොහෝ වැර වෑයමෙන් ලබා ගත් ඒවා. ඒත් එහි වටිනාකමක් නොදත් බොහෝ රස්සාව ජීවිතය කරගත් වර්කෝලික් පොරවල් ඒවා දඬු කඳේ ගහනවා!

    ReplyDelete
  5. ඉස්සර වගේ දැන් ඔක්කොම අමතක කරලා.
    https://www.cbsl.gov.lk/en/news/monetary-policy-review-no-3-of-2019

    මේවා ගැන ලියන්න අයෙත් පටන්ගමුද ?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.