Sunday, May 26, 2019

ලංකාවේ ඇන්ග්ලිකන් ආණ්ඩුවේ නිවාඩු

ඇමරිකා එක්සත් ජනපද ව්‍යවස්ථාවේ පළමු සංශෝධනයෙන් ඇමරිකානු රජය හා ආගම අතර පැවතිය යුතු සම්බන්ධයේ ස්වභාවය ඉතා නිශ්චිත ලෙස අර්ථ දැක්වෙනවා. ඒ අනුව, ඇමරිකානු කොංග්‍රසයට කවර හෝ ආගමකට ප්‍රමුඛතාවය ලැබෙන, යමෙකුගේ ආගමික නිදහසට බාධා කෙරෙන හෝ හෘද සාක්ෂියේ නිදහස යටපත් කෙරෙන නීතියක් පැනවීමේ හැකියාවක් නැහැ. ඇමරිකානු රාජ්‍යය පිහිටුවන්නේම මේ ආකාරයට ආගම හා රාජ්‍යය වෙන් කරමිනුයි.

මේ ආකාරයෙන් කැමති ආගමක් ඇදහීමේ (හෝ නොඇදහීමේ) නිදහස ඇමරිකානු ව්‍යවස්ථාවෙන් තහවුරු කෙරෙද්දී ආගම් සේ සැලකුණේ විවිධ ක්‍රිස්තියානි නිකායයන් මිස බුද්ධාගම හෝ හින්දු ආගම වැනි ආසියානු ආගම් නෙමෙයි. ඒ නිසා, විවිධ ක්‍රිස්තියානු ආගම් අදහන අයට වගේම අනෙකුත් ආබ්‍රහමික ආගම් අදහන අයටත් පොදුවේ එකඟ විය හැකි ඇතැම් දේ ඇමරිකානු රාජ්‍යය තුළින් ප්‍රවර්ධනය වීමට මේ ව්‍යවස්ථා ප්‍රතිපාදනය ලොකු බාධාවක් වී නැහැ. එවැනි දේ රජය ආගමට මැදිහත්වීමක් සේ පෙනෙන්නේ බුද්ධාගම වැනි වෙනස් දාර්ශනික පදනමක පිහිටි ආගමක් අදහන අයෙකුට පමණයි. මෙවැනි යම් සීමාවන් තිබුණත්, පොදු වශයෙන් ගත් විට ඇමරිකානු රජය ආගමින් බැහැරව කටයුතු කරන රජයක්.

ඇමරිකා ව්‍යවස්ථාවට පළමු සංශෝධනය එකතු වන්නේ 1791දීයි. ඒ යුගය සැලකූ විට, මේ ආකාරයෙන් ආගම හා රජය පැහැදිලි ඉරකින් වෙන් කිරීම හිතා ගන්නත් අමාරු තරම් ඉදිරිගාමී කටයුත්තක් කියා කියන්න පුළුවන්. ඒ වෙද්දී, ඉංග්‍රීසින් ලංකාවට පැමිණ සිටියේ නැහැ. ඔවුන් ලංකාවේ මුහුදුබඩ පළාත් අල්ලා ගත්තේ ඇමරිකාවේ පළමු ව්‍යවස්ථා සංශෝධනය සම්මත වී වසර කිහිපයකට පසුවයි. උඩරට ගිවිසුම අත්සන් කර ලංකාව මුළුමනින්ම ඉංග්‍රීසි පාලනයකට යටත් කෙරුණේ 1815දීයි.

අද අර්ථයෙන් ගත් විට ලංකාවේ ආණ්ඩුවක් පිහිටෙව්වේ ඉංග්‍රීසින් විසින් කියා කීමේ වැරැද්දක් නැහැ. මේ කටයුත්ත සම්පූර්ණ කර ගැනීමට ඔවුන්ට වසර ගණනාවක් ගත වුණා. මේ විදිහට ඔවුන් ලංකාවේ ස්ථාපිත කළේ ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි ආණ්ඩුවක්. එසේ කීම අදහස් දැක්වීමක් හෝ ප්‍රවාදයක් නෙමෙයි. නිශ්චිත කරුණක්.

ලංකාවේ පිහිටවූ ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ප්‍රමුඛතාවය ලැබුණේ ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි ආගමටයි. එසේ නැතුව ඇමරිකාවේ මෙන් ආගම හා රජය වෙන් කිරීමක් ලංකාවේදී සිදු වුනේ නැහැ. අඩු වශයෙන් ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි නොවන අනෙකුත් ආගම් වලට හෝ ආණ්ඩුවෙන් සමාන ප්‍රමුඛතාවක් ලැබුණේ නැහැ. ලංකාවේ ජීවත් වූවන් ඇදහූ විවිධ ආගම් වලට සැලකිලි ලැබුණේ කිසියම් ධුරාවලියකට අනුව බව පැහැදිලියි.

යුරෝපීයයන් පැමිණෙන්න කලින් ලංකාවේ රජුන් හිටියත්, රාජ්‍ය පාලනයක් සිදු වුවත් ඒ රාජ්‍ය පාලනයේ අත් ජනජීවිතයේ හැම මුල්ලකටම දිගු වී තිබුණේ නැහැ. නමුත්, ඉංග්‍රීසි ආණ්ඩුව ක්‍රමයෙන් ශක්තිමත් වෙද්දී රටේ මිනිස්සුන්ට තවදුරටත් ආණ්ඩුවේ ග්‍රහණයෙන් මිදී සිටීමේ හැකියාවක් ඉතිරි වුණේ නැහැ.

යුද්ධ හා කැරළි අවස්ථා වලදී ඉංග්‍රීසි හමුදා වල භූමිකාව වඩා ප්‍රබල වුවත්, අනෙකුත් කාල වලදී ඉංග්‍රීසි ආණ්ඩුව ලංකාවේ ජන ජීවිතයට බලපෑම් කලේ ඔවුන්ගේ සිවිල් සේවය හරහායි. එහි ශාඛා ගණනාවක් තිබුණා. ආගමික ශාඛාවත් (ecclesiastical branch) එයින් එකක්. එහි ප්‍රධානියා වූයේ බිෂොප් වරයායි. බිෂොප් වරයාට මෙන්ම ධුරාවලියේ ඔහුට පහළින් සිටි අනෙකුත් ඇන්ග්ලිකන් පූජකවරුන්ටත් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් නිශ්චිත වැටුප් හිමි වුණා.

ලංකාවේ සිවිල් සේවය ස්ථාපිත කිරීමෙන් පසුව, ඇන්ග්ලිකන් පල්ලි සැලකුණේ ආණ්ඩුවේම කොටසක් ලෙසයි. ආණ්ඩුවේ සිවිල් සේවකයෙකු ලෙස බිෂොප් වරයා (1871දී) ලැබූ පවුම් දෙදහසක වැටුප තවත් එවැනිම ඉහළ නිලධාරියෙකු වූ යටත් විජිත මහලේකම්ගේ වැටුපට සමානයි. සිවිල් සේවයේ නිලධාරීන් අතරින් ඊට වඩා වැඩි වැටුපක් හිමි වුණේ අධිකරණ ශාඛාවේ ප්‍රධානියා වූ අගවිනිසුරුට පමණයි. (සිවිල් සේවයට උඩින් සිටි ආණ්ඩුකාරවරයාගේ වැටුප මෙහිදී සලකා නැහැ.)

1886 අංක 4 දරන නිවාඩු දින පණත සම්මත කෙරෙන තුරු බෞද්ධ, හින්දු හෝ ඉස්ලාම් ආගමික උත්සව පැවැත්වෙන දින ලංකාවේ පොදු නිවාඩු දින වූයේ නැහැ. නමුත්, ක්‍රිස්තියානි නිවාඩු දින ගණනාවක්ම ලංකාවේ පොදු නිවාඩු දින සේ නම් කර තිබුණා. ඉරිදා දිනයද නිවාඩු දිනයක් වුණා. උදාහරණයක් ලෙස 1871 වසරේදී, අළු බදාදා දිනය, මහ සිකුරාදා දිනය, පාස්කුව වෙනුවෙන් දින දෙකක්, උත්ථාන දිනය හා නත්තල වෙනුවෙන් දින තුනක් වශයෙන් ක්‍රිස්තියානි ආගමික කටයුතු වෙනුවෙන් නිවාඩු දින අටක් වෙන් වී තිබුණා. රැජිනගේ උපන් දිනය හා මෞලි මංගල්‍ය සැමරුම් දින වෙනුවෙනුත්, වේල්ස් කුමරුගේ උපන් දිනය වෙනුවෙනුත් තවත් නිවාඩු දින තුනක් ලබා දී තිබුණා. මීට අමතරව ජනවාරියේදී අලුත් අවුරුදු නිවාඩුවකුත් තිබුණා.


1884 වසර වන විටත් තිබුණේ මේ නිවාඩු ටිකයි.


1886 අංක 4 දරන නිවාඩු දින පණතින් ඉහත ලැයිස්තුවට තවත් නිවාඩු දින තුනක් එකතු වුණා. ඒ, හින්දු අලුත් අවුරුද්ද, වෙසක් පසළොස්වක පෝය හා මහමදිකයන්ගේ හජ්ජි උත්සවය වෙනුවෙන්. මේ පණතින් අප්‍රේල් අලුත් අවුරුද්ද හින්දු අලුත් අවුරුද්දක් ලෙස මිස සිංහල අලුත් අවුරුද්දක් සේ හඳුන්වා නොතිබීම කැපී පෙනෙන කරුණක්. මීට අමතරව බැංකු නිවාඩු දින අතරට තයිපොංගල් නිවාඩුවක්ද මේ පණතින් එකතු කෙරුණා. පණත හරහා ඉංග්‍රීසින් විසින් කර තිබෙන්නේ ඇන්ග්ලිකන් ආගම ඇතුළු ක්‍රිස්තියානි ආගම් වලට ප්‍රමුඛතාවය දෙන අතරම ක්‍රිස්තියානි නොවන ආගම් වලට නොකර බැරිකමට ඉතා සුළු සැලකිල්ලක් කිරීමයි.


කොහොම වුනත්, 1880 දශකය කියන්නේ ලංකාවේ ආණ්ඩු ව්‍යුහයේ වෙනසක් සිදු වූ කාලයක්. 1886 අවුරුද්දේ වෙසක් පෝය ලංකාවේ පොදු නිවාඩු දිනයක් වුනේ හෙන්රි ස්ටීල් ඕල්කොට් වැනි අය ඒ වෙනුවෙන් සටන් කළ නිසාම නෙමෙයි. වෙසක් නිවාඩුව එක්කම මහමදිකයින්ට හජ්ජි නිවාඩුවක්, හින්දුන්ට අළුත් අවුරුදු නිවාඩුවක් හා තෛපොංගල් බැංකු නිවාඩුවක්ද ලැබීමෙන් මේ වෙද්දී බ්‍රිතාන්‍ය මහ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වල සිදුවූ වෙන්සක්කමක ඡායාවන් දකින්න බැරිකමක් නැහැ. ඒ වන තෙක් මිථ්‍යා දෘෂ්ඨීන් සේ හඳුනාගත් ආබ්‍රහමික නොවන ආගම් නිල වශයෙන් විකල්ප ආගම් සේ පිළිගැනීම විශාල සංකේතාත්මක වැදගත්කමක් තිබෙන කරුණක්. ආණ්ඩුව ඒ වන විටත් ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි ආණ්ඩුවක් තමයි. නමුත්, කලින් තිබුණාට වඩා ටිකක් අඩුවෙන්.

ලොකුවට නොවුණත් ලංකාවේ ආණ්ඩුව මේ ආකාරයට නිර්-ආගම්කරණය වෙන්න පටන් ගත්තේ 1881දී පමණ සිටයි. 1870 අංක 14 දරන පනතින්, 1840 අංක 1 දරන පණතේ ඇතැම් ප්‍රතිපාදන අහෝසි කෙරුණු අතර ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ආගමික අංශය ක්‍රමයෙන් දිය කර හරින්න පටන් ගැනුණා. ඒ වන සිට තනතුරු දැරූ ඇන්ග්ලිකන් පූජකයින්ට ආණ්ඩුවෙන් ගෙවූ වැටුප් ඔවුන් අදාළ තනතුරු දරන තුරු දිගටම ගෙවන්නටත්, අදාළ තනතුරු පුරප්පාඩු වීමෙන් අනතුරුව නැවත එම තනතුරු නැවත නොපුරවා සිවිල් සේවයේ ආගමික අංශය අහෝසි වී යාමට ඉඩ සැලසීමත් මේ පනතේ අරමුණ වුනා.


1881දී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව සුළුවෙන් වුවත් නිර්-ආගමික වෙන්න අඩියක් තිබ්බේත්, ඊට දශක නවයකට පෙර ඇමරිකාවේ පළමු ව්‍යවස්ථා සංශෝධනයෙන් ආගම හා රාජ්‍යය වෙන් කෙරුණේත් එකම පසුබිමක නෙමෙයි. 1791 කාලයේදී බටහිර ලෝකයේ ක්‍රිස්තියානි ආගම් ආශ්‍රිත දැනුම සැලකුණේ භෞතික විද්‍යාව හා ගණිතය වැනි කිසියම් ආකාරයක නවීන දැනුමක් ලෙසයි. බුද්ධාගම වැනි ආගම් ක්‍රිස්තියානියට විකල්ප දැනුම් සේ සැලකුනේ නැහැ. ඇමරිකාව ආගම් හා රජය වෙන් කිරීමෙන් කළේ ක්‍රිස්තියානි ආගමික දැනුම ඉදිරියට ගෙන ගිය විවිධ පාර්ශ්ව වලට වඩා නිවැරදි දේ සොයා ගැනීමට ඉඩ සලසමින් ආණ්ඩුව පැත්තක් නොගෙන සිටීමයි. ඒ වෙද්දී විද්‍යාව හමුවේ ක්‍රිස්තියානි ආගම් පසුබෑමට ලක් වී තිබුණේ නැහැ.

නමුත්, 1880 වන විට බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර යුරෝපයේ මේ තත්ත්වය වෙනස් වෙලා ක්‍රිස්තියානි ආගම් වලට අනෙකුත් නවීන දැනුම් එක්ක ඉදිරියට යන්න බැරි තත්ත්වයක් ඇති වී අවසන්. ඒ නිසා, ලංකාවේ සිවිල් සේවයේ අධිකරණ, වෛද්‍ය, විද්‍යාත්මක ආදී අනෙකුත් ශාඛා එක්ක ආගමික ශාඛාවේ නොගැලපීමක් ඇති වී තිබුණා. විද්‍යාත්මක දැනුමක් ලෙස නොසලකා විශ්වාස මත පදනම් වූ දැනුමක් ලෙස පමණක් සලකා ඇන්ග්ලිකන් ක්‍රිස්තියානියට තැනක් දෙන ස්ථාවරයකට ඉංග්‍රීසි ආණ්ඩුව තල්ලු වුනාට පස්සේ එවැනි පදනමකින් ක්‍රිස්තියානි නොවන වෙනත් ආගමක් අදහන අයෙකුට නිවාඩුවක් දීමේ සෛද්ධාන්තික ගැටලුව අහෝසි වී ගියා. ලංකාවට 1886 සිට වෙසක්, අවුරුදු හා හජ්ජි නිවාඩු ලැබුණේ ඒ නිසයි.

4 comments:

  1. ලංකාවේ බෝම්බ පත්තු වෙලා ළමා ළපටින් ඇතුළු මිනිසුන් සිය ගානක් මිය ගියා. ඒ ගැන වගේ වගක් නැතිව හිටි මේ මනුස්සයා ඒ පාර නිවාඩු ගැන එක දිගට ලිපි ලියනවා.

    ReplyDelete
  2. හම්මුදාවේ මාමලට
    හම්මුදාවේ නැන්දලාට
    අපට වාගේ තරහා යන්නේ නෑ
    ඒක නිසා ඒ උදවිය ඉක්මනටම මහළු වෙන්නේ නෑ.

    212 වරෙන්, ඌරූ පැටව්. බත් කාපන් බැල්ලි. හොරු කියක් ඇල්ලුවද?

    ReplyDelete
  3. චන්න ජයසුමන
    වෙදෙදුරෙකි රජරට වෙසෙන
    වඳ සැත්කම් ගැන කියන
    රට පුරා බේගල් මවන

    නිදහස් අධ්‍යාපනය
    පිහිටෙන් දැන උගෙන
    කාට හෝ කඩේ යන
    මෙහෙව් උගතුන්
    කුමට කිව මැන

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.